ඉබන් සීනා (අවිසෙන්නා)

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ක‍්‍රි.ව. 8 වන සියවසේ සිට මැද පෙරදිග කලාපය තුළ විද්‍යාවේ සහ දර්ශනයේ මහා ඉදිරි පිම්මක් ඇරඹිණිි. ඇබසිඞ් කලීෆා හරූන් අල්-රෂීඞ් රජුගේ පාලන කාලය තුළ පෙරදිග අපරදිග වූ මහා දැනුම් සම්භාරයන් අරාබි බසට පරිවර්තනය කිරීම ඇරඹීමත් සමඟ මෙම වෙනස පැනනැඟිණි. ක‍්‍රි.ව. 13 වන සියවස තෙක් විද්‍යාවේ සහ දර්ශනයේ වූ මෙම ප‍්‍රබෝධය මුළු මහත් මැදපෙරදිග කලාපය පුරා පැවැති අතර ඒ අතරමැදි කාලය ‘ඉස්ලාමීය ස්වර්ණමය යුගය’ ලෙස හඳුන්වනු ලබයි.

මෙම කාලය අතරතුර එම කලාපයෙන් ලොවට බිහිවූ අග‍්‍රගන්‍ය දාර්ශනිකයෙකු, වෛද්‍යවරයෙකු ලෙස ඉබන් සීනා ලොව ප‍්‍රචලිතව ඇත. මීට අමතරව තාරකා විද්‍යාව, භූ විද්‍යාව, මනෝ විද්‍යාව, ගණිතය, තර්ක ශාස්ත‍්‍රය ආදී විෂයයන් ගණනාවකගේ ද ප‍්‍රවීණයෙකු වූ ඔහු කවියෙකු ලෙස ද ප‍්‍රකට ය.

ඉබන් සීනා උපන්නේ ක‍්‍රි.ව. 980දී සැමනිඞ්ස් අධිරාජ්‍යයට අයත් බුඛාරා නම් නගරය (වර්තමාන උස්බෙකිස්ථානය) ආසන්නයේ ය. කුඩා කාලයේ දී ඔහුගේ පවුලේ අය විසින් ඔහුව ඉස්ලාම් ධර්මය හා සාහිත්‍ය ඉගෙනීමට යොමු කළ ද, වයස අවුරුදු 10 පමණ වන විට එය බොහෝ දුරට අවසන් කළ ඔහු ඉන් පසුව දර්ශනය, විද්‍යාව සහ ගණිතය හැදෑරීම ආරම්භ කරන ලදී. වයස 16දී වෛද්‍ය විද්‍යාව හැදෑරීම ඇරඹූ ඔහු ඉන් වසර දෙකක් ඉක්මෙන විට වෛද්‍යවරයෙකු ලෙස සිය සේවය ද ආරම්භ කරන ලදී. එතැන් පටන් ඔහුගේ මූලික විෂය ක්‍ෂේත‍්‍රය වූයේ වෛද්‍ය විද්‍යාවයි. එතැන් පටන් අවිසෙන්නා යන නමින් මැදපෙරදිග කලාපය තුළත් ඉන් පිටතත් ජනයා ඔහුව හැඳින්වූයේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ඔහු කළ නව සොයාගැනීම් මෙන් ම වෛද්‍යවරයෙකු ලෙස ඔහු විසින් කළ සේවාවන් ඇගයීමක් ලෙසිනි. ‘අවිසෙන්නා’ යනු ලතින් බසට අනුව ‘බොහෝ ලෙඩ රෝග සුව කරන්නා’ යන අරුත් දෙන වචනයකි.

ඔහු විසින් වෛද්‍ය විද්‍යාව සම්බන්ධව කළ සොයාගැනීම් සහ පෙරදිග, අපරදිග වෛද්‍ය විද්‍යා දැනුම් සම්භාරයන් එක් කරමින් ලියූ පොත් අතර The Canon of Medicine සහ The Book of Healing විශේෂ තැනක් හිමි කර ගනී. එයින් The Canon of Medicine නමැති ග‍්‍රන්ථය 18වන සියවස වන තුරුත් මැදපෙරදිග සහ බටහිර වෛද්‍යවරුන් විසින් අත්පොතක් ලෙසින් භාවිත කරන ලදී. එසේ ම යුනානි වෛද්‍ය විද්‍යාවේ දී ඉබන් සීනාගේ ඉගැන්වීම් බොහෝමයක් අදට ද භාවිත කරනු ලැබේ.

වෛද්‍ය සේවාවේ දී ඖෂධ ප‍්‍රතිකාර ලබා දෙනවාක් මෙන් ම ඒ හා සමගාමීව රෝගියාගේ මානසික සුවතාවය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය යන අදහස ඉදිරිපත් කළ අයගෙන් මූලිකයෙකු ලෙස ඉබන් සීනා සලකනු ලබයි. එසේ ම වෛද්‍යවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ද ඔහු විසින් හඳුන්වා දෙන ලදී.

img

භෞතික විද්‍යාවේ යාන්ත‍්‍රික චලිතයේදී ‘බලය’ යෙදීමේ අවශ්‍යතාවය ගැන ඔහු විසින් කළ ප‍්‍රකාශ එම අවධියට සාපේක්‍ෂව ආන්දෝලනාත්මක විය. එසේම ආලෝකයට ද වේගයක් පවතින බවත්, එය අපරිමිතයක් බවත් ඔහු ප‍්‍රකාශ කිරීමත් සමඟ ආලෝකයත්, අංශුත් අතර ඇති සම්බන්ධය ගැන විවාදාත්මක මත පැනනැඟිණි.

