වත්මන් සමාජය තුළ මිනිසුන් පිරිහීමට ලක්ව ඇතැයිද. ආත්මාර්ථකාමි වී ඇතැයිද, මනුෂ්‍යත්වය පලාගොස් සමාජය නරුම චින්තනයකට ගොදුරුවී ඇතැයි ද යනුවෙන් වන චෝදනාවක් නිතර විවිධ පාර්ශ්වවලින් පැවැසෙනු අසන්නට ලැබේ. එය මුසාවක් නොව සත්‍යයකි. වත්මන් සමාජය තුළ පොදුවේ මිනිසුන් ආත්මාර්ථකාමී කරනු ලැබ තිබේ. සමාජ චින්තනය තුළින් මනුෂ්‍යත්වය බැහැර වී ඒ වෙනුවට අමනුෂ්‍යත්වය, නරුමකම ආදේශවී තිබේ. ඒ ඇයි? මෙය මිනිසුන්ගේ පෞද්ගලික වැරැද්දක්ද? නැතිනම් මේ කාලයේ හැටිද? එසේත් නැතිනම් සමහරු කියන ලෙස මිනිසුන් උපතින්ම නරකද?
මිනිසුන් උපතින්ම නරක හෝ ආත්මාර්ථකාමි ලෙස හැඳින්වීම නිවැරැදි නොවේ. ඉතාම සරලව ගත්තද උපදින කිසිම බිළිඳෙක් උපතේදී ආත්මාර්ථකාමී, දුෂ්ට, නපුරු, නරුම අය නොවෙති. බිළිඳුන්ගේ මනස තුළ සමාජ අත්දැකීම් හෝ දැනුම නැත. එය නිකැලැල්ය; පිරිසිදුය. එහෙත් එම අහිංසක කිරිකැටි බිළිඳුන් සමාජය තුළ වර්ධනය වී වැඩිහිටියන් වන විට ඔවුන්ගේ චින්තනයට සමාජය විසින්, අධ්‍යාපනය විසින්, විවිධ ආයතන විසින් මෙම විනාශකාරී අදහස් ඇතුල් කරන අතර ප්‍රායෝගික ජීවිතය, ආර්ථික රටාව, විසින් ඔවුනට තමන් කවුරුන් විය යුතුදැයි බලකරනු ලබයි. එක් එක් අය වෙනස් වන්නේ මේ නිසාය. තනි තනි මිනිසුන්ගේ වෙනස්කම් පසෙකලා පොදුවේ සමාජය තුළ වර්ධනය වී සමාජයේ පොදු පැවැත්මට පවා අභියෝග කර ඇති මෙම මනෝභාවයන්, හැසිරීම් හා චින්තනයන්ගේ සැබෑ හේතුව, ඒවායේ සැබෑ පදනම, සැබෑ උල්පත් මොනවාදැයි නිවැරැදිව වටහා ගැනීම වඩා යහපත් සමාජයක්, හොඳ මිනිසෙක් නිර්මාණය කර ගැනීමේදී වැදගත් වේ.
දේපළ මත පංති ඇතිවූදා සිට…
මානව සමාජය තුළ සමහර මිනිසුන් තුළ වත්මනයේ අප දකින ඉහත සඳහන් දුර්ගුණ ඇති වූයේ මානව සමාජයේ ආරම්භයේ සිට නොවේ. මානව පරිණාමයේ මුල්ම යුගයේ, තම යැපීමේ මාධ්‍යයන් සොයා ගනිමින් නිෂ්පාදනයේ සරලම අවස්ථාවේ පැවති ප්‍රාථමික සාමූහික ක්‍රමය ලෙස මානව විද්‍යාඥයන් විසින් නම් කරන ලද යුගයේදී මිනිසුන් සාමූහිකව, ජීවත්වූ බවට සාක්ෂි හමුවී තිබේ. එය මානව විද්‍යඥයන් විසින්, පුරා විද්‍යාව විසින්, ප්‍රාග් ඓතිහාසික තොරතුරු විසින් තහවුරු කරනු ලැබ තිබේ.
