ලංකාව මූල්‍ය අරමුදලෙන් ගොඩයයිද? වැනසෙයිද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

රටවල් දෙකක අත්දැකීම්

ශ්‍රී ලංකාව නිල වශයෙන් දැන් බංකොලොත් වූ රාජ්‍යයකි. විදෙස් සංචිත අර්බුදය හා ණය අර්බුදයේ ගිලී යාම මීට හේතුවයි.

දෙස් විදෙස් බොහෝ ආර්ථික විද්‍යාඥයින්, අපේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම බොහෝ දේශපාලන පක්ෂ පාහේ විකල්පය ලෙස දක්වන්නේ අපි රටක් ලෙස ආර්ථිකව හිස එසවීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතිය යුතු බවයි. මේ වන විට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු වගකිවයුත්තන් මූල්‍ය අරමුදල සමඟ මූලික මට්ටමේ සාකච්ඡා අවසන් කොට ඇති අතර තවරදුටත් මූල්‍ය අරමුදලේ මැදිහත්වීමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් වර්ග කිහිපයකි. යම් රටක් සඳහා ක්‍රියාත්මක කරනු ලබන ණය වැඩසටහන තීරණය වන්නේ අදාළ රටේ ආර්ථික හැකියාව, ආර්ථිකයේ තත්වය සහ ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදයේ ස්වාභාවය අනුවය. සංවර්ධන බැංකු මෙන් ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර සැපයීම මූල්‍ය අරමුදල මඟින් සිදු නොවේ.

මූල්‍ය අරමුදලේ සාමාජික රටක ආර්ථික අර්බුදයකදී එම සාමාජික රටේ ඉල්ලීම මත මූල්‍ය අරමුදලේ කාර්්‍යමණ්ඩල කණ්ඩායමක් අදාළ රටේ රජය සමඟ සාකච්ඡා අරඹයි. මෙහිදී එම රටේ ආර්ථික හා මූල්‍ය තත්වය පිළිබඳව මෙන්ම එකී රටේ අර්බුදය පියවීම සඳහා වන සමස්ත මූල්‍ය අවශ්‍යතාවයද, එම රට ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයන් දැක්වීමේ ස්වභාවය පිළිබඳවද පුළුල් විමර්ශනයක් සිදු කෙරේ. රටේ ණය පිළිබඳ පූර්ණ සමාලෝචනයක් සිදුකෙරෙන්නේද මෙහිදීය.

ඉන්පසු මූල්‍ය අරමුදලෙන් එම රටට ණය පහසුකම් ලබාදීමට පෙර එකී රටේ රජය සහ මූල්‍ය අරමුදල අතර ආර්ථික ප්‍රතිපත්ති වැඩසටහනකට එකඟ වීම සිදු වේ. එනම් ණය වැඩසටහනත් සමඟම ක්‍රියාත්මක කළ යුතු ආර්ථික ප්‍රතිපත්තිමය කොන්දේසි මාලාවක් සඳහා එකඟතාවයකට පැමිණීමක් සිදුවේ. මෙම ආර්ථික ප්‍රතිපත්ති කොන්දේසි මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා එකී සාමාජික රට එකඟවීම මූල්‍ය අරමුදලේ ණය ව්‍යාපෘතියේ ඉදිරි ගමන තීරණය කරයි. මෙම එකඟතාවය මූල්‍ය අරමුදලේ විධායක සභාව වෙත දැනුම් දෙන අතර දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම වශයෙන් ප්‍රකාශයට පත්වන්නේද මෙයයි.

ණය වැඩසටහන ආරම්භ වූ පසු මෙසේ එකඟ වූ ආර්ථික කොන්දේසි ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය මූල්‍ය අරමුදල මඟින් කාලරාමුවකට අනුව සමාලෝචනය කරනු ලබයි. ණය ව්‍යාපෘති ඉල්ලා සිටින රට විසින් මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන තරමේ ආර්ථික ප්‍රතිපත්ති තමන් විසින්ම සැලසුම් කර ඇත්නම් හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වගවෙන වටපිටාවකදී මූල්‍ය අරමුදල විසින් අවම කොන්දේසි පැනවීම හෝ කොන්දේසි පැනවීමකින් තොරවම ණය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අවස්ථාද ඇත.

