ප්‍රංශ විප්ලවය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

වැඩවසම් ක්‍රමය පෙරළා දැමු  නෙයෙක් විප්ලවයන් පිළිබඳව ඉතිහාසයේ සඳහන් වුවත් ඒ අතුරුන් ප්‍රංශ විප්ලවය සුවිශේෂ තැනක් අත්පත් කර ගනී. එනම් අතරමැද සාමදානයෙන් තොරව ඉඩම් හිමි පංතිය අතින් ධනපති පංතිය වෙත බලය හුවමාරු වීම සිදුවන්නේ නැතහොත් රාජාණ්ඩුක්‍රමය පෙරළා දමා ධනපතින්ට බලය හිමිවන්නේ ප්‍රංශයේ සිදුවූ එම  විප්ලවය මඟිනි.

ක්‍රි.ව. 1400 පමණ වන විට යුරෝපය පුරා වැඩ වසම් ක්‍රමය තුළම ඊට ප්‍රතිවිරුද්ධව ධනපති ක්‍රමයේ ඇතැම් අංග ලක්ෂණයන් මතුවී පැමිණි අතර එයට සාපේක්ෂව ප්‍රංශය තුලද මෙම ලක්ෂණයන් ඉස්මතු වීම හේතුකොට ගෙන පැවැති රාජාණ්ඩුවට එරෙහිව දීර්ඝ කාලයක් ගැටුම් සහගත තත්වයන් ඇති විය. වැඩවසම් ක්‍රමය බිද දැමීම සඳහා ප්‍රංශය තුල සිදුවූ අරගල පිළිබද අධ්‍යයනය කිරීමේදි ලුවී රජ පරම්පරාව අමතක කළ නොහැක.

ලුවීලාගේ වග

ප්‍රංශ විප්ලවය හා කියවෙන ලුවී රජ පරපුර පිළිබද මදක් අවධානය යොමු කරමු. 13 වන ලුවීගෙන් පසු රජකම හිමි වන 14 වන ලුවීට එය හිමි වන විට වයස අවුරුදු 5 ක ළදරුවෙක් විය. ප්‍රංශ රාජාණ්ඩුව සැලකූ විට රජු මූලිකයා වුවද ඔහුට සමීපව හිදිමින් විශාල බලයක් දරමින් රජුගේ උපදේශකයන්,රදළයන් හා පූජකයින් ඇතුලු පිරිසක් කටයුතු කරන ලදී. 14 වන ලුවී වැන්නන් ළදරුවෙකුව සිටි සමයේ රජබවට පත් වුවද රට පාලනය කරන ලද්දේ ඉහත පිරිස් විසින් බව ඉතා පැහැදිලිය. 14 වන ලුවීගෙන් පසු ඔහුගේ මුණුපුරෙකු වන 15 වන ලුවී ක්‍රි.ව.1715දී ප්‍රංශයේ පාලකයා වන අතර ක්‍රි.ව.1774 දී ඔහු මිය යන තුරුම ප්‍රංශයේ රජු ලෙස කටයුතු කරන ලදී. ඉන් පසුව බලයට පැමිණෙන්නේ ප්‍රංශ විප්ලව සමයේ කථා බහට ලක්වන 16 වන ලුවීය.

 16 වන ලුවීගේ කාලයට සමාන්තරව නෙදර්ලන්තය,එංගලන්තය ආදි රටවල ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදි කටයුතු සිදුවෙමින් පැවතියද ප්‍රංශය තුල එසේ නොවීය. 16 වන ලුවීට පෙර සිටම   රාජාණ්ඩුවේ තීන්දු තීරණ ගැනීමේදි යම් ප්‍රජාතන්ත්‍රවාදි හැඩයක් පෙන්වන ව්‍යවස්ථාපිත ආයතනයක් විය.එය ස්ටේට් ජෙනරල් කවුන්සිලය : ීඒඑැ ඨැබැර්ක ක්‍දමබජසක*  ලෙස හැදින්විය. මෙහි නියෝජනය ප්‍රජාවන් තුනකින්  එනම් පළමු ප්‍රජාව පූජකයින්ද, දෙවන ප්‍රජාව රදළයින්ද, තෙවන ප්‍රජාව ඒ මොහොතේ යම් බලයක් සහිත පුද්ගලයින්ගෙන්ද විශේෂයෙන් නැගෙමින් ආ ධනපති පංතියේ කොටස් වලින් සමන්විත විය. නමුත් මෙහි තෙවන ප්‍රජාව කෙමෙන් ප්‍රසාරණය වීම හේතුවෙන් රජු ගේ තීරණ සමග ගැටීම් කාරී තත්වයකට යෑම නිසා රජුගේ නියමයෙන් මෙම කවුන්සිලය  අවලංගු කරන්නට විය. එනම් 14 වන ලුවීටත් පෙර එනම් ක්‍රි.ව.1614 පසු එය කැදෙව්වේ නැත. නැගී ගෙන එන ධනපති පංතිය සමග  රාජාණ්ඩුවේ ගැටුම තීව්‍ර වූ අවස්ථාවක් ලෙසද මෙය හැදින්විය හැක.

