දැනුම සමාජය හා චින්තනය
23
නූතන ධනවාදී ලෝකයේ ප්‍රචාරණය නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබේ. මිනිස් ජීවිතයේ සෑම දෙයක් සමගම ප්‍රචාරණය බැඳී තිබේ. භාණ්ඩ විකුණා ගැනීම සඳහා වූ වෙළඳ ප්‍රචාරණයේ සිට යුද්ධ කිරීම හා යුද්ධ සාධාරණීකරණය කිරීම සඳහා වූ දේශපාලන ප්‍රචාරණය දක්වා පුළුල් පරාසයක ප්‍රචාරණය විහිදී තිබේ. මිනිසා නොදැනුවත්වම ප්‍රචාරණයේ බලපෑමට හසුව තිබෙන අතර ධනවාදය තුළ ජීවත්වන වර්තමාන මිනිසුන්ගේ චින්තනය හසුරුවන ප්‍රබලම මාධ්‍යය බවට ප්‍රචාරණය පත්ව තිබේ. ඒ අනුව නූතන අධිරාජ්‍යවාදයේ ප්‍රබලම අවිය බවට පත්ව තිබෙන්නේ, න්‍යෂ්ටික අවි නොව ‘ප්‍රචාරණය’ නම් වූ අවියය. න්‍යෂ්ටික අවිවලින් සිදුකරන්නේ, මිනිසුන් බුරුතුපිටින් මරා දැමීමය. එහෙත් ප්‍රචාරණයේ ‘අවිය’ මිනිසුන් ජීවත්ව සිටියදීම ඔවුන්ගේ මානව අධ්‍යාත්මය මරාදමා ඔවුන් අධිරාජ්‍යවාදයේ මානසික වහලුන් බවට, දාසයන් බවට හරවා ගනී. ඒ, එලෙස සිදුවූ බව පවා මිනිසුන්ට නොදැනෙන ලෙසය.
තර්ක බුද්ධියෙන් යුතුව රූපවාහිනිය දෙස පැයක් බලා සිටින්න. වෙළඳ ආධිපත්‍යය වෙළඳ ප්‍රචාරණය ඔස්සේ ඔබේ මනස ආක්‍රමණය කොට ඔබ බහුජාතික සමාගම්වල වුවමනාවට අනුව සිතන කෙනෙක් බවට පත්කර ගන්නා හැටි තේරුම් ගැනීම ඔබට අපහසු නොවනු ඇත. එහෙත් අධිරාජ්‍යවාදයේ ප්‍රචාරණය යනු එම සරල සීමාවේ පවතින දෙයක් නොව ඉන් එහා පැතිරුණු පුළුල් එකකි. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව විසින් සොයා ගන්නා ලද මෙවලම්ද (රූපවාහිනිය, තොරතුරු තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය) රැගෙන අධිරාජ්‍යවාදය ලොව මත මතවාදී යුද්ධයක් සිදුකරමින් මිනිසුන් හා රටවල් යටත් කොට මතවාදී වහලුන් බවට පත්කර ගනිමින් සිටී.
වෘත්තිය බොරුකියන්නෝ
අධිරාජ්‍යවාදී වුවමනාව වෙනුවෙන් දේශපාලන මතවාදය බෙදාහරින ප්‍රධාන ජනමාධ්‍ය සමාගම් කිහිපයක් තිබේ. ක්‍භභ හා ඊඊක් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව මෙම ප්‍රධාන මාධ්‍ය ආයතනවලින් යැපෙන මාධ්‍ය ආයතන ජාලාවක් එක් එක් ධනපති රටවලද තිබේ. එවිට මෙම ජනමාධ්‍ය හමුදාවක් බවට පත්වේ. ලෝකයේ මිනිසුන්ගේ දේශපාලන චින්තනය හසුරුවන්නේ ඔවුන් විසිනි. මෙම මාධ්‍ය ආයතන පිටුපස දැවැන්ත ප්‍රග්ධනයක් තිබෙන අතර දේශපාලන මඟ පෙන්වීම එන්නේ එක්සත් ජනපද ජනාධිපති මන්දිරයෙන් හා බි්‍රතාන්‍යයේ අගමැති නිවසිනි.
