ප්‍රංශයේ ප්‍රජා යුද්ධය – කාල් මාක්ස්

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Table of Contents

පෙරවදන


ලොව පළමු කම්කරු පංති රාජ්‍යයේ අත්දැකීම වු, ලොව පළමු
සමාජවාදී පාලනය ලෙස සැලකෙන පැරිස් කොමියුනය පිහිටුවා මෙම 2021
මාර්තු 18ට වසර 150ක් පිරේ. ප්‍රංශයේ අගනුවර වන පැරිසියේ සන්නද්ධ
කම්කරුවන් විසින් පැරිසියේ බලය තමන් අතට ගෙන පැරිස් කොමියුනය
පිහිටුවනු ලැබුවේ 1871 මාර්තු 18දාය. එය මැයි 28 දා බිඳ වැටිණි. පැරිස්
කොමියුනය පැවතියේ දින 72ක කාලයකි. ප්‍රසියානු (ජර්මන්) අධිරාජ්‍යයේ
සහයෝගය සහිතව ප්‍රංශයේ ධනේශ්වර පාලකයා වූ තියෙර් විසින් මහා
මිනිස් ඝාතනයකින් පැරිස් කොමියුනය විනාශ කරන ලදී.
‘ප්‍රංශයේ ප්‍රජා යුද්ධය’ නමින් අප විසින් පළ කරනු ලබන
මෙම පොත් පිංච ලියනු ලැබුවේ කාල් මාක්ස් විසිනි. එය ප්‍රකාශයට පත්
කළේ 1871 මැයි 30 දා ලන්ඩනයේදීය. එනම් පැරිස් කොමියුනය බිඳවැටී
දින දෙකක් ඇතුළතය. මෙය මාක්ස් විසින් ලියනු ලැබුවේ පළමු වැනි
ජාත්‍යන්තරය හෙවත් ‘ජාත්‍යන්තර කම්කරු සංගමයේ ප්‍රධාන මණඩලයේ
ආමන්ත්‍රණය’ ලෙස යුරෝපයේ හා එක්සත් ජනපදයේ සිටින සංගමයේ
සියලු සාමාජිකයන් වෙතය.
පැරිස් කොමියුනය හෙවත් ලොව පළමු කම්කරු පංති රාජ්‍යයේ
අත්දැකීම් විග්‍රහ කළ මාක්ස්, පංති අරගලය, රජය, විප්ලවය, නිර්ධන පංතියේ
රාජ්‍යයක සැබෑ ස්වරූපය මෙම ප්‍රංශයේ ප්‍රජා යුද්ධ නම් සිය කෘතිය මගින්
විග්‍රහ කරනු ලැබ ඇත. එබැවින් මෙම කෘතිය පැරිස් කොමියුනය පිළිබඳ
මෙන්ම පංති අරගලය පිළිබඳව හා නිර්ධන පංති රාජ්‍යය අනෙකුත් පීඩක ඩස
පංති රාජ්‍යයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමේදී
ද ඉතා වැදගත් බව කිව යුතුය.
1871 දී මීට වසර 150කට පෙර බිහිවූ පැරිස් කොමියුනය
අහම්බයක් හෝ පැරිස් කම්කරුවන්ගේ හිතුවක්කාරීකමක ප්‍රතිඵලයක්
නොව ප්‍රංශය තුළ ඓතිහාසිකව වර්ධනය වූ සමාජ, ආර්ථික, දේශපාලන
සාධකයන් විසින්, විෂය මූල තත්වයක් විසින් බිහි කරන ලද්දක් විය. මෙම
විප්ලවකාරී දේශපාලන වටපිටාව ආරම්භ වූයේ 1789 දී එවකට ප්‍රංශයේ
පැවති 16 වැනි ලුවීගේ රදළ වැඩවසම් පාලනය බිඳ දමමින් ඇති වූ ප්‍රංශ
මහා විප්ලවය සමගිනි. ප්‍රංශ මහා විප්ලවය රදළ වැඩවසම් ක්‍රමය බිඳදමා
