‘ජනතාව’ බලවේගයක්ද? සංකල්පයක්ද?

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

මාක්ස්වාදී දර්ශනයේ එක් විශේෂයක් වනුයේ, සමාජ සංවර්ධනයේදී හුදකලා වීරයන්, රජුන්, නායකයින් වෙනුවට ජනතාවගේ දායකත්වය පිළිගැනීමය. ඉතිහාසය නිර්මාණය කරනු ලබන්නේ, ජනතාව විසින් බවත් එම ජනතාවට නායකයින් අවශ්‍ය වුවත් නායකයින් විසින් පමණක් ඉතිහාසය ගොඩ නොනගන බවත් මාක්ස්වාදය උගන්වයි. මාක්ස් සිය ‘ලුයී බොනපාට් බ්‍රෑමයර් 18 දා’ නම් ලිපියේ ආරම්භයේදීම ඒ පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.

“මිනිස්සු ස්වකීය ඉතිහාසය නිර්මාණය කරති. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඔවුන්ට රිසි පරිදි නොවේ. ඔවුන් විසින් තෝරාගත් තත්වයන් යටතේ ඔවුහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින, ඔවුන්ට ලැබී ඇති සහ අතීතයෙන් සංක්‍රමණයවු තත්වයන් යටතේය, ඔවුන් නිර්මාණය කරන්නේ.”

(මාක්ස් – එංගල්ස් තෝරාගත් කෘති, 1 වැනි වෙළුම, 128 පිටුව)

ඉන් කියවෙන්නේද විෂයමූල තත්වයන්ට යටත්ව වුවද ඉතිහාසය යනු ජනතාවගේ නිර්මාණයක් බවය.

ජනතාව නොපිළිගැනීම

එහෙත් පසුගිය කාලයේ දේශපාලනය තුළ මීට වෙනස් මත පැතිරී ගියේය. ධනවාදය අර්බුදයට ගියද එය වහාම බිඳ නොවැටීමත් සමාජ විප්ලව නැති, වමේ ව්‍යාපාරයන් පසුබෑමට ලක්වූ, කාල පරිච්ඡේදයන් පසුකිරීමට සිදුවීමත් සමග බලාපොරොත්තු කඩ කර ගත් අය හා අසුබවාදයට වැටුන අය ජනතාව පිළිබඳ සැක සහිත මත පළකළහ. සමහරු ‘ජනතාවට’ දොස් පවරන, ජනතාව විශ්වාස නොකරන අන්තයන්ට වැටුණ අතර තවත් සමහරු ජනතාව නම් බලවේගයක් නැති බව පැවසූහ. මීට දශකයකට පමණ පෙර ලංකාවේ පශ්චාත් නූතනවාදීන් විසින් ප්‍රකාශ කරනු ලැබුයේ ජනතාව යනු සංකල්පයක් පමණක් බවත් එවැනි ද්‍රව්‍යමය බලවේගයක් නොමැති බවත්ය. මිනිසුන් තනි තනි මිනිසුන් ලෙස අර්ථකථනය කළ ඔවුහු ජනතාවගේ ක්‍රියාකාරිත්වය මාක්ස්වාදීන්ගේ මනෝරාජික සංකල්පයක් පමණක් බවද පැවැසූහ.

සැබැවින්ම ‘ජනතාව’ යනු මනෝමූලික සංකල්පයක් නොව, සැබෑවටම පවතින යථාර්ථයයි. සමාජයක් තුළ මිනිසුන් තනි තනිව හිතන බව, තනි තනිව කටයුතු කරන බව මතුපිටින් පෙනුණත් හරයෙන් ගත්කළ සත්‍යය එය නොවේ. නිශ්චිත සමාජ ක්‍රමයක් තුළ නිශ්චිත නිෂ්පාදන මාදිලියක් තුළ ජීවත්වන මිනිස්සු නිෂ්පාදන සබඳකම් නැමැති ජාලයෙන් වෙලී බැඳී සිටිති. ඉන් මිදී ඔවුන්ට ජීවත් විය නොහැක. ඒ අනුව මිනිසුන් තනි තනිව ක්‍රියාත්මක වන බවක් පෙනුණද ඔවුන් ක්‍රියාත්මක වන්නේ අදාළ සමාජයේ නිෂ්පාදන රටාව තුළ එම නිෂ්පාදන සබඳකම් නැමති අදිසි ජාලය තුළය. ඉන් මිදී සිටීමට මිනිසුන්ට නොහැක.

