ලාංකේය ධනවාදයේ වර්ධනයේ ගමන් මග

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ධනවාදය යනු සමාජ ආර්ථික ක්‍රමයකි. පුද්ගලික දේපළ (නිෂ්පාදන මාධ්‍ය) හිමිකාරිත්වය සහ ලාභය අරමුණු කරගනිමින් නිෂ්පාදන මාධ්‍ය හැසිරවීම එහි මූලික පදනමයි. එය ගෝලීය සමාජ ආර්ථික ක්‍රමයකි. 1848 කාලයේ කොමියුනිස්ට් ප්‍රකාශනය ලියමින් ධනවාදය ලෝක ව්‍යාප්ත සමාජ ආර්ථික ක්‍රමයක් වන බව මාක්ස් සහ එංගල්ස් පුරෝකතනය කරන ලදී.

“සියලු නිෂ්පාදන උපකරණ වල සීග්‍ර දියුණුව මඟින් ද, ඉමහත් ලෙස පහසු වන ප්‍රවාහන සහ පණිවුඩ මාර්ග මඟින් ද, ධනපති පන්තිය අති ම්ලේච්ඡ ජාතීන් ඇතුළු සියලු ජාතීන් සභ්‍යත්වය වෙතට ඇද ගනියි. ධනපති භාණ්ඩවල ලාභ මිල මහා කාලතුවක්කු වලට සමානය, මෙය පාවිච්චි කරමින් ධනපති පන්තිය සියලු චීන ප්‍රාකාරය බිඳ දමයි, ම්ලේච්ඡයන් තුළ විදේශිකයන් කෙරෙහි ඇතිවන මුරණ්ඩු ද්වේශ සහගත වෛරය මෙල්ල කරලයි. වඳවීයාමේ භීතිය ඉදිරියේ, ඉන් මිදෙනු පිණිස ධනවාදී නිෂ්පාදන ක්‍රමය පිළිගන්නා ලෙස එය සියලු ජාතීන්ට බලකර සිටී. ඔවුනට ඊනියා ශිෂ්ටත්වය එනම් ධනපති වාදය පිළිගන්නා ලෙස එය බල කර සිටී. වචනයකින් පවසතොත්, ධනපති පන්තිය තම ප්‍රතිමූර්තියක් සහ තමාට සමාන ලෝකයක් මවා ලයි.”

මාක්ස් – එංගල්ස්- කොමියුනිස්ට් ප්‍රකාශනය

මාක්ස් එංගල්ස් පුරෝකතනය කරන ලද ආකාරයට ධනවාදය ලෝක ව්‍යාප්ත ක්‍රමයකි. අද එය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගොස් ඇත. යුරෝපයේ ආරම්භ වූ ධනවාදය යුරෝපීයයන් විසින්ම ගෙනවුත් ලංකාවේ ද සමාජ ආර්ථික ක්‍රමය බවට පත් කරන ලදී. ඒ අනුව ධනවාදය යනු ලාංකේය භූමිය තුළ ඓතිහාසිකව විකාශනය වුවක් නොව උත්තරාරෝපණය කරන ලද්දකි.

ලාංකීය සමාජය තුළ ධනවාදය විකාශනය වීමේ ගමන් මග තෝරා බේරා ගැනීම සඳහා ධනවාදය යනු කුමක්ද යන්න පිළිබඳ යම් අවබෝධයක් තිබීම වැදගත් වේ. ධනවාදය යනු කුමක්ද? එහි ලක්ෂණ මොනවාද?

ඉල්ලුම සහ සැපයුම් තරගය මත තීරණය වන මිල ක්‍රමයක් වීම, තරගකාරී වෙළඳපළ ක්‍රමයක් වීම, වැටුප් ශ්‍රමය ඇතිවීම සහ ප්‍රාග්ධන සමුච්චය ධනවාදයේ මූලික ලක්‍ෂණයි. පසුකාලීන වර්ධනයේදී ධනවාදය ඒකාධිකාරී ධනවාදය හරහා අධිරාජ්‍යවාදය දක්වා ගමන් කළේය. අද ලෝකයම මෙම ධනවාදී වර්ධනයේ ඉහළම අවධිය වන අධිරාජ්‍යවාදී අවධිය තුළට පිවිස ඇත.

ධනවාදය ලෝකයේ ක්‍රියාත්මක වන ආකාර කීපයක් දැක ගත හැක. එනම් නිදහස් වෙළඳපළ ධනවාදය, රාජ්‍ය ධනවාදය සහ සුබසාධන ධනවාදය වශයෙනි. කෙසේ වෙතත් ධනවාදය නිතර කැමති වන්නේ නිදහස් වෙළඳපළ ධනවාදය ලෙස පැවතීමටය.