මෙම ඒකාධිකාරී මාධ්‍ය දැවැන්තයින්ට අනුව කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ‘ඒකාධිපතියෙකි’! කියුබාවේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නැත. එහෙත් ඊශ්‍රායලය ‘ප්‍රජාතන්ත්‍රවාදී’ රාජ්‍යයකි. එහෙත් සත්‍ය කුමක්ද? කියුබාව කිසිදු අසල්වැසි රටක් ආක්‍රමණය කර නැත. අනුන්ගේ ඉඩම් අල්ලා ගැනීමට මිනිසුන් මරා නැත. එහෙත් ප්‍රචාරණයට අනුව කියුබාව ඒකාධිපති රටකි. ඊශ්‍රායලය පලස්තීන බිම ආක්‍රමණය කර, බලහත්කාරී ජනාවාසකරණය සිදුකරමින් පලස්තීනුවන් මරා දමමින් සිටී. එහෙත් ඊශ්‍රායලය ‘ප්‍රජාතන්ත්‍රවාදීය’. ඔවුනට අනුව සමාජවාදී උතුරු කොරියාව ‘දිළිඳුකමෙන් පිරුණු’ රටකි. එහි නායකයා ‘යුද උන්මත්තකයෙකි’ නමුත් සමාජවාදී උතුරු කොරියාවේ කිසිවකු කුසගින්නේ මියගොස් නැත. වීදි අද්දර සිඟාකන්නේද නැත. අධිරාජ්‍යවාදී සම්බාධක හමුවේ පවා ඔවුන් තම රට සංවර්ධනය කර තිබේ. සමාජවාදී උතුරු කොරියාව තම ආරක්ෂාව සඳහා අවි නිෂ්පාදනය කළද කිසිදු රටකට එරෙහිව අවි පාවිච්චි කර නැත. (1950 කොරියන් යුද්ධයෙන් පසු) එහෙත් උතුරු කොරියානු නායකයින් ‘යුද උන්මත්තකයෝය’. මිනිසුන් කුසගින්න නිසා සිඟාකන, කුසගින්න නිසා මියැදෙන අප්‍රිකාවේ, ආසියාවේ, ලතින් ඇමරිකාවේ පමණක් නොව යුරෝපයේ පවා රටවල් තිබෙන නමුත් ඒවා ධනවාදී නිසා ඒ ගැන කතාබහක් නැත. ඉරාකය ආක්‍රමණය කොට මිනිසුන් දහස් ගණනක් මරාදැමූ, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කොට මිනිසුන් මරාදැමූ ඊට සිනහවෙමින් අණ දුන් ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති යුද උන්මත්තකයෙක් නොව ‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්’ සටන් කරන්නෙකි. අධිරාජ්‍යවාදී මාධ්‍ය ප්‍රචාරණය ගෙන යන සහාසික මානසික යුද්ධ තේරුම් ගැනීමට සංකීර්ණ උදාහරණ නැතුවාට ඉහත උදාහරණ හොඳටම ප්‍රමාණවත්ය.
අධිරාජ්‍යවාදීන් විසින් ලොව පුරා සිදුකරන යුද්ධ හා බලහත්කාරයන් සාධාරණීකරණය කරනුයේ ‘ප්‍රචාරණය’ මගිනි. එක් එක් රටවල ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තහවුරු කිරීමේ, ජනතාව ‘ඒකාධිපති පාලනයෙන්’ මුදාගැනීමේ ආදී බොරු ප්‍රචාරය කොට තම යුද උමතුව හා රටවල් යටත් කරගැනීම සාධාරණය කර ගැනීමට ඔවුහු සමත්වී සිටිති.
මෙලෙස පැහැදිලි සත්‍ය විකෘති කොට අසත්‍යය ජන මනසේ තහවුරු කිරීම සඳහා ඔවුන් යොදාගන්නේ ප්‍රවෘත්ති ‘ප්‍රචාරණයන්ය’. ඒ සඳහා ප්‍රවෘත්ති මධ්‍යස්ථාන තිබේ. ඒවා හමුදා කඳවුරු ලෙස සංවිධානය කර තිබේ. ඒවායේ මත සකසන වැටුප් ලබන පිරිසක් සිටී. ඔවුන්ගේ කාර්යය බොරු නිර්මාණය කිරීමය. ඒ වෙනුවෙන් අධිරාජ්‍යවාදී මාධ්‍ය ආයතන තුළ සේවය කරන ‘වෘත්තීය බොරු කියන්නෝ’ පිරිසක් සිටිති. ඔවුන්ට විශාල වශයෙන් වැටුප් හා වරප්‍රසාද ගෙවනු ලැබේ. ඔවුන්ගේ කාර්යය අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් ‘බොරු නිෂ්පාදනය’ කිරීම හා බෙදාහැරීමය. මෙය ධනවාදී ඒක් එක් රටවලද මෙලෙසම ක්‍රියාත්මක වේ. තමන්ගේ විරුද්ධවාදී කණ්ඩායම් ‘ත්‍රස්තවාදීන්’ බවට පත්කිරීමටත් තමන්ට පක්ෂ ඇත්ත ත්‍රස්තවාදීන් ‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නන්’, ‘විමුක්තිකාමීන්’ බවට පත්කිරීමටත් මෙම වෘත්තීය බොරු කියන්නන්ට පුළුවන. ඔවුන්ට ඒ සඳහා මනා වෘත්තීය පුහුණුවක් තිබේ.