සමාජ විඥ්ඥානයේ හැසිරීම

මිනිසුන් නිෂ්පාදන සබඳතා තුළ හා සමාජ සබඳතා තුළ ජීවත්වන අතරම ඔවුන්ගේ සිතිවිලිද ඔවුන්ගේම ස්වාධීන ඒවා නොවේ. ඒවා පවතින සමාජයේ අධිපතිත්වය දරන පංතිය විසින් ඔවුන් මත කාවද්දන ලද අදහස් වේ. ජනතාව වටහාගත යුත්තේ එසේය. සමාජයක් තුළ ජීවත්වන මිනිසුන්ට තම තමන්ගේ දැක්මක්, අදහස් හෙවත් විඥ්ඥානයක් තිබෙන අතර සමාජයටද පොදු විඥ්ඥානයක් තිබේ. තනි තනි මිනිසුන්ගේ අදහස් හා මත යනු සමාජයේ පොදු අදහස හා මතවලම ප්‍රකාශනයකි. සමාජයක ජනතාව තුළ තිබෙන අදහස් හෙවත් සමාජ විඥ්ඥානය හසුරුවන්නේ කවුද? මෙය තේරුම් ගැනීම ඉතා වැදගත්ය. මාක්ස්වාදයට අනුව සමාජයේ මිනිසුන්ගේ සමාජ විඥ්ඥානය ස්වාධීන හෝ නිදහස් නැත. එය නිර්මාණය කරනු ලබන්නේ එම සමාජයේ සමාජ සත්තාව හෙවත් ද්‍රව්‍යමය ජීවිතය (නිෂ්පාදන ක්‍රමය) විසිනි. මේ පිළිබඳව ලෙනින් මෙසේ පවසා තිබේ.

“මිනිසුන්ගේ සත්තාව නිර්ණය කරන්නේ ඔවුන්ගේ විඥ්ඥාන විසින් නොවේ. ඊට ප්‍රතිකූල වශයෙන් ඔවුන්ගේ විඥ්ඥානය තීරණය කරන්නේ සමාජ සත්තාව විසිනි.”

(ලෙනින්, තෝ.කෘ. 01 වෙළුම, 20 – 21 පිටු)

ඒ අනුව ජනතාව නම් බලවේගයක් සමාජයේ සිටින අතර ඔවුන් හසුරුවනු ලබන්නේ එම සමාජයේ ද්‍රව්‍යමය බලය හිමි පංතියේ පංති අවශ්‍යතා මත බව පැහැදිලිය. ජනතාව බලවේගයක් ලෙස යොදා ගත යුත්තේ ජනතාවගේ එම හැසිරීමේ ස්වභාවය වටහා ගනිමිනි. එය වටහා ගැනීමට අපොහොසත් වීම නිසා ඕනෑම අයෙක් ජනතාව සැක කිරීමේ තත්වයන්ට හා අසුබවාදයට තල්ලු විය හැක. ජනතාව බලවේගයක් යන්න පිළිගැනීමට අකමැති අයට දියහැකි ආසන්නතම උදාහරණය නම් පසුගිය කාලයේ ටියුනිසියාවේ හා ඊජිප්තුවේ ජනතා නැගිටීම්ය. ටියුනීසියාවේ බෙන් අලිගේ ඒකාධිපති පාලනයත්, ඊජිප්තුවේ හොස්නි මුබාරක්ගේ ඒකාධිපති පාලනයත් පෙරළා දැමුවේ මහමඟට බැසි ජනතාවය. ජනතාවගේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීමට එය ප්‍රමාණවත්ය.

ජනතාව හා වම

වමේ ව්‍යාපාරයක දේශපාලනයේදී ජනතාව නිවැරදිව වටහා ගැනීම අත්‍යාවශ්‍යය. ඒ, වමේ ව්‍යාපාරයක ජයග්‍රහණය ජනතාවගේ ක්‍රියාකාරිත්වය සමග බැඳී තිබෙන නිසාය. වමේ පක්ෂයක සංවිධානය යනු සමස්ත පීඩිත ජනතාවම නොව ජනතාවගේ සවිඥ්ඥානික කොටස්වල එකතුවකි. ඒ අනුව වමේ දේශපාලන පක්ෂයක් යනු පෙරමුණු බල ඇණියකි. එම පෙරමුණු බල ඇණිය ජය ගැනීමට නම් පොදු ජනතාව තමන් වෙත දිනාගත යුතුය. සමාජ පරිවර්තනයකදී පෙරමුණු බල ඇණියක හෙවත් පක්ෂයක අවශ්‍යතාවය මෙන්ම එය පොදු ජන විශ්වාසය දිනා ගැනීමද එකසේ වැදගත්ය. ඒ සඳහා පොදු ජනතාව අතර වැඩ කළ යුතුය. පොදු ජනතාව හැසිරෙන ආකාරය තේරුම් ගත යුතුය.

