පැරිස් කොමියුනයට වසර 150ක් සැපිරේ !

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1870 ජුලි මස ප්‍රංශ අධිරාජ්‍යයා වන ලුවී නැපෝලියන් ජර්මනියට එරෙහිව දියත්කරන යුද්ධය අවසන් වනුයේ ඔහු ජර්මන් හමුදාවේ අත්අඩංගුවට පත්වෙමිනි. ජර්මන් හමුදාව ප්‍රංශයේ පැරීසිය වටලා සම්බාධක දමනුයේ පැරිසියේ වැසියන්ට හා එහි හමුදාවන්ට පිටවීමට නොහැකි වන ලෙස කඳුවුරු ගසමිනි. අවසානයේ ප්‍රංශ රජය ජර්මන් ආක්‍රමිණිකයා සමග ගිවිසුමට අත්සන් කරනුයේ නැගී එන ප්‍රංශ නිර්ධන පංතිය මර්දනය කිරීම සඳහා ජර්මනියේ සහාය ලබා ගැනීම සඳහා වේ. ජර්මනියේ සහයෙන් පැවැත්වෙන 1871 පෙබරවාරි 8 වැනිදා මැතිවරණයෙන් දක්ෂිණාංශික ඇන්ඩෝල්ෆ් තියෙර් ජය ලබනා අතර ඔහුට පැවරෙන ප්‍රථම කාර්යය වනුයේ ජනතාව සතු කාලතුවක්කු 227ක් රජයට එරෙහිව පත්තුවීමට පෙර නැවත ලබා ගැනීමයි.

1871 මාර්තු 18 දා ඇන්ඩෝල්ෆ් තියෙර්ගේ නියෝග මත ප්‍රංශ රජයේ හමුදා පැරීසියට ඇතුළු වනුයේ පැරිසියේ වැසියන් නිරායුධ කිරීමටයි. එහෙත් විරෝදාර පැරිස් පුරවැසියන් තමන් සතු ආයුධ බිම තබා යටත් වීම ප්‍රතික්‍ෂේප කළහ. මව්බිමේ ඓයතිහාසික ජර්මන් සතුරා ඉදිරියේ නිවට නියාලු ලෙස දණ ගසා සාම ගිවිසුම් අත්සන් කරමින් ජර්මන් ආක්‍රමණික හමුදාව සමග එක්වූ රූකඩ රාජාණ්ඩුවාදීන්ගේ රජයට එරෙහිව ඔවුන් යුධ ප්‍රකාශ කරනු ලැබීය. කාලතුවක්කු උදුරා ගැනීමට පිටත් කර යැවු හමුදාව ජනතාව සමග අත්වැල් බැඳ ගනු ලැබුවේ කොමියුනයේ විශිෂ්ටතම කාන්තා විප්ලවාදීනිය වන ලුවී මිෂෙල්ගේ නායකත්වයෙන් පැමිණි දහස් සංඛ්‍යත කාන්තාවන්ගේ දැවැන්ත මැදිහත් වීම නිසාවෙන් හා කරුණු පැහැදිලි කරදීමෙන් පසුවය.

එතැන් සිට දින 72 ක් පුරා පැරිස් කොමියුනය ප්‍රංශ ජනතාවට ලබාදුන් දේශපාලන, ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් විසින් ලෝක කම්කරු ව්‍යාපාරයටද ලබාදුන්නේ ශ්‍රේෂ්ඨ පන්නරයකි. රජය හා ආගම වෙන්කිරීම, වැඩ දිනය පැය 8ක් කිරීම, ගැහැණු හා පිරිමි සියළු දෙනාටම ඡන්ද අයිතිය ලබාදීම, සියළුම දරුවන්ට අධ්‍යාපනය අනිවාර්‍ය කිරීම හා නොමිලේ ලබාදීමත් සිදුකරන ලදී. රාත්‍රී සේවය තහනම් කරන ලදී, සියළුම විදේශිකයන්ට ජාතිකත්වය පිරිනමන ලදී, රජයේ සේවකයින්, විනිශ්චයකරුවන්, හමුදා නිලධාරීන් හා මන්ත්‍රීවරුන් ජනතා ඡන්දයෙන් පත්කරගන්නා ලදී. ඔවුන්ගේ වැටුප පුහුණු කම්කරුවෙකුගේ වැටුපට සමාන වූ අතර ඔවුන් නැවත කැඳවීමේ බලය ජනතාවට ලබා දෙන ලදී. කොමියුනයේ කොඩිය වශයෙන් රතු කොඩිය පිළිගන්නා ලදී.

