ප්‍රංශයේ ලෙනින්ගේ දේශපාලන පාසලට වසර 110ක් පිරෙයි !

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

රුසියානු සාර්ගේ වැඩවසම් පාලනය විසින් 1905 සිදුවූ ජනතා නැගිටීමේදී රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ යයි කියා මරණ දඬුවම පැනවූ පසු රුසියානු බෝල්ෂෙවික් පක්ෂ නායක ව්ලැදීමීර් ලෙනින් ප්‍රංශයට පලා ආවේ 1908 දෙසැම්බර් මාසයේදීය. එතැන් සිට රුසියාවේ සියළු ප්‍රදේශවලින් පැමිණි විවිධ දේශපාලන පක්ෂ හා සංවිධානවලට අයත් වූ විප්ලවවාදීන් ඉතා ටික කලකින්ම පක්ෂය සමග ඒකරාශි කරගැනීමට ඔහුට හැකියාව ලැබිණි.

එතැන් සිට ඔහුට අවශ්‍ය වුයේ ඉතා ඉක්මනින්ම ඔවුනට මාක්ස්වාදී අධ්‍යාපනය ලබා දෙමින් නැවත රුසියාවට පිටත් කර හැරීමයි. ඒ අනුව තම බිරිඳ සමග මාක්ස්වාදී පාසලක් ඇරඹිමට ආරක්ෂක ස්ථානයක් සෙවීමට පටන් ගැනුනේ එම යුගයේදීත් ඉතා මිල අධික පැරිස් අගනුවරින් පිටත ප්‍රදේශයකිනි. ලෙනින්ට පැවති එකම අභියෝගය වුයේ සාර් ගේ පොලිස් ඔත්තුකරුවන් ප්‍රංශය දක්වා පැමිණි ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා ඔවුන්ගේ ඇස් වලින් ආරක්ෂා විය හැකි ස්ථානයකි.

1911 සිට ලෙනින්ගේ පැරිස් මිතුරිය වූ පසුව බෝල්ෂෙවික් පක්ෂ සාමාජිකාවක් වූත් Inès Armand සියළුම ආරක්ෂාව සැපයිය හැකි ස්ථානයක් ලෙස සැලකිය හැකි පැරීසියෙන් දකුණු ප්‍රදේශයේ Essonne නම් දිස්ත්‍රික්කයේ Longjumeau නම් ග්‍රාමයේ පැරණි ලී බඩු කැටයම් නිර්මාණ සිදුකරන කම්හලක් සොයාගැනීමට සමත් වුවාය. එම ස්ථානයේ විශේෂයත්වයක් වුයේ අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවක පැන යාමට හැකි දොරටු කීපයක් එම ස්ථානය සතු වීමයි.

ප්‍රංශයේ බොහෝ මෙවැනි ස්ථානවල ඇතුළුවීමට හා පිටවීමට දොරටු ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. තුන්වෙනි නැපෝලියන් විසින් රටේ නගර නිර්මාණය කිරීමේදී හා නිවෙස්, මහා මාර්ග ගොඩනැගීමේදී රජයට විරුද්ධව නැගී සිටින ප්‍රංශ ජනතාව මර්ධනයට හා අත් අඩංගුවට ගැනීමට පහසුවන ලෙස ඒවා නිර්මාණය කරන ලෙස ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් හා නගර නිර්මාණකරුවන් ගෙන් ඉල්ලා සිටි බව ප්‍රංශ ඉතිහාසයේ සඳහන් වේ.

ලෙනින් අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසුව තම අනාගත පක්ෂ කේඩර න්‍යායයෙන් සන්නද්ධ කිරීම සඳහා එම ස්ථානය තෝරා ගන්නා ලද බව පැවසේ. එහි එක් පැත්තක පැමිණෙන ශිෂ්‍යන්ට නවාතැන් පහසුකම්ද සැපයිණි. පාසලේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම 17ක් වේ. ඔවුන්ට මාක්ස්වාදී දර්ශනය, නීතිය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, යුරෝපයේ කම්කරු නැගිටීම්, මුදල් පරිපාලනය උගන්වනු ලැබුවේ ලෙනින්, ලෙනින්ගේ බිරිඳ කෘප්ස්කයියා, සිවියනොෆ්, කමියනොෆ් හා ඉනේසා ආර්මන්ඩ් විසිනි.

බහුතරයක් බෝල්ෂෙවික් පක්ෂ නායකයින් පුහුණු කෙරුනේ මෙම පාසැල ආධාරයෙනි. මෙම පාසැල පිළිබඳව සාර්ගේ පොලිසියට ඉව වැටීමෙන් පසුව පාසැල වසා දමා ලෙනින් හා බිරිඳ නැවතත් පදිංචිය සඳහා පැරීසියට පැමිනියහ.

අද වන විට Essonne නම් දිස්ත්‍රික්කයේ Longjumeau ග්‍රාමයේ ගුරුවරුන් “ලෙනින්ගේ Longjumeau පාසැල” නමින් සංවිධානයක් මිට වසර 10කට පෙර පිහිටුවා ගෙන ඇති අතර ලෙනින්ගේ මෙම ඓතිහාසික පාසලට වසර 110ක් පිරීම නිමිත්තෙන් මෙම වසර පුරාවටම ලෙනින්ගේ ප්‍රංශ ජීවිතය සම්බන්ධයෙන් ප්‍රදර්ශන, විවාද හා රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇත.

ප්‍රංශයේ ලෙනින්ගේ දේශපාලන පාසලට වසර 110ක් පිරෙයි !