පංතිය, පක්‍ෂය හා නායකත්වය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලෝක ධනවාදය මුහුණදී සිටින වත්මන් ගැඹුරු ආර්ථික අවපාතය දෙස මාක්ස්වාදී දෘෂ්ටියකින් බලන ඕනෑම කෙනෙක් මෙම අර්බුදය සමාජ පරිවර්තනයකට මග විවිර කරන විප්ලවීය තත්වයන් දක්වා ගමන්කරනු ඇති බව වටහා ගන්නවා නොඅනුමානය. වත්මන් ලෝක ආර්ථික අර්බුදය තුළ සමාජ පරිවර්තන සඳහා ‘අවස්ථාවක්’ පවතී. එහෙත් සැබෑ මාක්ස්වාදීන්ට එමගින් සියල්ල ඉබේ සිදුවේය යන සුබවාදයකට වැටීමට ඉඩක් නැත. මන්ද එකී ‘අවස්ථාව’ තුළම අභියෝගයක්ද වන බැවිනි. අභියෝගය නම් ධනවාදයේ ලෝක පරිමාණ අර්බුදය විසින් ජනිතකර තිබෙන ‘අවස්ථාව’ පහසුවෙන් අත්පත්කර ගැනීමට තරම් ශක්තිමත් ස්ථානයක හා සූදානමක ලෝක වමේ ව්‍යාපාරය, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය නොතිබීමය. එහෙත් මේ නිසා මාක්ස්වාදීන් අසුභවාදයකට වැටෙන්නේද නැත. ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ පවතින වත්මන් දුබලතා විසඳාගැනීමේ බලපෑමද ලෝක ධනවාදයේ අර්බුදයේ විෂය මූලික තත්වයන් විසින්ම සිදුකරන බව තේරුම් ගනිමින් ‘අවස්ථාව’ අත්පත් කර ගැනීම උදෙසා ‘අභියෝගයට’  මුහුණදී එය ජයගැනීමට සවිඥ්ඥානිකව ක්‍රියාත්මක වීම මාක්ස්වාදීන්ගේ කාර්යභාරය වේ.

මතවාදී හා සංවිධාන අරගලයක්

ලෝක ධනවාදයේ අර්බුදයත්, වමේ ව්‍යාපාරයන් මුහුණදී සිටින අභියෝගයත් විසින් ලෝක වමේ ව්‍යාපාරය තුළ මතවාදීමය  නිරවුල්කමක් හා සංවිධානමය නායකත්වයක් ඉල්ලා සිටී. මේ සඳහා මතවාදී නිරවුල්භාවය වඩාත් ප්‍රමුඛ වේ. ඊට හේතුවන්නේ එක් පැත්තකින් අධිරාජ්‍යවාදයේ හා ධනවාදයේ වුවමනා වෙනුවෙන් මතවාද සකස් කරන්නන් සමාජවාදය අප්‍රායෝගික අසාර්ථක දෙයක් ලෙස පතුරුවා තිබීමත් සුලුධනේශ්වර පංතියේ වුවමනා නියෝජනය කරන්නන් වමේ දේශපාලනය සංශෝධනවාදයට ගෙනයාම සඳහා විවිධ සාව න්‍යායික මත ඉදිරිපත්කරමින් තිබීමත් හා ඒ අතරම අතිවාමවාදීන් විසින්ද පොතේගුරුවාදී මනෝරාජික මත ඉදිරිපත්කරමින්  අනියමින් ධනවාදයට සේවය කරමින් තිබීමත්ය.  විශේෂයෙන්ම පන්ති සටන පිළිබඳව, පංතීන්, පිළිබඳව, පක්‍ෂය හා එහි කාර්්‍යභාරය පිළළිබඳව පංතියේ නායකත්වය හා පක්‍ෂයේ නායකත්වය පිළිබඳව නිර්මාක්ස්වාදී මත රැසක් පැතිරී තිබෙන තත්වයක් තුළ පංතිය පක්‍ෂය හා නායකත්වය පිලිබඳ මාක්ස්-ලෙනින්වාදී ස්ථාවරය නිරවුල්කර ගැනීම අතිශය වැදගත් වේ.

පංති හා පංති අරගල ගැන

ධනවාදය පරදා නව සමාජ පරිවර්තනයකට නායකත්වය දීමේ කාර්යයේදී වමේ ව්‍යාපාරය තුළ පන්තිය පක්‍ෂය හා නායකත්වය යන ප්‍රපංචයන් පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී ‘පංතිය’ නැමති සංකල්පය පසුගිය කාලය පුරාම විවිධ විග්‍රහ කිරීම්වලට ලක්විය. අතීතයේ සිට  විටින් විට මේ පිළිබඳ විවිධ වැරදි  මත පැවතියද මෑත ඉතිහාසයේ ඒවා තීව්‍ර වූයේ, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ  බිඳවැටීමත් සමඟය. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් ඒ වන විට කරළියට පැමිණ තිබූ නව ලිබරල් ධනවාදයේ ව්‍යාප්තියත් විද්‍යාවේ තාක්‍ෂයේ වර්ධනය හා පරිඝනකය, තොරතුරු තාක්‍ෂණය විසින් ලෝකයට කළ බලපෑමත් නිසා නිර්මාණය වෙමින් තිබූ තත්වය  මෙවැනි නිර්මාක්ස්වාදී විග්‍රහයන්ට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කළේය. මෙහිදී සමහර අයගේ මතය වුයේ, ලෝකයේ දැන් තවදුරටත් ‘පංති’ නොපවතින බවකි. සෝවියට් දේශය බිඳවැටෙන විට ලංකාවේ සිටි සෝවියට් තානාපතිවරයා එක් රැයකින් රුසියානු තානාපතිවරයා බවට පත්විය. ඔහු ඒ දවස්වල ලංකාවේ පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබූ අතර එහිදී ප්‍රකාශකර තිබුණේ ලෝකයේ තවදුරටත් පංති නොපවතින බවයි. ලෝකයේ වර්ධනය විසින් පංති අවසන්ව තිබෙනවා වැනි අදහසක් ඒ තුළ විය. ඒ අතර පශ්චාත් නූතනවාදී විග්‍රහයන්ට අනුව ධනවාදය තුළ සිදුවෙමින් තිබූ  වෙනස්කම් මතුපිටින් විග්‍රහකරගත් සමහර අය පංති වෙනස්කම් තවදුරටත් සෙවීමට නොහැකි බවත් පංති ‘පාරපංතික’ වී ඇති බවත් ප්‍රකාශ කළෝය. ලෝකය තුළ පංති ප්‍රතිවිරෝධයන් අභිබවා වෙනත් ප්‍රතිවිරෝධයන් (ලිංගිකතත්වය, භාෂාව, දැනුම ආදිය) මතුව ඇති බවත් සමහර අයගේ මතය විය. පශ්චාත් නූතනවාදීන් ලංකාවේදී ඉදිරිපත් කළේ, රජයේ සේවය කරන සේවකයා ඒ අතරම කුඩා ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන බවත්, ඔහු එකවිට ශ්‍රමිකයෙක් මෙන්ම ප්‍රාග්ධන හිමියෙක්ද වී ඇති බවත් ඒ නිසා පංති වෙනස්කම් පැරණි ආකාරයෙන් නොපවතින බවත් සමාජ සංවර්ධනයේ ගතිකත්වය තීරණය කරනුයේ තවදුරටත් පංති අරගල විසින් නොව වෙනත් ප්‍රතිවිරෝධතා විසින් බවත්ය.