අපේ රටවලද මෙය දැකිය හැකිය. ලංකාවේද ‘දේශප්‍රේමය’, ‘ත්‍රස්තවාදය’, ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘යහපාලනය’, ‘රට බෙදීම,’ ‘ජාතික විමුක්තිය’ වැනි සංකල්ප නිපදවන්නේත් එයට අනුව මෙම පංති වුවමනා හා බල වුවමනා මත එක් එක් ලේබල් අලවා විවිධ අය නාමකරණය කරන්නේත් මාධ්‍ය මගිනි. ඒ සඳහා දේශපාලකයින්ට අමතරව වෘත්තීය බොරු කියන්නෝද ක්‍රියාත්මක වෙති.
ආගම්වාදය හා ජාතිවාදය
1960, 70 දශකවල අධිරාජ්‍යවාදයටත් ධනවාදයටත් එරෙහිව ලොව පුරා අරගල රැසක් පැනනැගී තිබුණි. විවිධ ආකාරයෙන් පීඩාවට පත් ජනතාවෝ ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව වීදි බැස සටන් කළහ. සමහර ඒකාධිපති ධනපති රටවල් බිඳ වැටී සමාජවාදී රාජ්‍යයන් බිහිවිය. ධනවාදයේ පීඩාවට එරෙහිව මිනිසුන් තුළින් මතුවන විරෝධය ධනවාදය වෙතට යොමුවීම අධිරාජ්‍යවාදය මුහුණ දුන් බරපතළ ගැටලුවක් විය. ඒ නිසාම එම විරෝධය වෙනත් ඉලක්කයක් වෙත වෙනත් අරමුණක් වෙත යොමු කළ යුතු විය. ඒ සඳහාද පසුගිය දශක හතරක පමණ කාලය තුළ අධිරාජ්‍යවාදීහු ‘ප්‍රචාරණය’ යොදාගත්හ. ඔවුන් ඉතා සියුම් ලෙස ජනතාව තුළ තිබෙන දුර්වල ‘නිල’වලට ප්‍රචාරණය මගින් ආමන්ත්‍රණය කළහ. එහි ප්‍රතිඵලය වූයේ, ධනවාදයට එරෙහිව නැගී ආ සටන් දුර්වලවී ඒ වෙනුවට ජාතිවාදී හා ආගම්වාදී සටන් ඇවිල යාමය. ලොව පුරා ජාතිවාදී හා ආගම්වාදී මත වැපිරීමේදී ‘ප්‍රචාරණය’ විශාල කාර්යයක් කරනු ලබයි. මෙහිදී නිල ‘ප්‍රචාරණ’ මෙවලම්වලට වඩා නිල නොවන ප්‍රචාරණ මෙවලම් දක්ෂ ලෙස යොදා ගැනීමට පාලක පංති සමත් වී සිටියි. අධිරාජ්‍යවාදී හා ධනවාදී ‘ප්‍රචාරණය’ ඔස්සේ ‘වෘත්තීය බොරුකියන්නන්’ විසින් කරන ප්‍රධාන දෙය වන්නේ ජනතාව බිය වැද්දීමය. ජනතාව තුළ ‘බිය’ ඇතිකිරීමෙන් තොරව තම අරමුණට ඔවුන් මෙහෙයවිය නොහැකි බව ඔවුහු දනිති.
