කෞටිල්‍යගේ ‘අර්ථශාස්ත‍්‍රය’

SHARE

රාජ්‍ය පාලනයට උපදෙස් දීම, ඒ ස`දහා උපදේශකයන් පත් කිරීම වර්තමානයේ දී හාස්‍ය උපදවන අයුරින් සිදු වේ. ඒ තමන් බලයට ගෙන ඒමට දායක වුණ අයවලූන්ට සැලකීමේ ක‍්‍රමවේදයක් ලෙසින් ක‍්‍රියාත්මක වීම හැර ඔවුන්ට රාජ්‍ය පාලනයට කිසිදු සුුදුසුකමක් නොමැති නිසාවෙන් ය. එසේ සුදුසුකම්ලත් උපදේශකයන් සිදු කරනුයේ ද පවත්නා පාලකයන්ට ඔවුන්ගේ සුඛවිහරණය උදෙසා කටයුතු කරනුයේ කෙසේ ද යන්න උපදෙස් දීම විනා පොදු ජනතාවට යහපතක් වන අයුරින් රාජ්‍ය පාලනය කරනුයේ කෙසේ ද යන්න නොවේ. ඉතිහාසයේ ද අපට හමු වන එවන් උපදේශකයන් ද, ඔවුන්ගේ රචනා ද ඒ අයුරින් ම වේ. එහෙත්, පැවැති දේශපාලන වටපිටාවන්ට අනුව රාජ්‍යයන් ස්ථාවර කරලීමේ ඓතිහාසික අවශ්‍යතාවයන් පළමුව පෙළගැසී තිබුණ බවද, ඒ වෙනුවෙන් ඔවුන් කටයුතු කර ඇති බව ද අත්‍යවශ්‍යයෙන් කිවමනා ය.

ක‍්‍රි.පූ. 551-479 කාලයේ චීනයේ විසූ ‘කොන්ෆියුසියස්’ගේ දර්ශනයේ චීන රාජ්‍ය පෙළපත ශක්තිමත් කිරීම, ඊට උපදෙස් දීම අරමුණක් ලෙස පැවැති බව සදහන් ය. මෙහිලා වඩාත් කැපී පෙනෙන කාර්යය ඉටු කළේ ක‍්‍රි.ව. 1469 දී උපත ලද ඉතාලි ජාතික ‘මැකියාවෙලී’ ය. එවකට පැවති වැඩවසම් පාලනයන් නිමා කරමින් ශක්තිමත් ජාතික රාජ්‍යයන් බිහි කරලීමේ අවශ්‍යතාවය, බටහිර රටවල් අභිමුවේ දුර්වලව පැවති (ප‍්‍රංශ ආක‍්‍රමණයන් නිසා) ඉතාලියට නිදහස ලබා ගැනීම වැනි අවශ්‍යතාවයන් මත දක්ෂ, කාර්යශූර පාලකයකු බිහි කරලීමේ අරමුණු සහිතව මැකියාවෙලී විසින් ‘කුමාරයා’ පොත සම්පාදනය කර ඇත. ‘‘දේශපාලනය යනු බල දේශපාලනයකි’’, ‘‘පාලකයා යනු සිංහයෙකු මෙන් එඩිතර ද, නරියකු මෙන් කපටි ද විය යුතු ය’’ යන ප‍්‍රසිද්ධ උපදේශයන් ඔහුගේ ය. පවත්නා ලෝක දේශපාලනයේ අත්පොතක් ලෙසින් ‘කුමාරයා’ සලකනුු ලබයි.

