ධනේශ්වර නොවන සංවර්ධන මාවත

SHARE

ලෙනින්ගෙන් පසු වමේ ව්‍යාපාරය තුළ ලෙනින්වාදයෙන් වෙනස් වූ අවස්ථාවාදී ප්‍රවණතාවන් බරපතල ආකාරයෙන් ප්‍රකාශයට පත් වූයේ 1960 දශකයේ දී ය. එලෙස ප්‍රකාශයට පත් වූ අවස්ථාවාදී ප්‍රවණතාවයන් අතර ප්‍රධාන එකක් වූයේ සමාජවාදී විප්ලවය අවධිවලට බෙදීම ය. මෙය ‘අවධි තුළින් සමාජවාදයට’ යනුවෙන් නම් කෙරිණි. මෙය තහවුරු කරනු ලැබූවේ ස්ටැලින්වාදී හා මාවෝවාදී මතවාදයන් මඟිනි. ඉන් පොදුවේ විග්‍රහ කරනු ලැබූයේ ලොව ධනවාදයේ පරිධියේ පසු වූ පසුගාමී හා යටත්විජිත ලෙස පැවැති රටවල්වල විප්ලවයේ උපායමාර්ගය පිළිබඳව ය. ඉන් කියවුණේ ලොව පරිධියේ ඇති පසුගාමී හා යටත්විජිත හෝ නව යටත්විජිත රටවල ධනේශ්වර ක්‍රමය සංවර්ධනය වී නොමැති බවත්, ඒ නිසා ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ වී නැති බවත් එබැවින්, එම රටවල් වහා ම සමාජවාදී විප්ලවය වෙත යාමට නොහැකි බවත් ය. එබැවින්, එවැනි රටවල දී සමාජවාදී විප්ලවය අවධි දෙකක් තුළ සිදු කළ යුතු බවත්, ඉන් පළමු අවධිය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවධිය හා දෙවන අවධිය සමාජවාදී අවධිය ලෙසත් වෙන් කොට ඊට අනුව විප්ලවවාදී ව්‍යාපාර කටයුතු කළ යුතු බවත් ය.

මෙහි දී මෙම පසුගාමී හා යටත්විජිත රටවල දේශීය ධනපති පන්තිය ප්‍රගතිශීලී වන බැවින්, විප්ලවයේ පළමු අවධිය වූ ධනේශ්වර ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ දී විප්ලවවාදී පක්‍ෂ ඒ ඒ රටවල ප්‍රගතිශීලී ධනපති පන්තිය සමඟ එක්ව කටයුතු කළ යුතු බවත් ඉන් අවධාරණය කරන ලදී.  මෙම මතය ස්ටැලින්වාදය  ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙසත් මාවෝවාදය මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙසත් හැඳින්විය. එමඟින් සිදු වූයේ ලොව පුරා කොමියුනිස්ට් පක්‍ෂ ඒ ඒ රටවල ඊනියා ප්‍රගතිශීලී ධනපති කණ්ඩායම් සමඟ එක්ව එක්සත් පෙරමුණු ගොඩනැඟීමත්, ඒ මඟින් විප්ලවීය අරගලයන් දුර්වල වීමත් ය.

නිශ්චිත ලෙස ම ස්ටැලින්වාදය හෝ මාවෝවාදය ලෙස පෙනී නොසිටියත්, මේ මෙහොතේ පවා පරිධියේ ධනපති රටවල වමේ ව්‍යාපාර තුළ තවමත් ඉහත මතය පවතින බව පෙනේ. ලොව පුරා අවස්ථාවාදීන් අධිරාජ්‍ය විරෝධී හා ප්‍රගතිශීලී ධනපති කණ්ඩායම් සොයමින් ඔවුන් සමඟ එක්ව එක්සත් පෙරමුණු ගොඩනැඟීම සඳහා අවශ්‍ය න්‍යායික මඟපෙන්වීම ලබා ගත්තේ මේ මතවාදය මඟිනි. මේ සඳහා ඔවුන් ලෙනින්ව ද උපුටා ගනු ලැබේ. ඒ ලෙනින්ගේ “සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක” නම් 1905  කාලයේ ලියූ ලිපියෙනි. ලෙනින් එම ලිපිය ලියුවේ රුසියාවේ ධනේශ්වර විප්ලවය සිදු වීමට පෙර පැවැති සාර්වාදී රාජාණ්ඩුව පෙරළා දැමීම සඳහා නැඟී එන ජනතා විරෝධයත්, ධනේශ්වර විප්ලවය සඳහා සිදු වන ක්‍රියාදාමයන් සමාජවාදී විප්ලවය වෙත පෙරළා ගැනීම සඳහා ය. ලෙනින් එම ලිපිය ලියන විට රුසියාවේ ධනේශ්වර ක්‍රමය බිහි නොවී තිබුණු අතර, ලෝකයේ එකදු සමාජවාදී රටක්වත් තිබුණේ නැත. ඒ අනුව එක් ඓතිහාසික තත්ත්වයක සකස් කළ උපක්‍රමයක් එම තත්ත්වයන් වෙනස් වූ පසුත් අන්ධානුකරණයෙන් පාවිච්චි කිරීම හෝ තම අවස්ථාවාදී වුවමනාවලට යොදා ගැනීම නිර්මාක්ස්වාදී වේ.

