ධනවාදය ආපසු ගමනක!

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

17වැනි සියවසේ පමණ යුරෝපා වැඩවසම් ගර්භාෂය තුළ වර්ධනය වී 18වැනි 19වැනි සියවස්වල නව සමාජ ක්‍රමයක් ලෙස ලෝකය තුළ තහවුරු වූ ධනවාදය එය බිහිවන විට සාපේක්ෂව ප්‍රගතිශීලී ස්වභාවයක් හා ඉදිරිගාමී ස්වභාවයක් දැරීය. ඊට පෙර පැවති වැඩවසම් හෝ ආසියාතික සමාජ ක්‍රමවලට සාපේක්ෂව ධනවාදය ප්‍රගතිශීලී පියවරක් විය. ප්‍රගතිගාමී පියවරක් විය. එය එකල හැඳින්වූයේ ම්ලේච්ඡත්වයේ සිට සභ්‍යත්වයටත්, අත්තනෝමතිකත්වයේ සිට ප්‍රජාතන්ත්‍රවාදයටත් අවිද්‍යාවේ සිට විද්‍යාවටත් තැබූ පියවරක් ලෙසය. එහෙත් දැන් සියවස් පහක් ඉක්ම යද්දී එම ධනවාදය ලෝකය නැවත ම්ලේච්ඡත්වය කරා රැගෙන යමින් සිටී. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතින්ගේ අත්තනෝමතික පාලනයන් වෙතටත්, විද්‍යාවේ සිට මිථ්‍යාව වෙතටත් සමාජය රැගෙන ආපසු යමින් සිටී.

“මානව සංහතිය සමාජවාදය කරා පෙරට, නැතිනම් ම්ලේච්ඡත්වය කරා ආපස්සට යා යුතු තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇතැ”යි මීට අවුරුදු 150කට පමණ පෙර එංගල්ස් පැවසුවේ ධනවාදයේ පළමු අවපාතයන් දකිද්දීමය. මානව සංහතියේ 20වැනි සියවස ආරම්භයේදීම සමාජවාදය දෙසට යාමට යෝධ පියවරක් ඔක්තෝබර් විප්ලවය මගින් ගත්තද එය තව තවත් ඉදිරියට ගෙන ගියද මානව සංහතියට සමාජවාදය කරා යාමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අර්බුදයට ගිය, මහලු ධනවාදය දැන් ලෝකයත් මානව සංහතියත් ම්ලේච්ඡත්වය වෙත රැගෙන යමින් සිටීමය.

විද්‍යාව වෙනුවට මිත්‍යාව…

අප දන්නා පරිදි රාජාණ්ඩු පාලනයන් තුළ පැවති එක් පුද්ගලයෙක්ගේ අත්තනෝමතික පාලනය වෙනුවට, පරපුරෙන් පරපුරට රාජ්‍යත්වය උරුමවීමේ සම්ප්‍රදාය වෙනුවට මහජන නියෝජිත ආයතන (පාර්ලිමේන්තුව) මහජන නියෝජිතයන් තෝරා පත්කිරීමේ ක්‍රම සහිත ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙනු ලැබුවේ ධනවාදය විසිනි. එය ඉදිරි පියවරකි. එසේම අවිද්‍යාවට හා මිථ්‍යාවට එරෙහිව විද්‍යාඥයන් විසින් කරන ලද දීර්ඝ සටනක ප්‍රතිඵලයක් ලෙසත් ධනවාදයේ මහාපරිමාණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වූ යන්ත්‍ර සූත්‍ර නිපදවීම සඳහා පැන නැගි අවශ්‍යතාවය අනුව ධනවාදය බිහිවූයේ විද්‍යාවේ හා තාක්ෂණයේ විශාල පෙරළියක් කරමිනි. I වන කාර්මික විප්ලවය, II වන කාර්මික විප්ලවය හා දැන් පවතින III වන කාර්මික විප්ලවද ධනවාදයේ නිමැවුම්ය.