ධනවාදය තුළදී පොදු ජනතාව ධනේශ්වර සිතුම් පැතුම්, සදාචාරයන් හා නීතිත් විසින් හසුරුවනු ලබන පිරිසකි. එම පිරිස සමාජ විප්ලවයක් සඳහා එක් වන්නේ පංතියේ සවිඥ්ඥාන පිරිස මෙන් දීර්ඝකාලීනව නොවේ. ධනවාදයේ අර්බූදය වැඩිවෙත්ම ඉන් පීඩාවට පත්වන ජනතාව ඉන් මිදීමට විවිධ ක්‍රියාමාර්ග ගනිති. තම පීඩාවේ වගඋත්තරකරුවන් තේරුම් නොගෙන දෙවියන් අදහති; ග්‍රහලෝක ගැන, අද්භූත බලවේග ගැන විශ්වාස කොට ඒ පිටුපස යති; නැතිනම් වාසනාව උරගා බලති; අසල්වැසියා හෝ අනෙකා තම ප්‍රතිවාදියා ලෙස සලකා ඔවුන් සමග ගැටෙති; නැතිනම් තනි තනිව දියුණු වීමට විවිධ උත්සාහ දරති; ආණ්ඩු පෙරළති; ආණ්ඩු හදති; ධනපති නායකයන් පසුපස දුවති. මන්ද පොදු ජනතාවට ඉක්මන් ප්‍රතිඵල අවශ්‍ය බැවිනි. එසේම පවතින ක්‍රමය තුළම ‘විසඳුම්’ ලබා ගැනීමට ඔවුන් කැමැතිය. ඔවුන් සම්ප්‍රදායිකය. සමහරවිට විශාල වෙනස්වීම්වලට අකමැතිය. ‘නොපෙනෙන දෙවියන්ට වඩා පෙනෙන යක්ෂයා හොඳ’යයි ඔවුහු සිතති. ඒ පාලක පංතියේ මතවාදයන්ට ගොදුරුවූ, පොදුවේ ජනතාවගේ ස්වභාවය වේ. ලෙනින්ද මේ ගැන අවධාරණය කර තිබේ. ලෙනින් කම්කරු පංති පක්ෂවලට දුන් උපදේශක, ජනතාවගේ ස්වභාවයද සඳහන් කර තිබේ. ඒ මෙසේය.

“ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයේ පංති විඥ්ඥානය ඇති පෙරමුණු බල ඇණියෙහි, නැතහොත් කොමියුනිස්ට් පක්ෂවල, කණ්ඩායම්වල හා උපනතිවල හදිසි අරමුණ විය යුත්තේ පුළුල් පොදු ජනතාව ඔවුන්ගේ නව ස්ථාවරයට පමුණුවනු පිණිස (තවමත් ඔවුහු බොහෝ කොටම උදාසීන, අක්‍රීය, නිදිගත සහ සිරිතට බැඳුණු පිරිසක් වෙති.) ඔවුනට නායකත්වය දීමේ හැකියාව ලැබීමය”

(ලෙනින් තෝ. කෘ., 10 වැනි වෙළුම, 214 පිටුව)

මෙම අදහස තුළ පොදු ජනතාවට නායකත්වය දීමේ හැකියාව ඇතිකර ගත යුතු බව අවධාරණය කරන අතර එම පොදු ජනතාව සාමාන්‍යයෙන් කෙබඳු අයද යන්නද සඳහන් කර ඇත. ඒ ජනතාවගේ ස්වභාවයයි.