මිනිසුන් එකිනෙකාට එරහිව ක්‍රියාකරන ආත්මාර්ථකාමී දුෂ්ටයන් බවට පත්වී ඇත්තේ සමාජය තුළ පෞද්ගලික දේපළ බිහිවී දේපළ මත සමාජය පංතීන්ට බෙදීම් සිදුවීමත් සමගය. දේපොළ පෞද්ගලිකව අත්පත් කර ගැනීම වෙනුවෙන්, ලාභ ලැබීම වෙනුවෙන්, පරිභෝජනවාදී සැප ජීවිතයක් වෙනුවෙන් එක් ජන කොටසක් විසින් තවත් ජන කොටසක් පීඩාවට පත්කිරීම ආරම්භවූයේ සමාජය තුළ පංති බිහිවීමත් සමගය. එබැවින් මේ දුර්ගුණයන්ගේ සැබෑ පදනම පෞද්ගලික දේපොළ බව පැහැදිලි වේ.
මුල්ම පන්ති සමාජය වූ වහල් හිමි සමාජයේ වහල් හිමියන් බවට පත්වූ පංතිය වහල් හිමි රාජ්‍යය තුළ බලයක් බවට පත්ව එතැන් සිට තමන් වැනිම වූ මිනිසුන් වහලුන් බවට පත්කොට කස පහර දෙමින් වැඩගත් හැටි ඉතිහාසය පෙන්වා දී තිබේ. වහල් සමාජයේ පදනම වූයේ දේපොළ නිර්මාණය කිරීම සඳහා දේපොළ රැකගැනීම සඳහා වහලුන්ද දේපළක් ලෙස යොදා ගැනීමය. එහිදී වහල් හිමියන් වහලුන්ට (මිනිසුන්ට හා ගැහැනුන්ට) සැලකුවේ සතුන්ට සේය. එය සාධාරණය කරන දාර්ශනික චින්තනයක් හා මතවාදයක්ද වහල් හිමියන්ට සේවය කළ උගතුන් විසින් නිමවා තිබුණි. රෝමයේ වහල් ක්‍රමය පැවති යුගයේ වහලුන් හැඳින්වූයේ ‘කථාකරන උපකරණ’ ලෙසය. ඔවුන් අඩු ගණනේ ජීවියෙක් ලෙසවත් නොසලකන ලදී. වහලුන් ‘කථාකරන උපකරණ’ ලෙස හැඳින්වූයේ රෝමයේ ක්‍රි.පූ. 100 පමණ කාලයේ සිටි විශිෂ්ට කවියෙක් හා දාර්ශනිකයෙක් ලෙස සැලකෙන සිසෙරෝ (ක්‍රි.පූ. 106-43) නැමැත්තාය. වහලුන්ගෙන්, සතුන්ගෙන් මෙන් වැඩ ගැනීම, වහල් ගැහැනුන් දූෂණය කිරීම, වහලුන් පුහුණු කොට ද්වන්ද යුද්ධවලට හෝ සතුන් සමග සටනට යොදවා ඉන් ආශ්වාදයක් ලැබීම ආදී අමානුෂික ක්‍රියාවලින් පිරුණු වහල් සමාජයේ ඒ සඳහා පදනම වූයේ පෞද්ගලිකව දේපළ ඉපයීමේ ආශාවත්, එම දේපළ ශුද්ධ වූ දේ ලෙස රකින රජයක්, නීතියක් හා මතයක් ඇතිකිරීමත් එය පදනම් කර ගනිමින් ප්‍රධාන පංති දෙකක් වහල් හිමි හා වහල් ලෙස බිහිවීමත්ය.
වහල් ක්‍රමයෙන් පසුත්…
සමාජ සංවර්ධනයේ එක්තරා වකවානුවකදී වහල් ක්‍රමය බිඳවැටුනද පංති සමාජය බිඳවැටුණේ නැත. යුරෝපයෙත්, සමහර ආසියානු රටවලත් ඒ වෙනුවට වැඩවසම් ක්‍රමය ඇතිවිය. එහිදී දේපොළ හිමි පංතිය වූයේ ඉඩම් හිමියන් හා රදලයන්ය. දේපොළ අහිමි පංතිය වූයේ ප්‍රවේණි දාසයන්ය. වහල් ක්‍රමය තුළදී මෙන්ම මෙහිදීද ඉඩම් හිමියන් හා රදලයන් මැර හමුදා නඩත්තු කරමින් ප්‍රවේණි දාසයන්ගෙන් වැඩගත් හැටිද, ඔවුනට වංචා කළ හැටිද, ඔවුන් කුසගින්නේ සිටියදී ඔවුන්ගේ ශ්‍රමයට හිමි ධාන්‍ය පංගුවෙන් පවා බදු අය කළ හැටිද, ඉඩම් හිමියන් විසින් තමන් දකින ලස්සන ඕනෑම තරුණියක් අඹුකමට ගත් හැටිද දකින්නට ලැබුණි. එය ඉතාම අමානුෂිකය. අසාධාරණය. මිනිසුන් එම අමානුෂික තත්වයට පත්කරන ලද්දේ පෞද්ගලික දේපළ විසිනි.
