අමරණීය මතකයක් ගැන…

SHARE

1952 මාර්තු 29 වැනි කියුබාවේ කැමගුවේ පළාතේ උපත ලද ටියෝෆිලෝ ස්ටීවන්සන් කියුබාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා කියුබාවේ ජාතික වීරයෙක් ලෙසට බුහුමන් ලැබීය. තම පියාගේ ආභාසය අනුව යමින් බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වූ කුඩා ටියෝෆිලෝ හිටපු ජාතික ලයිට් හෙවිවේට් ශූරයෙකු වූ ජොන් හෙරේරා යටතේ 1960 දශකයේ මැද භාගයේ පුහුණුව ලබමින් කනිෂ්ඨ තරග ජයග්‍රහණ ලැබීය. ඔහුගේ ජයග්‍රහණ ඔහුට හවානා දක්වා පැමිණීමට මග කියූ අතර හොඳම පුහුණුකරුවෙකුගේ සේවය ඔහුට හිමි කර දුන්නේ ය. ඒ නව කියුබානු සමාජවාදී ආණ්ඩුවේ ක්‍රීඩා පද්ධතිය විසින් ඔහුට ලබා දුන් අන්ඩේරයි චර්වොනෙන්කෝ නම් ප්‍රමුඛ පෙළේ සෝවියට් බොක්සිං පුහුණුකරුවා ය.
ටියෝෆිලෝගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා දිවිය දාහත් හැවිරිදි වියේ දී ඇරඹෙන්නේ, ඔහු ගාබි‍රයෙල් ගාර්ෂියා නම් ප්‍රවීණ හෙවිවේට් ශූරයෙකු හමුවේ පරාජය වීමෙනි. එහෙත් තවත් ප්‍රමුඛ පෙළේ කියුබානු බොක්සිං ශූරයින් කිහිප දෙනෙකු පරාජය කිරීමෙන් කියුබානු ජාතික කණ්ඩායමට ඇතුළත් වූ ස්ටීවන්සන් 1970 මධ්‍යම ඇමරිකානු ශූරතා තරගාවලියේ අවසන් තරගයෙන් පරාජය වුවද ජයග්‍රහණ තුනක් හිමි කර ගනිමින් කියුබානු බොක්සිං ක්‍රීඩාවේ ප්‍රමුඛයා තමා බව ඔහු පෙන්වා ලීය. චර්වොනෙන්කෝගේ හා කියුබානු පුහුණුකරු ඇල්සිඩෙස් සාගාරාගේ පුහුණුව යටතේ ඉදිරියට ගිය ස්ටීවන්සන් බර්ලින්හි දීම නැගෙනහිර ජර්මනියේ බර්න්ඞ් ඇන්ඩර්න් පරාජය කරමින් තමාගේ ඉදිරි ගමන ප්‍රදර්ශනය කළේය.
1972 මියුනික් ඔලිම්පික් උළෙලේ පළමු වටයේ දීම තරගය ඇරඹී තත්පර 30ක් ඇතුළත ප්‍රතිවාදී පෝලන්ත ක්‍රීඩකයා ඇද වැටෙන්නට පහර දී ජය ගත් ටියෝෆිලෝ අර්ධ අවසාන පූර්ව තරගයේ තෙවැනි වටයේ දී 1971දී තමන් පැරද වූ ඇමරිකානු බොක්සිං ක්‍රීඩක ඩූනේ බොබික්ට තුන් වරක් බොක්සිං වළල්ලෙන් පිටතට විසි වෙන්නට පහර දුන්නේ ය. අවසාන පූර්ව තරගයෙන් ජර්මනියේ පීටර් හුසින් පහසුවෙන් පරාජය කළ කියුබානු වීරයා සමග තරග වැදීමට තුවාල ලැබූ රුමේනියානු ඉයන් ඇලෙක්ස් නො පැමිණි බැවින් පළමු ඔලිම්පික් රන් පදක්කම ඔහු සතු විය. එසේම විනෝදය පිණිස පමණක් ක්‍රීඩා කරන ලොව දක්ෂතම හෙවිවේට් ශූරයා ඔහු බවට සනාථ කෙරුණේ ද ඉන් පසුව ය.
1974දී හවානාහි පැවති ලෝක ශූරතා තරඟාවලියේදී ද මෙම දක්ෂතා විදහා පෑ ස්ටීවන්සන් 1976දී කැනඩාවේ මොන්ටිරියල්හි පැවති වසන්ත ඔලිම්පික් තරගාවලියේ ද රන් පදක්කම් ලාභියා විය. සෑම තොලක ම මිමිණෙන නාමයක් බව පත් ටියෝෆිලෝ කියුබාවේ ජාතික වීරයෙක් ලෙසට නම් කෙරිණි. ඇමරිකාවේ ලෝක හෙවිවේට් ශූර මොහොමඩ් අලි සමග තරග වැදීමේ වෘත්තීමය ක්‍රීඩා ගිවිසුමකට මේ මිනිසා පොලඹවා ගැනීමට ඇමරිකානු තැරැව්කරුවන් උත්සාහ ගත්තේ මේ හා සමගාමීව ය. ඒ වෙනුවෙන් ඔහුට පොරොන්දු වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 05කි. එහෙත් ටියෝෆිලෝ එය ප්‍රතික්ෂේප කළේ, එවැනි මුදලක් කියුබානුවන් මිලියන 08ක ගේ ආදරය සමග අලගු තැබීමට වත් නොහැකි බව පවසමිනි. 