දහනමවන ශත වර්ෂයේ මුල් කාලයේ නූතන ධනවාදය පැන නැගෙනු දැක ගන්නට හැක. 1760-1840 කාලයේ එංගලන්තයේ ඇති වූ කාර්මික විප්ලවය එහි ප්‍රධාන සන්ධිස්ථානයක් වශයෙන් සැලකිය හැකිය. ඊට පෙර යුරෝපයේ පැවති සමාජ ආර්ථික ක්‍රමය හඳුනා ගත්තේ ”වැඩවසම්” සමාජ ආර්ථික ක්‍රමයක් වශයෙනි. නමවන ශත වර්ෂයත් පහලොස්වන ශතවර්ෂයක් අතර කාලයේ යුරෝපයේ වැඩවසම් ක්‍රමය බල පැවැත්වූ අතර ඉන්පසු ක්‍රමයෙන් එය පිරිහී යාමට පටන් ගන්නා ලදී. එම සමාජ ක්‍රමය තුළම ඇතිවූ විපර්යාසයන් ක්‍රමයෙන් යුරෝපා වැඩවසම් සමාජය ”ධනවාදය” කරා රැගෙන යන ලදී.

මෙම යුගය වන විට ආසියාවේ

බලපැවැත් වූ සමාජ ආර්ථික රටාව යුරෝපා වැඩවසම් ක්‍රමයේ යම් ලක්ෂණ සහිත එකක් විය. මුල් කාලයේ ආසියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේ ද එකල පැවැති සමාජ ආර්ථික ක්‍රමය වැඩවසම් ක්‍රමයක් වශයෙන් හඳුන්වනු ලැබුවද පසුකාලීනව එය නිවැරදි නොවන බව සමාජ මානව විද්‍යාඥයින් විසින් හඳුනා ගන්නා ලදී. යුරෝපා භූගෝලීය දේශගුණික ස්වභාවයට වෙනස්ව ආසියාවේ පැවති වෙනස්කම් මත ආසියාවේ ගොඩනැගී තිබූ සමාජ ආර්ථික රටාව ”ආසියාතික සමාජ ක්‍රමය” වශයෙන් විශේෂයෙන් හඳුනා ගන්නා ලදී.

“ආසියාතික නිෂ්පාදන ප්‍රකාරයේ මූලිකාංග වන අවශ්‍යතාවය ගොඩනැගෙන්නේ දේශගුණික හා භෞමික කොන්දේසි මතයි. ඒ අනුව ඇළ මාර්ග හා ජලකම් (අ්එැර අදරනි) මගින් නිර්මිත කෘතිම ජල සම්පාදනයන් බිහිවිය. මාක්ස් පෙන්වා දෙන්නේ ප්‍රාචීන කෘෂිකර්මයේ අත්තිවාරම මෙය බවයි. ප්ලැන්ඩර්ස් (මධ්‍යකාලීන උතුරු යුරෝපයේ පැවැති රටකි) හා ඉතාලිය වැනි රාජ්‍යයන්ට ද ජලයේ සකසුරුවම් හා පොදු භාවිතය අවශ්‍ය විය .ඒ අනුව ඒ සඳහා පුද්ගලික ව්‍යවසායකත්වයන් ස්වයංපාලිත සංගම් තුළට ඇතුල් වීම අවශ්‍ය විය. නමුත් ප්‍රාචීන සමාජයට එම අවශ්‍යතාව ඇතුළත් වන විට එම ශිෂ්ටාචාර ඉතා පහළ මට්ටමක පැවති අතර ප්‍රාදේශීය වසම් රාජ්‍යයේ ප්‍රබල මැදිහත්වීම සහිත අති විශාල ලෙස විස්තාරිත ස්වයංපාලිත සංගම් තුළට සංවිධානය විය. මේ මත සියලු ආසියාතික නිෂ්පාදන ප්‍රකාරයන් වර්ධනය වූයේ රාජකාරිය හෙවත් මහජනයා රාජ්‍යයේ කටයුතුවලට ශ්‍රම දායකත්වය සැපයීම ඔස්සේය. මාක්ස් විස්තර කරන කුඩාතර ප්‍රජාවන් මත සමතුලිත වන ස්වෛරී ආණ්ඩු ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙනි. ආණ්ඩුවේ සියලු අංග ඒකමිතියකින් යුතුව සියලු කුඩාතර දේහයන් මත ස්ථාපිත වන විට නියම අයිතිකරුවා බවට පත්වන්නේ එම ඒකමිතියයි. එය පොදු අයිතියේ නියම පූර්ව කොන්දේසිය ද වන්නේ ය. පරම බලධාරියා මෙහිදී මෙම සියලු ප්‍රජාවන්ගේ පියා ලෙස දිස්වීම සිදුවේ. එය සියල්ලෙහි පොදු ඒකමිතිය සඳහා හේතුවෙයි. මේ අනුව මාක්ස්ගේ දැක්ම වන්නේ සමාජයේ ප්‍රමුඛ බලවේගය වන්නේ රාජ්‍යයයි. එය සියලු සාමාජිකයන්ට වඩා ඉහළින් හා ස්වාධීනව සිටිමින් සමාජයේ තථ්‍ය ආධිපත්‍ය පරිපාලනය සිදු කරයි”