එසේම වැඩවසම් ක්‍රමය තුළ ශ්‍රමය නිදහසේ විකිණීමට බාධා කරමින් තිබූ කුල ක්‍රමයන් බිඳදමමින්, ආගම් පසුපසට තල්ලු කර රාජ්‍යය පෙරට ගනිමින්, ප්‍රාදේශීය විවිධත්වයන් වෙනුවට පුළුල් ජාතික රාජ්‍යයන් බිහිකරමින් කුලවාද, ආගම්වාද, ප්‍රාදේශීයවාද පසුපසට ඇද දැමුවේද ධනවාදයමය. ඒ සියල්ල යෞවන ධනවාදයේ, නැගී එන ධනවාදයේ වුවමනාවන් විසින් ඉටුකළ දේවල්ය.

එහෙත් දැන් ලෝක ධනවාදය එහි නිදහස් මතවාද අවධිය පසුකොට ඒකාධිකාරී ධනවාදය හෙවත්  අධිරාජ්‍යවාදී අවධියට පැමිණ, එහි අවසන් අදියරේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක වෙමින් සිටින්නේ මහලු වියට පත්, රෝගී වූ සමාජ ක්‍රමයක් ලෙසය. වයස් ගත වී රෝගී වූ, මරණ මංචකයට වැටුණු, ධනවාදය අද තම අර්බුදය විසින් ජනතාව සමාජවාදය වෙතට යාම වැළැක්වීම සඳහා මානව සමාජයේ ප්‍රගතියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටී.

ම්ලේච්ඡත්වය කරා…

අප ජීවත්වන මෙම යුගයේ ධනවාදයට තවදුරටත් මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නොහැකිවී ඇත. එය සමාජ ක්‍රමයක් ලෙස යල්පැන ගොස් ඇත. එය විශාල ජනතාවක් හා ජාතීන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්කරමින් සිටී. එකී පීඩාවට පත් ජනතාව ධනවාදය පෙරළා දමා නව සමාජයක් ගොඩනැගීමට පෙරට ඒම පිළිබඳ ධනවාදය දක්වන්නේ මාරාන්තික බියකි. තමන්ගේ මිනී වළ කැපීමට ජනතාව සූදානම් වන විට එය බලා නිහඬව සිටීමට ධනවාදය සූදානම් නැත. එහෙත් අනෙක් අතට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ධනවාදයට නොහැක. එහිදී ධනවාදී ක්‍රමය හමුවේ වන එකම විසඳුම වන්නේ තමන් විසින්ම කලෙක නිර්මාණය කළ මානව සංහතියේ ප්‍රගතිය සලකුණු කළ බොහෝ දේවල් අතහැර මානව සමාජය යළි ම්ලේච්ඡත්වය වෙත රැගෙන යාමය.

දියුණු යයි සම්මත එක්සත් ජනපදය වැනි රටවල්වල සිට පසුගාමී ධනේශ්වර රටවල් දක්වා දැන් මෙම තත්වය දැකිය හැක. පසුගියදා ජනාධිපතිවරණයෙන් පරාජය වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ කැපිටල් මන්දිරය අත්පත් කර ගැනීමට තම අනුගාමිකයන් මෙහෙයවීමෙන් පෙන්නුම් කළේද මෙයය. ලංකාව වැනි රටවල මෙම තත්වය ඉතාමත් බරපතළ මට්ටමකට ළඟාවී තිබේ. තවදුරටත් ධනවාදය පවත්වා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැත. දැන් ධනපති ක්‍රමයේ අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, ධනපති පාලකයන්ට තම බලය පවත්වාගෙන යාම බාධාවකි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය හකුළා ඒකාධිපතීන්ගේ කුඩා කල්ලිවල පාලනයන් ගොඩනැගීම සිදුකරනු ලබයි. ලංකාවේ පාලනයද දැන් පවතින්නේ ජනාධිපති ඇතුළු දක්ෂිණාංශික මිලිටරි පන්නයේ කුඩා කල්ලියක් අතය.

