ඉන්දියාව, IMF සහ මිත්‍යාව

SHARE

[සමස්ත ඉන්දීය විප්ලවවාදී ශිෂ්‍ය සම්මේලනය: AIRSF විසින් 1991 ජුලි මස ප්‍රකාශයට පත්කරන ලද්දකි]

හැඳින්වීම

1991 ජනවාරි මාසයේදී ඉන්දීය රජයට ඩොලර් බිලියන 1.8 ක (රුපියල් කෝටි 3275) පමණ ණයක් ලබා දුන් අතර ජූලි මාසය වන විට තවත් ඩොලර් බිලියන 5 සිට 7 දක්වා (රුපියල් කෝටි 9000 සිට රුපියල් කෝටි 12,000 දක්වා) ණයක් ඉල්ලා සිටියේය. මෙම ණයගැනීම, බරපතල කෙටි කාලීන සහ දිගු කාලීන බලපෑම් ඇති කරයි. ණය සම්බන්ධයෙන් පුළුල් පුවත් ප්‍රවාහයක් ඇතත්, ණය පිටුපස ඇති සැබෑ ප්‍රශ්න කරලියට නොපැමිණීම කැපී පෙනේ. සමස්ත ඉන්දීය විප්ලවීය ශිෂ්‍ය සම්මේලනය : AIRSF මෙම ණය සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් විග්‍රහ කරමින් අවශ්‍ය විවාදයකට මුල පිරීමට කැමැත්තෙමු.

ගෙවුම් ශේෂයේ ස්ථාවර පිරිහීම සහ 80 දශකයේ මැද භාගයේ සිට ආර්ථිකයේ ගැඹුරු වෙමින් පවතින අර්බුදය විසින් අවධානය සෑම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසට යොමු විය. ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශාල ණයක් ඉල්ලා සිටීම, කාලයක් තිස්සේ පැවති බිය සැබෑවක් බවට පත් කිරීමකි. 1981 දීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් කලින් ණය ඉල්ලා සිටි අවස්ථාවේ, ආර්ථික විද්‍යාඥයෙක් (වර්තමානයේ ප්‍රධාන ආර්ථික උපදේශකයා වන) සඳහන් කළේ, ”සරලවම, අපගේ පෙර ණය ගෙවීම සඳහා නැවත ණය ගැනීමට සිදුවේ…. අපගේ වර්තමාන ගෙවුම් ශේෂයේ ගැටලුව විසඳීම සඳහා ගෙන ඇති ණය විසින් අනාගතයේදී ගෙවීම් ශේෂයේ ගැටලු තීව්ර කළ හැකිය”. (Deepak Nayar, The IMF loan and its condition, in the IMF loan; (Facts and Issues, Government of West Bangal, 1981, p 67)          

මීට සමාන බිය නැවත නැවතත් අදාළ පුද්ගලයින් විසින් මතු කරන ලදී. 1989 මැයි මාසයේදී, නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජනපදයේ ඉහළම බැංකුවක් වන Manufactures Hanover නිරීක්ෂණය කළේ, “රටේ අඩු සංචිත මට්ටම තිබියදීත්, ඉදිරි මැතිවරණ හේතුවෙන් ඉන්දියාව මේ වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයක් ගැනීම අපේක්ෂා කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, 1990-91 කාලයේදී ජංගම ගිණුමේ ශේෂය තවදුරටත් දුර්වල වීම නිසා, යම් ආකාරයක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකමක් අවශ්‍ය වනු ඇත” (Indian Express, May 29< 1989). මෙම මතය තවත් සංවිධානයක් වන වොෂින්ටනයේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් සනාථ කරන ලදී. 1989 මාර්තු වන විටත් ඉන්දියානු ආර්ථිකය විශාල විදේශ ණයකට යා යුතු බව පැහැදිලි විය. එහෙත් 1989 මැතිවරණ වසරක් වූ බැවින් රජය කරුණු ඉදිරිපත් නොකර ජනතාව රැවටීමේ සුපුරුදු සෙල්ලම ම කළේය. ඒ වෙනුවට විදේශ ණය ගැන බොරු තොරතුරු ලබාදෙමින් ඉදිරියට ආවේය. අයවැයට පෙර ආර්ථීක සමීක්ෂණයේ දී ආණ්ඩුව මුළු විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 55,000 ලෙස පවසන ලදී. නමුත් එය ඇත්තටම රු. කෝටි 96,320 ක් විය. තවද ණය-සේවා අනුපාතයේ සත්‍ය අගය වූ 38% වෙනුවට 24% ක් ලෙස වැරදි ලෙස පෙන්වා ඇත.

1989 නොවැම්බර් මැතිවරණයෙන් නව රජයක් බලයට පත්වූ දා සිට, මුදල් අමාත්‍යාංශය මතභේදාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැන සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඉතා කාර්යබහුල විය. එහෙත් එක් අතකින් දේශපාලන අවිනිශ්චිතතාවය සහ අනෙක් පැත්තෙන් මැන්ඩල්-මන්දිර් ගැටුම් නිසා, ණය ගැනීමේ ඇති බරපතලකම පිළිබඳ වැදගත්කම නැති වී ගියේය. 1990 අගෝස්තු වන විට ගෙවුම් ශේෂ තත්වය ශීඝ්‍රයෙන් පහත වැටුණු අතර මින් පසුව ඇතිවිය හැකි තත්ත්වය ඉතා පැහැදිලි විය. Economic and Political Weekly එහි කතුවැකියෙන් අදහස් දැක්වූ පරිදි, ”ආණ්ඩුව නැවතත් යම් ආකාරයකින් සූදු කරුවෙකුගේ අවසාන තුරුම්පුව වෙත යොමු වීමට පෙළඹිය හැකිය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය පහසුකම් ලබාගැනීම සඳහා, එය බලාපොරොත්තු වන පරිදි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගුරුහරුකම් යටතේ එහි කොන්දේසි සහ ගැලපුම් වැඩසටහන පිළිගැනීම”. (EPW, August, 1990).

බටහිර ආසියාවේ සංවර්ධනය සහ තෙල් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ ගෙවුම් ශේෂ තත්ත්වය තව තවත් නරක අතට හැරුණු අතර, රජයට එය ණය ගැනීම කඩිනම් කිරීම සඳහා කඩතුරාවක් ලෙස භාවිත කළ හැකි විය. 1990 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ විදේශ මුදල් සංචිතය රු. කෝටි 1880 කින් පමණ අඩු විය. වසර අවසන් වන විට විදේශ විනිමය සංචිතය කෙතරම් පහතට වැටුනේද යත් එය දින 13ක ආනයන සඳහා මුදල් සැපයීමට යන්තම් ප්‍රමාණවත් නොවන විය. ඉන්දියාව බොහෝ දුරට බංකොලොත් වීමේ අබියසට පැමිණ සිටියේය.

ඒ වන විට බලයේ සිටි චන්ද්‍රසේකර්ගේ රජය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඉතා කඩිනමින් ඩොලර් මිලියන 1786 ක (රුපියල් කෝටි 3275) ණයක් ලබා ගත්තේය. මෙම ණය මුදල, ඉන්දියාවේ පළමු ණය වාරිකය යටතේ ඩොලර් මිලියන 777 ක් සහ වන්දි සහ හදිසි මූල්‍ය පහසුකම් යටතේ ඩොලර් මිලියන 1009 කින් සමන්විත විය. ඒ වන විටත් ගණන් බලා තිබුණේ ජුනි මාසය වනවිට ඉන්දියාවට ඩොලර් බිලියන 4ක 5ක අමතර ණයකට යාමට සිදුවනු ඇති බවයි. මැතිවරණයෙන් පසු නව රජය අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එවැනි ණයකට යනු ඇතැයි අනුමාන කළේය. නමුත් රජිව් ගාන්ධි ඝාතනය සහ නව ආණ්ඩුව පිහිටුවීම ප්‍රමාදවීමේ ප්‍රතිඵලයක් ලෙස, චන්ද්‍රසේකර්ගේ ආණ්ඩුව ණය ලබාගැනීම උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානින් සතුටු කිරීමේ යම් යම් පියවරයන් ආරම්භ කර ඇත.

පී වී නරසිංහ රාඕ යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු මුදල් අමාත්‍යාංශය විසින් ණය ලබාගැනීම උත්සාහයන් දරන අතර ආණ්ඩුව කෙතරම් නිර්ලජ්ජිත වූයේද යත් සියලු සාක්ෂි වලට පටහැනිව ප්‍රකාශ කළේ ණය ගැනීම ඉන්දියාව මූල්‍ය අර්බුදයෙන් ගලවා ගැනීමේ ප්‍රගතිශීලී පියවරක් බවය.

සියලුම පාර්ලිමේන්තු පක්ෂ, ඔවුන්ගේ ප්‍රකාශිත මතවාද කුමක් වුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් විශාල මුදලක් ණයට ගැනීමට අනුප්‍රාප්තික ආණ්ඩු දැරූ උත්සාහයන්ට සහාය දැක්වීය. විරුද්ධ පක්ෂවල බංකොලොත්කම මෙම ක්‍රියාවෙන් යලිත් ප්‍රකට විය. විවේචනයක් කරන විට පවා එය මෘදු හුදෙක් ආණ්ඩුව කටයුතු කළ ආකාරය ගැන අමනාපයක් පළකිරීම පමණක් මිස කරන ක්‍රියාව පිළිබඳ විවේචනයක් නොවීය. විශේෂයෙන්ම CPI (M)  මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන අවස්ථාවේ ඊට හඬ නඟා විරෝධය පළ කර සහ බටහිර බෙංගාල ආණ්ඩුව නාමයෙන් සම්මන්ත්‍රණ පවත්වා ජනතාව දැනුවත් කලත් දැන් නිහඬව බාධාවකින් තොරව කටයුතු කරගෙන යාමට ඉඩ දී සිටී.

ඒ ආකාරයෙන්ම, පුවත්පත්, විශේෂයෙන් ඉංග්‍රීසි පුවත්පත් පෙර අවස්ථාව මෙන් නොව මෙවර ණය සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් මතු නොකළේය. 1981 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධ අන්තරායන් පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ ගෞරවය හිමි විය යුතු පුවත්පත් මෙවර ණය ගැන ප්‍රශංසා ලිවීය. ණය ගැනීමට එරෙහිව ඉංග්‍රීසි පුවත්පත් වල එකදු කතුවැකියක් නොතිබීම, එකිනෙකාට විරුද්ධ බව පෙනෙන බලවේග අතර හවුල්කාරී ස්වභාවය හඟවන්නකි.

මෙම තත්ත්වය කුතුහලය දනවන කරුණක් වුයේ අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන, ඉන්දීය රජය, විරුද්ධ පක්ෂ සහ පුවත්පත්, ජනතාව රැවටීම සඳහා තම තමන්ගේ භූමිකාවන් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටීමය. නමුත් එවිට රැවටීමේ විශාලත්වය සහ එහි ප්‍රතිවිපාක නොසලකා හැරිය නොහැකි තරම් විශාල ය. මෙම විශාල කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සියලු තොරතුරු දැන ගැනීමට ඉන්දීය ජනතාවට අයිතියක් ඇත.

ඉන්දියානු මහජනතාවගේ දුෂ්කරතා පිළිබඳ සැලකිලිමත් වන ශිෂ්‍ය සංවිධානයක් වන AIRSF, කුමන්ත්‍රණයට එරෙහිව සටන් කිරීමට ජනතාවට හැකිවන පරිදි තොරතුරු මගින් ජනතාව සන්නද්ධ කිරීම එහි වගකීමක් ලෙස සලකයි. පහත දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහය සහ ස්වභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පෙර ණය පිළිබඳ අත්දැකීම්, වත්මන් ණය පිළිබඳ විස්තර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිර්දේශ මත රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉන්දියානු ආර්ථිකය අර්බුදයෙන් බේරා ගැනීමට විකල්ප යෝජනා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යනු 1944 දී ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රෙට් ඔන්වුඞ්ස් (Brett – Onwoods ) හි පැවති සම්මුතියකින් බිහි වූ මූල්‍ය සංවිධානයකි. රටවල් 44 ක් සහභාගී වූ මෙම සමුළුවේදී ”යුද්ධ ඇතිවීමට තුඩුදෙන ආර්ථික කාරණා මුලිනුපුටා දැමීම සඳහා” වූ සැලැස්මක් සකස් කළේය. බ්‍රෙටන්වුඞ්ස් සැලැස්ම කොටස් දෙකකින් සමන්විත විය:

(01) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීම සහ (ආ) ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව පිහිටවීම (IBRD, ලෝක බැංකුව ලෙසින් ප්‍රචලිත) ජාත්‍යත්තර මූල්‍ය අරමුදලෙහි හි ප්‍රකාශිත අරමුණු වන්නේ: ■ සාමාජික රටවල් අතර මූල්‍ය සහයෝගීතාව ඇති කිරීම,

■ විදේශ විනිමය අනුපාතවල ස්ථාවරත්වය සහතික කිරීම,

■ ජාත්‍යන්තර වෙළඳාමේ ගලායාම දිරිගැන්වීම සඳහා විනිමය පාලනය ඉවත් කිරීම,

■ පැරණි ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් වෙනුවට බහුපාර්ශ්වික වෙළඳ සහ ගෙවීම් පද්ධතියක්

ස්ථාපිත කිරීම

■ සියලු බාධක ඉවත් කිරීම මගින්, ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම

■ සමතුලිත ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට සාමාජික රටවලට උපකාර කිරීම,

■ ගෙවුම් ශේෂයේ අසමතුලිතතාවය ඉවත් කිරීම හෝ අඩු කිරීම සහ ධනවත් රටවලින් දුප්පත්

රටවලට ප්‍රාග්ධනය අපනයනය ප්‍රවර්ධනය කිරීමයි.