ලංකාව වැනි ආසියාතික නිෂ්පාදන රටාවක් පැවැති රටවලද මෙම වෙනස පැවතුණි. රජු හා රදලයන් එක් පංතියක් නියෝජනය කළ අතර සාමාන්‍ය ජනයා පීඩිත පංතිය විය. එහිදී සාමාන්‍ය මිනිසුන්ට සලකනු ලැබුයේ ඉතා පහත් ලෙසය. සමාජය කුලවලටද බෙදනු ලැබ තිබුණි. මෙය ඉන්දියාවේදී ඉතාම පීඩාකාරී විය. ඉහළ කුලයේ කෙනෙකුගේ වත්තේ ළිඳෙන් පහළ කුලයේ අයට වතුර ගැනීම පවා තහනම් විය. ඒ පංති සමාජ පරතරය පවත්වාගෙන යාමටය. මෙවැනි උදාහරණ ඕනෑ තරම් තිබේ. ඉන් අප වටහාගත යුත්තේ ඉතිහාසය පුරාම මිනිසුන් දුෂ්ටයින් ආත්මාර්ථකාමීන්, නපුරන් බවට පත් කළේ පෞද්ගලික දේපළ ක්‍රමයන් විසින් බවය.
නූතන ධනවාදය තුළ කුමක් වීද?
යුරෝපා වැඩවසම් ක්‍රමය ගර්භාෂය කොට ගෙන ඒ තුළ කළල බීජයක් ලෙස වර්ධනය වූ ධනවාදී ආර්ථික ක්‍රමය යුරෝපා වැඩවසම් ක්‍රමය බිඳ දමමින් කරළිගත වූයේ මේ සියලු දුෂ්ටත්වයන්, අශිෂ්ටත්වයන් නරුමකම් නැති කොට සමාජය තුළ සමානත්වය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බව පවසමිනි. ඒ නිසාම ධනපති විප්ලවයන්හි සටන්පාඨ වූයේද සහෝදරත්වය, සමානත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයය. එලෙස බිහිවූ ධනවාදය ආක්‍රමණ, බලහත්කාරය, කොල්ලකෑම හා විවිධ ජනකණ්ඩායම් හා රටවල් යටත් කර ගැනීමේ මහා ප්‍රයත්නයක් මගින් ධනපති ක්‍රමය ලෝකය මුළුල්ලේම ස්ථාපිත කළේය.
ධනවාදය බිහිවන විට කුමන සටන්පාඨ පෙරට දැමුවද පෙනුමෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘නිදහස’ ඇති කළද එය හරයෙන් පැරණි දුෂ්ටකම්, පැරණි ම්ලේච්ඡකම්, පැරණි නරුමකම් සඟවාගෙන ඒවා නව ආකාරයකින් ප්‍රකාශ වීමට ඉඩහළේය. ධනවාදයට එසේ නැතිව පැවතීමට නොහැක. මන්ද ධනවාදය යනු පෞද්ගලික දේපොළවල නවතම මාදිලිය වූ නිසාය. එය ලාභ ඉපයීම තම ආත්මය කොටගත් සමාජ ක්‍රමයක් විය. මානව සමාජයේ දුර්ගුණ ඉවත්කිරීම වෙනුවට එයට කළ හැකි වූයේ ඒවා අලුත් ආකාරයකින් සමාජගත කිරීමය.
