ඇමරිකානු විප්ලවය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලොව හෙල්ලූ ජන අරගල ගැන සාකච්ඡා කිරීමේදී බි්‍රතාන්‍ය රාජාණ්ඩු පාලනයට එරෙහිව ඇමරිකන් ජනපදවාසීන් ගෙන ගිය අරගලය මගහැර යා නොහැක. රාජාණ්ඩුව පරදවා සමූහාණ්ඩුවක් ගොඩනැගීම දක්වාවූ ගමන සිදුවූ ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුකරමු.
15වැනි සියවස පමණ වන විට ස්පාඤ්ඤය, ප්‍රංශය, ඕලන්දය, පෘතුගාලය සහ ඉංග්‍රීසි වැනි ජාතීන් උතුරු ඇමරිකාව කෙරෙහි අවධානය යොමු කර ගෙන සිටි අතර එහි ජනාවාස ආරම්භ කිරීම සඳහා මොවුන් අතර තරගයක්ද විය. නමුත් වාර්තා වන අකාරයට උතුරු ඇමරිකාවේ පළමුවෙනි ජනපදය පිහිටවන ලදදේ බි්‍රතාන්‍යයන් විසිනි. එය 1607දී ස්ථාපිත කරන ලද ‘වර්ජිනියා’ නම් ජනපදය විය. මේ ආකාරයේ නොයෙක් ගැටුම්කාරී තත්වයන් මැද 18 වන සියවස වන විට ඇමරිකාව තුළ ජනපද 13 බි්‍රතාන්‍යයන් විසින් ඇති කරන ලදී. ඒ, බි්‍රතාන්‍යය තුළ සිදුවෙමින් පැවති ධනේශ්වර සංවර්ධනය නිසාවෙන් නව වෙළඳ භූමි සොයා යෑම අනිවර්යය වූ තත්වයක් තුළය.

අයිතිය ශක්තිමත් කිරීම

මේ ජනපද කුමන ආකාරයකින් ගොඩනැගුනද මේ සියලු ජනපදයන් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට යටත් කර ගැනීමට බි්‍රතාන්‍යයන්ට අවශ්‍ය විය. මෙම ජනපදයන්හි බහුතරයක් ඉංග්‍රිසි ජාතිකයන් වීමත් ඔවුන් තම මව් රට වන එංගලන්තයට යටත්ව තම ස්වාධීනත්වය පවත්වා ගෙන යෑමට රුචිකත්වය දැක්වීමත් නිසා බි්‍රතාන්‍ය පාලනයට යම් පහසුවක් විය. මේ තත්වය තුළ සෑම ජනපදයකටම බි්‍රතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු පත් කර සිටි අතර ජනපදයන්හි නීති සම්පාදන කටයුතු, බදු අයකිරීම් වැනි පරිපාලන කාර්යයන් සඳහා ඡන්දයෙන් පත්වූ නියෝජිතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක මණ්ඩලයක්ද සෑම ජනපදයකම ස්ථාපිත වී තිබුණි.
ඒ අතරම බි්‍රතාන්‍යය තම දේශපාලන වුවමනාව සාක්ෂාත් වන පරිදි එම ජනපද සඳහා ආර්ථික සැලැස්මක්ද මුදා හැර තිබුණි. ඒ සැලැස්මට අනුව ඇමරිකානු ජනපදයන්හි ආර්ථිකය කිසි ලෙසකවත් බි්‍රතාන්‍යයට එරෙහි නොවන ආකාරයෙන් සහ එහි ආර්ථිකය අභිභවා නොයන ලෙස සකස් වීමට බල කෙරෙන ලදී. එම ජනපදයන්හි නිපදවන වෙළද ද්‍රව්‍ය බි්‍රතාන්‍යට පමණක් අලෙවි කළ යුතු විය. එසේම විදේශයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවා ජනපදවලට ගෙන යාමට ප්‍රථම බි්‍රතාන්‍යට අයත් වරායන්ට ගෙන ගොස් තීරු බදු ගෙවිය යුතු විය. තවද බි්‍රතාන්‍ය නිෂ්පාදකයන්ට තරඟයක් වන භාණ්ඩ ඇමරිකාවේ නිපදවීම තහනම් විය. එසේම බි්‍රතාන්‍යය තමන්ට අවශ්‍ය අමු ද්‍රව්‍ය සහ වෙළද ද්‍රව්‍ය ඇමරිකාවෙන් ලබා ගත්තද එහි කිසිදු කර්මාන්තයක් ඇති නොකිරීමට වගබලා ගන්නා ලදී. නිදසුනක් වශයෙන් කපු හා දුම්කොළ ඇමරිකාවෙන් ලබා ගත්තද රෙදිපිළි හා දුම්වැටි කර්මාන්ත ශාලා ඇති කළේ බි්‍රතාන්‍යය තුළ පමණි. මෙම සීමා කිරීම් හේතුවෙන් ජනපද තුළ නැගෙමින් සිටින වෙළද ප්‍රජාවන්ට බි්‍රතාන්‍යය රාජාණ්ඩුව කෙරෙහි කිසි යම් විරෝධයක් හට ගැනුණු නමුත් එය බි්‍රතාන්‍යයෙන් වෙන් විය යුතු යැයි යන තරමට දුර දිග ගොස් නොතිබුණි. ඒ වෙනුවට ඔවුන් කළේ එම නීති රීති සමග ගැටෙනු වෙනුවට ඒවාට පටහැණි ආකාරයට නීතී්‍යානු කූල නොවන ලෙස වෙළදාමේ යෙදීමයි. ඒ අනුව බදු ගෙවීම පැහැර හැරි අතර ඇතැම් විට බි්‍රතාන්‍යයේ සතුරන් සමග පවා වෙළද ගනුදෙනුවල නිරත විය.