මෙලෙස රටවල් ගණනාවකට මූල්‍ය අරමුදල විසින් විවිධ වකවානුවල විවිධ ප්‍රමාණයන්ගේ ණය ව්‍යාපෘති සපයා තිබේ. ඒ අතුරින් වඩාත් කතාබහට ලක්වූ රටවල් දෙකකි, ග්‍රීසිය සහ ආර්ජන්ටිනාව.

ග්‍රීසිය

2008 වසරේ දී සිදුවූ ගෝලීය මූල්‍ය අර්බුදයේ එක් දිගුවක් ලෙස ග්‍රීසිය ණය අර්බුදයක පැටලී ආර්ථික අර්බුදයක් දක්වා ගමන් කළේ 2010 වසරේදීය. එවක ග්‍රීක රජය, රජයේ සේවකයින්ගේ වැටුප්, දීමනා මෙන්ම විශ්‍රාම වැටුප් කපා දමමින්, විවිධ බදු වැඩිකරමින් ඉන්ධන මිල වැඩිකරමින් මේ අර්බුදය ‘කළමනාකරණය’ කරගැනීමට ජනතාව මත බර පැටවීය. එහෙත් අර්බුදය විසඳුනේ නැත. මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සඳහා ඉල්ලීම් කරනු ලැබුයේ මෙලෙස ජනතාව මත විශාල ආර්ථික පීඩනයක් මුදාහැර තිබූ පසුබිමකය.

2010 මැයි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ අර්බුදයට මැදිහත්ව ඇ.ඩො.බිලියන 150ක පමණ ණය වැඩසටහනක් යුරෝපා සංගමය හා එක්ව ක්‍රියාත්මක කරන ලදී. මේ මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනත් සමඟම එහි කොටසක් ලෙස ආර්ථික කොන්දේසි මාලාවක්ද ක්‍රියාත්මක කිරීමට ග්‍රීසියට සිදුවිය.

රජය සතු සමාගම් 6000න් 4000ක් පුද්ගලීකරණය කිරීම, පළාත් පාලන ආයතන 1000 සිට 400 දක්වා අඩු කිරීම, රජයේ සේවක වැටුප් තවදුරටත් කපාදැමීම, සේවක දීමනා කපාදැමීම, බදු නැවත වැඩිකිරීම, නැවත විශ්‍රාම වැටුප් කපාදැමීම, විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම ආදී යෝජනා රැසක් මූල්‍ය අරමුදලෙන් ලැබුන කොන්දේසි අතර විය. ඒවා විවිධ අණපනත් මඟින් ක්‍රියාවට නැගුණේ සමස්ත මහා වැඩ වර්ජන, ලක්ෂ ගණන් ජනයා වීදිබැස කරන විරෝධතා ආදිය නොතකමිනි. මුල් වටයේදී විරෝධතාකරුවන් තිදෙනෙකු මිය ගිය අතර සියගණනක් අත්අඩංගුවට පත්වූහ. ජනතාවට කබලෙන් ලිපට වැටීමට සිදුවිය.

2010 සිට 2012 කාලය තුළ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර දෙවතාවක් සහ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු තවත් තුන් වතාවක් ලෙස පස්වතාවක් සහන කපා දමමින් ආර්ථිකය “ඔසවා ගැනීමට” ග්‍රීක පාර්ලිමේන්තුව කටයුතු කළේය. ඒවා සාමාන්‍ය ජනයා මත හෙළුෑ දැවැන්ත ආර්ථික පීඩනයන්ය. 2011 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ආ සහන කපා දැමීමේ පැකේජයෙන් 30%ක සේවක වැටුප් කප්පාදුවක් 20% සිට 40%ක විශ්‍රාම වැටුප් කප්පාදුවක් සහ තීරණාත්මක අධ්‍යාපන වියදම් කප්පාදුවක්ද සිදුවිය. මෙම අධ්‍යාපන වියදම් කප්පාදුව හේතුවෙන් සමහර පාසල් වසා දැමීම සිදුවූ අතර ඇතැම් පාසල් කිහිපයක් එකතු කර එක් ආයතනයක් බවට පත්කිරීමට සිදුවිය. තවරටත් බදු වැඩි කිරීම් රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම් ආදිය සිදුකෙරුණේ කොන්දේසිවලට අනුව රාජ්‍ය වියදම් අඩුකරගැනීමේ වුවමනාවෙනි.