ප්‍රමාණාත්මක වෙනස්කම් ඔස්සේ

පොදු ජනතාව පාලක පංතියේ මතවාදයන් තුළ හා සමාජ සිරිත් විරිත් සම්ප්‍රදායන් තුළ හැසිරීම නිසා ඔවුන් කිසිවිටක විප්ලවීය බලවේගයක් නොවනු ඇතැයි සිතිය යුතු නැත. පවතින සමාජ ක්‍රමයේ පීඩාව විසිනුත් ඉන් මිදීමට ජනතාව ගන්නා පෞද්ගලික හා හුදකලා ක්‍රියාමාර්ග අසාර්ථක වීම විසිනුත් ඔවුහු දිනපතා අත්දැකීම් ලබති. ඔවුන් තුළ වන පීඩාව ප්‍රමාණාත්මකව වැඬේ. ධනපති පාලකයන් එම පීඩාව සමනය කිරීමට වරින් වර විවිධ උපක්‍රම යෙදුවද, ආණ්ඩු මාරුවීම් විසින් එහි චලනයන් සිදුවුවද ඉහළ පහළ යමින් මෙම පීඩාව වර්ධනය වේ. ඒ අතරට වමේ ව්‍යාපාරයත් එම පීඩාව උපයෝගී කරගෙන ජනතාවට අත්දැකීම් හා දැනුම ලබාදීමත් නව සමාජයක් සඳහා ඔවුන් පෙළගැස්වීමත් ඔවුන්ගේ ගැටලුවලට මැදිහත් වෙමින් ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවන් දිනා දීමත් සිදුකරන්නේ නම් ජනතාව ක්‍රමිකව වෙනස් වීමට පටන්ගනී. මෙය සිදුවන්නේ එක්වර නොවේ. ප්‍රමාණාත්මකව ඇතිවන මෙම වෙනස එක්තරා මොහොතකදී විප්ලවීය අවස්ථාවකදී ගුණාත්මක පරිවර්තනයක් ලෙස පොදු ජනතාව නව ක්‍රියාකාරිත්වයකට ගෙන ඒ. ඒ දක්වා ඔවුන් සමග ඉවසීමෙන්, සංයමයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව වැඩකළ යුතුව තිබේ. ‘ජනතාවක්’ නැතැයි සිතීම හෝ ජනතාවගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සැකකිරීම මාක්ස්වාදයට අනුව වැරදිය.

විප්ලවීය කාලවලදී

ධනවාදය තුළ එහි ආරම්භයේ සිටම ධනවාදයට එරෙහිව නිර්ධන පංති දේශපාලනය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ හැමදෙනාම නොවේ. මුළු නිර්ධන පංතියම එලෙස ක්‍රියාත්මක නොවේ. පංතියේ  දියුණු කොටස් හෙවත් සවිඥ්ඥානික කොටස දිගුකලක් තිස්සේ අවබෝධයෙන් යුතුව ධනවාදයට එරෙහිව ක්‍රියාත්මක වෙති. එම පිරිස ප්‍රමාණයෙන් කුඩාය. ඔවුහු විප්ලවාදීහු, කොමියුනිස්ට්වාදීහු ලෙස හැඳින්වෙති. නිර්ධන පංති විපක්ෂය සමන්විත වන්නේ ඔවුන්ගෙනි. එහෙත් පොදු ජනතාව එලෙස කටයුතු කරන්නේ නැත. ඔවුන් දිගු කලක් තිස්සේ සමාජ වෙනසක් වෙනුවෙන් කැපවීමෙන් වැඩකරනු ඇතැයි සිතීම වැරදිය. එසේම ඔවුන් කිසිදු සමාජ වෙනසකට සම්බන්ධ නොවනු ඇතැයි සිතීමද එකසේ වැරදිය. පොදු ජනතාව ක්‍රියාත්මක වන්නේ දැනුම මත පමණක් නොව අවශ්‍යතාවය හා අත්දැකීමද ඊට අවශ්‍ය වේ. පොදු ජනතාව සාමාන්‍ය කාලයකට වඩා ඉක්මනින් විප්ලවීය කාල තුළ ඉගෙන ගන්නා බවත් ක්‍රියාශීලී වන බවත් ලෙනින් විසින් පෙන්වා දී තිබේ.

“සාමාන්‍ය නිද්‍රශීලී ජීවිතයේදී ජනතාව අවුරුද්දකින් උගෙන ගන්නවාට වඩාද විප්ලවයක් අතරතුර එක් සතියකදී ඔවුහු උගෙන ගනිති. එසේ වන්නේ මුළු ජනතාවගේම ජීවිතයේ තියුණු වෙනස්වීමක අවස්ථාවේදී ජනතාවගේ විවිධ පංති අනුගමනය කරන අරමුණුද ඒවාට ඇති ශක්තියද, ඒවා උපයෝගී කර ගන්නා ක්‍රමද ඉතාමත් පැහැදිලි වන හෙයිනි.”

