අසමානව සැලකීමේ මරණීය ප්‍රතිඵල

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

දුගීබව සහ වෙනස් කොට සැලකීම රෝග පැතිරීමට හේතුවන ආකාරය සියවස් ගණනක් පුරා කෙරුණු පර්යේෂණ වලින් පෙන්වා දී තිබේ. අවසානයේදී විද්‍යාවට මේ අභියෝගයට මුහුණදීමට අවශ්‍යය තල්ලුව කෝවිඩ් වසංගතය විසින් ලබා දේවිද?”
– ඒමි මැක්ස්මන් (Amy Maxmen)

Nature සඟරාවේ පළවූ ලිපියක සිංහල පරිවර්තනයකි

නොවැම්බරයේ එක් අඳුරු දිනයක හර්දිප් සිං ට දුරකථන කෙටි පණිවුඩයක් ගෙන ආවේ තම මවට කෝවිඩ් රෝගය වැළඳී ඇති පුවතයි. ඒ ෆොස්ටර් ෆාම්ස් සත්ව නිෂ්පාදන සමාගමට අයත් කෝවිඩ් පරීක්ෂණ කෙරෙන අංශයෙනි. මේ කෙටි පණිවුඩය ඔහුට ලැබුනේ ෆොස්ටර් ෆාම්ස් සමාගමේ මස් සැකසුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ඔහුගේ හැට තුන් හැවිරිදි මවට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකි නිසාත්, ඇයට ජංගම දුරකථනයක් නොමැති නිසාත් ය. හර්දිප් සිංගේ මව අනෙකුත් සේවක සේවිකාවන් සමග කාර්යබහුලව කර්මාන්ත ශාලාවේ කුකුළුමස් ඇසුරුම් කරමින් සිටි නිසා ඇය වෙත මේ පණිවිඩය ලාබාදීමට හර්දිප් සිංට නොහැකි විය. ඇගේ වැඩ අධීක්ෂකවරුද ඇයට මේ පණිවිඩය ලබා දෙනවා වෙනුවට ඇයට තව තවත් වැඩමුර පැවරුවේය.

එදින සවස තම මව නිවසට පැමිණි පසු සිං මේ පුවත ඇයට පවසා යලිත් සේවයට වාර්තා නොකරන්නැයි ඇවිටිලි කලේ ඇය විසින් රෝගය අනෙකුත් සේවකයන්ට පැතිරවීමට ඇති අවදානම නිසයි. නමුත් ඇයට වැටුප් සහිත නිවාඩු ලබාගැනීමට සුදුසුකම් ඇත්දැයි දැනගැනීමට ඇය සේවය කල සමාගමේ කිසිවෙකු සම්බන්ද කරගැනීමට සිංට දින පහක් ගතවන තුරුත් නොහැකි විය. සිංගේ මව යනු ගිය වසරේ මේ සමාගමේ කෝවිඩ් ආසාධිත වුනු හාරසියයකටත් වැඩි පිරිස අතරේ එක් අයෙක් පමණක් වන අතර එක්සත් ජනපදයේ ආහාර නිෂ්පාදන අංශයේ රැකියාවල නියුතු කෝවිඩ් ආසාධිත අනූදහසක් පමණ පිරිසගෙන්ද  එක් අයෙක් පමණි. ඇමරිකාවට ආහාර සපයන  සහ ඇමරිකානු ආර්ථිකයේ විශාල බරක් උසුලන අංශයක් වීම නිසා කෝවිඩ් වසංගත සමයේ කෘෂි සහ සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු සිං ගේ මව වැනි පිරිස් සැලකෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවල නිරතවන්නන් ලෙසය. මේ භාරදුර වගකීමට ඔවුන් උරදෙන්නේ ඒ සඳහා විශාල මිලක්ද ගෙවමිනි. එක් අධ්‍යයනයකින් සොයාගත් පරිදි කැලිෆෝර්නියාවේ ආහාර සහ කෘෂි නිෂ්පාදන අංශවල නියුතු සේවකයන්ට ප්‍රාන්තයේ අනෙකුත් පුරවැසියන්ට වඩා 40% කෝවිඩ් වැළඳීමේ වැඩි අවදානමක් ගිය වසරේ පැවතී තිබෙනවා. මේ අසමානතාවය මැද තවත් කනගාටුදායක කරුණු තිබේ. පෙර වසරවලට සාපේක්ෂව ලතින් ඇමරිකානු සම්භවයක් ඇති සේවකයන් අතර මරණ සිදුවීම 60% කින් ඉහල ගොස් තිබෙන අතර, මේ වැඩිවීම සුදු ජාතික සේවකයන් අතරේ සිදුවී තිබෙනේ 16% කින් පමණි.

මහජන සෞඛ්‍ය පිලිබඳ පර්යේෂකයන්ට අනූව මෙවැනි අසමානතා වලට සමාජීය වශයෙන් වෙනස්කොට සැලකීම, ඉතා අඩු වැටුප් ගෙවීම, අවම කම්කරු අයිතිවාසිකම් ලැබීම, සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීම, දැරිය හැකි මිලකට නිවාස පහසුකම් නොලැබීම මෙන්ම අධ්‍යාපනයට ඇති අවස්ථා අඩුකම හේතුවී තිබේ. මේ හේතුන් “සෞඛ්‍යයට බලපාන සමාජයීය සාධක” (social determinants of health) ලෙස හදුනාගෙන තිබෙන්නේ මෑතකදී නොව මීට වසර 150ත් පෙර තරම් අතීත කාලයකදීය. පවතින වසංගත තත්වය මේ සාධක වල වලංගු බව නැවත වරක් මතක්කර දී තිබේ. ඇමරිකානු රජය සතු බෝවන රෝග පිලිබඳ ඉහලම ශ්‍රේණියේ විද්‍යාඥයෙකු වන ඇන්තනි ෆවුචි විසින් ඇමරිකාවේ කළු ජාතිකයන්, ලතින් ඇමරිකානු සම්භවයක් ඇත්තන්, සහ ස්වදේශික ඇමරිකානුවන් අතර කෝවිඩ් මරණ ප්‍රමාණය සුදු ජාතිකයන් අතරට වඩා වැඩි වීම පැහැදිලි කරද්දී මෙම සාධක නිරන්තරයෙන්ම සිහිපත් කළේය. මේ අදහස කෙරෙහි අලුතෙන් ඇතිවූ අවධානය විසින් ඒ පිලිබඳ කෙරෙන පර්යේෂණ සඳහා වැඩි වැඩියෙන් මුදල් යෙදවීමට ඇමරිකාවේ රෝග වැළක්වීම සහ පාලනය කිරීම පිලිබඳ ආයතනයට (CDC) සහ ජාතික සෞඛ්‍ය ආයතනයට පෙළඹවීමක් ද කර තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස සෞඛ්‍යයට බලපාන සමාජයීය සාධක පිලිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් අද වනවිට හටගෙන තිබුනත් මේ සාධක ඉවත් කිරීමට තවමත් නොහැකිවී ඇත්තේ මෙහි ඇති සංකීර්ණ දේශපාලනය නිසාය. බෝවන රෝග පිළිබඳව විද්‍යාව රෝග කාරකයන් වෙන්කර හදුනා ගනිමින්, ඒවා මර්ධනය කර ජිවිත බේරාගතහැකි ප්‍රථිකාර සහ එන්නත් පිලිබඳ සීග්‍ර දියුණුවක් අත්පත් කරගනිද්දී සෞඛ්‍යයට බලපාන සමාජයීය සාධක වැලැක්වීමට කිසිවෙක් උත්සාහ දරන බවක්වත් පෙනෙන්නට නැත.

සෞඛ්‍යයට බලපාන සමාජයීය සාධකවලට එරෙහිව සටන් වැදීම මෙතරම් අසීරු කාර්යයක් වී ඇත්තේ ඇයිදැයි සොයා බැලීමට සිතූ මා කැලිෆෝර්නියාවේ කෘෂිකාර්මික කම්කරුවන් බහුලව සිටින සැන් ජෝකින් නිම්නයේ කෝවිඩ් වසංගතය මර්ධනයට යොදා ඇති උත්සාහය සමීපව අධ්‍යයනය කලෙමි. එහි වෙසෙන බොහෝදෙනා එක්සත් ජනපදයෙන් පිටත ඉපදී පසුව සංක්‍රමණය වූ නිත්‍යානුකුල පදිංචිය අහිමි ජනතාවක් වීම නිසා ඔවුන්ට රැකියා වියුක්ති දීමනා සහ සෞඛ්‍ය පහසුකම් වැනි පුරවැසියෙකුට ලැබිය යුතු සමාජයීය රැකවරණයද අහිමි වී තිබේ. එසේ වන්නේ ඔවුන් රටට බදු ගෙවද්දී වීමද විශේෂත්වයකි. සැන් ජෝකින් නිම්නය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලෝකයේ පොහොසත්ම කලාපයක් ලෙස සැලකෙද්දී ඇමරිකාවේ දිළිඳුභාවය අධිකම ප්‍රදේශයක් ලෙස එහි වැසියෝ නම්දරා සිටියි. මිනිසුන් රෝග වලට ගොදුරු වීමට ඇති අවධානම වැඩි වීමට සමාජයීය වශයෙන් ඇති අසමානතා බලපාන්නේ කෙසේද යන්න පිලිබඳ අනගි උදාහරණයක් කෝවිඩ් වසංගතය මැද මේ ප්‍රදේශය ලබාදී තිබේ. “ඔවුන්ව අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ලෙස නම් කලද ඔවුන්ව ඇත්තටම සැලකෙන්නේ පාවිච්චි කර ඉවතදැමිය හැක්කන් ලෙසයි.” වෛද්‍ය සිසුවෙකු වන හර්දිප් සිං මෙසේ කියන්නේ තමාගේ නම හෙළිනොකරන ලෙස ආයාචනයක්ද සමගයි. ඒ එවැනි විවේචනයක් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිය රැකියා අහිමි කරවීමට තරම් හානිදායක ප්‍රථිපල ගෙන ආ හැකි නිසාය.

