අඟහරු මත ස්ථාපනය කළ භූ පර්යේෂණාගාරය InSight

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඉන්සයිට් –  InSight

අනෙකුත් ග්‍රහලෝකවලට සාපේක්‍ෂව සලකා බලද්දී අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් ජන වහරේ එන මිත්‍යා විශ්වාස සහ ප්‍රවාද රාශියක් වේ. මිනිසා අභ්‍යවකාශය ජය ගැනීමේ උත්සාහයේ ආරම්භයේ පටන් අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීමට ඒවා ද හේතු විය. අනෙක් පසින් මිනිස් ජනාවාසකරණයක් සිදු කරන්නේ නම්, සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ඒ සඳහා වඩා සුදුසු යැයි සැලැකෙන ග්‍රහයා අඟහරුවීමත් එම පරීක්‍ෂණ කටයතු පුළුල් කිරීමට තව දුරටත් හේතු විය. ඒ අතුරින් පසුගිය නොවැම්බර් 26 දින අඟහරු වෙත ගොඩ බස්වන ලද ‘ඉන්සයිට්’ පර්යේෂණ මධ්‍යස්ථානය අඟහරු ගවේෂණයේ පමණක් නොව සමස්ත අභ්‍යවකාශ ගවේෂණයේම තවත් එක් දැවැන්ත පියවරකි.

‘ඉන්සයිට්’ පර්යේෂණ මධ්‍යස්ථානය එම නමින් නම් වූයේ, එයට අඟහරු මත දී සිදු කිරීමට නියමිත වූ කාර්ය භාරය හේතුවෙනි. InSight – Interior exploration using Seismic Investigations, Geodesy and Heat Transport. (භූ කම්පන පරීක්‍ෂණ, භූමිතිය හා තාප ගලා යාම පදනම් කර ගනිමින් අභ්‍යන්තර ගවේෂණය)

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය නාසා ආයතනයේ මැදිහත් වීම යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොක්හීඞ් මාර්ටින් අභ්‍යවකාශ උපකරණ සැලසුම් මධ්‍යස්ථානයේ නිපැයුමකි. මෙහි අඟහරු මත ගොඩ බැස්වීමට නියමිත වූ කොටස කිලෝ ග‍්‍රෑම් 358ක ස්කන්ධයකින් යුක්ත වූ අතර දිගින් මීටර 6ක්, පළලින් 1.5ක් හා උසින් මීටර් 1ක් විය. එම කටයුතු ආරම්භ කරන ලද්දේ 2014 මැයි මස 19 දින ය. 2015 මැයි මස 27 දින එහි ක‍්‍රියාකාරීත්වය පරීක්‍ෂා කිරීම ඇරඹුණේ, 2016 මාර්තු මස අභ්‍යවකාශගත කිරීමේ අරමුණිනි. එහි දී නිරාවරණය වූ දෝෂ සහිත තත්ත්වයක් හේතුවෙන් නාසා ආයතනය තීරණය කළේ මෙම මෙහෙයුම 2018 මැයි මස දක්වා කල් දැමීමට ය. ඒ අනුව පසුගිය මැයි මස 05 වන දින ‘ඇට්ලස් – V 401’ රොකට්ටුව මඟින් මෙය අභ්‍යවකාශගත කෙරිණි.

මෙම පර්යේෂණ මධ්‍යස්ථානයට අමතරව එමඟින් ලබා ගන්නා තොරතුරු වඩාත් කාර්යක්‍ෂමව පෘථිවිය වෙත එවීම සඳහා MarCO A හා B නමින් චන්ද්‍රිකා 2ක්ද යවනු ලැබූයේ අඟහරුවටා කක්‍ෂගත කිරීමටය.

මෙහෙයුම කල් දැමීම නිසා ඒ වැඩි වූ කාලය තුළ මෙම ගවේෂණයට නව අංගයක් එක් කිරීමට සිතූ නාසා ආයතනය පුද්ගලයන්ගේ නම් සහිත දත්ත ඒ සමඟ ගෙන යාමට තීරණය කරන ලදී. ඒ අනුව පුද්ගලයන්ගේ නම් ඒකරාශී කිරීම ඇරඹුණු අතර, එකතු වූ නම් සංඛ්‍යාව මිලියන 2.4කි.

කිලෝමීටර් මිලියන 483ක ගමනකින් පසුව 2018 නොවැම්බර් 26 දින ඉන්සයිට් ගොඩබස්වන ලද්දේ අඟහරුගේ ‘එලීසියම් ප්ලැනිෂියා’ නම් ප්‍රදේශයටයි. එය අඟහරුග්‍රහයා මත ගිනිකඳු පිහිටා ඇති ප්‍රදේශ අතුරින් දෙවන ස්ථානයේ පසුවන ප්‍රදේශයයි. එදින සිට අවම වශයෙන් දින 728ක කාලයක් මෙම පර්යේෂණාගාරය හරහා පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. ඉන්සයිට් විසින් පටිගත කරන ලද අඟහරුමත සුළඟේ ශබ්දය රැගත් දත්ත ගොනුවක් දෙසැම්බර් මස 07 වන විට ලොවට නිකුත් කිරීමට විද්‍යාඥයන්ට හැකිවිය.

instrument-call-outs

එහිදී අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන මූලික කරුණු කිහිපයකි. ඉන් පළමු සහ සුවිශේෂීම කාර්යය නම් අඟහරු මත ඇති වන භූ කම්පන හරහා එම ග්‍රහයාගේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳ ත‍්‍රිමාණ ආකෘති සැකසීමයි. ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 19වන දින ඉන්සයිට්හි ඇති රොබෝ හස්තය මඟින් එම භූකම්පන මානය නිවැරැදි ලෙස අඟහරුමත සවි කරන ලදී. එය මිනිසා විසින් පෘථිවිය හැරුණු විට වෙනත් ග්‍රහලෝකයක් මත භූ කම්පන මානයක් සවි කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසගත වේ.

මීට අමතරව අඟහරුගේ පෘෂ්ඨයේ සිට අභ්‍යන්තරය දක්වා උෂ්ණත්වය ගලා යාම අධ්‍යයනය කිරීමට ද විද්‍යාඥයන් විසින් සැලසුම් කර ඇත. ඒ හරහා අඟහරුගේ භූ විකාශනය පිළිබඳව මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ලෝහ සහ/හෝ සිලිකේට පාෂාණ ඇති ග්‍රහයන්ගේ (බුධ, සිකුරු, පෘථිවිය, පෘථිවි චන්ද්‍රයා, අඟහරු) බිහි වීම සහ පරිණාමය පිළිබඳව ද නව තොරතුරු ගණනාවක් ද හෙළිදරවු කර ගැනීමට හැකි වනු ඇත.

MARSInSight Mission

විමර්ශන

අඟහරු මත ස්ථාපනය කළ භූ පර්යේෂණාගාරය InSight