සමාජවාදයට දොරගුළු හරින ප‍්‍රාග්ධන දැවැන්තයෝ

SHARE

දහනවවැනි සියවස අග භාගයේදී ධනපති ක‍්‍රමය එහි අධිරාජ්‍යවාදී අවධියට පිවිසියේය. වත්මන් ලෝකයේ සියලූ ධනපති චලනයන් හැසිරවෙන්නේ අධිරාජ්‍යවාදය මගිනි. පුද්ගල සිතුම් පැතුම්වල සිට රාජ්‍ය ක‍්‍රියාකාරිත්වයන් දක්වා එම මැදිහත්වීම් පැතිර පවතී. ධන කුවේරයන් මෙන්ම අන්ත දුගියන් බිහිකරනුයේ අධිරාජ්‍යවාදය විසිනි. ධනපතියන් සතු නිසග සූරාකෑමේ වුවමනාව විසින්ම වඩාත් පුළුල් සූරාකෑමක් සඳහා අධිරාජ්‍යවාදී අවධිය බිහිවිය. ධනපති ක‍්‍රමයේ ලක්‍ෂණ එලෙසම තබා ගනිමින්, එයට නව ලක්‍ෂණ එක්කරමින් වැඩුණු අධිරාජ්‍යවාදය ධනපති ක‍්‍රමයේ ඉහළම අවධිය ලෙස ලෙනින් විසින් හඳුන්වා දෙනු ලැබීය. අධිරාජ්‍යවාදය මේ මොහොතේ ඒ තුළම පවතින ප‍්‍රතිවිරෝධයන් විසින් ආසාදිතව පවතී. එම අර්බුදයේ තර්කානුකූල ඊළග පියවර සමාජවාදයයි. ධනපති ක‍්‍රමයේ අවසානය සනිටුහන් කරන අධිරාජ්‍යවාදී අවධියේ එය පණ ගැහෙමින් වුවද, උත්සාහ ගන්නේ එහි අවසානය මෙන්ම, සමාජවාදයේ බිහිවීම පමාකිරීමටය.

ධනේශ්වරයට පක්‍ෂපාතීව විවිධ මතවාද නිමවන්නෝ එහි පැවැත්මේ අපරාජිත බවත්, සදාකාලික බවත් ශක්තිමත් බවත් හුවාදැක්වීමට උත්සාහ ගනිමින් සිටිති. ඔවුහු අධිරාජ්‍යවාදය නව සමාජක‍්‍රමයක් ලෙස දකිති. සමාජවාදය හුදෙක් සිහිනයක් පමණක්ම බව ඔවුහු දේශනා කරති. තවද කොමියුනිස්ට්වාදයට එරෙහිව බොරු මතවාද අවලාද පතුරුවමින් සිටිති.

ලොව පුරා අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහිව විවිධ ආකාරයේ අරගලයන් පැන නගියි. ශ‍්‍රී ලංකාව තුළද එවන් සැබෑ අරගලයක් පවතී. එහෙත් අධිරාජ්‍ය ගැති පාලනයද තමන් අධිරාජ්‍ය විරෝධීන් ලෙසින් වෙස් ගන්වා ගනී. ඔවුහු අධිරාජ්‍යවිරෝධී බොරු සටන්පාඨ ඔසවා මොර දෙති. එනිසාම සැබෑ අධිරාජ්‍ය විරෝධය හා එකී අරගලය බොඳව පෙනෙන්නට සලස්වා තිබේ. මෙම ව්‍යාකූලත්වය නිවැරදි කොට සැබෑ අධිරාජ්‍යවිරෝධී අරගලයට මග සැලසිය යුතුය. ඒ සඳහා අධිරාජ්‍යවාදය න්‍යායිකව විග‍්‍රහ කොට ගෙන මතවාදී නිරවුල් කමක සිටිය යුතුය.

