සමාජවාදයේ සමාජ රැකවරණ ජාලය

SHARE

අප රටේ ජනගහනය වයස්ගත වෙමින් තිබේ. එනම් රටේ ජනගහනයෙන් තරුණ පිරිසට සාපේක්ෂව වයස්ගත පිරිස වැඩිවීමයි. මෙය අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිදුවෙමින් පවත්නා දෙයකි. විශේෂත්වය වන්නේ, එය අප රට තුළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබීමය. මාධ්‍ය මගින් දිනපතා පළකරන පුවත් අතරේ දරුවන් විසින් සිය දෙමව්පියන් මහමඟ දමායන, නොසලකා හරින ප්‍රවෘත්ති වැඩි වැඩියෙන් පළවන්නේ එහි ප්‍රකාශනයක් ලෙසටය. බොහෝ දෙනෙක් එසේ දෙමව්පියන් මහමඟ දමායන දරුවන්ට දොස් පවරා සෑහීමකට පත්වෙති.
දශක තුනකට වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමාවට පත්වීමෙන් අනතුරුව කිසිදු පිළිසරණක් නොමැතිව ජීවත්වන ආබාධිතයෝ, වැන්දඹුවෝ, දේපළ අහිමිවූවෝ අප රටේ කොතෙකුත් සිටිති. එවැනි ගැටලුද සමාජ ප්‍රශ්න ලෙස පවතින අතර ධනේශ්වර පාලකයෝ එකී ප්‍රශ්න නිරාකරණය සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු නොකරති. ඒවායේ ප්‍රතිඵල ලෙස මිනීමැරුම්, සිය දිවිනසා ගැනීම්, මානසික රෝගී තත්වයන්, හොරමැරකම්, සමාජ අපචාරයන් දිනෙන් දින වර්ධනය වේ.
සමාජය දෙමව්පියන්ට නොසලකන, වැඩිහිටියන්ට නොසලකන දූදරුවන්ට බැනවදිමින්, සමාජ අපචාරයන් සිදුකරන්නන්ට බැණවදිමින් සිටින අතර තත්වයේ බරපතළකම දිනෙන් දින වර්ධනය වේ. සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින මෙම සමාජ ප්‍රශ්නය එක් එක් පුද්ගලයාගේ වරදක් නොව ධනේශ්වර පාලකයන්ගේ හා ධනේශ්වර ක්‍රමයේ අසමත්කම හේතුවෙන් පවතින්නක් හා වර්ධනය වන්නක් බවත් මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ සමාජමය වශයෙන් බවත් තේරුම් ගන්නේ අතළොස්සකි.
සමාජවාදය තුළදී වයස්ගතවූවෝ, ආබාධිතයෝ, යුද්ධයෙන් අසරණවූවෝ, වැන්දඹුවෝ අත්හැර දමනු නොලැබෙති. ධනේශ්වර ක්‍රමය මගින් ඔවුන් අත්හැර දමනු ලබන්නේ ඔවුන් කාර්යක්ෂම ලෙස අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය සඳහා යොදාගත නොහැකි බැවිනි; ඔවුන්ගෙන් කාර්යක්ෂම ලෙස ලාභ උපයාගත නොහැකි බැවිනි. එහෙත් සමාජවාදය තුළදී ඔවුන්ද මිනිසුන් ලෙස සලකනු ලැබේ. ඔවුන් රැකබලා ගැනීම, නඩත්තු කිරීම, ඔවුන්ගේ ගැටලු විසඳීම දූදරුවන්ට හෝ භාරකරුවන්ට බාරදී අත්හැර නොදමයි. ඒ වෙනුවට සමාජමය වශයෙන් ඔවුන් රැකබලා ගැනීම, නඩත්තු කිරීම හා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සැපයීම සිදුකරනු ලබයි. ඒ සඳහා රජය වගකියන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නගනු ලබයි.

සෝවියට් දේශයේ ව්‍යවස්ථාවේ මෙසේ සඳහන්ව තිබුණි.