ධනවාදය පිළිබඳ විග්‍රහ කරමින් මාක්ස් – එංගල්ස් විසින් ලියූ කොමියුනිස්ට් ප්‍රකාශනයේ මේ ගැන ඉතා අගනා විග්‍රහයක් ඉදිරිපත්කර තිබේ. එය අදටද වලංගුය. ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේ මෙලෙස සඳහන් වේ. (34 පිටුව) “රදල සමාජයේ නෂ්ටාවශේෂයන්ගෙන් ඇතිවුණු සමකාලීන ධනපති සමාජය පංති ප්‍රතිඝතයන් විනාශ කර නැත. එය අලුත් පංතීන්, පෑගීම සඳහා නව තත්වයන්, පැරණි සටන් ක්‍රම වෙනුවට, අලුත් සටන් ක්‍රමද ඉදිරිපත් කළා පමණි”
ධනවාදයේ මෙම ස්වාභාවය පිළිබඳ කොමියුනිස්ට් ප්‍රකාශනයේ මෙසේද සඳහන් වේ. (36 පිටුව) “ධනපති පංතිය ආධිපත්‍ය ලැබූ හැම තැනකම සියලු රදලවාදී, පීතෘමූලික, පරමාදර්ශී (චාම් ගැමි ජීවිත) සබඳකම් විනාශ කළේය. ‘ස්වභාවික ස්වාමිවරුන්ට’ මිනිසා බැඳ තිබුණු අනේකවිධ රදලවාදී බන්ධනයන් අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමූ ධනපති පංතිය මිනිසෙකු හා මිනිසෙකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස ‘මුදල් ගෙවීම් හැර’ වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොකළේය. ආගමික භක්තියද, ධීර – වීර උනන්දුවද අවරසිකවාදී අනුරක්තතාවය අරභයා වූ ස්වර්ගමය ආනන්දයන් ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වා දමන ලදී. එය පෞද්ගලික අගය හුවමාරු වටිනාකම බවට පෙරළන ලදී. එමෙන්ම සංඛ්‍යා විරහිත, උදුරාගත නොහැකි, වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘදසාක්ෂියට කොහෙත්ම
එකඟ නොවන එකම නිදහස වන වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලීය. වචනයකින් කියතොත් ආගමික හා දේශපාලනික මායාවන්ගෙන් වසා තිබුණු සූරාකෑම වෙනුවට එය විවෘත, ලජ්ජා විරහිත, ඍජු, ක්‍රෑර සූරාකෑම ආදේශ කළේය.”
තරමක් දිගු මෙම විග්‍රහය අප උපුටා දැක්වූයේ ධනවාදයේ උපන්ගෙයි ස්වභාවය කුමක්දැයි තේරුම් ගැනීමට මෙය වැදගත් නිසාය. එම ධනවාදය දැන් අර්බුදයට ගොස් යල්පැන තිබේ. එවිට ධනවාදයේ මෙම ලැජ්ජා විරහිත, ක්‍රෑර සූරාකෑමේ ස්වභාවය, කොල්ලකාරී ස්වභාවය වඩාත් වැඩි වේ. සමාජය තුළ දුෂ්ටත්වයට, නරුමකමට නව පනක් ලැබෙන්නේත් එය සමාජ දේහය පුරා පිලිකාවක් මෙන් පැතිර යන්නේත් මෙම තත්වය තුළය.
වර්තමාන සමාජයේ අප දකින මෙම දුෂ්ටත්වය, ම්ලේච්ඡත්වය, නරුමකම යනු හුදු පුද්ගල වැරැද්දක් හෝ අහම්බයක් නොව පෞද්ගලික දේපොළ මත පංති සමාජය බිහිවූදා සිට පෞද්ගලිකව දේපළ අත්පත්කර ගැනීමේ වුවමනාව හා ආශාව ඇති කළ දා සිට ඒ වෙනුවෙන් සූරාකෑම, කොල්ලකෑම හා ආත්මාර්ථකාමී වීම නිර්මාණය වූ දා සිට පැවැත එන්නක් බව පැහැදිලිය. දැන් වර්තමානයේ සිදුව ඇත්තේ අර්බුදයට පත් ධනවාදය තුළ මේවා වර්ධනය වීමය.
නරුමකම ප්‍රකාශයට පත්වන හැටි
වර්තමාන සමාජයේ ධනපති පංතිය සේම ඒ පසුපස යන ධනපතීන් වීමේ සිහින දකින, ධනවාදය විසින්ම පරිභෝජනවාදයට ඇද දැමූ බහුතරයක් මිනිසුන්ගේ හැසිරීම දෙස බලන විට වත්මන් සමාජය මුහුණපා ඇති ඛේදවාචකය හොඳින් පෙනේ. බොහෝ දෙනා තුළ එක්තරා කලක තිබූ පොදු වගකීම්, සමාජ වගකීම්, ධනවාදය විසින්ම පලවාහැර ආත්මාර්ථකාමිත්වය ජනිත කර තිබේ. තනිවම ‘ජීවිතය ජය ගැනීමට’ තරගයක යෙදෙන, සාමූහිකව වැඩ කොට එකට එක්ව අභියෝග ජය ගැනීම සඳහා සිටින මිනිසාම අනෙකා කරගනිමින් පොදු වගකීමකින් තොරව සමාජයේ හැසිරෙන මිනිසෙක් නිර්මාණය වී තිබේ.