(ලෙනින් තෝ. කෘ., 06 වැනි වෙළුම, 189 පිටුව)

මේ සියල්ල විසින් තහවුරු කරන්නේ කුමක්ද? න්‍යායික හා ප්‍රායෝගික යන දෙඅර්ථයෙන්ම පෙන්වාදී ඇත්තේ සමාජ වෙනසකදී ජනතාවගේ ක්‍රියාකාරිත්වය අති ප්‍රබල මෙන්ම අත්‍යාවශ්‍ය සාධකයක් බවත් එහෙත් එම ජනතාව එකී ක්‍රියාකාරිත්වයට පැමිණෙන්නේ එවැනි ක්‍රියාකාරිත්වයක් සඳහා වන විෂය මූල තත්වයන් තුළ හා ජනතාව ලබන අත්දැකීම් හා ඔවුන්ට ලැබෙන වමේ ව්‍යාපාරයක නායකත්වයේත් විඳින පීඩාවේ ප්‍රමාණය මතත් යන්නය. ජනතාව යනු වෙනස්කළ නොහැකි ප්‍රපංචයක් නොවේ. එහෙත් එය කිසිවෙකුගේ තනි කැමැත්තට හිතුවක්කාර ලෙස වෙනස් කළ හැකි ප්‍රපංචයක්ද නොවේ. සමාජය තුළ ජනතාව නම් බලවේගයක් සිටින අතර එය සමාජ පරිවර්තනයක් සඳහා යොදා ගැනීමට නම් වමේ ව්‍යාපාරය එම ජනතාවගේ හැසිරීම සමාජ විද්‍යාත්මකවත්, මනෝවිද්‍යාත්මකවත් තේරුම් ගෙන ජනතාව සමග වැඩකළ යුතුය. ජනතාව එක අරමුණකට පෙළගැස්වීම සඳහා ජනතාව අතර, ජනතාව සමග වැඩකිරීම විද්‍යාවක් මෙන්ම කලාවක්ද වේ. එය වටහා ගැනීම අත්‍යාවශ්‍යවන අතර ඒ සඳහා මඟ පෙන්වන හොඳම දේශපාලන දහම වන්නේ මාක්ස් – ලෙනින්වාදයයි.

‘ජනතාව’ බලයක් වීමට නම්…

කිසියම් මතයක් ජනතාවගේ බහුතරයක් තුළ තහවුරු වූ විට එය ද්‍රව්‍යමය බලයක් බවට පත් වන්නේ යයි මාක්ස් වාදයේ සඳහන් වේ . ජනතාව බලවේගයක් වීමට නම් කිසියම් මතයක්, සංකල්පයක් ඔවුන් බහුතරයක් අතර තහවුරු විය යුතුය. ජනතාව සමාජ විප්ලවයේදී විප්ලවීය බලවේගයක් වන්නේද පවතින සමාජය වෙනස් කල යුතු බවත් නව සමාජයක් අවශ්‍ය බවත් වන මතය, අදහස, ජනතාවගේ බහුතරයක් තුළ තහවුරු වූ විටය. ධනවාදය තුළ ධනවාදී මතවාද වලින් අදහස් වලින් නොමග යවා වල්මත්කර සිටින ජනතාවක්, ධනවාදය තුළ හුදකලා කොට, ආත්මාර්ථකාමී ලෙස හිතීමට බලකරනු ලැබූ හා පුරුදු කරනු ලැබූ ජනතාවක්, නව සමාජයක් ගොඩ නගන සමාජ විප්ලවයක් සඳහා බලවේගයක් වන්නේ කෙසේද? මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. පිළිතුරු නිවැරදිව සොයා ගත යුතු ප්‍රශ්නයකි.