2012 වන විට ග්‍රීක ආර්ථිකය තව තවත් නරක අතට හැරුණා මිස යථා තත්වයට පත්වූයේ නැත. වෙනත් විකල්ප නොවූ හෙයින් දෙවන ණය වැඩසටහන වෙත යාමට ග්‍රීක රජයට සිදුවිය. මූල්‍ය අරමුදල ප්‍රමුඛ කණ්ඩායම ග්‍රීසිය මත පැටවූ ආර්ථික ප්‍රතිසංස්කරණයන් ග්‍රීක ආර්ථිකය තවදුරටත් වළපල්ලට යැවූ බවට චෝදනා එල්ල වූ අතර මූල්‍ය අරමුදල විසින්ම මේ සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකෙරුණි. මෙම වාර්තාව 2013 ජූනි මසදී එළිදැක්වූ අතර එතුළින් වක්‍රාකාරයෙන් මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙන්නේ ණය වැඩසටහන තුළින් සිදුවේ යැයි පුරෝකතනය කළ වෙනසට එහා ගිය බිඳවැටීමක් ආර්ථිකයේ සිදුවූ බවයි. ණය වැඩසටහන සමඟ 5%ක පමණ ග්‍රීක ආර්ථිකයේ හැකිළීමක් අපේක්ෂා කළත් 2012 වන විට එය 17%කින් පමණ ඇදවැටුණි. එමෙන්ම රැකියා විරහිතභාවය 15%කින් වැඩිවෙනු ඇතැයි පුරෝකතනය කළත් රැකියා විරහිතභාවය 25% දක්වා වැඩිවිය. ග්‍රීක බැංකු තැන්පතුවල 30%ක අනපේක්ෂිත හීන වීමක් වාර්තා කළේය.

2015 වන විට මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ නැවත ගෙවීමේ වාරිකයවත් ගෙවා ගැනීමට නොහැකි තත්වයට ග්‍රීසිය බංකොලොත් වූ අතර නැවත නැවත මූල්‍ය අරමුදලේම පිහිට පැතීමට සිදුවිය. 2010 සිට 2017 වන විට සහන කැපීමේ පැකේජ 14ක් අනුමත කිරීමට ග්‍රීක පාර්ලිමේන්තුව කටයුතු කළ අතර මෙමඟින් ජන ජීවිතයට සිදුවූ බලපෑම කෙතෙක්දැයි සිතා ගැනීම පාඨකයන්ටම භාරකරමු.

2013 නිකුත් කළ විමර්ශන වාර්තාවෙන් ගම්‍ය වන්නේ මූල්‍ය අරමුදල ණය වැඩසටහන සැලසුම් කළේ ග්‍රීක ආර්ථික අර්බුදය යුරෝපා කලාපයටත් ගෝලීය ආර්ථිකයටත් ගැලීම නැවැත්වීම සඳහා බවය. එනම් ප්‍රමුඛතාවය වී තිබෙන්නේ ග්‍රීසිය ගොඩදැමීමටත් වඩා යුරෝපා කලාපය හා ගෝලීය මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරගැනීමය.

2018 වන විට මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් තුනක් ග්‍රීසිය ලබාගෙන තිබූ අතර ජාත්‍යන්තර වෙළඳපොළෙන් ග්‍රීසියේ අභිමතය පරිදි ණය ලබාගැනීමට “නිදහස”  ලැබුණේ මූල්‍ය අරමුදලේ සහය පැතීමෙන් වසර 08කට පසු 2018 දීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟපෙන්වීම යටතේ ආර්ථිකය ගෙනගිය වසර 08 තුළ  මූල්‍ය අර්බුදය ආරම්භ වූ අවස්ථාවට වඩා ආර්ථිකය 25%කින් හැකිළී තිබේ. තවත් දශක ගණනාවක් යනතුරු මූල්‍ය අරමුදලේ ණය වාරික ගෙවීමට ග්‍රීක ජනතාවට සිදුවනු ඇත. ජනජීවිතය යථා තත්වයට පත්වීමට කෙතරම් කාලයක් ගතවේද?

ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාවේ ආර්ථිකය කඩාවැටීම් විටින් විට සිදුව තිබේ. නමුත් 2018 දී සිදුවූ කඩාවැටීමත් සමඟ එවක ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට තීරණය කරන ලදී. මූල්‍ය අරමුදල එතෙක් රටකට ලබාදී ඇති විශාලතම ණය වැඩසටහන වන ඇ.ඩො.බිලියන 57ක ණය වැඩසටහන ආර්ජන්ටිනාව වෙනුවෙන් අනුමත කරන ලද අතර සුපුරුදු පරිදි ආර්ථිකයේ ලිබරල්කරණය ඉලක්ක කරගනිමින් ආර්ථික කොන්දේසි මාලාවක් ආජන්ටිනාව වෙත ඉදිරිපත් කරන ලදී.

වෙළඳපොළ ස්ථායීතාව ඇතිකරලීම සඳහා 2018-2020 කාලය තුළ අයවැය පරතරය 4.4 දක්වා ගෙන එන ලෙස මූල්‍ය අරමුදල කොන්දේසි දැමීය. නමුත් එය සිදු වූයේ නැත. මූල්‍ය අරමුදල තම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මඟින් 2018 වසරේදී 0.4%ක හා 2019 දී 1.5%ක ධන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළත් සිදුවූයේ ආර්ථිකයේ පසු බැසීමකි. ඒ 2018දී -2.6% ක් සහ 2019 වසරේදී -2%ක් වශයෙනි. දිළිඳුකම 50%කින් ඉහළ ගියේය. රැකියා විරහිතභාවය නරකම අතට හැරුණි. කොවිඞ් වසංගතයත් සමඟ තත්වය තවත් බැරෑරුම් වෙමින් 2020දී ආර්ථිකය 9.9%කින් කඩාවැටුණි. 2021 දී 50%කට අධික උද්ධමනයත් 40%කට අධික දිළිඳුභාවයටත් 10%කට වැඩි ජනගහනයක් අන්ත අසරණභාවයටත් ඇදවැටී තිබේ.

මූල්‍ය අරමුදලේ ණය වාරිකය ගෙවා ගනු බැරිව නැවත මූල්‍ය අරමුදල හා එකඟතාවයකට එමින් දැඩි කොන්දේසි සහිත ණය වැඩසටහනකට යාමට ආර්ජන්ටිනාවට සිදුවිය. ආර්ජන්ටිනාව යනු විශාලත්වය අතින් ලෝකයේ 08වැනි රට මෙන්ම ආර්ථික අතින් ලොව ඉහළම රටවල් 10 අතර සිටි රටකි. එමෙන්ම අපේ රටේ මෙන් නොව ආනයනවලට සාපේක්ෂව අපනයන ආදායමක් සහිත එනම් ධන වෙළඳ ශේෂයක් හිමි රටකි. එහෙත් ආර්ථික ස්ථායීතාව උදෙසා 21 වතාවක් මූල්‍ය අරමුදලෙන් විවිධ මට්ටමෙන් සහය පැතූ රටකි.

ණය කොන්දේසි

ණය වැඩසටහන් සමඟ රටවල් සඳහා මූල්‍ය අරමුදලෙන් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් වේ. ඒ කොන්දේසි අතර,

