1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග ලංකාව විදෙස් චිත්‍රපට සඳහා පසුතල සැපයීමටද විවෘත විය. මේ කාලයේ ලෝකයේ මිනී කන ගෝත්‍ර පිළිබඳ චිත්‍රපට රාශියක් නිපදවනු ලැබූ අතර ඒ සඳහා ලංකාවේ පසුතල සැපයීම නිසා ලෝකය තුළ ලංකාව මිනී කන්නන්ගේ දේශයක් ලෙස නාමකරණය විය. එයට ලාංකේය සමාජය තුළ ප්‍රබල විරෝධයක් ගොඩ නැඟුණි. විශේෂයෙන් මෙම තොරතුරු හෙළිදරව් කරමින් එම විරෝධය ගොඩනැගීමට දිවයින පුවත්පත විශේෂ මැදිහත්වීමක් සිදු කරන ලදී. එම චිත්‍රපට ප්‍රබන්ධයන් වුවත් ලංකාවේ පසුතල යොදා ගැනීම නිසා ලංකාව පිළිබඳ ඇතිවන වැරදි චිත්‍රය පිළිබඳ ලාංකිකයෝ බොහෝ උරණ වූහ. කිසිවෙකු අමානුෂික බවින් පිරුණු ම්ලේච්ඡ සමාජයක ජීවත් වීමට කැමති වන්නේ නැත. එපමණක් නොව කිසිවෙක් තමන් ජීවත්වන සමාජය ම්ලේච්ජ සමාජයක් ලෙස හැඳින්වීමටද කැමති නොවෙති. සියල්ලන්ගේම කැමැත්ත වනුයේ තමන් ජීවත් වෙන සමාජය ශිෂ්ට සම්පන්න, මානුෂික එකක් වනු දැකීමටය. මෙම කැමැත්ත සමහරවිට එම සමාජය පිළිබඳව වන සැබෑව, යථාර්ථය වුවද වසා දමයි.
1971 අප්‍රේල් නැගිටීම සමයේ සිදුවීම්, 1983 දෙමළ ජනතාවට එරෙහිව කළු ජූලිය තුළ මතු වූ සිදුවීම් සහ 1988 -89 යුගය සහ තිස් අවුරුදු යුද්ධය තුළ ඇතිවූ සිදුවීම්, ලාංකේය සමාජයට යා හැකි ක්‍රෑරත්වයේ සීමා පෙන්වන සුපැහැදිලි අවස්ථාවන්ය. ඒවා ප්‍රබන්ධ නොවූවත්, සමාජයකට යා හැකි ක්‍රෑරත්වයේ, අමානුෂික බවේ දුර ලෙස ඒවා සාකච්ඡාවට නොගැනේ.
අවුරුදු 2500ක ඉතිහාසය හා සිංහල බෞද්ධ විශිෂ්ටත්වය පිළිබඳ දෘෂ්ටිවාදාත්මක ප්‍රබන්ධයෙන් වසා ඇති ලාංකේය සමාජය නිරීක්ෂණය කර ගැනීම පහසු නොවේ. සෑම විටම එහි අපගමනාත්මක පාර්ශ්වය නොසලකා හරිමින් තෝරාගන්නා සිදුවීම්වලින් ලාංකේය සමාජය විස්තර කිරීමට ඉහත දෘෂ්ටිවාදීහු රුචි වෙති.
2004 වර්ෂයේ ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය පිළිබඳ ඔබට මතක ඇතැයි සිතමු. එයට මුහුණ දුන් ශ්‍රී ලාංකේය මිනිසුන්ගේ හැසිරීම්වල ද්විත්ව ස්වභාවයක් ඔබ දකින්නට ඇත. පිරිසක් අනතුරට පත් මිනිසුන් බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරද්දී, තවත් පිරිසක් අනතුරට පත් මිනිසුන්ගේ මාල වළලු මුදු ගලවා ගනු අපි දුටිමු. එපමණක් නොව මිය යමින් සිටි අය තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදාගත් අවස්ථාද තිබූ බව අපි දනිමු.
කෙසේ වෙතත් නිශ්චිත න්‍යායික තාර්කික පදනමකින් තොරව, ලාංකේය සමාජය ගැන කතා කරන, අදහස් දක්වන මිනිසුන් මෙම සමාජය ගැන බොහෝ සෙයින් එකිනෙකට පරස්පර අන්තයන් තෝරාගනිමින් අදහස් ප්‍රකාශ කරනු නිතර දක්නට ලැබේ.
