ප‍්‍රජාතන්ත‍්‍රවාදය: සංකල්පය හා විකාශනය

religion
විවිධත්වය හා සහජීවනය ආගමෙන් කියවීම
April 27, 2017
ukraine-is-the-center-of-the-most-serious-crisis-since-the-fall-of-the-soviet-union
අපරාධ නැති ලෝකයක්
April 27, 2017
Show all

ප‍්‍රජාතන්ත‍්‍රවාදය: සංකල්පය හා විකාශනය

democracy_converted

ඇතෑන්ස්හි ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ, ක‍්‍රිස්තු පූර්ව පස්වන සියවසයි. එය පෙරක්ලිස් (Pericles) යුගය වශයෙන්ද හදුන්වනු ලැබේ. මෙකල ස්පාර්ටාව සහ ඇතෑන්ස් රාජ්‍යය අතර ඇතිවූ යුද්ධයෙන් මියගිය යුධ විරුවන්ගේ පළමු වාර්ෂික සැමරුමේදී පෙරක්ලිස් විසින් ඉදිරිපත් කරනු ලැබූ දේශනය (Pericles’ funeral oration) ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු කුමක්දැයි අර්ථ දැක්වීම සදහා අදද උපුටා දක්වනු ලැබේ. ඉහත යුද්ධයේ ඉතිහාසය පිළිබද ග‍්‍රන්ථයක් රචනා කරනු ලබන තුස්සිඩිඩිස් (Thucydides) නැමති ලේඛකයා පෙරක්ලිස්ගේ කථාව තම ග‍්‍රන්ථය තුළ උපුටා දක්වයි.

”අප ආණ්ඩු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් ලෙස සලකනු ලැබේ. මන්දයත් පෞර රාජ්‍යයේ පාලනය බහු ජනතාව සදහා මිස සුළු ජනතාවගේ යහපත පිණිස යොදවා නැති නිසයි. අපගේ බාහිර ජීවිතයේ ක‍්‍රියාකාරීත්වය නිදහස් මූලධර්මය මත පදනම් වී තිබේ. අසල්වැසියන් කෙරෙහි සැකයෙන් සහ අමනාපයෙන් තොරව අපි එදිනෙදා ජීවිතය ගෙන යන්නෙමු. සෑම පුද්ගලයෙකුම අන්‍යයන්ට ප‍්‍රිය මනාප බැවින් අන්‍යයන්ගේ කටයුතුවලට ඇගිලි නොගසන ඔවුන් පීඩාවට පත් නොකිරීමටද වගබලා ගනිමු. නීතියට ඇති අපගේ ගෞරවය නිසා ඒවා උල්ලංඝනය නොකිරීමට අපි බැඳී සිටිමු. නීතියටත් එම නීති ක‍්‍රියාවේ යොදවන්නවුන්ටත් විශේෂයෙන් දුර්වල අයගේ ආරක්‍ෂාව සඳහා පනවා ඇති එමෙන්ම බහු ජනතාවගේ සහයෝගය ඇති නොලියවුණු නීතිවලටත් අපි අවනතභාවය දක්වන්නෙමු.”

පෙරක්ලිස්ගේ කථාවේ ඉහත කොටසේ ඇතෑන්ස්හි පාලනය ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී එකක් බවත් එම පාලනය නිදහස් මූලධර්මය මත පදනම්ව බහු ජනතාවගේ කැමැත්ත අනුව සිදුවන බවත් පැවසේ.

ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපතිවරයා වූ ඒබ‍්‍රහම් ලින්කන් 1863 නොවැම්බර් 19 දින පෙන්සිල්වේනියාවේ ගෙටිස්බර්ග්හි සොල්දාදුවන් සදහා වෙන්වූ ජාතික සුසාන භූමියේදී පවත්වනු ලැබූ කථාව පෙරික්ලිස්ගේ දේශනය තරම්ම සුප‍්‍රකට එකකි. ඇමරිකානු සිවිල් යුද්ධය අතරතුරදී පවත්වන ලද එම කථාව ගෙටිස්බර්ග් ඇමතීම (Gettysburg Address) නමින් ප‍්‍රකටව ඇත. එහිදී ලින්කන් සිවිල් යුද්ධයේදී ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වීරයින් විසින් ජාතියට නව උපතක් ලබාදී ඇති බවත් නව නිදහසක් ලබාදී ඇති බවත් පවසයි. එමෙන්ම එම අරගලය තුළ ජනතාව විසින්, ජනතාව සඳහාල ජනතාවගේ ආණ්ඩුවක් (Government of the people, by the people, for the people) බිහි කර ඇති බව පවසයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද පොදුවේ පිළිගත් නිර්වචනයක් නැතත් මානව නිදහස සහ සමානාත්මතාවය පිළිගන්නා එය උපරිම වශයෙන් පොදු ජන කැමැත්තට අනුව ක‍්‍රියාවට නගා ගන්නා ක‍්‍රමවේදය ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථ නිරූපණය කිරීමට ඊට පක්‍ෂපාතී වූ සෑම කෙනෙක්ම විවිධ අයුරින් උත්සාහ දරා ඇති බව පෙනේ.

