1905: විප්ලවයේ පෙරවදන

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

19වැනි සියවස අගභාගය පමණ වන විට රුසියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඇති වෙමින් ක්‍රමයෙන් ධනවාදය ස්ථාපිත වීම ආරම්භ කළ බව අප ඉහත කලාපයෙන් සාකච්ඡා කෙළෙමු. මෙසේ ධනපති පංතිය බිහි වීම හා සමගාමීව එම නගර ආශ්‍රිතව කම්කරු පංතියක්ද බිහි වීමට පටන් ගැනුණි.
මෙසේ ආරම්භ වූ කර්මාන්තශාලා තුළ වැඩ කළ කම්කරු ස්ත්‍රීහු සහ පුරුෂයෝ ඉතා දරුණු ශ්‍රම කොල්ලයකට ලක් වූහ. ඔවුනට දිනකට පැය 12කට අධික කාලයක් ශ්‍රමය වැගිරිය යුතු විය. ඔවුන් ජීවත්වූයේද කර්මාන්ත ශාලා අසල ඉදිකර තිබූ මුඩුක්කු වැනි කාමර තුළය. අද මෙන් පැය 08කට වඩා වැඩකළ විට අතිකාල ගෙවීමක් එකල සිදුනොවුණි. කෙටියෙන්ම පවසවානම් එම කම්කරුවා යනු එම කර්මාන්තශාලා තුළ ඇති තවත් යන්ත්‍රයක්ම විය. මේ තත්වය තුළ නිරන්තරයෙන්ම කම්කරුවන්ගේ ප්‍රතිවිරෝධය තම හාම්පුතුන් වෙත එල්ල වෙමින් තිබුණි.

පක්ෂය බිහි වේ

යුරෝපය හරහා සිදුවූ ප්‍රාග්ධන ආගමනයත් සමග කර්මාන්තශාලා ආදිය රුසියාව තුළ ස්ථාපිත වූ අතරම එහි අතුරු ඵලයක් ලෙස යුරෝපය පුරා පැතිරෙමින් පැවති නිදහස් අදහස්ද (රාජාණ්ඩු පාලනයන්ට එරෙහි) මාක්ස්වාදී අදහස්ද රුසියාවට කාන්දු විය. මාක්ස්වාදයේ ආගමනය බුද්ධිමත් ස්ථරය තුළට මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටද මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. රුසියානු විප්ලවයේ නියමුවා වශයෙන් සලකණු ලබන වි.අයි. ලෙනින් සහෝදරයාද මාක්ස්වාදයේ හෝඩිය කියවනු ලැබුවේද මේ ආගමනයත් සමග ව්‍යුත්පන්න වූ මාක්ස්වාදී අධ්‍යයන කව හරහාය.
සාර් පාලනයේ ඒකාධිපති ස්වභාවයත් නාගරික කම්කරුවාගේ පීඩනයත් පුද්ගල ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප වීමත් මාක්ස්වාදී අදහස්වල ව්‍යාප්තියත් ආදි කාරණා ගණනාවක් පදනම් කරමින් වර්ෂ 1898 දී නව දේශපාල ව්‍යාපාරයකට අත්තිවාරම් වැටුණි. එය රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය විය. මේ හා සමගාමීව තවත් විප්ලවීය රහස් සංවිධාන ගණනාවක් රුසියාව තුළ බිහි වී තිබුණි.

