කියුබානු විප්ලවය විජයග‍්‍රහණයක් වන්නේ ඇයි?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

කියුබානු විප්ලවයේ 60 ‌වෙනි සංවත්සරය ‌වෙනුවෙනි. 

මාතෘකාව මගින් අසනු ලබන පැනයට පිළිතුරු දීමට පෙර කියුබානු විප්ලවය යනු කුමක් දැයි නිරාකරණය කර ගත යුතු වේ. අප මේ ප්‍රශ්නය භූගෝල විද්‍යාඥයෙකු වෙත ඉදිරිපත් කරමු. කියුබානු විප්ලවය යනු කැරිබියන් මුහුදේ උතුරු අක්ෂාංශ 19-24 අතර හා බටහිර දේශාංශ 74-85 අතර, එක්සත් ජනපදයට කිලෝමීටර් 150ක් දකුණින් පිහිටි, වර්ග කිලෝමීටර් එක් ලක්ෂ නවදහසක පමණ විශාලත්වයෙන් යුතු කියුබානු දූපතේ 01 කෝටි 11ලක්ෂයක පමණ ජනතාවගේ ඉරණම තීන්දු කළා වූ දේශපාලන සිදුවීමක් යැයි ඔහු අපට කියනු ඇත.

ඉතිහාසඥයෙකු ප්‍රකාශ කරනු ඇත්තේ, කියුබානු විප්ලවය යනු ෆිදෙල් කැස්ත්‍රෝ ප්‍රමුඛ කොට ගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් 1953 ජුලි 26වැනි දින මොන්කාඩා හමුදා බැරැක්කයට පහර දීමෙන් ඇරඹි, 1959 ජනවාරි 01වැනි දින පාලක ෆුල්ජෙන්සියෝ බැටිස්ටා එලවා දමා කියුබාවේ සමාජවාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීමෙන් අවසන් වූ සන්නද්ධ කැරැල්ලක් බව ය.

එහෙත් මෙම නිර්වචන පදනම් කර ගනිමින් ඉදිරියට යා නොහැකිය. මන්ද ඒවා ඒ ඒ විෂය ක්ෂේත්‍රයට අදාළ කරුණු අතින් නිවැරදි වුව ද අපගේ සාකච්ඡාවට අදාළව නිවැරදිම අදහසක් ලබා නොදෙන බැවිනි. විප්ලවය එක් නිශ්චිත දිනයකින් ඇරඹී තවත් දිනයකින් නිමා වූ හුදු එක් සංසිද්ධියක් නොවේ. කෝටි සංඛ්‍යාත කියුබානු ජනතාවකගේ සහභාගිත්ව ඇතිව විප්ලවය විසින් ආරම්භ කර ඇත්තේ නොනවතින ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය හුදු කියුබානුවන්ට සමාජීය, ආර්ථික හා දේශපාලන ජයග්‍රහණ කැඳවන්නක් පමණක් නොවේ; තවත් රටවල් විශාල සංඛ්‍යාවක කෝටි සංඛ්‍යාත ජනයාගේ සමාජීය, ආර්ථික හා දේශපාලන අයිනින් පෝෂණය කරන්නකි; සමස්ත ලෝක ජනතාවට සමාජවාදයේ ආදර්ශය ඔසවා තබන්නකි.

කියුබාවේ සමාජවාදී විප්ලවය සැබැවින්ම ඇරඹෙන්නේ 1959 ජනවාරි 01වැනිදා ය. පසුගිය 2019 ජනවාරි 01වැනි දින එය සිය 60 වැනි වසර සම්පූර්ණ කළේය. එය කොහෙත්ම සුවපහසු ලෙස ගත වූ වසර  60ක් නොවේ. එක්සත් ජනපදය විසින් වෙළඳාම, සංචාරක, ඖෂධ ආදී සියළු ක්ෂේත්‍රවලට අදාළව පනවන ලද 49 වසරක ක්‍රෑර ආර්ථික සම්බාධක මැද ආ ගමනකි; එක්සත් ජනපදයේ සාහසික ආක්‍රමණ, කඩාකප්පල් කිරීමේ මෙහෙයුම්, ඝාතන ප්‍රයත්න මැද ඉදිරියට ආ ගමනකි; අධිරාජ්‍යවාදී වියගසට නොබැඳෙනු පිණිස වූ කියුබානු ජනතාවගේ අධිෂ්ඨානයේ ප්‍රකාශනයකි. මේ සියල්ල වෙනුවෙන් විප්ලවය විසින් ඔවුනට සැබෑ ලෙසම කෘතගුණ සලකා තිබේ; සලකනු ලැබෙමින් තිබේ. ඒ වෙනත් කිසිදු තෙවැනි ලොව කිසිදු රටකට සම කළ නොහැකි, ඇතැම් විටෙක බොහෝ පළමු ලොව රටවලට ද ආදර්ශයක් වූ සමාජීය, ආර්ථික, දේශපාලන හා පාරිසරික ජයග‍්‍රහණයන් සමාජවාදී කියුබාව විසින් අත්පත් කර ගැනීම මගිනි.