පෙරික්ලිස්ගේ දේශනය මෙන්ම ලින්කන්ගේ දේශනයද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද සාකච්ඡුාව තුළ අති උත්කර්ෂයට නැංවී ඇත්තේ, ඒවා ඉදිරිපත්වූ ඓතිහාසික වටපිටාවන් නිසා මෙන්ම ඒවා තුළ ඉහත සදහන් කළ මූලික අදහස් ගැබ්වී ඇති නිසාය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උපත

තම ජීවිතය තමන්ට රිසි ලෙස පවත්වා ගැනීම පිළිබඳව වුවමනාව සවිඥානිකත්වයේ අඛණ්ඩ කොටසක් ලෙස මිනිසා තුළ ගැබ් විය. සවිඥානිකත්වය යනු සොබාදහම සහ මිනිසා අතර වන දයලෙක්තික සම්බන්ධයේ ප‍්‍රකාශනයයි. දේපළ පැවැත්මට ඒම තුළ ජනිත කරන ලද සමාජ අසමානතාවයෙන් සහ පංති පීඩනයෙන් මිදීම පිළිබඳ සංකල්පීය පැන නැගීම්වල ඉතිහාසය සහ අරගලවල ඉතිහාසය දේපළ පැවැත්මට ඒමේ ඉතිහාසයම වන්නේය. එනම් තමන්ට රිසි නොවූ සොබාදහමේ කොන්දේසිවලට එදිරිව නැගී සිටි මිනිසා තමන්ට රිසි නොවූ සමාජ කොන්දේසිවලට එරෙහිවද සිතන්නට පටන් ගත්තේය; නැගී සිටියේය. මානව ඉතිහාසයේ මුල්ම පංති සමාජය වන වහල් සමාජ අවධියේම අප හට නිදහස, සමානාත්මතාවය පිළිබඳ සංකල්ප හමුවන්නේ එනිසාය. අධිපතිවාදයන්ට එරෙහිව බහුතර කැමැත්ත මත වන පාලනයන් පිළිබඳ අත්හදාබැලීම් හමුවන්නේ එනිසාය.

ඉතිහාසයෙන් ඉතිරිවී ඇති සහ සොයාගෙන ඇති සාධක අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්හදා බලන්නට මුලපිරූ තැන්වලින් අපට හමුවන ප‍්‍රබලතම සාක්‍ෂිය ග‍්‍රීසියේ පෞර රාජ්‍යයන්ගෙන් හමුවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ග‍්‍රීසියෙන් ආරම්භ වූවක් බව සාමාන්‍ය පිළිගැනීම බවට පත්ව ඇත්තේ මෙනිසාය.

ක‍්‍රිස්තු පූර්ව 510 දී පමණ ඇතෑන්ස්හි ක‍්‍රියාත්මක වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සමාන්තරව ඉන්දියාවේද එවැනි ලක්‍ෂණ සහිත සමූහාණ්ඩු ක‍්‍රමයක් පැවති බවට තොරතුරු බෞද්ධ මූලාශ‍්‍රයන් ඇතුළු ඉතිහාස අධ්‍යයනයන්ගෙන් හෙළිවී ඇත. බුද්ධකාලීන ඉන්දියාවේ පැවති ශාක්‍ය, මල්ල සහ වජ්ජි යන ජනපදවල ඉතා දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පැවති බව රීස් ඬේවිස් සදහන් කරයි.

මෙසපොතේමියාව පිළිබඳ අධ්‍යනයක් කරන තෝකිල්ඞ් ජේකොබ්සන් (Thorkild Jacobsen) මෙසපොතේමියාවේද වැඩිහිටියන්ගේ කවුන්සිලයක් මගින් මෙන්ම තරුණයින්ගේ කවුන්සිලයක් මගින් පාලනය ගෙන ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පැවති බව පවසයි. මෙසපොතේමියානු භාෂාව සහ සුමේරියානු සාහිත්‍ය පිළිබඳ විශේෂඥයකු වන ජේකොබ්සන් එහි පැවති වීර කාව්‍ය ඇතුළු සාහිත්‍ය, ජන විශ්වාසයන් ඔස්සේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් මෙම නිගමනයට බැස ඇත.

ක‍්‍රි:පූ: 6වන සියවස තරම් ඈත යුගයක ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිවූ බව පිළිගැනුණද රාජ්‍ය ආකාරයක් ලෙස එය පුළුල් ලෙස පැවැත්මට පැමිණියේ, ධනේශ්වර සමාජ ක‍්‍රමයේ ආරම්භයත් සමගය. නිදහස සහ සමානාත්මතාවය සඳහා මානව සමාජය තුළ වූ අභිප‍්‍රාය, පීඩනයට එරෙහිව යුග ගණනක් තිස්සේ සිදුකරන ලද අරගල මගින් මිනිසා තමන් වටා වූ බැමි පවුරු, වැට කඩුලූවල සීමා පුළුල් කර ගත්තේය. වැඩවසම් ඒකාධිපතිත්වයන් බිඳ දමා දිනාගත් එම නව නිදහස පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අලූත් සීමා පිළිබඳ කථා කිරීමේදී විශේෂයෙන් සදහන් කළ යුතු සංධිස්ථානයන් කිහිපයක්ම වෙයි.

