අපරාධ යනු සමාජ නිෂ්පාදනයකි

SHARE

දරිද්‍රතාවය, සාගින්න, දේශපාලන කැලඹීම්, යුද්ධ මෙන් ම සමාජ අපරාධ බිහි වන්නේ ද අදාළ සමාජ ක්‍රමය තුළින් ය.  සමාජ අපරාධ යනු සමාජ අර්බුදයේ ප්‍රකාශිත ආකාරයකි.  සමාජයක් යනු මිනිසුන් ද ඇතුළත් නිෂ්පාදන බලවේගයන්ගේ සහ ඔවුන් අතර පවත්නා නිෂ්පාදන සබඳතාවල ඒකත්වයකි.  එබැවින් මිනිසා යනු තවත් එක් සත්වයෙක් නොවේ.  සමාජ නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන නිෂ්පාදන බලවේගයන්ගේ තීරණාත්මක හා මූලික අංගයයි. මානව වර්ගයා තම අනවරත ශ්‍රම ක‍්‍රියාදාමයේදී දිගු කලක් තිස්සේ ලත් අත්දැකීම් සම්භාරය නූතන පරම්පරාව වෙත සම්ප්‍රේෂණය  කරයි.  මිනිස් සමාජයේ සංවර්ධනය හෙවත් ඉදිරි ගමන තීරණය වන්නේ, මෙම ක්‍රියාවලිය මඟින් ය.  මේ නිසා  හුදකලා මිනිසුන් පවතින්නේ නැත. එමෙන්ම මිනිසුන්ගෙන් තොර සමාජයක් ද නොපවති. සමාජ ප්‍රගමනයේ මූලික බලවේගය වන මිනිසාගේ පැවැත්ම අනතුරට ලක් කිරීම හෝ ඔහු වනසා දැමීම සමාජ අපරාධයකි.  එය සමාජ ප්‍රගමනයට බාධා කරයි; සමාජයේ ඉදිරි ගමනට හානිකරයි.

ලාංකේය පසුගාමී ධනේශ්වර ක්‍රමය තුළ සමාජ අපරාධ අති බහුල වෙමින් පවතී.  වර්තමානයේ ධනපති ක්‍රමය පවතින්නේ කල් ඉකුත් වූ තත්වයේ ය. එනම් යල පැන ගිය සමාජ ක්‍රමයක් ලෙසින් ය. එයින් ජනිත අර්බුදය අනිවාර්යයකි. අර්බුදයේ මෝරා යාමට අනුරූප ව සමාජ අපරාධ ද වර්ධනය වේ. එහි උච්චතම  අවස්ථාවේ ඝාතන සංස්කෘතියක් බිහි වේ. එසේත් නැතිනම් දැන හෝ නො දැන ඝාතන හඹා එන සමාජයක් බවට පත් වේ.  සියදිවි නසා ගැනීමේ සිට අකල් මරණ ගෙන එන වාහන අනතුරු මෙන් ම ගබ්සා, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, කප්පම් ගැනීම්, මංකොල්ල, පුද්ගලික ඝාතන, දේශපාලන ඝාතන, මත් ද්‍රව්‍ය ආදී වශයෙන් මෙම තත්වය විවිධාකාරයෙන් පවතී.  ඒවා දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් වෙමින් ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. මේ අනුව මිනිසා අපරාධ රැල්ලට ගොදුරු වෙමින් තිරිසන් සත්වයෙකු බවට පත් විය යුතු ය. නැතිනම් මෙයට එරෙහිව මිනිසත්කම රැක ගත යුතු ය. ඉතින් සමාජ අපරාධ බිහි වන්නේ කෙසේ ද? එයට හේතුව ආගමික එකක් ද? සමාජ හේතුවක් ද? ඒවා පරාජය කළ නොහැකි ද? හැකි නම් පරාජය කරන්නේ කෙසේ ද? ආදී වශයෙන් වන ප්‍රශ්න ගණනාවක් සමාජය තුළ පවතී. ඒවා තම තමන්ගේ දෘෂ්ටිවාද මත පිහිටා විග්‍රහ කර ගන්නා හා තම තමන්ගේ හැඟීම්වලට සාපේක්ෂව පිළිතුරු පතන තත්වයක් ව පවතී. මෙම ලිපිය තුළින් අප අදහස් කරනුයේ සමාජ අපරාධ බිහි වීමේ හේතුවත්, එහි වර්ධනයේ හේතුවත්, ඒවා පරාජය කළ හැක්කේ කෙසේ ද? යන්නත් විමසා බැලීම ය. මෙය අපරාධ පිළිබඳ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයක් නොවේ. සමාජ විද්‍යාත්මක අධ්‍යයනයකි.

වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුන පුනා වර්ධනය වෙමින් පවතින  ඝාතන සංස්කෘතියක් ඇත.  කප්පම්, මත් ද්‍රව්‍ය, දේපළ හිමිකම් පිළිබඳ ගැටුම්  ආදී ආර්ථික කරුණු හා ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි සමාජ සිද්ධි මෙන් ම දේශපාලනය මත ඇති කර ගන්නා පෞද්ගලික හෝ පෞද්ගලික නොවන හේතු මත ද ඝාතන සිදුවේ. නිදර්ශන කිහිපයක් සලකතොත් සංගීත සංදර්ශනයක නටමින් සිටිය දී නොදනුවත්ව ඇඟේ හැපීම පිහි ඇනුමකින් හෝ වෙඩි තැබීමකින් කෙළවර වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ළමයකු ඉගෙනීමට දක්ෂ වීම, විභාගවලින් ඉහළින් සමත් වීම, එමෙන්ම ණය වී ආරම්භ කළ සුළු ව්‍යාපාරයක් දියුණු වෙමින් පවතී යයි මතු පිටින් දැකීම වැනි අවස්ථාවල දී ඊර්ෂ්‍යාව මත මරා දැමීම් සිදුවේ. මරණයක් සිදු වූ නිවෙසක දී මියගිය අයට ගරු කිරිම පසෙක තබා පරණ කෝන්තර පිරිමසා ගැනීමේ දඩ බිමක් බවට එය පත් කර ගැනීම සාමාන්‍යයකි. සොරකමක දී, මංකොල්ල කෑමක දී, ස්ත්‍රී දූෂණයක දී අපරාධකරුවන් හඳුනා ගනීවීය යන සැකයෙන් ඇසින් දුටුවන් මරා දැමීම බහුල ය. එය පාතාල සදාචාරයක් ව ඇත. එහි දී මිය යන්නා කළ වරද වන්නේ අපරාධයක් සිදු වන ස්ථානයක එසේ වන බව පූර්වයෙන් අවබෝධ කොට නො ගෙන රැඳී සිටීම පමණ ය. කප්පම් සඳහා පැහැර ගන්නවුන් කප්පම් ගෙවුව ද නොගෙවුවද මරා දැමීම සිරිත ය. ඒ සාක්ෂි ඉතිරි නො කිරීමේ පාතාල න්‍යාය අනුව ය. මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ දී, විකිණීමේ දී උදවි නො කිරීම ද ඝාතන ඉලක්කයක් වීමට හේතු වන්නකි. මෙයට ටික කලකට පෙර කහවත්තේ දී මවක සහ දියණියක් ම්ලේච්ඡ ලෙසින් ඝාතනය කරනු ලැබුවේ මෙවැනි සිද්ධියකට බව වාර්තා විය. මෙයට අමතරව ප්‍රේම සබඳතා, අනියම් සබඳතා ආදිය හේතුවෙන් බොහෝ ඝාතන සිදුවේ. තවද දේපළ ප්‍රශ්න මත  මිනිස් ඝාතන සිදුවේ. මේ අතර වැට මායිම වෙනස් වීම හේතුවෙන් සිදු වන මරා ගැනීම් ද බොහෝ ය. (මේවා භූමිය වෙනුවෙන් ගෝත්‍රික ජනතාව සිදු කළ සටන්වල හුදකලා අනුකරණයක් සිහි ගන්වයි.* දැන් දැන් වාහනයක් අනෙකා පරයා ඉදිරියට යෑම අවමානයකි; කෝප ගන්වන්නෙකි. එහි දී අනෙකා මරා දැමිමට තරම් මන්ද බුද්ධිකත්වයකින් සමාජය රෝගී වී ඇත. මෙවන් අවස්ථා බොහෝ විට දක්නට ලැබෙන්නේ ප්‍රභූවරයන් යැයි ලේබල් කළ සමාජ ස්තරයේ හා පාතාලයේ පුද්ගලයන්ගෙනි. මේ ලෙසට මුළු මහත් සමාජයේ ම පවතින්නේ උණ්ඩයේ නීතියයි. නො දැන සිදු වූ වරදකට පවා උපරිම හා අවම දණ්ඩනය මරණයයි. මෙම මාරාන්තික සමාජ ක්‍රමයට ඝාතකයින් වැඩි වැඩියෙන් අවශ්‍ය ව තිබේ. එනිසා කොන්ත්‍රාත්තු ක්‍රමයට මිනී මැරීම කර්මාන්තයක් ව පවතී. එය පහසු ලාභ සහිත සරල ව්‍යාපාරයකි. කුලී මිනි මරන්නන් විසින් මුදලට තමන් නො හඳුනන, හීනෙන් වත් තමන්ට අහිතක් නො කළ,  ඕනෑම මිනිසෙකු කිසිම චකිතයකින් තොර ව මරා දමයි. තමන් ලබාගත් කොන්ත්‍රාත්තුව අකුරට ම ඉටු කිරීමට තරම් ඔවුහු ප්‍රතිපත්තිගරුක ය . කිසිදු හේතුවක් නිසා   ඉලක්කය අත්හරින්නේ නැත. ඉලක්කය තම සමීපතමයකු වුවද ඥාතියකු වුවද ගනුදෙනුකරුවාගේ විශ්වාසය රකිමින් කුලී ඝාතකයා එය සම්පූර්ණ කරයි. ඒ ඝාතන සංස්කෘතියේ ස්වභාවයයි; සැබැවින් ම ජීවිතය වෙළඳ භාණ්ඩ බවට පත් වූ සමාජයක ජාති ලක්ෂණයයි. මෙවන් කුලී ඝාතනවල දී අත් වැරදීම් බොහෝ සිදුවේ. අත් වැරදීම යනු ඝාතනය වැළකී යාම නොවේ. එම සිද්ධියට අදාළ නොවන, කිසිදු සම්බන්ධයක් නැති අහිංසකයින් එයට ගොදුරු වීම ය. ඝාතනය සිදු වන ස්ථානයේ සිටීම හෝ අදාළ ඉලක්කය යැයි වරදවා වටහා ගැනීම නිසා ඉලක්කයට හැඩයෙන් සමාන පුද්ගලයින් ඝාතනය වීම මෙහි බලවත් ම ඛේදවාචකයයි. මේ අනුව මේ යල පැන ගිය ධනේශ්වර ක්‍රමයේ දී එක්කෝ ඝාතකයකු විය යුතු ය. නැතිනම් ඝාතකයෙකුට ඉලක්කයක් වූවකු විය යුතු ය.