මාක්ස්වාදයේ මූලික උගැන්වීමක් වූයේ ලොව රටවල් සමාජවාදයට යන්නේ ධනවාදය සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ය යන්න ය. ධනවාදය සංවර්ධනය වන්නේ නැතිව රටකට පූර්ව ධනවාදී සමාජයක සිට එකවර ම සමාජවාදය වෙත යා නොහැකි බව මාක්ස්වාදය පෙන්වා දුන්නේ ය. එය මූලධර්මයක් ලෙස නිවැරැදි ය. මාක්ස්ගේ අවධියේ දී සමාජවාදී සමාජ විප්ලවය එක්කෝ ලොව පුරා එක විට නැතිනම් දියුණු ධනපති රටවලින් පටන් ගනු ඇතැයි මාක්ස් පැවසී ය. එම යුගයේ තිබූ ධනවාදයේ නිදහස් තරගයට අනුව එම අනාවැකිය නිවැරැදි විය. එහෙත් ධනවාදය පසුව වෙනස් විය. 20වන සියවස ආරම්භ වන විට ලෝක ධනවාදය සිය නිදහස් තරගයේ යුගය නිමා කරමින් ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදය දක්වා වෙනස් විය. එවිට තත්ත්වයන් වෙනස් විය. එම නව තත්ත්වයට අනුව ධනවාදය විග්‍රහ කොට විප්ලවයේ උපායමාර්ග හා වැඩපිළිවෙළ සකස් කළ යුතු විය. ලෙනින් විසින් ඉටු කරන ලද්දේ එයයි. ලෙනින් නව තත්ත්වයන්ට අනුව මාක්ස්වාදය සංවර්ධනය කළේ ය. ඉන් පසු එය මාක්ස්-ලෙනින්වාදය විය. එහි දී ලෙනින් ඉතා ම පැහැදිලිව ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදී තරගයත්, අධිරාජ්‍යවාදී සූරාකෑමත් නිසා දැන් ධනවාදයේ පරිධියේ රටවල් තුළ පවා එනම් අධිරාජ්‍යවාදී දම්වැලේ දුබල පුරුක් තුළින් පවා විප්ලවය ඇති විය හැකි බව ය. නොදියුණු රුසියාව තුළ විප්ලවය කළ හැකි බව පවසා ඊට නායකත්වය දී රුසියානු විප්ලවය ජය ගැනීමට ලෙනින් සමත් විය.

ධනවාදය අධිරාජ්‍යවාදී අවධියට යාමත්, රුසියානු විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු ලෝක බල තුලනයේ සිදු වූ වෙනස් වීමත් විග්‍රහ කළ ලෙනින් සමාජවාදී විප්ලවය සඳහා උපායමාර්ග සකස් කළේ ය. අධිරාජ්‍යවාදය දුර්වල කිරීමට නම් එහි සූරාකෑමට ලක්ව සිටින පරිධියේ යටත්විජිත රටවල් ඉන් මුදා ඒවා තුළ විප්ලවය කළ යුතු බව පැවසූ ලෙනින් යටත්විජිතවල විප්ලවය සඳහා උපායමාර්ගය ලෙස ජාතික විමුක්ති අරගලයේ නායකත්වය නිර්ධන පන්ති ව්‍යාපාරය අතට ගත යුතු බව පැවසී ය. 1919 තුන්වන ජාත්‍යන්තරය ගොඩනඟා ඒ මඟින් මෙම කාර්යයට මඟපෙන්වීම ද කළේ ය.