සැන් ජෝකින් නිම්නයේ (සිතියම බලන්න) කිසිදු සමාජ රැකවරණයක් නැති ජන කණ්ඩායම් කෝවිඩ් වසංගතයෙන් තවදුරටත් තැලෙද්දී ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට බිම් මට්ටමේ සංවිධාන සහ පර්යේෂණ කණ්ඩායම් අත්වැල් බැඳගත්තේය. කෝවිඩ් රෝගය සහ එන්නත් කරණය පිලිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම රෝගය සඳහා පරික්ෂා කිරීමට වැඩපිළිවෙලවල් ඔවුන් විසින් සංවිධානය කළේය. නමුත් ඔවුන්ගේ ප්‍රධානම කාර්යභාරය වී තිබෙන්නේ සෞඛ්‍ය පහසුකම් සැලසීම නොව කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සටන්වැදීමත්, නිවාස අහිමි ජනතාවට හිසට සෙවණක් ලබාගැනීමට අවස්ථා සකස්කර දීමත් වෙනුවෙනි. මහජන සෞඛ්‍යය තත්වය ඉහල දැමීමේදී මෙවැනි ආකාරයේ සමාජයීය සහ ආර්ථික මැදිහත්වීම් අත්‍යවශ්‍ය වුවත් විද්වතුන් සහ සෞඛ්‍ය බලධාරීන් එවැනි ක්‍රියාමාර්ග කෙරෙහි දක්වන්නේ ඇල්මැරුණු ආකල්පයක් බව හාවඩ් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග පිලිබඳ විශේෂඥයෙකු වන මේරි බැසේ පවසයි. ඇය නිව්යෝර්ක් නගරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ලෙසද සේවය කර තිබේ. මේ ඇල්මැරුණු ආකල්පය වහාම වෙනස් වියයුතු බව ඇය අවධාරණය කරයි. “අප තවදුරටත් අපගේ වැඩක් බලාගෙන නොසිට මේවා ගැන හඩක් නැගිය යුතුයි.”

කෝවිඩ් වසංගතය මේ ගැටළු වලට විසඳුමක් සෙවීමට උත්තේජනයක් සපයනු ඇතැයි විශ්වාස කරන සහ ඒ වෙනුවෙන් දේශපාලනික හඬක් නගන පර්යේෂකයන් එන්න එන්නම වැඩිවෙද්දී මේරි බැසේ යනු ඉන් එක් අයෙක් පමණි. “වසංගතය විසින් අර්බුධයේ මුහුණත අපට පෙන්වා තිබෙන අතර මට නම් එය යමක් කිරීමට ඇති හදිසි අවශ්‍යතාවය වැඩි වැඩියෙන් දැනෙන්න සලස්වනවා” යයි පවසන්නේ උතුරු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාඥවරියක් වන අරියානා මේරි ප්ලේනිය. ඇය පවසන්නේ සෞඛ්‍යයට බලපාන සමාජයීය සාධක හදුනාගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවී මහජන සෞඛ්‍ය පිලිබඳ පර්යේෂකයන් මේ ගැටළු විසඳීමටද ප්‍රමාණවත් යමක් කලයුතු බවයි. “කෝවිඩ් වසංගතය පැතිරීම බහුල වන්නේ ගොවිපොළවල්වල බව කියවෙන පර්යේෂණ ගැන මට දකින්න ලැබෙනවා. නමුත් මට එයින් වැඩක් නැත. මට දැනගැනීමට අවශ්‍යය වන්නේ අපි ඒ ගැන කුමක් කරන්නේ ද කියන එකයි.”

සෞඛ්‍යය පිරිහුණු අතීතයක්…

1800 ගණන්වල මැද භාගයේදී පෘසියානු වෛද්‍යවරයෙකු වන රුඩොල්ෆ් වර්කොව් විසින් සෞඛ්‍යයට බලපාන සමාජයීය සාධක පිලිබඳ අධ්‍යයනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත වැඩසටහනක් ආරම්භ කළේය. ඒ වර්තමාන පෝලන්තයේ ගල් අඟුරු සම්පත් වලින් පිරුණු ප්‍රදේශයකට අයත්වන ඉහල සිලෙසියාවේ පැතිරුණු ටයිෆස් උණ වසංගතය පාදක කරගෙනයි. සිලෙසියානු වැසියන් පීඩා විඳිමින් සිටි කුසගින්න, අඩු අධ්‍යාපන තත්වය, සහ අධික දිළිඳුභාවය වර්කොව් ගේ අවධානයට යොමු වුන අතර මේ ප්‍රශ්ණයේ මුල වන්නේ මේ මිනිසුන්ව සූරාකෑමට ලක්වී තිබීම බව නිගමනය කළේය. “ධනවතුන් යටතේ පැවති ඉහල සිලෙසියාවේ පරිපාලනයට ඉහල සිලෙසියානු ජනතාව පෙනුනේ මිනිසුන් ලෙස නොව වැඩ ගතහැකි උපකරණ ලෙසයි ” 1848 වසරේදී ටයිෆස් වසංගතය පිළිබඳව ලියැවුණු වර්තාවක ඔහු එසේ සඳහන් කළේය. වර්කොව් ගේ පෙරළිකාර යෝජනාව වුයේ “කම්කරුවන්ට වැඩබිමේ නිෂ්පාදනයට අයිතියක් හිමිවිය යුතුය” යන්නයි.

තෝරාගත් ඉහල ලක්ෂණ සහිත මිනිසුන් පමණක් යොදාගෙන ප්‍රජනනය කරවීම මගින් ඉහල ලක්ෂණ සහිත මිනිස් වර්ගයක් බිහිකර ගතහැකි බවට විශ්වාස කෙරෙන න්‍යායට ඉහල පිළිගැනීමක් තිබුණු යුගයේදී ඇමරිකානු කළු ජාතික මිනිසුන් අඩු වයසින් මියයාමට හේතුව ලෙස සැලකුම් ලැබුනේ ඔවුන්ගේ ශරීරවල පවතිනවා යැයි කියූ ජීවවිද්‍යාත්මක අඩුපාඩුකම් සහ ඔවුන්ගේ ජිවන රටාවේ ඇති නරක සෞඛ්‍ය පුරුදුය. විසිවෙනි සියවසේ ඇරඹුමත් සමග මේ මතයට ප්‍රබල පහරක් එල්ල කරමින් එක්සත් ජනපදයේ සමාජ විද්‍යාඥයෙකු වන W. E. B. ඩූ බොවා නිගමනය කලේද සූරා කෑම මෙහි සැබෑ වගකිවයුත්තා බවයි. පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේ ඩූ බොවා විසින් සිදුකල සුක්ෂම අධ්‍යයනයකට අනූව නිවාස, අධ්‍යාපනය, සහ ඉහල ජිවන තත්වයක් හිමි නගරබද කලාප වලදී මිනිසුන්ගේ මරණ අනුපාතයන් ජාතිකත්වය අනූව වෙනස් නොවන බව පෙනිගියේය. මේ උසස් ජිවන තත්වයන් නොලැබීයාම සහ කළුජාතික මිනිසුන්ගේ මරණ අනුපාතයන් ඉහල යාම අතර පැහැදිලි සම්බන්දයන් එහිදී නිරීක්ෂණය විය. ඒ අනුව සැබෑ ප්‍රශ්ණය ලෙස ඔහුගේ නිගමනය වුයේ මිනිසුන්ගේ සමේ වර්ණය නොව ඔවුන්ට අත්කර දී තිබෙන ඉතා පහල ජීවන තත්වය බවයි.

එතැන් පටන් සියවසක පමණ කාලයක් තිස්සේ සෞඛ්‍යයට බලපාන සමාජයීය සහ ආර්ථික සාධක පිලිබඳ විශාල කතිකාවක් සිදු වුවත් ඊට අනූව රාජ්‍ය ප්‍රතිපත්තීන් වෙනස් වීම ඉතා මන්දගාමී ස්වරුපයක් ගත් බව පෙන්වා දෙන්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සමානාත්මතාවය පිළිබද අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් මාර්මෝ ය (“සමානාත්මතාවය ජීවන අපේක්ෂාව වැඩිකරයි” යන ප්‍රස්ථාරය බලන්න). උදාහරණයක් ලෙස 1980 වසරේදී කෙරුණු ප්‍රමුඛ පෙලේ අධ්‍යයනයකින් නිගමනය කර ඇත්තේ ජාතීන් අතර ලෙඩ රෝග ව්‍යාප්තියේ ඇති අසමානතාවයන් වැලැක්වීම සඳහා ආණ්ඩුව විසින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජීය රැකවරණය සඳහා වැඩි වශයෙන් මුදල් වෙන්කලයුතු බවයි. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට ධනවතුන්ගේ බදු වැඩිකළ යුතු බව එහි යෝජනා කර තිබේ. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඩග්ලස් බ්ලැක්ගේ මුලිකත්වයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තාවක් මෙම කරුණ පිලිබඳ විශාල හඬක් ඇතිකළ අතර එහි ප්‍රථිපලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් ගණනාවක් ඉලක්ක කරගෙන මේ පිලිබඳ වැඩිදුර අධ්‍යයනයක් කිරීමට පෙළබුනේය. නමුත් මේ අධ්‍යයන වල නිර්දේශයන් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට එකල කිසිදු බලවත් රටක් උත්සුක නොවීය. උදාහරණයක් ලෙස, එක්සත් රාජධානියේ අගමැති මාගරට් තැචර් සහ එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් මහජන උපයෝගිතාවයන් වෙනුවෙන් වෙන්කළ මුදල් කපා හැරීම, ධනවතුන්ගේ බදු බර අඩු කිරීම මෙන්ම සමාගම් වල ක්‍රියාකාරිත්වයන් නියාමණය කිරීම මගහැරීම මගින් සිය රටවල ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට උත්සාහයක් දැරුවේය. එහි ප්‍රථිපලයක් ලෙස මේ රටවල දල දේශීය නිෂ්පාදනය ඉහල ගිය අතර දුගීබව සහ ඇති නැති පරතරය තව තවත් නරක අතට හැරුණේය.

විටින් විට ආණ්ඩු වෙනස් වෙමින් පාලන බලය පක්ෂ අතර හුවමාරු වුවත් අසුව දශකයේ ගත් වැරදි ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග තව දුරටත් වැරදි දිශාවටම ගමන් කළේය. උදාහරණයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් මිනිසුන්ට සුබසාධන පහසුකම් ලබාගැනීමට තිබූ අවස්ථා තව තවත් අඩුකරන ලදී. ඇතිනැති පරතරය වර්ධනය වෙද්දී සෞඛ්‍යයේ ඇති අසමානතාවයද තවත් වැඩි විය. වසර 2014 වනවිට එක්සත් ජනපදයේ ධනවත්ම 1% ක පිරිස එරට දරිද්‍රතාවයේ පහලම සිටින 1%ක පිරිසට වඩා වසර 15ක් වැඩිපුර ජීවත් වීමට වරම් ලබන බව සොයාගෙන තිබේ. පෙබරවාරි මාසයේ ද ලාන්ස් (The Lancet) සඟරාවේ පළවූ වාර්තාවක් පුරෝකථනය කරන්නේ මේ අසමානතාවය තව තවත් වැඩිවෙමින් පවතින බවයි. ඊට අනුව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ව්‍යාපාරිකයන් සහ ඉහල ආදායම් ලබන්නන් සඳහා ඩොලර් ට්‍රිලියන ගණනක බදු සහන ලබා දෙන අතරේ කම්කරුවන්ගේ සමාජයීය රැකවරණය, ඔවුන්ගේ සෞඛ්‍ය ආවරණය, සහ පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති දුර්වල කර තිබේ. ලාන්ස් සඟරාවේ පළවූ වාර්තාවේ කතුවරයෙකු වන මේරි බැසේ පවසන්නේ “අප රටේ පැවති මේ දුර්වලතා නිසා අපට කෝවිඩ් වසංගතය ඉතා නරක අන්දමින් බලපාන බව මුලසිටම ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබුනා” කියාය. ඇය තවදුරටත් කියා සිටිනේ “අප රටේ සැමට සමානව සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට අවස්තාව සලසා තිබුනේ නැහැ, රෝගීවූ අයට වැටුප් සහිතව නිවාඩු ලබාදෙන ක්‍රමයක් තිබුණේ නැහැ, මිනිසෙකුට ගෙවන අවම වැටුප හොද ජිවිතයක් පවත්වා ගැනීමට ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ විතරක් නොවෙයි, අපේ පැවැත්ම රඳා පවතින සංක්‍රමණික කම්කරු ප්‍රජාවට නිසි නිත්‍යානුකුල තත්වයක් ලබාදී තිබුනෙත් නැහැ.”