දැන් දැන් කුඩා හොරකම් හෙවත් පහත් වී ගොස් කරෙන් බඩු අදින හොරකම් නැති තරම් ය. සිදු වන්නේ නම් එය සාපේක්ෂව කලාතුරකිනි. ගෙවත්තක කෙසෙල් කැනක් කැපීම, කුකුළකු සොරකම් කර ගෙන යාම සොරකම් නොවේ. ඒ සඳහා යොදන මහන්සියට නිසි මිලක් නොලැබිම එයට හේතුවයි. ධනේශ්වර ක්‍රමයේ භාෂාවෙන් පවසන්නේ නම් ලාභ මදි කම ය.(රුපියලේ අගය බාල්දු වීම ද ජීවන වියදම ඉහළ යෑම ද අන්‍යෝන්‍ය වශයෙන් මෙයට බලපෑම අමතර කරුණකි.) අවශ්‍ය වන්නේ එකවර ලොකු මුදලකි. ජීවිතයේ වර්තමානය අනාගතය එකවර ගොඩ ගත හැකි වාසියකි. එනිසා එවැනි සොරකම් පිළිබඳව එතරම් අවධානයක් නැත. ඒ මංකොල්ල කෑම්, කප්පම් ගැනීම් ඊට වඩා බහුල නිසාවෙන් ය. අවි ගත් පිරිස් පුද්ගලික පිළිගැනීම් මත හෝ  මුදල් ලබා කුලියට පැහැර ගැනීම් කරයි. පැහැර ගැනීම්වලදී අත්වැරැද්දකින් තෝරා බේරා ගැනීම්, පැටලීම් හේතුවෙන් වෙනත් පුද්ගලයින් පැහැර ගෙන ගිය අවස්ථා පවතී. ඇත්ත ඉලක්කය ඔහු නොවූව ද තමා අදාළ පුද්ගලයා නොව වෙනත් අයකු බව තහවුරු කිරීම අපහසු ය. එවැනි නිවැරදි කර ගැනීම් කප්පම් කරුවන්ට අදාළ නැත. දැන් කප්පම් ගෙවීමේ වගකීම පැවරෙන්නේ මෙම අසරණයාගේ අන්ත දුප්පත් නෑදෑයින්ට විය හැකිය. අවසානයේ එම සිදුවීම මාධ්‍යයට බිස්නස් එකක් වෙමින් එහෙත් අර අසරණයා ධනපති සමාජ ක්‍රමයේ අපරාධ රැල්ලෙහි තවත් බිල්ලක් බවට පත් වෙමින් අවසන් වේ. ඒ එම මිනිසුන්ට කප්පම් ගෙවීමට තබා එදා වේල පිරිමසා ගැනීමට වත් නොහැකි අසරණයන් නිසා වෙන් ය. කලාතුරකින් අදාළ කප්පම ගෙවුව ද අදාළ පුද්ගලයා ආපසු එන්නේ නැත. එසේ වන්නේ ඔහු හෝ ඇය විසින් කප්පම් කරුවන්  හඳුනා ගනීවි යැයි බියෙනි.