නූතන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා අරගලයේ සංධිස්ථාන නූතන ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුාවේදී මුලින්ම අවධානයට යොමු වන්නකි, මැග්නා(ර්) කාර්ටා (Magna Carta) ගිවිසුම. වර්ෂ 1215 දී මුලින්ම ප‍්‍රකාශයට පත් මෙම ලියවිල්ල පසුව වරින්වර සංශෝධනයට ලක් කරන ලදී. මේ වන විටත් එංගලන්තයේ පැවති රාජාණ්ඩු ක‍්‍රමය මගින් එහි සාමාන්‍ය ජනයා මෙන්ම අධිපතීන්ද වෙහෙසට පත්ව සිටියේය. බදු වැඩි කිරීම, නඩු විභාගයකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හා දඩුවම් කිරීම, අනවශ්‍ය යුද්ධ ඇතුළු රජුන්ගේ අත්තනෝමතික තීන්දු සහ පාලනයෙන් හෙම්බත්වූ අධිපතීන් විසින් රජුගේ බලය පාලනය කිරීම සදහා සහ ඔවුන්ගේ අයිතීන් ආරක්‍ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් 1215 මැග්නාර් කාර්ටා ලියවිල්ල ඉදිරිපත් කරන ලදී. එවකට රාජ්‍යත්වය දැරූ ජෝන් රජු එම ලියවිල්ලට අත්සන් නොකරන්නේ නම් සිවිල් යුද්ධයක් අරඹන බවට අධිපතීන් විසින් තර්ජනය කරන ලදී. එවැන්නක් මතුවීමට හේතු විය හැකි පීඩනයක්, සමාජ පසුබිමක් පොදු ජනයා තුළද නිර්මාණය වී පැවතියේය. ආරම්භයේදී එම ලියවිල්ල මගින් දුප්පත් ගොවීන් ඇතුළු පොදු ජනයා නොසලකා හැර තිබුණද පසුව පොදු ජනයාගේ අයිතිවාසිකම්ද ආරක්‍ෂා කිරීම දක්වා පුළුල් කරන ලදී.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක‍්‍රමය පැවැත්මට ඒමද ක‍්‍රමාණුකූලව වැඩවසම් බලය සීමා කිරීමට හේතු විය. මැග්නාර් කාර්ටා ගිවිසුම විසින් රජුට ඇතිකරන ලද සීමා හේතුවෙන් තීරණ ගැනීම සදහා රාජකීය කවුන්සිලයක් ඇතිකිරීමට සිදු වූ අතර මෙම කවුන්සිලය පාර්ලිමේන්තු ක‍්‍රමයක් දක්වා පසුව පුළුල් විය. ආරම්භයේදී එය රාජකීය අධිපතීන්ගෙන් පමණක් සමන්විත මණ්ඩලයක් වූ අතර කි.ව.1400 දී පමණ උත්තර මන්ත‍්‍රී මණ්ඩලය හා මහජන මන්ත‍්‍රී මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකක් සහිත ක‍්‍රමයක් බවට පත් විය.

වර්ෂ 1600 අග භාගය වන විට නිදහස සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබදව සංවාදය ලෝකය තුළ ඉහළටම නැග තිබූ යුගයක් විය. 1689 දෙසැම්බර් 16 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පනතක් ලෙස අයිතිවාසිකම් ප‍්‍රකාශයක් (Bill of Rights 1689) නිකුත් කරනු ලැබිය. මෙම පනත තුළ එවකට සිටි දේශපාලන චින්තකයෙකු වන ජෝන් ලෝක්ගේ අදහස් ගැබ්ව ඇති බව පිළි ගැනේ. සම්භාව්‍ය ලිබරල්වාදයේ පියා ලෙස සැලකෙන්නේ ජෝන් ලොක්ය. 1689 අයිතිවාසිකම් පනත තුළ කථා කිරීමේ නිදහස, නීතියේ ස්වාධිපත්‍යය, අසාධාරණ ලෙස දඩුවම් නොකිරීම සහ බදු, මිලිටරි කටයුතු ආදිය පාර්ලිමේන්තු බලයට යටත් කිරීම ආදී කරුණු ගණනාවක් අඩංගු වෙයි.

මිනිසාගේ මූලික අයිතිවාසිකම් ප‍්‍රකාශයට පත් කරමින් 1776 නිකුත් වූ අයිතිවාසිකම් පිළිබද වර්ජිනියා ප‍්‍රකාශයටද (Virginia Declaration) බ්‍රිතාන්‍ය අයිතිවාසිකම් පනත බලපෑවේය. එලෙසම අයිතිවාසිකම් පිළිබද වර්ජිනියා ප‍්‍රකාශය 1776 එක්සත් ජනපද නිදහස් ප‍්‍රකාශනයටද, එක්සත් ජනපද නිදහස් පනතටද බලපෑ බව පිළිගැනේ. 1776 ඇමරිකානු නිදහස් ප‍්‍රකාශනයත් සමගම ඇමරිකානු විප්ලවය හට ගැනුණි. යටත්විජිතභාවයෙන් මිදීම පදනම් කරගනිමින් ඇතිවන ඇමරිකානු විප්ලවය අවසානයේ එය බි‍්‍රතාන්‍ය යටත්විජිතභාවයෙන් සහමුලින්ම නිදහස ලබා ගත්තේය. ඒ, බි‍්‍රතාන්‍ය හමුදා සමග ඇමරිකානු ප‍්‍රාන්ත ජනයා කරනු ලබන මහා ලේ වැකි යුද්ධයකින් අනතුරුවය.

වැඩවසම්වාදයට එරෙහිවත් යටත්විජිතවාදයට එරෙහිවත් අදහස් ලොව පුරා වේගයෙන් ගලා යාමට 1776 ඇමරිකානු විප්ලවය විශාල හේතුවක් විය. පුද්ගල නිදහස සමානාත්මතාවය පිළිබඳ අදහස් විවිධ දේශපාලන චින්තකයින්, සාහිත්‍යකරුවන් විසින් උත්කර්ෂයට නංවනු ලැබීය. තෝමස් පේන් (Thomas Pain), තෝමස් ජෙෆර්සන් (Thomas Jefferson), සැමුවෙල් ඇඩම්ස් (Samuel Adems) ආදීන් එවැනි චින්තකයින්ගෙන් සමහරකි.

බ්‍රිතාන්‍යය තම රටෙහි පැවති වැඩවසම්වාදයෙන් මිදෙමින් ඊට එරෙහි අරගලයක් මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයක් කරා පියනැගූ අතර ඇමරිකා එක්සත් ජනපදය යටත්විජිතවාදයට එරෙහි ජාතික විමුක්ති අරගලයක් හරහා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයක් කරා පියනැගුවේය.