බදු හා උද්ඝෝෂණ

බි්‍රතාන්‍යය රාජාණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග හේතුවෙන් ජනපදවාසීන් (වෙළද ප්‍රජාව සහ සාමාන්‍ය ජනතාව) කිසියම් පීඩනයකට පත් වී සිටි අතර වර්ෂ 1763න් පසු බි්‍රතාන්‍යය ආණ්ඩුව පත්ව තිබූ ආර්ථික පසුබැස්ම නිසාවෙන් ඇමරිකාවේ බි්‍රතාන්‍ය ජනපද මත පනවා තිබෙන බදු ප්‍රමාණයන් වැඩි කිරීමට තීරණය කරන ලදී. එනම් වර්ෂ 1756-1763 කාල පරාසයේදී ජනපද පිහිටවීම සඳහා ප්‍රංශය හා ගෙන ගිය සත් අවුරුදු යුද්ධයෙන් බි්‍රතාන්‍යය ජය ලැබූ අතර එම් නිසා අලුතින් යටත්විජිත රාශියක් බි්‍රතාන්‍යයට හිමි විය. මේ තත්වය තුළ යුද්ධය සඳහා ගිය වියදම් මෙන්ම නව යටත්විජිත රැක ගැනීම සඳහා තවත් වියදම් දැරීමට සිදුවීම හේතුවෙන් බි්‍රතාන්‍යයේ භාණ්ඩාගාරය සිදී යන තත්වයට පත්ව තිබිණි. මේ නිසා බි්‍රතාන්‍යය තම පැවැත්ම සඳහා නව ආදායම් මාර්ග අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් තෝරාගත් එකම මාර්ගය වූයේ තම යටත්විජිත සූරාකෑම තීව්‍ර කිරීමයි. ඒ අනුව බි්‍රතාන්‍යය විසින් තමන්ට තීරු බදු නෙගෙවා සිදු කරන වෙළඳාම් නැවැත්වීම පිණිස ඇමරිකාව කරා හමුදාවන් පිටත්කළ අතර එම හමුදාවන්ට අවශ්‍ය විටෙක පුද්ගල නිවාස පවා පරික්ෂා කිරීමට අවශ්‍ය බලයද ලබාදී තිබුණි. මේ තත්වය ජනපදවාසීන්ගේ එදිනෙදා කටයුතුවලට ඉමහත් බාධාවක් විය.
එසේම ජනපදවල බටහිර දේශසීමාවෙන් ඔබ්බට ගමන් නොකරන ලෙසද ජනපදවාසීන්ට නීති පැනවුන අතර එම නීති පනවමින් බි්‍රතාන්‍යය පවසා සිටියේ ජනපදවාසීන් බටහිර දේශසීමාවෙන් ඔබ්බට ව්‍යාප්ත වීමෙන් රතු ඉන්දියානුවන් කුපිත වීමට ඉඩ ඇති බවය. මේ නීතිය හේතුවෙන් කුඩා ඉඩම් හිමියන්, ලෝම වෙළදුන් මෙන්ම බටහිරින් ලාභයට ඉඩම් ගැනීමේ අපේක්ෂාවෙන් සිටි ව්‍යාපාරිකයින්ගේ ආර්ථික ක්‍රියාවලිය ඇණ හිටි අතර බි්‍රතාන්‍ය කෙරෙහි ඔවුන්ගේ විරෝධතාවය තව තවත් වර්ධනය විය. සැබැවින්ම බටහිර දේශ සීමාවෙන් ඔබ්බට යෑම සීමා කිරීම තුළ ජනපදවාසී වෙළද ප්‍රජාවගේ ආර්ථික නැග්මට බාධා කිරීමේ යටි අරමුණද බි්‍රතාන්‍යය පාලකයන්ට තුළ තිබෙන්නට ඇත.
බි්‍රතාන්‍යයන්ගේ ක්‍රියා මාර්ග නිසාවෙන් මූලික වශයෙන් ජනපදයන්හි වෙළද ප්‍රජාව අසීරුතාවයට ලක්විය. ඒ නිසාම සමාන්‍ය ජනපදවාසීන් මතද මෙම පීඩනය එල්ල විය. එනිසා මෙම කොටස් දෙකෙහි මූලික ප්‍රතිවිරෝධය හට ගන්නා ලද්දේ බි්‍රතාන්‍යය රාජාණ්ඩුව සමගය.