ජාතික ප්‍රේමයෙන්, දේශප්‍රේමයෙන් ඔද වැඩී ගිය විටෙක ඔවුහු ලංකාව වසර 2500ක් පැරැණි අතිවිශිෂ්ට සංස්කෘතියකට හිමිකම් කියන, එනිසා අතිවිශිෂ්ට ශික්ෂණයකින් හා ආධ්‍යාත්මික ගුණයකින් යුත් දක්ෂ මානවවාදී මිනිසුන්ගෙන් පිරුණු රටක් බව පවසන අතරම තවත් විටක ලාංකේය සමාජය යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය හෝ ආසියාවේම රටක් වන ජපානය සමග සංසන්දනය කොට මෙය ඉතා නොදියුණු අශීලාචාර, අශිෂ්ට, අසංස්කෘතික, සාමූහික හැඟීමකින් ක්‍රියා නොකරන ආත්මාර්ථකාමී බවින් පිරුණු, හොරකම වංචාව දූෂණය පිරි මිනිසුන්ගෙන් සැදුම්ලත් රටක් බව පවසති. අවම වශයෙන් පාරේ යන්නට නොදත් කුණු ටික බැහැර කිරීමට නොදත්, පිරිසක් සහිත මානවවාදී නොවන රටක් ලෙස හඳුන්වති.
සත්තකින්ම අප සමාජය කුමනාකාරයේ ගුණයන්ගෙන් යුත් සමාජයක්ද? අතිවිශිෂ්ට මානවවාදී බවින් පිරුණු රටක්ද නැතිනම් මානවවාදී බවෙන් වියෝ වූ නරුමයින්ගෙන් පිරුණු රටක්ද? මනෝ මූලිකව තම කැමැත්ත අනුව වරින් වර විවිධ විග්‍රහයන්ගේ යෙදීම වෙනුවට මේ සඳහා යම් න්‍යායික තාර්කික පදනමක් ගොඩනගා ගැනීම සුදුසු නොවන්නේද?
පංති සමාජයක් ලෙස මානව සමාජයට සංවර්ධනය විය හැකි උපරිම අවධිය ලෙස ධනේශ්වර සමාජ අවධිය හඳුනාගන්නා මාක්ස්වාදීහු, එයට ගමන් කළ හැකි අන්ත දෙකක් පිළිබඳ නිතර ඉඟි කරති. එක්කෝ ම්ලේච්ඡත්වය දෙසටය; නැතිනම් සමාජවාදය දෙසටය. දැන් හඳුනා ගත යුතුව ඇත්තේ අප ගමන් කොට ඇත්තේ කොයිබටද යන්නය.
මානව සමාජයක විශිෂ්ටත්වය, එහි ජීවත් වන ජනයාගේ ජෛව විද්‍යාත්මක ස්වභාවයකින් හටගන්නක් නොවන බව මානව විද්‍යාව විසින් සහ සමාජ විද්‍යාව මගින් නැවත නැවතත් ඔප්පු කරනු ලැබ ඇත. එසේනම් මානවවාදී වීම යනු කුමක්ද? යම් සමාජයක් මානවවාදී වන්නේ හෝ නොවන්නේ කුමන හේතූන් මතද යන කාරණා මුලින්ම නිරාකරණය කරගත යුතු වේ.
මෙහිදී ශිෂ්ට සමාජයක් නැතිනම් මානවවාදී සමාජයක් යන්න උත්තර් ඓතිහාසික සංකල්පයක් ලෙස ගෙන සාකච්ඡා කිරීමට නොහැකි බව අපගේ අදහසයි. ඉංග්‍රීසි භාෂාවේ ෘැයමප්බස‘්එසදබ යනුවෙන් වචනයක් හමුවේ. එහි අර්ථය වන්නේ පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක් හෝ යම් සමාජයක් ධනාත්මක මානුෂික ගුණාංගයන්ගෙන් වියෝ වීම යන්නයි. මානුෂීය ගුණයන් යනු නිරන්තරයෙන් පුළුල් වෙමින් වැඩෙන ස්වභාවයක් මිස එහි සියලු සීමා, සටහන් කර අවසන් කරන ලද ස්වභාවයක් නොවන බව එය ඓතිහාසිකව පරික්ෂා කළහොත් පෙනී යයි. ගෝලීය වශයෙන් නිර්ණය වූ මනුෂ්‍ය බව පිළිබඳ අර්ථ ගැන්වීමක් වර්තමානයේ දක්නට ලැබුණත් ඓතිහාසිකව බලන විට විවිධ සමාජයන් විසින් තමන්ගේ උත්කෘෂ්ටභාවය, මානුෂීය බව විවිධාකාරයෙන් ස්ථානගත කොට ගෙන තිබුණි.
සොබාදහම සමග මිනිසාගේ අන්තර් ක්‍රියාකාරිත්වයේදී, ඔහු උපදවාගන්නා ද්‍රව්‍යමය සංස්කෘතියට අනුරූපී වන ලෙස මිනිසුන් අතර වන සම්බන්ධතාවයේ ස්වභාවයද සදාචාරයන් රුචිකත්වයන් ඇතුළු සමස්ත මානුෂික හරයන් වෙනස් වන බව මාක්ස්වාදයේ පිළිගැනීමයි. සොබාදහමේ නැතිනම් භූගෝලීය පරිසරයේ විවිධතා අනුව ද්‍රව්‍යමය සංස්කෘතියේ වර්ධනයද විවිධ වූ අතර එනිසාම ආධ්‍යාත්මික සංස්කෘතිය තුළද ඒ වෙනස්කම් දක්නට ලැබේ.
