ආගම යනු …

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවල සමාජ, ආර්ථික, දේශපාලන ක්‍ෂේත්‍ර තුළ ආගමික මතවාදයන්ගේ බලපෑම අති විශාල භූමිකාවක් ඉටු කරනු ලබයි. මැදපෙරදිග කලාපය තුළ ඉස්ලාම් ආගම ද, යුරෝපයේ හා ඇමරිකානු කලාප තුළ ක්‍රිස්තියානි ආගම ද, ආසියානු කලාපය තුළ දී බෞද්ධ හා හින්දු ආගම්වල බලපෑම් ද මේ සඳහා නිදසුන් සපයයි.

ආගම් ඇදහීම හෝ විශ්වාස කිරීම තම පෞද්ගලික කිටයුත්තක සීමාව ඉක්මවා ඉතාමත් තීරණාත්මක සමාජ, දේශපාලන කටයුතුවල දී මිනිස් විඥානය හසුරුවන උපකරණයක් දක්වා ජීවිත තුළට කිඳාබැස ඇති තත්ත්වයක් තුළ ඒ ගැන වඩාත් විද්‍යාත්මක විමසාබැලීමක් සිදු කිරීම කාලෝචිත වෙයි.

ආගම යනු කුමක් ද?

ආගම යනු ප්‍රකෘතියේ විකෘති කරනු ලැබූ මනඃකල්පිත පිළිබිඹුවක් ලෙස මාක්ස්වාදය අර්ථදක්වනු ලබයි. ආගම වඳ මලකට උපමා කරන ලෙනින් එය හටගන්නේ මිනිසා නමැති වෘක්ෂයේ බවත් කොන්දේසි විරහිතව එය විනාශ කර දැමිය යුතු බවත් අවධාරණය කරනු ලැබුවේ ද එහි ඇති ඵල රහිතභාවය සහ සමාජ සංවර්ධනයේ දී එහි ඇති ප්‍රතිගාමී ස්වභාවය නිසාය.

ආගමේ බිහිවීම

ආගම් බිහිවූයේ අවිද්‍යාව තුළය.සොබාදහම හමුවේ අසරණ වූ ආදිකල්පික මිනිසාට තමා අවට සිදුවන්නා වූ ස්වාභාවික සංසිද්ධීන් වටහා ගැනීමට අසීරු විය. ඉර, හඳ, තාරකා, අව්ව, වැස්ස, ගින්දර ආදී ස්වාභාවික වස්තූන් හා ඒවායේ ක්‍රියාකාරීත්වයන්ගේ හරය වටහා ගැනීමට තරම් දැනුමක් මෙම අවධිය තුළ නොතිබිණ. උපකරණයන්ගේ සංවර්ධනය ඉතාමත් පහළ අවධියක දී මිනිස් දැනුමේ මට්ටම ද ඊට අනුරූපව පැවතීම යථාර්ථයයි. තමාට වටහා ගැනීමට නොහැකි සියලු දේ දේවමය බලයකට ආරෝපණය කිරීම පහසුම කටයුත්ත බවට පත්විය. විවිධ විෂය කාරණා සඳහා (සීයස්- අහස, ඇපලෝ – හිරු, ……) දෙවියන් විසින් මිනිසා මැව්වා නොව මිනිසා විසින් දෙවියන් මවන ලදැයි ප්‍රකාශ කරනු ලැබීම වඩාත් සාධාරණ වන්නේ මේ තත්ත්වය තුළය. පසුකාලීනව එක් දෙවියකු ඇදහීම දක්වා විකාශනය වී ඇත්තේ මෙලෙස ආරම්භ වූ ඇදහිලි හා විශ්වාසයන් ය. ආගමික සාමුහික සමාජය තුළ දී ඇදහිලි හා විශ්වාසයන් ලෙස පැවැති දේ සංවිධානාත්මක ආගම් බවට පත් වන්නේ පංති සමාජය බිහිවීමත් සමඟ ය. සංවිධානාත්මක ආගම්වල පැවැත්ම තීරණය වන්නේ ඒ වෙනුවෙන් වෙන් වූ පූජක පැලැන්තියක් සිටීමෙන් ය. මෙවැනි පිරිසක් නඩත්තු කිරීමට අවශ්‍ය අතිරික්ත ධනයක් ප්‍රාථමික සමාජය තුළ දී නොතිබූ බැවින්, ඒ සඳහා තත්ත්වයන් නිර්මාණය වන්නේ පංති සමාජය බිහි වීමත් සමඟ ය. පංති සමාජය තුළ දී රජය බිහි වී සූරාකෑම සඳහා අවශ්‍ය බලහත්කාරය ඇති කරනු ලැබූ අතර, ආගම මෙම සූරාකෑම සාධාරණය කිරීමේ උපකරණයක් බවට පත් විය. අනුන්ගේ ශ්‍රමයෙන් යැපෙන පූජක පැලැන්තියක පැවැත්ම ද තහවුරු කරනු ලැබීය. සංවිධානාත්මක ආගම් තහවුරු වී විකාශනය වන්නේ එම තත්ත්වයන් තුළය.