දැනට ජාත්‍යන්තර වශයෙන් මේ ‘බිය’ ඇති කරන අයුරු අපට දැකිය හැක. ‘උතුරු කොරියානු න්‍යෂ්ටික තර්ජනයක්’ ගැන ජනතාව බියවැද්දීම මෑත හොඳම උදාහරණය වේ. කිසිදා කිසිදු රටකට එරෙහිව න්‍යෂ්ටික අවි පාවිච්චි නොකළ උතුරු කොරියාවට එරෙහිව මෙම මතය පතුරුවා උතුරු කොරියානු න්‍යෂ්ටික බියක් නිර්මාණය කරන්නේ කවුද? ඒ න්‍යෂ්ටික අවි සැබෑ ලෙසම පාවිච්චි කොට ජපානයේ නගර දෙකක් වනසා දැමූ හා තවමත් න්‍යෂ්ටික අවි තොග පිටින් ගොඩගසා සිටින ඇමරිකා එක්සත් ජනපදයමය. හාස්‍යය එයයි. ඉරාකයේ සදාම්ගේ පාලනය බිඳ දැමීම සඳහා ඉරාකය ආක්‍රමණය කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීම සඳහාද මොවුහු ජනතාව බියට පත් කළහ. ඒ, ඉරාකය තුළ ‘සමූලඝාතක අවි’ තිබෙන බව පවසමිනි. එහෙත් ඉරාකය ආක්‍රමණය කළ අයට එවැන්නක් සොයාගැනීමට නොහැකිවූ අතර ඉන්පසු ඒ ගැන කතා කිරීමද සිදු නොවිණ. ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමේදී ඊට යොදාගත් ‘බිය’ වුනේ අල්කයිඩා හා ‘ඔසමා බින් ලාඩන්’ය.
බිය හා මිත්‍යාව
වැරදි මත මගින් මිනිසුන් බියවද්දා ජාතිවාදය හා ආගම්වාදය ඇවිළවීම පිළිබඳ උදාහරණ අපට එක් එක් රටවලින්ද සොයාගත හැක. ‘මුස්ලිම් ජනගහනය වැඩිවී සිංහල ජනගහනයට වඩා එය වැඩිවෙනවා’ යන මතය එවැනි අවිද්‍යාත්මක හා සිංහල ජනයා ‘බියට’ පත්කරන මතයකි. මුස්ලිම් කඩවල කෑමවල හා ඇඳුම්වල ‘වඳ බෙහෙත්’ යොදන බවට වන මතයද ‘බියකිරීම’ සඳහා යොදාගන්නා මතයන්ය. මේවා අවිද්‍යාත්මකය. එහෙත් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවිට මිනිස්සු ‘බිය’ට පත්වෙති; ඉන්පසු ජාතිවාදී හා ආගම්වාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනිති. ‘සිංහලුන් ම්ලේච්ඡ හා දෙමළ ජනයා ඝාතනය කරන’ පිරිසක් ලෙස කලක් උතුරේ පතුරුවා තිබූ මතයද එවැනිම වැරදි මතයකි. ඒවා පිටුපස සිටිනා බලවේග කවුදැයි තේරුම් නොගෙනම මෙම මත, ඒ ඒ ජන කණ්ඩායම් විසින් ‘ගිලදමනු ලබයි’. එවිට ධනවාදයට එරෙහි පීඩනය හා විරෝධය එක් එක් ආගමික කණ්ඩායම්වලට හා ජන කණ්ඩායම්වලට එරෙහිව මුදාහැරීම සිදුවන අතරම ජනතා විරෝධයේ අනතුරින් ධනවාදය ගැලවී ගනියි. අපේ රටවල මෙම ආගමික අන්තවාදී ‘බිය ගන්වීම්’ පිටුපස සිටිනුයේ විවිධ ප්‍රාග්ධන හිමියන් හා දේශපාලන නායකයන් බව හොඳින් බැලූවිට පෙනේ. එහෙත් ‘ප්‍රචාරණය’ එහි සැබෑ නිර්මාපකයින් සඟවා තබන නිසා එය තේරුම් ගැනීම අපහසු වේ. අවසානයේ ධනවාදය මිනිසුන් එකිනෙකා පිළිබඳව ‘බිය’ ඇතිකොට එකිනෙකා කොටවා තම ක්‍රමයත් තම පංති පාලනයත් රැක ගනී. ඒ සඳහා විශාලතම මෙහෙය සිදුකරන්නේ ප්‍රචාරණයයි.
ප්‍රචාරණය මිනිසුන් අන්ධ කොට ප්‍රාග්ධනයේ වහලුන් බවට පත්කරන්නේ ඍජු දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොව වෙළඳපොළ ක්‍රියාකාරිත්වය තුළද එසේම සිදුකරයි. ප්‍රචාරණයේ ස්වභාවය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුත්තේ ඒ නිසාය.
Next : – ප්‍රචාරණය හා පරිභෝජන වහල්භාවය