නව ධනවාදී සමාජ ක්‍රමයකට උපත දුන්නද, ප්‍රංශයේ ධනේශ්වර විප්ලවය
ඉදිරියට ගියේ ආපසු හැරීමේ උත්සාහයන්ද සහිත ගැටුම් හා ප්‍රතිවිරෝධතා
රැසක් සමගිනි.
ප්‍රංශය ධනේශ්වර විප්ලවයෙන් පසු ගමන් කළේ විශාල සමාජ
දේශපාලන ගැටුම් හා සටන් රැසක් මැදය. මෙහිදී ප්‍රංශයේ කම්කරු පංතිය
විශාල සටන්කාමිත්වයක් පෙන්වීය. නැපෝලියන් බොනපාට්ගේ බෑනාවන
ලුයි නැපෝලියන් හෙවත් 3 වැනි නැපෝලියන් 1848 බලයට පැමිණි අතර,
1851 දක්වා ප්‍රංශයේ දෙවන සමූහාණ්ඩුව ලෙස සැලකෙන කාලයේ එහි
ජනාධිපතිවරයා ලෙස, ජනරජයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. නැවත
1852 බලයට පත් ඔහු 1870 දක්වා ප්‍රංශය පාලනය කළේය.
මේ අතර 1870 දී ප්‍රංශ – ප්‍රසියානු (ජර්මන්) යුද්ධය ආරම්භ
වූ අතර ප්‍රසියානු හමුදා විසින් 1870 සැප්තැම්බරයේදී ප්‍රංශය පරාජයට
පත්කරන ලදී. 1870 සැප්තැම්බර් 02, 3 වැනි නැපෝලියන් ප්‍රසියාවට
(ජර්මනියට) යටත් විය. ඉන්පසු ඔහු රාජ මාලිගයක සිරකොට රඳවා තබන
ලදී.
මේ අතර 1870 සැප්තැම්බර් 04 දා ප්‍රංශයේ යළි සමූහාණ්ඩුවක්
ප්‍රකාශයට පත්කළ අතර, එහි නායකයා වූයේ ධනේශ්වර නායකයාවූ
තියෙර්ය. ප්‍රංශ – ප්‍රසියානු යුද්ධයේදී ප්‍රංශයේ ආරක්ෂාව වෙනුවෙන්
කම්කරුවෝ ද අවිගෙන සටන් කළහ. මෙහිදී ප්‍රංශය ප්‍රසියාවට යටත්වීමත්, ඩසස
ප්‍රසියානු හමුදා පැරිසිය වටලෑමත් සමග පැරිසිය ආරක්ෂා කර ගැනීම
සඳහා 1871 පෙබරවාරියේ පැරිසිය තුළ ජාතික ආරක්ෂක බලකායක්
පිහිටුවා ගන්නා ලදී. ඒ තුළ කම්කරුවෝද සන්නද්ධව සිටියහ. මේ වන
විටත් ප්‍රංශ සමූහාණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තියෙර් ප්‍රසියාවේ
පාලකයා වූ බිස්මාර්ක් සමග 1871 ජනවාරි 28 ගිවිසමකට එළඹ තිබිණි.
ප්‍රසියාවට යටත් වීමේ හා වන්දි ගෙවීම් ගිවිසුමක් වන එම ගිවිසුමටම
අනුව පැරිස් නගරයේ ආරක්ෂාවට සිටි ජාතික ආරක්ෂක බලකායේ
කම්කරුවන් නිරායුධ කිරීමට තියෙර් උත්සාහ කරන ලදී. මෙයට එරෙහි
වූ සන්නද්ධ කම්කරුවන් තම විරෝධය පෑම නිසා පැරිසියේ සිටි ධනපති
කණ්ඩායම් විසින් පැරිසිය අතහැර පසුබසින ලදී. එහි ප්‍රතිඵලය වූයේ
පැරිස් නගරයේ බලය මුළුමනින්ම කම්කරුවන් අතට පත්වීමය. පැරිස්
කොමියුනය බිහිවූයේ එසේය.