අවබෝධකර ගැනීම

මෙයට පෙර ලිපියකදී ද සඳහන් කල පරිදි ධනවාදය තුළ මිනිසුන්ගේ සිතීම හා හැසිරීම අවබෝධකරගත යුතු වන අතරම එය මිනිසුන්ගේ පෞද්ගලික වරදක් හෝ දුර්ගුණයක් නොවන බවද තේරුම් ගත යුතුය. ධනවාදය තුළ මිනිසුන් පොදුවේ ආත්මාර්ථකාමීය, ගතානුගතිකය, සමිප්‍රදායිකය, සැක සහිතය, වෙනස්වීම් වලට බියය. මේ පිළිබඳ අගනා විග්‍රහයක් මැක්සිම් ගෝර්කිගේ “අම්මා” නව කථාවේ තිබේ. රුසියාවේ කම්කරු ජනපදයට විප්ලවවාදී ව්‍යාපාරයේ අය පැමිණිවිට ඔවුන් දෙස පොදු කම්කරුවා බලන ආකාරය එහි මෙලෙස දැක්වේ. “පිටතින් පැමිණි අර මිනිහාගේ අසමාන ගතිගුණ දකින ජනපද වාසීහු, බොහෝකල් යනතුරු ඒවා අමතක කිරීමෙහි අපොහොසත්වන අතර, හේතු රහිතව බියපත්ව, ඔහුගෙන් බේරීමට මාන බලති. තමන්ගේ අමිහිරි, දුක්බර එහෙත් නිසොල්මන් දිවි පෙවෙත නැතිකර දමනුවස් අර මිනිහා මොනවා හෝ කරතියි ඔව්හු බියපත් වෙති. ජීවිතය හැමදාම එකලෙස තමන්ට පීඩාකරන්නේයයි සිතන මිනිස්සු, එය හොඳ අතට හැරෙතියි කිසි දිනක කල්පනා නොකරන අතර, ඇතිවන වෙනස්වීම්වල එකම විපාකය මර්ධනය වැඩිවීම යයි සිතති.” ඉහත විස්තරය අවධානයෙන් හොඳින් යළි යළිත් කියවා බලන්න! ලොව පුරා කොතැනත් ජනතාව පිළිබඳ පොදු තත්වය (කුඩා කුඩා වෙනස්කම් සහිතව වුවත්) මෙය බව වැටහෙනු ඇත. මෙලෙස හැසිරෙන ජනතාවක් විප්ලවයක බලවේගයන් බවට පත්කර ගැනීම විප්ලවාදීන් ඉදිරියේ ඇති අභියෝගය වේ. එය කරන්නේ කෙසේද? කල නොහැකිද? සත්තකින්ම එය කල හැකිය. ඒ සඳහා ජනතාව වටහාගෙන ඔවුනට සමීපවන ලෙස ඔවුන් සමග ඔවුන් අතර වැඩකල යුතුය. එවිට ක්‍රමානුකූලව ඔවුන් වෙනස් කළ හැකිවනු ඇත. මිනිසුන් අතර වැඩ කිරීමේ කලාවක් වන්නේ එවිටය.

දැනුමද? අත්දැකීමද?