1980 මොස්කව් ඔලිම්පික් උළෙල ටියෝෆිලෝගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානය විය. ඒ ඔහු දිවියේ තෙවැනි ඔලිම්පික් රන් පදක්කම ඔහු ගෙල පළඳවමිනි. එවැනි දස්කමක් පෑ ලොව දෙවැනි බොක්සිං ක්‍රීඩකයා ඔහු විය.
1984දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගයේ දී ඔහුට සිව්වැනි පදක්කම දිනා ගැනීමේ හැකියාව පැවතිය ද එවර සෝවියට් දේශය ප්‍රමුඛ රටවල් සමග කියුබාව ද ඔලිම්පික් වර්ජනය කළෙන් ඔහුට එම අවස්ථාව අහිමි විය. කෙසේ වුවද 1986දී ලෝක බොක්සිං ශූරතාවලියේ දී එක්සත් ජනපදයේ ඇලෙක්ස් ගාසියා පරාජය කරමින් ඔහු තමා තවමත් ලෝක සුපර් හෙවිවේට් ශූරයා බව පෙන්වා දුන්නේ ය. 1988 දකුණු කොරියානු සෝල් ඔලිම්පික් උළෙල ද කියුබාව විසින් වර්ජනය කරන ලද්දෙන් ඔහුගේ තරග දිවියෙහි නිමාව සටහන් විය. විශිෂ්ටත්වයේ සංකේතයක් බඳු වූ ඔහුගේ ක්‍රීඩා ජීවිතය තුළ ජයග්‍රණ 302කටම ඔහු ලැබූ පරාජයන් ගණන 23ක් පමණක් විය.
1999දී කියුබානු බොක්සිං කණ්ඩායම සමග එක්සත් ජනපදයේ මියාමි ගුවන්තොටුපොළ හරහා සියරට බලා පැමිණෙමින් සිටි ටියෝෆිලෝ අත්අඩංගුවට පත් වූ අවස්ථාව ඔහුගේ ජීවිතය ලෝකය හමුවේ නිරාවරණය කළ තවත් අවස්ථාවක් විය. ගුවන් තොටුපොළේ දී ඔහු හමුවට ආ යුනයිටඞ් එයාර් ලයින් සමාගමේ ටිකට් නිකුත් කරන්නෙක් කියුබානු සමාජවාදී ආණ්ඩුව අපහාසයට ලක් කරමින් කෑ ගසන්නට විය. ක්‍රීඩා ජීවිතයට සමු දී තිබුණ ද ටියෝෆිලෝගේ සුරත වහා ක්‍රියාත්මක වූයෙන් ඇමරිකානු රූකඩයාගේ දත් කිහිපයක් ඔහුට අහිමි විය.
60 හැවිරිදි දෙදරු පියෙකු වූ ටියෝෆිලෝ 2012 ජුනි 11වැනි දින හවානාහිදී මෙලොවින් සමුගත්තේ, මුදල් පසුපස හඹායන වෘත්තීමය ක්‍රීඩා ලෝකයක ඔහු පිළිබඳ මතකය අමරණීය කරමිනි. ”සෑම කල්හි ම විශිෂ්ටතමයෙකුගේ වියෝවෙන් කියුබානු ක්‍රීඩා පවුල අද සසල වී සිටී,” කියුබානු ග‍්‍රැන්මා පුවත්පත ඔහු පිළිබඳව ලිවීය.
ක්‍රීඩාවේ සිට දේශපාලනය දක්වා ම විකිණෙන සමාජයක ටියෝෆිලෝ වැන්නවුන්ගේ ආදර්ශය අති මහත් ය. කියුබානු විප්ලවයේ නායක පිදෙල් කැස්ත්‍රෝ ඔහුගේ වියෝවෙන් පසු තම රිෆ්ලෙක්ෂන් කොළමෙහි මෙසේ සටහන් තැබීය.
”ස්ටීවන්සන් අප හැර ගොස් ය. බොක්සිං ක්‍රීඩාවේ ඉතිහාසය තුළ මෙතරම් දීප්තිමත් තවත් ක්‍රීඩකයෙකු වූයේ නැත. විප්ලවය විසින් පවරන ලද ජාත්‍යන්තරවාදයේ ප්‍රතිපත්තිමය කාර්යභාරය නොවන්නේ ඔහුට තවත් ඔලිම්පික් පදක්කම් ද්විත්වයක් අත්පත් කර ගැනීමට හැකියාව තිබුණි. ස්ටීවන්සන්ට අල්ලස් දීම සඳහා සමස්ත ලෝකයේ ම මුදල් ප්‍රමාණවත් නොවන්නේ ඉඩ තිබුණි.”

අමරණීය මතකයක් ගැන…