IMF ගැළවුම්කාරයකු නොව ණය මෝරෙක් : ජේනස්-මුහුණක්?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) (17වෙනි වතාවට) අපට දීමට එකඟව ඇති බි.2.9 ණය මුදලින් මුල් කොටස පසුගිය මාර්තුවල ලැබිණ. දෙවෙනි කොටස ලැබීමට බාධකය වී ඇත්තේ පළමු කොටසට අදාළ කොන්දේසි හරි අඩක් පමණ නොපිළිපැදීමයි. මුදල ලබාගැනීමට නම් ශ්‍රී ලංකා රජය යෝජිත නිර්දේශ 16 සැපිරිය යුතුය. අපේ රජයන් මේවා කර තිබුණේ නම් IMF කෞටිල්‍යයන්ගේ රාෂ්ට්‍ර පාලන උපදෙස් හා නිර්දේශ අපට අවශ්‍ය නැත. IMF දුප්පත් රටවල ගැළවුම්කරුවෙකු නොව සැලසුම් සහගත ලෙස රටවල් ගිල ගන්නා මෝරෙකි. මූල්‍ය අධිරාජ්‍යවාදයේ ඒජන්තයෙකි. IMF වල සැබෑ රූපය හා භුමිකාව එය දියත් කරන ත්‍යාගශීලී මානව මුහුණට වඩා වෙනස්ය. IMF යනු ඇත්තටම එකිනෙකට පරස්පර යුගලයන්ගෙන් සංයුක්ත ජෙනස් මුහුණකි. (Janus face).

graphic of Janus

ආර්ථික වශයෙන් කෙසේ හෝ නැගිටීමට උත්සාහ කරන දුප්පත් රටවල් ණය බන්ධනයන්ට යටත්කරමින් ‘කොල්ලකාරී භක්ෂණ ‘හැසිරීමක (predatory behaviour) IMF නිරත බව සහ මූල්‍ය අධිරාජ්‍යවාදයේ තවලම බව මෙම ලියුම්කරුගේ මනෝවිකාරයක් හෝ භ්‍රාන්තියක් නොව අවම වශයෙන් වසර 60ක පමණ ඔවුන්ගේ කාර්ය සංසිද්ධියේ සැබෑ වාර්තාවයි.

මේනාඩ් කේන්ස්ගේ සහ වොල්ට් රොස්ටව්ගේ න්‍යායික මඟපෙන්වීම යටතේ බ්‍රෙටන්වුඩ්ස් ගිවිසුම මත පිහිටා 1944 දී IMF පිහිටුවා ගනුයේ “සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ දුප්පත් රටවලට ණය පදනම යටතේ තිරසාර වර්ධනයක් සහ සෞභාග්‍යය ළඟාකරදීමට මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට කටයුතු කරන මානව හිතකාමී පරාර්ථකාමී සංවිධානයක්” ලෙසය. ඒ ඒ රටවල නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට රැකියා නිපදවීමට සහ ඒවායේ ආර්ථික ශුභසිද්ධිය සඳහා අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වයට උදව්කිරීම ආදිය ද IMF හී අරමුණු අතර වූහ. (International Monetary Fund. පරි.2)

