සංස්කෘතිය සිරගෙයක්ද?

SHARE

සමාජයක, සංස්කෘතිය යනු එකම තැන පල්වෙන දෙයක් නොව කාලානුරූපව විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ඉදිරියට යන දෙයකි. මානව සංස්කෘතිය හැමවිටකම වෙනස්වී තිබෙන අතර ඒ වෙනස්වන සෑම විටකම ඊට ප්‍රතිවිරෝධයන්ද ඊට එරෙහි මතයන්ද තිබී ඇත. එහෙත් එම ප්‍රතිවිරෝධතා අතරම සංස්කෘතිය වෙනස්කම්වලට භාජනය වෙමින් අලුත් වෙමින් ඉදිරියට ගමන් කරමින් තිබේ.

මානව සංස්කෘතිය ඉදිරියට ගමන් කරන්නේ පැරණි සංස්කෘතික වටිනාකම් හා සංස්කාතික ලක්ෂණ මුළුමනින්ම අහෝසි කරමින් නොවේ. එසේම සංස්කෘතියට අලුත් දේ එකතු නොකර ගනිමින්ද නොවේ. සංස්කෘතිය ගමන් කරන්නේ අතීත සංස්කෘතික වටිනාකම් හා සමහර ලක්ෂණ රැකගනිමින්, වර්ධනය කරමින් හා අලුත් සංස්කෘතික වටිනාකම් හා ලක්ෂණ එකතුකර ගනිමිනි. එහිදී නොගැලපෙන සමහර සංස්කෘතික ලක්ෂණ අභාවයට යන අතර සමහරවිට වර්තමානයට නොගැලපෙන ලක්ෂණ දිගුකලක් පවතින තත්වයන්ද තිබේ. එය එසේය. මන්ද සංස්කෘතිය යනු සංකීර්ණ ප්‍රපංචයක් වන බැවිනි.

සංස්කෘතිය පිළිබඳ ඉහත පැහැදිලි කිරීමෙන් මෙම ලිපිය ආරම්භ කිරීමට අපට සිතුණේ පසුගිය දිනවල ලංකාවේ ගුරුවරියන්ගේ ‘සාරිය’ පිළිබඳ මතුවූ සංවාදය නිසාය.

මෙම ලිපියේ අරමුණ ගුරුවරියන්ට සාරිය අනිවාර්ය කිරීම හෝ සාරිය ප්‍රතික්ෂේප කිරීම නොවේ. එය අපට අයත් කාර්යයක් යැයි අපි නොසිතමු. මේ පිළිබඳ අවසන් තීරණයක් ගත යුත්තේ ගුරුවරියනුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ බලධාරීනුත් අතර කර ගන්නා අවංක සංවාදයකින්, යථාර්ථවාදී ප්‍රවේශයකින් යැයි අපි සිතමු. එහෙත් සාරිය පිළිබඳ සංවාදයේ පැවති සමහර අවිද්‍යාත්මක ප්‍රවේශයන් පිළිබඳ යමක් සඳහන් කළ යුතු යැයි අපි සිතමු. මේ සටහන ඒ වෙනුවෙනි.

ඇඳුම් කුමට ද?

මේ වන විට ‘ඇඳුම’ විලිවසා ගැනීමේ, ශරීරය බාහිර පරිසර තත්වයන්ගෙන් ආරක්ෂාකර ගැනීමේ සීමාවෙන් ඔබ්බට ගිය සංස්කෘතික දෙයක් බවටද පත්ව තිබේ. විවිධ ඇඳුම් වර්ග, විවිධ විලාසිතා, විවිධ වර්ණ ආදිය විසින් තහවුරු කරන්නේ ‘ඇඳුම’ දැන් සංස්කෘතික කරුණක්ද වන බවය. සත්‍යය එයයි. එහෙත් ඉන් මිනිසාට ඇඳුමක් අවශ්‍ය වූ මූලික හේතු වන පරිසර සාධකවලින් සිරුර ආරක්ෂා කර ගැනීමේ හා පසුව සදාචාරමය හේතුවක් වූ විලිවසා ගැනීමේ අවශ්‍යතාවය අහෝසි වන්නේ නැත. (නූතනයේ සමහර විලාසිතා එම මූලික අවශ්‍යතා නොලසකා තිබෙන බව වෙනම කරුණකි)