1776 ලොව අපරාජිත හමුදාවක් වූ බි‍්‍රතාන්‍ය හමුදාවට සමාජයේ පතුලේම ජීවත් වූ ජනතාවක් වන ඇමරිකානු ජනතාව විසින් දෙන ලද ප‍්‍රහාරය මුළු යුරෝපීය කලාපයම කම්පනය කරනු ලැබීය. යුරෝපය පුරා දරිද්‍රතාවය විසින් පහර කනු ලැබූ දුප්පතුන්, ගොවියන් තුළ බලාපොරොත්තු දැල්වෙන්නට මෙය හේතු විය. වැඩවසම් ආධිපත්‍යය විසින් අධික ලෙස පීඩනයට පත්ව සිටි ප‍්‍රංශ ජනයා එහි රාජාණ්ඩුවට එරෙහිව සන්නද්ධ ලෙස නැගී සිටිනු ලැබීය. 1789 ජූලි 14 බැස්ටීලයට පහර දී එය අල්ලා ගනු ලැබූ අතර වැඩවසම්වාදයට එරෙහිව සිදුවුණු පොදු ජනයාගේ නැගිටීමට එරෙහිව ප‍්‍රංශයේ වංශාධිපතීන් විසින් දරුණු මර්දනයක් දියත් කරන ලදී. එයින් දස දහස් ගණනකගේ ජීවිත වැනසී ගියේය. එය ‘මහා භීෂණය’ (Great Fear) ලෙස හඳුන්වනු ලබේ. ප‍්‍රංශ විප්ලවය යනු දුප්පතුන්ගේ ගොවීන්ගේ ඒ මහා පරිත්‍යාගයන්ගේ ඵලයයි. ප‍්‍රංශ විප්ලවයේ ප‍්‍රතිඵල ලෙස බිහිවූ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රකාශය මගින් කථා කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස, ආගමික නිදහස, අනීතික ලෙස අත්අඩංගුවට පත්වීමෙන් නිදහස ආදී මානව හා පුරවැසි නිදහසට බලපාන බොහෝ දේ තහවුරු කොට තිබේ. අතිමහත් කැප කිරීම් සහිත පොදු ජනතාව විශාල ලෙස සම්බන්ධ වූ ප‍්‍රංශ විප්ලවයෙන් තහවුරු කළ ඒ නිදහස පිළිබඳ මූලික කාරණා ප‍්‍රංශ ව්‍යවස්ථාව තුළ අද දක්වාමත් පවතී.

ලෝකය වැඩවසම්වාදයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලෙස දිනාගත් සෑම දෙයක්ම අතිමහත් කැපකිරීම් සහ අරගලයන්ගේ ප‍්‍රතිඵල බව බි‍්‍රතාන්‍යය, ඇමරිකාව සහ ප‍්‍රංශය පිළිබ`ද පිරික්සා බැලීමෙන්ම අපට පෙනේ.

නිදහස, සමානාත්මතාවය පිළිබදව වන මානව වර්ගයාගේ පොදු අපේක්‍ෂාව මෙන්ම නැගී එන ධනේශ්වර ක‍්‍රමයේ ඉදිරි ගමන සදහා වන අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙසද වැඩවසම් ආධිපත්‍යය බිඳ දැමීම අවශ්‍ය විය. එක විටම පොදු ජන අපේක්‍ෂාව මෙන්ම ධනපති පංති වුවමනාව සමපාත විය. එබැවින් වැඩවසම්වාදයට එරෙහිව නිදහස, සමානාත්මතාවය උදෙසා ධනේශ්වර පංතිය සමග, නිර්ධනීහුද, ගොවීහුද ආදී වූ ප‍්‍රගතිශීලී කොටස් එක පෙළට සිට ගත්තෝය. කැප කිරීම් සහගත විප්ලවීය අරගලයන් රාශියක් යුරෝපය පුරා හමා ගියේය. එහෙත් ධනපති පංතිය අතට බලය මාරුවූ සැණින් ධනේශ්වර පංති වුවමනාව ඉදිරියට පැමිණියේය. ධනපති පංතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව නිදහස අයිතිවාසිකම් පුළුල් වීමට ඉඩ දුන්නේ ඔවුන්ගේ පංතිමය වුවමනාවේ සීමාව දක්වා පමණි.

තම පංතිමය වුවමනාව විසින් බල කෙරෙන විට දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හකුළා දැමීමට වූවද වැඩවසම් ක‍්‍රමයෙන් පසු බලයට පැමිණි ධනපති පංතිය පසුබට වූයේ නැත. අද අප ජීවත් වන්නේ ඒ පිළිබඳ අත්දැකීම් රාශියක් දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද අත්විඳිය හැකි වටපිටාවකය.

