ආගම්, ආගමික මූලධර්මවාදය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කියවීමක්

SHARE

පසුගිය අප්‍රේල් 21 වැනි දින ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ ලංකාවේ දේශපාලන තත්ත්වය සැලැකිය යුතු ගුණාත්මක පරිවර්තනයකට ලක් විය. මෙම සිදු වීමත් සමඟ ආගමික අන්තවාදයන්ට හා ත්‍රස්තවාදයට විරුද්ධව ගොඩ නැඟුණු මතය මේ වන විට සමස්ත මුස්ලිම් ප්‍රජාව ම ඉලක්ක කර ගත් සිංහල බෞද්ධ ජාතිවාදී අන්තයකට වර්ධනය කිරීමක් දක්වා ගමන් කරමින් තිබේ.

ධනවාදයේ පොදු අර්බුදය හමුවේ බංකොලොත්භාවයට ඇදවැටුණු දේශපාලන පක්‍ෂ, කණ්ඩායම් සහ පුද්ගලයෝ එම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා තරගයට ජාතිවාදය අවුස්සමින් සිටිති. මෛත්‍රී – රනිල් දුර්වල හවුල් ආණ්ඩුවේ අරාජිකත්වය විසින් මෙවැනි ජාතිවාදී ප්‍රවණතා සඳහා සුවිශාල ඉඩකඩක් ද රට තුළ නිර්මාණය කර ඇති නිසා කිසිදු පාලනයකින් තොරව මෙම තත්ත්වය වර්ධනය වෙමින් තිබේ. විශේෂයෙන් ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සාකච්ඡාව පෙරට පැමිණ තිබේ. එය හුදෙකලා ප්‍රවණතාවක් නොවන බැවින්, එය ශ්‍රී ලාංකීය භූමියට සීමා කර සිදු කළ හැකි සාකච්ඡාවක් ද නොවේ. ආගම් ඇදහීම හෝ විශ්වාස කිරීම තම පෞද්ගලික කටයුත්තක සීමාව ඉක්මවා ඉතාමත් තීරණාත්මක සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික කටයුතුවල දී මිනිස් විඥානය හසුරුවන උපකරණයක් දක්වා මිනිස් ජීවිත තුළට කිඳාබැස තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ඒ ගැන වඩාත් විද්‍යාත්මක විමසා බැලීමක් සිදු කිරීම කාලෝචිත වෙයි. එම නිසා ම මේ පිළිබඳ එක් අන්තයකින් පමණක් සිදු කරනු ලබන විග්‍රහයක් සාධාරණ නොවන අතර පැති ගණනාවකින් මෙම ප්‍රශ්නය දෙසට ප්‍රවේශ වීමක් අත්‍යවශ්‍ය වෙයි. ‘විමර්ශන’ මෙවර කලාපය වෙන් වන්නේ ඒ සඳහා ය.

ආගම යනු කුමක් ද?

ආගම යනු ප්‍රකෘතියේ විකෘති කරනු ලැබූ මනඃකල්පිත පිළිබිඹුවක් ලෙස මාක්ස්වාදය අර්ථ දක්වනු ලබයි. ආගම වඳ මලකට උපමා කරන ලෙනින් එය හට ගන්නේ මිනිසා නමැති වෘක්‍ෂයේ බවත්, කොන්දේසි විරහිතව එය විනාශ කර දැමිය යුතු බවත් අවධාරණය කරයි. සමාජ සංවර්ධනයේ දී එය ප්‍රතිගාමී කාර්යයක් ඉටු කරනු ලැබුව ද, ආගමික අගතීන්ට එරෙහිව කටයුතු කිරීමේ දී අතිශයින් සැලැකිලිමත් විය යුතු බව ලෙනින් ද අවධාරණය කර ඇති බව පහත උපුටා දැක්වීම මඟින් පැහැදිලි වෙයි.