වර්ෂ 1764 දී බි්‍රතාන්‍යය පාර්ලිමේන්තුව, ජනපද විසින් ආනයනය කරන උක් පැණි සඳහා බද්දක් පැන වූ අතර එම පනත සීනී පනත නමින් හැදින්විණි. මේ පනතට එරෙහි වූ ජනපදවාසීන් සුපුරුදු පරිදි නීත්‍යානුකූල නොවන ආකාරයට උක්පැණි වෙළදාම සිදු කිරීමට උත්සහ කළද බි්‍රතාන්‍යය ආණ්ඩුව විසින් ගත් ක්‍රියාමාර්ග හමුවේ ඔවුනට එය සිදු කිරීමට නොහැකිවිය. මේ නිසා මේ බද්දට එරෙහිව ජනපද තුළ විරෝධතා මතුවුණු අතර ඒ හා සමාන්තරව ජනපද තුළ නවතා සිටින බි්‍රතාන්‍යය හමුදාවන්ගේ නඩත්තු කටයුතුද ජනපද මගින් සිදු කරන ලෙසට බි්‍රතාන්‍යය ආණ්ඩුව විසින් බල කිරීම හේතුවෙන් විරෝධතා තවත් උත්සන්න විය.
වර්ෂ 1765 දී බි්‍රතාන්‍යය අගමැති ධූරය දැරූ ජෝර්ජ් ග්‍රැන්විල් නව බදු ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අනුව බලපත්‍ර ආදී විවිධ ලේඛන වලංගු කිරීම සඳහා මුද්දර ගාස්තුවක් ජනපදවාසීන්ගෙන් අයකර ගැනීම මෙම පනතින් සිදුවිය. එය මුද්දර පනත නම් විය. නොයෙක් බදු වර්ගයන් ගෙන් හෙම්බත්වී සිටි ජනපදවාසීහු මෙම බදු වර්ගය ක්‍රියාත්මක කරවීම ආරම්භ කරත්ම එයට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් දැක්වූහ. මුද්දර තොග පිටින් ගිනිබත් කෙරුණු අතර මුද්දර එකතු කරන්නන්ගේ රූප සහිත රූකඩ විනාශ කරමින් උද්ඝෝෂණ පවත්වන ලදී. මෙම විරෝධතා ව්‍යාප්ත වී නිව්යෝර්ක්, නිව් ඉන්ග්ලන්ඞ් යන ජනපදයන්හි විශාල කැරලිද ඇති විය. මෙය පදනම් කරගනිමින් ජනපද 09ක නියෝජිතයින් එකතු වී මුද්දර පනත පිළිබද සමුළුවක් නිව්යෝර්ක් නගරයේදී පැවැත්වන ලද අතර ජනපද නියෝජිතයින්ගේ අවසරයකින් තොරව බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට තමන්ගෙන් බදු අය කිරීමට අයිතියක් නොමැති බවට වූ යෝජනාවක් එහිදී සම්මත කර ගන්නා ලදී. මෙම විරෝධතා හමුවේ බි්‍රතාන්‍යය අඩියක් පිටුපසට ගනිමින් එම පනත අහෝසි කළද එහි ප්‍රතිඵලයක් ලෙස බි්‍රතාන්‍ය පාලනයට එරෙහි ජනපද 09ක එකමුතුවක් ගොඩ නැගුණි.
මෙසේ ජනපදවාසීන්ගේ විරෝධතා බුර බුරා නැගෙමින් තිබියදී ආනයනික වීදුරු, ටින්, සායම් වර්ග, කඩදාසි හා තේ සඳහා නව බද්දක්ද, මියුනිටි බද්ද ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව නිව්යෝර්ක ජනපදයේ ව්‍යවස්ථාදායක මණ්ඩලය අත්හිටුවීමද යනාදි කරුණු අඩංගු පනත් දෙකක් විලියම් පීට් අගමැති ධූරය දැරූ ඇමති මණ්ඩලයේ භාණ්ඩාගාර ලේකම් ධූරය දැරූ චාල්ස් ටවුන්සෙන්ඞ් මගින් බි්‍රතාන්‍යය පාර්ලිමේන්තුවට යොමු විය. මෙම පනත් ටවුන්සෙන්ඞ් පනත් වශයෙන් හැදින්වුණු අතර මෙම පනත්වලට එරෙහිව බොස්ටන්, පිලඩෙල්ෆියා සහ නිව්යෝර්ක් යන නගරයන්හි බි්‍රතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් මෙන්ම දේශීය භාණ්ඩ නිෂ්පාදනයට යොමු කිරීමට ජනපදවාසීන් ධෛර්යමත් කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමටද මෙම විරෝධතාවයන්ට නායකත්වය දුන් අය කටයුතු කළහ. විරෝධතා හමුවේ බි්‍රතාන්‍යය මෙම පනත් අහෝසි කළද තේවලට බදු පැනවීම අහෝසි නොකරන ලදී.