ආගම පිළිබඳව ලියා ඇති ලෙනින්ගේ ලිපි එකතුවක මෙම තත්ත්වය ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ පහත පරිදිය.

“ආගම වූ කලී තමන් විසින් අන්‍යයන් සඳහා සදාකාලිකවම කරන වැඩවලින්, අගහිඟයෙන් හා හුදෙකලාවෙන් අධික ලෙස බරපැටවුණා වූ බහුජන සමූහයා මත සෑම තැන්හිම දැඩිබවක් පටවන්නා වූ ආධ්‍යාත්මික පීඩනයේ ස්වරූපයකි. ස්වභාවධර්මය සමඟ සිය අරගලයේ දී වනචාරී මිනිසාගේ දුබලතාවය දෙවියන්, යකුන් ප්‍රාතිහාර්යයන් යනාදී දේ කෙරෙහි විශ්වාසයන් ජනිත කරන්නා සේම සූරාකන්නන්ට එරෙහිව සිය අරගලයේදී සූරාකනු ලබන පන්තිවල දුබලතාවය නිරායාසයෙන්ම මරණින් මතු වඩා හොඳ ජීවිතයක් කෙරෙහි විශ්වාසය ජනිත කරයි. සිය මුළු ජීවිත කාලයම අගහිඟකමින් පෙළෙන්නාවූ හා වෙහෙසී බර වැඩ කරන්නා වූ ජනයාට මේ ලෝකයේ ජීවත් වන කාලය තුළ යටහත්පහත්ව සිටින ලෙසත්, ඉවසා සිටින ලෙසත්, ස්වර්ගයේ

සැපත කෙරෙහි බලාපොරොත්තු ඇති කරගන්නා ලෙසත් ආගම විසින් උගන්වනු ලැබේ. අනුන්ගේ ශ්‍රමයෙන් ජීවත්වන්නවුන්ට, ආගම විසින් ඔවුන් මේ ලෝකයේ ජීවත්වන කාලය තුල පරිත්‍යාගශීලීභාවය ප්‍රගුණ කරන ලෙස කියනු ලබන අතර, සූරාකන්නන් වශයෙන් ඔවුන්ගේ සම්පූර්ණ පැවැත්ම සාධාරණ යැයි ඔප්පු කිරීමට ඉතා ලාභ ක්‍රමයක් පිරිනමමින් ඔවුන්ට ස්වර්ගයේ සැපවත් ජීවිතයක් සඳහා අඩු මිලකට ප්‍රවේශ පත්‍ර විකුණයි. ආගම ජනතාවගේ අබිංය. ආගම වූකලී ප්‍රාග්ධනයේ වහලුන් ඔවුන්ගේ මිනිස් පිළිරුව යම් තරමකින් මිනිස් තරම් බවට වටිනා ජීවිතයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වාලන එක්තරා ආකාරයක ආධ්‍යාත්මික මද්‍යසාරයකි.”

ආගම් බිහි වීමේ සමාජ ආර්ථික පදනම

දැනට ලෝකයේ පවතින ප්‍රධාන ආගම් කිහිපයකම ආරම්භය හා ප්‍රධාන ශාස්තෘවරුන්ගේ උපත සිදු වූ ඓතිහාසික තත්ත්වයන් සැලකිල්ලට ගත් විට එම ආගම් හා ඒවායින් ප්‍රකාශිත දර්ශනයන්ගේ හරය, එම සමාජ ඓතිහාසික තත්ත්වයන්ගේ අවශ්‍යතාවන් ප්‍රකාශ වීමක් ලෙසට පහසුවෙන් තේරුම් ගත හැකිව තිබේ.