මේ මානවවාදී වාගාලංකාර ඔවුන්ගේ පොතේය. විශේෂයෙන් 1965න් පසු ඔවුන්ගේ ක්‍රියාව මෙහි නිෂේධනයයි. (1) අධිරාජ්‍යවාදයේ වාහකයා වීම (2) දුප්පත් රටවල් තව තවත් දුගීබාවයට පත්කිරීම (3) අති දුෂ්කර හා අමානුෂික කොන්දේසි යෝජනා කිරීම (4) අධිරාජ්‍යවාදීන්ගේ මූල්‍ය යටත්විජිතවාදයේ (financial/monetary colonialism) නියෝජිතයා ලෙස කටයුතු කිරීම (5) අනීතිකව කටයුතු කිරීම (6) දඬුවමින් නිදහස්වීමේ වරප්‍රසාදය (impunity) හිමි නිසාවෙන් අත්තනෝමතිකව හැසිරීම (7) මිනිස් අයිතිවාසිකම් පිළිබඳ විශ්වප්‍රඥප්තිය නොසලකා හැරීම (සහ බොහෝ විට උල්ලංඝනය කිරීම) (8) ධනවාදී කඳවුරට පක්ෂපාතී රටවලට ණය පහසුකම් කඩිනමින් සැපයීම (ද.අප්‍රිකාව, බ්‍රසිලය, හයිටි) එහෙත් විරුද්ධ රටවලට නොදී සිටීම හෝ පමාකිරීම (උදා:වියට්නාමය. වෙනිසියුලාව (9)ණය ආධාර දීම හරහා දුප්පත් රටවල වෙළඳපොලට සහ ආයෝජන ක්‍ෂේත්‍රවලට අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රාග්ධනය ‘පොම්ප කිරීමේ’ හෝ කාන්දු කිරීමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කිරීම (Kakonen 1975: Sundaram 2015).IMF කාර්ය සංසිද්ධි වාර්තාව මෙසේ ලියවේනම් IMF කෙසේනම් ප්‍රතිපත්තිමය වශයෙන් මානවවාදීවිය හැකිද? දුන් ණය සහ දෙන ණය කෙසේනම් මානුෂික වේද?.

IMF බිහිවුණු 1944 සිට පළමු දශක දෙක කෙසේවෙතත් 1960 ගණන්වල සිට IMF සහ ලෝක බැංකුව නිවුන්නු දුප්පත් රටවලට බිලියන ගණනින් ණය ලබාදුන්නද ඒ රටවල් ලැබූ ප්‍රගතියක් නැත. නැතිනම් ප්‍රගතිය අවමය. තාවකාලිකය. ජනතාවගේ ජනජීවිතයේ ගුණයේ ඉහළ යෑමක් සිදුව නැත. රටවල් ආර්ථික වශයෙන් බංකොළොත්වීමට අපේ රටේ මෙන් ම වෙනත් රටවලත් චෞර දේශපාලනඥයන් වගකිවයුතු බව සත්‍යයක් මුත් එයට වඩා විවෘත සත්‍යය වනුයේ IMF වල මූල්‍ය සහායදීමේ යටි අරමුණ දේශපාලනික වීමය. අධිරාජ්‍යවාදී මෙහෙයුමෙහි පෙර ගමන්කරුවා වීමය. ඒ නිසා IMF ‘බැංකුවෙන්’ ණය ලබාගත් කිසි රටක් හිටි තැනින් ඉදිරියට පැමිණියේ නැත. වැටුණු වලෙන් ගොඩවී නැත. රටවල් ගණනාවක් ‘ෂෝම්බි’ (zombie) තත්වයයේය. තරමක හෝ ‘ගොඩගියානම්‘ ඒ ඇමරිකාවට හිතවත් රටවල් කිහිපයක් පමණි. දුප්පත් රටකට දරා ගත නොහැකි දිරවාගත නොහැකි කොන්දේසි පණවමින් පොලී බරක්ද පටවමින් ඒවා ද සතයටම එකතු කරගෙන ඒ අතරම අපේ වෙළෙඳ කලාපවල ඔවුන්ගේ අණසක පතුරාගෙන එයිනුත් නොනැවතී වින්දිත අසරණ රටවල තිබූ ලාභ ලබන ආයතන ඔවුන්ගේම බහු ජාතික සමාගම් වලට හෝ ඔවුන්ගේම පෞද්ගලික මෙගා ව්‍යපාරිකයින්ට විකිණීමේ කොන්දේසී වලට එකඟවීමට පොළඹවමින් ඒ රටවල් සදා මූල්‍ය යටත් විජිතයන් කර ගැනීමේ ඇ.එ. ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උපාය සාර්ථක කරදීමේ ප්‍රධාන ඒජන්තයා IMF ය. මෙම භූමිකාව ‘මොර්‘ නොවේ නම් කුමක්ද?. යන එන මං නැතිව ලක්ෂ 65ක් පමණ අවතැන්ව වතුර පොදක්වත් දී ගත නොහැකි තත්ත්වයකට යුක්රේනය මුහුණදී සිටියදී IMF ඩොලර් බි.2.3ක පොලිය අයකර ගැනීම කුමන ආකාරයේ මානව ප්‍රේමයක්ද? එසේම ජනගහණයෙන් 97% ක් අති දුක්ඛිත තත්ත්වයේ සිටින කර්කිස්ථානයට ණය ගැනීමේ මාවත් අමානුෂික ලෙස ඇහිරීමට අමතරව පකිස්තානයට හිමි විය යුතු දෙවෙනි ණය වාරිකය වුවද මුදහැරියේ අති අමානුෂික කොන්දේසි යටතේය. ශ්‍රී ලංකාවට වුවද පොරොන්දු වූ දෙවෙනි වාරිකය ඉදිරියේදී දෙනුයේ ශ්‍රී ලාංකික අසරණ ජනතාව තවත් පීඩාවට පත්කිරීමට වර්තමාන ජනපීඩක රජයට බලකරමිනි. පසුගිය වසර 30 තුළ IMF වලින් ණය ලබාගත් දිළිඳු රටවල් 81 ක් ගැන කරන ලද පර්යේෂණයකින් G.Biglaiser & McGauran ‘The effects of IMF loan on poverty in the developing world.(2022)’. ඔප්පු වූයේ IMF විසින් යෝජනා කරන ලද ව්‍යුහාත්මක සංශෝධන නිසා ජනතාව තව තවත් අපහසුතාවට පත්වූ බවය. අපද ඒ අත්දැකීම මේ වන විට විඳිමින් සිටිමු. ඇත්තටම කෙසේවත් සැපිරීමට අපහසු යෝජනා ඉදිරිපත් කරනුයේම රටවල් තව දුරටත් පීඩනයට ලක්කිරීමේ චේතනාවින්තව බවද මෙම පර්යේෂකයෝ කියති.