ධනවාදය උපත ලබන්නේම නිදහස් තරගය අත දරා ගෙනය. වැඩවසම් ආධිපත්‍යය ප‍්‍රාග්ධනයේ නිදහස් ප‍්‍රසාරණයට බාධාවක් විය. ධනේශ්වර විප්ලවයේදී ප‍්‍රාග්ධනයේ නිදහස් ප‍්‍රසාරණය වෙනුවෙන් පෙනී සිටි මතවාදයක් ලෙස ලිබරල්වාදය බිහිවිය. ලිබරල්වාදය විසින් පුද්ගල නිදහස ඉස්මතු කළද, එහි සැබෑ අරමුණ පුද්ගලික දේපළ නිදහස සුරැකීමය. එය සැබවින්ම කළේ පුද්ගලික දේපළ සඳහා වන නිදහස ව්‍යවස්ථාවෙන් ආරක්‍ෂා කරදීමය. එනිසා
ප‍්‍රාග්ධනයට රිසිසේ ව්‍යාප්තවීමටත් ආයෝජනයන්හි යෙදීමටත් ඉඩකඩ පුළුල් විය. තවද සූරාකෑම නිදහසේ කරගෙන යාමටත් අතිරික්ත වටිනාකම් උපයා ගැනීමටත් ඉඩ සැලසුණි. නමුත් කල් යන විට මෙම රාජ්‍ය නිර්බාධවාදය (රජයේ මැදිහත් වීමකින් තොර) හෙවත් නිදහස් තරගය අර්බුදයට යන්නට විය. ධනපතීන් තම ලාභ අනුපාතය වැඩිකර ගැනීමට ගෙනයන තරගයේදී ඔවුහු වැඩිවැඩියෙන් ලාභ ලබන නිෂ්පාදනයන් සඳහා ආයෝජනයට පෙලඹුණහ. එහි අනිටු ප‍්‍රතිඵලය අධිනිෂ්පාදන අර්බුදයයි. මේ තත්වය තුළ ධනපති නිෂ්පාදන කඳුගැසෙන්නට විය. සැබෑ ලෙසම ඉල්ලූම අඩුවූ නිසා මෙම තත්වය ඇතිවූවා නොව, ධනපතියාගේ මිලට, මිලදී ගැනීමේ ඉල්ලූම අඩුවූ බැවින් ඇති වූවකි. මිල පහළ දමා, භාණ්ඩ තොග නිමකිරීමට ධනපතීන් සූදානම් නැත. ඒ වෙනුවට ප‍්‍රාග්ධන හිමියන් විසින් තෝරා ගනු ලැබූයේ මෙම අතිරික්ත නිෂ්පාදනය විනාශකර දැමීමය. මේ සඳහා භාණ්ඩ තොග පිටින් ගින්නට, ජලයට බිලිදෙන ලදී.