‘තේ’ මුහුදට

1689දී සම්මත වුණු බි්‍රතාන්‍යය අයිතිවාසිකම් පනත අනුව බදු පැනවිය හැක්කේ මහජන නියෝජිතයින්ගේ අනුමැතිය ඇතිව පමණි. ජනපදවාසීන් බි්‍රතාන්‍යය විසින් තමන මත බදු පැටවීම ප්‍රතික්ෂේප කරන ලද්දේ මෙම පනත පදනම් කර ගනිමිනි. ඉහත සඳහන් ටවුන්සෙන්ඞ් පනත් අහෝසි කලද තේ වලට බදු පැනවීම ඉවත් කිරීමට බි්‍රතාන්‍යය කටයුතු නොකළ එක් හේතුවක් වූයේ ජනපදවාසීන්ගේ තර්ක බිද හෙලමින් තමනට ජනපද මත බදු පැනවීමට අයිතියක් ඇත යන්න තහවුරු කිරීමටය. අනෙක් කාරණය වූයේ, පෙරදිග ඉන්දියනු වෙළද සමාගම (ආසියානු කලාපයේ රටවල්වලට බි්‍රතාන්‍යය යටත්විජිත පිහිට වීමට මූලික වූයේ මෙම සමාගමය) සතු තේ තොග ඇමරිකානු ජනපදවාසීන්ට අලෙවිකොට ලාභයක් ලබා ගැනීමට බි්‍රතාන්‍යයට තිබූ අවශ්‍යතාවයයි. පිමි ගණනින් වර්ධනය වෙමින් තිබුණු බි්‍රතාන්‍යයට එරෙහි ජනපද විරෝධය හමුවේ බොස්ටන් වරායේ පෙරදිග වෙළද සමාගමට අයත් නැව්වල තිබු තේ තොග පිටින් මුහුදට දැමීමට ජනපදවාසී සටන්කාමී කණ්ඩායම් කටයුතු කළ අතර මෙම සිද්ධිය “බොස්ටන් තේ සාදය” නමින් හැඳින්වේ. මේ සිද්ධිය සැලවීමත් සමග අනෙක් ජනපදයන්හි වරායන්හි තිබූ බි්‍රතාන්‍ය තේ තොගවලටද එම ඉරණමම අත්විය. “බොස්ටන් තේ සාදය” ඇමරිකානු නිදහස් සටනේ ආරම්භය සනිටුහන් කරන සිද්ධිය ලෙසද හැදින්වේ.
ජනපදවාසීන්ගේ එම ක්‍රියාවන්ට ප්‍රතිචාර ලෙස බි්‍රතාන්‍යයේ කිරුළ දැරූ 3වැනි ජෝර්ජ් රජු ක්‍රියාමාර්ග කිහිපයක්ම ගත් අතර දේශපාලන රැස්වීම් තහනම් කිරීම, බොස්ටන් වරාය අවට ප්‍රදේශය සමග තිබු සම්බන්ධකම් අවහිර කිරීම, අපරාධ චෝදනාවන්ට ලක් වූ ජනපදවාසීන්ගේ නඩු බි්‍රතාන්‍යයේ උසාවිවල විසඳීම එම ක්‍රියාමාර්ග විය.