මානව පරිණාමයේ එක්තරා වකවානුවක මිනිසා සිරුර වසා ගැනීමට උත්සාහ කළේ ‘සදාචාරමය’ හේතුවක් නිසා නොවන බව මානව ඉතිහාසය පිළිබඳ ගවේෂණය කළ අය පිළිගෙන තිබේ. පළමුවෙන්ම ඔහුට අවශ්‍ය වූයේ සොබාදහම තුළ පරිසරයේ බලපෑමෙන් තම සිරුර රැකගැනීමය. ශීත ප්‍රදේශවලට සංක්‍රමණය වූ ආදී මානවයාට සිීතලෙන් තම සිරුර ආරක්ෂා කර ගැනීම අභියෝගයක්

විය. ඒ අනුව ඔහු තම සිරුර ආවරණය කර ගැනීමට සතෙකුගේ හමක් හෝ ගසක පොතු හෝ කොළ අතු යොදා ගත්හ.

වර්තමාන ‘ඇඳුම්’ දක්වා වර්ධනය වූයේ එයයි. පසුව විලිවසා ගැනිමේ අදහසද මෙයට එකතු වූ බව පෙනේ. වර්තමානය වන විට ඇඳුමේ ප්‍රධාන අවශ්‍යතාවය ලස්සනට සිටීම හෙවත් විලාසිතාවක් දක්වා විකාශනය වී තිබේ. මේ අනුව ලොවපුරා ජනතාව ගැහැනු, පිරිමි විවිධ වර්ගයේ විවිධ වර්ණයේ විවිධ විලාසිතා හා මෝස්තරවලට අනුව සැකසූ ඇඳුම් අඳිති. ඒ අනුව සමහර

රැකියාවන් හා සමහර වෘත්තීන් සඳහා මිනිසා ‘නිල’ ඇඳුමක්ද නිර්මාණය කර ගෙන තිබේ. භික්ෂූන් වහන්සේලා හා පූජකතුමන්ලාගේ ඇඳුම හමුදා පොලීසි ඇඳුම ඊට එක් උදාහරණයකි.

ඊනියා සදාචාරය හා සාරිය

මෑතදී අපේ රටේ මතුවූ ගුරුවරියන්ගේ සාරිය පිළිබඳ සංවාදයේදී සමහරු එයට කඩා පැන්නේ සදාචාරවාදී ප්‍රවේශයකිනි. ගුරුවරියන් දරුවන්ට උගන්වන බැවින් ආදර්ශමත් විය යුතු බවත් ‘ඇඳුම’ සදාචාර සම්පන්න විය යුතු බවත් ගුරුවරියන් ශරීරය නිරාවරණය නොවන සේ සිරුර වැසෙන ඇඳුමක් ඇඳිය යුතු බවත් ආදී තර්ක රැසක් මතුකරන ලදී.

එහෙත් සැබැවින්ම එම තර්ක විද්‍යාත්මක තර්ක නොවේ. ගුරුවරියන්ට සාරිය අනිවාර්ය කිරීමට බල කරන ඇතැමුන්ගේ තර්කය වන්නේ සාරිය සදාචාරයට ගැලපෙන ඇඳුමක් බවත් ඉන් කාන්තාවන්ගේ සිරුර නිරාවරණය නොවන බවත්ය. එහෙත් එය ඇත්තක් නොවේ. සාරිය ඇන්ද විට කාන්තාවන්ගේ පිට ප්‍රදේශය මෙන්ම බඩ ප්‍රදේශයද නිරාවරණය වේ. මේ තර්කය මත සිතුවහොත් සාත්තු සේවිකාවන්ගේ නිල ඇඳුමද වැරදි බව කීමට සිදුවේ. ඕනෑම වෘත්තියක නියැලෙන අය ඊට ගැලපෙන සදාචාරමය වටිනාකම් රැකෙන

පරිදි කටයුතු කළ යුතුය. එහෙත් එහිදී සදාචාරය හෝ සංස්කෘතිය සිරගෙයක් නොවිය යුතුය.  