භුමියේ යථාර්තය…

සැන් ජෝකින් නිම්නයේ ඉතා වියලි සහ කර්කශ මිදි වතුවල කම්කරුවන් වේගයෙන් මිදි පොකුරු කඩමින් ඒවා මලු වලට එකතු කරයි. ඔවුන්ට ගෙවීම් කෙරෙන්නේ ඔවුන් එකතු කරන මලු ප්‍රමාණයටය. හිසේ ගැටගැසූ අපිරිසිඳු රෙදිකඩ අතරින් මා දෙස බලන කාන්තාවක් මොහොතක් වත් වැඩෙහි යෙදීම නතර නොකරම මගේ ප්‍රශ්ණයට පිළිතුරු දෙයි. පරිවර්තකයෙකුගේ සහාය ඇතිව මා ඇසුයේ “ඔබට කෝවිඩ් රෝග පරීක්ෂාවක් කරගැනීම අවස්තාවක් ගොවිපලේ හිමිකරු විසින් ලබාදුන්නොත් ඔබ එයට කැමතියිද?” කියාය. “නැහැ, මට කෝවිඩ් වැළඳී ඇති පරීක්ෂණයකින් හෙළි වුනොත් මට රැකියාව කරගැනීමට බැරිවේවි” යැයි ඇය සෙමින් මිමිණුවේ. ඉතා පුළුල් උරහිසක් සහ රළු දෑතක් ඇති තවත් කම්කරුවෙක් කියා සිටියේ “ගොවිපල කම්කරුවන් වසංගතයක් නිසා නතර වෙන්නේ නැහැ, කුමක් සිද්ද වුනත් අපි වැඩ” කියාය. මේ දෙදෙනාම මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වූ නිත්‍යානුකුල පදිංචිය අහිමි දෙදෙනෙක් නිසා ඔවුන්ගේ නම් හෙළි නොකරන්නැයි දෙදෙනාම බැගෑපත් විය.

නෙක්ටරින්, දෙළුම්, සහ ආමන්ඩ් ගස් පේලි පසු කරමින් මා මීළඟට ගමන් කලේ මෙන්ඩෝටා නගරයේ කොමඩු ඇසුරුම් කරන කර්මාන්තශාලාවටයි. එහි ගොවිපල සේවකයන් සියගණනක් සිය මෝටර් රථ වලින් මාර්ගය අසල පෝලිම් ගැසී සිටිනු පෙනෙයි. ඔවුන් මේ බලා සිටින්නේ එළවලු සහ පිටි වර්ග පිරවූ මල්ලක් ලබාගැනීම සඳහාය. මෙවැනි ආහාර බෙදාදීම් කැලිෆෝර්නියාවේ ඉතා අත්‍යවශ්‍ය සහ සුලබ සිදුවීමක් බවට පත්වී තිබෙන්නේ එහි වෙසෙන කම්කරුවන් අසූ දහසක් පමණ අන්ත දරිද්‍රතාවයෙන් පෙලීම නිසයි. මේ දැඩි උණුසුම් සවස් වරුවේ මේ ආහාර බෙදන ස්ථානයේම තවත් පසෙක නොමිලයේ කෝවිඩ් රෝග පරීක්ෂාවක් කරගැනීමට හැකි ස්ථානයක්ද පිහිටුවා තිබේ. නමුත් එය කිසිවෙකු නොපැමිණෙන හිස් තැනකි. මෙහි අහාර මල්ලක් ලබාගැනීමට පෝලිමේ රැඳී සිටින ගොවිපල කම්කරුවන් මට පවසන්නේ ද මිදි වතුවල වැඩ කල කම්කරුවන් කියූ කතාවමයි: කෝවිඩ් වැළදී ඇතැයි අනාවරණය කරගැනීම යනු ජිවත් වීමට ඇති සුළු හෝ අවස්ථාව නැති කරගැනීමයි. අබලන්වූ මෝටර් රථයක සුක්කානම තදින් අල්ලාගෙන සිටින ලා පැහැති හිසකේ ඇති කාන්තාවක් කියන්නේ “මට දැන් හරිම වෙහෙසයි” කියාය. ඇයට මාස කිහිපයකට පෙර කෝවිඩ් වැළඳී තිබුණත්, යන්තම් නැගිට ගැනීමට තරම් හැකියාවක් ලැබුණ සැනින් ඇය ගොවිපලේ සලාද කොළ එකතු කිරීමේ රාජකාරියට වාර්තාකර තිබේ. මුළු සිරුරම වේදනා දෙද්දීත් එය ගොවිපලේ වැඩ අධීක්ෂකවරුන්ගෙන් සඟවමින් ඇය වැඩෙහි යෙදී ඇත්තේ රැකියාව අහිමිවේ යයි ඇති බියෙනි. “අත්‍යවශ්‍ය සේවකයන්ව මුළුමනින්ම අමතක කර දමා තිබේ” ඇය කියන්නේ පෝලිමේ මදක් ඉදිරියට ඇදෙමිනි.

ෆ්රෙස්නෝ හි කැලිෆෝර්නියා රාජ්‍යය විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ අධ්‍යයන ආයතනයේ සමඅධ්‍යක්ෂවරියක් සහ වෛද්‍ය සමාජවිද්‍යාව පිළිබද විශේෂඥවරියක් වන ටානියා පැචේකෝ-වර්නර් ගේ ෆේස්බුක් ගිණුම පිරී ඇත්තේ මෙවැනි පීඩාවන් සහ බියෙන් ඉන්නා මිනිසුන්ගේ දුක්ගැනවිලි වලිනි. මෙක්සිකෝවේ සිට සංක්‍රමණය වී ගොවිබිම් වල වැඩකළ කම්කරු යුවලකට දාව උපත ලැබූ නිසාම ටානියාට ගොවිපල කම්කරුවන් සමීපය. සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරන දෙයත් කම්කරුවන්ට ඇත්තටම කලහැකි දෙයත් අතර ඇති බරපතල වෙනස ටානියා හොදින් දනියි. උදාහරණයක් ලෙස, CDC ආයතනය නිර්දේශ කරන්නේ මිනිසුන් අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගතයුතුය කියාය. නමුත් ආහාර සැකසුම් කෙරෙන කර්මාන්තශාලා තුල සහ වැඩපළවල් කරා යන මිනිසුන් පුරවාගත් වාහන තුල එවැන්නක් කල නොහැකියි. මේ යථාර්තය විසින් ඉතිරිකර ඇත්තේ එක්සත් ජනපදයේ ඉතා අඩු ආදායම් ලබන සහ නිවසේ සිට රැකියාවක නිරත වීමට තරම් වාසනාවන්ත නොවුණු කළු ජාතිකයන් සහ ලතින් ඇමරිකානු සම්භවයක් ඇත්තන්ට මරණය අතවැනීමකි.

කෝවිඩ් පැතිරීමේ අසමානතා නිසා මිනිසුන් පත්වී ඇති තත්වය වටහාගත් ටානියා ජනගහනය අධිකම ෆ්රෙස්නෝ ප්‍රදේශයේ බිම් මට්ටමේ මේ පිළිබදව උනන්දුවෙන් පසුවන අනෙකුත් සංවිධාන සම්බන්ද කරගෙන වැඩ කිරීම ආරම්භ කළේය. මැයි මාසය වනවිට අප්‍රිකානු-ඇමරිකානු එකමුතුව, සංක්‍රමණික සරණාගත එකමුතුව, මෙන්ම ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයෙන් සංක්‍රමණය වූ ජනතාව නියෝජනය කරන ජකරා ව්‍යාපාරය වැනි සංවිධාන ගණනාවක් මේ වෙත එකතු විය. ඔවුන් තම ජනතාව මුහුණදී සිටින ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙස ෆ්රෙස්නෝ ප්‍රදේශයේ පාලකයන්ට බලපෑම් එල්ල කළේය. අසරණ ජනතාව විශ්වාස කරන්නේ තමන්ව බැවින් තම සහය නොමැතිව කෝවිඩ් වසංගතය මර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග අසාර්ථකවනු ඇතිබව ඔවුන් බලධාරීන්ට අනතුරු හැඟවූයේය. එවැනි තත්වයක් ඇතිවීමට 2016 වසරේ ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමණික ජනයා කෙරෙහි පැතිරූ වෙනකොට සැලකීමද හේතුවක් විය. මෙක්සිකානුවන් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ඔවුන් රටින් පිටුවහල් කිරීමට නව නීති ගෙන ආවේය. එක්සත් ජනපද ආගමන සහ රේගු නිළධාරීන් මිනිසුන් සොයා වැටලීම් කරන අයුරු දැක්වෙන බියකරු වීඩියෝ දර්ශන තමන් දැක ඇති බව ගොවිපල කම්කරුවෝ මා සමග පැවසුවේය. ඒ නිසා ඔවුන් පොලිසිය මෙන්ම සෞඛ්‍ය බලධාරීන් දෙසද බලන්නේ බියමුසු සැකයකිනි.  ටානියා කියාසිටින්නේ “මිනිසුන්ගේ ජිවිත වැටී ඇති ඉතා දුක්ඛිත තත්වය දෙස බලද්දී ඔවුන් කිසිවෙකු විස්වාස කිරීමට නොපෙලබීම අපිට තේරුම් ගතහැකියි” කියාය.

ටානියා සහ ඇගේ සටන් සඟයන් කියන පරිදි මුල් මාස කීපයේදී ෆ්රෙස්නෝ පළාතේ බලධාරීන් තම ඉල්ලීම් වලට කිසිසේත්ම සවන් නොදුන්නේය. සුදු ජාතිකයන්ගෙන් සැදුම්ලත් මේ පාලකයින් කම්කරු ජනතාවට වැඩබිම්වල ආරක්ෂාකාරී වාතාවරණයක් සකසා දීම, වැටුප් සහිත නිවාඩු ලබාදීම, හෝ මුල්‍ය සහයක් ලබාදීම පැහැර හැරියේය. කොවිඩ් රෝග ව්‍යාප්තිය වැලක්වීමට ගතයුතු මුලික පියවරවල් ගැනීමට පවා ඔවුන් මැලිවිය. උදාහරණයක් ලෙස මුව ආවරණ පැළදීම පිළිබඳව වූ මාර්ගෝපදේශ මැයි මාසය වනවිට ඔවුන් විසින් ඉවත් කල අතර ඒවා පැළඳීම ප්‍රසිද්දියේ අවඥාවට ද ලක් කළේය. “මේවා නිර්දේශ පමණි, අනිවාර්ය නීති නොවේ” යනුවෙන් ෆ්රෙස්නෝ පළාත් පාලකයන්ගේ ප්‍රකාශකවරයා කියා සිටියේය.

