නිර්ධන පන්ති දේශපාලන පක්‍ෂය

SHARE

රාජ්‍ය බලය අරමුණු කර ගත් සංවිධාන පොදුවේ දේශපාලන පක්‍ෂ ලෙස හඳුන්වනු ලබන අතර, මෙහි දී අප විසින් සලකා බලනු ලබන්නේ නිර්ධන පාන්තික රාජ්‍ය බලය අරමුණු කර ගත් සංවිධානයක් සතු විය යුතු මූලික ලක්‍ෂණ පිළිබඳව ය. රාජ්‍ය බලය අරමුණු කර ගත් නිර්ධන පන්ති දේශපාලන ව්‍යාපාරයක් සම්පූර්ණ කර ගත යුතු සාධක ගණනාවක් අතුරින් නිර්ධන පන්ති පක්‍ෂයක අවශ්‍යතාව ප්‍රමුඛ වේ.

නිර්ධන පාන්තික පක්‍ෂය යනු කුමක් ද?

පක්‍ෂය යනු පන්තියේ අරමුණු නියෝජනය කරන පන්තියේ දියුණුතම කොටස්වල සංවිධානාත්මක එකතුවයි. එය පන්තියේ සටන් උපකරණයයි. නායකයා සහ මඟ පෙන්වන්නා ද පක්‍ෂයයි. පහත දැක්වෙන්නේ පක්‍ෂයක් පිළිබඳ ෆිදෙල්ගේ අවධාරණයකි.

“පක්‍ෂය ජනතාවගේ පෙරමුණු බලඇණියයි. ජනතාවගේ ආරක්‍ෂාවේ පළිහයි. පෙරමුණු බලඇණියක් බඳු පක්‍ෂයක් තිබීම අතිශය මූලධාර්මිකයි. විප්ලවය ආරක්‍ෂා කරන්නේ කවුරුන් දැයි ඔබ දන්නෙහි ද? ඒ පක්‍ෂයයි.
“විප්ලවයට ස්ථාවරභාවයක් සහ පැවැත්මක් ලබා දෙන්නේ කවුරුන් ද? ඒ පක්‍ෂයයි. විප්ලවයට අනාගතයක් සහතික කරන්නේ කවුරුන් ද? ඒ පක්‍ෂයයි. විප්ලවයට ජීවය ලබා දෙන්නේත්, විප්ලවයට අනාගතයක් දෙන්නේත් පක්‍ෂයයි. පක්‍ෂයෙන් තොර විප්ලවය නොපවතී.”

ෆිදෙල් කස්ත්‍රෝ – 1974 මාර්තු 14.

පක්‍ෂයක් ගොඩනැඟෙන්නේ සාමාජික, සාමාජිකාවන්ගෙන්, ඔවුන්ට නායකත්වය දෙන නායක මණ්ඩලවලින් සහ නායකයන්ගෙනි.

මෙම නිර්ධන පන්ති පක්‍ෂය පවත්වාගෙන යාමේ දී නිවැරැදි න්‍යායක් තිබීම සහ න්‍යාය නිවැරැදිව භාවිතාවට නැඟීමට සමත් නිර්මාණශීලී නායකත්වයක් තිබීම මෙන් ම ඒ සඳහා කැප වූ වෘත්තීය විප්ලවවාදීන් පිරිසක් සිටීම ද අත්‍යවශ්‍ය වේ. ඒ පිළිබඳ ලෙනින්ගේ අදහස මෙසේ ය :

“විප්ලවීය න්‍යාය නොමැතිව විප්ලවවාදී ව්‍යාපාරයක් තිබිය නොහැකි ය.

“අපට මෙහි දී සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ පෙරමුණු සටන්කරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන්නේ ඉතාමත් දියුණු න්‍යායෙන් මඟපෙන්වීම ලබන පක්‍ෂයකට පමණක් ය යන්න පමණි.”

ලෙනින්, තෝරා ගත් කෘති, 01 වෙළුම, 136-137 පිටු

පසුව භාවිතාව ගැන ලෙනින් මෙසේ කියයි :

“නිවැරැදි විප්ලවවාදී න්‍යායක් තිබිම එම කොන්දේසි නිර්මාණය වීමට පහසුවක් වන නමුත්, න්‍යාය ඇදහිල්ලක් නොවන්නේ ය. න්‍යාය එහි අවසන් හැඩහුරුව ලබන්නේ සැබැවින් ම පොදුජන සහ සැබැවින් ම විප්ලවවාදී ව්‍යාපාරයක ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය හා සමඟ සමීප සම්බන්ධයක් ඇතිව පමණකි.”