සාමාන්‍ය මුදල් ණයක් ගැනීමේදී 6% ක් අයකළද දරුණු ආර්ථික කඩාවැටීමකදී රටක් අසරණව ගනු ලබන ණය සඳහා පොලිය 14.5 කට නංවා මුදල් සූරාකෑ අවස්ථාද වාර්තාවී නැතුවා නොවේ. ඇමරිකාව විසින් වෙනිසුයිලාවට මොනතරම් කරදර කළාදැයි කිවහොත් හියුගෝ චාවේස් 2009 දී පමණ IMF වලින් ඉවත්වීමට පවා තීරණය කරන ලදි. නැවතත් කොවිඩ් වසංගතයට මුහුණදීම සඳහා වෙනිසියුලාව ඉල්ලූ ඩොලර් බිලියන 5 ක ඉල්ලීම ද IMF ප්‍රතික්ත්‍ෂ්ප කර දැමුවේ (https://www.aa.com.tr>economy>imf-rules-out-covid2020 මාර්තු) දේශපාලන හේතු මතය. එසේම රළු සහ අමානුෂික IMF යෝජනා පිළිපැදීමට සැම්බියාවට නොහැකිවීම නිසා ඉතිරි වාරිකය මුදාහැරීම අනුකම්පා විරහිතව අත්හිටවුවා පමණක් නොව දඬුවම් මුදලක් ගෙවීමටද නියම කෙරිණ. මුදල් ඇමැති මුසොර්වනා ‘අනේ එහෙම කරන්න එපා‘ කියා ලිඛිතව ඉල්ලා සිටියද එය වැඩක් නොවීය. සැම්බියානු ජනතාවට පටි තදකරගැනීම සහ මියැදීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය. IMF වල මෙම ක්‍රියාවන් සහ ප්‍රතිචාරයන් මිනී මෝර (shark) නොවේ නම් වෙන කුමක්ද?.