කාල් මාක්ස් හා කාල් විට්ෆෝගල්-ආසියාතික නිෂ්පාදන ප්‍රකාරය හා කෘෂි කළමනාකරණ ඒකාධිපත්‍යය – ප්‍රභාත් ගලගමගේ

1505 සිට ලංකාව යුරෝපා ජාතීන් තුනක ග්‍රහණයට හසු වූ අතර 1815 දී එය සහමුලින්ම බි්‍රතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් විය. 1815 වන විටත් ලාංකීය සමාජයේ සැලකිය යුතු වෙනසක් සිදුව තිබුණේ නැත. එය සුපුරුදු ආසියාතික සමාජ ක්‍රමය තුළින්ම ගමන් කරමින් තිබුණේය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලංකාවේ ජන ජීවිතය හැඩගැසී තිබුණේ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් වශයෙනි. ප්‍රධාන වශයෙන් වී වගාව සිදු කරන ලදී. ලංකාවේ භූගෝලීය දේශගුණික තත්ත්වය අනුව කෘෂිකර්මාන්තය සඳහා වාරිකර්මාන්ත සකස් කිරීම අවශ්‍ය වූ අතර එය තනි පුද්ගලයන්ට කළ නොහැකි සාමූහික ලෙස ඉටු කළ යුතු කාර්යයක් විය. මේ නිසා එය මෙහෙයවීමට රජුට නැතිනම් ප්‍රාදේශීය අධිපතීන්ට මැදිහත් වීමට සිදුවිය. එසේ මැදිහත්වීමෙන් විශාල ශ්‍රමයක් සංවිධානය කිරීමෙන් පමණක්ම වාරිකර්මාන්ත ඉදිකිරීම සහ නඩත්තුව කළ හැකි විය. මෙම තත්වය පදනම් කරගනිමින් ගොඩනැඟුණු ක්‍රමයක් ලෙස ලාංකීය- ආසියාතික සමාජ ක්‍රමය හැඳින්විය හැකිය. මෙය රාජකාරි ක්‍රමය ලෙසද හැඳින්වෙයි. රටේ ඉඩම් වල අයිතිය රජු සතු වූ අතර එම ඉඩම් භුක්ති විඳින වැසියන් ඒ වෙනුවෙන් රජුට රාජකාරි කළ යුතු විය.  රජුට අමතරව ප්‍රාදේශීය රදල අධිපතීන්ට සහ ආගමික ආයතන වලට ද රාජකාරි ඉටු කළ යුතු විය.  රාජකාරි ඉටු කිරීම නිසා මෙම ඉඩම්වල නීත්‍යානුකූල අයිතියක් වැසියාට හිමි නොවේ. කෙසේ වෙතත් රජය සහ වැසියා අතරත්, භූමිය සහ වැසියා අතරත්, භූමිය සහ රජය අතරත් ඉතා තද සම්බන්ධතාවයක් රාජකාරී ක්‍රමය තුළ ගොඩනැඟී තිබිණි. රාජකාරි ක්‍රමය තුළ තමන් කැමති රාජකාරියක් වෘත්තියක් තෝරා ගැනීමට නිදහස වැසියාට නොවීය. එය කුල ක්‍රමයක් මත සංවිධානය වී තිබුණි. කුල ක්‍රමය මත ශ්‍රමය විභජනය වී තිබුණු අතර එය ඉතා සරල ශ්‍රම විභජනයක් විය. කුලය උපතින්ම නිර්ණය වූ අතර ඒ අනුව රාජකාරිය ද උපතින්ම නිර්ණය වූ එකක් විය. ශ්‍රම වෙළඳ පළක් දක්නට ලැබුණේ නැත. රජු රදලයන් සහ ආගමික ස්ථාන රාජකාරි ක්‍රමය අනුව ශ්‍රමය පාරම්පරික කටයුතු වලට යොදා ගන්නා ලදී .එම රාජකාරි සඳහා ඉඩම් භුක්ති විඳීමට ඉඩ ලැබුණු අතර ඉහත සඳහන් කළ ඉඩම්,වැසියා, රජු සහ රදලයන් අතර සම්බන්ධය ඇති වූයේ ඒ හේතුවෙනි.