එහෙත් මෙහිදී සමහරු කියන්නේ ඉගෙන ගන්නේ දරුවන් නිසා ගුරුවරිය ඔවුන් ඉදිරියේ සදාචාර සම්පන්න ඇඳුමක් ඇඳිය යුතු බවය. ගුරුවරියන් ඇඳුමක් ඇඳිය යුතු බව ඇත්තය. එහෙත් සාරියෙන් පමණක් සාදාචාර සම්පන්න බව රැකිය හැකිදැයි බැලීමටද වැදගත්ය. එසේම ‘සදාචාරය’ රැකෙන වෙන ඇඳුම් තිබිය නොහැකිද? යන්නද අවධානයට ගත යුතුය. ඇඳුම පිළිබඳ ප්‍රශ්නයේදී එය අඳින අයගේ අදහසට අවධානය යොමු කිරීමද වැදගත්ය.

සදාචාරයේ සීමා මොනවාද?

ඇඳුම් පිළිබඳ සදාචාරය තීරණය වී ඇත්තේ එක් එක් යුගයෙන් යුගයට එක් එක් රටින් රටට වෙනස්වය. එක් එක් පාරිසරික කලාපවල, එක් එක් යුගවල ‘ඇඳුම’ වෙනස් ආකාරයන්ගෙන් පැවැති බව ඉතිහාසය දෙස බලනවිට පෙනේ. අතීතියේ මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් කිහිපයක්ම ඇන්දේ ශීත කලාපවල ජනතාව ශීතලෙන් ආරක්ෂා වීම සඳහාය. යුරෝපයේ කලිසම, කමිසය, ටයිපටිය, කෝට් එක, ශීත කබාය ආදී ඇඳුම් රැසක් ඒ සඳහා භාවිතා විය. මැදපෙරදිග දී තද හිරු රැසෙන් හා දුහුවිල්ලෙන් ආරක්ෂා වීමට සැහැල්ලු ලෝගුවක් වැනි ඇඳුමක් අඳින ලදී. හිස හා මුහුණද රෙදි කඩකින් ආවරණය කර ගන්නා ලදී. ඒ පාරිසරික හේතු මතය.

එහෙත් අප රට වැනි ඝර්ම කලාපීය රටවල මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් අවශ්‍ය නොවීය. අපේ රටේ අතීත ගැමියා බොහෝ විට සැරසී සිටියේ අමුඩයකිනි. කාන්තාවන් දණහිස තෙක් කෙටි රෙදිකඩක් ඇඳ සිටියේය. එකල ඇඳුමේ සදාචාරය වූයේ එයයි. ලංකාවේ අතීතයේ සාමාන්‍ය කාන්තාවන්ට හා පිරිමින්ට උඩුකය වැසීම තහනම්ව තිබුණි. එය ප්‍රභූ පවුල්වලට පමණක් අයිති වරප්‍රසාදයක් විය. කාන්තාවන් උඩුකය නිරාවරණය කරගෙන සිටීම එකල සදාචාර විරෝධී වූයේ නැත. සදාචාර හා නීති විරෝධී වූයේ උඩුකය වැසීමය. මෙය ඉන්දියාව තුළද දැකිය හැකි විය. උඩුකයට ඇඳුම් ඇඳීමට ඉඩ නොදීම පහත් කුලවලට අයත් යැයි සැලකූ ජනයා හා පීඩිතයන් පහත් තත්වයෙන්ම තබා ගැනීමේ පරපීඩක ක්‍රියාවක්ද විය.