ජනතාව බලවේගයක් බවට පත්කර ගැනීමට ඔවුනට දේශපාලන දැනුම ලබාදිය යුතුය. එහෙත් එය පහසු කරුණක් නොවන්නා සේම දැනුම ලබාදුන් පමනින් හැම දෙනාම වෙනස්වේයයි සිතිය යුතු නැත. ඔවුනට අත්දැකීම්ද අවශ්‍යයය. එහිදී පොදු සමාජ අත් දැකීම් මෙන්ම පෞද්ගලික අත් දැකීම්ද මෙහිදී වැදගත්වේ.
ජනතාව පොදු අත්දැකිම් ලබාගන්නේ තමන් අත්විඳින පීඩාව නිතිපතා වැඩිවීමත් ජනතාවගේ ගැටලු වෙනුවෙන් කරන අරගල උද්ගෝෂණ හා සටන් මගිනුත්ය. මෙය පංති සටනේ අත් දැකීම් ලෙස කෙටියෙන් තේරුම් ගත හැක. ජනතාව විප්ලවවාදී ව්‍යාපාරයක් හා බැඳීමට එය පමණක් ප්‍රමාණවත් වන්නේද නැත. ඔවුනට විප්ලවාදී ව්‍යාපාරයේ ක්‍රියාධරයන් හා බැඳුනු පෞද්ගලික අත්දැකීම් ද අවශ්‍යවේ.
ධනවාදය තුළ ජීවත්වන මිනිසුන්ගෙන් සාතිශය බහුතරය සිතන්නේ ධනවාදයට අනුවය. ධනවාදය තුළ හැම දෙනාම කටයුතු කරන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනි. කෙනෙකුට යමක් කරදුන් විට ‘ස්තුතියි’ යන වචනය වත් ඔවුන් බලාපොරොත්තු වෙති. මෙම තත්වය තුළ තමන්ට පෞද්ගලික ප්‍රථිලාභ නොලබා එවැන්නක් අපේක්ෂා නොකොට ජනතාව වෙනුවෙන් වැඩකරන විප්ලවාදියෙකුගේ ජීවිතය තේරුම් ගැනීමට එක්වරම පොදු ජනතාව සමත් වන්නේ නැත. එබැවින් විප්ලවවාදී ව්‍යාපාරය සැක කිරීමට ඔවුන් පෙලඹේ. ‘කැප කිරීම’ තේරුම් ගැනීමට ජනතාව අසමත්ය. එක්කො ඔවුන් එවැන්නක් නැතැයි සිතන අතර නැතිනම් එය මෝඩකමක් ලෙස දකිති. මෙම තත්ත්වය වෙනස් කල හැක්කේ විප්ලවාදී ක්‍රියාධරයන් පොදුජනතාව සමග සමීපව සම්බන්ධවී තම ජීවන හැසිරීම් මගින් පොදුජනතාවට අත් දැකීම් ලබාදීම මගිනි. එය ඉතාමත් වැදගත්ය. එලෙස කිසියම් කෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ පෞද්ගලික හැසිරීම් හා ආදර්ශයන් ගෙන් ඉගෙන ගන්නා, අත්දැකීම් ලබන ජනතාව දේශපාලන දැනුම නැතත් ඔවුනට බැඳෙති. ඒ වෙනුවෙන් බොහෝදේ කිරීමට ද පෙලඹෙති. සත්‍යය එයයි.

‘අම්මා’ ගෙන් ඉගැනීම

ගෝර්කිගේ ‘අම්මා’ නව කථාවේ පාවෙල්ගේ අම්මා සිය පුතුගේ රහසිගත දේශපාලනයේ ක්‍රියාකාරී කෙනෙක් වූයේ විප්ලවය පිළිබඳ අධ්‍යාපනික දැනුමකින් නොව, තම නිවසට පැමිණි, පුතාගේ සගයන්ගේ පෞද්ගලික හැසිරීමෙන්, කැපකිරීමෙන්, සහෝදරාත්මක බැඳීම් තේරුම් ගැනීමෙන්, තම පුතුගේ වෙනස්කම් දැකීමෙන් හා ඒවා ඇගයීමෙන්ය. දේශපාන අවබෝධය කිසිත් නැතිව “මේ ළමයි හොඳ වැඩක් කරනව. ඒ අයට උදව් කල යුතුයි” යන සිතිවිල්ලෙන් මහා කැපකිරීම් කල ‘අම්මාවරුද අපේ රටේ මෑත ඉතිහාසයේ සිටියේය. දැනුදු සිටිති. ඉන් තේරුම් ගත යුත්තේ පෞද්ගලික ආදර්ශයක් හා අත් දැකීම් වලට කෙනෙක් තුළ කල හැකි වෙනස්කම් විශාල බවය. ඔවුන් තුළ විශාල විශ්වාසයක් ගොඩ නැගීමට එයට පුළුවන. මෙහි අනතුර නම් එහි විලෝමයද තිබීමය. එනම් පෞද්ගලික හැසිරීම්වල දුර්ගුණයන් ජනතාව තුළ විශ්වාසය බිඳීමට ද හේතුවන බවය.
විප්ලවවාදී ව්‍යාපාරයක විප්ලවවාදින් සතුව පැවතිය යුතු ගුණයන් රැසක් තිබේ කොමියුනිස්ට් වාදි විප්ලවාදින් සටන් වදින්නේ නව සමාජයක් වෙනුවෙනි. ඒ සමාජවාදී සමාජයයි. එම නව ජමාජය ගොඩ නැගීමට දේශපාලන හා ප්‍රායෝගික නායකත්වය හා දායකත්වය දෙන්නේ විප්ලවවාදින්ය. ඒසේ වූ විට අනාගතයේ ගොඩ නගන එම නව සමාජයේ හොඳ ගුණාංග, සදාචාරයත් වර්තමානයේ විප්ලවාදින් තුළ තිබිය යුතුය. එය තිබීම පමණක් ප්‍රමානවත් නැත. එම ගුණයන් සමාජයට ඔවුන් වෙතින් පරාවර්තනය විය යුතුය. ජනතාව බැඳෙන්නේ එලෙස පරාවර්තනය වන ධනවාදින් තුළ නැති එකී නව ගුණයන් වෙතය.