රාජාණ්ඩුව යටතේ ප්‍රංශය පලාත් 38 කට බෙදා පාලනය කළ අතර මේ සඳහා මූලික වුයේ රදළයන්ය. ඔවුන් නිළ බලයක් සහ අධිකාරිමය බලයක් සහිතව ක්‍රියාත්මක වූ අතර සෑම පලාතක් සඳහාම ආණ්ඩුවෙන් පත් කල නිලධාරියෙක් ද විය. ඔහු හඳුන්වන ලද්දේ ඉන්ටෙන්ඩන්වරුන් ලෙසය. එසේම රාජාණ්ඩු පාලනය ආගම සමග තදින් බැදී තිබුණු හෙයින් 14වන ලුවී ගේ කාලයේදි සෑම බිෂොප් වරයෙක්ම ප්‍රභූවරයෙක් විය. රජයේ මෙන්ම  හමුදාවේ ඉහළ  තනතුරු සහ  නිලයන් සියල්ල ප්‍රභූ පවුල් වලට අයට පමණක් සීමාවිය. එකළ ලක්ෂ 240-250ක් පමණ වූ ප්‍රංශයේ ජනගහණයෙන් ප්‍රභූ පවුල් සංඛ්‍යාව ලක්ෂ 5 ක් පමණ විය.  මේ තත්වය නිසාම පොදු ජනතාව මෙන්ම නැගී එන ධනපති කොටස් කණ්ඩායම් රාජාණ්ඩුව සමග ඉතා තියුණු ප්‍රතිවිරෝධයකට අවතීර්ණ වී තිබුණි.

බදු බරේ තරම

කෘෂිකාර්මික කටයුතු මූලික කොට ගත් ආර්ථිකය තුළ ඉඩම් තීරණාත්මක සාධකයක් වූ අතර රාජාණ්ඩු සමයේ ප්‍රංශයේ ඉඩම් වලින් 3/5 ක් රදළයින්ට හා පූජකයින්ටද,  ඉතිරි 2/5ක ඉඩම් හිමි ගොවීන්ටද අයත් විය. මේ ඉඩම් වලින් විශාල ආදායම් ලැබූ රදළයන් මෙන්ම පූජකයින්ද රජයට බදු නොගෙවූ අතර සියළු බදු බර පැටවුයේ සාමාන්‍ය ජනතාව මතය. සාමාන්‍යයෙන් ගොවියෙක් ලබා ගන්නා අදායමෙන් 60% ක් බදු වශයෙන් ගෙවීමට සිදු වූ අතර විශේෂයෙන් නැගී ගෙන එන වෙළද පංතියට මේ තත්වය වඩාත් අසීරු විය එනම් ප්‍රංශය හරහා සිදුවන සෑම  වෙළදාමක් සඳහාම  පළාතෙන් පළාතට බදු ගෙවන්නට සිදු විය. සාමාන්‍ය ජනතාව මත පැනවූ බදු වර්ග කිහිපයක් ලෙස ස්ථිර ලෙස සෑම වසරක් පාසාම ඉඩම් වලින් ගෙවිය යුතු බදු , වසර 10කට හෝ 15කට වරක් ගෙවිය යුතු බදු, නිෂ්පාදනයෙන් 10% ක් වශයෙන් ගෙවීමට සිදුවූ “ටායිලේ ” නම් බදු වර්ගය මෙන්ම විවිධ වර්ගයේ රාජ්‍ය බදුවර්ගද නම් කළ හැක. එයට අමතරව රාජ්‍ය බදු වර්ග අතර ගැබෙල් නම් වූ ලුණු බද්ද, වරින් වර ඉඩම් බද්ද සමග ක්‍රියාත්මක වූ ඇඟ බද්දද විය.

