නීතිය යනු…

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විටින් විට කරනු ලබන සංශෝධන නිසා ද, අලුතින් ගෙන එනු ලබන විවිධ අණපනත් මෙන් ම මැතිවරණ නීති සංශෝධන ආදිය නිසා ද නීතිය පිළිබඳ සංවාදයක් විටින් වට මතු වෙමින් තිබේ. ස්වාධීන කොමිෂන් සභා ආදී ප්‍රජාතන්ත්‍රවාදය දෙසට වූ ප්‍රතිසංස්කරණ මඟින් සමාජය සුවපත් කිරීමට හැකි යැයි විශ්වාස කරමින්. ගොඩනැඟෙන දේශපාලන කඳවුරු පිළිබඳ අත්දැකීම් ද අප සතුව තිබේ. ඒ තුළින් දිනා ගත් යම් යම් සාධනීය ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන් ම අලුතින් බලයට පත් වෙනත් පාලනයන් මඟින් ඒවා අහෝසි කිරීමේ අත්දැකීම් ද අප සතු ය. මේ දෙයාකාරයේ ම අත්දැකීම් ඉදිරියට ද සුලභව දැකිය හැකි බැවින්, නීතිය පිළිබඳ නිවැරැදි විද්‍යාත්මක විග්‍රහයක් කිරීම කාලෝචිත වෙයි.

සම බර තරාදියක් එක් අතකින් ද, අනෙක් අතින් කඩුවක් ද ගත් දෑස් බඳින ලද ‘තේම්ස්’ නම් ගී්්‍රක දෙවඟනගේ රුව ‘නීතියේ සංකේතය’ ලෙස ලොව පුරා භාවිත වෙයි. ඉන් සංකේතවත් වනුයේ, නීතිය ඉදිරියේ සියලු දෙනා ම සමාන වන බවත්, නීතිය මඟින් විශේෂත්වයකින් තොරව සියලු දෙනාට ම සමානවත්, සාධාරණවත් යුක්තිය ඉටු කෙරෙන බවයි. මෙම මතය නීතිය පිළිබඳ පොදු සමාජ පිළිගැනීම වේ. එබැවින්, සියලු දෙනා ම විශේෂත්වයකින් තොරව නීතියට අවනත විය යුතු බවට ද පොදු පිළිගැනීමක් තිබේ. නමුත්, මෙය සත්‍යයක් ද?

නීතිය පිළිබඳ නිර්වචන

සමාජයක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව සාමාන්‍යයෙන් රජය මඟින් පවත්වනු ලබන පාලනය නීතිය වශයෙන් හැඳින්වේ.

කේම්බි්‍රජ් ශබ්දකෝෂය.

මූලික වශයෙන් අසංවිධානාත්මක සමාජය එකට බැඳ තබනු ලබන දෙය නීතියයි.            -තෝමස් හොබ්ස්

නීතිය යනු බලයක් සහිත බුද්ධිමතකු විසින් බුද්ධිමත් ජනයාගේ හැසිරීම පාලනය කිරීම සඳහා පවත්වන ලද පාලනයකි.      -ජෝන් ඔස්ටින්

පුද්ගලයකු  තුළ හෝ ජනසමූහයක් තළ හෝ පවත්නා සහේතුක බවේ ප්‍රතිමූර්තිය නීතියයි.

            -ප්ලේටෝ

“නීතිය වූ කලී සමාජයේ මිනිසුන් හැසිරවීම සඳහා පනවන ලද අනිවාර්ය සම්මතයන්ගේ හා රීතිවල සමස්තය වන්නේ ය.

“නීතිය ද දේශපාලනය මෙන් ම පන්ති හා රජය බිහි වීමත් සමඟ ම ඇති විය. එය නීතිමය ආකෘතිය අනුව ප්‍රකාශ කරන ලද පාලක පන්තියේ මනාපය ය.”

            -වී. ජී. අපනාසියෙව්, මාක්ස්වාදී දර්ශනයේ මූලධර්ම.

මීට අමතර වශයෙන් නීතිය දෙවියන්ගේ නිර්මාණයක්, දෙවියන්ගේ කැමැත්ත වශයෙන් ද වන පිළිගැනීමක් සහ ඒ මත පදනම් වූ නිර්වචන ද ඇත. පොදුවේ ගත් කල බොහෝ නිර්වචන මඟින් කියැවෙන්නේ නීතිය සමාජය පාලනය කරන සහ හසුරුවන උපකරණයක් බවයි.