සාමාන්‍ය වැසියන් ගත කරන ලද්දේ ඉතා සරල චාම් ගැමි ජීවිතය විය. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉතා සරල ඒවා විය. එම අවශ්‍යතාවයන් බොහෝමයක් ඔවුන් විසින්ම නිපදවා ගන්නා ලද අතර අතිරික්ත නිෂ්පාදනයක් නොවීය. අතිරික්ත නිෂ්පාදනය කිරීම අවශ්‍ය ද නොවීය. මේ නිසා පුළුල් වෙළඳපළක් ද දක්නට නොලැබිණි. මුදල් පරිහරණය කිරීම ද ඉතාම අවම මට්ටමක වීය.

1815 ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් තම යටත් විජිතයක් බවට පත් කර ගත්තද තමන්ට අවශ්‍ය සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩ නැගීම බි්‍රතාන්‍යයන්ට ක්ෂණික ව කළ නොහැක්කක් විය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ  ලාංකිකයන් හුරුව සිටි රාජකාරි ක්‍රමය ඇතුළු ඉහත දේශපාලන ආර්ථික රටාව තවදුරටත් එහි බල පැවැත්වීය.

පුළුල් නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියක් බලගන්වා ගැනීමට නොහැකි වූ නිසා රටේ ආදායමට වඩා වියදම වැඩි තත්ත්වයක් උද්ගත වී පැවතුණි. රටේ වියදම පියවා ගැනීම සඳහා මෙරටට පත්කරන ලද ආණ්ඩුකාරවරුන්ට බි්‍රතාන්‍ය ආණ්ඩුවෙන් මුදල් ඉල්ලා සිටීමට සිදුවිය. මෙය බි්‍රතාන්‍යයේ නොසතුටට හේතු වූ අතර මේ පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට යටත් විජිත ලේකම් විසින් 1829 දී විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බෲක්  යන අය පත්කර එවන ලදී. ශ්‍රී ලංකාවේ තත්වය පරීක්ෂාකර බලා ඔහු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම් කරගෙන 1833 දී බි්‍රතාන්‍යයන් විසිනි මෙරටට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබා දෙන ලදී. මෙය කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යනුවෙන් ප්‍රකට ව ඇත.

කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ඇති කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණයන් සියල්ලම මෙහි පැවති සමාජ  ක්‍රමය වෙනස් කොට යුරෝපයේ පවතින ආකාරයේ ධනවාදී සමාජ අර්ථ ක්‍රමයක් බිහි කර ගැනීම ඉලක්ක කරන ලදී.

එමගින් ලංකාවේ සිදුකරන  ලද ප්‍රධාන වෙනස්කම් මොනවාද ?

මූලික කාරණය නම් රාජකාරි ක්‍රමය අහෝසි කර දැමීමයි. රාජකාරී ක්‍රමය යටතේ ශ්‍රමය නිදහස් නොවීය. තමන් කැමති වෘත්තියක් තෝරා ගැනීමට, තමන් කැමති තැනකට යාමට පදිංචිවීමට රාජකාරී ක්‍රමය අහෝසි කිරීම නිසා ඉඩකඩ සැලසුණි. කලින් පැවැති රාජකාරි ක්‍රමය යටතේ ශ්‍රමය සැපයුනේ ඉඩම් භුක්තිය සඳහා ගෙවීමක් ලෙසය. දැන් වැටුප් සඳහා ශ්‍රමය සැපයිය හැකි විය. මේ අනුව ශ්‍රම වෙළඳ පලක් බිහිවූ බව පැවසිය හැක. එය ධනවාදය බිහි වීම සඳහා මූලික අවශ්‍යතාවයකි. රාජකාරි ක්‍රමය අහෝසි කිරීමත් සමඟම මිනිසුන්ගේ ජීවන රටාව ද අවශ්‍යතාවයන්ද සිතුම් පැතුම් ද වෙනස් වන්නට විය. නව භාණ්ඩ සඳහා ඉල්ලුමක් ඇති වන්නට විය. ඉතා

මන්දගාමීව තිබූ ආර්ථිකය ගතික එකක් බවට පත්වීමට සහ වෙළඳපළ වර්ධනය වීමට මෙය හේතු විය.

රජයේ වෙළෙඳ ඒකාධිකාරය අහෝසි කිරීම තවත් ප්‍රතිසංස්කරණයක් විය. මේ අවකාශය ප්‍රයෝජනයට ගනිමින් යුරෝපීය ව්‍යාපාරිකයෝ රාශියක් ම තම ප්‍රාග්ධනය ලංකාවේ වතු වගාව සඳහා මෙන්ම වෙනත් ව්‍යවසායන් සඳහා ආයෝජනය කරන ලදී. එමෙන්ම ආනයන අපනයන කටයුතු, ප්‍රවාහනය, බැංකු හා රක්ෂණ කටයුතු වැනි ක්ෂේත්‍ර වල ද ආයෝජන ඉහළ ගියේය. එබැවින් මෙම ප්‍රතිසංස්කරණය ද  ලංකාවේ ධනවාදය ස්ථාපිත කිරීමෙහිලා විශාල පිටුවහලක් විය.