අර්බුදය උග්‍ර වීම

විප්ලවය ආසන්න වකවානුව වන විට (16 වැනි ලුවී ) බදු බර මෙන්ම රාජාණ්ඩුවේ පරිපාලනයේ ආකාරයක්ෂම තාවය නිසාද ජනතාව මත පීඩනය වැඩි විය. 1765 -1789 අතර වකවානුවේ පාරිභෝගික භාණ්ඩ මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එය විශේෂයෙන් ජනතාවගේ බහුතරයක් වූ ගොවීන්ට දරා ගත නොහැකි විය. 

“වැඩ කරන ජනතාවගේ තත්වය කොහෙත්ම හොඳ නැත. අවසනාවන්තයි. මේ පිරිස දෙකෝටියේ සිට දෙකෝටිහමාරක් වී ඇත. අපි ඔවුන් සිය`ළුදෙනාම අඳුරු ගුබ්බෑයමකට තල්ලු කර සිටිමු. ඔවුන් මිටි පිටින් තල්ලුකර දමා ඇති මේ අන්ධකාර ලෝකය , තිරිසන් ලෝකයක් ලෙසින් ඉතා ඈත පිහිටා ඇත. මනුෂ්‍යත්වයට බර වී කථා කරන අය මොවුන්ට “පොදු ජනයා” යැයි කියති සැබැවින්ම පොදි ගැසුණු මහජන කැබෙලි සංහතියකි. එහෙත්, ඔබ යම්තමින් හෝ සිත සදාගෙන අති විශාල ප්‍රංශය පුරා විසිරී ඇති ඔවුන්ගේ මැටි ගුබ්බායම්වලට, මුඩුක්කුවලට හා පැල්පත්වලට ඔවුන් පස්සෙන්ම ගමන් කළහොත් ඔවුනුත් එක් එක් විධියේ සමූහවලට බෙදී තිබෙන බව ඔබට පෙනේ. මේ හැම කට්ටියටම හෝ රැහැකටම පොදු හදවතක් තිබේ. පොදු දුක් කම්කටොළු තිබේ. ඔවුන්ගේ ශරීර, හමකින් වැසී ඇතත් නියපිටින් හෝ කෙනිත්තුවහොත් ලේ ගලන්නට පටන් ගනී” – ශ්‍රී ජවහර්ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන (අනුවාදනය ඬේවිඞ් කරුණාරත්න) පිට- 394

“ඔහුගේ රාජ්‍ය කාලයේ මුල් අවධියේදිම කුසගිනි  සටන් ගණනාවක් ඇති විය. සාගින්න ඉවසිය නොහැකි වූ ජනතාව  කන්නට අහර ඉල්ලා  සටන් කළ වේලෙහි ඩිජොන්හි ආණ්ඩුකාරයා සාගතයෙන් හෙම්බත් වූ මේ පිරිස අමතා මෙසේ කියා තිබේ.  “ තණ කොළ දළුලා එන කාලයයි. තොපි කුඹුරුවලට ගොස් ඒවා කාපියව්” ” – ශ්‍රී ජවහර්ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන (අනුවාදනය ඬේවිඞ් කරුණාරත්න) පිට- 394

රාජාණ්ඩුවේ ආකාරයක්ෂමතාවය මෙන්ම ස්භාවික විපත්ද ප්‍රංශයේ ආර්ථිකයට මරු පහරක් එල්ල කරන ලදී. වර්ෂ 1788 දී ඇති වූ හිම කුණාටුව මගින්  ගොවි බිම් විශාල වශයෙන් විනාශ වුණු අතර මෙයින් අසරණභාවයට පත් වූ ගොවීන් ආහාරයට යමක් සොයා ගැනීම පිණිස නොයෙක් රැකියා සොයා නගර කරා පැමිණෙන ලදී. එයට අමතරව සාගතයෙන් හෙම්බත් වූ ගොවීන් කැරළි ගසන්නටද විය. නගරයට පැමිණි ගොවීන්ටද කිසිඳු පිළිසරණක් නොවූ හෙයින් ඔවුනට සිදුවුයේ හිඟමනට වැටීමටය. 1777 වන විට ප්‍රංශයේ යදින්නන් සංඛ්‍යාව දස ලක්ෂයක් පමණ වු බව ප්‍රංශ රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වන අතර 1788 වන විට මේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම එයට වඩා ඉහළ අගයක් ගන්නට ඇත.