මෙම අර්බුදය පරදවමින් ප‍්‍රාග්ධනය සඳහා ලාභය වැඩිකර ගැනීමේ නව මංපෙත් ධනපති ක‍්‍රමයට අවශ්‍ය විය. නිදහස් තරගයේදී පොර පිටියට වැටෙන ඕනෑම ප‍්‍රාග්ධනයක් වෙනුවට සියල්ල යටපත් කරන ලද වඩා බලවත් ප‍්‍රාග්ධනයක අවශ්‍යතාවය පැන නැගුණි. එම ප‍්‍රබල ප‍්‍රාග්ධනය සොයා ගතහැකි වූයේ ඒකාධිකාරය තුළය. ඒ අනුව ධනවාදයේ පැවති ලක්‍ෂණයන්ට, නව ලක්‍ෂණයන් එක්කරමින්, ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදය බිහිවිය. දහනවවන සියවස අවසන කාර්මික විප්ලවයේ ජයග‍්‍රහණයන්ට රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි සොයාගැනීම්ද එක්විය. මෙම විද්‍යාත්මක සොයාගැනීම් සමග තාක්‍ෂණයේ විශාල පෙරළියක් සිදුවිය. එම තාක්‍ෂණයේ දියුණුව ධනපති නිෂ්පාදනයේ වෙනස්කම් සිදුකළේය. යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයෙන් නිෂ්පාදන ඵලදාව වැඩිකර ගන්නා ලදී. තාක්‍ෂණයේ වර්ධනය උපයෝගී කොට, භාණ්ඩ නිෂ්පාදනය ප‍්‍රමාණාත්මකවත් ගුණාත්මකවත් වෙනසකට භාජනය කරන ලදී. යම් භාණ්ඩයක් නිපදවීම සඳහා ශ‍්‍රමිකයකු වැය කළ යුතු ශ‍්‍රම කාලය තව තවත් අඩුවීම යනු, කර්මාන්ත හිමියන්ගේ ලාභ පංගුව වැඩිවීමයි. තාක්‍ෂණය මගින් නව වැඩිදියුණු කළ භාණ්ඩ නිපදවීමෙන් සමාජය තුළ නව රුචිකත්වයක්, නව ජීවන රටාවන් ඇති කිරීමට හැකි විය. ජලයට වඩා කොකා කෝලා වලට නව ඉල්ලූමක් හිමිවන්නේ එලෙසය. සීනි බෝල වෙනුවට චුයිංගම් නිපදවෙන්නේ එලෙසය. යන්ත‍්‍ර සූත‍්‍ර හා නව තාක්‍ෂණය ධනපතියන් අතර ලාභ පංගුව වැඩිකර ගැනීම සඳහා වන තරගයේදී තීරණාත්මක විය. මෙම තරගයෙන් ජය ලබන්නේ වැඩි ප‍්‍රාග්ධන ප‍්‍රමාණයක් දරන විශාල ව්‍යවසායන්ය. මෙවන් විශාල ව්‍යවසායන් කීපයක් එක්වෙමින් තව තවත් ප‍්‍රාග්ධනය සංකේන්ද්‍රණය හරහා ඒකාධිකාරවලට මග පෑදුණි.

”කර්මාන්තයේ දැවැන්ත සංවර්ධනය සහ නිෂ්පාදනය තව තවත් විශාල ව්‍යවසායන් තුළ විශ්මයාකාර තරම් සීඝ‍්‍රතාවයකින් සංකේන්ද්‍රණය වීම, ධනපති ක‍්‍රමයට ආවේණික ඉතාමත් ස්වභාව නිරූපී අංග ලක්‍ෂණවලින් එකකි.”

(ලෙනින් – තෝරාගත් කෘති වෙළුම 04 පිටුව 38 – සිංහල)

ඒකාධිකාරය තුළ නිෂ්පාදනයේ වන සංයෝජනය නිෂ්පාදනයේ විවිධ අංශ කරා පැතිර පවතියි. එය අමුද්‍රව්‍ය සකස් කිරීමේ සිට නිමි භාණ්ඩය දක්වා වන සියලූ අවස්ථා නියෝජනය කරයි.

සැබවින්ම ඒකාධිකාරය යනු ලාභය ඉලක්ක කොට ගත් කර්මාන්ත කීපයක එකතුවකි. ඒකාධිකාර ස්වරූප ගණනාවකින් දැකිය හැකිය. ඒවා කාටල, සංගත, සම්මේල, බහුජාතික සමාගම්, පාරජාතික සමාගම් ආකාරයන් ගනී. පළමුවෙන්ම දක්නට ලැබුණේ මිල ඒකාධිකාරයන්ය. මෙය සාමාන්‍ය වෙළඳපොළෙහිද දක්නට ලැබේ. සම්මේලය (Syndicate) කර්මාන්ත හෝ ව්‍යාපාර හිමියන්ගේ ප‍්‍රාග්ධන එකතුවකින් සෑදුණකි. එහිදී සිදුවන්නේ එම ව්‍යාපාර විසින් තම නිෂ්පාදනයන් සම්මේලයට අලෙවි කිරීමයි. පූර්වයෙන්ම සම්මේලයේ අලෙවි හා විකුණුම් මිල තීරණය කරයි. මෙය මිල ඒකාධිකාරයේම වර්ධනයකි.