පංතීන් විෂය මූලිකද? මනෝමූලිකද?

මාක්ස්වාදයට අනුව පංතීන් යනු මනෝමූලික සංකල්පයක් නොව විෂයමූලික ප්‍රපංචයකි. මානව සමාජය එහි සංවර්ධනයේ එක්තරා අවස්ථාවක දේපළ මත පංතීන්ට බෙදුන බවත් එතැන් සිට මානව ඉතිහාසය යනු පංතීන් අතර අරගලයේ ඉතිහාසයක් බවත් මාක්ස්වාදය ඉතාම පැහැදිලිව ඔප්පුකර තිබේ. සිය ඓතිහාසික කොමියුනිස්ට් ප්‍රකාශනයේදී මාක්ස් හා එංගල්ස් එම සත්‍යය ලේඛනගත කළේ, මෙතෙක් පැවතුණු සමාජයන්ගේ ඉතිහාසය වූකලී පංති සටන්වල ඉතිහාසයයි” යනුවෙනි. මාක්ස් හා එංගල්ස් මෙහිදී මෙතෙක් පැවතුණු ඉතිහාසය ලෙස සැලකුවේ ලිඛිත ඉතිහාසයයි. ඉන්පසු ලෙනින්ගේ යුගයේදී පංතීන් පිළිබඳ විවිධ වැරදි නිර්වචන ඉදිරිපත් වෙද්දී ලෙනින් පංතීන් යනු මොනවාදැයි නිරවුල්වම විග්‍රහ කළේය.

“පංති වූකලී, ඓතිහාසික වශයෙන්  නිර්ණය වූ සමාජමය නිෂ්පාදන ක්‍රමයක් තුළ, තමන් දරන තැත විසින්ද, නිෂ්පාදන මාර්ග කෙරෙහි ඇති(බොහෝ විට නීතියෙන් නියමකර හා පැහැදිලිකර ඇති) සම්බන්ධතාව විසින්ද, සමාජ ශ්‍රම සංවිධානය තුළ ඔවුන් ඉටුකරන කාර්ය කොටස විසින්ද, ඒ අනුව ඔවුන් පරිහරණය කරන සමාජ වස්තුවෙහි හා ප්‍රමාණය එය ලබා ගන්නා ක්‍රමය විසින්ද අන්‍යෝන්‍ය වශයෙන් වෙන්වන විශාල ජන කණ්ඩායම වේ. පංති වූකලී නිශ්චිත සමාජ ආර්ථික ක්‍රමයක් තුළ තම තමන් දරන විවිධ තැන් අනුව එක් කොටසකට තවත් පිරිසකගේ ශ්‍රමය අත්පත් කරගැනීමේ හැකියාව ඇති ජන කණ්ඩායම් වේ”

 (ලෙනින් තෝරාගත් කෘති 9 වෙළුම –  219 පිටුව)

ලොව පළමු පංති සමාජය වන වහල්හිමි සමාජයේ සිට වත්මන් ධනවාදී සමාජය දක්වා සියලුම සමාජවල දේපළ මත බෙදුන පංතීන්  පැවති අතර ධනවාදය තුළදී පංති පාරපංතික වී හෝ අතුරුදහන්වී නැත. ඒ වෙනුවට පංති වඩාත් නිරාවරණය වී පංති වෙනස්කම් වඩාත් ගැඹුරු වී තිබේ. ධනවාදය තුළ ප්‍රධාන පංති ප්‍රතිවිරෝධයන් පවතින්නේ, ප්‍රාග්ධනයේ හිමිකාරිත්වය ඇති ධනපති පංතියත් ප්‍රාග්ධනයේ සූරාකෑමට ලක්වූ වැටුප් ශ්‍රමිකයින් ඇතුළු නිර්ධන පංතියත් අතරය. මීට අමතරව මේ ප්‍රධාන පංති දෙක අතර සුළු ධනේශ්වර පංතියක්ද පවතින අතර එයට ස්ථරවලට වෙන්කර සැලකිය හැක. මෙම පන්ති කණ්ඩායම් චීන මහා ප්‍රකාර මගින් එකක් අනෙකින් මුළුමනින්ම වෙන්කරද නැත. කෙසේ වෙතත් ධනවාදයේ සංවර්ධනය තුළ පංතීන්ගේ බාහිර ස්වරූපයන් වෙනස් වී තිබුණද හරයෙන් පංති ප්‍රතිවිරෝධතා පුළුල් වෙමින් තිබේ. ධනවාදයේ මුදුන් මල්කඩ වූ එක්සත් ජනපදයේ ආර්ථිකයේ අයිතිය හිමි 1%ට එරෙහිව  ආර්ථිකයේ අයිතිය අහිමි 99%වෙනුවෙන් ‘සියට අනූනමයේ සංවිධානය’ ගොඩනැගෙන විට පංති පරතරයේ ප්‍රමාණය තේරුම්ගත හැක.