දෙදහස් විස්ස වසරේ ගිම්හාන කාලය එළඹෙත්ම විශාල නොසන්සුන් තත්වයක් නිර්මාණය වෙන්නට පටන් ගත්තේය. ව්‍යාපාර වැසීයාමට එරෙහිව විරෝධතා මතුවෙන අතරේ තවත් පිරිසක් බලධාරීන්ට චෝදනා කලේ දුගිබවෙන් මිරිකී සිටින ජනතාව ආරක්ෂා කිරීමට නායකයින් අසමත් වූ බවයි. එක් ෆ්රෙස්නෝ වැසියෙක් කෑ ගසා කීවේ “මේ ජිවන තත්වය ඔවුන්ගේ තෝරාගැනීමක් නොවේ! මේ සියලු තත්වයන් යටතේත් ඇසුරුම්හල් සහ වැඩබිම් වල ඔවුන්ට වැඩකිරීමට සිදුවෙලා තියෙනවා.”

මේ අතරේ ෆ්රෙස්නෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේතුව මැදිහත්කරුවෙකු ලෙස මහජනතාව සහ කෘෂි සමාගම් අතරේ ඇති ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ කළේය. මේ දෙපාර්ශවය අතරේ ගැටුම හෙළිවන්නේ නිව් යෝර්ක්හි කොළොම්බියා විශ්ව විද්‍යාලය විසින් කෝවිඩ් වසංගතය පිළිබඳව ජාතික මට්ටමෙන් සකස්කළ වාර්තාවකට අනුවය. එහි සඳහන් පරිදි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ටොම් ෆුලර් විසින් ජූලි මාසයේදී යැවූ විද්‍යුත් තැපැල් පණිවුඩයක මෙසේ සඳහන් වෙනවා: “අපේ ප්‍රදේශයේ වසංගත මර්ධන කටයුතු වලට එක්ව කටයුතු කරන ඇතැම් ස්වේච්චා සංවිධාන කෙරෙහි සතුරු ආකල්පයක් කෘෂි සහ ආහාර සැකසුම් ව්‍යාපාර හිමිකරුවන් තුල තිබෙන බවක්  හැඟෙනවා.”

ෆ්රෙස්නෝ ප්‍රදේශයේ පාලක මණ්ඩලයේ තීරණ වලට බලපෑමක් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තිබුනේ ඉතා සීමිත අවස්ථාවකි. ඒ එන්නත්කරණ වැඩපිළිවෙල සහ රෝග ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීම වැනි කටයුතු වලටය. ෆ්රෙස්නෝ නගර කවුන්සිලයේ සාමාජිකයෙකු වන මිගුවෙල් එරියාස් පවසන පරිදි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තනතුරුවල පත් කිරීම් සහ එහි අයවැය සඳහා මුදල් වෙන්කිරීම වැනි දෑ සඳහා බලය තිබෙන්නේ ෆ්රෙස්නෝ පාලක මණ්ඩලයටයි. “සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වැඩකිරීමට සිදුවී තිබෙන්නේ පාලක මණ්ඩලය විසින් ලබා දී තිබෙන සීමාව තුල පමණයි” යැයි එරියාස් පවසයි. මෙවැනි බල අරගල එක්සත් ජනපදය පුරාම දැකිය හැකි අතර කොරෝනා මර්ධන ක්‍රියාමාර්ග වලට එරෙහිව විරෝධතා මතුවෙද්දී මේ කඹ ඇදීම වඩාත් ඉස්මතුව පෙනෙන්නට විය. පසුගිය වසරේදී මහජන සෞඛ්‍ය නිලධාරීන් අඩු වශයෙන් 181ක් වත් සේවය හැර යාමට, විශ්‍රාම ගැනීමට හෝ සේවයෙන් පහ කිරීමට ලක්විය. තවත් බොහෝ දෙනෙක් තම රාජකාරිය ඉටු කිරීම නිසා මහජනතාව අතින් නොයෙකුත් අඩත්තේට්ටම් වලට ලක්විය. මේ තොරතුරු හෙළි වූයේ කයිසර් හෙල්ත් නිව්ස් සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතන මගන් සිදු කෙරුණු සොයාබැලීමක දීය.

එරියාස් පවා මෙවැනි තර්ජනය කිරීම් වලට ලක්විය. ඔහු සහ ඔහුගේ නගර කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් විසින් ගොවිපලවල් තුල කෝවිඩ් පරීක්ෂණ සිදුකිරීමට සහ රෝගී වන අයට වැටුප් සහිත නිවාඩු ලබාදීමට මහත් පරිශ්‍රමයක් දැරුවේය. මෙවැනි උත්සාහයන් ඔහුට එරෙහි සතුරන් නිර්මාණය කිරීමට හේතුවිය. වරක් එක් පාලක මණ්ඩල සාමාජිකයෙකු ඔහුට පවසා තිබෙන්නේ “කරුණාකර තමන්ගේ වැඩක් බලාගන්න! අස්වැන්න නෙළන මේ කාලයේ අපේ කෘෂි ව්‍යාපාරවල වැඩ වලට භාදා කරන්න එපා.” කියාය. තවත් වතාවක ඔහුගේ නිවස අසලටම පැමිණ ඔහුට බලපෑම් කිරීමට “ප්‍රවුඩ් බෝයිස්” නම් ප්‍රචණ්ඩ, අන්ත දක්ෂිණාංශික සංවිධානයේ පිරිස් කටයුතුකර තිබේ.

පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන බඩී මෙන්ඩේස් කියා සිටින්නේ තම ව්‍යාපාර බේරා ගැනීම සඳහා ගොවිබිම් තුල කෝවිඩ් පරික්ෂා කිරීම තමන් හරිහැටි නොකළ බවට නැගෙන චෝදනා පදනම් විරහිත බවයි. ඔහුට අනූව පාලක මණ්ඩලයේ ක්‍රියාමාර්ග මන්දගාමී වීමට වූ හේතු අතර කෝවිඩ් පරික්ෂා කිරීම සඳහා යෝජනා කෙරෙනු ක්‍රමවල විශ්වාසනීයත්වය ප්‍රශ්ණ සහගත වීම තිබෙන බවයි. පාලක මණ්ඩලය කිසි ලෙසකින්වත් ස්වෙච්ජා සංවිධානවල ඉල්ලීම් නොසලකා නොහැරිය බව කියන ඔහු වැඩිදුරත් පවසන්නේ “අප ගතයුතු ක්‍රියාමාර්ග නිසිපරිදි සකස්කරගෙන ආරම්භ කිරීමට අපට අගෝස්තු වෙනතුරු ගතවුනා.”

ඔහු කී පරිද්දෙන්ම අගෝස්තුව වනවිට ස්වේච්ජා සංවිධාන වල ඉල්ලීම් ක්‍රියාවට නැගෙන්නට පටන්ගත්තේය. ඒ සැන් ජෝකින් නිම්නයේ කෝවිඩ් වසංගතය උච්චතම තත්වයක් කරා පැමිණෙන විටයි. කැලිෆෝර්නියාවේ ආණ්ඩුකාරවරයා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 53ක මුදලක් කොරෝනා සහන කටයුතු සඳහා වෙන්කළ අතර ප්‍රාන්තයේ කෝවිඩ් ආසාධිත පිරිසෙන් 60%ක පමණ පිරිසක් අයත්වන ලතින් ඇමරිකානු සම්භවයක් ඇති ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසද අවධාරණය කළේය. මේ තීරණාත්මක කාලයේදී ෆ්රෙස්නෝහි ස්වේච්ජා සංවිධාන එක්ව සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයද සම්බන්ද කරගෙන “ෆ්රෙස්නෝ කෝවිඩ්-19 සමානාත්මතා ව්‍යාපෘතිය” නමින් වැඩසටහනක් ආරම්භ කළේය. මේ වැඩසටහනට ෆ්රෙස්නෝ පාලක මණ්ඩලය විසින් ඩොලර් මිලියන 8.5ක මුදලක් ද ලබාදුන්නේය. මේ ව්‍යාපෘති කණ්ඩායම විසින් සති කිහිපයක් ඇතුලත ෆ්රෙස්නෝ ප්‍රදේශයේ පැරණි පල්ලියක් කෝවිඩ් පරීක්ෂණ සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසට පරිවර්ථනය කිරීමට සමත්විය.

ප්‍රජා සහභාගිත්වයෙන් වැඩ ඇරඹේ…

කෝවිඩ් මධ්‍යස්ථානයක් බවට පත්වූ පල්ලියේ ඉදිරියේ විශාල පුවරුවක හදවතක් සලකුණු කෙරෙන දෑතක් නිරුපණය වෙයි. ඊට පසෙකින් ලියා ඇත්තේ “ඔබ ආගන්තුකයාට ආදරය කල යුතුය” යන බයිබල පාඨයයි. මෝටර් රථ වලින් එතැන පසුකර යාබදව ඇති රථ ගාලට යන මිනිසුන් එහිම රැඳී සිටින්නේ සෞඛ්‍ය සේවකයෙකු පැමිණ කෝවිඩ් පරීක්ෂණය සඳහා සාම්පල ලබාගන්නා තුරුය. සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ හදිසි ප්‍රතිකාර පිලිබඳ වෛද්‍යවරයෙක් වන කෙනී බාන් ආරක්‍ෂිත ඇඳුමකින් සැරසී මහත් උනන්දුවකින් මධ්‍යස්ථානය තුල ඇවිදින්නේ රෝගීන්ට සහය වෙමිනි. ඔහු කියනා පරිදි ඔහුට හමුවූ වඩාත්ම අසාධ්‍ය රෝගීන් වන්නේ සුදු ජාතික නොවන රෝගීන්ය. ඒ මිනිසුන් අතර මරණ අනුපාතය අධික වීමට හේතුව වන්නේ ඔවුන් රෝගය උත්සන්න වනතුරුම ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොවීමයි. තමන්ට වෛද්‍ය රක්ෂනාවරනයක් නොතිබීම, රෝහල් වල ගාස්තු ගෙවීමට තරම් මුදල් නොමැතිකම මෙන්ම එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් පිළිබඳව ඔවුන් තුල ඇති අවිශ්වාසයද මේ ප්‍රමාදයට හේතු වී තිබෙනවා.කෙනී බාන් ට අනුව මේ අවිස්වාසය අසාධාරණ නොවන්නේ ඉතිහාසය පුරා මේ මිනිසුන්ට වෛද්‍ය ක්ෂේත්‍රයෙන් බොහෝ කෙනෙහිලිකම් සිදුවී ඇති නිසා බවයි.