අද වන විට කියුබාව ලබා ඇති ජයග්‍රණයන්ගේ උල්පත් තුනක් මෙසේ හඳුනා ගත හැකිය. පළමුවැන්න, 1959 මැයි 17 දින ආරම්භ වූ විප්ලවීය ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩ සටහන ය. දෙවැන්න, 1960 අගෝස්තු 08 දින ආරම්භ වූ සමාගම් ජනසතුකරණ ක්‍රියාවලියයි. තෙවැන්න, ධනේශ්වර ලාභය වෙනුවට වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවයන්ට සේවය කරන ලෙසට ආර්ථිකය මුළුමනින් ම ප්‍රතිසංවිධානය කරනු ලැබීම ය.

 
Cuba60

අධ්‍යාපන විප්ලවය

ජනතාවට ප්‍රතිලාභ ලැබෙන සේ පීලි ගත කරනු ලැබූ සමස්ත වැඩපිළිවෙළ තුළ රටේ අධ්‍යාපනයට ඉහළ වැදගත්කමක් ලැබුණු අතර 1959 සිට එහි ඇති කරන ලද වෙනස්කම් හඳුනා ගත හැක්කේ සැබෑ අධ්‍යාපන විප්ලවයක් ලෙස ය. මෙය හුදු කියුබානු සමාජවාදී ආණ්ඩුවේ සද්භාවය නිසාම සිදු වූවක් නොවේ. රටේ මානව හැකියාවන් වැඩිදියුණු කිරීමෙහි ලා අධ්‍යාපනයේ වැදගත්කම වෙනුවෙන් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් විප්ලවය තැබූ බර ප්‍රකාශ කිරීමක් ද වේ.

විප්ලවය ඇරඹීමට පෙර කියුබාව පැවතියේ, නූගත්කමේ  සහ අධ්‍යාපන පසුගාමීත්වයේ ගිලී තිබීම ආවේණික සමාජ අර්බුදයන් වූ වටපිටාවකය. නිදසුනක් ලෙස 1958 වන විට අසාක්ෂරතාව 23%ක් තරම් ඉහළ අගයක් වූ අතර එය ජය ගැනීම විප්ලවය හමුවේ වූ පළමු අභියෝගය විය. ස්වේච්ඡා සේවක සේවිකාවන් 280,000කගේ සහභාගිත්වයෙන් රට පුරා දැවැන්ත සාක්ෂරතා ව්‍යාපාරයක් ආරම්භ කෙරිණි. අධ්‍යාපන විප්ලවය එක් වසරක් තුළ දී නූගත්කම මුලිනුපුටා දමන ලදී.

වහ වහා සියළු කියුබානුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කෙරුණි. පෙර පාසලේ සිට ආචාර්ය උපාධිය දක්වා වූ නිදහස් අධ්‍යාපනය ව්‍යවස්ථාවෙන් සහ ප්‍රයෝග වශයෙන් යන දෙඅංශයෙන්ම සහතික කරන ලදී. ඒ, ඉගැන්වීමේ දේශන, පොත්පත් හා පෑන් පැන්සල් වියදම් ද සහිතව ය. ඒ සඳහා විප්ලවය විසින් කරන ලද ආයෝජනය කෙතරම් ද යත් ලොව අන් කිසිදු රටකට වඩා ජනගහනයට සාපේක්ෂව ගුරුවරුන් සංඛ්‍යාවක් සිටින්නේ කියුබාවේ ය. දළ ජාතික නිෂ්පාදිතයෙන් ලෝකයේ අධ්‍යාපනයට වැඩිම ප්‍රතිශතයක් (13%) වෙන් කරනු  ලබන රටවල් අතර සිටින්නේ ද කියුබාවයි.

සෞඛ්‍යයේ ප්‍රාතිහාර්යය

අධ්‍යාපනය හා සමානව ම කියුබානු විප්ලවය විසින් අවධානය යොමු කළ අනෙක් ක්ෂේත්‍රය වන්නේ සෞඛ්‍යයයි. කියුබානු විප්ලවය, ඉපදුණු දරුවාගේ සිට (වඩාත් නිවැරදිව කියතොත් ගර්භණී මාතාවගේ පිළිසිඳ ගත් කළලයේ සිට) වැඩිමහල්ලා  දක්වා සියළු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂණය පිළිබඳව වග බලා ගනී. ඒ අනුව සියළු පුරවැසියන්ට නොමිලයේ ලබා දෙනු ලබන්නේ ලොව දියුණුම රටක පවතින හොඳම සෞඛ්‍ය සේවා පහසුකම් ය.