“ආගමික අගතීන්ට එරෙහිව සටන් කිරීමේ දී අප අතිශයින් ම ප්‍රවේශම්කාරී විය යුතු ය. ඇතැම් මිනිස්සු ආගමික හැඟීම් රිදවීම් මඟින් මේ අරගලයේ දී විශාල හානියක් සිදු කරත්. අප විසින් මෙහි දී ප්‍රචාරක කටයුතු හා අධ්‍යාපනය උපයෝගී කර ගත යුතු ය. අරගලයට ඕනෑවට වඩා තියුණු මුවහතක් දීමෙන් අප කරන්නේ ජනතා නුරුස්නාව ඇවිස්සීම පමණි.”

ආගමේ බිහි වීම

ආගම් බිහි වූයේ අවිද්‍යාව තුළ ය. සොබාදහම හමුවේ අසරණ වූ ආදිකල්පික මිනිසාට තමා අවට සිදු වන්නා වූ ස්වාභාවික සංසිද්ධි වටහා ගැනීමට අසීරු විය. ඉර, හඳ, තාරකා, අව්ව, වැස්ස, ගින්දර ආදී ස්වාභාවික වස්තූන් හා ඒවායේ ක්‍රියාකාරීත්වයන්ගේ හරය වටහා ගැනීමට තරම් දැනුමක් මෙම අවධිය තුළ නොතිබිණි. උපකරණවල සංවර්ධනය ඉතාමත් පහළ අවධියක දී මිනිස් දැනුමේ මට්ටම ද ඊට අනුරූපව පැවැතීම යථාර්ථයයි. තමාට වටහා ගැනීමට නොහැකි සියලු දේ දේවමය බලයකට ආරෝපණය කිරීම පහසු ම කටයුත්ත බවට පත් විය. විවිධ විෂය කාරණා සඳහා දෙවිවරුන් මණ්ඩලයක් නිර්මාණය කරන්නේ මේ තත්ත්වය තුළ ය. (සියස් – අහස, ඇපලෝ – හිරු….) දෙවියන් විසින් මිනිසා මැව්වා නොව මිනිසා විසින් දෙවියා මවන ලදැයි ප්‍රකාශ කිරීම වඩාත් සාධාරණ වෙයි. මෙලෙස ප්‍රථමික සාමුහික සමාජය තුළ බොහෝ දෙවියන් ඇදහීම් හා විශ්වාසයන් වශයෙන් පැවැති දේ පන්ති සමාජය තුළ දී සංවිධානාත්මක ආගම් බවට පරිවර්තනය විය. බොහෝ දෙවියන් ඇදහීම වෙනුවට එක් දෙවියකු විශ්වාස කරන ආගම් ද බිහි විය.

සංවිධානාත්මක ආගම්වල පැවැත්ම තීරණය වූයේ ඒ වෙනුවෙන් වෙන් වූ පූජකවරුන්ගේ හෝ ආගමික නායකයන්ගේ පැලැන්තියක් නඩත්තු කිරීමේ හැකියාව තුළ ය. මෙවැනි පිරිසක් නඩත්තු කිරීම සඳහා අතිරික්ත ධනයක් ප්‍රාථමික සාමුහික සමාජය තුළ නොතිබුණු අතර, පන්ති සමාජය තුළ එම තත්ත්වය වෙනස් විය. පන්ති සමාජය පැනනැඟුණු පසු සමාජ නිෂ්පාදනයේ අතිරික්තය දේපළ හිමි පන්තිය සතු විය. මේ සමඟ පැනනැඟුණු රජය දේපළ හිමි පන්තිය වෙනුවෙන් දේපළ අහිමි පන්තිය යටත් කරගෙන සිටීමේ කාර්යය (බලහත්කාරය) සිදු කරනු ලැබී ය.

ආගම පාලක පන්තියේ අවියක් ලෙස

ආගම්වල පැවැත්මට, යැපීමට හා ආරක්‍ෂාවට පාලක පන්තියේ සහ රජයේ සහාය අවශ්‍ය විය. රජයට හා දේපළ හිමි පාලක පන්තියට ද ආගමේ සේවය අත්‍යවශ්‍ය විය. ඒ තම සූරාකෑම සාධාරණීයකරණය කරමින්, ජනතාව මෝහනය කර තබා ගැනීම සඳහා ය. කුමන ආගමක් ඉතිහාසයේ කුමන තත්ත්වයක් තුළ බිහි වුව ද, අවසානයේ ඒවා පාලක පන්තියට සේවය කරන අවියක් බවට පත් වී තිබේ. රජයේ පීඩාවට එරෙහිව පීඩිතයන් වෙනුවෙන් බිහි වූ ආගම් ද පසුකාලීනව ඉහත තත්ත්වයට පත් විය. ආගම් පිළිබඳව ලියා ඇති ලෙනින්ගේ ලිපි එකතුවක ඒ ගැන සඳහන් කර ඇත්තේ පහත පරිදි ය:

“ආගම වූ කලී තමන් විසින් අන්‍යයන් සඳහා සදාකාලිකවම කරන වැඩවලින්, අගහිඟයෙන් හා හුදෙකලාවෙන් අධික ලෙස බර පැටවුණා වූ බහුජන සමූහයා මත සෑම තැන්හිම දැඩිබවක් පටවන්නාවූ ආධ්‍යාත්මික පීඩනයේ ස්වරූපයකි. ස්වභාවධර්මය සමඟ සිය අරගලයේ දී වනචාරී මිනිසාගේ දුබලතාවය දෙවියන්, යකුන් ප්‍රාතිහාර්යයන් යනාදී දේ කෙරෙහි විශ්වාසයන් ජනිත කරන්නා සේම සූරාකන්නන්ට එරෙහිව සිය අරගලයේදී සූරාකෑමට ලක් වන පන්තිවල දුබලතාවය නිරායාසයෙන්ම මරණින් මතු වඩා හොඳ ජීවිතයක් කෙරෙහි විශ්වාසය ජනිත කරයි. සිය මුළු ජීවිත කාලයම අගහිඟ කමින් පෙළෙන්නා වූ හා වෙහෙසී බර වැඩ කරන්නා වූ ජනයාට මේ ලෝකයේ ජීවත් වන කාලය තුළ යටහත්පහත්ව සිටින ලෙසත්, ඉවසා සිටින ලෙසත්, ස්වර්ගයේ සැපත කෙරෙහි බලාපොරොත්තු ඇති කරගන්නා ලෙසත් ආගම විසින් උගන්වනු ලැබේ. අනුන්ගේ ශ්‍රමයෙන් ජීවත් වන්නවුන්ට, ආගම විසින් ඔවුන් මේ ලෝකයේ ජීවත්වන කාලය තුළ පරිත්‍යාග ශීලීභාවය ප්‍රගුණ කරන ලෙස කියනු ලබන අතර, සූරාකන්නන් වශයෙන් ඔවුන්ගේ සම්පූර්ණ පැවැත්ම සාධාරණ යැයි ඔප්පු කිරීමට ඉතා ලාභ ක්‍රමයක් පිරිනමමින් ඔවුන්ට ස්වර්ගයේ සැපවත් ජීවිතයක් සඳහා අඩු මිලකට ප්‍රවේශ පත්‍ර විකුණයි. ආගම ජනතාවගේ අබිං ය. ආගම වූ කලී ප්‍රාග්ධනයේ වහලුන් ඔවුන්ගේ මිනිස් පිළිරුව යම් තරමකින් මිනිස් තරම් බවට වටිනා ජීවිතයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වාලන එක්තරා ආකාරයක ආධ්‍යාත්මික මද්‍යසාරයකි.” ආගම් බිහිවීම හා සමාජ පසුබිම

දැනට ලෝකයේ පවතින ප්‍රධාන ආගම් කිහිපයක ආරම්භය හා එම ශාස්තෘවරුන්ගේ උපත සිදු වූ ඓතිහාසික තත්ත්වය සැලැකිල්ලට ගත් විට එම ආගම් හා ඒවායින් ප්‍රකාශිත දර්ශනයන්ගේ හරය එම සමාජ ඓතිහාසික තත්ත්වයන්ගේ අවශ්‍යතාවක ඵලයක් බව පැහැදිලි වෙයි.