ඇඳුම වෙනස් වන දෙයක් ලෙස

මිනිසුන්ගේ ඓතිහාසික ගමන්මග තුළ ඔවුන් ඇඳුම් පැළඳුම් වෙනස් කරගෙන තිබේ. එබැවින් වෙනස් වීමට බිය වීම හා විරෝධය පෑම සමාජ සංවර්ධනයට බාධාකාරීය. වෙනස් වීමේදී යහපත් දෙසට වෙනස් වීම අවශ්‍ය දෙයක් බව  ඇත්තය. එහෙත් වෙනස් වීමට බිය වීම නිවැරදි නැත.

ලංකාවේ ගුරුවරුන්ගේ ඇඳුම ගැන සිතන්න. අතීතයේදී ඔවුන් ඇන්දේ රෙද්ද හා බැනියමය. (ජාතික ඇඳුම) මුල් කාලයේ කලිසම කමිසය ඇන්දේ ඉංග්‍රීසි ගුරුවරයාය. එහෙත් පසුව පහසුව සඳහා සියලු ගුරුවරු කලිසමට, කමිසයට මාරුවූහ.

ඇතැම්විට අන්ධානුකරණය මෙන්ම විවිධ රටවල අය වෙනත් රටවලට සංක්‍රමණය වූ විට හෝ ආක්‍රමණය කළ විට තම සංස්කෘතික ලක්ෂණ අදාළ රටවල් තුළද ප්‍රචලිත කිරීම නිසා සංස්කෘතියේ විවිධත්වය වැඩි වී තිබේ. නොගැලපෙන ලක්ෂණද ඇති වී ඇත.  

එසේම විවිධ වෘත්තීන්ගේ ඇඳුම්ද විටින් විට වෙනස් වී තිබේ. වෙනස් කර තිබේ. මෙම ප්‍රශ්නය සමහර කාලවල ක්‍රීඩාවේදීද මතුවිය. මලල ක්‍රීඩිකාවන්, දැල් පන්දු හෝ වොලිබෝල් ක්‍රීඩිකාවන් කෙටි කලිසමක් ඇඳීම ගැනද සමහර සදාචාරවාදීන් විරුද්ධ වූ අවස්ථා අප දැක තිබේ. සැබවින්ම සදාචාරය තිබිය යුත්තේ ඇඳුම තුළ පමණක්ම නොවේ. ඒ දෙස බලන අයගේ මනස තුළද සදාචාරය තිබිය යුතුය. අනෙක සදාචාරයන් පිළිබඳ මිනුම් දඬුද සදාකාලික නැත. විටින් විට වෙනස් වේ.

කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව තලේබාන් වර්ගයේ ඇසකින් බැලීම නූතන සමාජයට ගැලපෙන්නේ නැත. පසුගිය කාලයේ මුස්ලිම් කාන්තාවන්ගේ ශරීරයම වැසෙන සේ ඇඳගත් බුර්කාවට විරුද්ධ වූ අයම ගුරුවරියන්ට ශරීරය වැසෙන සේ සාරිය අනිවාර්යය කිරීමට උපදෙස් දීම හාස්‍යජනකය.

කෙසේ වෙතත් සමාජයක විනය, සදාචාරය තිබිය යුතුය. ගුරුවරියන් ඇඳිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ තීරණය කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන බලධාරීන් හා ගුරුවරියන්ගේ සංවාදයකින් කර ගත යුතුය. එය කෙසේ වෙතත් අප උත්සාහ කළේ මේ සංවාදය තුළ පැවති සදාචාරවාදී ප්‍රවේශයකින් ආ සමහර මතවල වැරදි සහගත බව පිළිබඳ අවධානය යොමු කිරීමටය. අප ජීවත්වන්නේ වෙනස් වන ලෝකයක බවත් සදාචාරයන්, සංස්කෘතීන්ද වෙනස් වන බවත් වටහා ගැනීම කාටත් වැදගත්ය. සංස්කෘතිය යනු සිරගෙයක් නොවන බවත් සංස්කෘතික සිරගෙවල් තුළ කිසිවෙකු අමානුෂිකව සිර කළ යුතු නැති බවත් මානව සමාජය වටහා ගත යුතුය.

සංස්කෘතිය සිරගෙයක්ද?