මුදල් වෙනුවෙන්, ලාභ වෙනුවෙන් වනාන්තර කපා වනසන අයුරු, ගංගාවල ඉවුරු වනසමින් වැලි ගොඩදමන අයුරු, පරිසරයට හානි කරමින් පස් කපන, ගල් කඩන අයුරු අපට දැකිය හැක. මැණික් සෙවීම සඳහා ඉවක් බවක් නැතිව පතල් කපමින් මහ පොළොව විනාශ කරන අයුරු අපට පෙනේ. ආර්ථිකමය ලාභ වෙනුවෙන් පහත් බිම් ගොඩකරන අයුරු, කඩොලාන කපා කලපු වනසන අයුරු, ඇළ දොළට ගංගාවලට අපද්‍රව්‍ය මුදාහරින අයුරු, මිනිස් වාසභූමි තුළම කුණු කඳු ගොඩගසන අයුරු, තනි තනි මිනිසුන් තමන්ගේ කසළ මහමඟ දමා යන අයුරු, ලාභ වෙනුවෙන් ආහාරවලට වස විස කලවම් කොට විකුණන අයුරු අපේ රටවල සුලභ දේවල්වී තිබේ. බැලු බැලු අත කපටින්, තක්කඩීන්, වංචාකරුවන්ය. ඔවුන් දැන් ආගමික මධ්‍යස්ථාන තුළ පවා දැකිය හැක. මත්ද්‍රව්‍ය බෙදාහැරීම, පාසල් ළමුන්ට පවා මත්ද්‍රව්‍ය විකිණීම, අසරණ වූ අයට විපතට පත්වූ අයට පවා වංචා කොට මුදල් ඉපයීම දසත දැකිය හැක. සමාජයක් ම්ලේච්ඡත්වයට නරුමත්වයට පත්වීමේ ලක්ෂණ මේවාය. මෙය මානව සමාජයකට ශිෂ්ටාචාරගත මිනිසාට දරාගත නොහැක. මෙහි සැබෑ හේතු සොයාගත යුත්තේ ඒ නිසාය.
නරුමකමේ සැබෑ හේතු
නරුමයා යනු කව්ද? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වරක් ඔස්කා වයිල්ඞ් නම් බටහිර දාර්ශනිකයා පවසා තිබුණේ ‘නරුමයා යනු සෑම දෙයකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා පුද්ගලයාය’ යනුවෙනි. මෙම නරුම චින්තනය මිනිසා තුළ ඉබේ පහළ වූයේ නැත. එය ධනවාදී අර්ථික චින්තනය විසින් ඇති කරන ලද්දකි. ධනවාදය පදනම් වී ඇත්තේ ‘ලාභ’ ලැබීමේ අරමුණ මතය. ඒ සඳහා ධනවාදය විසින් ‘වෙළඳ භාණ්ඩ’ නිපදවනු ලැබේ. වෙළඳ භාණ්ඩ නිපදවීමේ අරමුණ ලාභ වෙනුවෙන් විකිණීමය. ඒ නිසා ධනවාදය තුළ මිනිස් චින්තය හැඩගස්වා ඇත්තේ හැකිතරම් මුදල් ඉපයීම සඳහාය. ගත හැකි තරම් ලාභ ලැබීම සඳහාය. සෑම දෙයකම වටිනාකම අබිබවා ‘මිල’ ඉදිරියට එන්නේ ඒ අනුවය. සියල්ල මිල කරනු! යන්න ධනවාදයේ සටන් පාඨය වේ. මෙම චින්තනය සමාජගත වූ විට ඒ තුළ බිහිවන්නේ නරුම සමාජයකි.