එක්සත් වීමට බල කෙරේ

බ්‍රිතාන්‍යයන්ගේ බලපෑම් හමුවේ එයින් මිදීම සඳහා සියලු ජනපදයන්ට එක්සත් වීමට බල කෙරුණි. ඒ අනුව බ්‍රිතාන්‍යය ආධිපත්‍යයට එරෙහි ප්‍රථම මහද්වීපික සමුළුව 1774 දී ෆිලඩෙල්පියාහි රැස්විය. එයට ජෝර්ජියා ජනපදය හැර සෙසු සියලු ජනපදයන්හි නියෝජිතයින් සහභාගි විය. මෙම සම්මේලනයට ඇමරිකානු නිදහස් සටනේ ඉදිරිගාමී වැඩ කොටසක් ඉටු කළ ජෝර්ජ් වොෂිංටන්, ජෝර්ජ් ඇඩම්ස්, සැමුවෙල් ඇඩම්ස් හා ජෝර්ජ් ජේ ආදී නායකයෝ සහභාගි වූහ.
“අභිනව අයබදු හා වෙළද සීමාවලට, ඇමරිකනු විජිතවාසීහු තරයේම විරුධත්වයක් දැක්වූහ. සත් අවුරුදු යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණයෙන් උදම් වූ බි්‍රතාන්‍යයෝ සිය දරුණු ප්‍රතිපත්ති මත ස්ථිරව පිහිටා සිටියේය. වාසනාවකට මෙන් සත් අවුරුදු සංග්‍රාමය නිසා විජිතවාසීන් තුළද ඇබ්බැහියක් ඇති වී තිබුණි. මේ රාජ්‍යවල නැතහොත් විජිතවල වාසය කළ නානා ජාතික ඔවුනොවුන් මුණ ගැසී කථාකර එක්තරා ප්‍රමාණයක සමගියකට පැමිණ සිටියෝය. මෙහි සිටි ප්‍රංශ හා ඉංග්‍රීසි සේනා අතර අවි හරඹ ඇතිවෙත්දී මෙම විජිතවාසී පිරිසද ඉංග්‍රීසි ඉංග්‍රීසීන්ගේ පැත්ත ගෙන සටන් බිමෙහි දස්කම් පා තිබුණ බැවින් ඔවුන් තුළ යුද්ධය පිළිබඳ අතිභයානක සෙල්ලමෙහි පලපුරුද්දක් ඇති වී තිබුණි. එහෙයින් තම විජිතවලට අයුක්තියක් හා අසාධාරණයක් සිදු වෙති යි ඒත්තු ගැනුණු මේ මෙහොතෙහි, ඉංග්‍රීසි පාලකයන්ට අවනත නොවම්හ යි යන එඩිතර අධිෂ්ඨානයෙන් මොවුහු එක්සත් වූහ”- (ශ්‍රී ජවහර් ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන, පිට 388)
මෙම සම්මේලනයේදී ජනපදවාසීන් මත පටවා ඇති පීඩාකාරී අණ පනත් ඉවත් කරන ලෙස 3වැනි ජෝර්ජ් රජුට සංදේශයක් ඉදිරිපත් කිරීම. බි්‍රතාන්‍ය භාණ්ඩ වර්ජනය යන ක්‍රීයා මාර්ගයන් පිළිබදව සාකච්ඡා කරන ලදී.