ග්‍රීසියේ හිටපු මුදල් ඇමැතිවරයෙකු (2015) දේශපාලනඥයෙකු සහ Technofeudalism (20237 කෘතියේ කතුවර යානිස් වර්ෆාකිස් IMF විෂකුරු (toxic) ආයතනයක් බවත් එම උගුලට හසුවන රටවල් අවසන් වනුයේ කාන්තාරයන් ලෙස බවත් තර්කානුකූලව පෙන්වාදී ඇත. නවලිබරල්වාදියෙකු මුත් IMF කොන්දේසි මත ණයදීම ගැන Milton Friedman ටද පැහැදීමක් නොතිබූනි. හේතුව ලෙස ඔහු දක්වනුයේ IMF ආකෘතියේ ණයදීම් ප්‍රජාතන්ත්‍ර විරෝධී වීමයි. මෙහි උත්ප්‍රාසය නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මහා භාරකාරයා හැටියට පෙනී සිටින ඇමරිකාවම ණය සැපයීමේදී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස හැසිරීමයි.

IMF වල සාර්ව ආර්ථික මැදිහත්වීම් (macro interventions) සහ යෝජිත දේශීය ‘ප්‍රතිව්‍යුහගත කිරීම‘ නමැති සංකල්පයෙන් සිදුවූයේ දිළිඳු රටවල දුබල ආර්ථිකය තවත් බෙලහීන වීමයි. (උදාහරණ එමට වුවත් එකක්. 1997 සමයේ ආසියානු අර්බුදය). ඉන්දුනීසියාවට හා තායිලන්තයට IMF විසින් එදා කළ ප්‍රතිව්‍යුහගතකිරීම් යෝජනා පිළිපැද්ද ද සිදවූ සෙතක් නැත. මැලේසියාවද අර්බුදයට ගියමුත් මැලේසියාව IMF සරණ ගියේ නැත. ඔවුන්ටම සුවිශේෂ වූ අසම්මත (unorthodox) ක්‍රම සහ එඩිතර විධි අනුගමනයෙන් ඔවුන් අර්බුදය සාපේක්ෂ වශයෙන් ජයගනිමින් IMF ණය මෝරාගේ කටට නොවැටී බේරිණි- ඉන්දුනීසියාව සහ තායිලන්තය තරමක පිබිදීමක් පෙන්නුම් කළද එය තාවකාලිකය. ප්‍රශ්න ඔඩු දුවති. ඔවුන්ගේ ලොකුම ප්‍රශ්නය IMF ණය වාරික ගෙවීමය. ගෙවීම සඳහා ආර්ථික ක්‍රය ශක්තියකි නැතිවීමය. මෙම රටවල් දෙකේ උද්ධමනය ඉහළයාම නවත්වාගැනීම, බඩුමිල ඉහළයෑම වළක්වාගැනීම, විරැකියාව 1997/98 තිබූ තත්වයට වඩා හොඳවී නැත. IMF ණය ‘උගුලට‘ හසුවු අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල තත්ත්වය මෙයටත් වඩා ඛේදනීයයි. 1997 වසරේ ඉන්දුනීසියානු ජනාධිපති සුහර්තෝගේ ආර්ථික උපදේශක වූ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහචාර්ය ස්ටීව් හාන්ක් මිට වසර 25කට පෙර කළ ප්‍රකාශය සහමුළින්ම නිවැරදිය. “රටක් ප්‍රශ්ණ වලට මුහුණදීම පටන් ගන්නේම රටක් IMF ’වලින් ණයක් ලබාගත් විගසය”.මෙම ප්‍රකාශය එදාට වඩා අද IMF සම්බන්ධයෙන් සත්‍යයය.