අරමුණු ලිබරල් ලෙස පෙනුනද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සැබෑ ස්වභාවය මෙම නොපැහැදිලි කොන්දේසි තුල මගින් සඟවා ඇත. “ව්‍යුහාත්මක ප්‍රතිසැකැස්ම (Structural readjustments) වැනි මධ්‍යස්ථ වැකියක් සෑම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එහි කොන්දේසි යටතේ භාවිතා කරයි .

Amiya Kumar Bagchi ප්‍රකාශ කරන ආකාරය අනුව” ව්‍යුහාත්මක ප්‍රතිසැකැස්ම සඳහා අවශ්‍යතා ලෙස එකට එකතු කර ඇති ප්‍රතිපත්ති ඊනියා සැපයුම්-පාර්ශ්වික ආර්ථිකයන් (Supply -side economies) සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති අතර දෙමුහුමක් ලෙස හඳුනාගත හැකි දෘෂ්ටිවාදයකින් ආභාෂය ලබා ඇති අතර එහිදී පළමුවැන්න ප්‍රමුඛ වී ඇත. (The Odilogy behind the Maximum conditionality Demanded by the IMF and its implications, in the IMF loan : “Facts and Issues” p82)

වෙනත් වචන වලින් කිවහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු තුන්වන ලෝකයේ ආර්ථිකයට ඇඟිලි ගසන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අතේ ඇති ආයුධයක් පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංවිධාන ව්‍යුහය ද අධිරාජ්‍යවාදීන්ගේ ආස්ථානය ශක්තිමත් කරයි. සුපිරි බලවතුන් හතක් වන, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය සහ කැනඩාව සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය භුක්ති විඳිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවා පාලනය කරන අතර, ව්‍යවස්ථාවට අනුව එක්සත් ජනපදය පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලුම ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් භුක්ති විඳින බව සඳහන් කළ යුතු කරුණකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හරහා අධිරාජ්‍යවාදීන් තුන්වැනි ලෝකයේ රටවල් සමඟ මෙහෙයුම් කරන ක්‍රම ගණනාවක් තිබේ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සාමාජිකයින්ට ඔවුන්ගේ මුදල් ඒකක වල හුවමාරුවට අනෙකුත් සාමාජිකයින්ගේ මුදල් ඒකක විකිණීමට හෝ SDR (Special Drawing Rights) ලබාගැනීමට පහසුකම ලබා දේ. මෙම හැසිරවීම මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සම්පූර්ණ සංචිතය වෙනස් නොවන අතර එහි සංයුතිය පමණක් වෙනස් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සම්පත් ස්ථිර ප්‍රතිපත්ති හරහා සාමාන්‍ය ගෙවීම් ශේෂය පියවීමට අදාල අරමුණු සඳහා ලබා ගත හැක (the tranche policies). නිශ්චිත අවශ්‍යතා සදහා ස්ථිර පහසුකම් (වන්දි සහ හදිසි මුල්‍ය පහසුකම්, ස්වාරක්ෂක තොග පහසුකම්, සහ විස්තීරණ මුල්‍ය පහසුකම්) සහ තාවකාලික පහසුකම් ලෙස (තෙල් පහසුකම්, පරිපූරක මුල්‍ය පහසුකම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පත් සඳහා වූ පුළුල් ප්‍රවේශය පිළිබඳ ප්‍රතිපත්තිය).

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දීමේ තාක්ෂණික කරුණුවලට වඩා වැදගත් වන්නේ ණය සඳහා අමුණා ඇති කොන්දේසි ය. සෑම ණය වර්ගයකටම අප්‍රකාශිත හෝ ප්‍රකාශිත කොන්දේසි ඇත. සංචිත කොටස් ලබාගැනීම reserve trenche  හැරුණු විට අනෙකුත් සියලු ණය ඉල්ලීම්, ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දක්වන ප්‍රතිපත්ති අනුගමනය කර එම රටෙහි ගෙවුම් ශේෂයේ දුෂ්කරතා මඟහරවා ගැනීමට අදාල රට පියවර ගැනීම සම්බන්ධව පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධ ව්‍යවස්ථාවන්හි ප්‍රතිපාදන වලට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන වලට අනුකූලද යන පරීක්ෂාවට විෂයය වෙයි.

තුන්වන ලෝකයේ රටවල් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය විසින් ඇති කරන ලද ප්‍රතිඵල ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව භගණගක්‍ය්බාර් ප්‍රකාශකරන ලද්දේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පැකේජය තුන්වන ලෝකයේ රටවල ව්‍යුහාත්මක ගෙවුම් ශේෂ හිඟය නිවැරදි කිරීමටම සැලසුම් කර නොමැත. මේවා බොහෝ දුරට ආර්ථික තාර්කිකත්වය තොර වන අත බොහෝ දුරට අර්බුදය උග්‍රකිරීමට හේතු වේ. ඊට අමතරව, මෙම කොන්දේසි කොතරම් දැඩිද යත් බොහෝ විට ණය ගැතියන් ඒවාට අනුගත වීමට අසමත් වීම සිදුවේ.

දෙවනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කොන්දේසි සම්බන්ධයෙන් පරිශුද්ධභාවයක් නැත. සමහර විටෙක එය සුළු අඩුපාඩුවක් අල්ලා ගත හැකි නමුත් සමහරවිටෙක ප්‍රධාන උල්ලංඝනය කිරීම් නොසලකා හැරීමට කටයුතු කරයි. මූලික අරමුණ වන්නේ ණය ගැණුම්කරු ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාජ්‍ය නිර්බාධ ප්‍රතිපත්තියට අනුගත වීමට බල කිරීමයි. තෙවනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අන්තර්ජාතික බැංකු නිශ්චිත වශයෙන් නොවුනත් බොහෝ අවස්ථා වලදී එකතු වී කටයුතු කරයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සටන් කිරීමය. අන්තර්ජාතික බැංකුවකින් ලබා ගන්නා විශාල ණයක් මත පදනම් වීම ඉතා අවදානම්ය. (IMF and the third World in the IMF loan: “Facts and Issues”, Government of West Bengali, 1981, p 94 – 95)

1979 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයක් ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ජනතා විරෝධී ප්‍රතිපත්ති ගණනාවක් අනුගමනය කිරීමට සිදු විය. ණය අනුමත කිරීමට පෙර ආර්ථිකය ලිබරල්කරනය දිශාවට වූ (liberalization) ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී තිබුණි :

■ ආනයන සහ මිල පාලනයන් ඉවත් කිරීම

■ බහුවිධ විනිමය අනුපාත අහෝසි කරන ලද අතර මුදල් ඒකකය 46% කින් අවප්‍රමාණය විය

■ 1978 දී ණය ලබා දීමෙන් පසු ආහාර සලාකයට දෙන සහනාධාර අහෝසි කිරීමට සිදු විය

■ විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සදහා අපනයන සැකසුම් කලාප ස්ථාපිත කිරීමට

සිදු විය.

ජැමෙයිකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වල ප්‍රතිවිපාක පිළිබඳ තවත් කනගාටුදායක උදාහරණයකි. 1978 ජනවාරි සහ 1979 මැයි අතර ජැමෙයිකාවේ මුදල් ඒකකය 1977 ට සාපේක්ෂව සියයට 49 දක්වා අවප්‍රමාණය විය. වක්‍ර බදු විශාල ප්‍රමාණයක් පනවනු ලැබූ අතර මිල පාලනය ඉවත් කර වැටුප් කප්පාදුවක් ආරම්භ කරන ලදී. ඉන්දියානු රජය, මේ සම්බන්දව අමිහිරි උදාහරණ තිබියදීත් 1981 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශාල ණයක් ගැනීමට උත්සාහ කළේය. වත්මන් ගැටලුවේ මූලයන්ට බොහෝ දුරට පෙර ණය වල කොන්දේසි හේතු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය – 1981

1981 නොවැම්බර් 9 වන දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හි විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉන්දියානු රජයට එහි බාහිර මූල්‍ය පහසුකම් යෝජනා ක්‍රමය යටතේ SDR බිලියන 5 ක (රුපියල් කෝටි 5000) ණයක් අනුමත කරන ලදී. ඉන්දියාවේ සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය රු. කෝටි 15,000 සිට රු. කෝටි 21,000 ක් දක්වා වැඩිවිය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඉතිහාසයේ විශාලතම ණය ගිවිසුම විය. වසර තුනක කාලයක් සඳහා මෙම ණය මුදල දීර්ඝ කර කළ අතර ඊට දැඩි කොන්දේසි කිහිපයක් ද ඇතුළත් කර තිබුණි.

ණය ලබාගැනීම ස්වභාවිකවම ප්‍රතිඵලයක් වුවද, ගිවිසුමට පෙර එම යෝජනාව සාකච්ඡාවට විවෘතව බඳුන් නොවීය. එපමණක් ද නොව පාර්ලිමේන්තුවට පවා එහි අන්තර්ගතය විවෘත නොවීය. මේ අතර අහඹු සිදුවීමක් නිසා මේ මාතෘකාව විවාදයට ආවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයෙකු විසින් පිටු 69 කින් යුත් රහස්‍ය ලේඛනයක් එවකට ද හින්දු පුවත්පතේ වොෂින්ටන් වාර්තාකරු වූ එන්. රාම් වෙත භාර දුන් අතර ඒ මත පදනම්ව එන්. රාම් පුවත්පතට වාර්තා නවයක් ගොනු කර තිබුණි. මෙම වාර්තා වහාම ඉන්දියානු ජනතාවගේ අවධානයට ලක් විය. ඒ වාර්තා අතර එවකට මුදල් අමාත්‍යවරයා වූ ආර්. වෙන්කට්‍රාමන් විසින් ලියන ලද ණය ලබා ගැනීමේ අභිප්‍රාය දන්වන ලිපිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් සහ තක්සේරු කිරීම් ලිපි ඇතුළත් විය. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ සහ ඉතාලියේ වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැමිණීමට පෙර ඔවුන්ගේ පාර්ලිමේන්තු සංසදවල සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. ඉන්දියාව මුළු ණය ගැනීමේ කාර්ය භාරය කලින් දැනුම් දීමකින් තොරව සිදු වූ අතර ගිවිසුමේ නිගමනය පමණක් ඔවුන්ගේ ජනතාවට කීවේය. ප්‍රමාද වුවත්, හින්දු පුවත්පත කළ එළිදරව්ව විවාදාත්මක තත්ත්වයක් ආරම්භ කළේය.

බටහිර බෙංගාල රජය විසින් ණය මුදල ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ඒ සඳහා කීර්තිමත් ආර්ථික විද්‍යාඥයින් වන අමියා කුමාර් ඊග්චි, එන්. කේ. චන්ද්‍ර, ප්‍රභාත් පට්නායික්, අමිත් භාදුරි, රංජිත් සවු, දීපක් නයාර් සහ අසීම් දාස් ගුප්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්බන්ධ ආදීනව ඉදිරපත් කරන ලදි.

ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සෑම විටම පැහැදිලිව ප්‍රකාශිතවම සඳහන් නොවේ. ණය සාකච්ඡා මාස ගණනාවක් පවතින විට, ණය ගන්නා රට ක්‍රමයෙන් තම ප්‍රතිපත්ති වෙනස් කිරීමට සලස්වනු ලැබේ. ප්‍රකාශිත සහ දැඩි කොන්දේසි පවා ආකර්ශනීය සහ නොපැහැදිලි පාරිභාෂිතය තුළ සැඟවී ඇත. ඒ නිසා අවසන් ණය ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ එහ ජනතා විරෝධී ස්වභාවය පෙන්වීම සඳහා වැඩි අවස්ථාවක් ලැබෙන්නේ නැත.