පූර්ව විප්ලවීය කියුබාවේ අති බහුතරයකට ප්‍රමාණවත් සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා අවස්ථාවක් නොවීය. ධනවතුන්ට පෞද්ගලික වෛද්‍යවරුන්ගේ සේවය ලබාගත හැකි වුවද දුප්පතුන්ට සිදු වූයේ නියම කරනු ලබන ඖෂධ ලබාගත නොහැකි, අඩු පහසුකම් සහිත රෝහල් කිහිපයක් මත ජීවිතය පවත්වා ගැනීමට ය. ග්‍රාමීය ප්‍රදේශ ගත හොත් සෞඛ්‍ය පහසුකම් ඇත්තේම නැති තරම් විය.

විප්ලවය විසින් කියුබානු ජනතාවට ස්ථාපිත කරන ලද වැදගත්ම කරුණු දෙකකි. පළමුවැන්න සෞඛ්‍ය පහසුකම් පුරවැසි ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත් කිරීමයි. 1976 කියුබානු ව්‍යවස්ථාව මෙසේ කියයි. ”නිදහස් වෛද්‍ය හා රෝහල් පහසුකම් ලබා දීමෙන් ද; ග්‍රාමීය සෞඛ්‍ය සේවා ජාලයන්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, රෝහල්, නිවාරණ හා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවාලීමෙන් ද; නිදහස් දන්ත සෞඛ්‍ය සේවා ලබා දීමෙන් ද; සෞඛ්‍ය ප්‍රචාරණ ව්‍යාපාර, සෞඛ්‍ය අධ්‍යාපන, නිතිපතා කරනු ලබන රෝග පරීක්ෂණ සේවා, ප්‍රතිශක්තිකරණ එන්නත් සේවා සහ රෝග පැනනැගීම වළක්වාලන්නාවූ අනෙකුත් ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීමෙන් ද රජය මෙම අයිතිය සහතික කරයි.”  දෙවැන්න සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා නව සදාචාරයක් හඳුන්වා දීමයි. එනම් අනෙකුත් මහජන සේවාවන් මෙන්ම සෞඛ්‍යය ද ලාභය සඳහා නොව ජනතාවට ලබා දිය යුතු සේවාවක් බවට හැරවීම ය.

මේ සියල්ලේ ප්‍රතිඵල කියුබානු ජනතාව කරා ඒමට ගත වූයේ අඩ සියවසකට අඩු කාලයකි. කියුබානුවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 78කි. එනම් පිරිමියකුට අවුරුදු 76ක් සහ කාන්තාවන්ට අවුරුදු 80ක් වශයෙනි. ලොව විශාලතම ආර්ථිකය හිමි එක්සත් ජනපදයේ දී ආයු අපේක්ෂාව පිරිමියෙකුට 75ක් සහ කාන්තාවකට 80ක් වශයෙන් අවුරුදු 77ක් වීම සමග කියුබානු අගයන් සසඳනු වටී. එසේම එය සැසඳිය යුත්තේ, 1959දී අවුරුදු 58ක් වූ කියුබාවේ ආයු අපේක්ෂාව සමගය!

2014 වසර වන විට කියුබාවේ ළදරු මරණ අනුපාතිකය සජීවී දරු උපත් 1000කට මරණ 4.6ක් පමණි. එය එක්සත් ජනපදයේ දී 1000කට මරණ 07ක් තරම් වන අතර බොහෝ ලතින් ඇමරිකානු රටවල තවමත් කියුබාවේ අගය මෙන් 10 ගුණයකට වැඩි ළදරු මරණ අනුපාතිකයක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ජන අනුපාතයට අනුව එක්සත් ජනපදයට වඩා දෙගුණයක් වෛද්‍යවරුන් කියුබාව සතුය. එනම් එක්සත් ජනපදයේ පුද්ගලයින් 1000කට වෛද්‍යවරුන් 2.56ක අනුපාතයක් සිටිය දී කියුබාවේ එම අගය 5.91කි. මෙම අගයන් හුදු ඉලක්කම් පමණක් නොවේ. සැබෑ ලෙසම ඒක ශීර්ෂ ලොව වැඩිම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින්නේ ද කියුබාවේ ය. ගණනින් 85,000ක් තරම් වන මෙම පිරිසෙන් දැනට 15,400ක් පමණ කියුබාවේ ජාත්‍යන්තරවාදී යුතුකම ඉටු කරමින් තෙවැනි ලොව රටවල් 66ක සේවය කරති.