පංති සමාජයේ වර්ධනයේ දයලෙක්තිකය

පංති සමාජයේ වර්ධනයේ ගතිකත්වය තීරණය කරන්නේද පංති ප්‍රතිවිරෝධය විසිනි. එය නිශ්චිත නිෂ්පාදන මාදිලියකදී (වහල්, වැඩවසම්, ආසියාතික ධනේශ්වර) නිෂ්පාදන බලවේගයන්ගේ හා නිෂ්පාදන සම්බන්ධතා අතර ගැටුමක් ලෙස පවතී.  මෙම ගැටුමේ අවසානයේ නිෂ්පාදන බලවේගයන්ට බාධාකරමින් පවතින නිෂ්පාදන සබඳතා  නිෂ්පාදන බලවේගයන් විසින් බිඳ දමන අතර නව සබඳතා ගොඩ නගාගනී. සමාජ විප්ලවයක් ලෙස ප්‍රකාශයට පත්වන්නේ මෙයයි. සමාජ විප්ලවයක්  යනු එක්තරා පංතියක් අතින් තවත් පංතියකට රාජ්‍ය බලය මාරු වීම වේ.  මේ අනුව සමාජ සංවර්ධනයේදී පංති සමාජය තුළ සංවර්ධනයේ දයලෙක්තිකය වන්නේ පංති අරලයයි.

පංතිය හා පක්‍ෂය

සමාජ ක්‍රමයක් ලෙස ධනවාදය කරළියට ඒමට පෙර දේශපාලන පක්‍ෂ නමැති සංවිධානයක් ලොව නොවීය. දේශපාලන පක්‍ෂ  බිහිවූයේ, ධනවාදය බිහිවීමෙන් පසු අලුත බලයට පත් ධනපති පංතිය  වෙත රාජ්‍ය බලය තබා ගැනීම සඳහාය. පූර්ව ධනේශ්වර සමාජවල පැවති පරපුරෙන් පරපුරට රජකම් ලැබිමේ ක්‍රමය වෙනුවට ධනවාදය තුළ ඡන්ද බලය, මහජන නියෝජිත ආයතන, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ආදී දේ බිහිවූ අතර එහිදී ධනපති පංතිය තම රාජ්‍ය බලය සඳහා දේශපාලන පක්‍ෂ තුළ සංවිධානය විය. ධනේශ්වර පංතිය තමන් අත රාජ්‍ය බලය තබා ගැනීම සඳහා පිහිටුවාගත් දේශපාලන පක්‍ෂ නැමති සංවිධාන ආකෘතිය නිර්ධන පංතියද තම පංති අරමුණු සඳහා යොදාගනු ලැබීය. මෙහි එක් විශේෂයක්ද තිබේ. පූර්ව ධනේශ්වර සමාජ ක්‍රමවලදී සූරාකෑමට ලක්වූ පීඩිත පංතීන් පීඩකයන්ට එරෙහිව  නැගී සිටියද, අරගලවලද  ඔවුන් බලයට පත්වීම සඳහා සවිඥ්ඥානිකව අරගල කළේ නැත. ඒ වනවිට පැවති සංවර්ධනයේ මට්ටමට අනුව එවැන්නකට ඉඩක් නොවීය. එහෙත් ධනවාදය විසින් බිහිකළ නිර්ධන පංතිය බලය ගැනීමට තරම් හැකියාව ඇති දියුණු පංතියක් වූ අතර ධනවාදය පරදා සමාජවාදය මගින් පංති රහිත  සමාජයක් බිහිකිරීමේ අරමුණ සහිතව නිර්ධන පංතිය දේශපාලන පක්‍ෂයක් ලෙස සංවිධානය වීම අවශ්‍ය විය. මේ සඳහා න්‍යායික හා සංවිධාන මග පෙන්වීම මාක්ස්වාදය විසින් කරන ලදී.

මේ අනුව ධනවාදය තුළ දේශපාලන පක්‍ෂ යනු කිසියම් පංතියක පංති වුවමනාව නියෝජනය කරන පංතිමය සංවිධානය වේ. මෙහිදී නිර්ධන පංති පක්‍ෂය විශේෂයක් ගනී. ඒ ඔවුන්ට පැවරී තිබෙන්නේ, පවතින සමාජ ක්‍රමය ආරක්‍ෂා කර ගනිමන් එය පවත්වාගෙන යාම වෙනුවට පවතින සමාජය වෙනස්කොට නව සමාජයක් බිහිකිරීමත් ඒ සඳහා ධනපති රාජ්‍ය බලය වෙනුවට නිර්ධන පංති රාජ්‍ය බලයක් පිහිටුවීමත්ය. එනම් සමාජවාදී සමාජ විප්ලවයට නායකත්වය දීමය. මෙම කාර්යයේ ඇති විශේෂත්වය හා එහි භාරදූර ස්වභාවය නිසාම නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක් තුළ විශේෂ ගුණයන් රැසක් හා එහි සංවිධාන ව්‍යූහයේ හා සංවිධාන ප්‍රතිඵලවල විශේෂ ලක්‍ෂණද අවශ්‍ය විය.

ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත භාවය

නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක සංවිධාන මූලධර්මය ඉතාම පැහිදිලිව අනුගත කරනු ලැබූයේ ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් බෝල්ෂෙවික් පක්‍ෂයේ නිර්මාතෘ ලෙනින්ය. ලෙනින්වාදයට අනුව නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක සංවිධානමය මූලධර්මය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවයයි.  එහෙත් බොහෝ සුළු ධනේශ්වර දේශපාලන ව්‍යාපාර විශේෂයෙන් ට්‍රොට්ස්කිවාදී සංවිධාන මෙම මූලධර්මය අභියෝගයට ලක්කරමින් මධ්‍යගතභාවයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් පෙනී සිටී. ට්‍රොට්ස්කිවාදය පක්‍ෂ තුළ කල්ලි කණ්ඩායම්  හැදීමට කටයුතු කරන අතර ට්‍රොට්ස්කිවාදීන්, නිදහස්වාදී, පොතේගුරුවාදී, මනෝරාජික පිරිසක් ලෙස නිර්ධන පංති ව්‍යාපාරය දුබල කිරීමට දායක වෙති. ලෙනින්වාදී සංවිධාන මූලධර්මයට පටහැණි තවත් ප්‍රවණතාවයවක්ද විය. එය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වලකර මධ්‍යගතභාවය පමණක් සලකන සැටැලින්වාදයයි. ලෙනින්වාදය මේ අන්ත දෙකටම එරෙහිව නිර්ධන පංති පක්‍ෂයක සැබෑ සංවිධාන මූලධර්මය වෙනුවෙන් පෙනී සිටියි.

න්‍යාය හා භාවිතාව

නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක් යනු නිර්ධන පංතියට නායකත්වය දෙන සංවිධානය වේ. නිර්ධන පංතියේ සවිඥ්ඥානික කොටස්වල එකතුව වේ. එසේම නිර්ධන පංතියේ පංති සටන තුළ මෙහෙයවමින් නිර්ධන පංති රාජ්‍ය බලය දිනාගැනීමටත් එය උපයෝගී කරගෙන නව සමාජයක් ගොඩනැගීමටත් නායකත්වය දෙන හා මගපෙන්වන සංවිධානය වේ. මේ නිසාම නිර්ධන පංති පක්‍ෂයක් ඉතාම දියුණු න්‍යායික පදනමකින් මග පෙන්වීම ලැබිය යුතුය. න්‍යායික නිරවුල්කම මෙහි ඉතාම වැදගත් වේ. මේ ගැන ලෙනින් මෙසේ  පවසයි.

“විප්ලවීය න්‍යාය නොමැතිව විප්ලවීය ව්‍යාපාරයක් තිබිය නොහැකිය. ඉතාමත් පටු ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේ මෝහනයක් සමඟ අතිනත් ගෙන අවස්ථාවාදයේ හැඩකාර දේශනා පැවැත්වීම කෙරෙන මෙවැනි කාලයක මේ අදහස කොතරම් අවධාරණය කළත් වැඩි නැත”.

(පළමුවන වෙළුම 136 පිටුව)”

මේ ගැන ලෙනින් යළිත් මෙසේ සඳහන් කරයි.

“අපට මෙහිදී සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ, පෙරමුණු සටන්කරු කාර්යභාරය ඉටුකිරීමට හැක්කේ ඉතාමත් දියුණු න්‍යායකින් මගපෙන්වනු ලබන පක්‍ෂයට පමණක්ය යන්න පමණකි”

(පළමුවන වෙළුම 137 පිටුව)”

නිර්ධන පංති පක්‍ෂයකදී න්‍යාය පමණක් නොව න්‍යාය නිවැරදි භාවිතයේ යෙදවීමද වැදගත්ය.  වමේ ව්‍යාපාර තුළ බොහෝ විට මතුවන ගැටලුවල මුල් පවතින්නේ න්‍යාය තුළ මෙන්ම න්‍යාය භාවිතයට නැගීම පිළිබඳවය. න්‍යාය කොතරම්  දියුණු වුවත් එය භාවිතයට  නොනගන්නේ නම්  හෝ භාවිතයට නැගීමට අසමත් වන්නේ නම් එය පක්‍ෂයක ගමන්මගට අහිතකර ලෙස බලපාන්නේය. න්‍යාය භාවිතයට නැගීම ගැන ලෙනින් සඳහන් කර ඇත්තේ මෙසේය.

“නිවැරදි විප්ලවවාදී න්‍යායක් තිබීම එම කොන්දේසි  නිර්මාණය වීමට  පහසුවක් වන නමුත් න්‍යාය ඇදහිල්ලක් නොවන්නේය. න්‍යාය එහි අවසාන හැඩහුරුව ලබන්නේ සැබැවින්ම පොදුජන සහ සැබැවින්ම විප්ලවවාදී ව්‍යාපාරයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය හා සමඟ සමීප සම්බන්ධයක් ඇතිව පමණකි.”

(ලෙනින් තෝරාගත් කෘති 10 වෙළුම 135 පිටුව)”

දියුණු හා නිවැරදි  න්‍යායික මග පෙන්වීමකින් තොරව කටයුතු කරන්නේ නම් දේශපාලන ව්‍යාපාරයක්  ප්‍රායෝ ගිකවාදයට ඇද වැටෙන අතර න්‍යාය භාවිතයට නගනවා වෙනුවට න්‍යායික සූත්‍ර කතාකරමින් පමණක් සිටින්නේ නම් නිර්ධන පංති පක්‍ෂයක් පොතේගුරුවාදයට ඇද වැටේ. මේ අන්ත දෙකම  නිර්ධන පංති ව්‍යාපාරයට හානිකරය. බොහෝ විට න්‍යායික වාග්පාඨ දොඩවමින් ඒවා භාවිතයට නැගීම පසෙකලා කටපාඩම් කරගත් සූත්‍ර පුනරුච්චාරණය කරමින්  සිටින පොතේගුරුවාදීන් වමේ ව්‍යාපාරය තුළ බොහෝවිට දැකිය හැකිය.  ඔවුහු භාවිතයෙන් එක්කෝ කිසිවක් නොකරති; නැතිනම් විප්ලවවාදී වාග්පාඨ දොඩවමින් ඊට මුළුමනින්ම පටහැණි දේවල් භාවිතයෙදී සිදුකරති. කෙසේ වෙතත්  න්‍යාය භාවිතයට නගනවා වෙනුවට  විප්ලවවාදී වාග්පාඨ දොඩවමින් සිටීම ලෙනින් හඳුන්වා තිබෙන්නේ, කුෂ්ඨ රෝගයක් ලෙසය.