1981 ණය ලබා ගැනීම පිළිබඳව කීර්තිමත් විද්වතුන් විසින් තරයේ විවේචනයට එල්ල කර ඇත. අශෝක් මිත්‍ර මහතා විසින් ඉදිරිපත් කරන ලද සම්මන්ත්‍රණ පත්‍රිකාවේ සඳහන් වන පරිදි “මෑත කාලීන ආර්ථික තීරණ කිහිපයක් අතරින් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ නැංවීම, සෘජු බදු අනුපාතය අඩු කිරීම සහ වක්‍ර බදු බර වැඩි කිරීම, ඒකාධිකාරී සහ සීමාකාරී වෙළඳ පිළිවෙත් පනතේ විදේශ විනිමය නියාමන පනතේ සහ කාර්මික සංවර්ධන (සහ නියාමනය) පනතේ විධිවිධාන ලිහිල් කිරීම, ඇතැම් අංශවල වැඩවර්ජන ආදිය තහනම් කරමින් නීති පැනවීම, විස්තීරණ මුල්‍ය පහසුකම් විධිවිධාන අනුමත කිරීම සඳහා අරමුදල විසින් අවධාරනය කරන ලද පූර්ව කොන්දේසි විය හැක. ණය ලබා දීමට නියමිත කාලසීමාව තුළ අභ්‍යන්තර මුදල් සැපයුමේ ප්‍රමාණය, බදුකරණයේ ව්‍යුහය සහ අයවැය හිඟ ප්‍රමාණය ඇතුළු ඉන්දියාවේ මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ නවදිල්ලියේ නොව වොෂින්ටනයේ ය. * (IMF Loan: Facts and Issues, Government of West Bengali, 1981, p 7)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉන්දියානු ආර්ථිකයේ ක්ෂේත්‍ර කිහිපයක් ස්පර්ශ කළේය. එම කොන්දේසි ලෙස

  • “අධික රෙගුලාසි සහ සීමා ලිහිල් කිරීමට ක්‍රියාමාර්ග” ඇතුළුව “පෞද්ගලික අංශයේ ආයෝජන සහ නිෂ්පාදන දිරිගැන්වීමේ ක්‍රියාමාර්ග”
  • විදේශීය සහයෝගීතාවය සහ රාජ්‍යභාග ගෙවීම් සම්බන්ධ ක්‍රියා පටිපාටිවල ”සැලකිය යුතු ලිහිල්කරණයක්
  •  “අපනයනවලට වඩා දේශීය වෙළෙඳපොළ වඩාත් ආකර්ෂණීය කළ ආර්ථික සංවර්ධනයේ දිශාවන් පිළිබඳ ප්‍රතිපත්ති” ආපසු හරවන අපනයන දිශානතියක්,
  • ”ලිබරල්කරණය” කළ ආනයන පාලනයක්
  • කෘෂිකාර්මික සහ ප්‍රධාන කාර්මික ක්ෂේත්‍රවල මිල ව්‍යුහය ඉහළ දැමීමේ ”ප්‍රතිසංස්කරණයක්”
  • ” සහනාධාර මත පොදු ආහාර ධාන්‍ය බෙදා හැරීම නැවැත්වීමේ අවශ්‍යතාවය” සහ අනෙකුත් භාණ්ඩ මත ක්‍රියාමාර්ග ගැනීම
  • වියදම් සම්බන්ධයෙන් දැඩි නමුත් “ඉතුරුම් ප්‍රවර්ධනය සහ ආයෝජන උත්තේජනය කිරීමේ අරමුණින්” “වක්‍ර බදු තවදුරටත් වැඩි කිරීමට සහ සෘජු බදු අඩු කිරීමට” පොරොන්දු වන මූල්‍ය ප්‍රතිපත්තියක්
  • වහාම නොවුනත් නුදුරු අනාගතයේ දී මහා පරිමාණ වශයෙන් අවප්‍රමාණය වීමට ඉඩක් පවතින, “විනිමය අනුපාත සම්බන්ධයෙන් යථාර්ථවාදී ප්‍රතිපත්තියක්” අනුගමනය කිරීම
  • දැඩි මුදල් ප්‍රතිපත්තියක්

ආදිය විය.

ආර්ථික කටයුතුවලදී ඉන්දියාවේ ස්වෛරීභාවයට දැඩි ලෙස බාධා කළ අතිරේක කොන්දේසි දෙකක් ද විය. පළමු කොන්දේසිය වූයේ සහනදායී නොවන විදේශ ණය සඳහා සීමාවක් පැනවීමයි. එවැනි සීමාවක් නියම කිරීමෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන්දියාවට වාණිජ ණය ගැනීම සීමා කල අතර ණය ලබාදීමේ ඒකධිකාරීත්වය තබා ගැනීමට පියවර ගත්තේය. ඉන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඉන්දියාව බැඳුණු සේවාදායකයෙකු කළ ගැනීමට බලාපොරොත්තු විය. දෙවන කොන්දේසිය වූයේ ද්විපාර්ශ්වික ගෙවීම් ගිවිසුම් මත සීමා පැනවීම මගින් ඉන්දියාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් ඉවත් විය නොහැකි බවට පත් කරන ලදි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලය කෙතරම් ප්‍රබලද යත්, ඉන්දියාවට සිය අභිප්‍රාය දැන්වීමේ ලිපියේ වාක්‍යයක් පැහැදිලි කිරීමට සිදු විය. ”අපගේ පාර්ලිමේන්තුව විසින් පිළිගත් ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව” යන්න එම වැකියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ප්‍රකාශය පිළිකුල් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලයේ ඉන්දියාවේ විධායක අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් “උපදේශන ක්‍රියාවලියෙන් අවම වශයෙන් හෝ බැහැර වීමට අදහස් නොකළ බව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සලකන ඕනෑම ප්‍රතිපත්ති වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම හා අනුකූල ලෙස සළකණ බවය”. සරලව පැවසුවොත්, ඉන්දීය පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්තියක් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක ගැටීමක් ඇති වුවුහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය බලපැවැත්විය යුතු බවයි.

ඇත්ත වශයෙන්ම, 1981 දී ණය සඳහා අවශ්‍යතාවය එතරම් දැඩි නොවීය. මෙම කරුණ ආර්ථික විද්‍යාඥයින් කිහිප දෙනෙකු විසින් පිළිගත හැකි විකල්ප ලබා දී තහවුරු කරන ලදී. නමුත් අගමැති ඉන්දිරා ගාන්ධි මැතිනියගේ නායකත්වය යටතේ ඉන්දියානු ආණ්ඩුව මෙම ණය ලබාගන්නා ලදි. ඇතැම් ආර්ථික විද්‍යාඥයන් සඳහන් කළ පරිදි මෙම ණය මුදල ලබා ගැනීම, රජය ගනු ලබන ජනතා විරෝධී වෛරී ප්‍රතිපත්තිවලට ආවරණයක් ලෙස භාවිතා කිරීමට අවශ්‍ය වන්නට ඇති බවය. කාර්මික ප්‍රතිපත්තිවල වෙනස්කම්, බදුකරණය සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීමේ පනත වැනි දැඩි විනය විකල්පයන් රජයේ සැබෑ සැලකිල්ල විය. එලෙසම පීඩාවට පත් දිළිඳු හා මධ්‍යම පන්තික ජනතාව වෙත වෙන්වූ සහනාධාර කෝටි සිය ගණනින් කපා දමන ලදි.

ණයෙහි ප්‍රතිඵල පුලුල් ලෙස ජනතාවට එරෙහි වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාගැනීමේ අරමුණ වූ ගෙවුම් ශේෂ අර්බුදය විසඳීමේ එහි ප්‍රකාශිත ඉලක්කය සපුරා ගත්තේ නැත. ඇත්ත වශයෙන්ම ජාතික ආදායමට විදේශීය ණය දක්වන අනුපාතය 11% සිට 15% දක්වා ඉහළ ගියේය. ප්‍රභාත් පට්නායික් උපුටා දක්වන්නේ නම්, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන විශාල ජනතාවගේ ජීවන තත්වයන්ට දැඩි බලපෑම් ඇති කළත්, එය ගැඹුරේ පවතින ගෙවීම් ශේෂ අසමතුලිතතාවය යහපත් අතට හැරවීමක් සිදුනොවුන බවය. ඇත්ත වශයෙන්ම, එය බොහෝ විට තත්වය නරක අතට හැරවීය. නමුත් ඕනෑම නරක අතට හැරීමක් ඊටත් වඩා දැඩි කොන්දේසි වලට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඖෂධයේ වඩාත් වැඩි මාත්‍රාවකට මග පාදයි. රටේ ආර්ථික ස්වෛරීභාවය අරමුදල මගින් අහිමි කරනවා පමණක් නොව, ජනතාව වඩාත් තදින් පීඩනයට ලක් වෙයි”. ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේද එයමය.

1981 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ඉන්දියාවේ ජනතාව වෙත විනාශයක් ඇති කළ අතර එය ගෙවුම් ශේෂ තත්ත්වය යහපත් අතට හැරවූයේ නැත. ඉන්දීය රජය එක් අතකින් සම්පූර්ණ ණය මුදල ලබා නොගෙන අනෙක් පැත්තෙන් සියළු කොන්දේසි අනුගමනය කිරීම කුරිරු විහිළුවක් විය. ඩොලර් බිලියන 5 ක ණයක් ලබා දීමට එකඟ වූ නමුත් ඩොලර් බිලියන 3 ක් පමණක් භාවිතා කළ අතර 1984 දී ගිවිසුම අවසන් කරන ලදි. ඊනියා නවීකරණය සඳහා රජීව් ගාන්ධිගේ උමතුව සමඟ එකතු කරන ලද මෙම ණය මුදල විසින් ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් තත්ත්වය තවත් නරක අතට හරවන ලදි. පසුගිය ණය මුදලින් වසර 7ක් ඇතුළත එම ණයට වඩා විශාල ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගැනීමට ඉන්දියාවට සිදු විය. එ. කේ. බග්චි පැවසූ පරිදි, ” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඖෂධයේ ප්‍රබල ඇති වැරැද්ද කුමක්ද … එය රෝගියා මරා දැමීමෙන් රෝගය සුව කිරීමට උත්සාහ කිරීමයි”. දැන් රෝගියා නැවතත් මරණ මංචකයේ සිටින බව පෙනෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හි ප්‍රතිකාර නැවත ආරම්භ වී ඇත”.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය – 1991

1990 සැප්තැම්බර් මාසයේදී අලුත් ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පිවිසීමේ මුල්ම ඉඟිය කරළියට පැමිණියේය. ලෝක බැංකුව 1990 සිය වාර්ෂික වාර්තාවෙන් ඉන්දියාවට සහ අනෙකුත් දකුණු ආසියාතික රටවලට උපදෙස් දුන්නේ ”මූල්‍ය ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංස්කරණ” සඳහා වෙහෙසෙන ලෙසයි. මෙයින් අදහස් කරන්නේ මිනිසුන්ට කෙරෙහි දරණු ලෙස සැලකීම සහ ආර්ථිකයේ සුබසාධන සංශෝධනය කිරීම හැර අන් කිසිවක් නොවේ. ඉන්දියානු රජය ණයක් සඳහා කරන ඉල්ලීම මෙම පසුබිම තුළ පමණක් දැකිය යුතුය. 1990 සැප්තැම්බරයේදී ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැමිණි විට “දැඩි කොන්දේසියක්” නොතිබූ බව එවකට මුදල් අමාත්‍යවරයා වූ මධු දණ්ඩවතේ පසුව ප්‍රකාශ කළද එම ප්‍රකාශය වැරදිය. යෝජිත ණය මුදල වාරික පහසුකමක් වූ අතර ”දැඩි” කොන්දේසි එය සමඟ අමුණා නොතිබුණි. තවද, කිසිදු කොන්දේසියකින් තොරව ණය සඳහා තෝරා ගත හැකිද යන්න බැලීමට වී.පී. සිංගේ රජය බලයේ රැඳී සිටියේ නැත.

1990 නොවැම්බරයේදී ගෙවුම් ශේෂ තත්ත්වය අවිනිශ්චිත තත්වයකට පත්වෙමින් තිබූ හෙයින්, චන්ද්‍රසේකර්ගේ ආණ්ඩුව බංකොලොත් වීමේ අවදානමකට පත් විය. ඉන්දියාව, සමහර ලතින් ඇමරිකානු රටවල්වල මෙන් ණය පැහැර හරින්නෙකුගේ තත්ත්වයට පත්වන බවට අනුමාන පළ විය.

එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඉන්දියාවට මෙන්ම ගල්ෆ් අර්බුදයෙන් පීඩාවට පත් රටවලට මූල්‍ය “සහය” දිගටම ලබාදීමට තීරණය කළේය. වි.පි. සිං රජය විසින්ම තෙල් අර්බුදයේ ප්‍රතිවිපාක වල බර දැරීමට අවශ්‍ය “සහය” ඩොලර් බිලියන 1ක් ලෙස තක්සේරු කර ඇත.

1991 ජනවාරි මාසයේදී විදේශ විනිමය අර්බුදය ඉහළ ගිය අතර, එහිදී සංචිත සති දෙකකට පමණක්වත් ප්‍රමාණවත් නොවීය. රජය ගෙන ඇති දැඩි ආර්ථික ක්‍රියාමාර්ග නිසා ජනවාරි තුන්වන සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉන්දියාවට ලබා දෙන ණය අනුමත කරන ලදි. ඛනිජ තෙල් මිල වැඩිවීම, අතිරේක ආදායම් ඉහළ නැංවීම සහ රජයේ වියදම් අඩු කිරීම, ඉන්දියාවේ ඉල්ලීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුකම්පාව ඇති කළ ක්‍රියාමාර්ග කිහිපයකි. අවසානයේ ඩොලර් බිලියන 1.78 ක ණයක් දුන් අතර එය දළ වශයෙන් ඉන්දියන් රු. කෝටි 3275 කි. මෙය ණය පළමු ණය වාරිකයක් සහ පසු අවශ්‍ය වටෙක ලබාදීම සඳහා යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. පළමු ණය වාරිකය මාස තුනක් සඳහා පමණක් වූ අතර ඉන් පසුව ඉන්දියාවට පසු කොටස සම්බන්ධයෙන් අත්සන් කළ හැකි විය. ජනවාරි ණය විසින්ම අප්‍රියෙල් මැයි වන විට විශාල ණයක් සඳහා මග පෑදීය.

ජුනි මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවත් ඩොලර් බිලියන 2 ක ණයක් ලබා දීමට යන බවට මාර්තු මාසයේදී තවත් ප්‍රවෘත්තියක් විය. වාර්තාවට අනුව, ඉන්දියාව විසින් අනුගමනය කරන ලද මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්තිවල ‘නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග‘ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් වූ අතර, එය පූර්ණ අයවැය සැසියකදී සිදු කළ හොත්, තවත් බිලියන 2 ක මුදලක් ඉන්දියාවට ලබාදීමට සහතික විය. එසේ වුවද මැතිවරණ කල්දැමීම, රජිව් ගාන්ධි ඝාතනය සහ මැතිවරණ කල්දැමීම නිසා පූර්ණ අයවැයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වූ අතර ගෙවුම් ශේෂ තත්ත්වය බාධාවකින් තොරව පිරිහී ගියේය.

අප්‍රේල් මාසයේදී මුදල් ඇමති යෂ්වන්ත් සිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් කැම්ඩෙසස් සහ ලෝක බැංකුවේ සභාපති බර්බරා ඇස් කොනබල් සමඟ සාකච්ඡා කර සැප්තැම්බර් මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ඩොලර් බිලියන 5 දක්වා ලබා ගැනීමට සහතිකයක් ලබා ගත්තේය. මැයි මාසයේදී ලෝක බැංකුව “ඉන්දියාවේ වෙළඳ ප්‍රතිසංස්කරණ සඳහා උපායමාර්ගය” යනුවෙන් ලේඛනයක් සකස් කළේ ඉන්දීය රජයේ යෝජනාවට අනුවය. මෙම ලේඛනය ගෙවුම් ශේෂයේ තත්ත්වය පිරිහීම සඳහා “නොගැලපෙන සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති, විශේෂයෙන් 1980 ගනන්වල මුල් භාගයේ විනිමය අනුපාතිකයේ අගය ඉහළ යාම සහ රජයේ පරිභෝජන වියදම්වල වර්ධනය හේතුවෙන් වර්ධනය වන රාජ්‍ය මූල්‍ය හිඟය විසින් මෙහෙයවන ලද දේශීය ඉල්ලුමේ වේගවත් වර්ධනය” යන කරුණු බලපෑ බව දක්වන ලදී. තාර්කිකව ප්‍රතිකර්මය වූයේ වෙළඳපල ආර්ථිකය සම්බන්ධ ”ස්ථාවර” ක්ෂුද්‍ර ආර්ථික ප්‍රතිපත්ති, විනිමය අන ුපාතිකය අවප්‍රමාණය වීම සහ සහනාධාර සහ අනෙකුත් රජයේ වියදම් කපා හැරීමයි!

ජාත්‍යන්තර ආයතනවල ක්‍රමවේදයන් වඩ වඩාත් දැඩි වෙමින් තිබියදී ගෙවුම් ශේෂ තත්ත්වය තවදුරටත් අව ප්‍රමාණය විය. විදේශ ගෙවීම් සුමටව ක්‍රියාත්මක කිරීම සඳහා රත්‍රං ටොන් 20 ක් ඇතුළත් හුවමාරු වැඩපිළිවෙළේ ශක්තිය මත ඩොලර් මිලියන 200 ක ණයක් ලබා ගැනීමට භාරකාර රජය ජුනි මාසයේදී තීරණය කළේය.  පී වී නරසින්හ රාවො යටතේ නව ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස ආචාර්ය මන්මෝහන් සිං ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල පිළ ිබඳව, තම න්‍යාය පත්‍රයේ ඉහළින් තැබ ූ අතර බලයට පත්වී සතියක් ඇතුළත ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අභිප්‍රාය දන්වන ලිපියක් යැවීය. ඇත්ත වශයෙන්ම, රජිව් ගාන්ධි ඝාතනය ආසන්න සමයේ මයිකල් කැම්ඩෙසස් සහ බර්බරා ඇස් කොනබල් ඒකාබද්ධ ප්‍රකාශයක් කළේ ඔවුන් ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සඳහා කැපවී සිටින බවයි. එබැවින්, ඉන්දීය රජයේ උත්සාහයන් වූයේ බ්‍රෙටන්වුඞ්ස් ආයතන (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව) සහ ඉන්දියාව අතර පවතින සබඳතාවය අඛණ්ඩව පවත්වා ගැනීමටය.

සහනාධාර කපා හැරීම සහ බදු වැඩි කිරීම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ කණ්ඩායම සාකච්ඡා අතරතුර යෝජනා කරන ලද ප්‍රධාන පිළියම් දෙකකි. වාර්තාවට අනුව, ”ලෝක තෙල් මිල ඉහළ යාම සමගාමීව පාරිභෝගිකයන් වෙත මිල පිරිවැය තීරණය කිරීමට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවට සහයෝගයක් ලැබී ඇති අතර, පොහොර වැනි අනෙකුත් ක්ෂේත්‍රවලදී ද එවැනිම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අරමුදල් විශේෂඥයෝ විශ්වාස කරති. එසේ කිරීමෙන් අයවැය පියවා ගැනීමට හැකි වේ.” යන්න විශ්වාස කරන ලදී.

සාකච්ඡාවලට පෙර සිටම පසුගිය රජයේ අතුරු අයවැයෙන් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම ආරම්භ කිරීමට යෝජනා විය. ස්වාභාවිකවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වූයේ මෙම ”ප්‍රතිසංස්කරණ” විශාල රාමුවක් තුළ සිදු කිරීමට ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන්දීය රජය අතර සාකච්ඡාවේ සැබෑ අභිප්‍රාය ජූනි 24 වැනි දින විධිමත් අයවැයක් ඉදිරිපත් කරන විට එළියට එනු ඇත. එහෙත් විධිමත් පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිවලට පෙර සිටම, විධායකය විසින්ම දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගනු ලබමින් සිටින්නේ පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මතය. ස්ටර්ලින් පවුම්, ඩොලරය, මාර්ක් සහ යෙන් වලට සමානුපාතිකව ඉන්දියානු මුදල් අවප්‍රමාණය කිරීම එවැනි එක් ක්‍රියාවකි.

අවප්‍රමාණය සහ අනෙකුත් ක්‍රියාවලියන්.

ජූලි මුල් සතිය තුළදී, විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඉන්දීය රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වී ඇත. සතියක් තුළ ඉන්දීය රුපියලයේ සම්පූර්ණ අවප්‍රමාණය 20%ක් පමණ විය. එසේම, මුදල් ඇමතිවරයා විසින් ඉන්දීය රුපියල අවප්‍රමාණය කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑමක් තිබූ බව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉන්දීය ධනපතියන්ගේ ප්‍රතිචාර තුළින් එය පැහැදිලි වන්නේය. ඉන්දීය විපක්ෂය නියෝජනය කරන්නා ව පක්ෂ සහ ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රමුඛ කර්මාන්තකරුන් මෙම පියවර නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කරන ලද අතර එය පිළිගන්නා ලදි. විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විවේචනයන් කේන්ද්‍ර වූයේ මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව නොව එම ක්‍රියාමාර්ගය ගන්නා ලද ආකාරය පිළිබඳවය.

ඉන්දීය මුදල් ඒකකය අවප්‍රමාණය වීමේ ක්‍රියාවලිය තුළ ඉන්දීය රජය විසින් අත්තනෝමතික අයුරින් ක්‍රියා කළ බව සත්‍යයකි. එමෙන්ම පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට සතියක් පමණක් තිබියදී ආණ්ඩුව විධායක තීරණයක් ගන්නා ලදි. මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමේ තීරණය කැබිනට් මණ්ඩයලය තුළ හෝ ගැඹුරින් සාකච්ඡාවට ලක් නොවූ අතර පිළිගෙන ක්‍රියාත්මක කරන ලදි. මෙම ක්‍රියාමාර්ගයේ සැබෑ ප්‍රතිවිපාක සසඳන විට එය ක්‍රියාත්මක කළ ආකාරයේ නුසුදුසුභාවයන් නොසළකා හරින ලදි.

මෙහිදී මුදල් ඒකකය අවප්‍රමාණය කිරීම සහ ඉන් අනතුරුව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු මූලික කරුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම්, ඉන්දියාවේ ආර්ථික ස්වෛරීභාවය සෝදා පාළුවට ලක්වීම සහ දෙවැන්න මුදල් ඒකකය අවප්‍රමාණය වීම තුළින් අනිසි ප්‍රතිවිපාක ඉන්දීය මහජනතාවට දරා ගැනීමට සිදුවීමය.

මූල්‍ය ඒකකය අවප්‍රමාණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමග බැඳී තිබූ කොන්දේසියක් බව ඉහත කරන ලද සාකච්ඡාවෙන් මනාව පැහැදිළි විය. වර්තමාන අවප්‍රමණය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැමූ කොන්දේසි නිසා සිදුවූ බවට පරිවේෂණීය සාක්ෂි ඇත. මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් ඉන්දීය රජය කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් නොකරන ලදි. අනෙක් අතින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශක පැවසූවේ “පවතින තත්ත්වය හමුවේ මූල්‍ය ඒකකය අවප්‍රමාණය කිරීම වඩාත් සුඳුසු පියවරක්” බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිහාස භාවිතාවන් නිරීක්ෂණය කිරීමේදී, ඉන්දීය මූල්‍යමය ඒකකය අවප්‍රමාණය කිරීම ඉන්දීය ආණ්ඩුව ණය ලබා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් පමණක් බව ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැක. නොවැළැක්විය හැකි අවස්ථාවන් මත පිහිටා හෝ වෙනත් හේතුවකට මුදල් ඒකකය අවප්‍රමාණය වීම සහ යම් බාහිර බලවේගයක හස්තයක් විසින් මුදල් ඒකකය අවප්‍රමාණය කිරීම සදහා අප පෙළඹවීම පැහැඳිලිවම කාරණා දෙකකි. ඉන්දීය පාලක පන්තිය ඉදිරියේ තිබූ එකම විකල්පය මුදල් ඒකකය අවප්‍රමාණය කිරීම පමණක් නම් සහ එය සම්බන්ධයෙන් විවෘත වේදිකාවක නිසි ලෙස සාකච්ඡා කළේ නම් එය කිසිසේත්ම වැරදි පියවරක් නොවනු ඇත. එහෙත් ඒ වෙනුවට, අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනවල පූජාසනය මත ඉන්දියානු ජනතාවගේ අවශ්‍යතා උකස් කිරීමට ඉන්දීය පාලක පන්තියේ බලවතුන්ට අවශ්‍ය විය. මෙය ජාත්‍යන්තරය තුළ ඉන්දියාවේ ආර්ථික ස්වෛරීත්වය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. ඉන්දීය පාලකයින්, ඔවුන්ගේ කොඩියේ පාට කුමක් වුවත් අධිරාජ්‍යවාදීන් සමග එක්වී ඉන්දියාවේ ස්වයිරීත්වය නිග්‍රහයට හෑල්ලුවට ලක්කරන ලදි.