ජනතාව සතු ආයුධ බලය නිසා බියට පත්වන රජය පැරිසියෙන් පලා ගොස් පැරීසියට සමීප වර්සයිල් නගරයේ ස්ථාන ගත කරන ලදී. මාර්තු 21 වැනිදා ප්‍රංශ රුකඩ හමුදාව ජර්මන් හමුදාවේ සහය ඇතිව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනුයේ කිසිදු යුධ නීතියකට ගරු නොකරමින් කාන්තාවන්, කුඩා දරුවන්, සිරකරුවන් පවා ඉතා ම්ලේච්ඡ ලෙස සමූල ඝාතනය කරමිනි. මර්ධනයට එරෙහිව මරා දමන නිරායුධ කොමියුනයේ සාමාජිකයන් වෙනුවෙන් තමන් සතුව සිටි සිරකරුවන් 47ක් මරා දැමීමටද කොමියුනයට ඒ අනුව සිදුවේ. ඇසට ඇසක් දතට දතක් ලෙස උත්සන්න වන දැවැන්ත මර්ධනය හමුවේ පැරිස් විප්ලවාදීන්ගේ පිළිතුර වුයේ රජයේ මර්දනකාරී ආයතන වූ අගනුවර ප්‍රධාන මහා අධිකරණය ගොඩනැගිල්ල, නගර ශාලාව, මුදල් අමාත්‍යංශය, ගියෝතිනය, ටුලරි මාළිගය ඇතුළු දහස් ගණනක් වූ රාජ්‍ය දේපල ගිනිතබා විනාශ කර දැමීම විය.

කෙසේවෙතත් රජයේ හමුදාවේ හා ජර්මන් හමුදාවේ වෙඩිබලය හා පිරිස් බලය හමුවේ කොමියුනය පරාජයට පත්වේ. කොමියුනය ප්‍රංශ ධනපතියන්ට අයත්වූ බැංකු ජනසතු නොකිරීමත්, පැරීසියෙන් ඉතා සමීපව වාඩිලාගෙන සිටි ධනපති පන්තියේ නියෝජිතයින්ට පහර නොදී අනුකම්පා කිරීමත්, කොමියුනයේ බලය ප්‍රංශය පුරා විහිදුවීමට අපෝසත් වීමත් නිසා එය බිඳ වැටුණුද ප්‍රංශයේ නිදහස වෙනුවෙන් සටන් කල ප්‍රථම නිර්ධන පංතික රජයේ වීරත්වය විශිෂ්ඨ බව මාක්ස් පැවසුවේය.

1871 මැයි 21-26 දක්වා කාලය තුල ප්‍රංශ හා ජර්මන් හමුදා විසින් මරාදැමුණු ප්‍රංශ නිර්ධනීන් ප්‍රමාණය 20000ක් විනි. 13450ක් සිර ගත කෙරිණි. 4586ක් පිටුවහල් කෙරිණි. පළමු ජාත්‍යන්තරයේ ප්‍රංශ ශාඛාවද තහනම් කෙරිණි. සිරගත වූ කවියෙකු වූ Eugène Pottier විසින් ලියන ලද කවි පන්තිය අද ලොව සියළු කම්කරු පන්තියේ සහෝදරත්වය පිළිපිඹු කරන ජාත්‍යන්තර ගීතය ලෙස1904 දී දෙවන ජාත්‍යන්තරයේ අම්ස්ට්‍රදාම් සමුළුවේදී ඒකමතිකව තෝරා ගන්නා ලදී.

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

Sign up for our Newsletter