සංස්කෘතිය තේරුම් ගැනීම

ජනතාව දිනා ගැනීම සඳහා ඔවුන් සමග වැඩකිරීමේදී පොදු ජන සංස්කෘතිය තේරුම් ගැනීම, ඔවුන්ගේ විශ්වාසයන්, සම්ප්‍රදායන් සදාචාරයන් තේරුම් ගැනීම හා ඒවාට හානි නොකිරීම අත්‍යාවශ්‍යවේ. නොගැලපෙන මත, හා සම්ප්‍රදායන් වෙනස් කල යුතු වුවත් එහිදී පවා ඔවුන් සමග ගැටුමක්, ප්‍රථිවිරෝධයක් ඇති නොවනසේ එය කිරීමට අවශ්‍යවේ. ජනතාව තුළ පවතින විඥ්ඥාවාදී මිත්‍යාවන්, වැරදි අදහස්, නරක සිරිත් වෙනස් කල යුතු අතර ඒවා වෙනස් කිරීම සඳහා අනුගමනය කල යුත්තේ ඒවාට නිර්දය ලෙස පහර දීම නොව ඔවුනට ඉවසීමෙන් අවබෝධකරදීම හා ඒත්තු ගැන්වීමය. නැතිනම් ඔවුන් තම මතවාද වෙනුවෙන් විප්ලවාදීන් සමග සටනට ඒ. එවිට ජනතාව අතර ගොඩනැගෙන සම්බන්ධයට බාධා ඇතිවේ.
ජනතාව අතර වැඩ කිරීමේදී ඔවුන් අතර පවතින සම්ප්‍රදායන්ට ගරුකිරීම මෙන්ම නව වටිනා සම්ප්‍රදායන් හා වටිනාකම් වලට ඔවුන් හුරු කිරීම කල යුතුය. එවිට ඔවුන් ඒවා වැලඳගනු ඇත. එසේම ලෝක විප්ලවාදී ව්‍යාර රැසක් තම අත්දැකීම් ඇසුරින් උගන්වා ඇති පරිදි දේශපාලන ක්‍රියාකාරකම් වලදී හා පෞද්ගලික සබඳතා වලදීද ජනතාවට රිදෙන ඔවුන් පීඩාවට පත්වන දේ නිතර නිතර කිරීමෙන් වැලකිය යුතුය. ඔවුන්ගෙන් යමක් ලබා ගැනීමේදී , පොදු සටන් ක්‍රියාමාර්ගයකදී අපහසුතා ඇති වුවත් ඒවා ඔවුන් කැමැත්තෙන් ඉවසා සිටින තත්වයට පත් කල යුතුය. දේශපාලන ක්‍රියාකාරකම් හෝ පෞද්ගලික හැසිරීම් නිතර ජනතාවට පීඩාගෙන දෙන්නේ නම් එවිට ඔවුන් කරදරයෙන් මිදීමට සතුරන් වෙතට යනු ඇත.
මෙලෙස ජනතාව සමග කටයුතු කිරීම සරල නොවන තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වුවද එසේ ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යය. ධනවාදයේ අර්බූදය විසින් ජනතාව පීඩාවට පත්වීමත්, එකී පීඩනයෙන් මිදීමට ජනතාව ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථවී සමාජ ක්‍රමය වෙනස් කිරීමේ මගට ඒමට ඔවුන්ට සිදුවීමත් වමේ ව්‍යාපාරයක් මතවාදී ලෙස ඔවුන් දිනා ගැනීමත් යන සාධක සමග පෞද්ගලික අත් දැකීම් විසින්ද ජනතාව දිනා ගැනීම එක්වූ විට ජනතාව විප්ලවීය බලයක් බවට පත්වේ. එවැනි ජනතාවක් අනභිබවනීය වන අතරම ඔවුන් අනිවාර්ය ලෙසම ජය ගන්නවා ඇත. ඒ සඳහා ජනතාව සමඟ වැඩකළ යුතුය. ජනතාව සමඟ වැඩ කරන කලාව ඉගෙනගත යුතුය.

‘ජනතාව’ බලවේගයක්ද? සංකල්පයක්ද?