මේ මගින් නිෂ්පාදනයේ ඒකාධිකාරිත්වයක්ද සම්මේලයට හිමිවේ. 1900 අගදී පමණ ගල් අඟුරු කර්මාන්තයේ ‘සම්මේලය’ දක්නට ලැබුණි. කාටලය (Cartel) නිෂ්පාදනය හා වෙළඳාම පිළිබඳ ලිහිල් බැඳීමක් සහිත ව්‍යාපාරයන්ගේ එකතුවකි. කාටලයන්ගේ සාමාජිකයන්ට ස්වාධීනත්වයක් හිමිවේ. නමුත් කාටලයද විශාල ප‍්‍රාග්ධනයන්ගේ එකතුවකි. ඒකාධිකාර ලක්‍ෂණ හොඳින්ම ඉස්මතු වූයේ කාටලවලය. ඔපෙක් (Opec) සංවිධානය යනු කාටලයකි.

”කාටලයක් යනු තරඟකාරී සමාගම් අතර විධිමත් එකඟතාවයකි. වෙළෙන්දන් කිහිපදෙනෙකුගෙන් හා සමජාතීය නිෂ්පාදන ආයතනයන්ගේ විධිමත් සංවිධානයකි. ස්ථාවර මිල, නිෂ්පාදනය කරනු ලබන ප‍්‍රමාණය හා වෙළෙඳ පොළෙහි දරණ පංගුව පිළිබඳ සාමාජිකයින් අතර අතර එකඟතාවයක් ඇතිවේ.” (විකිපීඩියා විශ්වකෝෂය)

සංගතය යනු (Trust) ඒකාධිකාරවල සංවර්ධිත අවස්ථාවකි. සංගතයක හවුල්කරුවන්ට ස්වාධීන හිමිකම් නැත. තරඟකාරී ප‍්‍රබල සමාගම් කිහිපයක ප‍්‍රාග්ධනය භාරකාර මණ්ඩලයක් මගින් ඒවා හසුරුවයි. බහු ජාතික සමාගම්වලදී (Multi National Company) ජාතික සීමාවෙන් ඔබ්බට ඒකාධිකාර බලය ව්‍යාප්ත වේ. ඒවා නිශ්චිත රටක් කේන්ද්‍ර කොට ගෙන අසල් වැසි රටවල් ගනණාවකට තම ඒකාධිකාරී බලය පතුරවයි. පාර ජාතික සමාගම් (Trans National Company) යනු බහුජාතික සමාගම්වල වැඩිදියුණුවීමකි. මෙහිදී පාර ජාතික සමාගමක මූලස්ථානය පිහිටි රටෙන් පිටතදී වුවද, යම් නිශ්චිත ප‍්‍රාග්ධන ප‍්‍රමාණයක් හැසිරවීමේ බලය එහි ශාඛාවලට පවතී. කොකා කෝලා, මැක්ඩොනල්ඞ්, කැල්ටෙක්ස් ආදිය මේ සඳහා උදාහරණ වේ. බහු ජාතික හෝ පාරජාතික හෝ මෙම බලගතු ඒකාධිකාරී ප‍්‍රාග්ධනය පරිධියේ පවතින රටවල් ආර්ථිකවත් සාමාජියවත් දේශපාලනිකවත් හසුරුවයි.

ඒකාධිකාරවල සංවර්ධනයේ ගමන් මග ලෙනින් විසින් පැහැදිලිව දක්වා තිබේ. ”ඒ අනුව බලන කල, ඒකාධිකාරවල ඉතිහාසයේ ප‍්‍රධාන අවධි මෙසේය:

01. 1860-1870 නිදහස් තරගයේ සංවර්ධනයෙහි ඉහළම අවධිය. එහි උච්ඡ අවස්ථාව, ඒකාධිකාරය යන්තමින් හඳුනාගත හැකි තරම් අපැහැදිලි කළල අවස්ථාවෙහි විය.