ප්‍රංශ රාජාණ්ඩුව අධිරාජ්‍යයක් පවත්වාගෙන ගිය හෙයින් බලවත් රාජ්‍යයන් සමග සටන් කිරීමටද සිදු විය. මේ තත්ත්වයද ප්‍රංශයේ ආර්ථිකය බිද වැටීමට හේතු වන්නට ඇත. විශේෂයෙන්  බි්‍රතාන්‍ය හා සිදු කළ  සත් අවුරුදු යුද්ධයෙන් ප්‍රංශය පරාජයට පත් වූ අතර යුධ කටයුතු සඳහා විශාල වශයෙන් ණය ගැනීම නිසාවෙන් එම ණය පිය වීම පිණිස වාර්ෂික ආදායමෙන් හරි අඩකටත් වඩා ගෙවීමට ඇයට සිදු විය. (වාර්ෂික ආදායම ලීවර මිලියන 4720 යි ණය හා පොලිය ගෙවීමට ලීවර මිලියන 2360 යි.)

එසේම ඇමරිකානු නිදහස් සටන සහය පළ කිරීම සඳහා බි්‍රතාන්‍යයට එරෙහිව සිදුකළ යුධ මය ක්‍රියා වලියටද  මැදිහත් වීම හේතුවෙන් ලීවර මිලියන 1200ක මුදලක් වියදම් කිරීමටද සිදු වීම නිසා ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය විය.

රදළයන් මෙන්ම පූජකයින් නැතහොත් ප්‍රභූන් රජයට බදු මුදල් නොගෙවීම නිසා මේ තත්වය තුල වඩාත් පීඩනයට පත් වූයේ ගොවීන් මෙන්ම ස්ටේට් ජෙනරල් කවුන්සිලයෙහි තෙවන ප්‍රජාව ලෙස නම් කළ නැගීගෙන එන ධනපති පංතියේ කොටස් වේ. මන්ද රටේ ණය බර උග්‍ර වීමත් සමග රාජාණ්ඩුව වැඩි වැඩියෙන් නොයෙක් බදු වර්ග හෙළවේ ඔවුන් මතය. එයට සාපේක්ෂව රාජාණ්ඩුව කෙරෙහි ඔවුන්ගේ ප්‍රතිවිරෝධය පිමි ගණනින් වර්ධනය විය.

ප්‍රංශය විප්ලව මඟට

“ප්‍රංශ මහා විප්ලවය පුපුරා හැලුණේ ගිනි කන්දකින් බුරා හැළෙමින් අග්නි බූදරයක් මෙනි. එසේ වුවත් විප්ලව හා ගිනිකඳු පිපිරීම හේතුවක් නැතිව හදිසියේ කෙරෙන ඒවා නොවේ. කලක් විකාශනය වී විෂ පත්තු වන ඒවාය. හදිසියේම ගිනිකන්දක් පුපුරන විට අපි තිගැස්සී සිටිමු. එහෙත් කාලාන්තරයක් මුළුල්ලේ පෘථිවිය යට භූගර්භයේ උෂ්ණත්වය පිළිබඳ බලවේග එක් රැස් වී පොදි ගැසී තවදුරටත් ඔරොත්තු දිය නොහැකි වූ අන්තිම මොහොතෙහි, භූතලය පැළී අහස් කුස දක්වා ගිනිදැල් විහිදෙයි. ඉන් පසු ලොහොදිය පර්වත හා ලොහොදිය ගංගා කඳු අතරින් ඇද හැලී ගළා යයි.” 

“ගිණි උදුනක තැබූ විට වතුර රත් වෙයි. එහෙත් එය උතුරණ අංශකයට එන්නේ රත් වී-රත් වී-හොඳටම රත් වූ විටය.”

 – ශ්‍රී ජවහර්ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන (අනුවාදනය ඬේවිඞ් කරුණාරත්න) පිට- 391

  ගොවියන් සහ මහජනතාව වෙත මෙන්ම නැගීගෙන එන ධනපති පංතිය  මත රාජාණ්ඩුව විසින් පනවන ලද බදු බරත්  ප්‍රංශයේ ආර්ථික කඩා වැටීමත් ආදි කාරණා සේම ජාත්‍යන්තර තලයේ සිදුවූ ඇතැම් සිද්ධීන් මෙන්ම දාර්ශනික මතවල බලපෑම්ද රාජාණ්ඩුව පෙරළා දැමීම සඳහා ජනතාව පෙළගැසීමට හේතු සාධක විය.

