දයලෙක්තික භෞතිකවාදය යනු කුමක්ද?

SHARE

සියවස් ගණනාවක් මුළුල්ලේ මානව වර්ගයා විශ්වය වටහා ගැනීමටත්, ස්වාභාවික හා සමාජ ක්‍රියාදාමයන් මෙන්ම විවිධ වූ ප්‍රපංච පිටුපස ඇත්තා වූ ලිවරයන් සොයා ගැනීමටත් සුවිශාල විද්‍යාත්මක ලෙස අවබෝධ කර ගැනීම වෙත මානව සංහතිය ගමන් කළ මාවත දීර්ඝ හා දුෂ්කර එකක් විය. නූගත්කමට, පැරණි ආගමික විශ්වාසයන්ට හා පොදුවේ විඥානවාදී මතවලට එරෙහිවද දැඩි අරගලයක යෙදෙමින් අත්දැකීම් තුළින් සැබෑ දැනුම එකතු කරමින් අවට ලෝකය – සොබා දහම, සමාජය හා මිනිසාගේ අභ්‍යන්තර හරය පිළිබඳ වඩාත් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට වඩ වඩාත් ආසන්න විය. මෙම ක්‍රියාවලිය තුළ ලැබූ විද්‍යාත්මක හා ප්‍රායෝගික ජයග්‍රහණ පදනම් කර ගනිමින් කාල් මාක්ස් හා ෆෙඩ්‍රික් එංගලස් දයලෙක්තික හා ඓතිහාසික භෞතිකවාදය,  ස්වකීය න්‍යායික පදනම් කර ගත් විද්‍යාත්මක දර්ශනයක් ගොඩ නගන ලදී. දයලෙක්තික භෞතිකවාදය ලෙස හැඳින්වේ.

දයලෙක්තිකය යන වචනය ඇසූ පමණින් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇති සරල හා මතුපිට අදහස වන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකක ගැටුම යන තේරුමයි. “දයලෙක්තිකය” යන වචනය සිංහල භාෂාවේ දී ද්විඝටනය, ද්වන්දාත්මක හෝ අපෝහක යන සමාන තේරුම සහිත වචනවලින් විස්තර කිරීම තුළ මෙවැනි අදහසක් තහවුරු වී තිබේ. නමුත් දර්ශනවාදය තුළ යනු ප්‍රතිපක්ෂ දෙකක ගැටුමට පමණක් ඌණනය කිරීම නිවැරදි නොවේ. එවැනි නිර්වචන තුළ දයලෙක්තික භෞතිකවාදයේ මූලික හරයන් අංග සම්පූර්ණ ලෙස ප්‍රකාශ නොවන අතර ඒ පිළිබඳ ඉතාම පටු අදහසක් තහවුරු වේ. එම නිසාම දයලෙක්තික ක්‍රමය යන්නෙහි පුළුල් අදහස කුමක්දැයි විමසා බලමු.

.