ලෙනින්, තෝරා ගත් කෘති, 01 වෙළුම, 135 පිටුව.

එසේ ම වෘත්තීය විප්ලවවාදීන්ගේ අවශ්‍යතාව පිළිබඳව ද ලෙනින් පැහැදිලි කළේ මෙසේ ය :

“සංවිධාන සම්බන්ධයෙන් මා ඥානවන්තයන් යනුවෙන් සඳහන් කරන්නේ වෘත්තීය විප්ලවවාදීන් ය.” ඔවුන් සංවිධානය වී ආවේ ශිෂ්‍ය්‍යන් අතරින් ද නැතහොත්, කම්කරුවන් අතරින් ද යන්න නොතකා එම හැඳින්වීම කර තිබේ.

1. අවිච්ඡේදව පවත්වාගෙන යනු ලබන නායකයන්ගේ සංවිධානයක් නොමැතිව කිසි ම විප්ලවවාදි ව්‍යාපාරයකට පැවැතිය නොහැකි බවත්

2. ව්‍යාපාරයේ පදනම වන සහ අරගලයට සාංසිද්ධික වශයෙන් ඇදී එන පොදු ජනකාය පුළුල් වන තරමට (විවිධ වර්ගයේ කෛරාටිකයන්ට වඩාත් නොදියුණු පොදුජන කොටස නොමඟ යැවීම ඉතා පහසු වන නිසා) එවැනි සංවිධානයක අවශ්‍යතාව වඩාත් හදිසි වන බවත්, එය වඩාත් ශක්තිමත් විය යුතු බවත් ;

3. එවැනි සංවිධානයක් ප්‍රධාන වශයෙන් ම සමන්විත විය යුත්තේ වෘත්තියක් වශයෙන් විප්ලවවාදී කටයුතුවල යෙදි සිටින අයගෙන් වන බවත් මම ස්ථිර වශයෙන් ප්‍රකාශ කරමි.”

ලෙනින්, තෝරා ගත් කෘති 01 වෙළුම, 247 පිටුව.

මේ අනුව සංවිධාන මූලධර්මය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය මත ගොඩනඟන සංවිධානයක් තිබීම, එයට නිවැරැදි න්‍යායකින් මඟපෙන්වීම මෙන් ම වෘත්තීය විප්ලවවාදීන්ගෙන් සමන්විත වීම නිර්ධන පන්ති පක්‍ෂය සතු මූලික ගුණාංගයි. මෙම සමස්ත ගුණාංග අඩංගු පක්‍ෂයක් බොල්ෂෙවික් පක්‍ෂයක් ලෙස හඳුන්වන අතර මෙම බොල්ෂෙවික් සංකල්පය තුල ගැබ්වී ඇති දේශපාලන හරය වන්නේ,

සමාජ පරිවර්තනයකට නායකත්වය දිය හැකි ඒ සඳහා පන්ති බලවේග සංවිධානය කරගත හැකි හා ඒවා මේහෙය විය හැකි අයෝමය විනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මධ්‍යගත සංවිධානයක් යන්නයි. ඒ අතරම එය තත්වයන් මත උපක්‍රම වෙනස්කර ගැනීමේ මෙන්ම එක් උපක්‍රමයක සිට තවත් උපක්‍රමයකට මාරුවීමේ නම්‍යතාවයද සහිත සංවිධානයක් විය යුතුය, තවදුරටත් එය කේඩරීය සීමාව ඉක්මවා ගිය පුළුල් බහුජන සංවිධානයක් ද විය යුතුය.

“බලය අල්ලා ගැනීම සඳහා කරන සටනේ දී නිර්ධන පන්තියට සංවිධානය හැර අන් අවියක් නොමැත. ධනවාදී ලෝකයේ අරාජිකවාදී තරගයේ පාලනය නිසා අසමඟි වී සිටින, ප්‍රාග්ධනය සඳහා බලහත්කාරයෙන් ශ්‍රමය වැය කිරීමට යට වී සිටින, අන්ත දුගීබවේත්, ම්ලේච්ඡත්වයේත්, දිරාපත් වීමේ ‘පාතාලයට’ නිරතුරුව ම තල්ලු කරනු ලබන නිර්ධන පන්තිය නොවැළැක්විය හැකි සේ අනභිභවනීය බලවේගයක් බවට පත් විය හැක්කේත්, එසේ වනුයේත් මාක්ස්වාදී මූලධර්ම මත ගොඩනඟන දෘෂ්ටිමය සමඟි කිරීම මඟින් පමණි.”

ලෙනින්, තෝරා ගත් කෘති, 02 වෙළුම, 234 පිටුව

නිර්ධන පන්ති දේශපාලන පක්‍ෂය