අවප්‍රමාණය කිරීම තුළින් ආත්ම ගරුත්වය කැපකිරීමට සිදුවීම පැහැදිළි ප්‍රතිඵලයක් වන නමුත් ඉන් ඔබ්බට යන්නාවූ භයානක ප්‍රතිඵල පවා නිසැකවම ඇත. අවප්‍රමාණය කිරීම මගින් අපනයන ආදායම ඉහළ නැංවීමට අපේක්ෂා කළ ද එය නිසැකවම දේශීය මිල ඉහළ යාමට හේතු වනු ඇත. පෙර අත්දැකීම් සැළකිල්ලට ගැනීමේදී අපේක්ෂිත අරමුණ ඉටුවීමද අවිනිශ්චිත තත්වයක් බව පත් පැහැදිළිය. මුදල් ඒකකය අවප්‍රමාණය වීම ආනයන වියදම් ඉහළ යාමට හේතු වන අතර එමඟින් වෙළඳපොළ තුළ අදාළ භාණ්ඩවල මිල ඉහළ යාමට හේතු වේ. එසේම, ඉන්දීය රුපියල අවප්‍රමාණය වීමත් සමඟ බොරතෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන ආනයනය සඳහා වන ඉන්දියාවේ බිල්පත් ඉහළ යනු ඇති අතර ඒ අනුව සියලුම භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. එබැවින් උද්ධමනය ඉහළයාම අනිවාර්ය වන අතර උද්ධමනයේ පීඩනය පවා දරාගත යුත්තේ දුගී හා මධ්‍යම පන්තිකයන් විසින් වීම අනිවාර්ය සාධකයකි.

මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමෙන් පසුව රජය කාර්මික හා මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් කිහිපයක් සිදු කළේය. ආනයන සීමා කිරීම සහ ආර්ථිකයේ සමස්ථ ඉල්ලුම අඩු කිරීමේ ප්‍රකාශිත අරමුණක් ඇතිව බැංකු පොලී ඉහළ නැංවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවලින් ණය ලබා දීම අඩු විය. ඉන්දියානු සංචිත බැංකුව සිය රන් සංචිතයෙන් කොටසක් එංගලන්ත බැංකුවේ තබා ගැනීමට පියවර ගෙන තිබුණි. RBI  හි ප්‍රධානියාගේ ලැජ්ජා සහගත ප්‍රකාශය තුළින් ප්‍රකාශ කළේ ”අපිට රත්‍රන් ටොන් 25 කට ඩොලර් මිලියන 220 ක් ණයට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු නායකයන් සමඟ දිල්ලියේ සාකච්ඡා කිහිපයක් පවත්වනවා. ඔවුන් අපට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. අයවැය සම්මත වූ පසු, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ ණය මුදල ලැබෙනු ඇත” යනුවෙනි.

එහෙත් ණය මුදල ලබා ගැනීමට පෙර සිටම ඉන්දීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම විදේශ ආයෝජන සඳහා විවෘත කිරීමට සිදු විය. ඉන්දියානු රජය, ‘වෙළඳ ප්‍රතිසංස්කරණ සඳහා උපායමාර්ගය‘ නම් ලේඛනයේ දක්වා ඇති ලෝක බැංකුවේ නිර්දේශයන්ට ප්‍රායෝගිකව අනුකූල වන ලිබරල් වෙළඳ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළේය. නව කාර්මික ප්‍රතිපත්තියක් ද ක්‍රියාත්මක වන බවද යෝජනා වී තිබිණ.

මේ ආකාර ලිබරල්කරණය, බලපත්‍ර අහෝසි කිරීම මගින් අධිරාජ්‍යවාදීන්ට සහ බහුජාතික සමාගම්වලට දොරටු විවර කිරීමක් සිදුවෙමින් තිබියදී, වෙළඳපොල ආර්ථිකයට ආවඩන්නන් ධනේෂ්වර ඉංග්‍රීසි පුවත්පත් තීරු පුරවන්නට පටන් ගත්හ. එබඳු වෙනස්කම් සඳහා විවෘතව පෙනී සිටින කතුවැකි, ඊනියා ”නිදහස් වෙළඳාම” වෙළඳපල යාන්ත්‍රණයට ආරාධනා කිරීම සිදුකළ අතර ”නේරුවාදී සමාජවාදයේ” සියලු නාමික මුහුණුවර අත්හැර දමන ලදි. මෙම අදහස නිර්භීත ලෙස ඉදිරිපත් කරන ලද්දේ අන් කිසිවකු නොව එම නේරුගේ කොන්ග්‍රස් පක්ෂයේම මුදල් ඇමතිවරයා විසිනි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොයිස් ඔෆ් ඇමරිකා හි හින්දි සේවය සමඟ සම්මුඛ සාකච්ඡා වලදී ඔහු කියා සිටියේ ජාතියේ නායකයින් දෘෂ්ටිවාද මත ඇලී සිටීම අත්හළ යුතු බව සහ බටහිරට දොරටු විවෘත කිරීම හැර ඉන්දියාවට වෙනත් විකල්පයක් නොමැති බවය. “අපේ මිනිසුන්ගේ මනෝභාවය වෙනස් කිරීමට” කාලය පැමිණ ඇති බවට ඔහු තර්ක කළේය. ආයෝජනය සඳහා අවස්ථාවක් සහ ලාභදායී ව්‍යාපාර සඳහා අවස්ථාවක් ඇති තැනක් ලෙස ඉන්දියාව දෙස බැලීමට බහු ජාතිකයින් ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. විදේශ ආයෝජන පාලනය කරන එහි නීති ලිහිල් කිරීමට රජය කැමැත්තෙන් සිටින බවත් අවශ්‍ය ඕනෑම තැනක පෞද්ගලීකරණය සලකා බැලීමට ද රජය කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය.

තව දුරටත් ඔහු “අපට අවශ්‍ය වන්නේ හොඳින් ක්‍රියාත්මක වන වෙළඳපල ආර්ථිකයක් බවට පත්වීමටය. අපි දැනටමත් රජය විසින් විශාල වශයෙන් නියාමනය කරන වෙළඳපොල ආර්ථිකයක් වන අතර එහිදී රාජ්‍ය අංශය ඉතා වැදගත්. රාජ්‍ය අංශය ඉදිරියටත් වැදගත් වනු ඇත. මිශ්‍ර ආර්ථිකය තව දුරටත් පවතිනු ඇත. නමුත් මා සිතන ආකාරයට වෙළඳපල ක්‍රියාවලීන්, වෙළඳපල සංඥා වැඩි වැඩියෙන් සම්පත් වෙන්කිරීම පිළිබඳ තීරණය කිරීමට බලපානු ඇත. නමුත් එය සමාජ සවිඥ්ඥානිකභාවය සහිත සහිත වෙළඳපල ආර්ථිකයක් වනු ඇත” යනුවෙන් පැවසීමට නිර්භීත විය. නමුත් බහුජාතික සමාගම් ගංවතුරක් ලෙස ගලා එනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බව පැවසීම සමග “සමාජ සවිඥ්ඥානිකභාවය” යන්න හිස් යෙදුමක් පමණක් බවට පත්විය. භෝපාල් වැනි ඒවාට ආරාධනා කරමින් සමාජ සවිඥ්ඥානිකභාවය පිළිබඳ කතාකිරීම ඉන්දියානු නායකයින්ගේ දෙබඩි ස්වභාවය විදහා දක්වයි. ඉන්දියාව ප්‍රයත්නයන්ට අධිරාජ්‍යවාදී ලොක්කන්ගේද අනුමැතිය ලැබී ඇත. ලෝක බැංකුව සිය 1991 ලෝක සංවර්ධන වාර්තාවේ ”අසාමාන්‍ය ලෙස නිර්නායක සහිත සහ බාධක සහිත නියාමන පාලන තන්ත්‍රයක්” තිබීම පෙන්වා දී ඉන්දියාව විවේචනය කළේය. එබැවින් වෙනස්කම් සිදු වීමට පටන් ගත් විට, ලෝක බැංකු නිලධාරීන් ඔවුන්ට ආරාධනා කළා පමණක් නොව තවත් වෙනස්කම් කිරීමට ද උත්සාහ කළහ. මුදල් ඒකකය අවප්‍රමාණය කිරීමෙන් පසුව විවිධ ආකාරයේ සහනාධාර ඉවත් කිරීම, අයවැය හිඟය අඩු කිරීම, බලපත්‍ර සහ අනෙකුත් නියාමන පාලන තන්ත්‍රයන් ඉවත් කිරීම සහ රාජ්‍ය අංශයේ ඒකක තොග වශයෙන් පුද්ගලීකරණය නොකරන්නේ නම් ඒවාට වැඩි ස්වයං පාලන ඉඩක් ලබා දීම වැනි වෙනත් ක්‍රියාමාර්ග මාලාවක් අනුගමනය කිරීමටද යොමුකරන ලදි. අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය දේ ඉන්දීය පාලකයන් ලබාදීමට සූදානම් වූ දේ එකක් බවට පත්ව ඇත. ප්‍රාදේශීය පාලකයන් සහ අධිරාජ්‍යවාදීන් එක්වී තොග වශයෙන් කරන රැවටීම හේතුවෙන් ජනතාවට දැඩි පීඬාවන් විඳීමට සිදුවෙයි. පාලක පන්තියේ සහ අධිරාජ්‍යවාදීන් එකතුවෙන් ඉන්දියානුවන් සියලු පීඩා නිර්මාණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙහි ප්‍රතිඵල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් වත්මන් ණයට අදාළව යොදා ඇති කොන්දේසි පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබාගත හැකි වන්නේ ඒ සම්බන්ධ ලේඛන ප්‍රකාශයට පත්කල විට පමණය. නමුත් අතීත අත්දැකීම් සළකණ විට, ආණ්ඩුව සියලු තොරතුරු හෙළිදරවු කරතැයි සිතිය නොහැක. දැනටමත් වැරදි තොරතුරු බොහෝමයක් ඇත : ජුනි 29 වනදා හින්දු පුවත්පත වාර්තා කළේ මුදල් අමාත්‍යවරයා විසින් ණය ලබාගැනිමේ අභිප්‍රාය දන්වන ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක වෙත “දින කිහිපයකට” පෙර ලැබුණු බවය. නමුත් ජුලි 01 වන දින වෛද්‍ය සිංග් ප්‍රකාශ කළෙ ් “එවැනි ලිපියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් නොමැති” බවයි. ආණ්ඩුව මෙවැනි ලිපියක් පාර්ලිමේන්තුවේ සභාගත කර හෝ නොමැත. එකදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් ණය ලබාගැනිමේ අභිප්‍රාය දන්වන ලිපිය පිළිබඳව හෝ ඉන්දීය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගත්තේ කෙසේද යන්න පිළිබඳව ඇසුවේ හෝ නැත.

ආණ්ඩුව කරුණු හෙළිදරවු කිරීම සිදු නොකරන අතර තොරතුරු හාරා අවුස්සා හෙළිදරවු කිරීමට සැළකිය යුතු කාර්යයක් කිරීමට ජනමාධ්‍යයන්ට හැකියාව තිබුණි. නමුත් බොහෝ පුවත්පත් ආර්ථිකය “විවෘත කිරීමට” ආණ්ඩුව ගත් “දැඩි” පියවරට ආවඩන ලදි. කතුවැකි, ආවඩන්නන්ගේ විචාර, මවන ලද පුවත් ආණ්ඩුවට ප්‍රශංසා කරමින් පළවන්නට විය. සියල්ල එසේ තිබියදී, තවත් තොරතුරු ප්‍රභවයක් වන්නේ රජය විසින් එකක් පසුපස එකක් වශයෙන් ගන්නා ක්‍රියාමාර්ග විශ්ලේෂණය කිරීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ණයෙහි ප්‍රතිවිපාක විශාල වශයෙන් මීළඟ අයවැය තුළින් කරළියට පැමිණීමට නියමිතය. නමුත් ඊට පෙර වුව ද ආණ්ඩුව දිනපතා “ප්‍රතිසංස්කරණ” යෝජනා කරමින් සිටින අතර විධිමත් ලෙස අයවැය සභාගත කිරීමෙන් පසුවද එම ප්‍රවණතාවය පවතිනු ඇත. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ණයෙහි ප්‍රතිවිපාක පෙර ණය වල අත්දැකීමෙන් මෙන්ම පසුගිය සති තුන සළකා නිර්ණය කළ යුතු වෙයි.