රජුගේ බලය සීමා කර ව්‍යවස්ථාදායකය පුළුල් කිරීම  එංගලන්තයේ දී ද ධනේශ්වර ක්‍රමයට තහවුරු වීමට මහඟු පිටුවහලක් විය. එවිට ප්‍රාග්ධන හිමියන්ට තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර යවා තමන්ට අවශ්‍ය නීති අණපනත් සම්මත කර ගැනීමට හැකි ඉඩකඩක් විවෘත විය.

මෙය ආදර්ශ කොට ගනිමින් කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ රජුගේ නියෝජිතයා වශයෙන් ලංකාව පාලනය කළ ආණ්ඩුකාරවරයාගේ බලතල සීමා කරන ලදී. ව්‍යවස්ථාදායක සභාවක් සහ විධායක සභාවක් ස්ථාපනය කිරීම මඟින් ලංකාව තුළ පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති වීමේ මූලික අඩිතාලම වැටුණි. යුරෝපීය විවසායකයන් ලංකාවට පැමිණීමට දේශපාලනය තුළ සිදුකරන ලද මෙම ප්‍රතිසංස්කරණ පිටුබලය සපයන ලදී.

කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ සිවිල් සේවය ප්‍රතිසංවිධානය කරන ලදී. මෙතෙක් ඔවුනට පෞද්ගලික ව්‍යාපාර කිරීමට ඉඩ  නොතිබූ අතර කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟින් ඒ සඳහා අවසර ලැබුණි. මෙම අවසරය ප්‍රයෝජනයට ගනිමින් සිවිල් සේවකයන් බොහොමයක් වතු වගාව කෙරෙහි යොමු විය.19 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ දී සිවිල් සේවකයන් වතු වගාවේ පුරෝගාමීත්වය ගන්නා ලදී. වතු වගාව පුළුල් වීම ලංකාවේ ධනේශ්වර ක්‍රමය ස්ථාපිත වීමට බොහෝ පැති වලින් ආධාර විය.

මීට අමතරව කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මඟින් සිදු වූ ඒකීය පාලන ක්‍රමයක් ඇති කිරීම, පළාත් බෙදීම වෙනස් කිරීම, ඉංග්‍රීසි භාෂාව හා බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම ආදී සියලු ප්‍රතිසංස්කරණ වල අවසන් ප්‍රතිඵලය වශයෙන් ශ්‍රී ලංකාව තුළ ධනේශ්වර ආර්ථික ක්‍රමයක් වර්ධනය වී ස්ථාපිත විය.

ලංකාවේ ධනවාදී ව්‍යූහයන් වර්ධනය වී ඉදිරියට යාම සිදු වූයේ වූ වතු වගාව පදනම් කරගනිමින් යන්න එතරම් විවාදිත කරුණක් නොවේ. වතු වගාව සඳහා අවශ්‍ය ඉඩම් සපයා ගැනීමේදී ලංකාවේ පැවති ඉඩම් අයිතිය බාධාකාරී විය. මේ නිසා වරින් වර විවිධ අණ පනත් ගෙන එමින් ලාංකිකයින් සතු ඉඩම් අත්පත් කරගෙන ඒවා වතු වගාව සඳහා ලබාගැනීමට බි්‍රතාන්‍ය පාලකයෝ කටයුතු කළහ.

1840 අංක 5 සහ 12 දරන කිරීට ඉඩම් ආඥා පනත මඟින් සියලු වැසියන්ට තම ඉඩම් වල අයිතිය ඔප්පු කිරීමට නියම කරන ලදී.1841 අංක නමය පනත මගින් එසේ ඔප්පු කිරීමට නොහැකි ඉඩම්, කිරීටය යටතට පවරා ගන්නා ලදී ගොවීන් රාශියකට මේ නිසා පාරම්පරික ඉඩම් අහිමිවිය.

1856 අංක 10 දරන පන්සල් ඉඩම් ආඥා පනත අනුව පන්සල් ඉඩම් ලේඛනගත කිරීම සඳහා ඒවා මැනීම ආරම්භ කරන ලදී. මේවායේ මැනීම් වියදම පන්සල් විසින් දැරිය යුතු විය. ඒ නිසා ගෙවීමට නොහැකි පන්සල් සතු ඉඩම් ද බි්‍රතාන්‍ය රජය සතු විය.

1872 පනවන ලද ධාන්‍ය බදු ආඥා පනත මගින් ඉඩම් වල ආදායමින් රජයට බද්දක් ගෙවීමට නියම කරන ලදී. බදු ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති වූ ගොවීන්ගේ ඉඩම් ද රජය සතු විය.