02. 1873 අර්බුදයෙන් පසුව කාටල සංවර්ධනයෙහි දීර්ඝ කාලපරිච්ෙඡ්දයකි. නමුත් ඒවා තවමත් විශේෂතාවයක් පමණකි. තවමත් ඒවා කල්පවත්නා ස්වභාවයට පත්ව නැත; ඒවා තවමත් තාවකාලික ප‍්‍රපංචයකි.

03. දහනවවැනි ශතවර්ෂාවසනයේ උත්පාතය සහ 1900 – 1903 අර්බුදය, කාටල සමස්ත ආර්ථික ජීවිතයේම එක් අඩිතාලමක් බවට පත්වේ.
“ධනපති ක‍්‍රමය අධිරාජ්‍යවාදය බවට පරිවර්තනය වී ඇත.”

(ලෙනින් – තෝරා ගත් කෘති, වෙළුම 12 පිටුව 45)

ඒකාධිකාර විසින් ලොකු කුඩා සියලූ ප‍්‍රතිවාදී ප‍්‍රාග්ධනයන් යටපත් කරයි. ඒ සඳහා විවිධ උපක‍්‍රමයන්, කුමන්ත‍්‍රණයන්, මර්දනයන් දියත් කරනු ලබයි. එක් අතකින් අමුද්‍රව්‍ය ලබාගැනීමේ අවස්ථා අහුරාලීමත් බාධාකිරීමත් ප‍්‍රධාන වශයෙන් කෙරේ. විවිධ කොන්දේසි සහ එකඟතා මගින් ශ‍්‍රම සැපයීම වළකාලීම කරනු ලබයි. භාණ්ඩ බෙදා හැරීම, ප‍්‍රවාහනය වළකාලන අතරම, ගැණුම්කරුවන් සමග විවිධ එකඟතා මගින් මිලදී ගැනීම වළක්වයි. එයින් නොනැවතී ඒකාධිකාරයන්ට අවනත නොවන අය විනාශ කිරීමට පවා පසුබට නොවෙයි.

මෙම ඒකාධිකාරයන්ගේ ප‍්‍රබලතම උපකරණය වන්නේ ප‍්‍රාග්ධන අපනයනයයි. පූර්ව ඒකාධිකාර ධනවාදයේ භාණ්ඩ අපනයනය ප‍්‍රධාන ලක්‍ෂණයකි. අධිරාජ්‍යවාදී අවධියේ ප‍්‍රාග්ධනය රට පැටවීම මූලික ලක්‍ෂණයකි. භාණ්ඩ අපනයනයට වඩා ප‍්‍රාග්ධන අපනයනයේදී ඒකාධිකාර ප‍්‍රාග්ධනයට වාසි බොහෝය. ලාභ අමුද්‍රව්‍ය, ලාභ ශ‍්‍රමය, එමෙන්ම පුළුල් වෙළඳපොළ යන වාසි එහි ප‍්‍රධාන වාසි බවට පත්වේ.

ප‍්‍රාග්ධන අපනයනයේ ස්වරූප දෙකකි. පළමුව ප‍්‍රාග්ධන අපනයනය දක්නට ලැබේ. මෙහිදී ඒකාධිකාර පිහිටි රටවල සිට ප‍්‍රාග්ධනය වෙනත් රටවල ආයෝජනය කරනු ලබයි. එය කාර්මික හෝ වෙළඳ ප‍්‍රාග්ධනය ලෙස විය හැකිය. ප‍්‍රාග්ධන අපනයනයේ අනෙක් ස්වරූපය මූල්‍ය ප‍්‍රාග්ධන අපනයනයයි. සැබවින්ම මෙය ණය ප‍්‍රාග්ධනය ලෙස අපනයනය කරනු ලබයි. ණය ප‍්‍රාග්ධනයට පොලිය ලැබේ. තවද එම ණය මගින් දියත්වන ඉදිකිරීම් වැනි ව්‍යාපෘති හරහා එම ණය හිමියන්ටම කොන්ත‍්‍රාත් ගත හැකිවෙයි. ණය ප‍්‍රාග්ධනය රටවලට බලපෑම් කළ හැකි ප‍්‍රබල අවියකි.