පල්ලියෙන් පිටත තණ බිමේ රැස්වී සිටින ෆ්රෙස්නෝ කෝවිඩ්-19 සමානාත්මතා ව්‍යාපෘතියේ නායකයින් විසින් කෝවිඩ් පිලිබඳ තොරතුරු රැස්කිරීමට සහ ජනතාව දැනුවත් කිරීමට හැකි කණ්ඩායමක් පුහුණු කරයි. ව්‍යාපෘතිය විසින් බඳවාගෙන පුහුණු කෙරෙන මේ ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 110 දෙනා අතර භාෂා 16ක් කතා කළහැකි අය සිටියි. මෙවැනි කාලය සහ මුදල් ආයෝජනය කිරීමක් යනු සමාජයීය අසමානතාවය පිලිබඳ පර්යේෂණ වල නියැලෙන පිරිස් වලට කළහැකි දෙයක් නොවන බව ටානියා පැචේකෝ පවසයි. ඇය ඇතුළු කණ්ඩායම සිතනා ආකාරයට ප්‍රජා සෞඛ්‍ය සේවකයින් මෙවැනි කාර්යයකට යෙදවීම විද්‍යාත්මක පර්යේෂණ සඳහා උනන්දු වන්නන් යොදාගැනීමට වඩා ඵලදායී බවයි. විද්‍යාඥයන් වසර ගණනක් තිස්සේ පැමිණෙමින් ප්‍රශ්ණ අසා තොරතුරු රැස්කරගෙන යනවිට මහජනයා සිතන්නේ ඔවුන් තමන්ට යම් ආකාරයකට උදව් කිරීමට පැමිණ ඇති බවයි. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ විසදුම් නොපැමිණෙන විට අවසානයේ මිනිසුන් මහත් කලකිරීමකට පත්වෙයි.

කෙසේවෙතත්, සියවස් ගණනක නොසලකා හැරිම් නිවැරදි කිරීම එතරම් පහසු නැත. සැන් ජෝකින් නිම්නයේ මග දිගට තැනින් තැන විසිරුණු ජනාවාසවල ආරම්භය 1930 ගණන්වල පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයන් දක්වා ගමන් කරයි. අද මේ සමහර ජනාවාස වලට හරිහැටි පානීය ජලය හෝ සෞඛ්‍ය පහසුකම් නැත. මේ අතර ෆ්රෙස්නෝ නගරයේ ජනතාව තියුණු ලෙස එකිනෙකාගෙන් බෙදී තිබේ. නගරයේ දකුණු දෙසට වන්නට ජිවත් වන්නේ කළු ජාතික, ලතින් ඇමරිකානු සම්භවයක් ඇති සහ ආසියානු සම්භවයක් ඇති මිනිසුන්ය. 1930 ගණන්වල සිතියම් වල සුදු ජාතිකයන් ජිවත් නොවන මේ ප්‍රදේශ රතු පැහැයෙන් දක්වා ඇත්තේ ඒ ප්‍රදේශවල ජිවත් වන්නන්ට බැංකුවලින් නිවාස ණය දීම අධෛර්යමත් කිරීමටයි. “රතු ඉරි ඇඳීම” යනුවෙන් හදුන්වන මෙම ක්‍රමය මගින් බලාපොරොත්තු වූයේ මෙම ප්‍රදේශවල ඇති දේපල වල වටිනාකම පහල දැමීම වන අතර එමගින් ජාතින් අතර බෙදීමක් සහ අසමානතාවයක් නිර්මාණය කළේය. හැටේ දශකයේදී ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් මේ අසාධාරණ ක්‍රමය වෙනස් කිරීමට උත්සාහ කලද දකුණු ෆ්රෙස්නෝ ප්‍රදේශයේ අදටත් උද්‍යාන, සෞඛ්‍යාරක්ෂිත ආහාර සහ අනෙකුත් පහසුකම් ඉතා අවම මට්ටමක පවතියි.

මධ්‍යම නිම්න සෞඛ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනූව ෆ්රෙස්නෝ ප්‍රදේශයේ උතුරේ පිහිටි ධනවත් ජනාවාසයක ඉපදුනු දරුවෙකු වසර 80ක ආයු අපේක්ෂාවකට උරුමකම් කියන අතර එය දකුණු ෆ්රෙස්නෝ ප්‍රදේශයේ දරුවෙකුගේ ආයු අපේක්ෂාවට වඩා වසර 10කින් වැඩිය. තවද එම ෆ්රෙස්නෝ උතුරේ දරුවාගේ ආයු අපේක්ෂාව සැන් ජෝකින් නිම්නයේ අනෙකුත් ඈත ප්‍රදේශවල ජිවත්වන දරුවන්ගේ ආයු අපේක්ෂාවට වඩා වසර 20ක් වැඩිය.  සැන් ජෝකින් නිම්නයේ ඉතා දුශ්කර ප්‍රදේශ වල දරුවන්ගේ ආයු අපේක්ෂාව ලෝකයේ අතිශය අඩු ආදායම් ලබන දරුවන්ගේ ආයු අපේක්ෂාවට සමාන මට්ටමක පවතී.

නිරිතදිග ෆ්රෙස්නෝ ප්‍රදේශයේ සිය සැමියා සහ දරුවන් තිදෙනා සමග ජිවත්වන ගුවාඩලුප් ලෝපේස්ට ඇත්තේ කුලී පදනම මත ලබාගත් නිවසක් ලෙස සැකසු වාහනයක් වන අතර ඔවුන්ට එහි පානිය ජලය සඳහා පහසුම් නැත. නිත්‍යානුකුල පදිංචිය අහිමි සන්ක්‍රමනිකයෙකු බැවින් ඇගේ සැබෑ නම සඳහන් නොකරන්නැයි ඇය මගේ ඉල්ලා සිටියේය. දිනකට ටෝටිලා රොටියකින් කුසගින්න නිවාගෙන ජිවත් වූ ඔවුන්ව සිය නිවසින් එලවා දැමීමේ අවදානමක් අභිමුව සිටියදී ඔවුන් ස්වදේශික ජනයා වෙනුවෙන් වූ පිහිටවූ ස්වේච්ජා සංවිධානයක පිහිට පැතුවේය. “එය බියකරු සිහිනයක් වගේ”, ඇය එසේ පැවසුවේ අගේ කුඩා නිවහනේ ඇඳක් සහ මේසයක් පමණක් ඇති විසිත්ත කාමරයේ සිටයි. ජුලි මාසයේ සුදුළුණු අස්වැන්න නෙලන කාලයේදී ඇගේ 34 හැවිරිදි සැමියා දරුණු ලෙස කෝවිඩ් රෝගයෙන් රෝගාතුර විය. ඉතා අසීරුවෙන් හුස්ම ගනිද්දීත් ඔහු රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කලේ සිය පවුලෙන් සදහටම වෙන් වන්නට සිතුවෙතියි වූ බියකිනි. ඔහු නොමැතිව තනිවම ලෝපේස් මේ දරුවන් රැකබලා ගන්නේ කෙසේද?

කෙසේ වෙතත් අවසානයේදී ඇගේ සැමියා සිය මිතුරෙකු හරහා හදුන්වාදුන් වෛද්‍යවරයෙකු හමුවීමට එකඟ විය. මේ වෛද්‍යවරයා කොවිඩ් රෝගයට මුහුණ දීමට සුදුසු යැයි කියමින් දැනට අනුමත නොකරන ලද ඖෂධ ලබාදුන් අතර අවසානයේදී ඩොලර් 1500ක ගාස්තුවක් ලෝපේස් ගෙන් ඉල්ලා සිටියේය. එය ලෝපේස්ගේ පවුලේ අනාගතය සඳහා කරතිබූ සමස්ථ ඉතිරිකිරීම් වලට සමාන මුදලකි. එතැන් පටන් ගතවූ සති කීපයේදී ලෝපේස් ද කෝවිඩ් ආසාධිත වූ අතර ඇගේ සැමියාගේ සෞඛ්‍ය තත්වය වඩවඩාත් පිරිහීමට පත්විය. දෙදෙනාටම වැඩබිම් වල රැකියාවට යාමට නොහැකි වීමෙන් පවුලේ ආර්ථිකය අන්තයටම පිරිහුණේය. තම දරුවන් හරිහැටි ආහාර නොමැතිව වැහැරුණු බව ඇය මට කීවේ හැඬු කඳුලිනි.

රැකියා විරහිත දීමනාව ලබාගැනීමට ලෝපේස් ගේ පවුල සුදුසුකම් නොලබන අතරේ රෝගී අය සඳහා වැටුප් සහිත නිවාඩු ලබාදීමට වෙන් කෙරෙන ප්‍රාන්ත රජයේ මුදල්ද ඉතාමත් සීමිත විය. ඇගේ නිවසේ කුලිය ගෙවීමට මුදල් දුන්නේ ස්වදේශික ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට පිහිටුවාගත් සංවිධානයයි. ඔක්තෝබර් මාසය වනවිට ලොපෙස්ගේ සැමියා නැවතත් වගාබිමේ සේවයට වාර්තා කළද ඔහු ඒවන විටදීත් සිරුරේ අධික තෙහෙට්ටු ස්වභාවයෙන් පීඩා විඳිමින් සිටියේය. තමාගේ ජිවිතයට කිසිඳු වටිනාකමක් නොදෙන රටක අත්‍යවශ්‍ය සේවාවල නිරත කම්කරුවෙක් ලෙස සිටීම ගැන ඇය විස්තර කරන විට ඇගේ දෑස් නැවතත් තෙත් වෙන්නට විය. “වැඩබිමේ සිට පැමිණ වෙළඳ සැලට බඩු ගන්නට යන මගේ සිරුර දුහුවිල්ලෙන් වැසී තිබෙයි. මා මුව වැස්මක් පවා පැළඳ සිටියදී මුව වැස්මක්වත් නැති සුදු ජාතික මිනිසුන් මා දෙස පිළිකුලෙන් බලන අයුරු මට පෙනෙයි. ඔවුන්ගෙන් මට මනුෂ්‍යයෙකුට ලැබියයුතු අවම ගෞරවය වත් නොලැබෙන බව දැනෙන විට විශාල වේදනාවක් ඇතිවෙයි”