වහල් හිමි සමාජයේදී වහලුන් තළාපෙළා වැඩ ගැනීම ක්‍රෑර බවක් හෝ අමානුෂික වීමක් ලෙස සැලකුනේ නැත. එකල්හි ඒවා සදාචාරමය වශයෙන් මෙන්ම නෛතික වශයෙන්ද අනුමත වී පැවතුණි. දරුවන්ට ශාරීරික දඬුවම් දීම යුරෝපයේ බොහෝ රටවල් තුළත්, සමාජවාදය ගොඩ නැගූ රටවල් තුළත් අශිෂ්ට කාරණයක් ලෙස සැලකේ. එහෙත් ලාංකේය සංස්කෘතිය තුළ වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම යහපත් කරුණක් සේ සැලකෙයි. ඓතිහාසිකව කුමන තැනක ස්ථානගත වුවත් සෑම මිනිස් සමාජයකම ස්වභාවය නම් වඩ වඩා ශිෂ්ටභාවයක් සොයමින්, වඩ වඩා සංස්කෘතිකභාවයක් සොයමින් වඩා ඉහළ මානුෂීය හරයක් සොයා යාමය. නූතනයේ මිනිසා ගෝලීය වශයෙන් ගොඩනගා ඇති මානුෂභාවය පිළිබඳ සවිඥානිකත්වය දිගුකාලීනව මිනිස් සමාජයන්ගේ සංවර්ධනයේ ඵලයකි.
කෙසේ වෙතත් මේ මොහොතේත් විවිධ සමාජයන් මානුෂ බව ලෙස පරිකල්පනය කරන ලද අදහස හා භාවිතය පවා විෂමතාවයන් ගෙන් යුක්ත බව පිළිගත යුතුය. එය ඓතිහාසික වර්ධනය විසින් ඇති කරන ලද තත්වයකි. සමාජයක ශිෂ්ට බව යනු කුමක්ද, මානුෂීය බව යනු කුමක්ද යන්න පිළිබඳ යම් අදහසකට දැන් අපි එළඹ සිටිමු.
දැන් අපට ඇත්තේ ශිෂ්ටත්වය, මානුෂ බව ලෙස එක් එක් සමාජයක් විසින් ගොඩනගා ගන්නා ලද හර පද්ධතීන්ගෙන්, ගුණයන්ගෙන් පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ සමාජයක් වියෝ වන්නේ ඇයි යන ප්‍රශ්නයයි.
මෙය තේරුම් ගැනීම සඳහා උදව් කරගත හැකි උදාහරණ දෙකක් දැන් අපි ඔබ හමුවට ගෙන එමු.
පළමුවැන්න ලාංකේය ජනයා තුළ ඉතා ප්‍රකට ජාතක කථාවක් වන චුල්ල පදුම ජාතකයයි. කථාව ඉතා ජනප්‍රිය බැවින් අප ඉන් අවශ්‍ය කොටස පමණක් උපුටා ගනිමු.
කාන්තාරයක් හරහා කුමාරවරුන් හත් දෙනෙක් සහ ඔවුන්ගේ කුමාරිකාවෝ ගමන් කරමින් සිටිති. එහිදී ඔවුහු ජලය සහ ආහාර අහිමිවීම නිසා හාමතින් මිය යන තත්වයකට පත්වෙති. මෙහිදී කුමාරවරු හත් දෙනා එකතුවී තම බිරින්දෑවරුන් දිනෙන් දින මරා කෑමට එකඟ වෙති. ඒ අනුව ඔවුන් කාන්තාරයේ තුළදී කුමාරිකාවන් හය දෙනකු මරා කන අතර එක් කුමාරයෙක් තමන්ගේ මස් කොටස නොකා එය අනික් කුමාරවරුන්ට ලබාදී තම කුමාරිකාව රැකගැනීමේ සිදුවීමක් මේ කතාවේ විස්තර වේ.