ඒකාධිකාරයන් සඳහා ප‍්‍රාග්ධනය සම්පාදනයේදී බැංකු ඉතා වැදගත් කාර්යක් ඉටුකරනු ලබයි. කර්මාන්ත හෝ වෙළඳ ධනපතියාට අවශ්‍ය ප‍්‍රාග්ධනය වැඩි වැඩියෙන් ණය ලෙස ලබාදෙනු ලබන්නේ බැංකු විසිනි. එනිසා මූල්‍ය ප‍්‍රාග්ධනය ප‍්‍රමුඛස්ථානයට පත් වීම නොවැළැක්විය හැකිය. කාර්මික ප‍්‍රාග්ධනය සහ බැංකු ප‍්‍රාග්ධනය සංයෝග වී නව ගුණයක් සහිත ප‍්‍රාග්ධනයක් ලෙස මූල්‍ය ප‍්‍රාග්ධනය බිහිවීම අධිරාජ්‍යවාදයේ එක් ප‍්‍රධාන ලක්ෂණයකි. මූල්‍ය ආයතන තම මූල්‍ය ප‍්‍රාග්ධනයේ අනුහසින් සියල්ල අවනත කර ගනියි. සියලූ මූල්‍ය හැකියාවන්, දුබලතාවයන්, මූල්‍ය රහස් ඉතා හොඳින් දන්නේ බැංකුකරුවන්ය. මේවා නිසි ලෙස කළමනාකරණය කරගනිමින් ඔවුන් අනෙකුත් සියලූ ප‍්‍රාග්ධනයන් යටපත්කර ගනී. ආරම්භයේදී මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ බැංකු අනෙකුත් ප‍්‍රාග්ධනයන් තමන් තුළ ගිල්වා ගන්නා ප‍්‍රබල මූල්‍ය ඒකාධිකාර බවට පත්වේ. මෙම මූල්‍ය ඒකාධිකාර කාර්මික ඒකාධිකාර සමග මුසුවීමෙන් මූල්‍ය කතිපයාධිපත්‍යයන් බිහිවේ. මේ ඒකාධිකාර ස්වරූපයකි. මූල්‍ය ආයතන විසින් කාර්මික ප‍්‍රාග්ධනය මුසුකර ගනියි. කාර්මික ප‍්‍රාග්ධනය විසින් මූල්‍ය ප‍්‍රාග්ධනය මුසුකර ගනී. ”බැංකු කටයුතු සංවර්ධනය වී, එම කටයුතු ආයතන සුළු ගණනක් තුළ සංකේන්ද්‍රනය වීමත් සමග, බැංකු නිහතමානී අතරමැදියන්ගේ තත්වයේ සිට, සියලූම ධනපතියන්ගේ සහ කුඩා ව්‍යාපාරිකයන්ගේ මුදල් ප‍්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම පාහේද, ඕනෑම එක් රටක හෝ රටවල් ගණනාවක නිෂ්පාදන මාර්ගවලින් හා අමුද්‍රව්‍ය සම්පාදන මාර්ගවලින් වැඩිකොටස ද පාලනය කරන බලවත් ඒකාධිකාරයන් ලෙසට වර්ධනය වේ. මෙසේ නිහතමානී අතරමැදියන් විශාල සංඛ්‍යාවක්, අතළොස්සක් ඒකාධිකාරීන් බවට පරිවර්තනය වීම ධනපති ක‍්‍රමය, ධනපති අධිරාජ්‍ය බවට පරිවර්තනය වීමේ ක‍්‍රියාදාම අතුරෙන් එකකි.”