ඇමරිකානු ආශ්වාදය

ධනපති පංතියේ නැගීමත්, ඒ හා සමගාමීව සිදුවූ නිෂ්පාදන උපකරණවල සංවර්ධනයත් හේතුවෙන් 17 හා 18 වැනි සියවස් තුළදී නව වෙළඳපොළවල් අත්පත් කර ගැනීමේ සටනකට බි්‍රතාන්‍ය ඇතුළු යුරෝපයේ රටවල් අවතීර්ණ විය. මේ තත්වය තුළ ඇමරිකාව වරින් වර යුරෝපයේ රටවල කිහිපයකට යටත් වුවද අද එක්සත් ජනපදය ලෙස හඳුන්වන ප්‍රදේශය අවසානයේ මුළුමණින්ම බි්‍රතාන්‍යයට යටත්විය. (ඇමරිකානු ජනපදවාසීන් ලෙස හඳුන්වනු ලබන්නේද වරින් වර බි්‍රතාන්‍යයෙන් එහි ගොස් පදිංචි වූවන්ය. ඇමරිකා නිදහස් සටන මව් රාජ්‍යයේ පීඩනයට එරෙහි සටනක් ලෙසද ඇතැම් පත පොතෙහි හඳුන්වන ලැබ තිබේ.) බි්‍රතාන්‍ය පාලනයෙන් මිදීම සඳහා ඇමරිකානු එක්සත් ජනපද ජනයා විසින් දියත් කළ නිදහස් සටනට ප්‍රංශය අවතීර්ණ වූයේ තම ප්‍රතිවාදියා වන බි්‍රතාන්‍යය එයින් පරාජය කිරීම සඳහාය. මේ සටන සඳහා ප්‍රංශ රාජාණ්ඩුව කෙතරම් මැදිහත් වූයේද යත් තම රටේ ආර්ථිකය වළපල්ලට යද්දී පවා යුද උපකරණ, මූල්‍ය සම්පත්වලට අමතරව තම හමුදාද එම නිදහස් සටනට සම්බන්ධ කළේය.

බි්‍රතාන්‍යය පරාජය වනු දැකීම ප්‍රංශ රාජාණ්ඩුවේ මූලික අරමුණ වූ නිසාම එයින් වන අයහපත් ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔවුනට අදහසක් නොවීය. එක පැත්තකින් රට ආර්ථික අර්බුදයකට ලක් වෙමින් තිබියදී ප්‍රංශ හමුදා සෘජුව නිදහස් සටනට සම්බන්ධ වීම නිසා එම සටනේ ආශ්වාදය යුරෝපයේ අනෙකුත් ජාතීන්ට වඩා ප්‍රංශ ජාතිකයන්ට දැණුනි. තව පැත්තකින් අරගල කිරීම තුළින් රාජාණ්ඩුව පෙරළා දැමිය හැකිය යන ආකල්පයත් යුද ක්‍රියා මාර්ග හා සක්‍රීයව සම්බන්ධ වීම නිසා ඔවුනට ලැබුණි. ප්‍රංශ විප්ලවය වකවානුවේ රාජාණ්ඩුවට එරෙහිව යුදමය නායකත්වය සැපයූ  ලෆායට් වැනි නායකයින්ද බිහි වූයේ මෙවන් පසුබිමකය. මෙනිසා  ඇමරිකන් නිදහස් සටන ප්‍රංශ විප්ලවය කෙරෙහි  සුවිශේෂී බලපෑමක් සිදු කරන ලදී.

මත වෙනස් කළ මත

වහල් හිමි ක්‍රමය ආරම්භ වන අවධියේදී වහලා යනු මිනිසෙකු නොව භාණ්ඩයක් එසේ නොමැති නම් කථා කරන සත්වයෙක්  යනුවෙන් එම සමාජයේ මතයක් පැවතිණි. එකල සිටි දාර්ශනිකයින් හරහා මෙවැනි මතවාද පෝෂණය විය. එහෙත් වහල් ක්‍රමය බිඳ වැටෙන වකවානුවේ වහලාද යනු මනුෂයෙක්ය යන මතයක් සමාජගත වෙමින් තිබුණි. මෙයද එම යුගය නියෝජනය කළ විවිධ දාර්ශනිකයින් හරහා සමාජ ගත විය. මෙවැනි මතවාද බිහිවූයේ ඕපපාතිකව එම දාර්ශනිකයින්ගේ හුදෙක් පුද්ගලික වුවමනාවට යැයි අප සිතුවහොත් එය නිවැරදි නොවේ. නිෂ්පාදන උපකරණයන්ගේ සංවර්ධනයට සාපේක්ෂව මතවාදය සමාජ ගත වූයේ එම යුගයන් නියෝජනය කළ දාර්ශනිකයන් හරහාය.