දෙවන උදාහරණය වන්නේ 1972 සිදුවූ ගුවන් අනතුරකි. උරුගුවේ සිට චිලී බලා යන රග්බි කණ්ඩායමක් රැගත් ගුවන් යානය ඇන්ඩිස් කඳුකරයේදී අනතුරට ලක්වේ. ඔවුන් අනතුරට ලක්වන්නේ හිම කාන්තාරයක් තුළය. අනතුරින් පිරිසක් මියයන අතර තවත් පිරිසක් ජීවිත ගලවා ගනිති. නිරීක්ෂණ කණ්ඩායම්වලට ඔවුන් සොයා ගැනීමට නොහැකි වන අතර හිම කාන්තාරය තුළ ආහාර නොමැතිකමේ ප්‍රශ්නයට ඔවුන්ටද මුහුණ දීමට සිදු වේ. දින හැත්තෑ දෙකක පමණ කාලයක් මෙම පිරිස ගලවා ගැනීමට නොහැකිව සිර වන අතර, අනතුර සිදුවී ටික දිනකට පසු තමන්ගේ මියගිය සගයින්ගේ සිරුරු ආහාරයට ගැනීමට දිවි ගැලවුණු අය තීරණය කරති. සමහර දෙනෙක් එසේ නොකරම සාගින්නේ මියයති.
මිනී මස් ආහාරයට ගැනීම පිළිබඳ උදාහරණ දෙකක් යොදා ගනු ලැබුයේ මෙම කාරණය තදින් අවධාරණය කිරීම සඳහාය. නමුත් ශිෂ්ටත්වය, මානුෂ බව අහිමි කර ගැනීම යනු එයට වඩා අති සියුම් කරුණු රාශියක් අන්තර්ගත කර ගත් ස්වභාවයක් බව තේරුම් ගත යුතුය. සත්තකින්ම මිනිසුන් අතර සම්බන්ධයේදී එකිනෙකා අතර සිදුවන ඉඟි බිඟි පෑම්වල පවා මෙම ගුණයන් අඩංගු වේ.
කෙසේ වෙතත් ඉහත උදාහරණ දෙකෙන් අපට ගොඩනඟාගත හැකි තර්කයක් ඇත. එනම් ඉතා ඉහළ සංස්කෘතික වර්ධනයක්, ශිෂ්ටත්වයක්, මනුෂ්‍ය බව පිළිබඳ හැඟීමක් අත්පත් කරගත් කණ්ඩායමක් හෝ සමාජයක් වුවද, තම දිවිපැවැත්ම අර්බුදයට ලක් වන විට, තම ශිෂ්ටත්වය, තම සංස්කෘතිය, මානුෂිකත්වය පිළිබඳ තම හැඟීම අර්බුදයට පත් කරගන්නා බවයි. අප ඉහතින් ඉදිරිපත් කරන ලද උදාහරණ දෙකම ඒ මිනිස් කණ්ඩායම් මුහුණ දුන් විශේෂ අත්දැකීම් නිසා ඇතිවූ තත්වයන්ය. නමුත් වඩා ගැඹුරු ප්‍රශ්නය වන්නේ මුළුමහත් සමාජයක් අර්බුදයට පත් වීම විසින් ඇති කරනු ලබන තත්වයන්ය. එවිට මුළු මහත් සමාජයකම පැවැත්මේ කොන්දේසි අර්බුදයට ලක් වන අතර එහි ප්‍රතිඵලය වන්නේ මුළු මහත් සමාජයක්ම අමානුෂිකකරණයට ලක් වීමයි.
ස්වභාවික කොන්දේසිවලට වඩා මිනිස් සමාජයක් තුළ වැඩියෙන්ම අමානුෂිකත්වය මතුවන්නේ සමාජ ආර්ථික කොන්දේසි පදනම් කරගනිමිනි. වර්තමානයේ ස්වභාවික ව්‍යසනයන් ලෙඩ රෝගවලට ගොදුරු වීම පවා සමාජ ආර්ථික කොන්දේසිවල ඵලයක් බවට පත්ව ඇත. වත්මන් සමාජයට අදාළව නම් එය අසමානතාවය සහ ලාභ අරමුණු කරගත් ආර්ථිකය හේතුවෙන් ඇති වී ඇත. එක් පිරිසක් අත ලාභය කඳු ගැසෙන විට, තවත් පිරිසක් අත දරිද්‍රතාවය කඳු ගැසේ. මෙම තත්වය උග්‍ර වන්නට වන්නට එක් පිරිසකට තම ජීවන කොන්දේසි අහිමි වන අතර එවිට එම සමාජය මානුෂිකත්වයෙන් දුරස් වේ. අනෙක් පිරිස අති අමානුෂික වූ ලාභය පිළිබඳ ආවේගයෙන් ආවේෂ වේ. මේ කරුණු දෙකම මිනිස් සමාජයක් මානුෂිකත්වයෙන් ඉවතට ඇදගෙන යයි. දෘෂ්ටිවාදාත්මකව යට ගසා ඇති ලාංකේය සමාජය පිළිබඳ යථාර්ථය කුමක්ද යන්න ඉහත පදනම තුළ සිට මතුකර ගැනීම දැන් අපගේ අභියෝගයයි.