බටහිර දී එසේ වන විට ඊට බොහෝ කාලයකට පෙර ක‍්‍රි.පූ. 4 වන සියවසේ දී ඉන්දියාවේ ද එලෙසින් ම ‘චානඛ්‍ය, විෂ්ණු ගුප්ත’ නම් ද සහිත කෞටිල්‍ය අපට හමු වේ. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයේ බලපෑමට නතුව සිටි දුර්වල පාලකයන් වෙනුවට ශක්්තිමත් රාජ්‍ය පාලකයකු උතුරු ඉන්දියාවට අවැසි පසුබිමක් එකල විය. ඒ අනුව මෞර්ය වංශික පළමු පාලකයා ලෙසින් චන්ද්‍රගුප්ත උතුරු ඉන්දියාව එකසේසත් කළේ කෞටිල්‍යගේ උපදේශකත්වයෙන් බව
කියවේ. රාජ්‍ය පාලකයකු කෙසේ විය යුතු ද යන්න එතෙක් සිටි පුරාණ උපදේශකයන්, වියතුන් සියලූ දෙනාගේ ඉගැන්වීම් එක්කොට, පරිපූර්ණව ඒ වෙනුවෙන් ලියැවුණු උපදේශාත්මක ග‍්‍රන්ථය ‘අර්ථශාස්ත‍්‍ර’ නම් වේ.

මෙහි පාලකයකු රාජ්‍ය පාලනයේ දී බාහිර රාජ්‍යයන් සමග කටයුතු කළ යුතු ආකාරයන් සහ විශේෂයෙන් යුද්ධ පිළිබද මූලිකව ලියැවී ඇත, එපමණක් නොව නීතිය, බන්ධනාගාර, බලකොටු, රාජ්‍ය තාන්ත‍්‍රික සහ ඔත්තුකරුවන් හැසිරවීම වැනි එයට ම අදාළ තවත් බොහෝ කරුණු ද, නිෂ්පාදනය, කෘෂිකර්මය, පතල් කර්මාන්ත, වෙළෙද පරිපාලනය, කාසි, බදු මෙන් ම නගර හා ගම් නිර්මාණය, වාරිමාර්ග ආදී ලෙසින් කුදු මහත් කටයුතු කෞටිල්‍යගේ උපදේශයන් තුළ දක්වා ඇත.

විශේෂයෙන් තම අරමුණු වෙනුවෙන් එක් එක් රාජ්‍යයන් හා ඒ මොහොතේ දී අනුගමනය කළ යුත්තේ යුද්ධය, සාමය, මධ්‍යස්ථභාවය, දෙබිඩි බව (සාමය අතරතුර යුද්ධයට සූදානම් වීම) වැනි උපක‍්‍රම ඉතා ඍජු ලෙස පෙන්වා දී ඇත. පාලනයට උපදෙස් ලබා ගැනීමේ දී හතර දෙනෙකුට වඩා එක් කර නොගත යුතු බවත්, දෙදෙනෙකුගේවත් සමාන අදහස් ඇති විට ඒවා ක‍්‍රියාත්මක කළ යුතු බවත්, එම සාකච්ඡුා ඉතා රහසිගතව කළ යුතු බවත් පෙන්වා දෙයි. නිලධාරීන් පත් කිරීමේ දී උගත්, යහපත්, ධෛර්යවන්ත, ශක්තිමත් අය තෝරා ගත යුතු බවත් වැඩි දුරටත් පෙන්වා දෙයි. නීතියේ ආධිපත්‍යය පිළිබ`ද දැඩිව කරුණු දක්වන ‘අර්ථ ශාස්ත‍්‍රයෙහි’ රජු ද නීතියට යටත් විය යුතු බවත්, ධර්මයෙන් පමණක් රජු ඇතුළු ජනතාව ශික්ෂණය කළ නොහැකි බැවින්, නීතියේ අවශ්‍යතාවය වඩාත් අවධාරණය කරයි.