“දයලෙක්තිකය” (Dialectics) වචනය යොදා ගැනීමේ ඉතිහාසය

දයලෙක්තිකය යන වචනය මුල් කාලයේ දී විවිධ මතගැටීම් මගින් සත්‍ය වෙත පිවිසීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමේ කලාව පෙන්නුම් කරනු ලැබීය. ප්ලේටෝට අනුව දයලෙක්තිකඥයෙක් යනු ප්‍රශ්න අසන්නේ සහ පිළිතුරු දෙන්නේ කෙසේදැයි දන්නා පුද්ගලයෙකු වශයෙන් කිසියම් දෙයක් හෝ ප්‍රපංචයක්  පිළිබඳ සියලුම විරෝධතාවයන් ඉදිරිපත් කරමින්, ඊට පහර දෙමින් පසුව ඒ පිළිබඳව නිර්වචනයක් යෝජනා කරනු ලබන අයෙකි.  මේ අනුව සොක්‍රටීස් ද මහා දයලෙක්තිකඥයෙකු විය. ඔහු විමර්ශනාත්මක සංවාද මගින් සත්‍ය සොයා ගැනීමට තමන්ගේ මුළු ජීවිතයම කැප කළේය. එවැනි සංවාදවලදී සොක්‍රටීස් ප්‍රශ්න ඇසුවේය. පිළිතුරු බිඳ හෙළීය. විචල්‍යයන් යෝජනා කළේය. සත්‍ය ප්‍රකාශ කරනු ලැබීය. එසේම තම විරුද්ධවාදීන්ගේ මතවල ප්‍රතිවිරෝධතා අනාවරණය කළේය. ප්‍රතිවිරුද්ධ මත සැසඳීමෙන් විශ්ලේෂණය කිරීමෙන් හා ඒවා බිඳ හෙළීමෙන් සත්‍ය සෙවීමට උත්සාහ කිරීමේ මෙම ක්‍රමය දයලෙක්තිකය යනුවෙන් හඳුන්වන ලදී.

යථාර්ථය විකෘති කරමින්, තර්කය මත අසත්‍ය දේ සත්‍ය දේ ලෙසින් හුවා දක්වන තර්ක ක්‍රමයක් වන විතණ්ඩවාදී .ර්ක ක්‍රමය දයලෙක්තිකඥයෙකු විසින් කරනු ලබන සංවාදයට සමාන නොවේ. දයලෙක්තිකඥයෙකුගේ සංවාදය දාර්ශනික තර්ක කලාවේ ආධාරයෙන් සත්‍ය සෙවීමේ අරමුණු කොට ඇත. ඒ අනුව විතණ්ඩවාදීන්ගෙන් දයලෙක්තිකඥයන් පදනමින් වෙනස් වේ. දයලෙක්තික දර්ශනයේ ඉතිහාසය ගැන කතා කිරීමේ දී ජර්මන් දර්ශනවාදය තුළ කැපී පෙනෙන පුද්ගලයෙකු වූ හේගල්ගේ දාර්ශනික ඉගැන්වුම් පද්ධතිය තුළ දයලෙක්තික සංකල්පය ප්‍රධාන සාධකයකි. ප්‍රතිවිරුද්ධ බලවේගවල අන්තර් ක්‍රියාව හේතුකොට ගෙන ලෝකය වර්ධනය වන බව හේගල් ද ප්‍රකාශ කරනු ලැබීය. නමුත්, ඔහු එය විශ්ව ආත්මයක් සමග සම්බන්ධ කළේය. සොබාදහම හා මානව ඉතිහාසයේ වර්ධනය වෙමින් පවතින සියලු දෙය විශ්ව ධර්මයකට ආරෝපණය කරනු ලැබීය. එහි අනිවාර්යය ප්‍රතිඵලය වූයේ ඔහුගේ දයලෙක්තිකය විඥානවාදී වීමයි. හේගල්ගේ මෙම සිද්ධාන්තය අනුව ලෝකට යටිකුරු කර ඇති බව ප්‍රකාශ කිරීමට ඉවහල් වන්නේ ඔහුගේ මෙම විඥානවාදී පදනමයි.