හරි මඟට වැටීම

වර්ෂ 1898 දී බිහිවුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය එහි දෙවන සමුළුවේදී කොටස් දෙකකට වෙන්විය. පක්ෂයේ සංවිධාන ප්‍රතිපත්ති පිළිබඳව ඇති වූ මතවාදී අරගලයේදී දියාරු සංවිධාන ආකෘතීන් පිළිගත් කණ්ඩායමෙන් වෙන්වූ ලෙනින් සහෝදරයා ප්‍රජාත්ත්‍රවාදී මධ්‍යගතභාවය මත ගොඩනැගුණු දැඩි විනයක් සහිත සංවිධාන ස්වරූපයක් වෙනුවෙන් පෙනී සිටියේය. මෙසේ වෙන්වූ කොටස් දෙක බෝල්ෂවික් සහ මෙන්ෂවික් යනුවෙන් හඳුන්වන ලදී. (රුසියානු භාෂාවේ සරල අර්ථයෙන් ගත් විට බොල්ෂවික් යනු බහුතරයද මෙන්ෂවික් යනු සුළුතරයද වේ.) සැබැවින්ම ආරම්භයේදී ලෙනින් ප්‍රමුඛ බොල්ෂවිකයෝ මෙන්ෂවිකයන්ට සාපේක්ෂව ඉතා කුඩා පිරිසක් වූ අතර ජයග්‍රහණය තීරණය කරනු ලබන්නේ ප්‍රමාණය මත නොව නිවැරදි න්‍යායය හා භාවිතයට ගන්නාවූ ශක්තිමත් පක්ෂ සංවිධානයකින් බව බොල්ෂවිකයන් පසු කලෙකදී ඔප්පු කළහ.

“ලෙනින් ඔහු සමඟ තව කොපමණ ජනකායක් ඇත්දැයි සැලකිලිමත් නොවීය. කලකදී ඔහු තනියෙන් නැගී සිටීමට පවා තර්ජනය කළේය. එහෙත් තමා වෙතට ගන්නේ, කරනට යන කාර්යය වෙනුවෙන් ජීවිතය වුවත් කැප කොට බහුතර ජනකායකගේ ප්‍රීති ඝෝෂා නොතකා ක්‍රියා කරන්නන් බව තරයේම පැවසුවේය. විප්ලවය පිළිබද ව්‍යාපාරය නියම වශයෙන්ම දියුණු කළ හැකි විශේෂඥයන් ගෙන් යුත් මණ්ඩලයක් තැනිමට ඔහුට ඕනෑ විය. හුදු දයාවක් දක්වන්නවුන්ගෙන් හා ජයෙහි දී පමණක් එක්තැන් වන හිතවතුන්ගෙන් ඔහුට පළක් නොවිය. ”

ශ්‍රී ජවහර් ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන, පිට- 661

ජාතීන්ගේ සිර ගෙය බිඳ වැටේ

කුඩා රාජ්‍යයන් තමන් වෙත ඈදා ගනිමින් අධිරාජ්‍යයක් ගොඩ නැගූ සාර් පාලනයේ හොට බිම ඇනෙනුයේ ජපානයත් සමග ඇති කරගත් ගැටුමත් සමගය. ආතර් නම් නැව් තොට අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ජපානය සමග පැටළුනු සාර් පාලනය යුද්ධයක් දක්වා දිගහැරෙනු ලබන්නේ රුසියානුවන් විසින් තම හමුදා මැංචූරියා සහ කොරියා දෙසට විහිද වීමත් සමගය. රුසියාවේ අති බල සම්පන්නම නාවික හමුදාවද ජපානයට පහරදීමට ගොස් සමුලඝාතනයට ලක් විය. මෙම වටපිටාව හමුවේ ජපානය ඉදිරියේ දණ ගැසීමට මහා බල සම්පන්න රුසියන් අධිරාජ්‍යයට සිදු වීම හේතුවෙන් සාර් පාලනයේ අභිමානය බින්දුවටම වැටුණි.