1959දී කියුබාවේ සිටියේ වෛද්‍යවරුන් 6300ක් වන අතර වසර අවසානයට පෙර ඉන් වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදය බලා පලා ගියහ. අද වන විට 90,000ක් ශිෂ්‍යයින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කිරීම සඳහා උගනිමින් සිටින්නේ එවැනි රටක ය. රටවල් 128ක විදේශීය සිසුන් 76,000ක් නොමිලයේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටින්නේ එවැනි රටකය. කියුබාවේ දියුණු ජෛව තාක්ෂණ සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය ලෝකයට දායාද කර ඇති නිපැයුම් මිල කළ නොහැකිය. මෙනින්ජයිටීස් බී රෝගය වෙනුවෙන් එන්නතක් නිෂ්පාදනය කළ කියුබාව ලෝකයේ හොඳම හෙපටයිටීස් බී එන්නත ලෝකයට අපනයනය කරයි. නියුමෝනියාව සඳහා වන ලොව පළමු කෘත්‍රිම එන්නත නිපැයූයේද කියුබාව ය.

කියුබානු විප්ලවය, තමන්ගේ පුරවැසියන්ට ලබා දී ඇති සෞඛ්‍ය පහසුකම් තෙවැනි ලොව රටවලට ද අපනයනය කරයි. 2014 වන විට කියුබානු වෛද්‍යවරු 38,800ක් ලොව පුරා රටවල් 81ක සේවය කරමින් සිටින අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝ සියළු ධනවත් රටවල් විසින් තෙවැනි ලොව රටවලට යවන ලද වෛද්‍යවරුන් සංඛ්‍යාවට වඩා වැඩි අගයකි. 2004දී වෙනිසියුලානු ආණ්ඩුව සමග සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස අරඹන ලද ප්‍රාතිහාර්යයේ මෙහෙයුම (Mission Miracle) කියුබානු විප්ලවයේ ජාත්‍යන්තරවාදී ස්වභාවය මෙන්ම කියුබානු සෞඛ්‍ය පහසුකම්වලට ඇති පිළිගැනීම ප්‍රකට කරන්නකි. එය, අන්ධභාවයෙන් පෙළෙන වෙනිසියුලාව ඇතුළු ලතින් ඇමරිකානු හා කැරිබියානු රටවල රෝගීන්ට කියුබාවේ රෝහලක දී නොමිලයේ අක්ෂි ශල්‍යකර්ම සිදු කර පෙනීම ලබා දීම, වෙනිසියුලානු අක්ෂි වෛද්‍යවරුන් පුහුණු කිරීම වැනි සෞඛ්‍ය පහසුකම් ලබා දෙයි. වසර 08ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය යටතේ රටවල් 28ක වැසියන්ට සිදු කරන ලද ශල්‍යකර්ම සංඛ්‍යාව ලක්ෂ 25කට අධික ය.

කෙළිමඬල ජය ගෙන

තෙවැනි ලොව රටක් ව සිටිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම ජයග්‍රහණ වාර්තා කරනු ලබන රට කියුබාවයි. කියුබානු විප්ලවය විසින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට ආයෝජනය කර ඇති ප්‍රාග්ධන හා මානව සම්පත විශාල ය. එසේම එය කියුබාවට නෙළා දෙනු ලබන අස්වැන්න ද සුළුපටු නොවේ. සාමාන්‍ය සම්ප්‍රදාය වී පැවතියේ තෙවැනි ලොව රටක දී යම් හෝ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු බිහි වුවහොත් ඔහු හෝ ඇය බටහිරට රටක පුරවැසිභාවය ලබමින් ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ය. එහෙත් විප්ලවය විසින් බිහි කළේ වෙනස් සම්ප්‍රදායකි. කියුබාව බිහි කළා වූ ක්‍රීඩකයින්ගේ විශේෂත්වය වනුයේ ඔවුන් ශරීර ශක්තියෙන් පමණක් නොව ධනවාදයේ කෑදරකමට එරෙහි මානසික ප්‍රතිශක්තිකරණයෙන් ද යුතු වීම ය.

එක්සත් ජනපදයට සැතපුම් 90කට ඔබ්බෙන් සිට සුවපහසු ඇමරිකානු දිවියකට ඇරයුම් කෙරෙමින් තිබියෙදීත් එය ප්‍රතික්ෂේප කර සැබැවින්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නවුන් අපට කියුබාවෙන් හමු වන්නේ මේ තත්වය තුළ ය. පසුගිය 2012 ඔලිම්පික් උළෙලේ ලතින් ඇමරිකානු කලාපයේ හොඳම දක්ෂතා ප්‍රදර්ශනය කළේ, කියුබාවයි. රටවල් 200ක සහභාගිත්වයෙන් යුත් ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ රන් 05ක්, රිදී 03ක් හා ලෝකඩ 06ක් ලෙස මුළු පදක්කම් 14ක් ලබමින් 16වැනි ස්ථානය දිනා ගැනීමට කියුබාව සමත් විය. ඒ, කෝටි 122ක ජනගහනයක් හා ඩොලර් ට්‍රිලියන 1.85ක දළ ජාතික නිෂ්පාදනයක් ඇති ඉන්දියාව වැනි දැවැන්තයෙක් පදක්කම් සටහනේ 55වැනි පහළ ස්ථානයක රැඳී සිටියෙදීය; අනෙක් අතට රියෝ ඩි ජැනෙයිරෝහි 2016 ඔලිම්පික් සත්කාරක වරම් ලබා සිටින ජනගහනය කෝටි 20.5ක් වන හා ඩොලර් ට්‍රිලියන 2.48ක දළ ජාතික නිෂ්පාදනයක් ඇති බ්‍රසීලය පදක්කම් සටහනේ 22වැනි තැන රැඳී සිටියෙදීය.