සංකල්පයේ උත්තරීතරභාවය හා භාවිතයේ පංතිමය ස්වරූපය

අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුවෙන් සිංහල බසින් ව්‍යවහාර කරන පදය ඉංග‍්‍රීසි බසින් ඩිමොක‍්‍රසි (Democracy) යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ. Democracy යන වචනය ග‍්‍රීක භාෂාවෙන් බිදී ආ වදනකි. ග‍්‍රීක භාෂාවේ ඩිමොස් (Demos) යන පදයෙන් ජනතාව හැදින්වෙන අතර ක‍්‍රසි (Cracy) යන්නෙන් පාලනය හෝ බලය යන්න අදහස් කෙරේ. ඒ අනුව ඩිමොක‍්‍රසි යනු ජනතාවගේ පාලනය හෝ බලය යන්න අදහස් කෙරේ. ප‍්‍රසිද්ධ නිරුක්තිය මෙය වූවත් සර් අර්නස්ට් බාකර් (Sir Ernest Barker) මේ පිළිබදව වෙනත් අදහසක් ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ ඇතෑන්ස්හි වාසය කළ සියලූම දෙනා පුරවැසියන් ලෙස සලකා නොමැති බවය. Demos යන ග‍්‍රීක වදනින් හඳුන්වා ඇත්තේ, ඇතෑන්ස් නුවර පුරවැසි සභාවේ (Ekklesia) රැස්වීම සඳහා අයිතිය තිබු ඇත්තන් පමණක් වැසියන් වූ බවය. වහලූන්, කාන්තාවන්, ළමුන් සහ විදේශීකයින් ඇතෑන්ස්හි පුරවැසියන් ලෙස සලකා නැත. ඇතෑන්ස් වැසියන්ගෙන් 80,000 කට අධික ප‍්‍රමාණයක් වහලූන්ද 90,000කට අධික ප‍්‍රමාණයක් කාන්තාවන්, ළමුන් සහ විදේශිකයින්ද සිටින්නට ඇතැයි සර් අර්නස්ට් බර්කර් අනුමාන කරයි. 45,000ක් පමණ වූ පිරිසක් අයිතිවාසිකම් ඉසිලූ පුරවැසියන් ලෙස සලකන්නට ඇතැයි බර්කර් අනුමාන කරයි. ඇතෑන්ස් පාලනය සිදුකර ඇත්තේ මේ පුරවැසියන් ලෙස සැලකූ පිරිස අතරින් වාර්ෂික දිනුම් ඇදීමක් මගින් තෝරා ගන්නා 500ක පිරිසකට පාලන බලය පැවරීම මගිනි. මේ සෑම සාමාජිකයෙකුටම එක් ඡුන්දයක් හිමිවූ අතර එහි බහුතරයේ එකඟතාවය අනුව පාලනය, නීති පැනවීම, තීන්දු තීරණ ගැනීම සිදු වුණි.

රාජ්‍යය යන්න පිළිබඳව වී.අයි. ලෙනින් විසින් කරනු ලබන දේශනයකදීද ඔහු මේ ප‍්‍රශ්නය මතු කරයි. ඇතෑන්ස්හි බහුතරයක් වූ වහලූන් ජනතාව වශයෙන්වත් සැලකිල්ලට නොගත් පාලනයක් බහුතර ජනතාවකගේ කැමැත්ත අනුව සිදු කෙරෙන පාලනයක් වශයෙන් හඳුන්වන්නේ කෙසේද යන ගැටලූව ඔහු මතු කරයි.

පංති සමාජය බිහිවීමත් සමගම අනෙකුත් පංතීන්, ආධිපත්‍ය දරනු ලබන පංතියේ ආධිපත්‍යයට යටත් කෙරුණු අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුාව විසින් එම යථාර්ථය වසා දැමුණි. අප මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි හදුන්වනු ලබන සෑම පාලනයක්ම සුළුතර අධිපති පංතීන්ගේ පාලනයන් බව ඇතෑන්ස් උදාහරණයෙන්ම පෙනේ.

ඉන්දියාවේ තත්වයද මීට වෙනස් නැත. කුල ක‍්‍රමය බලවත්ව පැවති ඉන්දියාවේ පාලනය කිරීමේ වගකීම පැවරී තිබුණේ ක්‍ෂත‍්‍රීයන් හට පමණි. අනෙකුත් කුලවල අයට පාලනයට සම්බන්ධවීමේ කිසිදු ඉඩකඩක් තිබුණේ නැත. ඉන්දියාවේද පහළම කුලවල අයට ලැබුණේ යුරෝපයේ වහලූන්ට ලැබුණු තැනමය. ඔවුන් පුරවැසියන් ලෙස නොව මිනිසුන් වශයෙන්වත් සැලකුණේ නැත.

එබැවින් නිර්වචන තුළ කුමක් පැවතියත් ක‍්‍රියාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ අපට හමුවන්නේ, මහජනතාවගෙන් බහුතරයකගේ කැමැත්තට අනුව සිදුවන පාලනයක් නොවේ. යම් සමාජයක් තුළ ආධිපත්‍ය දරනු ලබන පංතියේ එනම් පාලක පංතියේ බහුතරයකගේ එකඟතාවය මත සිදුවූ පාලනයන්ය. එහිදී පීඩිත පංතීන්ගේ, පාලිත පංතීන්ගේ කැමැත්ත, වුවමනාව සැලකිල්ලට ගැනුණේ නැත. ඒවා පාගා දැමුණි, යටත් කර දැමුණි.

‘රජය සහ විප්ලවය’ නැමති කෘතිය තුළ ලෙනින් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමා පිළිබඳ පංතිමය දෘෂ්ටියකින් යුතුව සියුම් නිරීක්‍ෂණයක් සිදු කරයි.

”ධනපති සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතාමත් වාසිදායක කොන්දේසි යටතේ සංවර්ධනය වන්නේ නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාණ්ඩුවක එය (ප‍්‍රජාතන්ත‍්‍රවාදය) බොහෝ දුරට සම්පූර්ණව පවතින බව අපට දැකිය හැකිය. එහෙත් මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ධනපති සූරාකෑමෙන් නියම වන පටු සීමාවන් අතර නිතරම හිර වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එය අල්පතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, දේපළ හිමි පංතිවලට පමණක්, පොහොසතුන්ට පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වී ඇත. ධනපති සමාජයේ නිදහස නිතරම පවතින්නේ, එය පැරණි ග‍්‍රීක සමූහාණ්ඩුවල පැවති තත්වයෙනි. ඒ වහල් හිමියන්ගේ නිදහසය. ධනපති සූරාකෑමේ කොන්දේසි නිසා නවීන වේතන වහලූන් නැතිබැරිකම්වලින් හා දුප්පත්කමින් කොතරම් මිරිකී සිටීද යත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කරදර වීමට පුළුවන්කමක් ඔවුන්ට නැත. සාමාන්‍ය ලෙස සාමකාමීව ඇතිවන සිදුවීම්වලදී ජනගහනයෙන් බහුතරයාට මහජන හා දේශපාලන ජීවිතයට සහභාගී වීමට ඉඩ දෙනු නොලැබේ.”