බුද්ධාගම බිහි වීම

බෞද්ධාගමේ හා ජෛනාගමේ බිහි වීම සලකා බැලීමේ දී මේ බව හොඳින් පැහැදිලි වේ. මෙම ආගම් බිහි වූ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී ඉන්දියාවේ රජයට ඉහළින් පැවැති බ්‍රාහ්මණ ආගම විසින් ‘බ්‍රහ්ම මැවුම්වාදය’ දේශනා කොට තිබිණි. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බමුණන් සමාජයේ උසස් ම අය ලෙසත්, දෙවුරෙන් හා උදරයෙන් උපන් අය ක්‍ෂත්‍රිය හා වෛශ්‍ය ලෙසත් යටි පතුලෙන් උපන් අය ශුද්‍රයන් ලෙසත් උගන්වනු ලැබී ය. එමඟින් පැවැති පන්ති සමාජය සාධාරණීයකරණය කිරීමක් කරනු ලැබී ය. යාග හෝම පැවැත්වීමට සතුන් මැරීම නිසා කෘෂි ආර්ථිකයට බලවත් තර්ජනයක් සිදු විය. මේ තත්ත්වයෙන් රජය මුදා ගැනීම සඳහා මූලිකත්වය ගනු ලැබුවේ, රාජ්‍ය පාලනයේ වගකීම දැරූ ක්‍ෂත්‍රිය වංශිකයන් ය. සිදුහත් කුමරු හා ජෛන මහාවීර ද ක්‍ෂත්‍රිය වංශිකයන් වීමෙන් මේ බව පැහැදිලි ය. මිනිසෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව පැවසීමෙන් බුදුන් වහන්සේ කරනු ලැබුවේ, බ්‍රහ්ම මැවුම්වාදය ප්‍රතික්‍ෂේප කිරීම ය. කුල පීඩනය ප්‍රතික්‍ෂේප කිරීම ය. (බුදුදහම තුළ දැන් කුලවාදය තිබේ.) පසු කලෙක බුදුදහමේ ඇතැම් ඉගැන්වීම් විකෘති වී යළි මැවුම්වාදය ඒ තුළට රිංගා තිබේ.

ක්‍රිස්තියානි ආගමේ බිහි වීම

ක්‍රිස්තියානිය බිහි වූ වකවානුව සලකා බැලීමේ දී ද මේ බව පැහැදිලි වේ. වහල් ක්‍රමය පැවැති රෝම අධිරාජ්‍යය ලොව බොහෝ රටවල් යටත් කොට කොල්ලකමින් සිටි අතර, වහල් පීඩනය ද සමාජයේ බරපතළ අර්බුදයක් වී තිබිණි. එවකට පැවැති ආගම් ද මෙම පාලනයට උදවු කරනු ලැබී ය. එමඟින් ජනතාවට ආධ්‍යාත්මික සතුටක් ලබා දීමට නොහැකි විය. රෝම පාලනයට යටත් කොට තිබූ ප්‍රදේශයක උපන් ජේසුස් වහන්සේ ද කරනු ලැබුවේ, උත්තරීතර යැයි සලකන ලද රජයට අභියෝග කොට මිනිසාගේ ගැලවුම්කරුවා දෙවියන් බවත්, දෙවියන් රජයට ඉහළින් සිටින බවත්, සියලු දෙනා ම වගකියනු ලබන්නේ දෙවියන්ට බවත් දේශනා කිරීම ය. ගැලවුම්කරුවකු එන තුරු බලා සිටි මෙම සමාජය මෙම ඉගැන්වීම් ඉමහත් ගෞරවයකින් භාර ගනු ලැබිණි. මෙමඟින් රජයේ ඒකාධිකාරය බිඳවැටීමත්, වහලුන් හා පීඩිතයන් අතර මෙම ආගම වේගයෙන් පැතිරීමත් හේතුවෙන් ජේසුස් වහන්සේ මරා දමනු ලැබී ය. නමුත්, ජේසුස් වහන්සේ මරා දමා වසර 400කට පසු (කොන්ස්තන්තීන්ගේ කාලය) ක්‍රිස්තියානිය රෝමයේ නිල ආගම බවට පත් කර, ක්‍රිස්තියානියේ ආරම්භක අරමුණු විකෘති කර රජය තරම් බලවත් ආයතනයක් බවට පත් කෙරිණි. රෝමානු කතෝලික සභාව බිහි වන්නේ ඒ අනුව ය. පසුව එය වසර 1,000ක් පුරා යුරෝපයේ අඳුරු යුගය ලෙස සැලැකෙන මධ්‍යතන යුගයේ දී රජය හා එක්ව ජනතාව පිඩාවට පත් කරනු ලැබී ය. ධනවාදය බිහි වූවාට පසු ඊට ගැළපෙන ලෙස ක්‍රිස්තියානිය ප්‍රතිසංස්කරණය කිරීමට සිදු වූ අතර, ඒ ප්‍රොතෙස්තන්ත්‍රවාදය ලෙස හඳුන්වනු ලැබේ.