‘ක්‍රීඩාව සියළු දෙනාටම ය’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන කියුබානු විප්ලවය ක්‍රීඩාව ජනතාවගේ අයිතියක් බවට පත් කර තිබේ. එසේම 1959න් පසු කියුබාව තුළ මුදල් වෙනුවෙන් ක්‍රීඩා කිරීම තහනම් වූ අතර ක්‍රීඩාව විනෝදය වෙනුවෙන් සිදු කිරීම දිරි ගන්වනු ලැබිණි. විප්ලවයේ දෙවැනි වසර වන විටම ක්‍රීඩා, ශාරීරික අධ්‍යාපන සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික ආයතනය පිහිටුවන ලද අතර අද දක්වා ම කියුබාවේ ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකරකම්හි වගකීම දරනුයේ එය ය. ප්‍රාථමික හා ද්විතීය පාසල්වල ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපනය අනිවාර්ය විෂයකි. සියළු ද්විතීය පාසල්වල ජවන හා පිටිය, පැසි පන්දු, බේස්බෝල්. ජිම්නාස්ටික් සහ වොලිබෝල් යන ක්‍රීඩා පහ ඉගැන්වේ. යම් ක්‍රීඩාවක දක්ෂතා දක්වන සිසු සිසුවියෝ කියුබානු වසන්ත කනිෂ්ඨ ඔලිම්පික් තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබති. එහි දක්ෂතා දක්වන සිසු සිසුවියෝ, ක්‍රීඩා සඳහා වෙන් වූ විශේෂ පාසල්වලට ඇතුළත් කර ගනු ලබති.

එසේම හොඳම ක්‍රීඩකයින් පුහුණුකරුවන් ලෙස විදෙස් රටවලට යැවීමට ද කටයුතු කරන කියුබාව මේ වන විට ලොව පුරා රටවල් 50කට වැඩි ප්‍රමාණයකට එම සේවය ලබා දෙමින් සිටියි.

වර්ගවාදයේ වියගසට සමු දී

අන් බොහෝ ක්ෂේත්‍රයන්හිදී මෙන්ම කියුබාව වාර්ගික වෙනස්කම් ජය ගත් රටක් ද වේ. ස්පාඤ්ඤ යටත්විජිතවාදීන් කියුබාවට කඩා වැදුණු 1492 වසරේ පටන් ශතවර්ෂ ගණනාවක් වාර්ගික ලෙස වෙනස්කම් සිදු කිරීම කියුබානු සමාජයේ ආවේණික ලක්ෂණ විය. මෙය කෙතරම් දරුණු තත්වයක් වීද යත් ස්පාඤ්ඤ ජනපදකරණය වෙනුවෙන් අතිවිශාල කියුබානු ස්වදේශික ජනතාවක් සමූල ඝාතනය කරනු ලැබිණි. ආක්‍රමණිකයින් විසින් ස්වදේශිකයන්ට එරෙහි මෙම ක‍්‍රෑරත්වය සාධාරණීකරණය කර ගනු ලැබුවේ, වර්ගවාදය මගිනි. එසේම අප්‍රිකානු සම්භවයක් ඇති කියුබානුවන් සියවස් ගණනාවක් උක් හා දුම් කොළ වගාවන්හි වහල් සේවයේ යෙදවීම සාධාරණීකරණය කර ගැනීම යොදා ගනු ලැබුවේ ද වර්ගවාදයයි. ”ළමයි උපදින්නේ සතුටු වෙන්න; කල්ලො උපදින්නෙ කුකුල් හොරකමට” වැනි පූර්ව විප්ලවීය කියුබාවේ ව්‍යවහාරයන් මේ හා සම්බන්ධව කියුබානු සමාජයේ පැවති ඍණාත්මක ආකල්පය මැනවින් ප්‍රකට කරයි.