(ලෙනින් – රජය හා විප්ලවය – තෝරාගත් කෘති 6 – පිටුව 94)

පංති සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට පැවතිය හැක්කේ ක‍්‍රෑර මර්දනය බව ලෙනින් අවධාරණය කරයි.

”…ධනපති ක‍්‍රමය යටතේ අපට දක්නට ලැබෙන්නේ, වචනයේ නියම අර්ථයෙන්ම වූ රාජ්‍යයය. එනම්, එක පංතියක් විසින් තවත් පංතියක්, එපමණක් නොව අල්පතරය විසින් බහුතරය මර්දනය කරනු ලැබීම සදහා වූ යන්ත‍්‍රයය. සූරාකන අල්පතරය විසින් සූරාකනු ලබන බහුතරය ක‍්‍රමානුකූලව මර්දනය කිරීම වැනි කටයුත්තක් සාර්ථක කරගනු සදහා මර්දනය කිරීමේදී අන්ත රෞද්‍රභාවය හා මිලේච්ඡභාවය ස්වාභාවික වශයෙන්ම අවශ්‍ය වේ. ඒ සඳහා ලේ සාගර අවශ්‍ය වේ. වහල් ක‍්‍රමය වැඩවසම් ක‍්‍රමය හා වේතන ශ‍්‍රම ක‍්‍රමය යටතේ මිනිස් වර්ගයා ඇදෙන්නේ එම ලේ සාගරය මැද්දෙනි.”

(ලෙනින් – රජය හා විප්ලවය – තෝරාගත් කෘති 06 පිටුව 97)

එසේනම් සංකල්පයේ උත්තරීතරභාවයෙන් යුතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක විය හැක්කේ කොහේද?

”රාජ්‍යයේ පැවතීම නැතිවන්නේ හා ‘නිදහස ගැන කථා කිරීමට හැකි’ වන්නේ කොමියුනිස්ට් සමාජයේදී පමණකි. ධනපතියන්ගේ ප‍්‍රතිරෝධය සම්පූර්ණයෙන්ම සුණු විසුණු කළ පසු, ධනපතියන් අතුරුදන්ව ගිය පසු සහ පංති නැතිව ගිය පසු (සමාජමය නිෂ්පාදන මාධ්‍යයන් කෙරෙහි ඇති සම්බන්ධය අතින්, සමාජයේ සාමාජිකයින් අතර වෙනසක් නොමැති වූ පසු) පමණකි. සැබැවින්ම සම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, කිසිම විශේෂත්වයක් නොමැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇතිවිය හැක්කේ, සහ යථාර්ථයක් කරගත හැක්කේ එවිට පමණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළී යාම ආරම්භ වනු ඇත්තේ ඉන් පසුව පමණකි. එසේ වන්නේ ධනපති වහල් ක‍්‍රමයේ, නැතහොත් ධනපති සූරාකෑමේ නිමක් නැති මහා බියෙන්, මිලේච්ඡුභාවයෙන්, නිරර්ථකභාවයෙන් සහ නින්දා අපහාසවලින් නිදහස් ජනතාව ශතවර්ෂ ගණනක් තිස්සේ දැන සිටි, අවුරුදු දහස් ගණනක් තිස්සේ යළි යළිත් කියා ඇති සමාජ පැවැත්මේ මූලික නීති පිළිපැදීමට ක‍්‍රමයෙන් පුරුදු වීමේ සරල කරුණු හේතු කොටගෙනය. බල කිරීමෙන් තොරව, බලහත්කාර යෙදීමෙන් තොරව, යටත් කිරීමක් නොමැතිව, රාජ්‍යය නැමති බලහත්කාරය යෙදීමේ විශේෂ යන්ත‍්‍රය නොමැතිව ඔවුන් එම නිති පිළිපැදීමට පුරුදු වනවා ඇත.”

(ලෙනින් – රජය හා විප්ලවය – තෝරාගත් කෘති 06 පිටුව 96)

ඉහත ඡේදයේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළී යාම ආරම්භ වනු ඇත්තේ, ඉන් පසුව පමණකි, යන වාක්‍යයත් සමස්තඡේදයේ අදහසත් අප මෙතෙක් මේ ලිපිය තුළ කතා කළ අදහසක් අතර ගැටීමක් ඇතැයි ඔබට සිතෙනු ඇත. සත්තකින්ම එසේ නැත. ලෙනින් ඉදිරිපත් කරන සමස්ත අදහස නැවත පෙළ ගැසුවහොත් මෙසේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්නෙන් අදහස් කරන්නේ, බහුතරය විසින් සුළුතරය පාලනය කිරීමය. එහෙත් පංති සමාජය තුළ සෑම විටම සිදුවී ඇත්තේ, සුළුතර පිරිසක් විසින් බහුතර ජනතාව පාලනය කිරීමය. ඉතිහාසයේ පළමු වරට සැබෑ ලෙසම බහුතරය විසින් සුළුතරය පාලනය කරනු ලබන ක‍්‍රමයක් ඇති වන්නේ, සමාජවාදය යටතේය. එහෙත් සමාජවාදය කොමියුනිස්ට් ක‍්‍රමය දක්වා වර්ධනය වීමේදී පංතියක් විසින් තවත් පංතියක් පාලනය කිරීම පිළිබද ප‍්‍රශ්නය ක‍්‍රමාණුකූල ලෙස අවසන් වනු ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැකිළී යාම, අහෝසි වී යාම යන්නෙන් අදහස් කරන්නේ එයයි. රාජ්‍ය ආකාරයක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයද රාජ්‍යය අහෝසි වීමට සමාන්තරවම අහෝසි වී යනු ඇත.

ලංකාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය

වර්ෂ 1815 වන විට ශ්‍රී ලාංකේය සමාජය එයටම සුවිශේෂී වූ අංග ලක්‍ෂණ සහිත වැඩවසම් ක‍්‍රමයක් හරහා ගමන් කරමින් සිටියේය. 1815 ඉංග‍්‍රීසීන් විසින් කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමෙන් අනතුරුව ලංකාවේ රාජාණ්ඩු ක‍්‍රමය බිදවැටී බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් බවට පත් විය. 1815 දී ලංකාව යටත්විජිතයක් බවට පත් කෙරුණේ කන්ද උඩරට ගිවිසුම මගිනි. සිංහලයින් වෙනුවෙන් ඇහැලේපොල, මොල්ලිගොඩ, පිළිමතලව්ව සහ මොණරවිල ඇතුළු අධිකාරම්වරුන් විසිනුත් එංගලන්ත ජෝර්ජ් රජු වෙනුවෙන් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාද ජෝන් ඩොයිලි සහ මේජර් සදර්ලන්ඞ් විසිනුත් අත්සන් කරන උඩරට ගිවිසුමේ මූලික එකඟතාවයන් අතර එංගලන්තයේ ජෝර්ජ් රජු ලංකාවේ රජු ලෙස පිළිගැනීම සහ බුදු දහම ආරක්‍ෂා කිරීම යන කරුණු ඇතුලත් විය. නැවත කිරුළක් යටතට පත්වීම යනු වැඩවසම් ආධිපත්‍යයේම දිගුවකි. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වීමෙන්ම ලංකාවේ වැඩවසම් ක‍්‍රමය සහමුලින් පිස දැමුණේ නැත. කෙසේ වෙතත් මේ යුගය ලෝක ධනේශ්වර ක‍්‍රමය යුරෝපය තුළ කරළිගත වෙමින් පැවති යුගයයි. බ්‍රිතාන්‍යයන් තම යටත්විජිත තුළ තම රටට සමාන්තර ආර්ථික, දේශපාලන මොඩලයන් නිර්මාණය කළේය. එසේත් නැතිනම් බ්‍රිතාන්‍යයෙන් ගෙනැවිත් ගොඩබෑවේය. ඒ අනුව විශේෂයෙන්ම වතු වැවිලි ක‍්‍රියාවලිය සමග බැඳි ධනේශ්වර අර්ථක‍්‍රමයත් බ්‍රිතාන්‍යයේ ක‍්‍රමය හා සමාන වූ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ලංකාව තුළ උත්තරාරෝපණය කෙරිණි. ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙන්නේ ඒ අයුරිනි.

පාර්ලිමේන්තුව, සර්වජන ඡුන්ද බලය, මැතිවරණ, ව්‍යවස්ථාව මගින්ම ආරක්‍ෂා කරන ලද නිදහස හා මානව අයිතිවාසිකම්, ස්වාධීන අධිකරණ ක‍්‍රියාවලිය ආදී සියල්ල ගත් විට ශ‍්‍රී ලංකාව අපූරු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවතින රටක් ලෙස පෙනේ. එහෙත් ලංකාවේ ඇත්ත තත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්ය. එය මීයන් රිංගන ලද රෙදි පෙට්ටියක් මෙනි. මතුපිටින් පෙනුම ඉතා විශිෂ්ටය. නමුත් ඇතුලාන්තය සහමුලින්ම ව්‍යසනයකි. මේ සදහා සැපයිය හැකි උදාහරණ ප‍්‍රමාණය අති මහත්ය.

යුරෝපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණවලදී සිදු වූයේ, රජු සතු වූ අසීමිත බලය හැකිතාක් සීමා කිරීමය. මැග්නා කාර්ටා ගිවිසුම ඒ වෙනුවෙන් ඉදිරිපත් වූවක් වන අතර පාර්ලිමේන්තුව බිහි වූයේද ඒ වුවමනාව නිසාමය.

එහෙත් ලංකාවේ සිදු වූයේ කුමක්ද? ව්‍යවස්ථානුකූල ලෙසම අධික බලයක් සතු විධායක ජනාධිපතිවරයෙක් බිහි කිරීමය. මෙම බලයද නැවත නැවතත් ව්‍යවස්ථා සංශෝධනයන් මගින් වැඩි කර ගන්නා ලදී. 18 වැනි සංශෝධනය එවැන්නකි. එය ජනතා කැමැත්ත ලෙස අර්ථ දක්වා, ඉන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානියක් නොවන බවට තර්කයක් මතු කෙරේ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය ඒකාධිපතිත්වයට එරෙහි වන අතර අද ලංකාවේ ජනාධිපති ධූරය තුළ ඇත්තේ, පැහැදිලි ඒකාධිපති ස්වරූපයකි. එය භාවිත වන ස්වරූපය මේ කරුණු මැනවින් ඔප්පු කරයි.

ව්‍යවස්ථානුකූලවම අධිකරණයට ඇඟිලි ගැසීමේ බලය ලංකාවේ ජනාධිපතිවරයාට පවරා ඇත. අධිකරණයෙන් වරදකරුවන් වූ අය ගණනාවක්ම පසුගිය කාලයේ ජනාධිපතිවරයා තම බලය යොදා නිදහස් කර හරින ලදී. මේවා අප තේරුම් ගත යුත්තේ කෙසේද? ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතිශය සීමාසහිත එකක් බව අපි මේ වන විට හඳුනාගෙන ඇත්තෙමු. ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවතිය යුතු අවම සීමාවන් පවා බිඳ වැටෙන තත්වයකට අද ශ‍්‍රී ලංකාව පත් වී ඇත. මෙය අද අප හමුවේ ඇත්තේ, ජයග‍්‍රහණය කළ යුතු අභියෝගයක් ලෙසය.

