කැනේඩියානු ස්වදේශිකයින් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ප්‍රතිමා පෙරළා දමයි

SHARE

කැනඩාවේ ප‍්‍රදේශ කිහිපයක පිහිටුවා තිබූ බ්‍රිතාන්‍ය වික්ටෝරියා රැජිනගේ සහ දෙවන එලිසබෙත් රැජිනගේ ප්‍රතිමා කිහිපයක් එරට ස්වදේශික ජනතාව පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පෙරළා දමා තිබේ.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කැනඩාව තුළ විසු ස්වදේශික ජනතාව වෙත එල්ල කළ අඩත්තේටම්වලට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය. යටත් විජිත සමය තුළදී බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අනුග්‍රහයෙන් කැනඩාව තුළ වාසය කළ ස්වදේශික ජන කොටස් වල දරුවන් බලහත්කාරී ලෙස මිෂනාරි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීමේදී ස්වදේශික දරුවන් විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක්කර ඇති බවටත්, ඔවුන් ලිංගික හිරිහැරයන්ට මෙන්ම විවිධ හිරිහැරයන්ට යටත් විජිත පාලකයන් විසින් ලක්කර ඇති බවටත් තොරතුරු අනාවරණය වීමත් සමඟ ප්‍රකෝප වූ ස්වදේශික ජනයා මෙලෙස යටත් විජිත පාලනකයින්ගේ ප්‍රතිමා බිඳ දැමීමට කටයුතු කර තිබේ.

1837 සිට 1901 දක්වා කැනඩාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් පැවති අතර වික්ටෝරියා රැජිණ නායිකාව විය. පෙරළා දැමුණු වික්ටොරියා රැජිනගේ ප්‍රතිමාව මත විරෝධතාකරුවන් නැග සිටි අතර විරෝධතා කොඩි යොදා ගනිමින් ප්‍රතිමා වසා දැමීමට මෙන්ම විවිධ ක්‍රියාකාරකම් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇත.

මෙම විරෝධතාව ඇවිළීමට හේතුවී තිබෙන්නේ පසුගිය මැයි මස අවසානයේ සිට සිදු කරනු ලැබූ කැණීම්වලදී  සස්කැච්වන් සහ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ නේවාසික පාසල් තුනක සලකුණු නොකළ සොහොන් 1000 කට ආසන්න ප්‍රමාණයක් බිහිසුණු ලෙස සොයාගැනීමත් සමඟය. පසුගිය ජුනි 30 වැනිදා කැන්බරෝහි පිහිටි නේවාසික පාසලක සිදුකරනු ලැබූ කැනීම්වලදී ශරීර කොටස් 182ක් හමුවීමත් සමඟ විරෝධතා දැඩිව තිබේ.

මියගිය සහ යටත් විජිත ක්‍රිස්තියානි පාසල්වල තැන්පත් කරන ලද ආදිවාසී දරුවන්ට ගෞරව දැක්වීම සඳහා විනිපෙග්හි වීදිවල විරෝධතා සඳහා දහස් ගණනක් එක් ව තිබේ. විශේෂයෙන්ම මැයි මස සිට කැනඩාවේ බොහෝ නගරවල සාම්ප්‍රදායික කැනඩා දින සැමරුම් අත්හිටුවා තිබේ. විරෝධතාකරුවන් සුපුරුදු කැනඩා දින වර්ණ වූ සුදු සහ රතු වර්ණ වෙනුවට තැඹිලි පැහැ ඇඳුමින් සැරසී විරෝධතාවයන්ට එක්වී ඇත.

කැනේඩියානු ස්වදේශිකයින් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ප්‍රතිමා පෙරළා දමයි