පසුගිය සති තුන තුළ ඇති වූ වෙනස්කම් ලැයිස්තුව ආණ්ඩුවේ ස්වරූපය පෙන්වා දෙයි:

  • ජුනි 27: වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික රැස්වීමක් දිල්ලියේදී කැඳවන ලදි. “දැනට පෙනෙන්නට ඇති කරුණු අනුව, විරුද්ධ පක්ෂ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවෘතව අනුමත කර නොමැති නමුත් ඉන්දියාවට ණයක් ලබාගැනීමට සිදුවන බවට අඩුවැඩි වශයෙන් එකඟ වී ඇත. සමහර විපක්ෂ නායකවරු එල්ල කරන දැඩි විවේචන වලදි කියවා ගත යුත්තේ මෙම එකගතාවය පිළිබඳ අවබොධයෙනි). මෙම රැස්විමට එල්.කේ. අද්වානි(BJP) ජෝර්ජ් පර්නැන්ඩස්, මධු දණ්ඩවතේ(JD), පි. උපේන්ද්‍ර(TDP) සෝම්නාත් චැටර්ජි, හරික්‍රිෂාන් සිංසුරිජිත් (CPI – M), යශ්වන් සිංහ(SIP) සහ තවත් අය සහභාගි වුහ. කෙසේවෙතත් ඉන් සමහරෙකුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි හි කොන්දේසි දැන ගැනීමට අවශ්‍යව තිබුණද එහෙත් අගමැති සහ මුදල් ඇමතිවරයා ප්‍රශ්න මගහරිණ විට ඔවුන් පිළිතුරක් වෙනුවෙන් බලකිරීමක් සිදුකලේද නැත.
  • ජුනි 29: ඉන්දියාව තම අභිප්‍රාය දන්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යවන ලදි.
  • ජුලි 1: ඉන්දියාවේ රුපියලේ වටිනාකම ස්ටාර්ලින් පවුමට සාපෙක්ෂව 8.76% කට පහත දමන ලදි. මුදල් අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කරන ලද්දේය. එහිදි තම අභිප්‍රාය දන්වා ලිපියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යැවීම සම්බන්ධ කරුණ මුදල් ඇමතිවරයා ප්‍රතික්ෂේප කලේය. කර්මාන්ත අමාත්‍යාංශය අලුත් ලිබරල් කාර්මික ප්‍රතිපත්තියක් සකස් කිරිමේ කාර්යය ආරම්භ කලේය. අලුත් කර්මාන්ත ප්‍රතිපත්තියේ අංග වුයේ

(1) බලපත්‍ර නොමැතිව කර්මාන්ත ශාලා සහ යන්ත්‍ර සඳහා රුපියල් කෝටි 75 ක් දක්වා ආයෝජනය කිරීමට ඉඩ දීම.

(2) සමාගමක් FERA (Foreign Exchange Regulation Act 1969) ඛාණ්ඩයට අයත් වීම නිර්ණය කිරීමට භාව්තා කරන මූල්‍ය හිමිකාරීත්වයේ සීමාව 40% සිට 50% දක්වා වැඩි කිරීම. (

(3) MRTP (Monopolies and Restrictive Trade act) ප්‍රතිපාදන වලට විෂය වීමට බලපාන වත්කම් නිර්ණායකය රුපියල් කෝටි 100 සිට 500 දක්වා වැඩි කිරීම

(4) මෙතෙක් ආධිපත්‍යය පාලනය සහ අන්තර් සම්බන්ධතාවය පවත්වාගත් නීතිරිති ලිහිල් කිරිම

  • ජූලි 03:  ස්ටාර්ලින් පවුමට සමානුපාතිකව රුපියල නැවත වරක් 11.83% අවප්‍රමාණය කරන ලදි. බැංකු තැන්පතු සහ ණය පොළී වැඩි කරන ලදි.
  • ජූලි 04: රුපියලේ අගය තවදුරටත් 0.26% පවුමට සාපේක්ෂව පහත වැටුණි. විදේශ වෙළදාම පාලනයෙන් නිදහස් කරන ලදි. නිදහස් වෙළඳ ක්‍රමයක් සඳහා කරුණු 13 ක නව වැඩසටහනක් හඳුන්වා දෙන ලදි. ටොන් 4.8 රන් ප්‍රමාණයක් RBI සංචිතයෙන් එංගලන්ත බැංකුවට වෙත යවන ලදි.
  • ජුලි 5: කර්මාන්ත ප්‍රතිපත්තියේ වෙනස්කම් රැසක් ඒ හෙළිදරවු විය.
  • ජුලි 7 : වාණිජ අමාත්‍යාංශය විසින් අපනයන සැකසුම් කලාප වල සහ 100% අපනයන කේන්ද්‍රගත අංශ වල අවශ්‍යතා පහසුකරණය සඳහා “ පුර්ණ වැඩ පිලිවෙලක්” සැකසීම සළකා බලන ලදි.
  • ජූලි 8 : ඍඊෂ එක මගින් තවත් රන් ටොන් 20.01 සංචිතයෙන් එංගලන්තයේ බැංකුවට යවන ලදි.
  • ජූලි 11 : ටොන් 10.01 රන් එංගලන්ත බැංකුවට යවන ලදි.
  • ජූලි 14 : නව කර්මාන්ත ප්‍රතිපත්තිය තුලින් , සියලුම ආයෝජන සහ ප්‍රදේශ සම්බන්ධ සීමා ඉවත්කිරීම
  • ජූලි 16 : දුම්රිය අයවැය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල දැමු අතර ඒ නිසා විශේෂයෙන්ම දුම්රිය ගාස්තු 10% න් පමණ ඉහල ගියේය.
  • ජූලි 18 : රන් ටොන් 12.09 එංගලන්ත බැංකුවට යවන ලදි.

මේ වෙනස් කිරිම් ඉන්දියානු ජන ජිවිතයට විශාල ප්‍රශ්න උද්ගත කලේය.මතක තබා ගතයුතු වැදගත්ම කරැණ නම් මේ වෙනස්කම් වලින් පෙන්නුම් කරන්නේ මතුපිටින් අර්බුදයේ සුලු ප්‍රමාණයකි. එහි සැබෑ ප්‍රතිඵලය දැකගත හැකි වන්නේ 1991 – 92 අයවැය ලේඛණයෙන් සහ එයට පශ්චාත් නිවේදන මගිනි. මෙම ණය ගැනිම නිසා ඇතිවු අහිතකර බලපෑම් (1) උද්ධමනය (2) සහනාධාර කප්පාදුව (3) වේතන වැඩිකිරීම් වලට බාධා සිදුකිරීම සහ සාමූහික කේවල් කිරීම බාධාවට ලක්කිරීම (4) පෞද්ගලීකරණය (5) විදේශ ණය වර්ධනය වීම (6) අධිරාජ්‍යවාදීන්ට සහ බහුජාතික සමාගම් වලට ඉන්දියානු වෙළඳපොල බන්දේසියක තබා දීම ආදිය වේ.

 (01). උද්ධමනය – උද්ධමනයේ ආර්ථිකමය ලක්ෂණ විවිධාකාර වුවද මිනිසුන්ට එය අත්දකින්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ඉහල යමෙනි. උද්ධමනය හේතුවෙන් මිනිසුන්ගේ භාණ්ඩ මිල දි ගැනිමේ හැකියාව ක්‍රමයෙන් අඩුවෙයි. එහි අනෙක් පැත්ත වනුයේ උද්ධමනයේදි විකුණන්නාට අධික ලාභයක් තබා ගත හැකි වන අතර කලු කඩ වෙළඳාම නිර්මාණය වෙයි. මේ ගැටලු වලට පිළියම් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දුන් සහ ඉන්දියානු ආණ්ඩුව විසින් අනුගමනය කළ “ව්‍යුහාත්මක ප්‍රතිසැකැස්ම” මගින් “සකස් කළ” උද්ධමනයක් ඇති කිරීමට උත්සාහ දරණ ලදි.

උද්ධමනය අංක දෙකකින් පෙන්නුම් කිරිමට තරම් ඉහල යන විට එහි අවදානම් තත්ත්වයත් වන අතර රජය සැබෑ අනුපාතිකයන් යට ගැසිමට ප්‍රයත්න දරයි. එලෙසම ඉන්දියානු රජය උද්ධමන අනුපාතිකය 9.1% සිට 9.7% දක්වා වැඩි කරමින් යාන්තමට අංක දෙකක අගයකට පහළින් තබා ගැනිමට වෙර දරයි.

ඇත්ත වශයෙන්ම, ඉන්දියාව පුරා පැවතින සිල්ලර වෙළදාමේ උද්ධමන අනුපාතිකය නිරතුරුව මෙම අනුපාතයනට වඩා ඉහල අගයක පවතී. 1991 ජූලි මස පළවෙනි සතියේදි උද්ධමනය 10.2% වැඩි වු බව රජයට පවා පිළි ගැනිමට සිදු වුවකි. ආචාර්ය සුබ්‍රමානියම් ස්වාමිට අනුව ඉදිරි මාසවල එම තත්වය 35% දක්වා වැඩි විය හැකිය.

පසුගිය සති තුනේ රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග උද්ධමන අනුපාතිකය ඉහළ යාමට ස්ථිරවම හේතු වනු ඇත. මේ ක්‍රම වේදයේ පළමුවැන්න වුයේ විදේශ මුදල් ඉදිරියේ ඉන්දියානු රුපියලේ වටිනාකම අවප්‍රමාණය කිරීමයි. ඉන්දියාවේ රුපියල විදේශ විනිමය ඉදිරියේ අගය අඩුවිමේ නිත්‍ය ලෙස අභ්‍යාන්තර අවප්‍රමාණය වීමට බලපානු ඇති අතර එයට හේතුව රුපියලේ මිලදීගැනීමේ හැකියාව ආර්ථිකයට බලපෑම් කිරීම සහ අපනයනයට වඩා ආනයනය පුළුල් වීමයි. අවප්‍රමාණය හේතුවෙන් විශේෂයෙන්ම ප්‍රාග්ධන භාණ්ඩ, නිශ්පාදිත භාණ්ඩ වල අංග සහ ප්‍රධාන පාරිභෝජන භාණ්ඩ වල මිල ගණන් අධික ලෙස ඉහල යයි. ප්‍රග්ධන භාණ්ඩ වල මිල ගණන් වැඩිවීම සෑම නිමි භාණ්ඩයකම මිළ ගණන් ඉහල යාමට බලපායි.

රුපියලේ අගය අඩුවිමේ ප්‍රධාන අංගයක් වන්නේ ඛණිජ තෙල් සහ ප්‍රෙටෝලියම් නිශ්පාදන ආනයනය සදහා යන වියදමේ වැඩිවිමය. එහි රුපියල් කෝටි 1000 කට ඇස්තමේන්තු කර ඇත. දැනටමත් ඛණිජ තෙල් සහ ප්‍රෙටෝලියම් නිශ්පාදන ආනයනය සදහා යන වියදමේ පිමි වලින් වැඩිවෙමින් පවතී. 1987- 88 කාලයේ පැවති රුපියල් කෝටි 3965 ද සිට 1990-91 වනවිට රුපියල් කෝටි 10,890 දක්වා වැඩි වී ඇත. ඉන්දියාවේ ප්‍රවාහන සේවාවෙන් වැඩිම ප්‍රමාණයක් නඩත්තු වන්නේ ආනයනික තෙල් මගිනි. ඒ අනුව මේ රුපියලේ අගය පහත හෙලිම නිසා වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ ඉන්දියාවේ දිළිදු සහ මධ්‍යම පංතිකයන්ය.

තවද වෙළඳ ප්‍රතිපත්තියේ වෙනස්කම් රාශියක් සිදු වූ අතර ආර්ථික ප්‍රතිපත්තියේද ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය. බලපත්‍ර ඉවත් කිරීම, රෙගුලාසි ඉවත් කිරීම, ත්‍ෑඍ් සහ ඵඍඔඡ සීමා ඉහළ දැමීම, රාජ්‍ය පාලනය මගින් දමා ඇති බාධා ඉවත් කිරීම, සහ අධිරාජ්‍යවාදී ආයතන සහ බහුජාතික සමාගම් වලට රටේ දොරටු විවෘත කිරීම වැඩිවිය. මෙම ක්‍රියාමාර්ග මගින් උද්ධමන මිල වැඩිවීම පමණක් නොව ඉන්දියාවේ ස්වයිරීත්වය සෝදා පාළුවට ලක්වීමද සිදුවන අතර උද්ධමණය රජයේ පාලනයෙන් ගිලිහී යයි.