ප්‍රංශ විප්ලවයට අදාලව ගත්තද මෙය එසේමය. නැගී එන ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවලට බාධාවක් වී තිබෙන වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතා අහෝසි කිරීම සඳහා රාජාණ්ඩුව පෙරළා දමා රජුගේ ආධිපත්‍ය බිද දැමීම අනිවාර්යයක් විය. මේ සඳහා අවශ්‍ය කරන මතවාදයන් විවිධ දාර්ශනිකයින් හරහා එකල සමාජයට එක් විය. මේ දාර්ශනිකයින් අතුරින් වොල්ටෙයාර්ද (1694-1778) ප්‍රබල භූමිකාවක් ඉටු කළේය. කවියෙකුද, නාට්‍ය රචකයෙකු මෙන්ම විද්‍යාවේ ප්‍රගමනය සදහා දායක වන්නෙකු වශයෙන්ද ප්‍රසිද්ධව සිටි මොහු විසින් පල්ලිය, රාජාණ්ඩුව, නීති පද්ධතිය මෙන්ම විශේෂයෙන්ම බැස්ටීල හිරගෙදර වැනි බලහත්කාරී ආයතන පිළිබදව විවේචනය තම නිර්මාණ තුළින් එළිදක්වන ලදී. මේ හේතූන් නිසාම මොහුව සිරගතවීම්වලට මෙන්ම ප්‍රංශයෙන් පිටුවහල් කිරීමටද රාජාණ්ඩුව කටයුතු කෙරුවේය. ක්‍රි.ව. 1689 -1775 මොන්ටෙස්කිද රාජාණ්ඩු පාලනයට එරෙහිව කටයුතු කළ අයෙක් වූ අතර එංගලන්තයේ මෙන් ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් ප්‍රංශයේ පිහිටවනු දැකීම ඔහුගේ බලාපොරොත්තුව විය. ඔහුගේ “එස්පිරිට් ඩිලොයි” කෘතිය මගින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන එකිනෙකට වෙන්වූ අංශ තුනක් මගින් බලය ක්‍රියාත්මක විය යුතුයැයි කියන යෝජනා අඩංගු විය. මෙම යෝජනා ක්‍රියාත්මක කළහොත් රාජාණ්ඩුව අහෝසි වී පුද්ගල නිදහස රැකෙන බව ඔහුගේ අදහස විය. නව දැනුම එකතුකොට ගනිමින් විශ්වකෝෂයක් සැකසූ ඩිඩෙරොට් මතවාදී තලයේ බලපෑම් සිදුකළ තවත් අයෙකු විය. මෙම විශ්වකෝෂය මගින් රාජාණ්ඩුව විවේචනයට ලක් කළ අතර රූසෝ වැනි දාර්ශනිකයින්ද මෙයට ලිපි ඉදිරිපත් කළේය. මෙනිසාම මේ හරහා රාජාණ්ඩු විරෝධය වඩාත් තීව්‍ර විය.

ප්‍රංශ විප්ලවය හා සැලකූවිට වඩා ශ්‍රේඨතම දාර්ශනිකයෙක් ලෙස සැලකෙන්නේ ජින් ජැක්වින් රූසෝය (ක්‍රී.ව.1712 -1778). මොහු විසින් ඉදිරිපත් කරන ලද සමාජ සම්මුතිවාදය නම් මතවාදය ප්‍රංශ විප්ලවයට කළ බලපෑම අතිමහත්ය. සැකෙවින් ගත හොත් එම මතවාදයට අනුව  රජය හා සමාජය අතර සම්මුතියක් පවතී. රජය සම්මුතිය බිදින විට ජනතාවට එයට එරෙහිව කැරලි ගැසීමට ඇති අයිතිය පිළිබදව රූසෝ පෙනී සිටී. විශේෂයෙන්ම කැරලි ගැසීමට ඇති අයිතිය පිළිබද රූසෝගේ ඉගැන්වීම ප්‍රංශ විප්ලවයට ඉමහත් බලපෑමක් සිදු කළේය.