ධනවාදය තුළ ලාභ ලැබීමට, මුදල් ඉපයීමට, දේපළ රැස්කිරීමට ප්‍රාග්ධන හිමියා සිය ප්‍රාග්ධනය යොදා ගනියි. මෙහිදී ප්‍රාග්ධනය නැති සමහරු දේශපාලන බලයත් මැර බලයත් යොදා ගනිති. මහා පරිමාණයෙන් මුදල් ඉපයීම සඳහා එක්කො ප්‍රාග්ධනය තිබිය යුතුය. නැතිනම් බලය තිබිය යුතුය. වර්තමානයේ ජාවාරම්කරුවන් දේශපාලකයන් බවටත්, ධනපති දේශපාලකයන් ජාවාරම්කරුවන් බවටත් පත්ව තිබෙන්නේ මේ නිසාය. ප්‍රාග්ධන හිමියාට පවා නීති උල්ලංඝනය කොට වැඩිපුර ලාභ ලැබීමට දේශපාලන බලය අවශ්‍ය වේ. එවිට ව්‍යාපාරිකයා හා දේශපාලකයා එකිනෙකාගෙන් යැපෙන අය බවට පත්වේ. ජාවාරම්කරුවෝද එසේය. ධනවාදය තුළ ලංකාවේ දේශපාලනය පාදඩකරණය වී ඇත්තේ මේ අනුවය. ධනපති දේශපාලකයන් නරුමයන් බවට පත්වන අතර ඔවුන් විසින් එවැනි අය බිහිකරනු ලබයි.
වටිනාකම හා මිල
නරුම චින්තකයා සමාජගත වූ විට ඊට ගොදුරු වන හැමදෙනාම ‘මිල’ ගැන, ‘මුදල්’ ගැන පමණක් සිතති. එවිට ඔවුහු ගස්වල මිල දනිති. එහෙත් වනාන්තරයේ වටිනාකම නොදනිති. ගල්වල, පස්වල මිල දනිති. එහෙත් පරිසරයේ වටිනාකම නොදනිති. පුරාවස්තුවල මිල දනිති. එහි වටිනාකම නොදනිති. එවිට වෙහෙර බිඳ නිදන් සොයති, නිදන් සෙවීමට බුදු පිළිමවල සිරස බිඳිති. එවිට බෞද්ධකම් අදාළ නැත. දළ වෙනුවෙන් ඇතුන් මරති. ඒ නරුම චින්තනයේ හැටිය.
මහා පරිමාණ සමාගම් තම කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයකට ඉවත් නොකොට ගංගාවලට හෝ පොළවට එක්කරන්නේ ඇයි? තම වියදම් අඩු කර ගෙන ලාභ වැඩි කර ගැනීමටය. ඉන්වන පරිසර හානිය ඔවුන්ට අදාළ නැත. ආහාර නිෂ්පාදකයන් ආහාර කල්තබා ගැනීමට ඒවාට ‘වස’ දමන්නේ ඇයි? ආහාරවල ඇති වස ඉවත් නොකරම විකුණන්නේ ඇයි? වැඩිපුර විකුණා, වැඩිපුර ලාභ ලැබීමටය. ඉන් මිනිසුන් ලෙඩ වී සමාජයට වන විනාශය ඔවුන්ට අදාළ නැත. ඔවුන්ගේ මනසේ ඇති එකම සංකල්පය ‘ලාභ’ උපරිම කර ගැනීම පමණකි. ලොව මාළු අල්ලන සමාගම් මුළු මුහුදේ සියලුම මාළු එක දිනයකදී අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? වැඩිපුර ලාභ ඉපයීම සඳහාය. අනාගත පරපුරට මත්ස්‍ය සම්පත ඉතුරු කොට එය පරිස්සමෙන් පරිහරණය කිරීමේ සිතුවිල්ල ඔවුනට නැත.
කුමන ක්ෂේත්‍රය ගත්තද එහි අරමුණ ලාභ ලැබීම නම් ඒ තුළ නරුමකම බිහිවේ. වෛද්‍ය සේවය පෞද්ගලික කොට මුදලට සීමා කළ විට ලෙඩුන් පිළිබඳ මානුෂීය හැඟීම පහව යන අතර එවැනි පෞද්ගලික රෝහල්වලට රෝගියා යනු පාරිභෝගිකයෙකු වේ. එවිට මනුෂ්‍යත්වය පලායයි. ප්‍රවාහන සේවය පෞද්ගලික කොට එය ලාභ ඉපයීමේ මාර්ගයක් කළ විට සිදුවන විනාශය අපි දකිමින් සිටිමු. පෞද්ගලික බස් රථ එකිනෙකා පසුකර යාම, ‘කපාගෙන යාම’, පොල් පටවනවාසේ මිනිසුන් පැටවීම, ආදී දේ විසින් පෙන්වන්නේ එයයි. මෑතකදී පස්සර ලාහුගල සිදුවූ බස් අනතුරට හේතුවද ලාභ වෙනුවෙන් දුවන මේ තරගයම වේ.