එමෙන්ම අප හමුවේ ප‍්‍රශ්නයක්ද ඇත. එනම් මෙලෙස ලාංකේය භූමිය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වේගයෙන් බිඳවැටීමේ විෂය මූල පදනම කුමක්ද යන්නයි. ලංකාවේදී පමණක් නොව ලෝකයේම අත්දැකීම් අනුව වුවත් මීට ඇත්තේ සමාන පදනමකි. එය නම් ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයයි.

ආර්ථිකය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර ඇත්තේ අනුලෝම සමානුපාතික සම්බන්ධතාවයකි. ආර්ථිකය අර්බුදයකින් තොරව ගමන් කරන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදයද අර්බුදයකින් තොරව ගමන් කරයි. එහෙත් ආර්ථිකය අර්බුදයට යන පළමු මොහොතේම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද අර්බුදයට යයි. (ව්‍යතිරේකයන් පැවතියත් සාමාන්‍ය තත්වය මෙයයි) ප‍්‍රජාත්ත‍්‍රවාදයේ උපන් බිම්වලදීම අද උද්ඝෝෂකයන් විරෝධතාකරුවන් පොලීසිවලින් ගුටි කන්නේ එ් නිසාය. ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය සහ එහි කර්තෘ පිළිබඳ සිදුවීම් පෙළ ඇමරිකාවේ මෙන්ම යුරෝපා රටවලද මාධ්‍ය නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකීම පිළිබඳ යථාර්ථය අපට පෙන්වා දෙන පැහැදිලි උදාහරණයකි.

එබැවින් දැන් අපට ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉරණම ගැන මහ බැංකු වාර්තාව ඇසුරින් වුවත් (බොහොමයක් සංඛ්‍යා ලේඛන ව්‍යාජ වූවද) අනාවැකි කීමට හැකිය. ලංකාවේ ආර්ථිකය පවතින්නේ බරපතළ අර්බුදයකය, පවතින තත්වය අනුව නම් සිදුවිය හැක්කේ එය තව තවත් අර්බුදයට ගමන් කිරීමය. භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළයාමය, උද්ධමනය තවදුරටත් ඉහළයාමය. ජීවන අංකය අහස උසට ගමන් කිරීමය.

ලැබෙන වැටුප ජීවත් වීමට ප‍්‍රමාණවත් නොවන විට කම්කරුවෝ වැඩි පඩි ඉල්ලති. පඩිය වැඩි කරන්නට බැරි ආණ්ඩුව කම්කරුවන් මර්දනය කරයි, උද්ඝෝෂණවලට පහර දෙයි, අසාධාරණ ලෙස උද්ඝෝෂකයින්, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනී. මාධ්‍යවල එ් පිළිබඳ තොරතුරු පළකිරීම සීමා කරයි. නඩුවලට ඇති සාක්‍ෂි අතුරුදහන් කරයි, අවශ්‍ය නම් අලූත් සාක්‍ෂි නිමවයි. ගොවියන්ගේ, ධීවරයන්ගේ, ශිෂ්‍යයින්ගේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කලාකරුවන්ගේ ආදී සෑම කෙනෙකුගේම ප‍්‍රශ්නවලට ආණ්ඩුව උත්තර දෙන්නේ එලෙසය. කටුනායක කම්කරු අරගලයකදී රොෂේන්ටත් හලාවත ධීවර උද්ඝෝෂණයකදී ඇන්තනීටත් පොලීයියෙන් වෙඩිකා මියයන්නට සිදුවන්නේ මේ යථාර්ථය තුළය එමෙන්ම මර්වින් සිල්වාලා සහ දුමින්ද සිල්වාලා, මාලකලා සහ ජුලම්පිටියේ අමරේලා පැවැත්මට එන්නේත් මේ අවකාශය තුළමය. වෘත්තීය සමිති නායකයින්ගේ නිවෙස් ඉදිරිපිටට මල්වඩම් යවන්නේ ඔවුන්ය, ඔවුන්ගේ සුවච කීකරු ගෝලයින්ය, සුදු වෑන්වලින් පැමිණ මිනිසුන් උස්සාගෙන ගොස් අතුරුදහන් කරන්නේත් මහ දවල් පැමිණ මහජන රැස්වීම්වලට වෙඩි තබා මිනිසුන් මරන්නේත් ස්ත‍්‍රීන් දූෂණය කරන්නේත් ඔවුන්ය මාධ්‍යවේදීන්ගේ කැමරා පොඩි කරන්නේත්, නීතීඥයින්ට තර්ජනය කරන්නේත් ඔවුන්ය. එ් අනුව ගත්විට සිල්වලා අමරෙලා සහ මාලකලා මේ ක‍්‍රමයේ අත්‍යවශ්‍ය කොටස්කරුවෝය,

කෙසේවෙතත් අද මේ මොහොතේදීත් අප රටේ බොහෝ දෙනෙක් පවතින ක‍්‍රමය මෙලෙසම පවතිද්දීත් අමරෙලා හිරේට යවා, සිල්වලා දේශපාලනයෙන් ඉවත්කොට, ව්‍යවස්ථා සංශෝධනය කරවා සුසංගත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ගොඩනැගීම පිළිබඳ සොඳුරු සිහින දකිමින් සිටිති, එ් සිහින දකින්නන් අකමැති වුවත් ඔවුන් එ් සිහිනයන්ගෙන් අවදි කළ යුතු කාලය පැමිණ ඇත.