“සෝවියට් සමාජවාදී ජනරජයේ පුරවැසියන්ට සිය ජීවිතයේ මහලු අවධියේදී පමණක් නොව රෝගී අවස්ථාවකදී සහ ආබාධිත අවස්ථාවකදී යැපීම සඳහා අයිතිය ඇත. මෙම අයිතිය තහවුරු කරනු ලබන්නේ රජයේ වියදමින් පුළුල්ව සංවර්ධනය කෙරෙන වෘත්තියන්ගේ, කාර්යාල සේවකයින්ගේ, කර්මාන්තශාලා සේවකයින්ගේ සමාජ රක්ෂණයෙන්, වැඩ කරන ජනතාව සඳහා නොමිලයේ සැපයෙන වෛද්‍ය පහසුකම්වලින් හා වැඩකරන ජනතාවගේ භාවිතය සඳහා පුළුල් සෞඛ්‍ය නිකේතන ජාලයන් සපයා දීම මගිනි.”

(120 වගන්තිය. 1936 සෝවියට් ව්‍යවස්ථාව – 1956 සංශෝධනයෙන් පසුව)

බොහෝ ධනේශ්වර රටවල ව්‍යවස්ථාවෙන් සහතික කරන අයිතින් ප්‍රායෝගිකව නොලැබේ. එහෙත් සමාජවාදී සෝවියට් දේශය තුළ එය එසේ නොවුණි. දියුණු යයි සම්මත ධනේශ්වර රටවලට පවා සාර්ථකයයි පිළිගැනීමට බල කෙරෙන ආකාරයේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ප්‍රායෝගිකවම එහි ක්‍රියාත්මක විය. 1958 වසරේදී සෝවියට් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ අධ්‍යයන කිරීමට ගිය එක්සත් ජනපද නියෝජිත කණ්ඩාමේ වාර්තාවේදී ඔවුන්ට මෙසේ ලිවීමට සිදුවූයේ එබැවිනි.

“සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩ සටහන් සෝවියට් දේශයේ ජනරජයන් 15ටම යොදා ගත හැකි වනසේ නීති හා ආඥා මගින් බලගන්වා තිබුණි. මෙම වැඩසටහන් විශාල වශයෙන් විමධ්‍යගත කර තිබුණද අදහාගත නොහැකි අන්දමින් සමාන ලෙස ක්‍රියාත්මක විය.”

(සෝවියට් සමාජවාදී ජනරජ සංගමයේ සමාජ ආරක්ෂණ වැඩසටහන්, 1959 අගෝස්තු – වාර්තාව)

සෝවියට් දේශය තුළ ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ වැඩසටහන් ආකාර කිහිපයකින් යුක්ත වූ අතර එමගින් වැඩිහිටියන්, ආබාධිතයින්, යුද්ධයෙන් පීඩාවට පත්වූවන් (දෙවැනි ලෝක යුද්ධයෙන්) රෝගීන්, ගර්භණී මව්වරුන්, විශේෂිත මව්වරුන්, විශේෂ උපකාර ලැබිය යුතු පවුල් ආදී ක්ෂේත්‍ර ගණනාවක්ම ආවරණය කෙරිණි.

විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ

විශ්‍රාම වැටුප් වැඩපිළිවෙළ ප්‍රධාන ආකාර 05කි. එනම් වැඩිහිටි විශ්‍රාම වැටුප් වැඩසටහන, ආබාධිතයන් සඳහා වන විශ්‍රාම වැටුප් වැඩ සටහන, විශේෂිත සේවා සඳහා වන විශ්‍රාම වැඩුප් වැඩසටහන, පුද්ගල විශ්‍රාම වැටුප් වැඩ සටහන ලෙසය. කාර්මික, වෙළඳ හා අනෙකුත් ක්ෂේත්‍රවල සේවයේ නියුතු අයටත්, ශිෂ්‍යයන්ටත්, පොදු වැඩෙහි යෙදී සිටියදී ආබාධිත තත්වයට පත්වූවන්ටත් මෙම විශ්‍රාම වැටුප්වලට හිමිකම් කිව හැකි විය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතුවූ අයගෙන් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමවලට හිමිකම් කිව හැකි වූයේ රජයේ ගොවිපලවල සේවයේ නියුතු අයට පමණි. සමූහ ගොවිපලවල ගොවීන්ට සමූහ ගොවිපළ විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ ආරක්ෂණ වැඩසටහන් පැවතුණි.
විශ්‍රාම වැටුප සඳහා ප්‍රතිලාභියාගෙන් දායකත්වයක් ලබා නොගත්තේය. ඒ සඳහා දායක වූයේ ප්‍රතිලාභියා සේවය කරන ආයතනයත්, රජයත්ය. විශ්‍රාම වැටුප් අරමුදලින් 50%ක් රජය දායක වූ අතර ආයතනය 50%ක දායකත්වයක් සැපයීය.
රජයේ පොදු විශ්‍රාම වැටුප් වැඩසටහනට අමතරව විශේෂිත විශ්‍රාම වැටුප් වැඩසටහනක්ද ක්‍රියාත්මක විය. උදාහරණයක් ලෙස ගුරුවරුන් සඳහා අභ්‍යන්තර ගුවන් සේවාවල නියමුවන් සඳහා, බැලේ නාට්‍යකරුවන් සඳහා ආදී වශයෙන් වූ විශ්‍රාම වැටුප් වැඩසටහන්ය. මීට අමතරව පුද්ගල විශ්‍රාම වැටුප් වැඩසටහනක්ද පැවතුණි. එය අදාළ වූයේ සමාජ, දේශපාලන හා වෙනත් ජයග්‍රහණයන් සඳහා දායකවූ පුද්ගලයන්ටය. එය එක් එක් කාර්යයේදී ඒ ඒ පුද්ගලයා දැක්වූ විශේෂිත දායකත්වය වෙනුවෙන් එම විශ්‍රාම වැටුප් රජය විසින් ඔවුන් වෙත ලබාදෙනු ලැබුණි.
මේ ආකාරයෙන් සමාජයේ සෑම පුරවැසියෙකුට සමාජ ආරක්ෂණ වැඩසටහන් මගින් ආවරණය කිරීමට සමාජවාදයට හැකි විය. මේ නිසා සමාජවාදය තුළදී වයස්ගත වූවන්, ආබාධිතයන්, රෝගීන් තවදුරටත් සමාජය විසින් නොසලකා හැරිනු ලැබුවේ නැත.

වැඩිහිටි විශ්‍රාම වැටුප

සෝවියට් දේශයේ විශ්‍රාම ගැන්වීමේ වයස පිරිමින් සඳහා වයස අවුරුදු 60ක්ද කාන්තාවන් සඳහා වයස අවුරුදු 55ක්ද විය. දුෂ්කර කාර්යයන්හි යෙදුන අය සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස ඊට වඩා අවුරුදු 05කින් අඩුවිය. භූගත, උණුසුම් හෝ සෞඛ්‍යයට හිතකර නොවන රැකියාවන්හි යෙදුන අයගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඊට වඩා වසර 10කින් අඩු විය.
1930 වසරෙන් පසු සෝවියට් දේශය තුළ රැකියා විරහිතයන් නොසිටි බැවින් ජනගහනයේ සෑම කෙනෙකුම විශ්‍රාම වැටුපකට හිමිකම් කීවේය. 1918 සිට 1930 දක්වා රජය විසින් රැකියා නොමැත්තන් සඳහා විරැකියා දීමනාවක් ගෙවනු ලැබිණි.
ධනවාදයේදී මෙන් සෝවියට් දේශයේදී අබලන් වූ වාහන මෙන් වැඩිහිටියන් වැඩිහිටි නිවාස තුළට ගාල් කරනු නොලැබිණි. වැඩිහිටියන් ජීවත් වූයේ ඔවුන්ගේ දූ දරුවන්, නෑදෑ හිතවතුන් සමඟය. මේ නිසා ඔවුන්ගේ මානව සබඳතා එලෙසම පවත්වාගෙන යාහැකි විය. දූදරුවන්ටද නිදහස් කාලයක් තිබූ බැවින් වැඩිහිටියන් පිළිබඳ සොයා බැලීමටත් ඔවුන් සමඟ කාලය ගත කිරීමටත් ඉඩකඩ ලැබිණි.

ආබාධිත විශ්‍රාම වැටුප

ආබාධිතවූවන් සඳහා ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් සෝවියට් දේශය තුළ ක්‍රියාත්මක විය. ආබාධිත තත්වය ඇතිවූයේ රැකියාවේ නිරතව සිටියදීද ආබාධිත තත්වය තාවකාලිකද ආදී කරුණු මත ආබාධිත විශ්‍රාම වැටුප කාණ්ඩ 18කට වර්ග කර තිබුණි.