කප්පම් ගැනීම් කෙතරම් දියුණු කොට ඇත් ද යත් තමන් තමන්වම  පැහැර ගන්නා තැනට මෙම  කර්මාන්තය වෙනස් වි ඇත. ස්වාමි

පුරුෂයා සැඟව සිට ඔහු වෙනුවෙන් බිරිඳගෙන් කප්පම් ඉල්ලා සිටියි. දරුවා සැඟව සිට පියාගෙන් කප්පම් ඉල්ලා සිටියි. තම පියා දරුවා පැහැර ගත් අවස්ථා අති බහුල ය. මෙහි තවත් ඛේදජනක මෙන් ම විසුළු කාරි අවස්ථාවේ. ලොතරැයි ඇදෙන්නේ වාසනාවට ය යන්න සමාජයේ වැඩි දෙනාගේ පිළිගැනීමයි. නමුත් හදිසියේ ලොතරැයියක් දිනූ වාසනාවන්ත කෝටිපතියන්, ලක්ෂපතියන් තම ත්‍යාග මුදල ගැනීමට යන්නේ ද වෙස්වලා ගෙන ය. ඒ වාසනාවට ඇදුණු ලොතරැයිය ම අවාසනාව වන බැවිනි. කප්පම් කරුවන් අතින් මෙම අවාසනාව ගෙදරට ම එන්නට ගත වන්නේ කප්පම්  ගැනීම සැලසුම් කිරීමට ගත වන කාලය පමණි. ලොතරැයි වාසනාව වෙනුවෙන් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය හැකිය. ලොතරැයි වාසනාව උදා වූ අවාසනාවන්තයාට තම දරුවා පාසල් යැවීමට පවා සිදු වන්නේ දැඩි රැකවල් මැද ය. නැතිනම් කප්පම් කරුවන්ට දරුවා ද බිලි වීම නියතයකි.