IMF වලින් වැඩිම ප්‍රමාණයක් (බි.46 ක්) ණය ගත් රට ආර්ජන්ටිනාවයි. අනුකම්පා විරහිතව වෛරී ‘මෝර ආකල්පයකින්’ යතුව IMF විසින් ඇය හමුවේ තැබූ රළු සහ කටුක කොන්දේසි නිසාවෙන් ආර්ජන්ටිනාව කබලෙන් ළිපට වට්ටපු ආකාරය Washington Post පුවත්පතේ ප්‍රධාන වාර්තාකරුවෙකු වන Paul Blustein එක කෘතියකින් නොව තුනකින් The IMF and the Bankrupting of Argentina 2005: Chastening 2003 සහ Laid Low 2016 පෙන්වාදී ඇත. ඩොලරයට සාපේක්ෂකව ආර්ජන්ටීනියානු ‘පෙසෝ‘ 50% කින් අවප්‍රමාණයව තිබීමද ඊට හේතුවකි. 2023 අවසාන කාර්තුවේදී ආර්ථිකය 3%කින් සංකෝචනය වීමක සේයා ද මෝදුවෙමින් පවතී. බොලීවියා, කොළොම්බියා, පැරගුවේ, එල් සැල්වදෝ, බ්‍රසීලය තවම දියඹේය. ඉවුරක් පේන තෙක් මානයේ නැත.

ලෝකයේ රටවල් 92 ක් පමණ IMF ණයකරුවන් ආපසු ගෙවීමට අපහසු වන විට මේ රටවල් කරනුයේ ණය ගෙවීම සඳහා තවත් ණයක් ගැනීමයි-IMF ද ‘ව්‍යාජ‘ රඟපෑමක් කරමින් මුලදී ‘බැහැ‘ කීවද ණය දීමට සැදී පැහැදී සිටී. පොලිය වැඩිවෙන අතර කොන්දේසි තවත් කර්කශ වේ. දැවැන්ත පිඹුරෙකුට ගොදුරු වූ මුවපොව්වෙකුට පිඹුරාගේ දඟරය තුළ හිරවී තදවී මියයෑම මිස ගැලවිල්ලක් නැතිවා සේ IMF ණය ගත් කිසිදු රටකට ගැලවිල්ලක් නැත. ඇත්තටම මෙම මූල්‍ය සමාගම් මූල්‍ය ත්‍රස්තවාදීන්ය. උදව්කිරීමේ විලාශයෙන් නැතිනම් මුවාවෙන් පැමිණ දිළිඳු රටවල් සිය මෝර මුඛයට ගනිමින් ඒ රටවල් තම ආධිපත්‍යයට සහ වසඟයට ගන්නා බාඳුරා ආයතනයන්ය. ලෝක බැංකුවටද මේ තර්කය සහ නිරීක්ෂණය එකසේ වලංගුය.

IMF සහ ලෝක-බැංකු නිවුන් ජෝඩුවේ උඩු සහ යටි අරමුණු දෙකම අන් කිසිවක් නොව නව ලිබරල් ධනවාදය නීත්‍යනුකූල කිරීම සහ ඇමරිකානු – යුරෝ මූල්‍ය අධිරාජ්‍යවාදය ව්‍යාප්ත කිරීමය. එසේම අමාරුවෙන් ‘ගැටගහගෙන දුවන ‘ රටවල් ණය උගුලේ හිරකොට මහාද්වීප පහේම රටවල් තමන්ගේ අණසකට නතුකර ගැනීමය. මෝර කට තුළට ඔබා ගැනීමය. ‘ඊනියා මූල්‍ය ණය හරහා සර්ව-ආවෘත (all-encompassing) දුරස්ථ-පාලක දේශපාලන අධිකාරයක් පිහිටුවා ගැනීමය. එදා ලෝකයේ රටවල් තම යටත් විජිතයන් කර ගනිමින් ‘හිරු නොබසින අධිරාජ්‍යය‘ යන විරුදාවලියට හිමිකම්ලාභී වූයේ අද IMF අරමුදලේ ප්‍රධාන දායකයෙකු වන මහා බ්‍රිතාන්‍යයයි. එදා බ්‍රිතාන්‍යය අවිබලයෙන් ගොඩනගාගත් අධිරාජ්‍යවාදය අද මූල්‍ය ණය ප්‍රදානයෙන් ගොඩනඟමින් සිටී. එහි ප්‍රධාන භූමිකාව අද කරනුයේ ඇමරිකාවය. IMF මූලස්ථානය ධවල මන්දිරයට හූවක දුරින් පිහිටවූවේ ද මූල්‍ය යටත්විජිතවාදයේ ප්‍රචාරණ සහ ප්‍රවර්ධක කාර්යයේ පහසුව පිණිස විය හැකිය.