1897 අංක 1 දරන මුඩුබිම් ආඥා පනත මගින් වගා නොකරන ලද ඉඩම් ද රජයට පවරා ගන්නා ලදී.

මෙසේ විවිධ අණ පනත් ගෙන එමින් අත්පත් කරගන්නා ලද ඉඩම් අක්කරයක් සිලිම් පහක් වැනි මුදලකට වතු වගා කරුවන්ට අලෙවි කරන ලදී.

ලාංකිකයින් ගේ පාරම්පරික ඉඩම් රාශියක් ඔවුන්ගෙන් උදුරා ගෙන  වතු වගාව සඳහා යෙදවිණි .කෙසේ වෙතත් ධනවාදය වර්ධනය වීම සඳහා බි්‍රතාන්‍යයන්ගේ මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ ද හේතු විය.

වතු වගාව සඳහා අවශ්‍ය උපකරණ අමුද්‍රව්‍ය සහ කම්කරුවන් ප්‍රවාහනය කිරීම සහ නිෂ්පාදිතයන් කොළඹ වරායට ගෙන ඒම පදනම් කරගනිමින් ලංකාව පුරා දිවයන දුම්රිය සහ මහාමාර්ග පද්ධතිය ඉදිකිරීමට බි්‍රතාන්‍යයන්ට සිදුවිය.

19 වන සියවසේ ඉදිකරන ලද මහා මාර්ග සහ දුම්රිය මාර්ග වලින් රාශියක්ම වතු වගාව කේන්ද්‍රකරගත් ඒවාය. 1820 කොළඹ නුවර පාර ඉදිකරන ලද අතර එය ලංකාවේ පළමු නූතන අධිවේගී මාර්ගය ලෙස සැලකේ. පසුව එය මධ්‍යම කඳුකරය දක්වා ව්‍යාප්ත කරන ලදී. ඒ තේ කෝපි සහ රබර් වගාවන් ඉලක්ක කර ගනිමිනි. රබර් වගාව විශේෂ කොට ගනිමින් කොළඹ රත්නපුර මාර්ගය ඉදි කරන ලදී. කැලණිවැලි දුම්රිය මාර්ගය ද 1900 දී ඉදිකරන ලදී පොල් වගාව ඉලක්ක කරගනිමින් කොළඹ සිට පුත්තලම දෙසටත් කොළඹ සිට මාතර දෙසටත් සහ කුරුණෑගල දෙසටත් මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදි කරන ලදී. ඉන්දීය වතු කම්කරුවන් ප්‍රවාහනය සඳහා තලෛමන්නාරම දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කරන ලදී. මේ සියල්ලෙහි පදනම වූයේ වතු වගාව ය. මේ සියල්ල ලංකාවේ ධනේෂ්වර ක්‍රමය ස්ථාපිත කිරීමට හේතු විය.

ධනේශ්වර ක්‍රමය යනු කුඩා භූමියකට සීමාවන දේශපාලන ආර්ථික රටාවක් නොවේ. ධනේශ්වර ක්‍රමය සඳහා ඉතා විශාල වෙළඳ පොළක් අවශ්‍ය වන අතර විසිරී ඇති වෙළඳපල ඒකාබද්ධ කිරීමට සිදුවේ. එමෙන්ම විසිරී ඇති රාජ්‍යයන් පරිපාලනයන්ද ඒකාබද්ධ කිරීමට සිදුවේ. ලංකාව පුරා පැතිර යන මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතිය මගින් යම් ආකාරයකට මේ ඒකාබද්ධතාවය ඇති කරන ලදී. මධ්‍යගත වෙළඳපළක් මෙන්ම  මධ්‍යගත පරිපාලනයක් සහිත දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීමටද මෙය උපකාරී විය. මීට පෙර යුදමය සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් ද මහා මාර්ග ඉදි කිරීමට යුරෝපීයයන්ට සිදුවිය. කොළඹ සහ ත්‍රිකුණාමලය වරාය යා කරමින් ඉදි කරන ලද මාර්ගය එවැන්නකි.