නිපදවීම නොකළ යුතුද?
මිනිස් අවශ්‍යතා සඳහා භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුය. එය අතීතයේ මෙන් තනි තනි මිනිසාට තනිව කරගත නොහැක. ඒ සඳහා සමාජ සංවිධානයක්, ආර්ථික සැලැස්මක් අවශ්‍ය වේ. මානව අවශ්‍යතා සඳහා පරිසරයේ සම්පත් යොදාගත යුතුය. එහෙත් ඒ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව පරිසරය අනාගතයටද ආරක්ෂා කරමිනි. ගස් කැපීම, පස් කැපීම, ගල් කැඩීම, මුහුදේ මාළු ඇල්ලීම, මහා පරිමාණ වගා ආදිය ගැටලුවක් වන්නේ පොදු සැලස්මකින් තොරව ලාභ ලැබීමේ තරගයකට ඒවා ලක්කල විටය. මිනිසුන්ගේ ආහාර අවශ්‍යතා සඳහා ඉස්සන් වගා කළ යුතුය. එහෙත් එය කළ යුත්තේ පහසුවට කඩොලාන කපාදමා කලපු ගොඩකර පරිසරය විනාශ කරමින් නොවේ. එලෙස සියල්ල රකිමින් නිෂ්පාදනය කරනවිට තනි තනි පුද්ගලයන්ට මහා පරිමාණ ලාභ ලැබිය නොහැකි වේ. එබැවින් ධනවාදය තුළ මේ සැබෑ සංවර්ධනයේ මූලධර්මය ක්‍රියාවට නැගෙන්නේ නැත.
මානව සමාජයක පවතින සමාජ ආර්ථික ක්‍රමයේ අරමුණ සකස් විය යුත්තේ මානව ශ්‍රමය හා දැනුමත් පරිසරයේ ඇති ස්වභාවික සම්පත් නිවැරැදිව කළමනාකරණය කොට මිනිස් වුවමනාවන් සඳහා සැලසුම් සහගතව නිෂ්පාදනය කොට එම නිෂ්පාදනය හා එහි ප්‍රතිලාභ මානව ප්‍රජාවට සාධාරණව ලැබෙන ක්‍රමයක් ලෙසය. එහෙත් ධනවාදය එවැන්නක් නොවේ. එහි ඇත්තේ ලාභ ලැබීමේ තනි තනි පුද්ගලයන් අතරද සමාගම් අතරද ලාභ ලැබීමේ නොනිමි තරගයකි. එය එලෙස පවතිද්දී පරිසරය රැකීම හෝ මානව ගුණධර්ම රැකීමට හෝ මනුෂ්‍යත්වය රැකගැනීමට හෝ සිතීම විහිළුවකි.
කාල් මාක්ස් පැහැදිලි කර ඇති පරිදි ධනවාදය තුළ මිනිසා පරත්වාරෝපණයට ගොදුරු වේ. ධනවාදය තුළ මිනිසාට තමා අහිමි වේ. මිනිසුන් භාණ්ඩ නිෂ්පාදනය කළද ඒවායේ අයිතිය ඔවුනට නැත. තමා නිපදවන භාණ්ඩයෙන් තමා පිටස්තර කර තිබේ. ධනවාදය තුළ හැම දෙනාම අනාගතය ගැන බියකින් ජීවත් වෙති. තමන්ට සමාජ රැකවරණයක් නැති සෙයක් ඔහුට දැනේ. ‘තමා හිසට තම අතමය සෙවනැල්ල’ නම් ධනපති චින්තනයේ ආප්තෝපදේශය ඔහුට සිහිපත් වේ. තමන්ට රැකවරණයක් නැති සමාජයක් රැකීමට ඔහුට අවශ්‍ය නොවේ. තනිවම ජීවත්වීමට අරගල කිරීමත් ඒ සඳහා සමාජයේ පොදු පැවැත්ම නොසලකා, කටයුතු කිරීමත් සඳහා වන චින්තනය ඇති වන්නේ ඒ තුළය. එබැවින් ධනවාදී ආර්ථික රටාව හා සමාජ සංකල්ප තුළ මිනිසා පිටස්තරයෙක්වීම, එනම් පරත්වාරෝපණයට පත්වීම නිසාද නරුමකම නිර්මාණය වේ.