ටෙනිස් පිටියේ සපථය

 රට තුළ මතුව එන ආර්ථික අර්බුදයත් ඇමරිකානු නිදහස් සටනේ අභාසයත්, විවිධ දාර්ශනිකයන්ගේ මතවාදත් හේතුවෙන් මෙම ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට වර්ධනය වන්නට විය. එය වැළක්වීම සඳහා රාජාණ්ඩුව නොයෙක් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනාවද ඒවා අසාර්ථක විය. මේ නිසාම වර්ෂ 1614 දී අවසන් වරට කැඳවන ලද ස්ටේට් ජෙනරල් කවුන්සිලය නැවත කැදවීමට ලුවී රජුට සිදුවිය. එහෙත් එය සාර්ථකව පැවැත්විමට නොහැකිවූයේ පළමු හා දෙවන ප්‍රජාවන් නියෝජනය කළ පූජකයන් හා රදලයන් ගේ නියෝජනය සමග තෙවන ප්‍රජාව නියෝජනය කළ නැගී එන ධනේශ්වර පංතියේ කොටස්හි  ප්‍රතිවිරෝධය උග්‍ර අතට පත් වීමයි. මීට හේතුවූයේ මෙම කවුන්සිලය තුළින් තුන්වන ප්‍රජාවට අවශ්‍ය දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට පළමු හා දෙවන ප්‍රජාවන් බාධා කිරීමයි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ තෙවන ප්‍රජාව තම දේශපාලන ජයග්‍රහණය කරවීම සඳහා ජෙනරල් කවුන්සිලය වෙනුවට තමන්ගේ මූලිකත්වයෙන් ජාතික මන්ත්‍රණ සභාව නම් ආයතනයක් පිහිටුවා ගැනීමයි. මෙය පිහිටවීමත් සමග තෙවන ප්‍රජාව වර්සෙල්ස් නගරයේ ටෙනිස් පිටියකට රැස්වී නව ව්‍යවස්ථාවක් හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ක්‍රියාත්මක වන බවට සපථ විය. මේ වන විටත් තෙවන ප්‍රජාව ලෙස හැඳින්වෙන නැගී එන ධනපති පංතියේ කොටස් අතර දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද බලවත් පිරිස් එක් රොක්ව සිටි අතර අවසානයේ පළමු හා දෙවන ප්‍රජාවටද ස්ටේට් ජෙනරල් කවුන්සිලය හැර දමා ජාතික මන්ත්‍රණ සභාව වටා එක් රොක් වන්නට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ බලය රාජාණ්ඩුව වෙතින් ගිලිහීයමින් වෙනත් කණ්ඩායමක් අතට  හිමි වන ආකාරයට කරුණු පෙළගැසුණි.

බැස්ටීලය දෙසට

රාජාණ්ඩුවේ පීඩනයට ලක්ව සිටියේ නැගී එන ධනපති පංතියේ කොටස් පමණක් නොව ගොවීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ඒ අතර විය. එනිසාම මේ කාණ්ඩ දෙකෙහිම මූලික ප්‍රතිවිරෝධය එල්ල වී තිබුණේ රාජාණ්ඩුව දෙසටය. එයින් අදහස් කරනුයේ ධනපති පංතියේ කොටස් සහ සාමාන්‍ය ජනතාව අතර කිසිදු ප්‍රතිවිරෝධතාවයක් නොතිබුණා යන්න නොවේ.

“1744 දී ලියොන් නගරයේදී පටරෙදි කම්කරුවන් චණ්ඩ සහසිකකමින් මුළු නගරය තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී වූවාක් මෙන්, වැඩවර්ජන සහ චණ්ඩ කැරලි කෝලාහල දුලබ දෙයක් නොවූ නමුදු, මේවා සෑම විටකම යටපත් කරනු ලැබුණි. ලියොන්හි වූ මෙම සාහසිකම් සන්නද්ධ හමුදාවක් මගින් යටපත් කරන ලදී. එම කටයුතුවල නායකයෝ වධදී මරුමුවට පත් කරනු ලැබුවෝය; නැතහොත් දිවිහිමි තෙක් හම්බන්වල හබල් ගෑමේ මෙහෙයට නියම කරනු ලැබුවෝය. කර්මාන්ත හිමියන්ගෙන් අයෙක් කර්මාන්තවලට රජය ගුරුකම් දීම නොරිස්සූ නමුදු, තම කම්කරුවන් පාලනය පිණිසද, නව නිෂ්පාදන ක්‍රම ව්‍යවහාරය වැළැක්වීම පිණිසද, එම තත්වය යොදා ගැනීමට යුහුසුළු වූහ.”  – නූතන ප්‍රංශයේ ඉතිහාසය, ඇල්ෆ්‍රඞ් කොබන් පිට -41