රටක් පාලනයේ දී අත්‍යවශ්‍ය ම දේ වනුයේ ධනය බව පෙන්වා දෙන ‘අර්ථශාස්ත‍්‍රයෙහි’ ධනය ඉපැයීමට කරන යෝජනා වර්තමානයේ පාලකයන් ද ජනතාව අරභයා දක්වන අනුකම්පාව ඉමහත් ප‍්‍රලාපයක් බව නග්න ලෙස පෙන්වා දෙයි. එයට අනුව ධනය ඉපැයීමට චරපුරුෂයන් රටේ ධනවතුන් සමඟ හවුල් ව්‍යාපාරයන්හි යොදවා ඒවා ලාභ ලබන විට තවත් චරපුරුෂයන් යොදවා සොරකම් කළ යුතු බවත්, තවත් විටෙක පෞද්ගලික ව්‍යාපාරිකයන් යටතේ චරපුරුෂයන් සේවයෙහි යොදවා ඔවුන්ට ලැබෙන වැටුප්හි මුදල් අවලංගු කාසි යැයි රජුට පැමිණිලි කර එම ව්‍යාපාර තහනම් කොට රජයට පවරා ගැනීමට ද උපදෙස් දෙයි.

නගර හා ගම් නිර්මාණය කළයුතු ආකාරය, මාර්ග තැනිය යුතු අයුරු, ඒවායෙහි ඇති විය හැකි හදිසි ගිනි ගැනීම් වැළැක්වීමට කටයුතු කළ යුතු අයුරු ආදී මෙකී නොකී සියලූ අංශයන්හි වඩාත් කරුණු උපදෙස් සහිතව ‘අර්ථශාස්ත‍්‍රය’ රචනා කොට ඇත. මේ සියල්ල ක‍්‍රියාත්මක කළ යුතු පාලකයාගේ දින චර්යාව ඉතා වෙහෙසකර, කැපවීමෙන් කළ යුතු කාර්යයක් ලෙසින් මෙසේ දක්වා ඇත.

පළමු විනාඩි 90 – පොත් පත්/වාර්තා (හමුදා/ආදායම් පිළිබද) පරිශීලනය
දෙවනි විනාඩි 90 – මහජන පරීක්ෂකයන් සදහා
තෙවන විනාඩි 90 – උදෑසන ආහාරය/පෞද්ගලික කටයුතු
සිව්වන විනාඩි 90 – ඇමතිවරු සමග සාකච්ඡුා සදහා
පස්වන විනාඩි 90 – ලිපි ලේඛන කටයුතු
හයවන විනාඩි 90 – දිවා ආහාරය
මෙලෙස නිශ්චිත කාලසටහනක් අනුගමනය කරමින් යුහුසුළුව කටයුතු කළ යුතු පාලකයා නිදා ගත යුත්තේ පැය 4 1/2ක් පමණක් බව දක්වා ඇත.

පාම් කොළ මත ලියූ මෙම සංස්කෘතික ග‍්‍රන්ථය සියවස් ගණනාවක් අතුරුදහන්ව පැවත, මුල් පිටපතේ කොටස් සහිතව ‘භට්ටසාමි’ නම් අයකු ලියූ අටුවාවක් 1909 දී ආචාර්ය ශාම්ශාස්ත‍්‍රි විසින් පළ කර ඇත.

ඉන්දියාව තුළ පසු කලෙක නැවත අධිරාජ්‍යයක් ගොඩනැඟූ අශෝක රජු අතීතයේ ද, 2010 දී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක වූ ශිවසංකර් මෙනන් මෑත කාලයේ දී ද ‘අර්ථශාස්ත‍්‍රය’ පරිශීලනය කළ බව කියැවේ. වර්තමානයේ ඉන්දියාවේ විශ්වවිද්‍යාල, බොහෝ ආයතන තුළ වඩා ප‍්‍රචලිත උපදේශාත්මක කෘතියක් ලෙසින් කෞටිල්‍යගේ ‘අර්ථශාස්ත‍්‍රය’ භාවිත කෙරේ.

කෞටිල්‍යගේ ‘අර්ථශාස්ත‍්‍රය’