සමාජවාදය සහ කාන්තා නිදහස

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සෑම මාර්තු 08වැනිදාවක්ම ලොව පුරා කාන්තා සංවිධානවලට විශේෂ දිනයක් වන්නේ, එදින ජාත්‍යන්තර කාන්තා දිනය වන නිසාය. එදිනට කවුරුත් කාන්තා පීඩනය හා කාන්තා අයිතිවාසිකම් ගැන කථා කරති. ඒවා වහ වහා ලබා දෙන ලෙසට බල කරති. එහෙත් සැබෑ ලෙසම කාන්තා අයිතිවාසිකම් දිනා ගත හැක්කේ කෙසේද යන්න සාකච්ඡාවෙන් බැහැර වීමට බොහෝ දෙනෙක් උත්සාහ කරති. අනෙක් අතට බොහෝ රාජ්‍ය නොවන කාන්තා සංවිධාන හා ආණ්ඩු ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ විලාසිතාවක් ලෙසට පමණි.
මිනිස් ඉතිහාසය තුළ ලොව කිසියම් හෝ රාජ්‍යයක් කාන්තා නිදහස වෙනුවෙන්, කාන්තා විමුක්තිය වෙනුවෙන් සංවිධිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළා නම් හා ක්‍රියාත්මක කළා නම් එය ප්‍රථම වරට සිදු කරනු ලැබුවේ සමාජවාදී රුසියාව විසිනි. ඒ දක්වා අනෙකුත් සියලුම කාන්තා සංවිධාන සටන් වැද තිබුණේ කාන්තාවන්ට වැඩි දේශපාලන අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පමණකි. සමාජවාදය කාන්තාවගේ සැබෑ නිදහස දිනා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රායෝගිකව මැදිහත් විය. සමාජවාදය කාන්තාවට ප්‍රබලතම දේශපාලන අවස්ථා උදා කර දුන්නා පමණක් නොව ක්‍රියාකාරකම්වලද විප්ලවීය වෙනසක් ඇති කරනු ලැබී ය. කාන්තාවට සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්‍රියාකාරීත්වයේ සමාන අවස්ථා සහතික කළේය. සමාජවාදය මානව ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණ රැසක් කාන්තාවට දිනා දුන්නේ ය.
බොහෝ කාන්තා සංවිධාන සමාන වැඩට සමාන වැටුප්, සමාන අධ්‍යාපනික හා රැකියා අවස්ථා, මූල්‍ය හා නෛතික නිදහස, ප්‍රචණ්ඩත්වයට හා ලිංගික හිංසනයට එරෙහි නිදහස ආදී සටන් පාඨවලට පිවිසෙන්නේ ඉන් පසුවය. අද දවස තුළ වුවද ඔවුන් එකී ඉල්ලීම් ඉල්ලා සිටිනුයේ ධනේශ්වර සමාජයෙනි. ධනේශ්වර ක්‍රමයට තවදුරටත් කාන්තාවට සැබෑ නිදහස දිනා දිය නොහැකි බව ඔවුහු නොදනිති; නැතහොත් එය වුවමනාවෙන්ම අමතක කරති.