“කුෂ්ටය වේදනාසහගත රෝගයකි. විප්ලවාවදී වාග් පාඨ දෙඩවීම නැමති කුෂ්ඨ රෝගයට මිනිසුන් ගොදුරු වූ විට එම රෝගය දෙස බැලීමෙන් පවා ඉවසිය නොහැකි වේදනාවක් හට ගනී.”

(ලෙනින් විප්ලවවාදී වාග් පාඨ 35 පිටුව)”

පක්‍ෂය හා බහුජන ව්‍යාපරය

සමාජවාදී විප්ලවය පිළිබඳ ප්‍රශ්නයේදී නිර්ධන පංතික පක්‍ෂය යනු පංතියේ පෙරමුණු බලඇණිය වේ; පංතියේ සවිඥ්ඥානික හා සටන්කාමී කොටස්වල එකතුව වේ. සමාජවාදී විප්ලවයේදී පංතියට නායකත්වය දීම සඳහා දියුණු න්‍යායකින් මග පෙන්වනු ලබන විනයක් සහිත ශක්තිමත් සංවිධානයක් ලෙස පක්‍ෂය තීරණාත්මක වේ. එහෙත් පක්‍ෂයට පමණක් සමාජ විප්ලවයේ කාර්යභාරය තනිව ඉටුකළ නොහැක. ඒ සඳහා පංතියේ (පොදු ජනතාවගේ) සහභාගිත්වයද අත්‍යාවශ්‍ය වේ. ලොව සමහර දේශපාලන ව්‍යාපාර විශේෂයෙන් (ට්‍රොට්ස්කිවාදීන්)පක්‍ෂයක අවශ්‍යතාවය පිළිගන්නා අතරම බහුජන ව්‍යාපාරයක වුවමනාව අවතක්සේරු කරයි. එයද බරපතළ ගැටලුවකි. මේ ගැටලුව පිළිබඳව වරක් ලෙනින් මෙසේ පවසා තිබේ.

“නිර්ධන පංතියේ පෙරමුණු බලඇණිය දෘෂ්ටිමය වශයෙන් අප පැත්තට දිනාගෙන තිබේ. ප්‍රධාන කටයුත්ත එයයි. මෙය ඉටු නොකර ජයග්‍රහණය දෙසට ප්‍රථම පියවරවත් තැබිය හැකි නොවේ.  නමුත් ජයග්‍රහණය කරා තව යා යුතු දුර බොහෝය. පෙරමුණු බල ඇණියක් පමණක් ඇතිව දිනුම ලැබිය නොහැකිය. මුළු පංතිය, පුළුල් ජනතාව, එක්කෝ  එක එල්ලේම පෙරමුණු බලඇණියට ආධාර කරන, නැතහොත් යටත් පිරිසයින් එය කෙරෙහි අනුකූලතා පූර්වක මධ්‍යස්ථභාවයක් වත් දක්වන සහ සතුරාට ආධාර නොදෙන ස්ථාවරයක් ගන්නා තැනට ඒමට පෙර පෙරමුණු බලඇණිය පමණක් තීරණාත්මක සංග්‍රාමයට ඇද දැමීම හුදෙක් මෝඩකමක් පමණක් නොව අපරාධයක්ද වන්නේය. මුළු පංතියම වැඩකරන පුළුල් ජනතාව, ප්‍රාග්ධනයෙන් පීඩනයට පත් පිරිස් එවැනි ස්ථාවරයක් ගන්නා තැනට ගෙන එනු පිණිස ප්‍රචාරය සහ උද්ඝෝෂණය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එය සිදුවීම සඳහා පොදු ජනතාවට ඔවුන්ගේම දේශපාලන අත්දැකීම් තිබිය යුතුය. මහා විප්ලවවල මූලික නීතිය එයයි.”

(ලෙනින් තෝරාගත් කෘති 10 වෙළුම, 214 පිටුව)

නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂයක් තම පක්‍ෂයට පමණක් නොව පොදු ජනතාවටද නායකත්වය දීමේ හැකියාව අත්පත් කරගත යුතුය. එසේ නොවන්නේ නම් සමාජ පරිවර්තන කාර්යයක් කිරීමට  එයට හැකිවන්නේ නැත.  පොදු ජනතාවට නායකත්වය දීමේ අවශ්‍යතාවය ලෙනින් අවධාරණය කර තිබුණේ මෙසේය.

“ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරයේ පංති විඥ්ඥානය ඇති පෙරමුණු බලඇණියෙහි, නැතහොත් කොමියුනිස්ට් පක්‍ෂවල, කණ්ඩායම්වල හා උපනතිවල හදිසි අරමුණ විය යුත්තේ, පුළුල් පොදු ජනතාව ඔවුන්ගේ නව ස්ථාවරයට පමුණුවනු පිණිස (තවත් ඔවුහු බොහෝ කොටම උදාසීන අක්‍රීය, නිදිගත සහ සිරිතට බැඳුන පිරිසක් වෙති.) ඔවුන්ට නායකත්වය දීමේ හැකියාව ලැබීමය.   නැතහොත් වෙනත් ආකාරයකින් කියතොත් නව ස්ථාවරය කරා ඉදිරියට යාමේදී හා පරිවර්තනය වීමේදී තමන්ගේම පක්‍ෂයට පමණක් නොව මෙම පොදු ජනතාවන්ටද නායකත්වය දීමේ හැකියාව ලැබීමය.”