මෙවැනිම වූ මිනිසුන්ගේ අත්දැකීම් රැසක් ප්‍රජා සෞඛ්‍ය සේවකයින් ද කියා සිටියි. ඔවුන්ගේ සැබෑ රාජකාරිය සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා ආකාරය පිලිබඳ මහජනයා දැනුවත් කිරීම සහ කෝවිඩ් වැළඳුනු අයගේ ආශ්‍රිතයින් සොයාගැනීම වුවත් ඔවුන්ට ඇත්තටම සිදුවී තිබෙන්නේ කුසගින්නේ ඉන්නා තම දරුවන්ට ආහාර සොයාදෙන්නැයි ඉල්ලලා සිටින දෙමව්පියන්ට සහය වීමටයි. “මිනිසුන්ට කතා කරනවිට ඔවුන් ඉන්නා වේදනාකාරී තත්වය මට හොඳින් පෙනෙනවා” යැයි පවසන්නේ ෆ්රෙස්නෝ කෝවිඩ්-19 සමානාත්මතා ව්‍යාපෘතියේ සාමාජික සංවිධානයක ප්‍රජා සෞඛ්‍ය සේවිකාවක් ලෙස ක්‍රියා කරන ලෙටීෂියා පේරෙස් ඩි ට්රුයිලෝ ය. මේ අභියෝග මැද වුවත් දහසක පමණ පිරිසක් කුසගින්නෙන් සහ හිසට සෙවණක් නොමැති වීමෙන් ගලවාගැනීමට මේ සංවිධාන වලට හැකි වූ අතර ඒ හරහා විශාල පිරිසක් කෝවිඩ් රෝගයට ගොදුරු වීමට තිබූ අනතුර වළක්වාගෙන තිබේ. තවද කෝවිඩ් මර්ධනය සඳහා වූ ප්‍රාන්තයේ මුදල් වලින් සැලකියයුතු කොටසක් රෝගී අයට නිවාඩු ලබාගන්නා විටදී ගෙවීමක් කිරීමට වෙන් කිරීම නිසා මහජනයා කෝවිඩ් පරීක්ෂාවන් කරගැනීමට තිබූ බියද පහවී ගියේය. දෙසැම්බරය වනවිට කෝවිඩ් පරීක්ෂාවන් සඳහා පල්ලිය අසල ඉතා දිගු පෝලිම් නිර්මාණය වූ නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානය වඩාත් ඉඩකඩ ඇති තැනකට ගෙනයාමට සංවිධායකයන්ට සිදුවිය. කෙසේ නමුත් අභියෝගය තවමත් මුළුමනින්ම විසඳි නොමැත.

නිවාඩු කාලය එළඹෙත්ම කොරෝනා වසංගතය ප්‍රාන්තය පුරා පැතිරෙද්දී සැන් ජෝකින් නිම්නයේ තත්වය වඩාත් නරක අතට හැරිනි. දෙසැම්බරයේ ඒරියාස්ට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ ඔහු සඳහන් කලේ “මේ තත්වය ඇති වුනේ අපේ අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයන් අතර වෛරසය පැතිර ගිය නිසා” බවයි. ඒ මාසය තුල පමණක් පන්සීයක පමණ පිරිසක් සැන් ජෝකින් නිම්නයේ කෝවිඩ් වැළඳී මියගොස් තිබෙනවා. “මාංශ ඇසුරුම් කර්මාන්තශාලා සහ ඇමසන් සමාගමේ භාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ විශාල රෝග ව්‍යාප්තියක් පවතිනවා” යැයි ඔහු කියයි. “රෝහල් වල තවදුරටත් ඉඩකඩ නොමැති අතර මළසිරුරු තැබීමට රෝහල්වල මොචරියේ ඉඩ නොමැති වීම නිසා ආහාර ගබඩා කිරීමට පාවිච්චි කරන ජංගම ශීතාගාර පවා යොදාගැනීමට සිදුවී තිබෙනවා.”

මග ඇහිරූ දේශපාලනය…

ගිය වසරේ අග සිට ෆ්රෙස්නෝ ප්‍රදේශයේ කෝවිඩ්-19 සමානාත්මතා ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති එක්සත් ජනපදය පුරා ආරම්භ වන්නට පටන් ගත්තේය. මේ ව්‍යාපෘති දැන් කෝවිඩ් එන්නත් සාධාරණ ලෙස බෙදා හැරීමට නායකත්වය දෙමින් කටයුතු කරයි. එසේ වුවත් මේ ව්‍යාපෘති සඳහා යොදවා තිබෙන්නේ කෙටි කාලීන මුල්‍ය ප්‍රතිපාදන නිසා ඒවා වියදම්කර අවසන් වූ සැනින් ප්‍රජා සෞඛ්‍යයේ ඇති අසමානතාවයන් යලි හිස එසවීමට ඉඩ තිබෙන බව කෙනී බාන් පෙන්වා දෙයි.

මහජනතාව අතරින් මතුවූ සංවිධාන විසින් වැටුප් ඉහල දැමීම සහ සංක්‍රමණික ප්‍රජාව සම්බන්ද නීති ලිහිල් කිරීම වැනි දේශපාලනික වශයෙන් සංවේදී මාතෘකා පිලිබඳ කතිකාවක් ඇති කරද්දී එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතන — CDC ආයතනය සහ ප්‍රාන්ත වල සෞඛ්‍ය දෙපාර්තමේන්තු — මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. රජයේ පර්යේෂකයන් සෞඛ්‍යයට බලපාන සමාජයීය හේතු හොඳින් හඳුනාගෙන සිටියත් ඔවුන් සලකන්නේ ඒවා වෙනස් කල නොහැකි කාරණා ලෙසයි. උදාහරණයක් ලෙස, CDC ආයතනයට අයත් පර්යේෂණ සඟරාවක 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී පලකරන ලද වාර්තාවකට අනූව කළු ජාතිකයන් සහ ලතින් ඇමරිකානු සම්භවයක් ඇති ජනයා අතර කෝවිඩ් මරණ අසාමාන්‍ය ලෙස ඉහල බවත් ඊට හේතුව වන්නේ එම ජනයා අතීතයේ සිටම අඩු සෞඛ්‍ය තත්ත්ව යටතේ, ඉඩකඩ අඩු නිවාස වල ඇහිරී, සමාජයීය වශයෙන් වෙනස්කම් කිරීම් වලට ලක් වෙමින් සිටීම බවයි (මෙහි “කෝවිඩ් මරණවල අසමානතාවය” නම් ප්‍රස්තාර බලන්න). නමුත් මේ මිනිසුන්ට දැරිය හැකි මුදලකට නිවාස සැපයීම, නිදහස් සෞඛ්‍ය සේවයක් සැපයීම හෝ කම්කරු අයිතිවාසිකම් නිසිලෙස ලබාදීම වැනි ක්‍රියාමාර්ග වෙනුවට මේ වාර්තාව නිර්දේශ කරන්නේ මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම, සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමයි.

අප්‍රේල් මස 12 වෙනිදා පළවූ CDC ආයතයේ තවත් වාර්තාවකින් නිරාවරණය කරගෙන තිබෙන්නේ කෝවිඩ් වැළඳී රෝහල් ගතවීම එක්සත් ජනපදයේ අනෙකුත් ජාතින්ට වඩා ලතින් ඇමරිකානු සම්භවයක් ඇති ජනතාව අතර සාපේක්ෂ වශයෙන් අධික බවයි. වාර්තාවේ කතෘවරුන් පෙන්වා දෙන්නේ මේ අසමානතාවයට හේතුව සෞඛ්‍යයට බලපාන සමාජයීය සාධක බවත්, ඒ නිසාම සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් එන්නත් බෙදාහැරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාවය ලබාදියයුතු බවත්ය. එහිදීත් සෞඛ්‍යයට බලපාන සමාජයීය හේතුන් පිටුදැකීම සඳහා ඔවුන් නිර්දේශ නිකුත් නොකරයි.

කැනඩාවේ ඔටාවා විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ පර්යේෂකයෙකු වන රොනල්ඩ් ලැබොන්ටේ පවසන්නේ රාජ්‍ය ආයතන වලට සම්බන්ද විද්‍යාඥයින් දේශපාලනික වශයෙන් සංවේදී මාතෘකා හිතාමතාම මගහරින බවයි. ඔවුන් එසේ කරන්නේ ඒ හරහා ඔවුන් විවිධ කරදරවල පැටලීමට ඇති අවදානම නිසා. එසේ හඬ අවදි කරන ඇතැම් අය මරණ තර්ජන වලට පවා මුහුණ දී තිබේ. එමෙන්ම, ඔහු පවසන පරිදි, ප්‍රජා සෞඛ්‍ය පර්යේෂකයන් දුගීබව සහ මිනිසුන්ට වෙනස් කොට සැලකීම රෝග ව්‍යාප්තියට හේතුවෙන බව හඳුනාගෙන තිබුනත් එසේ මිනිසුන් දුගීභාවයට පත්වන්නේ හෝ වෙනස්කොට සැලකීම වලට ලක්වන්නේ ඇයිදැයි යන්නට සැබෑ හේතු ඉදිරිපත් කිරීමට මැලිවන බවයි. “මේවාට සැබෑ හේතුව වන්නේ මිනිසුන් තලා පෙලීම, සූරා කෑම, සහ බලය සහ ධනය සඳහා ඇති කෑදරකමයි” ඔහු පවසයි. “නමුත්, කිසිම ප්‍රජා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් මේවා ගැන කතා කරාවි යැයි මම නම් සිතන්නේ නැහැ.”

කෙසේ නමුත් ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ ආයතන වල සිටින්නන්ට මේ අයුක්තිය පිටුදැකීමට උවමනාවක් නැතැයි යන්න මින් නොකියවෙයි. ඔවුන්ගේ එක් දුර්වලතාවයක් වන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වලට ලබා දී ඇති සීමිත බලයි. උදාහරණයක් ලෙස, ෆ්රෙස්නෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන ෆුලර්ට අනුව, කෝවිඩ් වසංගතයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සමාගම් වලට ලබාදීමට ඔවුන්ට හැකි වුවත් ඒවා අනිවාර්ය නීති ලෙස බලාත්මක කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. “සේවකයන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පවතින්නේ අපේ යටතේ නොවෙයි.”

මේ වගකීම ඇත්තටම පැවරෙන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පිලිබඳ ආයතනයටයි (OSHA). මේ ආයතනය එක්සත් ජනපදයේ වැඩබිම්වල සේවකයන්ට නිසි ආරක්‍ෂිත පරිසරයක් ඇත්දැයි යන්න තහවුරු කිරීමට ස්ථානීය පරීක්ෂාවන් පවා කිරීමට බලය ඇති ආයතනයකි. නමුත් ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ ආයතන වලට මුදල් යෙදවීම අල්ප වන්නේ යම්සේ ද, OSHA ආයතනය ඊටත් වඩා අවම ප්‍රතිපාදන වලින් ක්‍රියාත්මක වන ආයතනයක් බවත් එහි දැනට පවතින බලතල පවා විටින් විට ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා අනුව සීමා කෙරෙන බවත් පවසන්නේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ පීඨයේ වසංගත පිලිබඳ විශේෂඥ ඩේවිඩ් මයිකල්ස් ය. බරක් ඔබාමා ජනාධිපතිවරයාව සිටියදී ඩේවිඩ් OSHA ආයතනයේ අධ්‍යක්ෂ ධූරය දරා තිබේ. ගිය වසරේදී OSHA ආයතනය සතුව සිටි වැඩබිම් වල ආරක්ෂාව පිලිබඳ ස්ථානීය පරීක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පසුගිය අවුරුදු 45ක කාලය තුලදී සිටි අඩුම සංඛ්‍යාව බව ජාතික සේවා නියුක්තිකයන්ට බලපාන නීති පිලිබඳ ව්‍යාපෘතිය සඳහන් කරයි. කෝවිඩ් වසංගත සමයේ රැකියා ස්ථාන වල ආරක්ෂාව පිළිබඳව ලැබුණු 13,000ක පමණ පැමිණිලි වලින් ඔවුන් විසින් සොයාබැලීමට ලක්කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමනක් වීමට හේතුව මෙය විය හැකිය. “අපි අපේ ආර්ථික ව්‍යුහය සකස්කර ඇත්තේ බොහෝ කම්කරුවන්ට ඉතා අවම අයිතිවාසිකම්, ඉතා කුඩා වැටුපක්, සහ ඉතා අනතුරුදායක වැඩබිමක් උරුමවන ලෙසටයි. සමාගම් හිමිකරුවන් ඒ මතින් තම ලාභ ලබාගනියි.” යැයි මයිකල්ස් පවසයි.