කාන්තාව හා දේශපාලන අයිතිවාසිකම්

කාන්තාවට හිමි දේශපාලන අයිතිවාසිකම් සැබෑ ලෙසම තහවුරු කරනු ලැබුවේ සමාජවාදය විසිනි. බලය ලබා ගැනීමට පෙර සිටම වමේ ව්‍යාපාරය කාන්තාවන් දේශපාලනය වෙත කැඳවා ගැනීම සඳහා අඛණ්ඩ අරගලයක් සිදු කළේය. සමාජවාදය පිහිටුවීමෙන් පසු සමාජවාදී ව්‍යවස්ථාවෙන්ම කාන්තාවන්ට දේශපාලනය කිරීමට, වෘත්තීය සමිතිවලට බැඳීමට ඇති අයිතිය තහවුරු කරනු ලැබී ය. සමාජවාදය තුළ දි කාන්තාව සමාජ ක්‍රියාකාරිත්වයට කැඳවන ලදී. ඔවුන්ටද පිරිමින්ට මෙන් කරට කර සමාජ ක්‍රියාකාරිත්වයේ නියැලීමට ඉඩකඩ නිර්මාණය කර දෙනු ලැබිය. උදාහරණයක් ලෙස කියුබාවේ වයස අවුරුදු 14ට වැඩි කාන්තාවන්ගෙන් 90.6%ක් කියුබානු කාන්තා සමිති සම්මේලනයේ සාමාජිකාවන් ලෙස සමාජ ක්‍රියාකාරිත්වයේ නියැලෙති. කියුබානු පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 53.22%කි. එය දෙවෙනි වන්නේ රුවන්ඩාවට පමණි. එක්සත් ජනපද කොංග්‍රසය තුළ කාන්තා නියෝජනය යන්තම් 17%ක් පමණි. පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයේ ලෝක සාමාන්‍යය වන්නේ 23.4%කි.
රට පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය (%)
1.රුවන්ඩාව 61.3
2.කියුබාව 53.22
3.ආර්ජන්ටිනාව 38.1
4.ඉක්වදෝරය 38
5.ලෝක සාමාන්‍යය 23.4
6.චිලිය 22.6
7.එක්සත් ජනපදය 17

කාන්තාව හා රැකියා අවස්ථා

කාන්තාව සමාජ ක්‍රියාකාරිත්වයට කැඳවීමට නම් එක් පූර්ව කොන්දේසියක් වන්නේ, ඇය වෙත පැවරුණ පවුලේ සහ දරුවන්ගේ කටයුතුවලින් ඇය නිදහස් කිරීමයි. ආහාර පිසීම, දරුවන් රැකබලා ගැනීම සමාජමය කටයුත්තක් බවට පත් කිරීමයි. සමාජවාදය විසින් ඒ සඳහා පළමු පියවර තබනු ලැබිණි. ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, ළදරු පාසැල්, පොදු ආපන ශාලා සමාජවාදය විසින් ගොඩනගන ලදී. සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපන පහසුකම් රජයේ වගකීමක් ලෙස නොමිලයේ සැපයිණි. එවන් වටපිටාවක් තුළ කාන්තාවන්ට පිරිමින් හා සමානව අනෙකුත් රැකියාවන්හි නිරත වීමට ඉඩකඩ විවර විය.
1935 වසරේ දී සමාජවාදී රුසියාවේ එක් එක් රැකියා ක්ෂේත්‍රය සඳහා කාන්තා සහභාගිත්වය පහත සඳහන් අයුරින් විය.
ක්ෂේත්‍රය කාන්තා සහභාගිත්වය (%)
1.ජාතික ආර්ථිකය තුළ 33.4
2.මහා පරිමාණ කර්මාන්ත තුළ 38.3
3.ගොඩනැගීමේ ක්ෂේත්‍රය 19.7
4.ප්‍රවාහන ක්ෂේත්‍රය 16.6
5.වෙළෙඳ හා මහජන කටයුතු 39.4
6.අධ්‍යාපන/සෞඛ්‍යය/පරිපාලන 48.8
7.කෘෂි කර්මාන්තය 27

කියුබාවේ රාජ්‍ය සේවයේ නියුතු අයගෙන් 48%ක් කාන්තාවන්ය. පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවන්ගෙන් 48%ක් කාන්තාවන් විසින් සිදු කරනු ලබයි. නීති ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයගෙන් 80%ක්ම කාන්තාවන්ය. විප්ලවයට පෙර කියුබාවේ ඉංජිනේරුවරියන් සිටියේ 5%කි. දැන් එය 24% දක්වා වර්ධනය වී තිබේ. එක්සත් ජනපදයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයගෙන් කාන්තා ප්‍රතිශතය 11%ක් පමණි.
මීට අමතරව සමාජවාදය විසින් සමාන වැඩට සමාන වැටුප් ගෙවීම තහවුරු කරන ලදී. එසේ ම අනතුරුදායක රැකියාවලින් කාන්තාව හැකි සෑම විටම මුදවනු ලැබිණි.