සිතියම් අධ්‍යයනය හරහා භූ විෂමතාවයන් සම්බන්ධයෙන් ද අධ්‍යයනය කළ ඉබන් සීනා විවිධ භූ විෂමතා වෙනස්කම්වලට හේතුව පෘථිවි අභ්‍යන්තරයේ ක‍්‍රියාකාරීත්වයන් යැයි කියා සිටියේ ය. ඒ අනුව කඳු ගොඩනැෙඟන්නේ පෘථිවි අභ්‍යන්තරය විසින් පෘෂ්ඨය තල්ලූ කිරීමෙන් යැයි ඔහු කළ ප‍්‍රකාශය පෘථිවියේ බිහි වීම සම්බන්ධයෙන් එවකට තිබූ මතයන්ට අභියෝගයක් විණි.

තාරකා විද්‍යාව අධ්‍යයනය කළ ඔහු සෑම ග‍්‍රහලෝකයකට ම පෘථිවියට බලපෑම් ඇති කළ හැකි බව කියා සිටියේ ය. එහෙත් ඔහු ජ්‍යෝතිෂවේදීන්ට අභියෝග කළේ එම බලපෑම යනු දෛවය සම්බන්ධ බලපෑමක් නොවන බවත් ඒ අනුව කිසි ලෙසකින් හෝ තාරකා හා ග‍්‍රහවස්තු ආධාරයෙන් අනාවැකි පළ කළ නොහැකි බවත් පවසමිනි. ඒ වන විට ඇරිස්ටෝටල් කියා සිටි ලෙස ‘තාරකා සහ ග‍්‍රහවස්තූන් සියල්ලට ම ආලෝකය ලබා දෙන්නේ සූර්යයා යන කියමන විවේචනයට ලක් කරමින් ඉබන් සීනා කියා සිටියේ ඒ සියල්ලම ස්වයං දීප්තියක් සහිත වස්තූන් බවයි.

ඉහත සඳහන් දේට අමතරව ද විෂය ක්‍ෂේත‍්‍ර ගණනාවක දී ඔහු පළ කළ තවත් අදහස් බොහොමයක් හමුවේ භෞතිකවාදය තහවුරු වුව ද, ඔහු ඉස්ලාම් ආගම ද බැහැර නොකළ බව ඔහුගේ ජීවිතය අධ්‍යයනයේදී හැඟී යයි. විශේෂයෙන්ම දර්ශනය සම්බන්ධ අදහස්වල දී බොහෝ අවස්ථාවල දී ඔහු කුරාණයේ වූ අදහස් සැලැකිල්ලට ගන්නා ලදී. එසේ ම ඔහු අධ්‍යයනය කළ විද්‍යාවන් හා කුරාණයේ යම් යම් කරුණු නොගැලපෙද් දී ඔහු කුරාණයේ වූ එම කරුණු සංශෝධනය කිරීමට උත්සාහ කරන ලදී. ‘පාවෙන මිනිසා’ නම් කල්පිතය හරහා ආත්මය යන්නෙහි ස්වභාවය පිළිබඳව ඔහු කළ තර්කනය අදටත් බොහෝ පුද්ගලයන් අධ්‍යයනය කරමින් සිටියි.

ක‍්‍රි.ව. 1037 ජූනි මස ඔහුගේ අභාවය සිදු වීමට දින කිහිපයකට පෙර සිට ඔහු නොනවත්වා කුරාණය කියැවූ බව ජනප‍්‍රවාදයෙහි සඳහන් වන්නේ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් ඔහු දැඩි භක්තියකින් සිටි බව පෙන්වා දෙමිනි. එහෙත්, ඔහු ලියුවා යැයි සැලැකෙන 450ක් පමණ වූ ග‍්‍රන්ථ හා ලිපිවලින් අද වන විටත් ඉතිරිව ඇති 240ක පමණ අන්තර්ගතය එම ප‍්‍රකාශය ප‍්‍රශ්න කරයි. එමෙන් ම ඉබන් සීනා යනු අදේවවාදියෙක් යැයි කියමින් සමකාලීනයන් බොහෝ දෙනෙක් ඔහුට එරෙහිව ඉදිරිපත් කළ විවේචන ද බොහොමයක් ඇති අතර, ඔහුගේ අවසන් මොහොතේ රෝගාතුරව සිටිය දී ඔහු විසින් ප‍්‍රතිකාරයන් ලබා නොගත් බව ද ඉතිහාසයේ කියැවෙයි.

ඉබන් සීනා (අවිසෙන්නා)