මේ ආකාරයෙන් ලංකාවේ ධනවාදී සංවර්ධනය සිදුවන්නේ එය යටත්විජිතයක් වශයෙන් පවතිද්දී ම ය. එනිසාම එය ලාංකීය අවශ්‍යතාවය වෙනුවෙන් සකස් වූ එකකට වඩා ලංකාව යටත් කරගෙන සිටි බි්‍රතාන්‍යයන්ගේ උවමනාව වෙනුවෙන් සකස් වූ එකක් විය. එනිසා ලංකාව තුළ ධනවාදය හොඳින්ම ස්ථාපනය වූයේ නැත. පැරණි ආසියාතික සමාජ ක්‍රමයේ වූ බොහෝ පසුගාමී ලක්ෂණ තවදුරටත් ඉතිරිව පැවතීමට එය හේතුවක් විය. එමෙන්ම ලංකාව තුළ ඇති වූයේ වතු වගාව කේන්ද්‍ර කර ගත් ධනවාදයක් මිස කාර්මික ධනවාදයක් නොවේ. ලංකාව තුළ බිහි වූ ධනේශ්වර ක්‍රමය එයින් ලද ලාභය සිය මවු රටවලට රැගෙන යන ලදී. එබැවින් ලංකාව තුළ ධනේශ්වර සංවර්ධනයට බාධා ඇති විය. මේ සියලු හේතු මත ලංකාව තුළ ඇති වූ ධනවාදය පසුගාමී අව වර්ධිත ධනවාදයක් විය. එනිසා යුරෝපයේ ධනවාදය විසින් විසඳන ලද ප්‍රශ්න විසඳීමට ලාංකීය ධනවාදය සමත් වූයේ නැත.

බි්‍රතාන්‍යයන් ලංකාවේ බිහිකළේ තේ, පොල්, රබර්, කුරුඳු, මිනිරන් ආදී ප්‍රාථමික භාණ්ඩ නිපදවන ආර්ථිකයකි. ලංකාවට අවශ්‍ය කාර්මික භාණ්ඩ සෑම විටම මේ වන විටත් කාර්මික ධනවාදය දියුණුව තිබෙන අධිරාජ්‍යවාදී රටවලින් ලබා ගැනීමට සිදුවිය. සාපේක්ෂ වාසි න්‍යාය නම් වූ න්‍යාය මගින් ඒ ඒ රටවල් තුළ තමන්ට විශේෂ වාසි ඇති භාණ්ඩ නිපදවීම මගින් වාසි ලබාගත හැකි බව පැවසුවද යථාර්ථයේදී කිසිවිටෙක එය සිදු වූයේ නැත. ප්‍රාථමික භාණ්ඩ නිපදවන රටවල් වල භාණ්ඩ සඳහා මිල නියම කිරීමේ හැකියාව එම රටවලට නොතිබූ අතර ඒවා දියුණු ධනපති රටවල් විසින් නියම කරන ලදී. එමෙන්ම දියුණු ධනපති රටවල කාර්මික භාණ්ඩ සඳහා මිලක් නියම කරන ලද්දේ ද ඔවුන් විසින් ම ය. සෑම විටම මෙම ලෝක රටාව ක්‍රියාත්මක වෙමින් පවතී. එබැවින් ලංකාව වැනි අවවර්ධිත, පසුගාමී, ධනේශ්වරයක් සහිත යටත්විජිත රාජ්‍යයන් ලෝක ආර්ථික රටාව තුළ අසාධාරණයට ලක්වෙමින් පවතී.

අධිරාජ්‍යවාදීන් විසින් මෙරටෙහි ගොඩනැංවූ ධනේශ්වර ආර්ථිකය, යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ පරිපාලන ව්‍යූහය ආදිය යම් යම් අය විසින් ඇගයීමකට ලක් කළ ද ඔවුන් යම් ගැලවිය නොහැකි උගුලක ලාංකීය ආර්ථිකය සිරකර ඇති බව ද පිළිගත යුතුය.

1948 ශ්‍රී ලංකාව තම දේශපාලන නිදහස අත්පත් කරගනු ලැබුවද තවදුරටත් එයට ආර්ථික නිදහස අත්පත් කරගත නොහැකි වූයේ මෙම ආර්ථික රටාව තවදුරටත් ක්‍රියාත්මක වූ නිසා ය. අධිරාජ්‍යවාදීන් විසින් සිදු කරනු ලබන මෙම ආර්ථික යටත්විජිතකරණය නව යටත් විජිතකරණය නම් වේ. ඒ අනුව ලංකාව හැඳින්විය හැක්කේ යටත් විජිත භාවයෙන් මිදුණු නමුදු නව යටත් විජිත රාජ්‍යයක් වශයෙනි. 1956 දක්වාම එය නිදහස් වෙළඳපළ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරමින් සිටියේය. 48 නිදහසෙන් පසු ලංකාවේ ධනවාදී ආර්ථිකය වේගයෙන් අර්බුදයට යන්නට විය. 1953 ඇතිවූ ජනතා නැගිටීම ලාංකීය සමාජ ආර්ථික ක්‍රමයේ පූර්ණ පෙරළියත් දක්වා යාමට ආසන්න තත්වයක් ඇතිකරන ලදී. නමුත් ඒ සඳහා එකල වමේ දේශපාලන සූදානමක් නොවූ හෙයින් නැවත පැවැති ආර්ථික ක්‍රමය ම ස්ථාපිත විය.