ඇතුළත් ගිනි

විදේශයන්හි දී ලැබු යුධමය පරාජයන්ගේ බර පැන දැරීමට සිදුවුයේ රුසියන් ජනතාවටය. තමන් විඳිමින් සිටින පීඩනයට අමතරව විඳින්නට සිදුවන පීඩනය හේතුවෙන් සාර්ට එරෙහිව කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන් සහ බුද්ධිමතුන්ගේ විරෝධය උත්සන්න විය. නාගරික කම්කරු ජනයා තම විරෝධය වැඩවර්ජන, කර්මාන්ත ශාලා තුළ සිදුකරන අරගල තුළින්ද ගොවි ජනයා ඉඩම් හිමියන්ට එරෙහිව කැරලි ගසමින්ද ප්‍රකාශයට පත් කරන ලදී.
මේ අතර 1905 ජනවාරි 22 දා ‘ගැපොන්’ නම් පූජකයෙකුගේ නායකත්වය යටතේ කම්කරුවෝ දහස් ගණනක් පෙළපාලියකින් තමන්ගේ දුක් ගැනවිලි සඳහා පිහිටක් ලබා ගැනීමට සාර් රාජ මාළිගාවට ගියහ. සාර් ඒ සැමොටම උණ්ඩවලින් පිහිට විය. දෙසීයකට අධික පිරිසක් ඝාතනයට ලක් වූ අතර මුළු පිටර්ස්බර්ග් නගරයම ලෙයින් තෙත් විණි. මෙය සිද්ධිය රට පුරාම පැතිරෙන්නට පටන් ගැනීමත් සමග සාර්ට එරෙහි කම්කරුන්ගේ වැඩ වර්ජන, ගොවීන්ගේ සහ අනෙකුත් කාණ්ඩායම්වල කැරලි ගැසීම් උත්සන්න වුයේය. මෙම සිද්ධියට අදාළ දිනය පසුව ලෝහිත ඉරිදා නැතහොත් ‘ලේ වැකි ඉරිදාව’ (ඊකදදාහ ීමබා්හ) වශයෙන් ප්‍රකට විය.

“එදින සුර ලෝකයේ මා – පියාණන් වහන්සේ ගේ පුත් සු`ළු පියාණන් වහන්සේ ගෙන් පාන් කැබෙල්ලක් ඉල්ලා ගනු පිණිස පූජකයෙකුගේ පුරෝගාමීත්වයෙන් රජ මාළිගාවට ගිය සාමකාමි පෙරහැරක් සාර්ගේ රකුස් බල ඇණි විසින් දරුණු – අති දරුණු – මරණ බන්ධනයට පත් කරනු ලැබීය. මෙම භයංකර අනුවේදනීය – පුවත රට පුරා ලැව් ගින්නක් ලෙසින් පැතිර ගිය අතර දේශපාලන වැඩ වර්ජන රාශියක් ඇති විය. අවසානයේදි රුසියාව පුරාම සමස්ත මහා වැඩ වර්ජනයක් ඇරඹිණ.”

ශ්‍රී ජවහර් ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන, පිටුව 662

දේශපාලන පෙරළියක්

විදේශයන්හිදි සිදුවූ යුධමය පරාජයන් හමුවේ සාර් පාලනයේ අභිමානය බිද වැටීමත් එම පරාජයන් හේතුවෙන් ජනතාව මත හෙළන ලද පීඩනය වැඩි වීමත් එම පීඩනයට එරෙහිව ජනතාව අරගල කිරීමත් ගොඩනැගෙමින් පවතින ධනවාදයට ඉඩ දී වැඩවසම් පාලනය අභාවයට යෑමේ සමාජමය වුවමනාවත් ආදී කාරණා පෙළ ගැසීම හේතුවෙන් රුසියාව තුළ දේශපාලන පෙරළියක් සිදුවීමට තරම් වාස්තවික තත්වයක් නිර්මාණය විය.
රුසියාව තුළ ගොඩනැගුණු මෙම තත්වය කළමනාකරණය කර ගනිමින් නිර්ධන පංතිය අතට රාජ්‍ය බලය ලබා ගැනීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදි කම්කරු පක්ෂය විසින් සැලසුම් සකස් කරන ලදී. විශේෂයෙන්ම ලෙනින් සහෝදරයා ඒ මොහොතේ විය හැකිව තිබූ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය නිර්ධන පංතියේ වුවමනාවට සම්බන්ධ කර ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සමාජවාදී විප්ලවය දක්වා පරිවර්තනය කිරීම අරමුණු කර ගනිමින් නව වැඩපිළිවෙළක්ද පක්ෂයට යෝජනා කරමින් අනුමත කරගන්නා ලදී.

“සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වන අප, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවාදීන්ගෙන් ස්වාධීනව කටයුතු කිරීමෙහි සමත් වෙමු. එසේ කටයුතු කළ යුත්තෙමු. අපි ඔවුන්ගෙන් නිර්ධන පංතියේ පංති ස්වාධීනත්වය ආරක්ෂා කළ යුත්තෙමු. එහෙත් කැරලි ගසමින් නැගී සිටින අවස්ථාවේදී, සාර්වාදයට විරුද්ධව එක එල්ලේම පහර ගසන අවස්ථාවේදී, යුද්ධ හමුදාවන්ට ප්‍රතිවිරෝධය දැක්වීමේදී, සමස්ත රුසියානු ජනතාවගේම සතුරන්ගේ බැස්ටීල් බලකොටුව බිඳ හෙළද්දී අපි ඔවුන් සමග අතිනත ගෙන යා යුත්තෙමු.”

ලෙනින් – තෝරාගත් කෘති, 03 වෙළුම, 12 පිටුව

එසේම රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය නාගරික කම්කරුවන් ගැවසෙන ප්‍රදේශයන්හි සංවිධාන ඇති කරමින් සාර් පාලනය පෙරළා දැම්මේ කටයුතුවලට අවතීර්ණ විය. විශේෂයෙන්ම පීටර්ස්බර්ග් සහ මොස්කව් යන ප්‍රධාන නගරයන්හි වඩා ශක්තිමත් සංවිධාන ගොඩ නගමින් කටයුතු කිරීමට ප්‍රජාත්ත්‍රවාදී පක්ෂයට හැකි විය. මෙම කම්කරු විරෝධතාවල ප්‍රබලත්වය හේතුවෙන් සාර් පාලනය අඩියක් පිටුපසට ගෙන කිසියම් ප්‍රතිසංස්කරණ කිහිපයක් කිරීමට එකඟතාවය පළ කළේය. එහෙත් එම සහන තාවකාලික ඒවා විය. පසුව විප්ලවකාරී සංවිධානයන්ගේ දුර්වල අවස්ථා සොයමින්ද, රුසියන් දිළිදු ගැමි ජනතාවගේ පසුගාමී බවද ප්‍රයෝජනයට ගනිමින් එම විප්ලවාදී කණ්ඩායම් හා පොදු ජනයා අතර නොයෙක් ගැටුම්කාරී තත්වයන් ඇති කිරීමටද, ජාතිවාදය අවුළුවමින් එක් එක් ජාතීන් අතර අසමගිය වැපිරීමටද සාර් පාලනය කටයුතු කළේය. ඒ ආකාරයට විප්ලවයට හිතකර අවස්ථා අහිමි කරමින් වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ පීටර්ස්බර්ග් සහ මොස්කව් යන නගරවල මර්දනකාරීත්වය දියත් කිරීමට සාර් පාලනය විසින් කටයුතු කරන ලදී.
වාර්තා වන ආකාරයට මොස්කව්හි 1000ක් පමණ පුරවැසියන් කිසිදු වගවිභාගයකින් තොරව මරණයට පත් කර තිබේ. පුරවැසියන් 70,000ක් පමණ සිරභාරයට ගෙන ඇති අතර මේ කාලය තුළ මුළු රටේම 14,000ක් පමණ දෙනා ඝාතනයට ලක් වන්නට ඇතැයි පැවසේ.
ඒ අනුව 1905 දී සාර් පාලනයට එරෙහිව සිදුවූ ජනතා නැගිටීම අවසන් වූයේ පරාජයෙනි. අරගලය පරාජයට පත් වුවත් ඒ වෙනුවෙන් ජනතා දැක්වූ සක්‍රීය දායකත්වය සුළු කොට තැකිය නොහැකිය. මන්ද එම පරාජයේ අත්දැකීම් 1917 සිදුවූ සාර්ථක විප්ලවය සඳහා ඉමහත් පිටුබලයක් වූ බැවිනි. අප ඒ පිළිබඳ සංවාදයකට යොමු වෙමු.

1905: විප්ලවයේ පෙරවදන