මෙම නව තත්ත්වය තුළ දැන් තව දුරටත් පසුගාමී හා ධනේශ්වර ක්‍රමය ස්ථාපිත නොවූ රටවල් සමාජවාදී විප්ලවය සඳහා අනිවාර්යයෙන් ධනපති ක්‍රමය පසු කළ යුතු නැති බව අවධාරණය කළ ලෙනින් සංවර්ධනයේ පසුපසින් සිටින රටවලට ධනපති ක්‍රමය මඟහැර සමාජවාදී විප්ලවය කළ හැකි බව ද පැවසී ය. ධනේශ්වර නොවන සංවර්ධන මාවත ලෙස නම් කළේ එම ඉගැන්වීම ය. ඉන් කියැවුණේ ධනේශ්වර සංවර්ධනය මඟහැර ඊට උඩින් පැන සමාජවාදයට යාම නොව අධිරාජ්‍යවාදී අවධිය තුළ සංවර්ධනයේ පසුපසින් සිටින රටවල ධනේශ්වර සංවර්ධනය විසින් අත්පත් කර දිය යුතු වර්ධනය අත්පත් කර දීමට දැන් ධනපති ක්‍රමය අපොහොසත් නිසා හා ඔවුන් එය නොකරන නිසා ඒ වෙනුවෙන් ධනපති විප්ලවය සිදු වන කල් බලා සිටිය යුතු නැති බවත්, ධනේශ්වර සංවර්ධනය විසින් ඇති කරන තත්ත්වය නිර්ධන පන්ති පාලනය තුළ දී ම ඇති කළ හැකි බවත් ය. ඒ සඳහා ලෙනින් එක් විශේෂ කොන්දේසියක් ද පැනවී ය. ඒ කිසියම් රටකට ධනපති පාලනය මඟහැර සමාජවාදී රාජ්‍ය බලය තුළ සංවර්ධනය විය හැක්කේ දියුණු සමාජවාදී රටක අත දීම යටතේ බව ය.

තුන්වන ජාත්‍යන්තරය විසින් 1920 අගෝස්තු 07 දා පළ කළ “කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ දෙවන සම්මේලනයේ නිවේදකයා” යන ප්‍රකාශනයේ හයවන කලාපයේ පළ වූ ජාතික සහ යටත්විජිත ප්‍රශ්න පිළිබඳ කොමිෂන් සභා  වාර්තාව” නම් ලිපියේ මේ පිළිබඳව ලෙනින් මෙසේ සඳහන් කළේය. “ප්‍රශ්නය මෙසේ ඉදිරිපත් කරන ලදී. දැනට විමුක්තියේ මාවතේ (ගමන් කරමින්) සිටින සහ යුද්ධයෙන් පසුව ප්‍රගතිය කරා කිසියම් ඉදිරි ගමනක යෙදෙන නොදියුණු ජාතීන් ආර්ථික සංවර්ධනයේ ධනපති අවධියට අනිවාරණීය ලෙසට එළැඹිය යුතු යැයි ස්ථිර කොට කීම නිවැරැදි සේ අපට සැලැකිය හැකි ද? අප එයට පිළිතුරු දුන්නේ ‘නැත’ යනුවෙනි. ජයග්‍රාහී විප්ලවවාදී නිර්ධන පන්තිය එම ජාතීන් අතර ක්‍රමානුකූලව ප්‍රචාරයක් ගෙන යයි නම්, එසේ ම සෝවියට් රාජ්‍යයන් තම ප්‍රයෝජනය සඳහා  ඇති, සියලුම මාධ්‍ය යොදා ගනිමින් ඔවුන්ගේ අධාරයට එන්නේ නම් පැවැති තත්ත්වයන් යටතේ නොදියුණු රටවල් අනිවාර්ය වශයෙන් ම ධනපති සංවර්ධන අවිධිය ඔස්සේ ගමන් කළ යුතු යැයි සිතා ගැනීම වරදක් වනු ඇත. අප කළ යුතු වන්නේ සියලු ම යටත්විජිත රටවල සහ නොදියුණු රටවල සටන්කරුවන්ගේ ස්වාධීන බලඇණි සහ පක්‍ෂ සංවිධාන කිරීම පමණක් නොවේ. ගොවිජන සෝවියට් සභා සංවිධානය කිරීම පිණිස වහා ම ප්‍රචාරක කටයුතුවල යෙදීම සහ ඒවා පූර්ව ධනපති තත්ත්වයන්ට ගැලපීමට උත්සාහ දැරීම පමණක් ද නොවේ. නොදියුණු රටවල් ධනපති සංවර්ධන අවධිය ඔස්සේ නොයා, දියුණූ රටවල නිර්ධන පන්තියේ ආධාර ලබමින් සෝවියට් ක්‍රමය වෙත එළැඹීමටත්, යම් යම් සංවර්ධන අවධි මඟින් කොමියුනිස්ට් ක්‍රමයට පිවිසීමටත්, ඒවාට හැකි ය යන ප්‍රස්තූතය නිසි න්‍යායික  පදනමෙහි රුවා ඉදිරිපත් කිරීම ද කොමියුනිස්ට් ජාත්‍යන්තරයෙන් ඉටු විය යුතු ය