ශ්‍රී ලංකාවේ ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීම පිළිබඳ හා ගණිකා වෘත්තිය පිළිබඳව බොහෝ නීති මෙන් ම ඒවා වැළැක්වීම සඳහා වූ ආයතන ද තිබේ. ඒවා ජාතික ධනය ද විශාල ලෙසින් වියදම් කරමින් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රචාරක පෝස්ටර් ආදිය ද ප්‍රදර්ශනය කරයි.  නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රටේ ලිංගික අපයෝජනය සිදු වන බව පිළිගැනීමට සිදුවේ. එමෙන්ම ස්ත්‍රී දූෂණ අති බහුල ය. එහි ම තවත් අංගයක් වන ගණිකා වෘත්තිය ද වේ. මේ අතර පිරිමි සහ ළමා ගණිකා වෘත්තිය ද ඉතා ම බහුල ය.  විකෘති ලිංගික හැඟීම්වලින් පෙළෙන පුද්ගලයින්ට සිය කැමැත්තෙන් විකිණීම බහුල ය. මව තම දියණිය ඒ සඳහා පොළඹවයි. පියා තම පුතා හෝ දියණිය ඒ සඳහා පොළඹවයි. සමහර මව්වරු තමන්ට ද එවන් අවස්ථා උදා කර ගැනීම සඳහා තම දරුවන්  තැරැව්කරුවන් ලෙසින්  යොදවා ගනිති. ගණිකාවන් සැපයීමේ වෘත්තියේ නියැලෙන්නෝ ඉල්ලූම සපුරාලීම සඳහා තම තරුණ මව ද සහෝදරියන් ද  යොදා ගනිති. එහි අනෙක් අන්තය තම කැමැත්තෙන් තොර ව සිදු වන

ලිංගික බලපෑම් ය. ළමා අපචාර එහි එක් කාරණයකි. ස්ත්‍රී දූෂණ එහි අනෙක් කාරණයයි. මෙම අවස්ථා දෙකෙහි දී ම එයට ගොදුරුවන්නා මානසික ව ඝාතනය වේ; මානසික බිඳවැටීමට ලක් වේ. සමාජ පසුබෑමට ලක් වේ. එහි අනිටු ප්‍රතිඵලය සිය දිවි නසා ගැනීම් ය. එසේම එම තත්වයන් සමාජය දකින්නේ ද අවමානයෙනි. නීතිය ඉදිරියේ ද විවිධ අපහසුතාවයන් හා ප්‍රසිද්ධියේ අපහාසයට හා අවමානයට පත් වේ. මේ පිළිබඳව අධිකරණ කටයුතු සිදු වන්නේ විවෘත අධිකරණයේ ය. එම නඩුවට අදාළ විත්තිකරු ගේ නීතිඥයා තම සේවාදායකයා වෙනුවෙන් විවෘත අධිකරණය ඉදිරියේ අසාධාරණයට ලක් වූ කාන්තාව නැවත දූෂණය කරයි. ඒ තර්ක විද්‍යාවේ වචනවලිනි. මේ අවමාන අපහාස හා සමාජයෙන් කොන් කිරීම හේතු කොට ගෙන ඇයට අවසානයේ ඉතිරි වන්නේ, සිය දිවි නසා ගැනීම හෝ දිගින් දිගටම ගණිකා වෘත්තියේ නියැලීමට ය. එසේ නැතත් එම කාන්තාව සමාජයෙන් පිට මං වූවකු ගේ තත්වයට පත් වන අතර ඇය ද සමාජයට වෛර කරන, එනිසා ම සමාජ අපරාධවල ම අතකොළුවක් බවට පත් වේ.