IMF සිය ප්‍රචාරණ යාන්ත්‍රණ නිලධාරීන් මගින් (උදා: James Boughton -Silent Revolution: The IMF 79-89 ) තමන් දුප්පත් රටවල් වෙනුවෙන් නිශ්ශබ්ද විප්ලවයක නිරතව සිටින බවත් ඒ රටවල නිහඬ පරිණාමයක් සිදුවෙන බවත් කියයි. සාමාජික රටවල් 190 ක් ඇති නිසා තවත් රටක් ණයක් ගැනීමට පෙළඹවීම් යටි අරමුණින් මුදාහරින වෙ`ළඳ දැන්වීම් පමණි. IMF වලින් ‘ඊනියා මානව’ ආධාර ලබාගත් කිසිම රටක ‘නිශ්ශබ්ද‘ විප්ලවයක්‘ හෝ ‘නිහඬ පරිනාමයක්‘ වී නොමැත. ඒ ඒ රටවල ජනතා උද්ඝෝෂණ ණයකාර පාර්ශවයේ අඳෝනා පෙත්සම් සහ ආයාචන එවන් විප්ලව සහ පරිණාමයන් සිදු නොවන බවට සාක්ෂීන්ය. එහෙත් ලෝ පුරා රටවලින් විශාල ශබ්දයකින් ඇසෙනුයේ IMF මෝර මුඛයට වැටෙමින් යන රටවල අහිංසක ජනතාවගේ විලාප හඬ සහ මර ළතෝනිය පමණි. IMF සංවිධානයට එරෙහිව ලෝකය පුරා දියත්වන උද්ඝෝෂණ පෙළපාලි හරහා ගිගුම් දෙනුයේ විලාපයන්ය. 2008 ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු ජෝරිස් ලුවෙන්ඩ්ජික් විසින් බැංකු පිළිබඳව කරන ලද පර්යේෂණයෙන් (Swimming with Sharks2015) හෙළිකළ සමහර කරුණු IMF වලටද අදාළය. IMF වැනි බැංකු ‘ණය මෝරුන්‘ සමඟ පිහිනීමට උත්සාහ කරන රටවල් කොතරම් පරිස්සමින් පිහිනුවත් ඵලක් නොවනුයේ බැංකු මෝරුන් ඒ රටවල් සූක්ෂම ලෙස ගිලගන්නා හෙයිනි.

මතුපිටින් ත්‍යාගශීලි ඇතුළතින් කපටි හා දුෂ්ඨ – ජේනස් මුහුණ

ඉහත විස්තරයෙන් IMF වල අරමුණ සහ ක්‍රියාකලාපයේ පරස්පරය අප කෙටියෙන් එහෙත් පැහැදිලිව දුටු නිසා IMF ගැන ප්‍රශංසාත්මකවන විට දෙවරක් සිතීම අවශ්‍ය වනුයේ IMF ග්‍රීක සහ රෝම මිථ්‍යා දෙවි ‘ජේනස් මුහුණ‘ (Janus Face) මතකයට නංවන හෙයිනි“ජේනස් මුහුණෙහි සංකේතාත්මක පණිවිඩය නම් එකිනෙකට ප්‍රතිවිරුද්ධ පිළිවෙත් හා ආකල්ප එකවර නිරූපණය කිරීමකි. IMF ජේනස්ය. අපේ සහ ලෝක දේශපාලනඥයින්ගෙන් 90 කට ද ඇත්තේ ‘ජේනස් මුහුණුය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය

ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

IMF ගැළවුම්කාරයකු නොව ණය මෝරෙක් : ජේනස්-මුහුණක්?