එසේම දැන් පසුගාමී ධනපති රටවලට විද්‍යාවද අභියෝගයක්ව තිබේ. මිනිසුන් විද්‍යාත්මකව හා යථාර්ථවාදී ලෙස සිතීම ඔවුන්ගේ පාලනයට අභියෝගයකි. එවිට විද්‍යාව අත්හළ යුතුය. යථාර්ථයෙන් පලා යා යුතුය. ඒ වෙනුවට අවිද්‍යාව, මිථ්‍යාව, ආගමික අන්තවාදී හැසිරීම් ආදේශ වේ. ධනවාදය තුළ දැන් ආගම් තුළට පවා එම ආගම්වල සැබෑ ඉගැන්වීම් හා අරමුණුවලට පටහැණි වැරදි ප්‍රවණතා ඇතුළු වී තිබේ. ලංකාවේ බුදු දහම තුළ මෙය දැකිය හැක. බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ දේව ඇදහිලි, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් බුදු දහම තුළටම රිංගා ඇත. මෙම රටවල අවිද්‍යාව කෙතරම්ද කිවහොත් ලෙඩ සුව කිරීම සඳහා කලෙක ධනවාදය විසින්ම දියුණු කළ වෛද්‍ය විද්‍යාව පසෙකලා නොපෙනන බලවේග හා මිථ්‍යාවන් පසුපස යාමට ධනවාදය විසින්ම ජනතාව පොළඹවමින් සිටී. එක මිථ්‍යාවක් දෑස් ඉදිරිපිට අසාර්ථක වෙද්දී පවා රාජ්‍ය අනුග්‍රහය හා ජනමාධ්‍ය හිමි ප්‍රාග්ධන හිමිකරුවන් මැදිහත්ව ජනතාවගේ මතවාද වෙනස් කරමින් මිථ්‍යාවන් තුළම ජනතාව තැබීමට උත්සාහ කරනු පෙනේ. කොරෝනා වැළැක්වීමට ලංකාවේ සිදුකළ මිථ්‍යා ක්‍රියාකාරම් මීට හොඳම නිදසුන්ය.

සමුගත යුතු ධනවාදය…

නූතන ධනවාදය මිනිසුන් එකිනෙකාගෙන් හුදකලා කරමින් තනි පුද්ගලවාදී චරිත බිහිකරමින් සිටී. එසේම ආත්මාර්ථකාමිත්වයද, විනයක් නැති හැසිරීම්, නරුමවාදී චින්තනයක් නිර්මාණය කරමින් මානව සමාජයේ පොදු පැවැත්මට හානිකරන කෙනෙක් බවට සොබා දහමේ යහ පැවැත්මට හානිකරන කෙනෙක් බවට මිනිසාවම පත්කර තිබේ. දැන් ධනවාදය ගමන් කරමින් සිටින්නේ ගොඩනැගීමේ මාවතක නොව විනාශයේ මාවතේය. එය ආලෝකයෙන් අඳුර වෙත, විද්‍යාවෙන් අවිද්‍යාව වෙත, යථාර්ථයෙන් මිථ්‍යාව වෙත සාමූහිකත්වයෙන් පුද්ගලවාදය වෙත, සමගියෙන් අසමගිය වෙත ජනතාව රැගෙන යමින් සිටී.

මේ සියල්ල දෙස බැලූ විට පෙනෙන්නේ කුමක්ද? ඒ නූතන ධනවාදී ක්‍රමය මානව සමාජය සමග ආපසු අතීතයට යාමේ ගමනක් ආරම්භ කර ඇති බවය. ඒ නිසා දැන් සූරාකන හා සූරාකෑමට ලක්වන සමාජ පංති අතර වන ගැටුමට අමතරව ප්‍රගතිගාමීත්වය හා ප්‍රතිගාමිත්වය අතර සටනක්ද, විද්‍යාව හා අවිද්‍යාව අතර සටනක්ද, සභ්‍යත්වය හා ම්ලේච්ඡත්වය අතර සටනක්ද ලෙස සමාජ බලවේග අතර ප්‍රතිවිරෝධතා පද්ධතියක් පැනනැගී තිබේ. එක් කලෙක එනම් වැඩවසම් ක්‍රමය අවසානයේ මෙහි ප්‍රගතිගාමිත්වයේ, විද්‍යාවේ, සභ්‍යත්වයේ පාර්ශ්වය නියෝජනය කළ ධනවාදය දැන් එහි ප්‍රතිවිරෝධී පැත්තේ නියෝජිතයාව සිටී. ඉන් පෙන්වන්නේ ධනවාදය එකී කාර්යභාරය අවසන් කොට ඉතිහාසයෙන් සමුගත යුතුව තිබෙන බවත් එම තැන ගැනීම සඳහා සමාජවාදය වහාම පැමිණිය යුතු බවත්ය.

ධනවාදය ආපසු ගමනක!