ඉස්ලාම් ආගමේ බිහි වීම

ඉස්ලාම් ආගමේ ආරම්භක ශාස්තෘවරයා වූ මහම්මත්තුමා උපත ලැබූ කාලය තුළ (ක්‍රි.ව. 571) අරාබියේ පැවැති සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් සඳහා පදනම සකස් කර තිබේ. කාන්තාර සහිත ඉතා දුෂ්කර භූමි භාගයක් වන අරාබි කලාපය තුළ විසිරුණු ගෝත්‍ර ගණනාවක් ජීවත් වූහ. ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවකින් ඒකාබද්ධ නොවුණු තත්ත්වයක් තුළ බරපතළ දේශපාලන අරාජිකත්වයක් ද විය. එවකට පැවැති ආගමික විශ්වාස හා ඇදහිලි මඟින් ජනතාව ඉතාමත් ලිහිල් ලෙස ඒකාබද්ධ වී සිටි අතර, එය පැවැති අරාජිකත්වයට පිළිතුරක් නොවී ය. ක්‍රිස්තියානිය හා යුදෙව් ආගමේ සුවිශාල බලපෑමක් සහිතව ජීවත් වුණු මහම්මත්තුමා ඒකදේවවාදය විශ්වාස කරන ආගමානුකූල ජීවිතයකට හුරු වූ පුද්ගලයකු විය. පැවැති දේශපාලන අරාජිකත්වය වෙනස් කර විසිරුණු ගෝත්‍ර එක්සත් කර ශක්තිමත් රාජ්‍යයක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් ඉගැන්වීම් සහිත නව ආගමක් ඔහු හරහා ගොඩනැඟෙන්නේ මේ තත්ත්වය තුළ ය. එම නිසා ම ඉස්ලාම් ආගම ආරම්භයේ සිට ම තදින් ක්‍රියාත්මක රීතීන්ගෙන් ගොඩ නැඟී තිබේ. (දිනකට පස් වතාවක් යාඥා කිරීම, සමූහයක් ලෙස ආහාර අනුභව කිරීම, රාමසාන් උපවාසය…)තවද, තද හිරු රැස් පතිත වන වැලි කුණාටුවලින් හා කාන්තාරවලින් ගහණ භූමි භාගයකට ගැළපෙන සංස්කෘතික අනන්‍යතාවන් ද ඒකාබද්ධ වෙමින් ඉස්ලාම් ආගම ගොඩනැඟී තිබේ. මේ ආකාරයට මහම්මත්තුමාගේ නායකත්වයෙන් 7 වැනි සියවසේ මුල සිට අර්ධද්වීපයේ විවිධ ගෝත්‍ර ඒකරාශී කර එක් ඉස්ලාමීය පාලනයක් ගොඩනඟනු ලැබී ය.