රට තුළ ඇති සම්පත් යෙදවීමට යැයි කියමින් රජය විසින් ‘මිල ප්‍රතිසංස්කරණ’ ගෙන ආ හැකි අතර එමගින් උද්ධමනය ඉහළ යයි. සමස්තයක් වශයෙන් රට තුළ මිල ගණන් ණය ලැබීමට පෙර පැවති මට්ටමට වඩා වැඩි වනු ඇත. ඇත්ත වශයෙන්ම උද්ධමනයේ මෙම බලපෑම වැඩි වශයෙන් දුප්පත් සහ මධ්‍යම පන්තියට දැනෙනු ඇති අතර පොහොසතුන් ආරක්ෂා වනු ඇත.

(02) සහනාධාර කප්පාදුව – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ප්‍රියතම වට්ටෝරුව මුල්‍ය ප්‍රතිපත්තියෙහි විනයයි. මෙම කොන්දේසිය අනුව වැඩි පොලී අනුපාතිකය මගින් මුල්‍ය ප්‍රසාරණය සීමා කිරීම අවශ්‍ය වෙයි. තවද අයවැය හිඟය ‘කලමනාකරණය කළ හැකි සමානුපාත’ වල පවත්වා ගැනිම අවශ්‍ය වීම හේතුවෙන් මහජනයා වෙනුවෙන් කරන වියදම් එනම් සහනාධාර කප්පාදුව සිදුකල යුතු වෙයි. 1990-91 වසර වල පැවති දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.5% වූ මූල්‍ය හිඟය 1991-92 තුළ 6.5% දක්වා අඩුකරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රජයෙන් ඉල්ලා ඇති බව දැනගත හැකිවිය. එසේම ඉදිරි වසර වලදී එය 3.4% දක්වා අඩු කිරීමට නියමිතය.

මෙම කොන්දේසියෙහි එක් කොටසක් ජූලි 03 වන දින ඍඊෂ හි උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදි. ජුලි 24 වන දින අයවැය තුළ මෙම මහජනයා මත සිදුකරන වියදම් වල කප්පාදුව ප්‍රකාශ කෙරෙනු ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉතිහාසය සළකණ කල මහජන වියදම් කප්පාදුව යනු සහනධාර කප්පාදුවයි. එබැවින් බෝහෝ දුරට සෞඛ්‍යය, අධ්‍යාපනය සහ දුප්පතුන් වෙනුවෙන් ඇති සමාජ සුබසාධන වැඩසටහන් යන ක්ෂේත්‍ර වල මෙම කප්පාදුව සිදුකෙරෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බොහෝදුරට ආහාර සහනාධාර සහ පොහොර සහනාධාර කෙරෙහි අවධානය යොමු කරන අතර බොහෝ දුරට එම සහනාධාර වල විශාල කප්පාදුවක් සිදුවිය හැක.

ආහාර සහනාධාරය පොදු බෙදාහැරීමේ ක්‍රමය යටතේ සළාක කඩ හරහා ලබාදීම ඉන්දියානු රජයේ ‘සමාජ සුබසාධන’ ප්‍රවේශයෙහි එක් අංගයකි.1990-91 වර්ෂයේ ආහාර සහනාධාරය රුපියල් කෝටි 2450 කි. ඇත්ත වශයෙන්ම මෙම පොදු බෙදාහැරීමේ ක්‍රමය තුළ දූෂණය සහ අකාර්යක්ෂම බව පැතිර තිබූ අතර එය විශාල වශයෙන් ඉලක්කගත ජනතාව වෙත ළඟා වූ බවක් කිව නොහැක. නමුත් එමගින් හෝ ලැබුණ යම් සහනය පාලකයින් විසින් කප්පාදු කිරීමට නියමිතය. ඔවුන්ට සහනාධාර වැඩි වශයෙන් කප්පාදු කිරීම අවශ්‍යව ඇති අතර එය වැඩි වශයෙන් ආහාර ද්‍රව්‍ය මත බලපානු ඇත. ආහාර සහනාධාරය කප්පාදු කිරීම යනු පොදු බෙදාහැරීමේ ක්‍රමය තුළ මිල ඉහළ යාම වන අතර එමගින් විවෘත වෙළඳපොළ තුළද මිල ගණන් වැඩි වනු ඇත. බොහෝ මිනිසුන් ප්‍රමාණයක් පොදු බෙදාහැරීමේ ක්‍රමයෙන් ඉවතට විසිවනු ඇති අතර කලු කඩ වෙළඳාම වැඩි වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අවධානය යොමු කරන අනෙක් කප්පාදුව පොහොර සහනාධාරයයි. කුමන හෝ හේතුවක් නිසා පොහොර ඉතා මිල අධික වන අතර ගොවි ජනතාවට එම වියදම තනිවම දැරීමට සිදුවේ නම් එමගින් කෘෂිකාර්මික නිෂ්පාදන වල මිල දැඩිලෙස ඉහළ යනු ඇත. එබැවින් එහිදී රජයේ මැදිහත්වීම අවශ්‍ය වූ අතර පොහොර මත සහනාධාරයක් ඇති කිරීම සිදුකරන ලදි. 1990-91 හිදී මෙම සහනාධාරයෙහි සමස්ත අගය රුපියල් කෝටි 4400 ක් විය. පොහොර සහනාධාරය කප්පාදු කිරීම නිසා ආහාර වල මිල ගණන් ඉහළ යනු ඇත. නමුත් මෙහිදීද කප්පාදුවෙහි බලපෑම වැඩි වශයෙන් දැනෙන්නේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවට පමණි. එබැවින් ආහාර සහ පොහොර සහනාධාර මත ස ිදුකරන කප්පාදුව මිල ගණන් ඉහළ යාම සහ සමාජ සහ ආර්ථික ගැටලු වලටද හේතු වනු ඇත. සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ සුබසාධන වැඩසටහන් මත අයවැය කප්පාදුව සිදුකිරීම විසින් දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවිත තවත් අසරණ මට්ටමකට ඇද දමනු ඇත.

(03) වේතන වැඩිකිරීම් වලට බාධා සිදුකිරීම සහ සාමූහික කේවල් කිරීම බාධාවට ලක්කිරීම – මහජන වියදම් කප්පාදු කිරීමේ නාමයෙන් රජය විසින් වේතන වැඩිකිරීම මත සියලු ආකාරයේ බාධාවන් ඇති කරනු ඇත. වේතන මණ්ඩල පිහිටුවීම ප්‍රමාද කිරීම, වේතන මණ්ඩල වල තීරණ කරන්නන් වාලේ ක්‍රියාත්මක කිරීම, අත්තනෝමතික සහ අනිවාර්ය තැන්පතු ක්‍රම ඇති කිරීම, වේතන වැඩි කිරීමේ උපරිම සීමා ඇති කිරීම ආදී පියවරයන් රජය විසින් නුදුරු අනාගතයේම ගනු ඇත. මෙවැනි සෘජු නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතර රජය විසින් නීති සහ පනත් මගින්ද වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට උත්සාහ කරනු ඇත. දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පිළිබඳව ආවඩන්නන් සංවිධානාත්මක ශ්‍රමය පිළිබඳව දෝශාරෝපණය කරමින් වැඩකරන ජනතාවට විරුද්ධ ප්‍රතිපත්ති නිර්දේශ කරයි. මෙහිදී සිහිපත් කරගත යුතු කරුණක් නම් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ පනත නම් සාමූහික කේවල් කිරීම මත දරුණු බාධා ඇති කල පනත සම්මත කරගත්තේ 1981 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගත් අවස්ථාවේ බවයි. වර්තමානයේදීද මෙවැනි ක්‍රම රජය විසින් අනුගමනය කරනු ඇත.

(04) පෞද්ගලීකරණය – නේරුවාදී දේශපාලනයේ ‘සමාජවාදී රටාවන්’ සහ ‘සැලසුම්සහගත සංවර්ධනය’ කෙතරම් දුරකට පැමිණ තිබේද යත් දශක හතරක් ගතවීමෙන් පසුවද ‘සමාජවාදය’ සහ ‘සැලසුම්කරණය’ යන වචන අස්පර්ශනීයව පවතී. එක්වරම, පාලකයින් විසින් රාජ්‍ය අංශය ප්‍රධාන බාධකයක් ලෙස පෙන්වා දෙමින් සිටී. නිදහස්ව හෝ කාර්යක්ෂමව වර්ධනය වීමට රාජ්‍ය අංශයට කිසිවිටෙකත් ඉඩ නොලැබුන බව සත්‍යයකි. ඒ පිළිබඳව සැමවිටම ඇත්තේ පහත් දැක්මකි. එයට සෑම විටම සළකණු ලබන්නේ පෞද්ගලික අංශයට දෙවෙනි වූ අනුබද්ධිත යමක් හැටියටය. එය ‘රාජ්‍ය අංශය’ වුවද සැඉවින්ම රජය මෙහෙයවනු ලබන්නේ පෞද්ගලික අංශයේ ලොක්කන් විසිනි. පාලක පන්තිය එතරම් පහත් තත්ත්වයකට වැටී ඇති බැවින් තවදුරටත් රාජ්‍ය අංශයක් පිට ඔපයට හෝ තිබීම අවශ්‍ය යැයි ඔවුන් නොසලකයි. ආණ්ඩුව මගින් රාජ්‍ය අංශයේ තෝරාගත් ඒකක මත ආයෝජන 20% කින් කප්පාදු කල අයවැයක් සම්මත කරගැනීම ඔවුන්ගේ මෙම අභිලාෂය චන්ද්‍රසේකර් මනාව පැහැදිලි වන අවස්ථාවකි. මෙම ආයෝජන කපාහැරීම අගයෙන් රුපියල් කෝටි 2500 ක් පමණ විය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශ මත 40% ක ආයෝජන රාජ්‍ය අංශයෙන් කපා හැරීමට ආණ්ඩුවට අවශ්‍යව ඇත. එසේම ප්‍රධන අංශ කීපයක් පෞද්ගලීකරණය කිරීමටද සැලසුම් ඇත. කාර්යක්ෂමතාවය පිළිබඳව සාකච්ඡා කිරීමට සුදුසුම ස්ථානය මෙය නොවුනද, රාජ්‍ය අංශය කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමෙන් වළක්වා ඇති අතර එය ඉවත් කිරීම සඳහා හේතුව ලෙස එය පෙන්වා දෙනු ලබයි.නමුත් කාර්‍යක්ෂම – අකාර්යක්ෂම විවාදය පසෙකට දැමුවහොත් රාජ්‍ය අංශය ඇති කිරීමේ දෘෂ්ටිවාදය ජනතාවගේ යහපැවැත්ම වන නමුත් දැන් මෙම දෘෂ්ටිවාදය අත්හරිමින් යයි.

(05) වර්ධනය වන විදේශීය ණය – විදේශීය ණය වර්ධනය වීම ජාතියකට ඉතාම අහිතකර ආකාරයේ ප්‍රතිඵල ඇතිකල හැක. ණය උගුල යනු විෂම චක්‍රයක් වන අතර ණයකරු වන රාජ්‍යයට පරණ ණය පියවීම සඳහා දිගින් දිගටම ණය ගැනීමට සිදුවෙයි. ලතින් ඇමරිකානු කලාපයේ බොහෝ රටවල් ණය උගුලට හිර වූ ඛේදනීය උදාහරණ ලෙස ගතහැකි අතර ඉන් සමහරෙක් ණය පැහැර හරින්නන් බවට ද පත්ව ඇත. විදේශීය ණය වැඩි වීම විසින් ලෝක ආර්ථිකය තුළ රටක ණය ලැබීමට ඇති සුදුසුකම අඩුකරනු ලබන අතර ජාත්‍යන්තර සබඳතා තුළ රටක දේශපාලන පෞර්ෂය බිඳහෙළනු ලබයි. අනෙක් අතින් ස්වෛරීත්වය සහ රටේ ජනතාවගේ ස්වයං අභිමානය අනතුරට ලක්වෙයි. ඉන්දියාව මෙම අනතුරට ළඟාවෙමින් සිටි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය විසින් එය සම්පූර්ණ කරන ලදි. රුපියලේ අගය බාල්දු වීමට පෙර ඉන්දියාවේ විදේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 131000 ක් වූ අතර රුපියල බාල්දු වීමෙන් පසු එය රුපියල් කෝටි 162000 දක්වා වැඩිවිය. මෙම අගය තවත් ආකාරයකින් දැක්විය හැක. එනම් සෑම ඉන්දියානුවෙක්ම වයස් භේදයක් නොමැතිව අධිරාජ්‍යවාදී රටවලට සහ මූල්‍ය ආයතන වලට රුපියල් 8500 ක පමණ ණයකරුවෙකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මගින් මෙම අගය තව දුරටත් වැඩි කරනු ඇත.