විවාහය, පවුල හා කාන්තාව

විවාහය තුළදී කාන්තාවට මුහුණ පෑමට සිදු වූ අසමාන හා පීඩාකාරී තත්වයන්ද සමාජවාදය විසින් තීරණාත්මක වෙනසකට ලක් කරනු ලැබිණි. විවාහය හුදු පුරුෂාධිපත්‍යයේ ප්‍රකාශනයක් නොව දෙපාර්ශවයේ කැමැත්ත මත සිදු කිරීමටත් දැවැද්ද අහෝසි කිරීමටත් පියවර ගැනුණි. දික්කසාද වීමේ අයිතිය පිරිමියාට පමණක් නොව කාන්තාවන්ටද හිමි විය. ධනවාදයේදී පවුලේ දේපළ පිරිමියා සතු වුවද සමාජවාදය තුළදී එය දෙදෙනාටම පොදු දෙයක් බවට පත්කෙරිණි. වෙන්ව යාමේදී තම තමන්ගේ දේපළ තම තමන්ට හිමි විය. පවුල හැර යන්නා විසින් දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වන්දි ගෙවිය යුතු විය. එවන් පවුල් වෙනුවෙන් සමාජවාදය තුළ දී සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් තිබුණද වන්දි ගෙවීම අනිවාර්යය විය.
දික්කසාදයට ඉඩ දුන් පමණින් ධනවාදයේදී මෙන් සමාජවාදයේදී පවුල නැමැති ඒකකය කිසිදු වැදගැම්මකට නැති දෙයක් සේ සැලකීමට ඉඩ නොතබන ලදී. යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමටත් යහපත් පවුල් වටපිටාවකදී දරුවන් ඇති දැඩි කිරීමටත් දිරිගන්වනු ලැබිණි.
ගබ්සාව නිත්‍යනුකූල කළ පළමු රට වන්නේ සමාජවාදී සෝවියට් දේශයයි. විප්ලවයට පෙර කියුබාව තුළ ගබ්සාව නිතිවිරෝධී නොවුණි. එහෙත් එය මිල අධික විය. මේ නිසා සාමාන්‍ය කියුබන් ජනතාවට ගබ්සාව සිදු කර ගැනීමට සිදු වූයේ අනතුරුදායක තත්වයන් යටතේය. සෞඛ්‍යාරක්ෂිත නොවන නුපුහුණු පිරිස් අඩු මුදලට ගබ්සාව සිදු කළ අතර මේ නිසා සිදු වූ මරණ ප්‍රතිශතය ඉතා විශාලය. සමාජවාදී කියුබාවේද ගබ්සාව නීතිවිරෝධී නොවේ. එහෙත් ගබ්සාව කාන්තාවගේ කැමැත්තෙන් තොරව සිදු වුවහොත්, එය මුදල් අය කරමින් සිදු කළ හොත්, නුපුහුණු පුද්ගලයන් විසින් සිදු කරනු ලැබූවොත් හෝ කියුබාවේ සෞඛ්‍යය සේවාවට අයත් නොවන ආයතනයක් තුළ සිදු කළ හොත් එය නීති විරෝධී වන්නේය. කියුබාව තුළ උපත් පාලන ඖෂධ හා උපකරණ, ගබ්සා කිරීමට අවශ්‍ය සේවාවන් රාජ්‍යය විසින් නොමිලයේ ලබා දෙන්නේ දරුවන් පිළිබඳව කාන්තාව සතු අයිතියට ගරු කරමිනි.

අධ්‍යාපන අවස්ථා හා කාන්තාව

සමාජවාදය තුළදී රටේ සියලු ජනතාවට භේදයකින් තොරව අධ්‍යාපන පහසුකම් සමාන ලෙස ලබා දෙයි. එහි උපරිම වාසිය ලබා ගන්නේ කාන්තාවයි. උදාහරණයක් ලෙස කියුබාවේ සරසවි සිසුන් අතරින් 80%ක්ම කාන්තාවන්ය. එහෙත් එක්සත් ජනපදයේ සරසවි සිසුන් අතරින් කාන්තාවන් සිටින්නේ 57%ක් පමණි. කියුබාවේ උපාධිධාරීන් අතරින් 68%ක් කාන්තාවන් වන අතර එක්සත් ජනපදයේ එය 57%කි. විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ නිරත වූවන් අතරින් 50%ක් කාන්තාවෝ වෙති. උසස් පුහුණු තාක්ෂණ ශිල්පීන් හා වෘත්තිකයන් අතරින් 66%ක්ම කාන්තාවන්ය.