මානව වර්ගයාගේ වගකීම
“මානව සංහතිය එක්කො සමාජවාදය කරා පෙරට නැතිනම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇතැ”යි මීට වසර 150 කට පෙර ධනවාදයේ අර්බුදය ගැන විග්‍රහ කරමින් එංගල්ස් විසින් පවසා තිබුණි. දැන් ධනවාදය තුළ, විශේෂයෙන් නව ලිබරල්වාදය තුළ සමාජය ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසටය. කොවිඞ් වසංගතය තුළ ඉන්දියාවට සිදුව ඇති දේ දකින විට මෙය පැහැදිලි වේ. ලංකාවද සිටින්නේ ඒ පාරේමය. ‘නරුමකම’, ම්ලේච්ඡත්වය තුළ හමුවන දෙයකි. සතුන්ගෙන් වෙනස් වී උසස් මනසක් තර්කානුකූල සිතීමේ හැකියාව සහිත මොළයක් සහිතව, ශ්‍රමය වැගිරීමේ, නිෂ්පාදනය කිරීමේ සුවිශේෂ හැකියාව සහිතව පරිණාමය වූ මිනිසා මෙවැන්නෙක් නොවේ. එහෙත් පංති සමාජය ධනවාදය මිනිසා ජාතිවාදය ආගමික අන්තවාදය වැළඳගත්, මනුෂ්‍යත්වය පලාගිය ආත්මාර්ථකාමී නරුමයෙක් බවට පත්කර තිබේ නම් ඒ මේ වැරදි සමාජ ආර්ථික ක්‍රමය විසිනි.
ලාභ ලැබීම, තව තවත් ලාභ ලැබීම, කෙසේ හෝ ලාභ ලැබීම, ඒ සඳහා සියල්ල මිල කිරීම, යමක වටිනාකම ගැන නොසිතා මිල ගැන පමණක් සිතීම, දේපළ රැස්කිරීමට එකිනෙකා තරගවැදීම, ආත්මාර්ථකාමී වීම ධනවාදී ආර්ථික ක්‍රමයේ නිසග ජානගත ලක්ෂණ වේ. එබැවින් ධනවාදය පවතිද්දීම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරමින්ම, නීතිවලින්, උපදෙස්වලින්, විවේචනවලින්, කම්පාවීමෙන්, මානව සමාජය මේ ඛේදවාචකයෙන් මුදාගත නොහැක. ඒ සඳහා මේ ඛේදවාචකයේ සැබෑ හේතුව හඳුනාගෙන එය වෙනස් කිරීමට සවිඥාන මිනිසුන් පෙරමුණ ගත යුතුය. ධනවාදය තුළ වෙසෙන සියලු මිනිස්සු හා ගැහැනු නරුමයෝ නොවෙති. සමාජය තුළ පැතිරෙන මේ විනාශය දකින, එයට ගොදුරු නොවූ මිනිස්සුද සිටිති. එහෙත් ඔවුන් දැනට බහුතරය නොවේ. මෙම සමාජ ඛේදවාචකය අවබෝධ කර ගත්, එම ඛේදවාචකයට ගොදුරු නොවූ මිනිසුන් මෙම ඛේදවාචකය වෙනස් කිරීමේ සටනේ පෙරමුණ ගත යුතුය. සමාජයට හොඳ නරක කියාදීමෙන් පමණක්, මතවාදී අරගලයකින් පමණක් මෙම තත්වය පැරදවිය නොහැක. ඒ සඳහා නරුමත්වයට උපත දෙන සමාජ ආර්ථික ක්‍රමය ම වෙනස් කළ යුතුය. නරුමකමේ පදනම ධනවාදය නම් ධනවාදය වෙනස් කොට සමාජවාදී සමාජයක් වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. අන් විසඳුමක් අප ඉදිරියේ නැත.
– නිහාල් වීරසූරිය (ලෙෆ්ට් සඟරාව)