ඇමරිකානු කලාපයේ රටවලින් වහල්භාවය නීතියෙන් තහනම් කළ අවසන් රට කියුබාවයි. ඒ 1886දීය. ස්පාඤ්ඤ යටත්විජිතභාවය අවසන් වීමෙන් හෝ නිල වශයෙන් තහනම් වීමෙන් වහල්භාවය අවසන් වූයේ ය යන්නක් අදහස් නොවේ. එක්සත් ජනපදයේ සහය ලබමින් බලයට පත් වූ ආණ්ඩු, අප්‍රිකානු සම්භවයක් ඇති කියුබානුවන් ව්‍යවස්ථානුකූලවම අසමාන ලෙස සැලකීමටත් සමාජීය වශයෙන් කොන් කිරීමටත් කටයුතු කළේය.

1959දී විප්ලවය ඇරඹීම සියළු ක්ෂේත්‍ර දෙස මුළුමනින්ම වෙනස් ලෙස බැලීමට කියුබානු සමාජය පෙළඹවීය. පීඩිත ජනතාව නගා සිදුවීම ඇරඹිණි. 1959 මැයි විප්ලවීය ඉඩම් බෙදා හැරීමේදීද ද පුද්ගලයෙකුගේ ආදායමෙන් 10%ක උපරිමයකට නිවාස කුලිය අඩු කිරීමේ දී ද වර්ගවාදය නොසලකා හැරීමේ වැදගත් පියවරක් විය. පෙරදී කිසිවක් ම නො ලද ජන කොටස්වලට ජීවිකාව, ආරක්ෂාව සහ ගරුත්වය තහවුරු කරනු ලැබිණි. කළු ජාතික කියුබානුවන්ට අසාධාරණ ලෙස සලකන ලද පෞද්ගලික සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා අහෝසි කෙරිණි. වාර්ගික භේදයකින් තොරව නිදහස් සෞඛ්‍යය හා නිදහස් අධ්‍යාපනය සියළු කියුබානුවන්ට විවෘත විය. ආර්ථික හා සමාජීය සමානාත්මතාව තහවුරු කෙරෙන අතරම 1959 මාර්තුවේදීම වර්ගවාදය එරෙහි මතවාදී මෙහෙයුමක් ද දියත් කරනු ලැබිණි.

වර්ණ භේදවාදයට එරෙහි කියුබානු විප්ලවයේ ස්ථාවරය ප්‍රකට වූයේ ජාතික තලය තුළ පමණක් නොවේ. ජාත්‍යන්තර වශයෙන් එය ප්‍රකාශයට පත් වූයේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනයට එරෙහි කියුබානු සමාජවාදී ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මගිනි. 1975 වසරේ සිට 1988 දක්වා කියුබානුවෝ ලක්ෂ 03ක් ඇන්ගෝලාවේ සිවිල් යුද්ධයේ දී ස්වේච්ඡා සෙබළුන් ලෙස සටන් වැදුනහ. ඒ, ඇන්ගෝලානු හමුදා සමග එක් වී ආක්‍රමණික දකුණු අප්‍රිකානු හමුදාවන්ට එරෙහිවය. එහි දී 1988 පෙබරවාරියේ දකුණු අප්‍රිකානු සුදු හමුදාව ලද පරාජය වර්ණභේදවාදී පාලනයේ අවසානය සනිටුහන් කරලීමට දායක වූ බවත් එය අප්‍රිකානු නිදහස් අරගලයේ මංසන්ධියක් වූ බවත් නෙල්සන් මැන්ඩෙලා විසින් ද පිළිගනු ලැබිණි.

කාන්තා විමුක්තිය අර්ථ ගන්වා

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ක්ෂේත්‍රයේ දී කියුබානු විප්ලවය විසින් ඉටු කරනු ලැබ ඇති කාර්යභාරය අති මහත් ය. පූර්ව විප්ලවීය කියුබාවේ කළු ජාතිකයන් මෙන්ම කාන්තාව ද සිටියේ සමාජීය පිරමීඩයේ පහළම කොටසේ ය. අති බහුතරයකට ලිවීමට හා කියවීමට නොහැකිව සිටි අතර රැකියා විරහිතව ආර්ථික වශයෙන් ද කොන් කරනු ලැබ තිබිණි. එහෙත් විප්ලවය කියුබානු කාන්තාවගේ ජීවිතය තුළ විප්ලවීය පරිවර්තනයක් ඇති කළේය. ඒ ව්‍යවස්ථානුකූල අයිතීන් ලෙස මෙන්ම මතවාදී ක්ෂේත්‍ර තුළ ය.