මේ ආකාරයට ලෝකය විස්තර කිරීමේ දාර්ශනික ගමන් මගේ සුවිශේෂී සංධිස්ථානයක් වූයේ මාක්ස්-එංගල්ස් විසින් හේගල්ගේ දාර්ශනික ඉගැන්වීම් තුළ තිබූ අඩුපාඩුකම් නිවැරදි කර සංවර්ධනය කර දයලෙක්තික භෞතිකවාදී දර්ශනය ඉදිරිපත් කිරීමයි. දයලෙක්තිකය යන සංකල්පය මාක්ස්වාදී දර්ශනයේ යොදනු ලබන්නේ යථාර්ථය ප්‍රජානනය කිරීම හා පරිවර්තනය කිරීමේ න්‍යාය හා විධික්‍රමය අදහස් කිරීමට ය.  එංගල්ස් විසින් දයලෙක්තිකය පිළිබඳ මූලික නිර්වචන දෙකක් ඉදිරිපත් කර තිබේ. ‘සොබාදහමේ දයලෙක්තිකය” කෘතියේ ඔහු එය සම්බන්ධතාවල විද්‍යාවක් වශයෙන් නිර්වචනය කර තිබේ. ‘ඩූරිං විරෝධය” කෘතියෙහි ඔහු එය සකල චලිතයේ හා වර්ධනයේ සර්ව සාධාරණ (විශ්ව) නියමයන්ගේ විද්‍යාව නිර්වචනය කරයි. විශ්ව සම්බන්ධයේ මූලධර්ම චලිතයේ හා වර්ධනයේ මූලධර්ම හා සමීප ඒකත්වයකින් එංගල්ස් සලකනු ලැබීය. මාක්ස්වාදය තුළ මෙලෙස ඉදිරිපත් කරනු ලැබූ දයලෙක්තික දර්ශනයේ අඩංගු වන මූලික මූලධර්මය කැටි කොට දැක්වුවහොත්, ඉන් ඉදිරිපත් කරනු ලබන්නේ

  1. ලෝකය ද්‍රව්‍යාත්මක මෙන්ම සියල්ලට මූලික වන්නේ ද්‍රව්‍ය බවත්
  2. ද්‍රව්‍ය පවතින්නේ චලිතයක (අවකාශය හා කාලය තුල) බවත්
  3. එම චලිතය නියාම පාලිත බවත් ය.

ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය හා අරගලය පිළිබඳ නියාමය, ප්‍රමාණය ගුණය බවට පරිණාමය වීමේ නියාමය, අභාවයාගේ අභාවය පිළිබඳ නියාමය, යන මූලික නියාම මගින් චලිතය සිදුවන රටාව විස්තර කරනු ලබයි. එමෙන්ම ප්‍රකෘතිය තේරුම් ගැනීමේ දී ඒ වෙත ප්‍රවේශ විය හැකි ආකාර ගණනාවක් පිළිගන්නා දයලෙක්තික දර්ශනය, විශ්වීයතයත්වය විශේෂිතය හා හුදකලාව, හරය හා පෙනුම, අඩංගුව හා ආකාරය, හේතුව හා ඵලය, අනිවාර්ය හා අහම්බය හැකියාව හා තත්විකත්වය ආදී මාන රාශියක්ද යෝජනා කරයි. ඔ්නෑම ප්‍රපංචයක වර්ධනය තීරණය කරනු ලබන මූලික ප්‍රතිවිරොධයක් (ප්‍රතිවිරුද්ධ පාර්ශව දෙකක අන්තර් ක්‍රියාකාරීත්වය) පවතින නමුත්, ප්‍රපංචයක් අධ්‍යනය කිරීමේ දයලෙක්තික ක්‍රමය යනු එම ප්‍රතිපක්ෂවල ගැටුම පමණක් සැලකිල්ලට ගැනීම නොව ප්‍රපංචයකට අදාළව සියලු ප්‍රතිවිරෝධතාවයන් (මූලික සහ මූලික නොවන, අභ්‍යන්තර හා බාහිර, පතීගතික හා ප්‍රතීගතික නොවන) හා සියලු සම්බන්ධතා සැලකිල්ලට ගනිමින් එම ප්‍රපංචයට අදාළව ඓතිහාසික විෂයමූලික හා වෙනත් ප්‍රපංචයන් සමග පවතින අන්තර් සම්බන්ධතාවයන් සියල්ලද සැලකිල්ලට ලක් කරමින් කරනු ලබන විමර්ශනයකි.

විමර්ශන

දයලෙක්තික භෞතිකවාදය යනු කුමක්ද?