ඉහත සමාජ කාරණා මත සිදු වන ගබ්සාව තවත් සමාජ අපරාධයකි. (එය වෛද්‍ය විද්‍යාත්මක හේතු මත සිදුවන්නක් නොවේ)  පංති සමාජයේ මාතෘත්වය පිළිගන්නේ විවාහ රෙජිස්ටාර්වරයාගේ පොතේ ලියූ පිතෘත්වයක් පවතින්නේ නම් පමණි. වෛද්‍ය විද්‍යාත්මකව දරුවෙකුට පියෙකු අනිවාර්යයෙන් ම සිටියත් පංති සමාජයේ නීතිය අනුව එය උප්පැන්නයේ ලියා තැබිය යුතු ය. නැතිනම් ඔහු අවජාතක වේ. එතැන් සිට මීවද දරුවා ද අවමානයට පත් වෙති. මේ හේතුවෙන් ආර්ථිකව ද සමාජීයව ද සිදු වන අපහසුතා ඔරොත්තු දිය නොහැකිව සිය දිවි නසා ගැනීමට හෝ ගබ්සාවට පෙලඹේ. ගබ්සාව ද මිනීමැරුමකි. සමාජයට එක් වන්නට සිටින දරුවකු උපදින්නට පෙර මරා දැමීමකි. සිය දිවි නසා ගැනීම ද මිනී මැරුමකි. සමාජයෙන් මිනිසකු ඉවත් කිරීමකි. එහි වග උත්තර කරුවා පවතින සමාජ ක්‍රමයයි.

මේ ඝාතන රැල්ලේ කොතැනින් හෝ බේරි ඉන් පසු දැන් තමන් නිදහස් යැයි සිතුව ද අවසානයේ ජීවිතයට බොහෝ පරාජයන් එක් වේ. ණය ගෙවා ගැනීමට නොහැකිව, ණයකරු පසුපස හඹා ඒම, විභාගය අසමත් වීම, විභාගය සමත් වුවද ප්‍රතිඵල මාරු වීම හෝ විකෘති වීම, පෙම් සබඳතා බිඳවැටීම, එවන් හේතු නිසාම සමාජයෙන් පිළිගැනීමේ අරමුණෙන් පෙළීම, සිය දිවි නසා ගැනීමට පොලඹවයි. වර්තමානයේ සිය දිවි නසා ගැනීම පහසු කටයුත්තක් ව ඇත. සියල්ලට ම කෙටිම විසඳුම ද එයම වී ඇත. සීනි සමග කනේරු ඇට සැපීමේ සිට අත් බෝම්බයක් තුරුලු කොට ගෙන පුපුරවා ගැනීම දක්වා පහසුම ක‍්‍රම පවති. ඛේදවාචකය මෙය නොවේ. සමාජයේ අත්‍යවශ්‍ය ම ජන කණ්ඩායමක් වන ගොවියා ධෛර්යවත් ය. වීරියවන්ත ය. එනිසා ම ඇසට නො පෙනෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ සිට අලියා වැනි දැවැන්තයින් දක්වා වන සතුන් සමග දිවා රාත්‍රියේ පොර බදමින් ගොවිතැන් කරයි. අවසන අස්වැන්න නෙළීමේදි නොයෙකුත් වෙළඳපොළ ආබාධ සහිත ව තොග මුදලාලිලාගේ ආධිපත්‍යයට යට වී ණයකරුවන් බවට පත් වේ. ධනපති ක්‍රමයට ඔවුන් ගලවා ගැනීමේ මගක් නැත . ගොවියාගේ ධෛර්යවන්ත බව බිංදුවට ම බස්සවා සිය දිවි නසා ගැනීම දක්වා ඔහු පසු බැස්සවීමට, අසරණ කිරීමට ධනපති ක්‍රමය සමත් වෙයි.