මිනිස් ජාවාරම
මේ සමහර තොරතුරු අපව තිගස්සවන සුළුය. අප අතරින් බොහෝ දෙනෙක් ,ශ්‍රී ලංකාව මිනිසුන් වහල්කමට අලෙවිකරන, මිනිසුන් වහල් සේවයේ යොදවන, ළදරුවන් විකුණා දමන රටක් ලෙස සලකන්නේ නැත. එක්කෝ අපි ඒ පිළිබඳව දන්නේ නැත. එසේ වුවත් ශ්‍රී ලංකාව විවිධාකාරයෙන් මිනිස් ජාවාරමේ යෙදෙන රටක් බව ඔප්පු කරවන තොරතුරු රාශියක් දැන් අප හමුවේ ඇත.
”බලහත්කාරයෙන් ශ්‍රමය හෝ ලිංගික සූරාකෑම ඇතුළු නුසුදුසු අරමුණක් සඳහා නුසුදුසු ක්‍රම මගින් (බලහත්කාරයෙන්, පැහැරගෙන යාම, නෛතිකව වුවත් වංචාවට, රැවටීමට ලක් කිරීම වැනි) පුද්ගලයන් බඳවා ගැනීම, ප්‍රවාහනය, මාරු කිරීම හා රැකවරණය ලබාදීම, එක්සත් ජාතීන් විසින් මිනිස් ජාවාරම ලෙස අර්ථ දක්වයි. බලහත්කාරයෙන් කාන්තාවන් විවාහ කර දීම, මිනිස් සිරුරේ කොටස් මුදලට හෝ බලහත්කාරයෙන් ලබා ගැනීම, කාන්තාවකගේ ගර්භාෂය තවත් අයෙකුගේ දරුවෙකු සෑදීමට බලහත්කාරයෙන් භාවිත කිරීම ආදියද මිනිස් ජාවාරම යන්නට ඇතුළත් වේ.
ඉහත බොහොමයක් කරුණු සඳහා උදාහරණ ලංකාවෙන් සපයා ගත හැක. විවෘත ආර්ථික ක්‍රමය ඇති වීමත් සමඟම ලාංකිකයන්ට විදේශ රැකියාවලට යාම සඳහා ඉඩකඩ විවෘත වූ අතර නිශ්චිත සංඛ්‍යාලේඛන නැතත් මේ වන විට රැකියා සඳහා විදේශගත වූ ලාංකිකයින් ප්‍රමාණය මිලියන 1.7ක්, එනම් ලක්ෂ දාහතක් පමණ වෙතැයි සැලකේ. වාර්ෂිකව මෙසේ යන ප්‍රමාණය ලක්ෂ දෙකක් පමණ වේ යැයි ගණන් බලා ඇත. මෙම පිරිසෙන් සියයට අසූවක් සියයට අනූවක් පමණ සෞදි අරාබිය, කටාර්, කුවේටය, අරාබි එමිරේටය සහ ජෝර්දානය ආදී මැදපෙරදිග කලාපයේ රැකියා සඳහා යන අතර, ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ය. පිරිමි අය වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන් ලෙස විදේශගත වෙති.
මෙසේ රැකියා සඳහා විදේශගත වන්නන් මුහුණ දෙන හිරිහැර කරදර අඩන්තේට්ටම් පිළිබඳ ඕනෑතරම් ප්‍රවෘත්ති අපට දක්නට ලැබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සඳහා මැදිහත් වේ. එහෙත් මේ ලාංකේය පිරිස් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩිම වැඩ කොටසක් කරනු ලබන්නේ පෞද්ගලික
රැකියා ඒජන්සිකරුවන් විසිනි. ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ තම සැපයුම් ඕඩරය සම්පූර්ණ කිරීමය. බොහෝ විට අදාළ අය රටින් පිට කළ පසු මෙම රැකියා නියෝජිත ආයතන සහමුලින්ම ඔවුන්ගේ වගකීමෙන් ඉවත් වන අතර එය ඔවුන්ට වෙනත් ඕනෑම බඩු තොගයක් විකිණීමට වැඩි දෙයක් නොවේ. ඔවුන්ගේ අපේක්ෂාව තම ලාභ පංගුව ලබා ගැනීම පමණි. මෙසේ රැකියා සඳහා විදේශගත වන අයගේ ඉරණම කුමක්ද? මෙයින් සෑහෙන ප්‍රමාණයක් බලහත්කාරයෙන් වැඩ ගැනීම ඇතුළු ශාරීරික හිංසනයන්ට මෙන්ම අඩන්තේට්ටම්වලටද ලිංගික බලහත්කාරකම්වලටද ගොදුරු වෙති.