නීතියේ ඉතිහාසය

නීතියේ උපත හා විකාශනය සිදු වන්නේ පන්ති සමාජය බිහි වීමත් සමඟ බව මීට පෙර සඳහන් කරන ලදී. ක්‍රිස්තු පූර්ව 3000 පමණ පැරැණි ඊජිප්තුවේ සිවිල් නීති සංග්‍රහයක් පිළිබඳ තොරතුරු හමු වී තිබෙන අතර, වඩාත් ප්‍රචලිත වන්නේ ක්‍රිස්තු පූර්ව 1760 පමණ හමුරාබි රජු විසින් බැබිලෝනියානු නීතිය සංවර්ධනය කර ගොඩනඟා තිබෙන හමුරාබි නීති සංග්‍රහයයි. ශිලා ස්ථාම්භ දොළහක නීිති 282කින් සමන්විත වන මෙය ලොව පැරැණි ම නීති සංග්‍රහය ලෙස හඳුන්වයි. ක්‍රිස්තු පූර්ව 400 පමණ කෞටිල්‍ය විසින් රචිත ‘අර්ථ ශාස්ත්‍ර’ ග්‍රන්ථය තුළ ද ආර්ථික, යුද හා රාජ්‍ය පාලනය පිළිබඳ නීති ඇතුළත් කොට තිබේ. තවද, ක්‍රිස්තු පූර්ව (1000-1250) කාලයට අයත් ‘මනුස්මෘති’ (ධර්ම ශාස්ත්‍ර) ග්‍රන්ථය තුළ ද හින්දු නීති සංග්‍රහයක් ඇතුළත් කොට තිබේ.

නීතිය ඓතිහාසික ප්‍රපංචයකි

අනෙකුත් සියලු ම දේ මෙන් ම නීතිය ද එක ම අයුරින් පවතින්නේ නැත. එය ද අඛණ්ඩව වෙනස් වෙමින් පැමිණ තිබේ. සමාජ සංවර්ධනය විසින් ඇති කරනු ලබන වෙනස ද,  රටින් රටට ඇති වන වෙනස්කම් ද, පාලක පන්තීන්ගේ වෙනස්කම් ද අනුව නීතිය වෙනස් වෙයි.

‘මනුස්මෘති’ ග්‍රන්ථය තුළ ඇතුළත් නීතියට අනුව පහත් කුලයක අයකු මරා දැමීම බල්ලකු, කපුටකු මරා දැමීමට සමාන ය. ඉස්ලාම් නීතිය තුළ තම සහෝදරිය හෝ මව හෝ මරා දැමීම පවුලේ ගෞරවය වෙනුවෙන් කළ බව ඔප්පු කළහොත්, එය සාධාරණ බව පිළිගනී. ඇතැම් රාජාණ්ඩු තුළ ලිඛිත නීිතියක් නොතිබූ අතර, රජුගේ කැමැත්ත නීතිය විය. යුරෝපා වැඩවසම් ක්‍රමය තුළ කතෝලික පල්ලියේ ඉගැන්වීම් නීතිය විය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් පසුව ද 1863 වන තුරු එක්සත් ජනපදය තුළ වහල් වෙළෙඳාම වරදක් ලෙස සැලැකුවේ නැත.

නීතිය සහ මාක්ස්වාදය

මාක්ස්වාදයට අනුව සමාජ ව්‍යුහය පදනම හා උත්තර් නිර්මිතයකින් යුක්ත බව පිළිගනී.

පදනම නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතාවල අඩංගුවක් වන අතර. උත්තර් නිර්මිතය ඒ මත ගොඩනැඟී තිබේ. කලාව, සිරිත්-විරිත්, මතවාද, ආගම්, දේශපාලනය මෙන් ම නීතිය ද මෙම උත්තර් නිර්මිතයට ඇතුළත් වෙයි. එය පදනම ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී. නීතිය විසින් සමාජය බිහි කරන්නේ නැත. සමාජය විසින් නීතිය බිහි කරනු ලබයි. ධනවාදය තුළ සොරකම් කිරීම තහනම් වුවත්, සූරාකෑම (සූරාකෑම ද හොරකමකි) තහනම් නැත. එය මානව වර්ගයා රැකීම වෙනුවට ධනේශ්වර පෞද්ගලික දේපළ රැකීම වෙනුවෙන් පෙනී සිටී. කලින් සඳහන් කළ පරිදි නීතිය යනු පාලක පන්තියේ කැමැත්ත වන්නේය.

1971 අරගලය හා සම්බන්ධ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතට එරෙහිව රෝහණ විජේවීර සහෝදරයා ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඇතුළත් ‘අප මරා දැමුව ද, අප නඟන හඬ සදා නොමියෙනු ඇත’ කෘතියේ 119 වැනි පිටුව තුළ වූ පහත උපුටා දැක්වීම තුළ නීතිය පිළිබඳ පන්තිමය ස්ථාවරය තියුණු ලෙස සඳහන් කර තිබේ.

නීතිය යනු…