හිට්ර්ගේ පාලනය විසින් 1937 දී ජර්මනියේ Weimar නම් නගරයට සමීපව Buchenwald නමින් විශාල වදකඳවුරක් ගොඩනගනු ලැබුවේ අත්අඩංගුවට ගන්නා කොමියුනිස්ට් හා ජර්මනියේ වමේ පක්ෂවල සාමාජිකයින් රඳවා තැබීම පිණිසය. 1933 මාර්තු 5 වැනිදාට නියමිතව තිබු ජර්මන් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සම්ප්‍රදායික ජර්මන් ධනපති පක්ෂ විසින් හිට්ලර් චාන්සලර්වරයා ලෙස පත් කරනුයේ එවකට යුරෝපයේ වඩාත් ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය හිමිව තිබු නැගී එන කොමියුනිස්ට් පක්ෂය මර්දනය කිරීම ඉලක්ක කර ගනිමිනි.
රෙයිස්ටග් පාර්ලිමේන්තුව 1933 පෙබරවාරි 28 වැනිදා ගිනි තබා එහි වගකීම කොමියුනිස්ට් පක්ෂය මත තබා එම පක්ෂය තහනම් කර එහි නායකයින් අත්ඩංගුවට ගනු ලබනුයේ මැතිවරණයට පෙරය. එතැන් සිට අත් අඩංගුවට ගන්නා සියළුම කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් රඳවා තබන්නේ මෙම Buchenwald කඳවුර තුලයි. පක්ෂයේ නායක Ernst Thälmann මාර්තු මස 3 වනදා අත්ඩංගුවට ගෙන 1944 අගෝස්තු 17 වනදා හිටලර්ගේ නියෝගයකින් මරා පුළුස්සන්නේ Buchenwald කඳවුරේ ආදාහනාගාරය තුලය. සමස්ථ කඳවුර තුල 1937-1945 කාලය තුලදී සිරකරුවන් 250000ක් රඳවා තිබිණු බව සඳහන් වේ.
ඒ ආකාරයට මෙම සිර කඳවුර තුල පමණක් 76000කට අධික කොමියුනිස්ට් සාමාජිකයින්, යුදෙව්වන්, ජිප්සි( gitans) හා ජිතාන්(Tsiganes) ජාතිකයින්, සමලිංගිකයින්,සෝවියට් යුධ සිරකරුවන් පිරිසක් මරාදමන ලද්දේ අධික ලෙස පනවන ලද වදදීම් හා වෙනත් අමානුෂික ක්‍රියා වලින් හා ගෑස් කාමර යොදාගනිමිනි. ඇතැමුන් වසංගත රෝග වලින්, කුසගින්නෙන් හා සීතලෙන්ද මිය ගියහ. නාසීන් විසින් නව ඖෂධ පරික්ෂා කිරීමට හා ප්‍රතිශක්තිකරණ සැදීම සඳහා ද සිරකරුවන් යොදාගෙන තිබිණි. 1945 අප්‍රියෙල් 11 වනදා කඳවුර අභ්‍යන්තරයේ සිරකරුවන්ගේ නැගිටීමකින් හා බාහිරින් පැමිණෙන ඇමරිකන් හමුදා විසින් Buchenwald කඳවුරේ සියල්ලන්ම මුදවා ගන්නා ලදී.
දෙවන ලෝක මහා යුද්ධය අවසාන වී වසර 75කට පසුව එම යුගයේ ජීවත්වූ බොහෝ පිරිසක් මියගොස් හෝ වයස්ගතව ජීවත්වෙන අතර ඔවුන්ගේ ඇවෑමෙන් පසුව නව පරම්පරාව තම අතීත පරම්පරාව අත්විඳි එම ගැහැට පිළිබඳව එතරම් අවබෝධයක් නොමැතිවීම පුදුම විය යුතුව නැත. දිනෙන් දින අර්බුධයට යන ආර්ථිකය නිසා රැකියා අහිමිවීම මත යුරෝපයේ තරුණ ප්‍රජාව වේගයෙන් අන්ත නාසිවාදී පක්ෂ වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතී. එසේම මාධ්‍යය විසින් සංක්‍රමණික ප්‍රජාවට හා ඉස්ලාම් ආගමට එරෙහිව සිදුකරන ඇතැම් ජාතිවාදී ප්‍රචාරයන් නිසාද මෙම තත්වය උද්ගත වී ඇත.
බුකෙන්වල්ඩ් පිළිබඳව යුරෝපයේ පැරණි පරම්පරාව අදත් කතා කරනුයේ මහත් කම්පනයකින් යුතුවය. එහෙත් නව පරම්පරාව ඒ සම්බන්ධයෙන් එතරම් තැකීමක් හෝ හිට්ලර් ගේ නාසි හමුදාව විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳව අවම හෝ අවබෝධයක් නොමැතිවීම භයානක බව විවිධ මානව හිතවාදී සංවිධාන විසින් අනතුරු හඟවයි.
මෑතකදී ප්‍රංශයේ එසේ සිදුකරන ලද (Schoen Consulting) මත විමසුමකදී හෙලිවුයේ 40% වූ වයස 38 ට අඩු තරුණ ප්‍රජාව තුල නාසීන් විසින් ඝාතනය කරන ලද යුදෙව් (holocaust) හා අනෙකුත් ජාතින් පිළිබඳව දැන සිටියේ ඉතා අල්ප වශයෙන් බවයි. 10% ක ප්‍රමාණයක් කිසිදු තොරතුරක් නොදැන සිටි බවද එහි සඳහන් වේ. යුරෝපයේ නාසිවාදය 20%කින් පමණ ඉහල ගොස් ඇත.
මෙම තත්වය නැවත කරලියට පැමිණෙනුයේ පසුගිය කොරෝනා වසංගතය නිසා ක්‍රීඩාගාර හා රාත්‍රී සමාජ ශාලා වසා දැමීමත් සමග ජර්මනියේ පිහිටි බුකෙන්වල්ඩ් කඳවුර ස්මාරකය අවට ප්‍රදේශය තුල හිම ක්‍රීඩා, රාත්‍රී සම්භාෂණ, පික්නික් හා සාද සංවිධාන කිරීමට තරුණ, තරුණයන් හා ඇතැම් වැඩිහිටියන් ක්‍රියාකිරීම නිසාවෙනි. එම අසංවර හැසිරීම පිළිබඳව මෙම එයතිහාසික ස්ථානය භාරව කටයුතු කරන fondation of mémoriaux Mittelbau-Dora et Buchenwald, ආයතනය හා එහි අධ්‍යක්ෂ Jens-Christian Wagner, ඉතා ශෝකයෙන් පවසන්නේ කාලයත් සමග මිනිසුන්ගේ සිත්වලින් තමන්ගේම ඉතිහාසය මැකී ගොස් ඇති බවය. ඇති වී තිබෙන මෙම ශෝචනීය තත්වය හමුවේ ජර්මන් රජය Buchenwald සිර කඳවුර අවට පොලිස් ආරක්ෂාව තර කර තිබේ.
උපුටාගැනීම – lankatruth.com