(ලෙනින් තෝරාගත් කෘති 10 වෙළුම 214 පිටුව)”

බහුජනතාව  සමඟ වැඩකිරීමේ අවශ්‍යතාවය තවදුරටත් අවධාරණය කළ ලෙනින්  එවැනි පක්‍ෂයක් අනිවාරණීය ලෙසම ජය ගන්නා බවද මෙසේ පැවසීය.

“ජනතාව  සමඟ සම්බන්ධකම් ඇතිව සසංගත ලෙස වැඩ කිරීම සඳහා තහවුරු වීමෙහි සමත්වන පක්‍ෂයක්, දියුණු පංතියේ පෙරමුණු බලඇණිය සංවිධානය කිරීමට සමත්වන එම පංතියේ පක්‍ෂයක්, නිර්ධන පංති ජීවයේ සෑම ලක්‍ෂණයක්ම කෙරෙහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් බලපාන ආකාරයට ස්වකීය බලවේගයන් මෙහෙයවන පක්‍ෂයක් ජයගනු ඇත. කුමක් සිදුවුවත් එවැනි පක්‍ෂයක් ජයගනු ඇත.”

(ලෙනින් තෝරාගත් කෘති 3 වෙළුම 170 පිටුව)”

නිර්ධන පංති ව්‍යාපාරයක් යනු කුමන්ත්‍රණකාරී කල්ලියක් නොවේ. එය බහුජනතාව (පංතිය) පිළිබඳව විශ්වාසකරන ඔවුන් සමඟ වැඩකරන හා ඔවුන් සමාජ විප්ලවය කරා මෙහෙයවීමේ සමත් සංවිධානයක් විය යුතුය. එසේ නොවුන විට එය කුමන්ත්‍රණකාරී කුඩා කල්ලියකට වැටීමේ අනතුර තිබේ. ජනතාව ගැන විශ්වාසය නැති, ජනතාව සමඟ ඉවසීමෙන් යුතුව දිගුකලක් තිස්සේ  වැඩකිරීමට සූදානම් නැති හා හැකියාව නැති සමහර අය බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය අවතක්සේරුකොට කුඩා කල්ලි බවට පත්වෙති. ඔවුන් ගැන ලෙනින් මෙසේ පවසා තිබුණි.

“පංති විඥ්ඥානය ඇති කම්කරුවන් බලයක් බවට පත්වීමට නම් ඔවුන්ගේ පැත්තට බහුතරය දිනාගත යුතුය. ජනතාවට විරුද්ධව හිංසනය නොයොදනු ලබන තාක්කල්  බලය ලබාගැනීමට වෙනත් මාර්ගයක් නොමැත. අපි බ්ලැංකිවාදීන් නොවෙමු. සුළු පිරිසක් විසින් බලය අල්ලා ගැනීමෙක් වෙනුවෙන් අපි පෙනී නොසිටිමු. අපි මාක්ස්වාදීන් වෙමු.”

(5 වන වෙළුම 32 වන පිටුව)”

පක්‍ෂය හා නායකත්වය

සමාජ විප්ලවයකදී රීතියක් ලෙස නිර්ධන පංතියට නායකත්වය දෙන්නේ, නිර්ධන පංති විප්ලවකාරී පක්‍ෂය විසිනි. එනම් පංතියට නායකත්වය දෙන්නේ පක්‍ෂය විසිනි. එසේම පක්‍ෂයටද නායකත්වයක් තිබිය යුතුයි. පක්‍ෂයට නායකත්වය දෙන අය නායකයින් ලෙස හඳුන්වති. තනි හුදකලා නායකයින්ගේ වීරක්‍රියා  මගින් ජනතාව විපතින් මුදා ගන්නා ආකාරයේ නායකයින් මාක්ස්වාදය විසින් පිළිගන්නේ නැත. එහෙත් එය ඉතිහාසය තුළ මිනිස්සුන්ගේ සාමූහික ක්‍රියාකාරිත්වය තුළ  නායකයින්ගේ කාර්යභාරය මුළුමනින්ම ඉවතලන්නේද නැත. ඉතිහාසය ගොඩ නගනු ලබන්නේ, පොදු ජනතාවගේ ක්‍රියාකාරිත්වය මගින්ය යන්න පිළිගන්නා මාක්ස්වාදය එහිදී පොදු ජනතාවට නායකත්වය දීමේ නායකයින්ගේ කාර්යභාරයද පිළිගනී.  පොදු ජනතාවගෙන් තොර හුදකලා නායකයින් මෙන්ම නායකත්වයෙන් තොර පොදුජන ක්‍රියාකාරිත්වයන් යන අන්ත දෙකම මාක්ස්වාදය බැහැර කරන අතර අරගලයේ දයලෙක්තිකය ලෙස පොදු ජනතාව හා නායකයින් අතර අන්තර් සම්බන්ධය පිළිගනී.