සිං ගේ මව ජිවත් වන්නේ මේ යථාර්තය මුහුණ දෙමිනි. ඇයට කෝවිඩ් වැළඳීමට සති දෙකකට පමණ පෙර ඇය තම පුතුට කියා තිබුණේ ඇය සේවය කල ෆොස්ටර් ෆාම්ස් මාංශ සැකසුම් කර්මාන්තශාලාවේ සේවකයින් 140කට පමණ කෝවිඩ් වැළඳී තිබෙනවා වියහැකි බවයි. කර්මාන්තශාලාවේ සේවකයන්ගේ අඩුවක් පෙනුණ බවත් එහි දැන්වීම් පුවරුවක අංක 140 සඳහන්වන ඉංග්‍රීසි බසින් ලියැවුණු දැන්වීමක් ද තිබුණු බවත් ඇය කියයි. සිය මව මුහුණ දී සිටින වාතාවරණයට කුමක් කලයුතු දැයි සිතා ගැනීමට සිං ට නොහැකි වුනා. “මම හිතන විදියට ෆොස්ටර් ෆාම්ස් හි සේවය කරන බොහෝ දෙනා ස්පාඤ්ඤ, මොන්ග් (Hmong) සහ පන්ජාබ් භාෂා කතා කරන අයයි. එහි ඉංග්‍රීසි කතා කරන්නේ ඉතාම සුළු පිරිසක්” යැයි සිං පැහැදිලි කරයි. ඔහු තම මවට පවසා තිබෙන්නේ කවුරු හෝ ස්මාට් ජංගම දුරකථනයක් තිබෙන කෙනෙකුට කියා මේ දැන්වීමේ ජායාරුපයක් ලබාගෙන තමාට පෙන්වන ලෙසයි. නමුත් ඇගේ සේවා ස්ථානයේ මිතුරිය එසේ කිරීමට අකමැති වී තිබෙන්නේ තමන්ට ප්‍රශ්ණයක් ඇතිවේවි යන බියටයි. දින කීපයකින් මේ දැන්වීම ඉවත් කර තිබෙන නමුත් වෛරසය නිහඬවම පැතිරෙමින් තිබෙනවා. දෙසැම්බර් මාසයේදී ඇමරිකානු එක්සත් ගොවිපල සේවක සංගමය විසින් ඔවුන්ගේ ලිවින්ග්ස්ටන් ප්‍රදේශයේ සේවයකළ සේවක පිරිසක් වෙනුවෙන් ෆොස්ටර් ෆාම්ස් සමාගමට එරෙහිව නඩු මගට එළඹුණේ “ෆොස්ටර් ෆාම්ස් සමාගම එහි සේවකයන් කෝවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පැහැරහැරියේය” යන චෝදනාව යටතේයි.

ඇත්ත වශයෙන්ම ෆොස්ටර් ෆාම්ස් සමාගමේ ලිවින්ග්ස්ටන් කර්මාන්තශාලාව මෙහිදී විශේෂ සන්ධිස්ථානයක් වන්නේ කෝවිඩ් පැතිරීම නිසා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් වසාදමන ලද ඉතා සුළු ගණනක් වූ කෘෂි ව්‍යාපාර වලින් එකක් වීම නිසයි. ලිවින්ග්ස්ටන් ප්‍රදේශය අයත්වන මර්ස්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සැල්වදෝර් සැන්ඩෝවල් පවසන පරිදි මේ කර්මාන්තශාලාවේ සේවය කල දෙදෙනෙක් ජූලි මාසයේදී මියගොස් ඇතිබවට වූ ප්‍රවෘත්තිය ඇසීම ඔහුට දැඩි කම්පනයක් ඇති කර තිබෙනවා. එයින් ඇතිවූ උනන්දුව මත දෙපාර්තමේන්තුව විසින් කර්මාන්තශාලාවේ කෝවිඩ් ආසාධිත සියලු සේවකයන්ගේ ලැයිස්තුවක් ඉල්ලා තිබෙනවා. “ඒ ලයිස්තුවේ තවත් කෝවිඩ් වැළඳී මියගිය පිරිස්වල තොරතුරු පිරී තිබුනා” යැයි සැන්ඩෝවල් පවසයි.

ඔහු සහ දෙපාර්තමේන්තුවේ වසංගත පිලිබඳ විශේෂඥයින් මින් කලබලයට පත්වූ අතර ලිවින්ග්ස්ටන් කර්මාන්තශාලාව වහාම වසා දමා සියලුම සේවකයන් පරික්ෂාවට ලක් කලයුතු යැයි තීරණයකට එළඹී තිබෙනවා. මර්ස්ඩ් හි පරිපාලකයින් මෙයට එරෙහි වීම නිසා ඔවුන් කැලිෆෝර්නියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්තයේ OSHA කාර්යාලය වෙතින් සහය ඉල්ලා තිබෙනවා. අගෝස්තුවේ මැද වනවිට මධ්‍යම රජයේ නිලධාරියෙකු පවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඇමතුමක් දී සඳහන් කර තිබෙන්නේ මාංශ සැකසුම් කර්මාන්තශාලා කිසි ලෙසකින් වත් වසා නොදැමිය යුතු බවට ජනාධිපති ට්‍රම්ප් නියෝග කර ඇති බවයි. නමුත් මර්ස්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයේ දැඩිව එළඹ සිටියේය. අගෝස්තුවේ අග වනවිට සේවකයින් 8 දෙනෙකු පමණ මියගොස් ඇති වාතාවරණයක් යටතේ අවසානයේදී ලිවින්ග්ස්ටන් කර්මාන්තශාලාව දින 6කට වසා දැමුණු අතර එම කාලය කර්මාන්තශාලාව මුළුමනින්ම විෂබීජහරණය කිරීමටත් සේවකයින් කෝවිඩ් පරික්ෂාවට ලක් කිරීමටත් යොදාගැනිනි. “එය ලේසි පහසු වැඩක් වුනේ නෑ”, සැන්ඩෝවල් පවසයි. “එය ලේ, දහඩිය සහ කඳුළු මතින් ලබාගත් ප්‍රථිපලයක්.”

නේචර් සඟරාවට ලිපියක් එවමින් ෆොස්ටර් ෆාම්ස් සමාගම කියා සිටින්නේ තමන් සේවකයන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනයට කැපවී සිටින බවත් වසංගතය ආරම්භ වූ මුල සිටම කෝවිඩ් පරික්ෂා කිරීමේ වැඩපිළිවලක් ඇතුළු අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බවත්ය. පෙබරවාරියේ සිට කැලිෆෝර්නියාවේ සේවකයින්ට කෝවිඩ් එන්නත් ලබාදීමට පටන්ගෙන තිබේ. සේවකයන්ගේ පැමිණිලි ගැන වැඩිදුරටත් අදහස් දක්වන සමාගම සඳහන් කරන්නේ 2020 වසරේ මාර්තු මාසයේ සිට සේවකයන්ට තම සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ බියක් ඇත්නම් වහාම තම වැඩ අධික්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන ලෙසට දැනුවත් කර ඇති බවයි.

ප්‍රජා සෞඛ්‍යය රැක ගැනීම…

මාංශ සැකසුම් කර්මාන්තශාලාවල කෝවිඩ් ව්‍යාප්ත වීමේ ප්‍රථිපල කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැකිය. ජාතික විද්‍යා ඇකඩමියේ පළවුණු පර්යේෂණ පත්‍රිකාවට අනූව 2020 වසරේ පළමු භාගය වනවිට එක්සත් ජනපදයේ වර්තාවුණු කෝවිඩ් රෝගීන් 310,000කට පමණ සහ මරණ 5200කට පමණ වගකිවයුතු වන්නේ සත්ව නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තශාලාවල ඇතිවූ රෝග ව්‍යප්තින් බවයි.

මේ සංඛ්‍යාලේඛන තවත් විශාල ගැටළුවක් මතුකර පෙන්වයි. තමන්ට වැඩබිම්වල කටයුතු වලට මැදිහත් වීමට නොහැකි බවට ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ සත්‍යයකි. නමුත්, ඉතිහාසය විසින් පෙන්වා දෙන්නේ, ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්න අවස්තාවලදී ඊට එරෙහි නොවීම යනු සමාජයේ වඩාත්ම දුබල ජනකොටස් රෝග වලින් බේරාගැනීම නම් වූ සෞඛ්‍ය බලධාරීන්ගේ මුඛ්‍ය වගකීම ඉටු කිරීමට නොහැකිවන බවයි. “ප්‍රමාණවත් තරමින් රැකියා අවස්ථා නොමැති වීම, ප්‍රවාහන පහසුකම් නොමැති වීම, අධ්‍යාපන අවස්ථා නොමැති වීම, සහ ජාතිවාදය යන කරුණු වලින්  සිදුවන විනාශය අපි හොඳින් දන්නෙමු” යැයි පවසන්නේ මේරිලන්ඩ්හි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍යය පිලිබඳ ඉතිහාසඥයෙකු වන ග්‍රැහැම් මූනි ය. “ප්‍රජා සෞඛ්‍යයට මේ ප්‍රශ්ණ විසඳීමට පෙළඹවීමක් කිරීමට නොහැකි නම්, ප්‍රජා සෞඛ්‍යය ද නැත්තටම නැතිවනු ඇත.”