ජාතික ගැටලුව නිර්මාණය කරන්නේ ද ඒ හා බැඳුණු යුද්ධ පවත්වන්නේ ද පංති සමාජ යයි. යුද්ධය තුළ ද යුද්ධයෙන් පසුව ද එහි  භයානක ප්‍රතිඵල සමාජයට හිමි වේ. යුද්ධයේ දී යුද මානසිකත්වය නිසා ද යුද්ධයෙන් පසු යුද්ධයෙන් ඉතිරි වූ මානසික පීඩන හා මානසික විකෘති වීම් නිසා ද ඝාතන, පැහැර ගැනීම්, කප්පම්, ස්ත්‍රී දූෂණ, අපයෝජන යන සියල්ලම ඒ වටා සිදුවේ. යුද්ධය පැවති අවධියේ බෝම්බයකින් මහ මඟ මිය යාවි යැයි බියෙන් මව සහ පියා එක් බස් රථයේ රැකියාවට යන්නේ නැත. ඒ දෙදෙනා ම එකවර මිය යාමෙන් දරුවන් අනාථ වේ යැයි බියෙනි. යුද්ධය නිම වූවා යැයි පැවසුව ද මහමග මරා දැමීම් අඩු නැත. කොයි මොහොතේ හෝ මහමඟදී මියයාමට නියමිත යැයි සිතමින් නිවසින් පිටවිය යුතු ය. එයට ම වාහන මාරයා හෙවත් වාහන අනතුරු ද මහ මග වේ. විනයක් නැති සමාජයක මහ මග විනයක් තිබිය නොහැකි ය. එනිසා වාහන අනතුරු යුද්ධ සමයේ බෝම්බ අනතුරු මෙන් ය. කොයි මොහොතේ වාහන අනතුරකින් මිය යන්නට වේ දැයි යන සැකයෙන් මහමගට බට යුතු ය. මෙය ද සමාජ අපරාධයක් දක්වා වර්ධනය වී තිබේ.

නිල අපරාධ ගණයට නො වැටෙන එහෙත් සමාජ අපරාධ තව බොහෝ ඇත. රෝහල්වල ඖෂධ නොමැතිකම, බාල ඖෂධ ගෙන්වා බෙදා හැරීම, අධ්‍යාපන අයිතීන් අහිමි කිරීම, පදිංචි ස්ථානවලින් පිටමන් කිරීම ආදී එවන් අපරාධ මෙම සමාජ ක්‍රමය තුළ තව බොහෝ වෙයි.

අපරාධවලට පොදුවේ මිනිසුන් විරුද්ධ ය.  අපරාධ නොමැතිව ජීවිත පැවැත්ම රැක ගැනීම කාගේත් ඒකායන අරමුණයි. නමුත් පවතින සමාජ ක්‍රමය ට සුළු පාලනයකින් යුතු ව අපරාධ අවශ්‍ය ය. සුළු පාලනයකින් යනු ‘පාලක පංතියට අභියෝගයක් නොවන ලෙසින් ය’ යන්න යි.  එය සෘජු ලෙස පෙනෙන සහ නො පෙනෙන යන දෙයාකාරයෙන් වන හේතු සහිත ය. සමාජ අපරාධවල නිර්මාතෘවරයා පුද්ගලයකු හෝ නිශ්චිත කණ්ඩායමක් නොවේ. සෑම දෙයකට ම මුල් වන හේතුව එයට පෙර පැවති දෙය යැයි සලකන වැරදි දැක්මෙන් මෙය විග්‍රහ කර ගන්නේ නම් ඉබි යතුරු බිහි වන්නේ හොරු නිසා ය.  අධිකරණය, නීතිඥයින්, පොලිසි, හමුදා බිහි වන්නේ අපරාධකරුවන් නිසා ය  යැයි තර්ක කළ හැකිය.  ඒ අනුව පොලිසි බිහි වන්නේ මහජන සාමය රැකීමට ය. හමුදාව අවශ්‍ය රට වෙනුවෙන් යුද්ධ කිරීමට ය.  මේ සියල්ල නියමානුකූල ව පවත්වා ගැනීමට රජය අවශ්‍ය වේ.  ඉතින් රජයේ ද, එහි අංගෝපාංග වන පොලිසි, හමුදා, අධිකරණ, නීති ක්‍ෂේත්‍රය ආදියේ කිසිම වරදක් නැත. වරද ඇත්තේ තනි හුදකලා පුද්ගලයා තුළම ය.  තවත් ලෙසකින් පවසන්නේ නම් මේවා සිදු වන්නේ පුද්ගලයා උපතින් ලද දෛවය අනුව ය. නැතිනම් පෙර රැස් කර ගන්නා ලද කර්මයක් නිසා වෙන් ය.