  • පාවෙන විනිමය අනුපාතිකයක් ඇතිකිරීම
  • රජයේ ආදායම් -වියදම් සමබරව පවත්වා ගැනීම. මේ සඳහා බදු වැඩිකිරීම හෝ විවිධ බදු   වැඩසටහන් හඳුන්වාදීම මඟින් රජයේ ආදායම් ඉහළ දමාගැනීම
  • රජයේ වියදම් අඩුකිරීම සඳහා අධ්‍යාපන, සෞඛ්‍ය සඳහා රජය වියදම් කරන ප්‍රතිපාදන කප්පාදුව, සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම, රාජ්‍ය සේවයට බඳවාගැනීම් සීමාකිරීම, රජයේ සේවකයින් ප්‍රමාණය අඩුකිරීම, සේවක වේතන සහ දීමනා මෙන්ම විශ්‍රාම වැටුප් කපාහැරීම, පාඩු ලබන රාජ්‍ය සමාගම් පෞද්ගලීකරණය, රජය විසින් පවත්වාගෙන යනු ලබන විවිධ අංශයන් හෝ ආයතන සීමාකිරීම, බලශක්තිය ඉන්ධන ජලය ආදිය සඳහා වියදම් ගැලපුම් මඟින් පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම
  • රජය මඟින් ආර්ථිකය පාලනය කිරීම ලිහිල් කරමින් වෙළඳපොළ බලවේග මඟින් නියාමනය වන නිදහස් ආර්ථිකයක් ඇතිකිරීම ආදිය ඇතුළත් මූල්‍ය ප්‍රතිපත්ති, ෆිස්කල් ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුලත් වේ.

අප ඉහතින් උදාහරණ ලෙස ගෙනහැර දැක්වූ රටවල් ද්විත්වයටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් සෙතක් වූ බවක් පෙනෙන්නට නැති අතර ණය ව්‍යාපෘති සහ කොන්දේසිවල බලපෑමෙන් ආර්ථිකයේ කඩාවැටීමක් සිදුව තිබේ. මේ පිළිබඳව ලෝකයේ ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් විශාල පිරිසක් විවිධ අදහස් දක්වා ඇත. ඒ නිසාම මූල්‍ය අරමුදලටම මෙම රටවල් ද්විත්වයෙහි සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට අභ්‍යන්තර පරීක්ෂණ කිරීමට සිදුවූ අතර ඒ පරීක්ෂණ වාර්තා මූල්‍ය අරමුදලේ වෙබ් පිටුවෙහි පළකොට තිබේ.

මූල්‍ය අරමුදලේ බිහිවීම, පාලන සංයුතිය සහ ක්‍රියාමාර්ග ආදිය විමසීමෙන් මූල්‍ය අරමුදල පෙනී සිටින්නේ මේ ධනේශ්වර ආර්ථික ක්‍රමවේදය තුළ සිදු වන කඩාවැටීම් සමනය කිරීම සහ ඊටත් වඩා එම කඩාවැටීම් සමස්ත ගෝලීය මූල්‍ය ක්‍රියාවලියට ගලායෑමෙන් ධනේශ්වර ආර්ථික ක්‍රියාවලිය කඩාවැටීම බේරාගැනීම බව පැහැදිලිය.

මේ වකවානුවේ ධනේශ්වර ක්‍රමයේ මොඩලය වන්නේ නිදහස් ආර්ථික ක්‍රියාවලිය නොහොත් නවලිබරල් ආර්ථික මොඩලයයි. යම් රටක රජය ආර්ථිකයේ නියාමනය සඳහා මැදිහත්වීම අවම කොට වෙළෙඳපොළ බලවේගයන්ට ආර්ථිකය හැසිරවීමට ඉඩ හැරීම නවලිබරල් මොඩලයේ ස්වාභාවයයි. ආර්ථික ව්‍යාකූලත්වයට පත්වන රටවල ආර්ථිකයන් නවලිබරල් මොඩලයේ උපරිම තැනකට තල්ලු කිරීම මූල්‍ය අරමුදලේ පරමාර්ථය බව පෙනේ. නමුත් නව ලිබරල්වාදී මොඩලය විශ්වාස කරන ඇතැම් ආර්ථික විද්‍යාඥයෝම මූල්‍ය අරමුදලේ මෙම කොන්දේසි ප්‍රශ්න කරති. පනවන කොන්දේසි මගින් ආර්ථිකය හැකිළීමකට ලක්කොට ආර්ථික වර්ධනය සඳහා යම් උත්තේජනයක් අපේක්ෂා කිරීම ඔවුන් විසින් න්‍යායායාත්මකවම ප්‍රශ්න කරනු ලබයි. එමෙන්ම 2018දී ආර්ජන්ටිනාවට ක්‍රියාත්මක කළ ණය වැඩසටහනේදී මූල්‍ය ප්‍රතිපත්ති නිසියාකාරව පුරෝකතනයට ලක් කිරීමට අපොහොසත්වීම නිසා ඇ.ඩො.බිලියන 44ක්ම ධනවතුන් විසින් ලාභදායී විනිමය තත්වයන් තුළ ආර්ජන්ටිනාවෙන් පිටතට ඇදීම නිසා එම ණය වැඩසටහන අසාර්ථක වූ බවට විවාදයක් තිබේ.