1956 ලංකාවේ ආර්ථිකය  රාජ්‍ය ධනවාදය කරා ගමන් කළේය. එයට හේතු කිහිපයක් බලපෑවේය. ලංකාව තුළ ශක්තිමත් ධනේශ්වර ක්‍රමයක් ගොඩනැගී නොතිබුණු නිසා එය රාජ්‍ය ආරක්ෂාව සහ අනුග්‍රහය යටතේ ගොඩනැගීම අවශ්‍යව තිබුණි. එමෙන්ම 1953 ජනතා නැගිටීම ඇතුළු ලංකාවේ දේශපාලන තත්වය ද මෙයට බලපෑවේ ය. ඒ වන විට ලෝකයේ ශක්තිමත් සමාජවාදී රාජ්‍ය පද්ධතියක් ගොඩනැගී තිබූ නිසා වතු ඇතුළු පෞද්ගලික සමාගම් ජනසතු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට එවක රජයට පහසු විය. 1956 සිට 65 අතර කාලය තුළ ලංකාවේ ආර්ථිකයට කාර්මික පදනමක් ඇති කිරීමට හැකි විය.  ඒ  සඳහා සෝවියට් දේශය ඇතුළු සමාජවාදී රටවල් මගින් ආධාර උපකාර ලැබුණි. වතු, රක්ෂණ, තෙල්, ගෑස් ආදී පෞද්ගලික සමාගම් ජනසතුකරණය කරන ලදී.

මෙය සමාජවාදී ක්‍රමයක් වශයෙන් හැඳින්වීමට බොහෝ අය උත්සුක වුවද මෙය හැඳින්විය යුත්තේ රාජ්‍ය ධනවාදය වශයෙන් මිස අන් අයුරකින් නොවේ. කෙසේ වෙතත් 1960 මැද භාගය වන විට පැවති රාජ්‍ය ධනවාදී ක්‍රමය මන්දගාමී වෙමින් පැවතුණි. එවකට පැවති රජය ක්‍රමයෙන් තම රාජ්‍ය ධනවාදී ප්‍රතිපත්තියෙන් ඉවත හැරෙමින් තිබුණි.  විවෘත ආර්ථිකය දෙසට හැරීම පිළිබඳ සමහර සංඥා නිකුත් වෙමින් තිබුණි.1975 වන විට නිදහස් වෙළද කලාප සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණි. නමුත් මේ වන විට ආර්ථිකය සහ පැවති රජය සම්පූර්ණ අර්බුදයක ගිලී තිබුණි.

ඉහත අර්බුදය පසුබිම් කරගනිමින් ඇති වූ සමාජ ආර්ථික ව්‍යාකූලත්වය ප්‍රයෝජනයට ගනිමින් 1977 ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය අති විශාල බලයක් සහිතව බලයට පැමිණි අතර 1956- 77 කාලය තුළ බලපැවැත්වූ  රාජ්‍ය ධනවාදී අර්ථ ක්‍රමය සහමුලින්ම ඉවත දමා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය , නැතිනම් නිදහස් වෙළඳපළ ආර්ථික ප්‍රතිපත්තිය, එසේත් නැතිනම් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වෙත පූර්ණ ප්‍රවේශයක් ගන්නා ලදී.

බ්‍රිතාන්‍යයන් ලංකාවේ ධනවාදය ස්ථාපිත කිරීමෙන් පසු අද දක්වාම අපි ගමන් කරමින් සිටින්නේ එම ධනවාදය තුළයි. එම ධනවාදය අවවර්ධිත මෙන්ම පසුගාමී එකක් වේ. ආරම්භයේ දී සෘජු යටත් විජිතයක්ව පැවත දැන් නව යටත් විජිතයක්ව පැවතීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.

නිදහස් වෙළඳපළ ධනවාදය යටතේ ද, රාජ්‍ය ධනවාදය යටතේ ද අපි ගමන් කොට ඇත්තෙමු. යුරෝපයේ මෙන් සුබසාධන ධනවාදී රාජ්‍යයක් ගොඩනගා ගැනීම අපේ රටේ බොහෝ දෙනා ගේ සිහිනයක් ව ඇත. පවතින ලෝක සන්දර්භය තුළ කේන්ද්‍රිය ධනපති රටවල් අත්කරගෙන ඇති එම තත්වය අත්පත් කර ගැනීමට කිසිසේත්ම අප වැනි රටවලට ඉඩකඩ ලැබෙන්නේ නැත. ඒ සඳහා නිසැකවම මෙම සංදර්භයෙන් කැඩී වෙන් වී යා යුතුය. නව යටත් විජිත භාවයෙන්, අධිරාජ්‍යවාදයෙන්  නිදහස් විය යුතුය. එය කළ හැක්කේ දේශපාලන හා ආර්ථික නිදහස යන දෙකම ලබාගත හැකි නව නිදහස් අරගලයක් තුළිනි.

ලාංකේය ධනවාදයේ වර්ධනයේ ගමන් මග