ශ්‍රී ලංකාවේ විදේශ රැකියා කාර්යාංශය ඉදිරිපත් කරන සමහර සංඛ්‍යාලේඛනවලින් අපට මේ තත්වය කෙතරම් භයානකද යන්න වටහා ගත හැක. 2011 වසරේ සිට 2021 වසර දක්වා කාලයේ විදේශ රැකියාවලට ගිය පිරිසෙන් 2822 පමණ ප්‍රමාණයක් එම රටවලදී මරණයට පත්ව ඇත. මෙයින් 233ක් සියදිවි නසා ගැනීම්ය. සෘජු ලෙසම මරා දමන ලද සංඛ්‍යාව (මිනීමැරුම්) 41 කි. විවිධ අනතුරු නම් වර්ගීකරණය යටතේ මරණ 326ක් සිදු වී ඇත. 331ක් මාර්ග අනතුරුවලින් මිය ගොස් ඇත.
මෙසේ මිය ගිය අයගෙන් සෞදි අරාබිය තුළ දී 99ක්ද, රියාද් හිදී 88ක්ද, කුවේටයේදී 29ක්ද, කටාර්හිදී 28ක් ද, ඩුබායිහිදී 25ක් ද ආදි වශයෙන් මියගොස් ඇත. හාම්පුතුන්ගේ වද දීම් , අධික ලෙස වැඩ ගැනීම් සහ ලිංගික හිරිහැර නිසා මානසික ආබාධයන්ට ලක්වූ අය, ශාරීරික අංගවිකලභාවයට පත්වූවන්, දිගුකාලීන රෝගාබාධයන්ට ලක් වූවෝ රාශියක් නැවත වාර්ෂිකව මෙරටට පැමිණෙති. පීඩාවන් දරාගැනීමට නොහැකිව සේවා ස්ථානවලින් පැනගොස් මහමඟ ජීවත් වීමට සිදු වූ පිරිස් මෙන්ම කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදහන් වූ පිරිස්ද සිටිති.
බැලූ බැල්මට නීත්‍යානුකූල සේ පෙනුනද මේවා පැහැදිලි මිනිස් ජාවාරම් වේ. ධීවර බෝට්ටු යොදා ගනිමින් සහමුලින්ම නීති විරෝධී ලෙස මිනිස් ජාවාරමේ යෙදෙන ජාවාරම්කරුවන් මිනිස්සුන්ගෙන් මුදල් ලබාගෙන යුරෝපා රටවලට ඔවුන් රැගෙන යති. නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, ග්‍රීසිය, ඉතාලිය ඇතුළු තවත් යුරෝපාකරයේ රටවල්වලට මෙසේ මිනිසුන් රැගෙන යනු ලබන අතර සමහර විටෙක ඔවුන් එම ගමනාන්තයන් කරා රැගෙන නොගොස් අතරමං කර දමයි. නීති විරෝධී පමණක් නොව අනාරක්ෂිතභාවයෙන් යුතු මෙම ගමන් අතරමඟදී විවිධ අනතුරුවලට ලක්වීමෙන් සමහරෙක් මිය යති.
ගණිකා වෘත්තිය
ගණිකා වෘත්තිය ලංකාවේ මිනිස් ඛේදවාචකය පිළිබඳ තවත් එක් පැතිකඩකි. සංඛ්‍යාලේඛනවලින් පෙන්වන තොරතුරු අනුව ලංකාවේ ගණිකා වෘත්තියේ නියුතු ප්‍රමාණය 35,000ත් 40,000ක් අතර ප්‍රමාණයකි. මෙයින් වැඩිම ප්‍රමාණය කාන්තාවන් වන අතර 8332ක් පමණ ප්‍රමාණයක් පිරිමි ගණිකා වෘත්තිකයන් ඇති බවට ඇස්තමේන්තු කර ඇත. ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන, පෞද්ගලික නවාතැන් සහ හෝටල් මෙන්ම වීදි පදනම් කරගනිමින්ද ගණිකා ව්‍යාපාරය සිදුවේ. දුරකථන මාර්ගයෙන් සහ අන්තර්ජාලය ඔස්සේද ලංකාවේ ගණිකා වෘත්තිය ව්‍යාප්තව ඇත.
සංචාරක ළමා ගණිකා වෘත්තිය සඳහාද ලංකාව ලෝකය තුළ ඉහළ ප්‍රසිද්ධියක් උසුලයි. ලංකාවේ ළමා ලිංගික ශ්‍රමිකයින්ගේ තත්වය ඉතා කනගාටුදායක තත්වයකට පත්ව ඇති අතර බලධාරීන් වහාම පියවර ගත යුතුයැයි එක්සත් ජාතීන් විසින් පත් කරන ලද මානව අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥයෝ කියා සිටිති. සමහර දුගී දුප්පත් දෙමාපියන්ට තම දරුවන් “විකිණීම” සඳහා බල කෙරෙමින් පවතින බව ඔවුන්ගේ අදහසයි.
ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ ප්‍රවීණ සාමාජික රෙනේට් වින්ටර් (Renate Winter) සමඟ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති සේවයේ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ වසංගතය “රටේ උතුරේ” ඉතා පුළුල් ලෙස පැතිරී ඇති බවයි. එසේම සංචාරක ව්‍යාපාරය ව්‍යාප්තව ඇති කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර වැනි වෙරළ තීරයේ මෙය වැඩියෙන් ව්‍යාප්තව ඇති බව හඳුනා ගනු ලැබ ඇත.