බෞද්ධාගම හා ජෛන ආගමේ බිහිවීම පිළිබඳව සලකා බැලීමේ දී, විශේෂයෙන් ඉන්දියාවේ ඒ වන විට පැවැති බ්‍රාහ්මණ ආගම හා සමාජය අතර ගැටුමේ ප්‍රකාශනයක් බව පැහැදිලි කරගත හැකියි. රාජ්‍ය පාලනය කරනු ලැබූවේ ක්‍ෂත්‍රිය වංශිකයන් විසිනි. බ්‍රාහ්මණයන් සමාජයේ ඉහළින් සිටිමින්, බ්‍රාහ්මණ ආගම හරහා මුළුමහත් සමාජය තුළට ආධිපත්‍යයක් පටවනු ලැබීය. තමන් මහා බ්‍රහ්මයාගේ හිසින් උපන් අය ලෙස අර්ථදක්වමින් මෙම බලය තහවුරු කර ගත් අතර, යාග හෝම බිලි පූජා (එ`එවන්, හරකුන් මැරීම) නිසා ඉන්දියානු ආර්ථිකයට ප්‍රබල පහරක්ද එල්ල කරනු ලැබීය. මේ තත්ත්වය තුළ රාජ්‍යත්වය බ්‍රාහ්මණ ආගමෙන් බේරා ගැනීමට නව දර්ශනයක් අවශ්‍ය විය. ජෛන මහා වීර හා සිද්ධාර්ථ ගෞතම යන දෙදෙනාම ක්‍ෂත්‍රිය වංශික කුමාරවරුන් වූ අතර ගිහිගෙය හැරගොස් දේශනා කරනු ලැබූ දර්ශනය තුළින් බ්‍රාහ්මණ ආගමේ පදනම බිඳදමනු ලැබීය.

ක්‍රිස්තියානි ආගම බිහි වන වකවානුව සලකා බැලූ විටද දක්නට ලැබෙන්නේ පැරැණි රෝම අධිරාජ්‍යයේ ආගම් ජනතාවට ආධ්‍යාත්මික සතුටක් ලබා දීමට සමත් නොවූ බවකි. එක් පසෙකින් වහල් හිමි සමාජ ක්‍රමය විසින් කරන ලද දැවැන්ත පීඩාව ද, ආක්‍රමණ හා යුද්ධ විසින් ජනතාව පත් වූ පීඩාව ද නිසා ගැලවුම්කරුවකු සොයමින් සිටි යුගයක ජේසුස් ක්‍රිස්තුස්තුමාගේ ඉගැන්වීම් (මනුෂ්‍ය වර්ගයාගේ සහෝදරත්වය, ප්‍රේමය වැනි ගුණධර්ම) එම සමාජය මහත් ඕනෑකමින් වැළඳ ගනු ලැබිණ. එය කොතරම් ප්‍රබලවී ද යත්, ජේසුස් වහන්සේගේ මරණින් වසර 400ක් පමණ ගිය විට එය රෝමයේ නිල ආගම බවට පත් කර ගැනීමට රෝම පාලකයන්ට සිදු විය. ඉන්පසු වසර 1000ක් පමණ (මධ්‍යතන යුගය) පල්ලියේ ආධිපත්‍යය සහිත යුගයක් උදා විය. පසුව පැනනැඟුණු ධනවාදී සමාජ ක්‍රමයට ගැලපෙන ලෙස ක්‍රිස්තියානි ආගම ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවිය. එය ප්‍රොතෙස්තන්ත්‍රවාදය ලෙස හැඳින්වේ.

ඉස්ලාම් ආගමේ බිහිවීම සලකා බැලුව ද, මහම්මත්තුමාගේ උපත සිදු වූ කාලවකවානුව අරාබි කලාපය තුළ දේශපාලන ආරාජිකත්වයක් නිර්මාණය වී තිබූ යුගයක් විය. අරාබි ජාතිකයන් පොදු ආගමකින් ලිහිල් ලෙස ඒකාබද්ධව තිබුණු අතර, එය මතු වූ අරාජිකත්වයට විසඳුමක් ලබා දීමට අසමත් විය. එම තත්ත්වය තුළ මහම්මත්තුමාගේ මූලිකත්වයෙන් ඉස්ලාම් දහම බිහි විය. මේ ආකාරයට අවිද්‍යාව තුළින් බිහි වී පංති සමාජයේ බිහි වීමත් සමඟ සංවිධානාත්මක භාවයක් අත්පත් කර ගත් ආගම පීඩක පංතියේ සූරාකෑම සාධාරණීයකරණය කරන උපකරණයක් ලෙසට හා සමාජ සංවර්ධනයට බාධා පමුණුවමින් පවතින දෙයක් බව වටහා ගතයුතුය.

ආගම යනු …