(ලෙනින් – තෝරා ගත් කෘති- වෙළුම 04 පිටුව 55*

වැඩවසම් ක‍්‍රමය අවසාන අවධියේ සහ ධනපති ක‍්‍රමය ආරම්භයේ යටත්විජිත කොල්ලයක් ලෙස යටත්විජිත ක‍්‍රමය ඇතිවිය. මෙය ධනපති ක‍්‍රමයට අවශ්‍ය මූලික ප‍්‍රාග්ධනය සැපයෙන ක‍්‍රමයක්ද විය. යටත්විජිත ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා නිදහස් අරගල පැනනගින්නට විය. සමහර යටත්විජිත තම අරගලයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස යටත්විජිත ආධිපත්‍යයෙන් නිදහස ලබන විට, එම ප‍්‍රවණතාවය පැතිරයෑම වැළැක්වීම සඳහා යටත් විජිතවාදීන් නව උපක‍්‍රමයක් ලෙස එම රටවල අධිරාජ්‍ය ගැති ප‍්‍රභූන් වෙත දේශපාලන බලය පවරමින්, ආර්ථිකය හැසිරවීම තමන් අත තබාගනු ලැබීය. එය නව යටත්විජිතවාදය ලෙස සැලකෙයි. නව යටත්විජිතවාදයේදී විශේෂයෙන් ආර්ථික වශයෙන් රටවල් පරාධීන කෙරිණි. ධනපති ක‍්‍රමය තවදුරටත් ඒකාධිකාර ධනවාදය ලෙස වර්ධනය වන විට, ලෝකය යළි යළිත් ආර්ථික වශයෙන් බෙදාගැනීම සිදුවිය. අධිරාජ්‍යවාදයේ තවත් එක් ලක්‍ෂණයක් වන ලෝකය ආර්ථික වශයෙන් බෙදාගෙන අවසන් වෙත්ම ඊළග පියවර වන්නේ, ලෝකය භෞතිකව බෙදා ගැනීමය. මේ සමග ඒ සඳහා වන යුද පෙරමුණ ඇතිවේ. ලෝක යුද්ධ තුළින්ද ලෝකය පුරා පැතිර පවතින යුද්ධ තුළින්ද අරමුණු කරන්නේ මෙයයි. එම යුද්ධවල අවසන් අරමුණ ඒකාධිකාර ප‍්‍රාග්ධන ආධිපත්‍යය තහවුරු කිරීමය. මේ සඳහා මානව හිමිකම්, බෙදුම්වාදී ප‍්‍රශ්න ආදියද උපයෝගී කර ගනියි.