21වන සියවස වන විට විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගෙන් 62%ක් කියුබානු කාන්තාවන් වූ අතර ඔවුන් උපාධි ලද ක්ෂේත්‍ර ද විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි සාම්ප්‍රදායික නොවන අංශයන් විය. කියුබානු කාන්තාව පිරිමින් හා සමාන ගරුත්වයක් මෙන්ම සමාන වැටුප් භුක්ති විඳිනු ලබන අතර වෘත්තික හා තාක්ෂණික කාර්ය මණ්ඩලයන්හි 65%ක් සමන්විත වන්නේ කාන්තාවන්ගෙනි. නිදසුනක් ලෙස විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ 51%ක් කාන්තාවන් වන අතර වෛද්‍යවරුන්ගෙන් 72%ක්ද නීතීඥවරුන්ගෙන් 62%ක්ද හමුදා නිලයන්ගෙන් 20%ක්ද කාන්තාවන් ය. දේශපාලන ක්ෂේත්‍රයේ  ද කාන්තා මැදිහත් වීම කැපී පෙනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකට ම සමාන ප්‍රමාණයක් (612න් 299ක්) කාන්තාවෝ වෙති.

මාතෘත්වය වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දෙන කියුබානු විප්ලවය කියුබානු කාන්තාවට දරු ප්‍රසූතියකට මාස එකහමාරකට පෙර සිට ප්‍රසූතියෙන් පසු මාස 03ක් දක්වා නිවාඩු ලබා දෙයි. ඒ, ඇය ලබමින් සිටි පූර්ණ වැටුප් සහිතව ය. දරුවන් දැරීමේ හෝ නො දැරීමේ අයිතිය කාන්තාව සතු විය යුතු බව විශ්වාස කළ කියුබානු ආණ්ඩුව ගබ්සාව නීති ගත කරන ලද්දේ 1965 තරම් කාලයකදීය.

පරිසර හිතකාමී සංවර්ධන මාවත

සියවස් හතරක යටත්විජිතභාවය කියුබානු පරිසරයට සිදු කරන ලද්දේ අති මහත් විනාශයකි. තම උක්, කෝපි සහ දුම් කොළ වගාවන් වෙනුවෙන් ඉඩ ලබා ගැනීම සඳහා ස්පාඤ්ඤ යටත් විජිත පාලකයෝ කියුබානු වනාන්තර විශාල ප්‍රමාණයක් කපා හෙළුහ. සත්ව පාලනය වෙනුවෙන් හෙළි පෙහෙළි කරන ලද සදාහරිත වනාන්තර ප්‍රමාණය අති මහත්ය. ස්පාඤ්ඤ යටත් විජිත පාලනයෙන් පසුව ද 1959 තෙක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යටතේ ක්‍රියාවට නැගුණේ ඊට වෙනස් පිළිවෙතක් නොවේ.

විනාශ කරන ලද කියුබානු භූමිය භාර ගත් විප්ලවය, කියුබානු ජාතික විරවර ජොසේ මාටිගේ අවධාරණය – මානව සමාජය ස්වභාවධර්මය මත රඳා පවත්නේය – ගුරු කොට තබා ගනිමින් තම සංවර්ධන මාවත සකස් කර ගත්තේය. අද වන විට 50%කට වැඩි ප්‍රමාණයකින් තම වන ගහනය ඉහළ නංවා ගනිමින් කියුබාව ලොව හොඳම පාරිසරික වාර්තාව තබා තිබේ. එසේම කැරිබියානු කලාපයේ විශාලතම හා හොඳින් ම සංරක්ෂිත තෙත බිම් ඇත්තේ කියුබාවේ ය. සංරක්ෂණ ක්‍රමවේද මගින් ආලෝකකරණය සඳහා විදුලි බල පරිභෝජනය විශාල වශයෙන් අඩු කර ගත් කියුබාව, කාබනික කෘෂිකර්මයේ දී විප්ලවයක් සිදු කළේ එම ක්ෂේත්‍රයේ නව අදහස් හා ක්‍රමවේද රැසක් ලෝකයට අනාවරණය කරමිනි.

සෝවියට් දේශයේ බිඳවැටීමෙන් මතු වූ තත්වය අභියෝගයක් ලෙස භාර ගත් කියුබානු විප්ලවය පිළිතුරු වශයෙන් රට තුළ ආහාර නිෂ්පාදනය විශාල ලෙස ඉහළ නැංවීමට පියවර ගත්තේය. ග්‍රාමීය වශයෙන් පමණක් නොව නාගරික වශයෙන් ද කෘෂිකර්මය දිරි ගන්වනු ලැබූ අතර නාගරික ගෙවතු වගා වෙනුවෙන් නාගරික කෘෂිකාර්මික අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණි. කර්මාන්ත ශාලා, රෝහල් සහ පාසල් ආශ්‍රිත ඉඩම්වල පිහිටුවන ලද නාගරික ප්‍රජා වතු වගාවන්හි අස්වැන්න එම ආයතනවල ආහාර දීමේ වැඩසටහන් සමග බද්ධ කරනු ලැබිණි. නාගරික වතු වගාවන්හි කාබනික කෘෂිකාර්මික ක්‍රමවේදයන් කෙතරම් සාර්ථකවීද යත් එය හවානාහි නීතියක් බවට පත් වූ අතර අද වන විට හවානා නගරයේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් එහිම නිපදවනු ලැබීම මෙහිලා හොඳම නිදසුන වේ.