මීට අමතරව ලාංකේය කාන්තාවන් වෙනත් රටවලද ලිංගික රැකියා සඳහා යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබේ. සයිප්‍රසය, සිංගප්පූරුව, මැලේසියාව, මාලදිවයින සහ තායිලන්තය යන රටවල ලාංකේය කාන්තාවන් බලහත්කාරයෙන් ලිංගික සේවයේ යොදවනු ලැබ ඇති බව විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් කරයි. ලිංගික වෘත්තීන්හි යෙදී සිටින බොහොමයක් එම රැකියාවලට තල්ලු වී ඇත්තේ, ඔවුන් මුහුණ දුන් විවිධ සමාජ ආර්ථික විෂමතාවයන්ගේ ගොදුරු බවට පත්වීමෙනි.
වකුගඩු මාෆියාව
මේ වන විට ලෝකයේ වාර්ෂිකව ඩොලර් මිලියන 600ක් ඉක්මවන මිනිස් අවයව ජාවාරමක් සිදු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ මධ්‍යස්ථානය හෙළිදරව් කරයි. මෙහිදී ලංකාවද මිනිස් අවයව ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. මීට අවුරුදු කිහිපයකට පෙර ඉන්දීය ජාතිකයකු වන වයස අවුරුදු විසි හයක් වූ ෘසබැිය ණමප්ර් කොළඹදී මිය ගියේය. එහි හේතු සොයමින් යන විට හෙළිවූයේ ජාත්‍යන්තර අවයව ජාවාරමේ මාෆියාවක් මගින් විශාල වශයෙන් වකුගඩු මිලදී ගැනීම හා විකිණීම සිදු වන අතර එම මාෆියාව ශ්‍රී ලංකාවට සම්බන්ධ බවයි. රෝගී වී හොඳ සිහියෙන් තොර පුද්ගලයින්ගෙන් රහසිගතවත්, මූල්‍ය දුෂ්කරතාවයන්ට පත්ව සිටින නිරෝගී පුද්ගලයන්ගෙන් මුදලටත් මෙසේ වකුගඩු ලබාගන්නා බව හෙළිදරව් වී ඇත.
Sri lanka brief නම් වෙබ් අඩවියට Kidney mafia in Sri Lanka නම් ලිපියක් ලියමින් වෛද්‍ය එන්.එස්. විජේවික්‍රම මහතා මෙසේ පවසයි.
”දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝගවල භයානක වැඩිවීමක් නිසා ඇතිවන වකුගඩු රෝග, වකුගඩු සඳහා ඇති ඉල්ලුම වැඩි කරයි. වකුගඩු නීත්‍යානුකූලව සැපයීම සහ ඉල්ලුම අතර ඇති පරතරය අවයව සඳහා වන කළු වෙළඳපොළ විසින් පුරවනු ලැබේ. මෙය ශ්‍රී ලංකාව තුළ “වකුගඩු මාෆියාව” ලෙස හඳුන්වන නපුරු වකුගඩු ව්‍යාපාරයක් ඇති කොට ඇත. කනගාටුවට කරුණක් නම්, බද්ධ කිරීමේ මෙහෙයුම් බොහොමයක් සිදුකරන මෙම ජාලයේ නව මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමය. මෙම මෙහෙයුම්වලින් බොහොමයක් රටේ නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නැත. අල් ජසීරාට අනුව මෑත වසරවලදී ශ්‍රී ලංකාව වකුගඩු ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගෙන ඇත්තේ ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වැනි දුර බැහැර ප්‍රදේශවලිනි.
සමහර පෞද්ගලික රෝහල් වකුගඩු ලබා ගන්නන්ට “සම්පූර්ණ පැකේජ” ලබා දෙන අතර එහි මිල රුපියල් මිලියන 03 සිට 04 දක්වා වේ.
ශ්‍රී ලංකාවේ වකුගඩුවක් මිලට ගැනීම හෝ විකිණීම නීති විරෝධී වුවද ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව විශාල මුදලකට වකුගඩු මිලදී ගැනීමට හා විකිණීමට ජනතාව පොළඹවන අතර ක්ෂණික වකුගඩු බද්ධ කිරීම් අවශ්‍ය වන රෝගීන් සහ මූල්‍ය දුෂ්කරතාවන්ට හසු වූ නිරෝගී පුද්ගලයින් සූරාකයි. මෙම ජාවාරම ශ්‍රී ලංකාවේ සාර්ථක වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ අවයව බද්ධ කිරීම පිළිබඳ රෙගුලාසි අපැහැදිලි වන අතර නීතිවිරෝධී වකුගඩු වෙළඳාම වේගවත් වෙමින් පවතී. මෙය ඩොලර් මිලියන ගණනක කළු වෙළඳපොළ ව්‍යාපාරයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (උ්‍යධ) අනුව, දකුණු ආසියාව දැන් ගෝලීය වශයෙන් බද්ධ කිරීමේ සංචාරක කේන්ද්‍රස්ථානය වේ. සෑම වසරකම 1500 කට අධික ශ්‍රී ලාංකිකයෝ වකුගඩු විකුණති.”