යුද්ධයෙන් හෝ විපතකින් බේරුණ අය වෙනුවෙන් වූ විශ්‍රාම වැටුප

සෝවියට් දේශය තුළ දෙවන ලෝක යුද්ධයේදී ජීවිත බේරුණු අය සඳහාද විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක විය. මීට අමතරව කිසියම් විපතකින් බේරුණු අය සඳහාද එම විශ්‍රාම වැටුප් ක්‍රමය අදාළ විය.
යුද්ධයෙන් බේරුණු හෝ විපතකින් බේරුණු වයස අවුරුදු 16 හෝ 18ට අඩු පාසල් ළමුන් සඳහාද වයස අවුරුදු 55 හෝ ඊට වැඩි වැන්දඹුවන් සඳහාද අවුරුදු 08ට වඩා අඩු දරුවන් ඇති වැන්දඹුවන් සඳහාද මෙම විශ්‍රාම වැටුප ලබාදෙනු ලැබිණි.

රෝගී හා මාතෘ ප්‍රතිලාභ

සෝවියට් දේශය තුළ සෞඛ්‍ය සේවාව ජනතාවගෙන් සෑම අයෙකුටම නොමිලයේ රජය විසින් ලබා දෙනු ලැබිණි. එය සමාජ ආරක්ෂණ වැඩසටහනෙන් පරිබාහිරව ක්‍රියාත්මක විය.
රැකියාවේ යෙදෙන අතරතුරදී සිදුවන රෝගී තත්වයන් හා ආබාධිත තත්වයන් හේතුවෙන් වැටුප් නොලැබී යාමේදී ක්‍රියාත්මක වන ප්‍රතිලාභ ක්‍රමයක්ද සෝවියට් දේශය තුළ තිබුණි. සියලු මව්වරුන් සඳහා දරු ප්‍රසූතියට සති 08 කට පෙර සිට, ප්‍රසූතියෙන් සති 08ක් දක්වා මාතෘ ප්‍රතිලාභ ලබාදෙනු ලැබිණි.
අවශ්‍ය අයට විවේකාගාර පහසුකම් හා සෞඛ්‍ය නිකේතනවල රැකබලා ගැනීමේ ක්‍රමවේදයක්ද සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ක්‍රියාත්මක විය.

පවුල් දීමනා

හතර දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක් සිටින ගෘහයන් සඳහාද රජයෙන් ප්‍රතිලාභ ලැබිණි. දරුවන් ගණන වැඩිවන විටදී ලබා දෙන ප්‍රතිලාභද වැඩි විය. දරුවකුගේ වයස අවුරුදු 04 දක්වා මෙම ප්‍රතිලාභය ලබා දුන් අතර දරුවන් වැඩි ගණනක් සිටින මව්වරුන්ට අමතර ප්‍රතිලාභද රජය විසින් ලබාදෙන ලදී.
අවිවාහක මව්වරුන් සඳහාද රජය විසින් ප්‍රතිලාභ ලබාදෙනු ලැබීය. ලබාදෙන සහනය තීරණය කෙරුණේ වයස අවුරුදු 12ට අඩු දරුවන් කී දෙනෙකු සිටින්නේද යන කරුණ මතය.
මේ ආකාරයෙන් සමාජවාදය තුළ දී වයස් ගතවූ, අසරණභාවයට පත්වූ, රෝගී හෝ ආබාධිත තත්වයට පත්වූ කිසිවෙකු ධනවාදයේදී මෙන් අත්හැර දමනු ලැබුවේ නැත. එවැන්නන් රැකබලා ගැනීම දරුවන්ට හෝ භාරකරුවන්ට පවරා ආණ්ඩුව නිදහස් වූයෙද නැත. සමාජවාදී රජය ඔවුන් සැමගේ වගකීම භාරගත් අතර ඔවුන් සමාජමය වශයෙන් රැකබලා ගත්තේය. ධනවාදයේදී මෙන් ඔවුන් මානව සබඳතාවලින් ඉවත් කොට මහලු නිවාස හෝ ආබාධිතාගාරවලට ගාල් නොකළේය. ඔවුන්ද තම රටේ පුරවැසියන් සේ සලකා රැකබලා ගත්තේය. මේ නිසා සමාජවාදයේදී වයස් ගතවීම සමාජ ප්‍රශ්නයක් බවට පත් නොවුණි. ආබාධිතවීම, රෝගීවීම, හදිසි ආපදාවකට ගොදුරුවීම, දේපළ අහිමිවීම, වැන්දඹුවීම සමාජ ප්‍රශ්න බවට පත් නොවුණි.

සමාජවාදයේ සමාජ රැකවරණ ජාලය