ඇමරිකානු ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයෙකු වන ජෝජස් බෙන්ජමින් මීට මුළුමනින්ම එකඟ වේ. ඔහු කියන්නේ මේ වසංගතයෙන් හටගත් තත්වය සාමාජයීය සහ ආර්ථිකමය වෙනස්කම් ඇතිකිරීමට උපයෝගී කරගතයුතු බවයි. ඒ වසංගතය විසින් සමාජයේ සැඟවී තිබු කණගාටුදායක තත්වය මනාව මතුකර පෙන්වා දී තිබෙන නිසයි. එක්දහස් නමසිය තිස් ගණන්වල ඇතිවූ මහා ආර්ථික අවපාතය මගින් කල පෙළඹවීම නිසා ෆ්‍රැන්ක්ලින් රුස්වෙල්ට් ජනාධිපතිවරයා යටතේ රැකියා වියුක්ත රක්ෂණ ක්‍රම, නිවාස යෝජනා ක්‍රම මෙන්ම සුභසාධන ක්‍රම වැනි වැඩසටහන් රැසක් ආරම්භ වූ බව ඔහු සිහිපත් කරයි. “අප නැවත වතාවක් ඇමරිකාව වෙනුවෙන් නව සමාජයීය ප්‍රතිසංස්කරණ රැගෙන ආයුතු වේ” යැයි බෙන්ජමින් පවසයි. “ඒ ප්‍රතිසංස්කරණ සැමට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක්, දැරිය හැකි මුදලකට නිවසක් සහ දැරියහැකි මුදලකට සෞඛ්‍ය පහසුකම් මෙන්ම ආරක්ෂාකාරී වටපිටාවක් හිමිවන ප්‍රතිසංස්කරණ වියයුතුයි.”

මම බෙන්ජමින්ට කතාකොට මාසයක් පමණ ගතවෙත්ම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඩොලර් ට්‍රිලියන 2ක ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කලේ අතීතයේ මහා ආර්ථික අවපාතයට ප්‍රතිචාර ලෙස සිදුකල වැඩසටහන සිහිකරවමිනි. මේ අලුත් ආර්ථික සැලැස්ම 1850 ගණන්වල වර්චෝව් විසින් ඉහල සිලෙශියාවේ ඇතිවූ ටයිෆස් උණ වසංගතය පිළිබඳව ඉදිරිපත්කල වාර්තාව සිහිගන්වයි. එහි වැටුප් ඉහල දැමීම, රැකියා ස්ථානවල තත්වය ඉහල දැමීම, පොදු පාසැල් ඇති කිරීම, සහ දැරියහැකි මිලකට නිවාස සැපයීම වැනි යෝජනා තිබුණු අතර ඒ සඳහා මුදල් මහාපරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් ඉහල බදු අය කිරීම මගින් සපයා ගැනීමට යෝජනා කර තිබුණි. මෙය ක්‍රියාවට නැගුනොත් වසර 40ක් පමණ තිස්සේ එක්සත් ජනපදයේ ඉහල යමින් පැවති සමාජ අසමානතාවයන් ආපසු හැරවීමට හැකි බව මීට එකඟ පාර්ශව පවසයි.

මාර්තු මස 31 වෙනිදා ඇමරිකානු ප්‍රජා සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති බයිඩන් ගේ යෝජනාවලට සහය පල කල අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති මේ අසමානතාවයන් නැති කිරීම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් බවද පෙන්වා දුන්නේය. අනෙකුත් විද්‍යාඥයන් ද දේශපාලනික කරුණු පිලිබඳ අදහස් දැක්වීම දැන් ආරම්භ වී තිබේ. විද්‍යාඥ ඇන්තනි ෆවුචි විසින් සෞඛ්‍යයට බලපාන සමාජයීය කරුණු පිළිබඳව කල ප්‍රකාශයක් පිළිබඳවද මම වැඩිදුර පැහැදිලි කිරීමක් ඉල්ලාසිටි විට ඔහු කිවේ මේවා මුල්බැස තිබෙන්නේ ජාතිවාදය සහ ආර්ථික අසමානතාවය මත බවත් ඒවා ගැන කතා කිරීමට දැන් කාලය එළඹ ඇති බවත්ය. “විද්‍යඥයන් ලෙස අපට මේ ගැන කතා කිරීමට සමාජයීය වගකීමක් ඇත්තේ අප වසංගතය සමග සටන්බිමේ පෙරමුණේම සිටිමින් මිනිසුන්ට ප්‍රතිකාර කරන සහ ඒ හා බැඳුනු දත්ත අධ්‍යනය කරන පිරිස නිසයි.” ලාන්ස් සඟරාවේ ලිපිය ලියූ කතුවරු මීටත් වඩා ප්‍රයෝගික වෙමින් විසඳුම් ද යෝජනා කර තිබේ. වැටුප් ඉහල දැමීම සහ සංක්‍රමණිකයන්ට එරෙහි නීති වඩාත් සාධාරණ ලෙස වෙනස් කිරීම ඔවුන්ගේ ලයිස්තුවේ තිබේ. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ පර්යේෂකයන්ට මේ ගැන බලපෑමක් ඇති කිරීමට විවිධ ක්‍රම අනුගමනය කළහැකි බවයි. විශාල ජනමතයක් ඇති කිරීම, සමාජ මාධ්‍යවල මීට අදාළ හෑෂ් ටැග් වැඩි වැඩියෙන් ප්‍රචලිත කිරීම, සමාජ ක්‍රියාකාරික සංවිධාන සමග ඒකාබද්ධ වීම වැනි පියවර ඔවුන්ට ගත හැකිය. සෞඛ්‍යමය කරුණු පිලිබඳ භූවිද්‍යාඥවරියක් වන ප්ලේනි කියා සිටින්නේ විද්වතුන් විසින් දේශපාලකයන්ට මිනිත්තු තුනකින් කියවා තේරුම් ගතහැකි ලෙස ලිවීමට පුරුදු වියයුතු බවයි. එහිදී වඩාත්ම ප්‍රයෝගික වීම සඳහා ඔවුන් විසින් තමන් යෝජනා කරන විසඳුම් වල යහපත් ප්‍රථිපල මෙන්ම වියහැකි හානිදායක ප්‍රථිපල කෙරෙහිද අවධානය යොමු කලයුතුය. “සමහරු හිතන්නේ මම හොඳින් සාක්ෂි ඉදිරිපත් කලොත් මිනිසුන් මට සවන්දෙනු ඇතැයි කියාය. නමුත් මහපොළොවේ වැඩ සිදුවන්නේ එසේ නොවේ” ඇය කියයි.

ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වලට ප්‍රතිපත්තිමය තීරණ ඇති කිරීම සඳහා බලපෑම් කිරීමට කොතරම් දුරට හැකියාවක් ඇද්ද යන්න තවමත් අප දන්නේ නැත. පර්යේෂණ ක්ෂේත්‍රයේ තරුණ අවධියේ සිටින බොහෝ දෙනෙක් මා සමග පැවසුවේ ඔවුන්ට තම වෘත්තියේ යම් ස්ථාවර තැනකට එනතුරු දේශපාලනික වශයෙන් සංවේදී මාතෘකා පිලිබඳව විවෘතව අදහස් දැක්වීමෙන් වලකින ලෙස උපදෙස් පවා ලැබී ඇති බවයි.

නමුත් දැන් මේ සිදුවෙමින් පවතින තත්වය සිංට හෝ ඔහුගේ පවුලට කිසිඳු යහපතක් ගෙන නොඑයි. ඔහුගේ මව මාර්තු මාසයේදී රැකියාවෙන් ඉවත් වීමත් සමගම ඔවුන්ගේ පවුලේ අගහිඟකම් නරක අතට හැරී තිබේ. “ඇයට කෝවිඩ් වැළඳුන දා පටන් ඇයට සිටගෙන වැඩෙහි යෙදීමට නොහැකි තරමට තෙහෙට්ටු ස්වභාවයක් දැනී තිබේ” යැයි  සිං පවසයි. ඊට අමතරව වසර ගණනක් කර්මාන්තශාලාවේ වැඩ කිරීමෙන් ඇයට බෙල්ලේ සහ කොන්දේ දිගුකාලීන ආබාධයක් හටගෙන තිබේ. මේ පවුලට ආහාර මිළදී ගැනීමට සහ ගෙවල් කුලී ගෙවීමට තාවකාලික මුල්‍ය සහයක් ලබාදීමට ෆ්රෙස්නෝ කෝවිඩ් සමානාත්මතා ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වන ජකරා සංවිධානය කටයුතු කර තිබේ.

වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙසට සිං ඉගෙනුම ලබන ප්‍රජා සෞඛ්‍යය පිලිබඳ ඉහල පිළිගැනීමක් ඇති විශ්වවිද්‍යාලයේ දේශන වලදී ඔහුට සෞඛ්‍යයට බලපාන සමාජයීය කරුණු පිළිබඳව ඉගෙන ගැනීමට ලැබෙයි. එහිදී දුගීබව සහ ආර්ථික-සමාජයීය සාධක සමග රෝග ව්‍යාප්තියේ ඇති සම්බන්දය මැනවින් පෙන්වා දෙයි. මෙය සිං ට මහත් පීඩාකාරී තත්වයකි. “ප්‍රජා සෞඛ්‍යයේ ඇති අසමානතාවය සහ සමාජයීය වශයෙන් වෙනස්කොට සැලකීම අතරේ ඇති සම්බන්දය ගැන ඇති තරම් පර්යේෂණ කෙරී තිබේ” ඔහු පවසයි. “නමුත් එය පිටුදැකීමට හෝ අවම කිරීමට අපි කර තිබෙන්නේ මොනවාද?” ඔහු යෝජනා කරන්නේ පර්යේෂකයන් මේ ගැටළු වලට ප්‍රයෝගිකව මුහුණ දෙමින් වැඩ කරන මහජන ව්‍යාපාර සමග අත්වැල් බැඳගතයුතු බවයි. “කම්කරුවන් කෝවිඩ් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමකට මුහුණ දෙන බව කියවෙන තවත් එක පර්යේෂණ පත්‍රිකාවක් පලකිරීම ප්‍රශ්ණයට විසඳුමක් නෙවෙයි. ඔබට ඇත්තටම මේ ප්‍රශ්ණය විසඳීමට මැදිහත් වීමට අවශ්‍ය නැද්ද?” ඔහු අසන පැනය එයයි.

  • ඒමි මැක්ස්මන් නේචර් සඟරාවේ ජ්‍යෙෂ්ඨ වර්තාකාරිනියකි. මේ ලිපිය සම්පාදනය කිරීම සඳහා පලිට්සර් මධ්‍යස්ථානය සහ මැසචුසෙට් තාක්ෂණ ආයතනයේ විද්‍යාත්මක පුවත්පත් කලාව පිලිබඳ වැඩසටහන අනුග්‍රහය දක්වා තිබේ.

මුලාශ්‍ර:

  1. Chen, Y-.H. et al. Preprint at medRxiv https://doi.org/10.1101/2021.01.21.21250266 (2021).
  1. Gray, A. M. Int. J. Health Serv. 12, 349–380 (1982).
  1. Chetty, R. et al. J. Am. Med. Assoc. 315, 1750–1766 (2016).
  1. Woolhandler, S. et al. Lancet 397, 705–753 (2021).
  1. Gold, J. A. W. et al. Morb. Mortal. Wkly Rep. 69, 1517–1521 (2020).
  1. Romano, S. D. et al. Morb. Mortal. Wkly Rep. 70, 560–565 (2021).
  1. Taylor, C. A., Boulos, C. & Almond, D. Proc. Natl Acad. Sci. USA 117, 31706–31715 (2020).

අසමානව සැලකීමේ මරණීය ප්‍රතිඵල