(ලෙනින් තෝ.කෘ. 11 වෙළුම, 55 පිටුව)

වර්තමානයේ දී පවා සමාජවාදී විප්ලවය වෙනුවට ප්‍රගතිශීලී  ධනපති පන්තිය සමඟ ජාතික විමුක්ති අරගල කිරීමට, ධනේශ්වර සංවර්ධනය දිනා ගැනීමට හැකි යැයි ද එසේ කළ යුතු යැයි ද කියන අයට විශේෂයෙන් ම ඒ වෙනුවෙන්  ලෙනින්ගේ පාඨ උපුටන අයට මෙය කදිම න්‍යායික පිළිතුරකි. රුසියාවේ ධනපති විප්ලවය නොවී තිබූ 1905 කාලයේ රුසියාවේ සමාජවාදීන් වෙනුවෙන් ලෙනින් ඉදිරිපත් කළ උපක්‍රමික වැඩපිළිවෙළ වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙක නම් ලිපියේ උපක්‍රමය ලෙනින් විසින් ම 1917 අප්‍රේල්වල දී ‘අප්‍රේල් තිසීස’ මඟින් ප්‍රතික්‍ෂේප කරන ලදී. ඒ 1917 පෙබරවාරි රුසියාවේ ධනේශ්ව විප්ලවය සිදු වීම විසින් පැරැණි වැඩපිළිවෙළ යල්පැන ගිය තත්ත්වය සලකා ය. ලෙනින් එහි දී පැරැණි වැඩපිළිවෙළ තුළ එල්බගෙන සිටි තම පක්‍ෂයේ ම අයට පැවසුවේ “පැරැණි කුණු තැවරුණු ආදරණීය කමිස ඉවත ලා නව පිරිසිදු ඇඳුම් ඇඳ ගැනීමට කාලය පැමිණ තිබේ” යනුවෙනි. එහෙත්, ලොව බොහෝ තැන්වල තවමත් ලෙනින් විසින් ම ප්‍රතික්‍ෂේප කළ ‘පැරණි කුණු තැවරුණු’ ඇඳුමින් ම  සැරසීමට කැමති අය සිටීම හාස්‍යයක් වී තිබේ. කෙසේ වෙතත්, මෙම ලිපිය මඟින් අප අවධාරණය කිරීමට උත්සාහ කළේ අධිරාජ්‍යවාදය තුළ ධනවාදය සිය ඉතිහාසයේ ප්‍රගතිශීලී අවධිය පසු කොට ප්‍රතිගාමීත්වයට පැමිණ ඇති තත්ත්වය තුළ කිසිදු ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණයක් කිරීමට ධනවාදය අසමත්ව ඇති තත්ත්වය තුළ දැන් ලොව පුරා සමාජවාදී විප්ලවය සඳහා කටයුතු කිරීම අනිවාර්ය වී ඇති බවත් ඉතා ම පසුගාමී රටකට පවා සමාජවාදී රටවල උදවු යටතේ ධනේශ්වර සංවර්ධනය වෙනුවෙන් ධනවාදය තුළ නොරැඳී සමාජවාදය වෙත පිවිසිය හැකි බවත් ය

ධනේශ්වර නොවන සංවර්ධන මාවත