රාජාණ්ඩුවෙන් බලය ගිලිහී වෙනත් පාර්ශවයක් අතට එනම් නැග එන ධනපති පංතියට බලය හුවමාරු වන අවස්ථාව වන විට ප්‍රංශය තුළ නොයෙක් ආකාරයේ ගැටුම්කාරී තත්වයන් උත්සන්ව වී තිබුණි. විශේෂයෙන්ම පොදු ජනතාව තමන් මෙතෙක් කාලයක්  පීඩාවට පත් කළ රාජාණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම් උත්සන්න කර තිබුණි. එසේ සටන් කරන ජනතාවට තමන් කලින් සාදාගත් සටන් ආකෘති නොතිබුණි. තමන් අත තිබූ ඕනෑම පන්නයේ ආයුධයක් ගෙන ඇතැම් විට ආයුධ සන්නධ හමුදා කොටස් සමග පවා සටන් කිරීමට ඔවුන් පෙළඹී සිටියහ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම බේදයකින් තොරව සටන්වලට සහභාගි වීම කැපීපෙනෙන ලක්ෂණයක් විය. ගොවිබිම් ආදිය අහිමි වීම් හේතුවෙන් නගර වෙත සංක්‍රමණය වූ ගොවි ජනතාවත් තම ගැටලුවලට රාජාණ්ඩුවෙන් පිළිසරණක් නොමැතිව සිටින පීඩිත නාගරික ජනතාවත් මේ කැරලිවලට සෘජුව සම්බන්ධ වී සිටියහ. මේ ගැටුම්කාරී තත්වයන් තවත් ඉදිරියට වර්ධනය වී වර්ෂ 1789 ජූලි 14 වැනිදා ආයුධ සන්නධ කැරලිකරුවන් ප්‍රංශ රාජාණ්ඩුවේ ආඥාදායක්තවයේ සංකේතයක් බදු වූ බැස්ටීලය නම් දැවැන්ත සිරකදවුරට පහර දී එහි බලය අත්පත් කර ගන්නා ලදී. බැස්ටීලය බිඳ දැමූ මේ දිනය ප්‍රංශ විප්ලවය සිදුවූ දිනය ලෙසද හඳුන්වනු ලබයි. එහෙත් බැස්ටීලය යටත් කර ගැනීමෙන් ප්‍රංශ විප්ලවය නිම වුවායැයි යැයි කිව නොහැක. බැස්ටිලයට පහරදී මාස දෙකකට පමණ පසු එනම් 1789 ඔක්තොම්බර් 05 වැනිදා 7000 ක පමණ කාන්තා නියෝජනයක් කාලතුවක්කු සහ විවිධ වර්ගයේ අවි ආයුධ රැගෙන වර්සෙල්ස් දක්වා විරෝධතා පෙළපාලියකින් ගමන් කළ අතර සාගින්නෙන් පෙළනු ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ කෑමට පාන් ලබා දෙන ලෙසයි.

“කැරලි ගසා නැගී සිටීමෙන් රාජ සභාවේ ක්‍රියාමාර්ගයන්ට අකුල් හෙළා තෙවැනි  ප්‍රජාව බේරා ගත් පැරීසියානු ජනකායගේ එම ක්‍රියා කලාපයට හේතු වූයේ, හුදු පරාර්ථකාමී දේශපාලනමය හැඟීම්ම නොවේ. පාන් මිල අධික වීම සහ පාන් හිඟය යන දේ ගැන පෞද්ගලික දුක් ගැනවිල්ලක්ද ඔවුනට තිබුණේය.” – නූතන ප්‍රංශයේ ඉතිහාසය, ඇල්ෆ්‍රඞ් කොබන් පිට -155

මෙසේ බැස්ටීලය බිඳ වැටී මෙන් පසුවද වසර ගණනාවක් තුළ ගොවීන්, පීඩිත ජන කොටස් මෙන්ම  ධනපති පංතිය නියෝජනය කළ පිරිස් රාජාණ්ඩුව මුළුමණින්ම අහෝසි කර දමන තෙක් ගෙන ගිය අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය තුළ ධනේශ්වර ක්‍රමය තහවුරු විය. මේ කාලය තුළ නැවත වරක් රාජාණ්ඩුව පත්වීමට උත්සහයන් තිබූ අතර නැපෝලියන් බොනපාට්ගේ අඥාදායක්වය යටතේ සිටීමටද ප්‍රංශ ජනතාවට සිදු විය. මේ සියලු සංකීර්ණ තත්වයන් මැද ප්‍රංශය තුළ ධනේශ්වර ක්‍රමය තහවුරු වූ බව අප අමතක නොකළ යුතුය. අතරමැද සාමදානයකින් තොරව වැඩවසම් නෂ්ඨාවශේෂ සියල්ල අතුගා දමමින් මෙම විප්ලවය සිදු වූ හෙයින් ප්‍රංශයේ මෙම විප්ලවය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙස හඳුන්වනු ලබයි.

ප්‍රංශ විප්ලවය