ලෝක සමාජවාදී ව්‍යාපාරය තුළ මේ සම්බන්ධයෙන්ද වැරදි මත තිබේ. සමහරු නායකයින් ගැන පමණක් විශ්වාස කරන අතර සමහරු නායකයින්ගේ කාර්යභාරය ප්‍රතික්‍ෂේප කරති. නායකයින්ගේ කාර්යභාරය පිළිබඳ සැක පහළ කරති.  සමහරු පොදු ජන ව්‍යාපාර තුළින් පැන නගින ඒ තුළින් අත්හදා බලන නායකත්වයන් වෙනුවට සර්වතෝභද්‍ර සර්ව නිර්දෝෂී සාන්තුවරයින් වැනි නායකයින් ඉල්ලා සිටිති.  නායකයින්ගේ අඩුපාඩු  ගැන සිතා විශ්වාසභංගත්වයට පවා පත්වෙති.  එසේම නිර්ධන පංති රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයද ඊට අනුව පටලවා ගනිති. පංතියේ ආඥාදායකත්වය ලෙස හැඳින්වූවද සැබැවින්ම පවතින්නේ පංතියේ ආඥාදායකත්වය නොව පක්‍ෂයේ හා නායකයින්ගේ ආඥාදායකත්වයක් යයි තර්ක කරමින් නිර්ධන පංති රාජ්‍ය බලයට අභියෝග කරති. මේ පිළිබඳව පැහැදිලි කළ ලෙනින් මෙසේ පැවසීය.

“පක්‍ෂයේ ආඥාදායකත්වය, නැතහොත්  පංතියේ ආඥාදායකත්වය; නායකයින්ගේ ආඥාදායකත්වය, (පක්‍ෂය)? යනුවෙන් හුදෙක් ප්‍රශ්න ඉදිරිපත් කළ පමණින්ම ඔප්පු වන්නේ, එසේකරන තැනැත්තේ  විශ්වාස කළ නොහැකි තරමට  හා සුවකළ නොහැකි තරමට මොළය අවුල්කරගෙන තිබෙන බවය. සම්පූර්ණයෙන්ම අසාමාන්‍ය  යමක් නිර්මාණය කිරීමට මෙම පුද්ගලයන්ට  වුවමනා වී තිබේ. තමන් දක්‍ෂයන් බව පෙන්වීමට ඔවුන් දරන උත්සාහය නිසා ඔවුහු විහිළු තත්වයට පත් වෙති. පොදු ජනතාව පංති සමඟ විසංසන්දනය කළ හැක්කේ සමාජමය නිෂ්පාදන ක්‍රමය තුළ දරන තත්වයන් ගැන නොතකා පොදු වශයෙන් ගත් අති බහුතර ජනකායද සමාජමය නිෂ්පාදන ක්‍රමය තුළ නිශ්චිත  තත්වයන්  දරන පිරිස්ද විසංසන්දනය  කිරීමෙන් පමණක් බවත් සාමාන්‍ය වශයෙන් සහ බොහෝ තන්හි යටත් පිරිසෙයින්  වර්තමාන ශිෂ්ටාචාර  රටවල හෝ පංතිවලට නායකත්වය දෙනු ලබන්නේ දේශපාලන පක්‍ෂ විසින් බවත් සාමාන්‍ය නීතියක් වශයෙන් දේශපාලන පක්‍ෂ මෙහෙයවනු ලබන්නේ වැඩිම අධිකාරයක් බලපෑමක් හා අත්දැකීමක් ඇති ඉතාමත් වගකිවයුතු තනතුරුවලට තෝරා පත්කරනු ලැබූ සහ නායකයන් යනුවෙන් හැඳින්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත තරමක් දුරට ස්ථාවර කණ්ඩායම් විසින් බවත් කවුරුත් දනිති.”

(ලෙනින් තෝරාගත් කෘති 10 වන වෙළුම 154 පිටුව)”

ධනපති ක්‍රමය තුළ එය පෙරළා දැමීමේ අරමුණින් නිර්ධන පංති පක්‍ෂයක් ගොඩනැගීම හා එය පවත්වාගෙන යමින්  සමාජ පරිවර්තනයක් සඳහා පංතියට නායකත්වය දීම සරල සුළු පටු කාර්යයක් නොවේ. මෙහිදී නිර්ධන පංති පක්‍ෂයක් පවත්වාගෙන යාමට සිදුවන්නේ මහා බාධක රැසක් සමඟය. එක් අතකින් නිර්ධන පංති පක්‍ෂය විනාශ කිරීම හා දුර්වල කිරීමට ධනපති පංතිය විසින් කරන විවිධ කුමන්ත්‍රණද, අනෙක් අතින් ධනපති පංති වුවමනාවන් නිර්ධන පංති ව්‍යාපාරය තුළට ගෙනඑන සුළු ධනේශ්වර අවස්ථාවාදයද ඊට අමතරව ධනපති ක්‍රමය තුළ ඉපිද හැදී වැඩීම නිසා නිර්ධන පංතියේ පුද්ගලයන් ධනවාදයෙන් රැගෙන එන විවිධ ගති සිරිත් හා සම්ප්‍රදායන්ද විප්ලවවාදී ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී විශාල බාධා බවට පත්වෙති. මෙම බාධා හා දුෂ්කරතාවලට මුහුණ දෙමින්, ඒවා වටහා ගනිමින් හා ඒවායේ දුර්ගුණයන් හා දුර්මතයන් පැරදවීමට අරගල කරමින් දිගු කාලීන ව්‍යායාමයක යෙදීමට තරම් ඉවසීමද, දැනුමද නැති ‘දඩිබිඩි විප්ලවවාදීහු’ මෙකී දුෂ්කරතාවයන් දැක කලබල වී වැරදි විග්‍රහයන්ට හා වැරදි  නිගමනවලට එළඹ නිර්ධන පංති  ව්‍යාපාර ‘පිරිසිදු කරගැනීමේ’ නාමකරණයෙන් ඒවාට හානිකරති. ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ පසුගිය දිනවල නිර්මාණය වූ කල්ලිවාදයන් තුළද මෙය දැකිය හැකිවිය.