(06) අධිරාජ්‍යවාදීන්ට සහ බහුජාතික සමාගම් වලට ඉන්දියානු වෙළඳපොල බන්දේසියක තබා දීම – මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වඩාත්ම බලපෑම් කරන කොන්දේසියකි. අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සියලු ස්වාධීන වෙළඳ පොල අධිරාජ්‍යවාදීන්ට සහ බහුජාතික සමාගම් වලට පරාධීන කිරීමට උත්සාහ දරනු ලබයි. සම්පූර්ණ පැකේජය විසින් වෙළඳ පොල විවෘත කිරීමද ආනයන – අපනයන ප්‍රතිපත්ති වල සීමා ඉවත් කිරීමද නිර්දේශ කරනු ලබයි. මේ ආකාර ‘ලිබරල්කරණය’ ක් රජිව් ගාන්ධිගේ ධූර කාලය තුළ සිදු වූ අතර වත්මන් ආර්ථික අර්බ ුදය එම ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයකි. දැන් ආණ්ඩුවට ‘ලිබරල්කරණ’ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම අවශ්‍යව ඇති අතර එය විවෘතව පිළිගැනීම සම්බන්ධයෙන් ලැජ්ජාවක්ද නැත.

‘ලිබරල්කරණය’ ආශ්‍රිතව ඇති අනතුරු සහ බහු ජාතික සමාගම් වලට ඉඩදීම සම්බන්ධයෙන් ඉතා හොඳින් පර්යේෂණ කල අධ්‍යයන ගණනාවක් ඇති අතර ඒවායින් බහුජාතික සමාගම් මගින් තුන්වන ලෝකයේ රටවල් කොල්ල කෑම සම්බන්ධයෙන් මනාව පැහැදිළි කරදෙයි. මෙහිදී අපි භොපාල් ප්‍රදේශයේ සංහාරයක් සිදු කිරීමට හේතු වූ එක්සත් කාබයිඞ් සමාගම යන බහුජාතික සමාගම සම්බන්ධව පමණක් සළකා බලමු. බහුජාතික සමාගම් වලට එරෙහිව රජයට කිසිදු බලයක් නොමැති වීම සම්බන්ධව එය හොඳ උදාහරණයකි. ඉන්දියානු රජයට මෙම බලාගාරය වසා දැමීමට නොහැකි විය. 1984 දෙසම්බර් 02 වන දින රාත්‍රියේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි තොරතුරු ලබාගැනීමට රජයට නොහැකි විය. වසර හතක් ගතවීමෙන් පසුවත් 5000 ක් මිනිසුන් මරණයට පත් කල සහ තවත් දහස් ගණනක් ආබාධිතභාවයට පත් කල වායුව කුමක්ද යන්න අභිරහසකි. ‘රෙගුලාසි සහ දණ්ඩනය’ ක්‍රියාත්මකව තිබූ පෙර රජය පැවතියදී ද දහස් ගණනක් දෙනා අසනීප සහ ආබාධිතභාවයට පත්කරමින් සහ එකී ආබාධිත තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය තොරතුරු පවා ලබා නොදෙමින් ගැලවී යාමට හැකි වූ තත්ත්වයක් තුළ මෙවැනි සීමා රහිත බහුජාතික සමාගම් වලට දොරටු විවෘත කරන තත්ත්වයත් තුළ ජනතාවට සිදුවිය හැක්කේ කුමක්ද යන්න සිතාගත හැකිය.

ඉන්දියාවේ පදිංචිකරුවන් නොවන ඉන්දියානුවන් රජය අධිරාජ්‍යවාදී බලයන් අතර සිටීමට මුලපිරීම සම්බන්ධයෙන් කලකිරීම ප්‍රකාශ කරයි. නමුත් ඔවුන්ගේ බලවත් අමනාපය පිටුපස් අති ඉන්දියානු වෙළඳ පොල අපනයනය කිරීමේ ඔවුන්ගේ භුමිකාවද පැහැදිලිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ණයෙහි අහිතකර ප්‍රතිඵල ලැයිස්තුව අවසන් කල නොහැක. තුන්වන ලෝකයේ රටවල ජනතාව සූරාකෑමටද මර්දනය කිරීමටද අහිතකර ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් අධිරාජ්‍යවාදීන් සතුව ඇත. අධිරාජ්‍යවාදී බලයන්ගේ ග්‍රහණයෙන් ජනතාව ගලවා ගැනීමට හැක්කේ අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කිරීමෙන් සහ විකල්ප සෙවීමෙන් පමණි.

එකම විසඳුම නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි

පාලක පන්තියේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය එකම විකල්පයයි. පසුගිය වසර 40 ක් තිසම පාලකයන් විසින් අනුගමනය කරන ලද ආර්ථික උපාය මාර්ගය ධනවතුන් සුළුතරයකගේ අභිලාශයන් වෙනුවෙන් ජනතාව කොල්ලකෑම වූ බැවින් ඔවුන්ට අනුව විශාල අනුපාතයකින් ණය ගැනීම තාර්කිකය. ණය සම්බන්ධයෙන් ආවඩන්නන් බොහෝමයක් ප්‍රකාශ කරන ‘අපි උපයන ප්‍රමාණය අභිබවා ජීවත් වී ඇත’ යන්න මගින් පොදුවේ ජනතාවට දෝශාරෝපණය කරනු ලබයි. නමුත් මේ අපි වඩාත් වැදගත්ම ප්‍රශ්නය ඇසිය යුතු කාලයයි : එනම් උපයන ප්‍රමාණය අභිබවා ජීවත්වූයේ කවුද යන්නයි. කෘෂිකාර්මික ශ්‍රමිකයින්, දුප්පත් ගොවීන්, සංවිධානාත්මක සහ අසංවිධානාත්මක අංශවල වැඩකරන ජනතාව කිසිවිටෙකත් එසේ නොකරන ලදි. උපයන ප්‍රමාණය අභිබවා ජීවත්වෙමින් ඉන්දියානු ජනතාව කොල්ලකෑවේ පාලක පන්තියයි.

ක්‍රමයෙන් ජනතාව පාලක පන්තියේ මෙම සෙල්ලම අවබෝධ කරගනිමින් සිටින අතර මූලික කරුණු ප්‍රශ්න කරමින් සිටියි. ජනතාවගේ සාධාරණ කේන්තිය පාලනය කිරීම සඳහා පාලක පන්තිය වැඩි වශයෙන් අධිරාජ්‍යවාදීන්, හමුදාව සහ වැඩවසම් ක්‍රම වල සහය පතයි.

මූලධර්මවාදය ඉහළ දැමීම, වැඩවසම් ක්‍රමයන්ට වැඩි වැදගත්කමක් ලබාදීම, ආරක්ෂක විධිවිධාන තර කිරීම, මිලිටරිකරණය සහ බහුජාතික සමාගම් රට තුළට ගෙන්වා ගැනීම ආදිය පාලකයින් සිය පැවැත්ම උදෙසා යොදාගන්න බාල උපක්‍රම වෙයි. ‘රාම ජන්ම භූමි‘, ‘සති‘, තවද 1960-61 තිබූ රුපියල කෝටි 281 සිට 1990-91 වන විට රුපියල් කොටි 17565 කට වැඩිවී තිබීම සහ ‘ලිබරල්කරණය‘ආදිය වර්තමාන පාලක පන්තිය බලයේ රෑඳී සිටීමට ගන්නා උත්සාහයේ තාර්කික ප්‍රතිඵලයන්ය.

නමුත් ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට මූලික ප්‍රශ්න බොහෝමයක් පවතී. වපුරන්නේ කවුද එහි අස්වැන්න නෙලන්නේ කවුද? ඉහළ පන්තියේ 10% ක් පමණ දෙනාගේ සහ වොෂින්ටනයේ, ලන්ඩනයේ මොස්කව්හි හා තවත් තැන් වල සිටින ඔවුන්ගේත් ස්වාමීන්ගේ කෑදර බව සන්තර්පනය කිරිම සඳහා ඉන්දියානු ජනතාවගේ රුධිරය සහ දහදිය නාස්ති කළ යුත්තේ ඇයි? බොහෝ සම්පත් වලින් බහුල මෙම භූමියේ ජනතාව සාගින්නෙන් සහ මූලික අවශ්‍යතා නොමැති බවින් මියයාමට සිදුවී තිබෙන්නේ ඇයි? අතිවිශාල විදේශීය ණය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුද? දිගින් දිගටම වර්ධනය වන ආනයන මගින් ඉටු කරන්නේ කාගේ අවශ්‍යතාවයන්ද?

AIRSF ප්‍රකාශනය මගින් දක්වා ඇති පරිදි ‘අධිරාජ්‍යවාදය සමග බැඳී සිදුකරගෙන යන මහා ධනපතියන්ගේ සහ ඉඩම්හිම් පන්තියේ පාලනය ප්‍රගතියට ඇති විශාලම බාධකය වන අතර අතිමහත් සූරාකෑම සහ කොල්ලකෑම දිගින් දිගට සිදුකරගෙන යාමේ අවශ්‍යතාවය වෙනුවෙන් පරිහානියට ලක්වූ කුණු වූ වැඩවසම් ක්‍රමය ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යාමත් සමහර ස්ථාන ඒ ආකාරයට සකස් කිරීමත් සිදුකරනු ලබයි. අඛණ්ඩව සිදුවන ඉඩම් හිමිකමේ අඩන්තේට්ටම් සමග දරිද්‍රතාවය සහ ණයකාරීත්වයද පිමි වලින් වැඩිවන අතර එමගින් ගොවීන්ගේ දුප්පත්කම වැඩිවන අතර කෘෂිකාර්මික ශ්‍රමිකයන් ගේ ප්‍රමාණය ද වැඩිවේ. ආහාර බීජ වල හිඟය තීව්ර වී ඇත අතර ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම අනතුරුදායක අනුපාත වලින් වැඩිවෙයි.’

කෘෂිකර්මාන්තයේ මෙම අර්බුදය කාර්මාන්ත සංවර්ධනයටද බාධා පමුණුවයි. මෙම එක තැන පල්වීම සහ අර්බුදයෙන් බේරීමට ධනපතියන් විශාල වශයෙන් අධිරාජ්‍යවාදී රටවල් වලින් ණය සහ ආධාර (සෝවියට් සමාජ අධිරාජ්‍යවාදය විසින් ලබාදුන් ඊනියා ‘සමාජවාදී ආධාර‘ ඇතුළත්ව) ගැනීම මත පදනම් වෙයි. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ ලෝක බංකුවෙන් ගත් ණය මේ සම්බන්ධ වැදගත් සාධක වෙයි. කෙසේ නමුත්, මෙලෙස වැඩි වූ අධිරාජ්‍යවාදී ණය වල ග්‍රහණය විසින් ආර්ථික අර්බුදය තවදුරටත් තීව්ර කරනු ඇත…’

ඉන්දියානු ආර්ථිකයේ ඉතා බරපතල අර්බුදයක් පවතින බව සියලුදෙනා එකඟ වෙන කරුණක් වුවද එයට හේතුව සහ විසඳුම සම්බන්ධයෙන් විවිධ මත පළවෙයි. AIRSF විශ්වාස කරන්නේ මෙම අර්බුදය පාලක පන්තිය වන මහ ධනපතියන් සහ ඉඩම් හිමි පන්තිය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවයි. එබැවින් AIRSF  අවබෝධ කරගෙන ඇත්තේ නිර්ධන පන්තිය විසින් නායකත්වය ලබාදෙන වැඩකරන ජනතාවගේත් ගොවීන්ගේත් විප්ලවය සන්ධානයක් මගින් පාලක පන්තිය නෙරපා හැරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදුකල යුතු බවයි.

එබැවින් ඉන්දියානු ජනතාව සතු ඓතිහාසික කාර්යභාරය නම් අධිරාජ්‍යවාදය සහ මෙහි සිටින එහි ගැත්තන්ට එරෙහි දේශපාලන ස්ථාවරයක් ගැනීම සහ ආර්ථික අර්බුද ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් විසඳන නව ඉන්දියාවක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ට එරෙහිව සටන් කිරීමය.

ඉන්දියාව, IMF සහ මිත්‍යාව