පොසිල ඉන්ධන මත රඳා පැවැත්ම අවම කරලීමේ උත්සාහයන්හි නිරත ලොව ප්‍රධාන රටක් වන කියුබාව ජල විදුලිය, සුළං බලය සහ සූර්ය ශක්තිය වැනි පුනර්ජනනීය විකල්ප බලශක්ති ක්ෂේත්‍රයන් වැඩිදියුණු කරමින් සිටී. උක් නිෂ්පාදනයේ අතුරුඵලයක් ලෙස ලැබෙන ‘බගාසේ’ කියුබාවේ ප්‍රකට විකල්ප බලශක්ති ඉන්ධනයකි. නාගරික ජනතාවගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වූ පාපැදි සංස්කෘතිය පිළිබඳව ද කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි. පාපැදිකරුවන් වෙනුවෙන් හවානා අගනුවර වීදිවල වෙන් වූ මං තීරු පහසුකම් ලබා දී ඇති අතර දුර බැහැර සිට නගර මධ්‍යයට පැමිණීමට හා පිටවීමට පාපැදිකරුවන් සඳහා වෙන් වූ බස් රථ පහසුකම් ද ලබා දී තිබේ. ඒවා, හුදු බලශක්ති ඉතිරිය සඳහා ජනතාවට පාපැදි පාවිච්චි කරන්නැයි ඉල්ලීමකට වැඩි දේ ය.

ම්ලේච්ඡත්වයට එරෙහිව සමාජවාදය

2019 ජනවාරි 01වැනි දිනට කියුබානු විප්ලවය වසර 60ක කාලයක් ජයග්‍රාහී ගමනක් පැමිණ තිබේ. එය හුදු කියුබාවට පමණක් නොව මනුෂ්‍ය සංහතියේම සමාජ, ආර්ථික, දේශපාලන හා පාරිසරික ජයග්‍රහණයකි. යටත් විජිතවාදයෙන් හා අධිරාජ්‍යවාදී සූරාකෑම විසින් හප කොට දමන ලද ආර්ථිකයක් සහ දිළිඳු භාවයේ ගිල්වා දමන ලද ජනතාවක් උරුම කොට ගත් තෙවැනි ලොව (සම්බාධක පනවනු ලැබ තිබිය දී පවා) රටකට පවා අත් කර ගත හැකි ජයග්‍රණ පිළිබඳව කියුබාව ආදර්ශයකි. පෞද්ගලික ගිජු භාවය වෙනුවට මානව සහයෝගිතාව මුල් කරගත් සමාජයක් ගොඩනැගිය හැකිය යන්නට කියුබාව ආදර්ශයකි. මානව සංහතිය අද පැමිණ තිබෙන්නේ එදා 1958 වසරේ දෙසැම්බර් 31වැනි දින කියුබාව පැමිණි සිටියා වූ මංසන්ධියටය.

එක්කෝ අප ‘හෙට’ සමාජ අසාධාරණය, දරිද්‍රතාව, වසංගත, යුද්ධය, පාරිසරික විනාශය සහ ම්ලේච්ඡත්වය කැටුව එන ධනවාදී මාවතේම ඉදිරියට යා යුතුය; නැතහොත් ජරාජීර්ණ වූ ධනවාදී සමාජ ක්‍රමය වළ දමා සමාජවාදය ගොඩනගමින් මනුෂ්‍ය සංහතියේ අනාගතය බේරා ගත යුතුය.

ග්වන්තනාමෝ ප්‍රාන්තයේ කඳු ගැටයක මුදුනේ පිහිටුවා ඇති ඇමරිකන් හමුදා කඳවුරකි. ඉන් කිලෝමීටර් කිහිපයක් ඈතින් ග්වන්තනාමෝ නගරය පිහිටා තිබේ. එහි ඇති උස් ගොඩනැගිල්ලකි. එය එම ප්‍රාන්තයේ පක්ෂ ප්‍රධාන කාර්යාලයයි. රාත්‍රියට එම ගොඩනැගිල්ලේ මුදුනේ සවි කර ඇති පුවරුවක් විදුලි ආලෝකයෙන් දීප්තිමත්ව කිලෝමීටර් ගණනක් ඈතින් ඇති ඇමරිකන් කඳවුරට ද දර්ශනය වේ. එහි දිදුලන අකුරින් මෙසේ ලියා තිබේ.

Socialismo o muerte. venceremos!

සමාජවාදය නැත්නම් මරණය!

ලෙෆ්ට් සඟරාව

කියුබානු විප්ලවය විජයග‍්‍රහණයක් වන්නේ ඇයි?