බේබි ෆාම්
ලංකාවේ විවෘත ආර්ථිකය බිහිවී වසර කිහිපයක් යන විට එනම් 1980 වන විට ඉතා විශාල ප්‍රමාණයක් “ළදරු ගොවිපළවල්” (ඊ්ඉහ f්රප) බිහිවූ බව බොහෝ අයට දැන් මතක නැත. 1980 වසරේ ළදරුවන් 11,000 පමණ පිටරටවලට ලබාදී ඇති බවට තොරතුරු ඇත. 1987 වසරේ ඉතා අමානුෂික ලෙස පවත්වාගෙන ගිය මෙවැනි ළදරු ගොවිපළක් පොලිසිය විසින් වටලන ලදී. එහිදී අලුත උපන් බිළිඳු දරුවන් 20ක් සහ කාන්තාවන් 22ක් සොයා ගන්නා ලද අතර මේ නිසා රජයට ඇති වූ බලපෑම මත මෙසේ දරුකමට හදා ගැනීම සඳහා පිටරටවලට අධිකරණ ක්‍රියාවලියකින් තොරව දරුවන් ලබා දීම තහනම් කරන ලදී. වාර්තා වන තොරතුරු අනුව ඩොලර් 30කට පමණ මෙම දරුවන් මිලදී ගෙන ඇති අතර එම මිල මෙන් තිස් ගුණයකට පමණ විදේශයන්ට ඔවුන් අලෙවි කරනු ලැබ ඇත.
මෙම වසර මුලදී නැවතත් මොරටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙවැනි ළදරු ගොවිපළවල් දෙකක් පිළිබඳ ජනමාධ්‍ය මඟින් අනාවරණය විය. පොලිස් වැටලීමේදී එම ස්ථානවල ගැබිනි මව්වරුන් දොළොස් දෙනෙක් සිට ඇති අතර තවත් මව්වරුන් පස්දෙනෙක් තම දරුවන් තුන්වන පාර්ශ්වයකට ලබා දී තිබුණි. තවත් මව්වරුන් තිදෙනෙක් තම අලුත උපන් බිළිඳුන් සමග එහි සිට ඇත. එම ස්ථානවල දී මීට පෙර අලෙවි කරන ලද බිළිඳුන් 30කගේ පමණ ලේඛනගත තොරතුරු හමුවී ඇත. විවිධ අතවරයන්ට ලක්ව ගැබිනි බවට පත් කාන්තාවන් සහ වෙනත් ගැටලුවලට මුහුණ දුන් කාන්තාවන් මෙසේ මෙම ස්ථානවල රඳවා තබාගෙන මෙම ළදරු ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
දැන් අපි ඔබ සමග ක්ෂේත්‍ර කිහිපයක සංඛ්‍යා ලේඛන දත්ත ඔස්සේ ලාංකේය සමාජය තුළ මතුව තිබෙන මානුෂික බව බිඳ වැටීම පිළිබඳ තත්වයන් පිළිබඳ සාකච්ඡාවට ලක් කළෙමු. අප කතාබහට ගෙන ආවේ තරමක් අඩුවෙන් සාකච්ඡාවට ලක් වන ක්ෂේත්‍ර සහ සංඛ්‍යා දත්තයි. මෙහිදී බහුලවම සාකච්ඡාවට ගැනෙන මිනීමැරුම් අපරාධ, සියදිවි නසාගැනීම්, ස්ත්‍රී දූෂණ සහ වංචා දූෂණ ආදිය ගත්විට තත්වය වඩාත් බරපතළව දැනෙනු ඇත. එමෙන්ම අප ලාංකේය සමාජය මෙසේ මානුෂීය බැවින් දුරස්වීම, අසංස්කෘතික එකක් බවට පත්වීම සඳහා හේතු පාදක වන සමාජ ආර්ථික ස්වභාවය පිළිබඳ සාකච්ඡා කළෙමු.
සංඛ්‍යා ලේඛන දත්තවලින් පෙන්වන තත්වය කුමක් වුවත් මෙම සමාජ ආර්ථික පදනමේ වෙනසක් සිදු නොවේ නම් මෙම සමාජ ස්වභාවයේ වෙනසක් සිදු නොවන බව නම් ඉතා පැහැදිලිය.
– චන්ද්‍රික අධිකාරි (ලෙෆ්ට් සඟරාව)