අවි දැරීමේ අයිතිය

බි්‍රතාන්‍යයේ බලපෑම්වලට එරෙහිව අවි ගැනීමේ අවශ්‍යතාවය පළමු මහද්වීපික සම්ම්ලනයේදි සාකච්ඡාවට බඳුන්විය. එහිදී ගත් තීරණ ක්‍රියාවට නගමින් මැසචුසෙට්ස් ජනපදයේ ජනයා අවි ආයුධවලින් සන්නධව බි්‍රතාන්‍ය හමුදා සමග ලෙක්සින්ටන් සහ කොන්කෝඞ් යන ස්ථානයන්හිදී මුහුණට මුහුණ සටනක නිරත වූහ. විශේෂයෙන් ප්‍රංශය සහ බි්‍රතාන්‍යය අතර සත් අවුරුදු යුද්ධයට ජනපදවාසීන් සම්බන්ධ වී සිටීම නිසා ලද අත්දැකීම් මෙන්ම ඒ කාලයේ ප්‍රංශයේ විසූ වොල්ටෙයාර්, රූසෝ වැනි දාර්ශනිකයන්ගේ නිදහස පිළිබඳ මතවාදයන්ගේ බලපෑම්ද බි්‍රතාන්‍ය රාජාණ්ඩුවට එරෙහිව යුද වැදීමට පෙළඹීමක් ජනපදවාසීන් වෙත ඇති කරවීය.
පළමු මහද්වීපික සමුළුවෙන් පසු රැස් වූ දෙවන මහද්වීපික සමුළුවේදී ජෝර්ජියාව හැර ඉතිරි ජනපද 12හි නියෝජිතයෝ යුද්ධයකට සහය දීමට තීරණය කළහ. ඒ අනුව බි්‍රතාන්‍යයට එරෙහිව අවි දැරීමේ අවශ්‍යතාවය පිළිබද ප්‍රකාශනයක්ද එළි දැක්විණි. එමෙන්ම 1776 ජනවාරිහිදී තෝමස් පේන් විසින් සකස්කරන ලද බි්‍රතාන්‍යය රාජාණ්ඩුවෙන් නිදහස් විම සඳහා අවශ්‍යතාවය පිළිබද ජනපදවාසීන් දැනුවත් කිරීමේ පත්‍රිකාවක්ද නිකුත් කෙරුණි. දෙවන සමුළුවේ තවත් සැසිවාරයකදී බි්‍රතාන්‍යයෙන් වෙන්වීමට තීරණය කෙරුණු අතර ඒ අනුව 1776 ජූලි මස 04 වෙනිදා තෝමස් ජෙෆර්සන් විසින් ලියන ලද ඇමරිකානු නිදහස පිළිබද ලියවිල්ල ප්‍රකාශයට පත් කෙරුණි.

යුද්ධයේ නිමාව

1775 ජුනිවලදී ඇරඹි බි්‍රතාන්‍යයට එරෙහි යුද්ධය 1777 ඔක්තොම්බර්වල සරටෝගාහි සටනේදී ජනපදවාසි හමුදාවන්ට ජයග්‍රහණ ලබාදෙමින් නිමාවට පත් විය. මෙය ඇමරිකානු නිදහස් සටනේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය ලෙස හැදින්වේ. 1778 දී ප්‍රංශයද මුල්‍යමය සහ යුධමය වශයෙන් ජනපදවාසීන්ට සහයෝගය දැක්වීම නිසා බි්‍රතාන්‍යයේ පරාජය ස්ථිර විය. 1783 දී ප්‍රංශයේ වර්සෙයි මාලිගයේදී බි්‍රතාන්‍යය – ඇමරිකානු දෙපර්ශවය අතර ඇතිවූ ගිවිසුමක් මගින් ජනපද 13ට ස්වාධීනත්වය හිමිවිය.
එබැවින් ඇමරිකා එක්සත් ජනපදය බිහි වීම යනු ඕපපාතිකව සිදුවූවක් නොව බි්‍රතාන්‍යයේ පීඩනයට එරෙහිව ජනතාව සංවිධානත්මකව නැගී සිට කරන ලද සන්නද්ධ අරගලයේ ප්‍රතිඵලයක් විය. බි්‍රතාන්‍යයේ යටත්විජිත පාලනයට එරෙහිව කැරලි ගැසීම මගින් ඇමරිකානු විප්ලවය බිහිවීම නිසාම එය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් පුළුල්ව සහතික කළ විප්ලවයක් ලෙස හැඳින්විය හැක.

ඇමරිකානු විප්ලවය