පැරිස් කොමියුනය බිහි වන විට පැරිසිය එක් අතකින් පංති
සටන්වල මධ්‍යස්ථානය වී තිබූ අතර, එහි මනෝරාජික සමාජවාදී අදහස්
මෙන්ම අරාජිකවාදී අදහස්ද බලපැවැත් වීය. මාක්ස්වාදී මත දරන්නෝද
සිටියහ. ප්‍රංශයේ මනෝරාජික සමාජවාදියෙක් හා අරාජිකවාදියෙක් වූ
පියෙර් ජෝෂප් පෲදොන්ගේ අදහස් පැරිස් කම්කරුවන්ට විශාල බලපෑමක්
කර තිබුණි. අනෙක් අතට පැරිස් කොමියුනයට විශාලතම බලපෑම කළේ
ඒ වන විට සිරභාරයේ සිටි ලුයී ඔගස්ට් බැලැන්කිගේ මතවාදයයි. ඔහු
ඉතා දැඩි අරාජිකවාදියෙකු විය. මෙම මනෝරාජික හා අරාජිකවාදී අදහස්
කොමියුනය බැඳවැටීමටද හේතු වූ බව මාක්ස් පෙන්වා තිබේ. කෙසේ
වෙතත් පැරිස් කොමියුනය තුළ කම්කරු පංති රාජ්‍යයක මූලික පියවර
හා ප්‍රතිපත්ති සකස් වීමේදී මාක්ස්වාදී අදහස් හා මතවාද සැලකිය යුතු
බලපෑමක් කළ බව පැහැදිලිය.
අප එළිදක්වන ‘ප්‍රංශයේ ප්‍රජා යුද්ධ’ නැමති මාක්ස් ලියූ මෙම
කෘතිය පැරිස් කොමියුනයේ මෙම අත්දැකීම් පිළිබඳ ලියූ එකකි. එය
ප්‍රංශයේ දේශපාලනය හා පැරිස් කොමියුනය ගැන පමණක් නොව රාජ්‍ය
හා පංති සටන් පිළිබඳ මාක්ස්වාදී ස්ථාවරයන් ප්‍රකාශ කරන්නක් ලෙසද
ඉතා වැදගත් වේ. නිර්ධන පංති රාජ්‍යය අනෙකුත් පීඩක රාජ්‍යයන්ගෙන් ඩසසස
වෙනස්වන්නේ කෙසේද යන්න ඉගෙන ගැනීමේදී පැරිස් කොමියුනයේ
අත්දැකීම් ඉතා විශාලය. රුසියානු විප්ලවයේදී නිර්ධන පංති පාලනය
පිහිටුවීම සඳහා ලෙනින් ගුරුකොට ගත්තේ ද පැරිස් කොමියුනයේ
අත්දැකීම්ය.
දේශපාලනය පිළිබඳ, පංති සටන් පිළිබඳ, පීඩිත පංති රාජ්‍ය
පිළිබඳව මෙන්ම ධනපති පංතියේ කුමන්ත්‍රණකාරිත්වය, දුෂ්ටත්වය හා
මර්දනයේ ස්වභාවය පිළිබඳවත් වටහා ගැනීමේදී මෙම කෘතිය ඉතා
හොඳ මගපෙන්වීමක් කරන බව පැහැදිලිය. මෙයට වසර 150කට පෙර
ආරම්භ වූ ලොව පළමු සමාජවාදී රාජ්‍යයේ අත්දැකීම් පෙරට ගෙන යමින්
ලාංකේය විප්ලවය හා ලෝක විප්ලවය ගැන සිහින මවන විද්‍යාත්මක
කොමියුනිස්ට්වාදය පිළිබඳ විශ්වාස කරන විප්ලවවාදීන්ට මෙම කෘතිය ඒ
සඳහා නිවැරදි ගමන් මග පෙන්වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.
නියමුවා ප්‍රකාශන
2021.03.20

ග්‍රන්ථයේ පීඩීඑෆ් (pdf) පිටපත මෙතනින් ලබා ගන්න.

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Sign up for our Newsletter