අධිරාජ්‍යවාදයේ ආරම්භයේදීම 1වැනි ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදයට උපක‍්‍රමික පසුබැසීමකට යාමට සිදුවිය. 1වැනි ලෝක යුද්ධය අවසානයේ සමාජවාදී සෝවියට් දේශය නිර්මාණය වීමත් එහි ආභාෂය ලබා යටත්විජිතවල අධිරාජ්‍යවිරෝධී අරගල පැන නැගීමත් සමග රාජ්‍ය සුභසාධනවාදය වෙත තාවකාලිකව පසුබැසීමට අධිරාජ්‍යවාදයට සිදුවිය. 1930 දශකයේ අවසාන භාගයේ ජොන් මෙනාඞ් කේන්ස්ගේ උගැන්වීම් අනුව බිහිවූ කේන්සියානුවාදය ඉටු කළේ මෙම කාර්යයයි. මෙයින් අදහස් කෙරුණේ, ඒකාධිකාර ප‍්‍රාග්ධනයට අස්වැසිල්ලකින් යුතුව කටයුතු කිරීමට පසුබිම සකසා ලීමයි. ධනේශ්වර අර්බුදයද ගෝලීකරණය වූ ගෝලීය ධනවාදය නමින් හංවඩු ගසන ලද ඒකාධිකාර ධනවාදයේ වර්තමාන මාර්ගෝපදේශකත්වය වන, දැක්ම වන නව ලිබරල් ධනවාදය සෘජු ලෙසම පරිධියේ රටවල ආර්ථිකය ඉක්මවා මැදිහත් වීමේ අවශ්‍යතාවය ප‍්‍රකාශයට පත්කරයි. ශ‍්‍රී ලංකාව නිදර්ශනය කොට ගත්තද, පවත්නා කෘෂි ආර්ථිකය වර්ධනය කරනු වෙනුවට, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනු වෙනුවට සංචාරක ආර්ථිකයක් පෙරට එන්නේ එනිසාය. කෘෂි ආර්ථිකය වැට්ටවීම, නිෂ්පාදන ආර්ථිකය වෙනුවට ණය හා බදු ආර්ථිකයක් පවත්වා ගැනීම, මහජන සුබසාධනය නවතාලීම මෙම ආර්ථිකයේ ලක්‍ෂණ වේ. මෙය දේශීය ආර්ථික ඉලක්කයක් නොව ඒකාධිකාර ධනවාදයේ ඕනෑ එපාකම් ඉටුකරන ආර්ථිකයක් ලෙස තේරුම්ගත හැකිය.
ඒකාධිකාරී ධනවාදය හෙවත් අධිරාජ්‍යවාදය සමාජවාදයට අවශ්‍ය ද්‍රව්‍යමය තත්වයන් නිමවන නිසා, එය සමාජවාදයේ හිමිදිරිය ලෙස ලෙනින් හැඳින්වීය. උපරිම ලාභය ඉලක්ක කොට පවතින මෙම ධනපති අවධියේ ලෝකය පුරා සූරාකෑම පුළුල් වේ. එයට සමානුපාතිිකව නිෂ්පාදනය වඩ වඩාත් සංකේන්ද්‍රණය වේ. නිෂ්පාදනය, බෙදාහැරීම, ප‍්‍රවාහනය, සංනිවේදනය ආදී සියල්ල ඒකාධිකාරිය විසින් එක මිටකට ගනිමින් සිටී. එමෙන්ම සූරාකෑම පුළුල් ලෙස පතුරවමින් සිටී. මෙයින් සිදුවන්නේ නිෂ්පාදනයේ සමාජමය ස්වරූපය තව දුරටත් පුළුල් වීමයි. එමෙන්ම ඒකාධිකාර මගින් එම සමාජමය නිෂ්පාදනය පෞද්ගලිකව අයිතිකර ගනිමින් පවතී. මේ නිසාම නිර්ධනයා තව තවත් දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටේ. අනෙකුත් පීඩිත පංතීන්ද, නිර්ධන පංතිය තුළටම කඩා වැටේ. මේ ක‍්‍රියාවලිය විසින් ඉල්ලා සිටිනුයේ, සමාජමය නිෂ්පාදනය පෞද්ගලිකව හිමිවනු වෙනුවට, සාමූහිකව හිමිකර ගැනීීමේ ක‍්‍රමයකි. සමාජමය නිෂ්පාදනය, සමාජමය ලෙස හිමිකරගන්නා නිෂ්පාදන මාදිලියක් යනු අන් කවරක් හෝ නොව සමාජවාදයයි. එනිසා වඩ වඩාත් ලාභය සොයා යන ඒකාධිකාර ධනවාදය අවසන් වන්නේ, සමාජවාදයෙනි.

”ස්වකීය අධිරාජ්‍යවාදී අවධියෙහි වන ධනපති ක‍්‍රමය, එක එල්ලේම නිෂ්පාදනයේ ඉතාමත් අංගසම්පූර්ණ සමාජමයකරණය වෙතට යන මග පෙන්වයි. එමගින් ධනපතියන් ඔවුන්ගේ කැමැත්තට හා විඥානයට විරුද්ධව යැයි කිව හැකි ආකාරයෙන් කිසියම් නව සමාජ ක‍්‍රමයක් වෙත ඇදගෙන යනු ලැබේ. එය සම්පූර්ණ නිදහස් තරඟයේ සිට සම්පූර්ණ සමාජමයකරණය දක්වා යොමු වූ පරිවර්තනීය සමාජ ක‍්‍රමයකි.”

(ලෙනින් – තෝරාගත් කෘති වෙළුම 4 පිටුව 49)

සමාජවාදයට දොරගුළු හරින ප‍්‍රාග්ධන දැවැන්තයෝ