මෙකී අති වාමාංශික ස්වරූපයේ ප්‍රවණතා බොහෝවිට සිය මතවාදී දුප්පත්කම හා භින්න පෞරුෂය නිසා නිර්ධන පංති ව්‍යාපාරයක බහුජන කටයුතු මෙන්ම බහුජන ක්‍ෂේත්‍රයේ නායකයන්ද ප්‍රතික්‍ෂේප කරන තත්වයට වැටෙති. එමගින් නිර්ධන පංති ව්‍යාපාරය බහුජනතාවගෙන් වියෝ කරන ලද කුඩා කුමන්ත්‍රණකාරී කල්ලි බවට පත් කිරීමට කටයුතු කරමින් අනියමින් ධනපති පංතියට උදව්කරති. පෙනුමෙන් අති උදාර කාර්යයක් වෙනුවෙන් පෙනී සිටින බව පළකළද  හරයෙන් තකතීරුකම්වලට වැටෙති. වරක් රුසියානු කියමනක් උපුටා දැක්වූ ලෙනින් මෙවැනි කටයුතු ගැන සඳහන් කළේ “ අති උදාරත්වයේ සිට තකතීරුකම දක්වා ඇත්තේ එක් පියවරක දුර පමණි” යනුවෙනි. නායකයින්ගේ දුර්වලතා පිළිබඳව නිර්මාක්ස්වාදී ලෙස විග්‍රහ කළ ජර්මනියේ ‘වාම’වාදීන්ට ඒ පිළිබඳව ලෙනින් පිළිතුරු දෙන ලදී. ලෙනින් ඔවුනට පැවසූවේ “ජර්මන් ‘වාම’වාදීහු ඔවුන්ගේ පක්‍ෂයේ සිටින නරක ‘නායකයන්’ ගැන මැසිවිලි කියති. බලාපොරොත්තු සුන්වූ තත්වයට පත්වෙති.  එපමණක් නොව ‘නායකයන්’ ‘ප්‍රතිෂේධ’ කිරීමේ තත්වයට පවා වැටෙති.  නමුත් නායකයන් බොහෝ විට සඟවා තැබීමට සිදුවන තත්වයන්  යටතේ හොඳ, විශ්වාසදායක, උරගා බලන ලද හා අධිකාරයක්  ඇති ‘නායකයන්’ හැදීම දුෂ්කර කාර්යයකි.  නීත්‍යානුකූල හා නීති විරෝධී වැඩ ඒකාබද්ධ කිරීමක් නොමැතිව වෙනත් මාර්ග තුළින්  මෙන්ම පාර්ලිමේන්තුව තුළින්ද නායකයන් පරීක්‍ෂාවට භාජනය කිරීමෙන් තොරව මෙම දුෂ්කරතාවයන්  සාර්ථක ලෙසින් ජයගත හැකි නොවේ.”යනුවෙනි.

නිර්ධන පංති විප්ලවකාරී ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී නායකත්වයේ අවශ්‍යතාවය විග්‍රහකරමින් එක් අවස්ථාවක ලෙනින් පැවසුවේ,

“(1)අවිච්ඡේදව පවත්වාගෙන යනු ලබන නායකයින්ගේ සංවිධානයක් නොමැතිව කිසිම විප්ලවවාදී ව්‍යාපාරයකට  පැවතිය නොහැකි බවත් (2)ව්‍යාපාරය පදනම වන හා අරගලයට සාංසිද්ධික වශයෙන්  ඇදී එන පොදු ජනකාය  පුළුල් වූ තරමට (විවිධ වර්ගයේ කෛරාටිකයන්ට වඩාත් නොදියුණු පොදුජන කොටස් නොමග යැවීම ඉතා පහසු වන නිසා) එවැනි සංවිධානයක අවශ්‍යතාවය වඩාත් හදිසි වන බවත් (3) එවැනි සංවිධානයක්  ප්‍රධාන වශයෙන් සමන්විත විය යුත්තේ වෘත්තියක් වශයෙන් විප්ලවවාදී කටයුතුවල යෙදී සිටින අයගෙන් වන බවත්…….” යනුවෙනි.

(පළමු වෙළුම 247 පිටුව)”

මේ අනුව සමාජවාදී සමාජ විප්ලවයේදී පංතිය, පක්‍ෂය හා නායකත්වය යන ප්‍රපංච තුන එකිනෙකට අන්තර් සම්බන්ධිත එකිනෙකින් මුළුමනින්ම වියුක්තව නොපවතින හා එකකින් අනෙක පෝෂණය වෙමින් පවතින ප්‍රපංචයන් තුනක් වේ. පංතියේත් පක්‍ෂයේත් නායකත්වයේත් පොදු ස්වභාවය මෙන්ම එක් එක් ප්‍රපංචයේ විශේෂතාවයන්ද වටහා ගැනීමෙන් තොරව සමාජවාදී විප්ලවය සඳහා දායක වීම තබා එය වටහා ගැනීමටවත් නොහැකි වේ. සමාජවාදී සමාජ විප්ලවයකදී පංතිය පක්‍ෂය හා නායකත්වය එකම අරමුණක් වූ සමාජවාදී සමාජය නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක වුවද එය ප්‍රපංච තුනට පැවරෙන කාර්යයන් වෙනස් වන අතර ඒවා හුවමාරු කර ගැනීමටද නොහැක. පංතිය වෙනුවට පක්‍ෂය ආදේශ කිරීමට හෝ පක්‍ෂය වෙනුවට නායකයින් ආදේශ කිරීමට නොහැකිවාක් මෙන්ම පක්‍ෂයේ නායකත්වයෙන් තොරව පංතියටත් නායකයන්ගේ  මග පෙන්වීමෙන් තොරව පක්‍ෂයටත් තම කාර්යය ඉටුකිරීමටද නොහැක.  ඒ අනුව පංතිය,  පක්‍ෂය හා නායකත්වය ඒකත්වයක මෙන්ම වෙන් වෙන්වද වටහා ගැනීමත්  ඒවායේ ස්වභාවය ඒවාට පැවරෙන කාර්යය හා ඒවායේ වගකීම නිවැරදිව වටහා ගැනීමත් සමාජ විප්ලවය සඳහා අත්‍යාවශ්‍ය වේ.

පංතිය, පක්‍ෂය හා නායකත්වය