ක්‍රීඩාව හා කාන්තාව

සමාජවාදය විසින් කාන්තාව පිරිමින් සේම සෑම ක්ෂේත්‍රයකම ජයග්‍රාහකයන් බවට පත් කරනු ලැබීය. විශේෂයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේදී, කාන්තාව සිටියේ ඉතාම පසුගාමී මට්ටමකය. සෝවියට් දේශය තුළ 1935 පමණ වෙද්දී කාන්තාවද ක්‍රීඩා ක්ෂේත්‍රයේ සැලකිය යුතු සහභාගිත්වයක් පෙන්නුම් කළේය. විප්ලවයට පෙර ඉතාම පසුගාමී තත්ත්වයක සිටි කාන්තාව 1935 පමණ වෙද්දී ක්‍රීඩා ක්ෂේත්‍රයට කැඳවා ජාත්‍යන්තර වාර්තා හිමිකර ගත් කාන්තාවන් 03 දෙනෙකු බිහිකිරීමට සමාජවාදී සෝවියට් දේශයට හැකි විය. එනම් මීටර් 300/400/500 සඳහා ජාත්‍යන්තර වාර්තා හිමිකර ගත් බුයිකෝවා, හෙල්ල විසි කිරීම සඳමා වාර්තා තැබූ මැස්ලෝවා සහ හිම මත ලිස්සා යාම සඟා ලෝක වාර්තාව තැබූ කැස්නෙට්සෝවා යන අයයි.
සෝවියට් දේශය පළමු වරට ඔලිම්පික් උළෙලකට සහභාගි වන්නේ 1952දීය. එතැන් සිට 1988 දක්වා පැවති ඔලිම්පික් උළෙල අතරින් එක් උළෙලකට හැර අනෙකුත් සියලුම උළෙලයන්ට එරට සහභාගි විය. මෙම කාලය තුළ සෝවියට් දේශය ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්ව සඳහා කාන්තාවන් 41 දෙනෙකු ඉදිරිපත් කළ අතර ඔවුහු සෝවියට් දේශයට පදක්කම් 88ක් දිනා දුන්හ.
ඔල්ගා කෝබට් (ධකට් ණදරඉමඑ) 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ කාන්තා ජිම්නාස්ටික් තරඟාවලියේ රන් පදක්කම්ලාභිනිය යි. එතැන් සිට ඇය සෝවියට් දේශය වෙනුවෙන් ක්‍රීඩා කර රන් පදක්කම් 04ක් සහ රිදී පදක්කම් 01ක් දිනා දුන්නාය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇය 1991දී එක්සත් ජනපදයට සංක්‍රමණය වූවා ය. ඉන්පසු ඇයට වසර 61දී ජීවත් වීමට නොහැකිව රන් පදක්කම් 04න් දෙකක් සහ රිදී පදක්කම විකුණා දැමීමට සිදු විය. ඒ, 2017 වසරේ පෙබරවාරි 28 වන දිනය. ඇය පදක්කම් ඩොලර් 333,504කට වෙන්දේසි කළාය. ධනවාදය විසින් ඇයට අත්කර දුන්නේ එවැනි ඉරණමකි. 2017 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැත්වූයේද ඉන් සතියකට පසු උදාවූ මාර්තු 08 වනදාය.
එසේ ම අභ්‍යවකාශයට පිවිසි ප්‍රථම කාන්තාව වූ වැලන්ටිනා තෙරස්කෝවා බිහි වූයේද සමාජවාදී සෝවියට් දේශයෙනි.
මේ සියලු කරුණුවලින් තහවුරු වන්නේ, සැබෑ කාන්තා නිදහසත් කාන්තා අයිතීනුත් ලබා දිය හැක්කේ සමාජවාදයට පමණක් බවය.

සමාජවාදය සහ කාන්තා නිදහස