මහම්මත්තුමාගේ මරණින් පසු ඔහුගේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස හැඳින්වෙන කලිෆා තනතුර සඳහා ඇති වූ මතභේද හේතු කොට ගෙන ‘සුන්නි’ හා ‘ෂියා’ ලෙස දහරාවන් දෙකක් වෙන් විය. මහම්මතුමාගේ මිතුරා වූ අබුබකර් කලිෆාවරයා ලෙස පිළිගත් අය සුන්නි මුස්ලිම්වරුන් ලෙසත්, මහම්මත්තුමාගේ බෑනා වූ අලීගේ නායකත්වය පිළිගත් පිරිස ෂියා මුස්ලිම්වරුන් ලෙසත් හැඳින්වේ. කෙසේ නමුත්, පසුව ඔහුගේ අනුගාමිකයන් විසින් විශාල භූමිභාගයන් යුද බලයෙන් යටත් කොට මුස්ලිම් පාලනය අරාබියෙන් ඔබ්බට ගෙන යන ලදී. මෙසේ ජාතික රාජ්‍ය ගණනාවක් යටත් කරමින් බිහි කරන ලද ඉස්ලාමීය භූමිභාගය ‘කලිෆේට්’ (Caliphate) හෙවත් ‘ඉස්ලාමීය රාජ්‍යය’ ලෙස හැඳින්වේ. ඓතිහාසික වශයෙන් විශාල අධිරාජ්‍යයන් ලෙස ගොඩනැඟුණු කලිෆේට් හතරක් තිබේ.

  1. රුෂිඩුන් (Rushidum) ක්‍රි. ව. 632-661.
  2. උමයාඞ් (Umayyad) ක්‍රි. ව. 661-750.
  3. අබසිඞ් (Abbasid) ක්‍රි. ව. 945 – 1157.
  4. ඔටෝමාන් (Automan) ක්‍රි. ව. 1517 – 1914.

ඉස්ලාම් මූලධර්මවාදයේ පරමාදර්ශී සිහින රාජ්‍යය වන්නේ කලිෆේට් තත්ත්වයයි. වර්තමානයේ අයි.එස්. ඉස්ලාමීය අන්තවාදීන් ද ඔවුන්ගේ මතවාදී ප්‍රචාරණයේ වැදගත් කොටසක් මෙබඳු කලිෆේට් රාජ්‍යයක් ගොඩනැඟීම පිළිබඳව වෙන් කොට තිබේ. 2014දී ISIS සංවිධානය විසින් ඉරාකය සහ සිරියාව ආශ්‍රිතව ප්‍රකාශයට පත් කළේ කලිෆේට් රාජ්‍යයයි. ලොව පුරා මුස්ලිම් තරුණ තරුණියන් ආකර්ෂණය කිරීමට සමත් වූයේ ද මෙම සංකල්පයයි.

ඉස්ලාමය හා දේශපාලනය අතර ශක්තිමත් සම්බන්ධයක් ඓතිහාසිකව ම වර්ධනය වී ඇති අතර, ඒ සඳහා කුරාණයේ හා මහම්මත්තුමාගේ අදහස් මෙන් ම පසුව ගොඩනැඟුණු ඓතිහාසික කරුණු මත ඉස්ලාම් ආගමේ විවිධ ස්වරූපයන් (දැඩි මූලධාර්මික රාජ්‍ය ස්වරූපයේ සිට අනාගමික රාජ්‍ය දක්වා) මේ වන විට දැකිය හැකි ය. නිදසුනක් ලෙස ඉස්ලාමීය ‘ෂරියා’ නීතිය බලපෑවැත්වෙන සෞදි අරාබියත්, 1920 පමණ කාලයේ සිට අනාගමික රාජ්‍යයක් වූ අසර්බයිජානයත් පෙන්වා දිය හැකි ය.

2015 වන විට ලෝකයේ මුස්ලිම් ජනගහනය බිලියන 1.8ක් වූ අතර එය මුළු ජනගහනයෙන් 24.1% කි. මැදපෙරදිග හා උතුරු අප්‍රිකානු ප්‍රදේශයේ 91%ක් ද, මධ්‍යම ආසියාවේ 89%ක් ද, ගිනිකොණ දිග ආසියාවේ 40%ක් ද, දකුණු ආසියාවේ 31% ද, උප සහරා කලාපයේ 30%ක් ද, ආසියා – ඕස්ට්‍රේලියා කලාපයේ 25%ක් ද, යුරෝපයේ හා ඇමරිකාවේ 7%ක් ද වශයෙන් මුස්ලිම් ජනගහනය ව්‍යාප්ත වී තිබේ.

#විමර්ශන

ආගම්, ආගමික මූලධර්මවාදය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කියවීමක්