අසාර්ථකත්වයේ මූලය

බාහෝ රටවල් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා තිබේ. ඉහතින් දැක්වූ පරිදි ආජන්ටිනාව 21ක් වතාවකි. ශ්‍රී ලංකාව 16 වතාවක් මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත. වාර ගණනාවක් ප්‍රතිකාර ලබාගත්තත් අවසානයේ

රෝගියා අසාධ්‍ය වී තිබේ නම් මෙහි යම් දෝෂයක් තිබිය යුතුය. ප්‍රතිකාර සාර්ථක වී නැත්තේ රෝගියා ප්‍රතිකාර භාවිත කිරීමේ දෝෂයකින්ද නැතිනම් ප්‍රතිකාරවල දෝෂයකින්ද, වෛද්‍යවරයාගේ අසමත්භාවයකින්ද යන්න බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් නඟනු ලබන පැනයයි.

මූල්‍ය අරමුදල බොහෝවිට ඉදිරිපත් කරන්නේ රටවල් එකඟ වූ ආර්ථික කොන්දේසි ක්‍රියාවට නැගීමට අපොහොසත් වීම නිසා එම රටවල අපේක්ෂිත ආර්ථික යථා තත්වය ඇති නොවූ බවයි. එමෙන්ම ණය වැඩසටහන් අසාර්ථක වූ පසු බොහෝ ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ අඩු ලුහුඬුකම් මෙන්ම මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරීත්වයේ දෝෂයන්ය. එනම් ප්‍රතිකාර, වෛද්‍යවරයා සහ රෝගියා පිළිබඳව සාකච්ඡාවක් ගොඩනැගෙනවා පමණි. නමුත් ඇත්තටම ගැටලුව තිබෙන්නේ රෝගයේ නම්? රෝගය සුව කළ නොහැකි රෝගයක් වන්නේ නම්?

යාචකයෙකුට ඇති එකම විකල්පය අතපෑම පමණි. එලෙසම අද අපේ රට පත්ව ඇති ආර්ථික බංකොලොත්භාවයේදී ඉතිරිවී ඇති එකම මඟ මූල්‍ය අරමුදල වෙත යෑම පමණක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මූල්‍ය අරමුදලේ සහාය සඳහා යාමට පෙර අපේ රටට අපේම ආර්ථික සැලැස්මක් තිබෙන්නේ නම් සහ මූල්‍ය අරමුදල හා සාකච්ඡා සඳහා සහභාගි වන්නේ කොන්දේසි පිළිබඳ හොඳින් කේවල් කළ හැකි විකල්ප ආර්ථික විද්‍යාඥයින් නම් මූල්‍ය අරමුදලේ උගුලේ හසු නොවී රටේ ආර්ථිකය පණගන්වා ගැනීමට යම් සහනයක් සලසා ගැනීමට හැකි වනු ඇත. එහෙත් අපේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපේම වූ විකල්පයක් වත්මන් ආණ්ඩුවට තිබේද? එමෙන්ම මූල්‍ය අරමුදලේ උපදේශකයින් ලෙස කටයුතු කළ මූල්‍ය අරමුදලට සේවය කළ මූල්‍ය අරමුදල එකම විකල්පය ලෙස අදහන නිලධාරීන්, ආර්ථික විද්‍යාඥයින් මූල්‍ය අරමුදල සමඟ කෙසේ කේවල් කරනු ඇතිද? එසේම කොන්දේසි පැනවූ පසු ඒවා ක්‍රියාවට නඟන නවලිබරල්වාදය කරපින්නාගත් දේශපාලඥයින් කෙසේ ක්‍රියාකරනු ඇත්ද?

ලංකාව මූල්‍ය අරමුදලෙන් ගොඩයයිද? වැනසෙයිද?