සැබවින්ම නීතිය විසින්  රකින්නේ ජනතාව නොව පෞද්ගලික දේපළ ක්‍රමයයි. නීතිය පෞද්ගලික දේපළ ක්‍රමයේ හිමිකරුවා සහ ආරක්ෂකයා වන පාලක හෙවත් අධිපති පංතියේ කැමැත්තයි. ඔවුන්ගේ කැමැත්ත ධනපති ක්‍රමය සදාකාලිකව පවත්වා ගෙන යෑමයි. එනිසා ම ඒ හා බැදුණු ආයතනයන්ගේ වගකීම හා කාර්යභාරය ද එය යි.  අධිකරණ, නීතිඥ සහය, පොලිසි, හමුදා කරන්නේ ඉහත කාර්ය භාරයයි. නිල වශයෙන් හඳුන්වන පොලිසියට අමතරව පංති සමාජයේ පැවැත්ම වෙනුවෙන් පවතින තවත් පොලිසි පවතී.  ඒ මෙසේ ය. නිල බුද්ධිමතුන් බුද්ධිය සම්බන්ධව පොලිස් බලය පෙන්වයි. නිල කලාකරුවන් කලාව සම්බන්ධ පොලිස් කාර්ය භාරය උසුලයි. වෛද්‍යවරයා, ගුරුවරයා ආදී වශයෙන් ධනපති ක්‍රමය තුළ ඒ ඒ  විෂයන්ට අදාළ ව පොලිස් බලයන් ක්‍රියාත්මක වේ. මේ කිසිම ආයතනයක එහි සිටින පුද්ගලයින් මෙහි වරදකරුවන් නොවේ. ඔවුන් ද සමාජක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි වන්නන් ය. අවසාන විග්‍රහයේ දී මෙම සියලු පොලිසි ක්‍රමයේ පැවැත්මට අවැසි ය.  සියල්ලන් එක්ව ක්‍රමය ආරක්ෂා කරයි.  මෙම සියලු අධිපතිත්වයන් එක්ව ධනපති රාජ්‍යය පවතී.  මේ සියල්ල අතරට පෞද්ගලික දේපළ ක්‍රමයක අනිවාර්‍ය අංගයක් වන්නේ අපරාධයි.  එනිසා ඉබි යතුරු බිහි වීමේ හේතුව හොරු සිටීම නොවේ. හොරු ද ඉබි යතුරු ද යන දෙකම පෞද්ගලික දේපළ ක්‍රමයේ නිර්මාණයන් ය.

උපතින් ම හොඳ සහ නරක මිනිසුන් නැත. අපරාධකාරයින් උපතින් ම බිහි වන්නේ නැත. ඔවුන් බිහි කරනුයේ පවතින සමාජ ක්‍රමය විසින් ය. මෙම සමාජ ක්‍රමය අපරාධකරුවන් සඳහා වූ තෝතැන්නකි.  බැලූ බැලූ අත අපරාධකාරයින් බිහි කරන පසුබිමක් මෙහි පවතී. නග්න සූරාකෑම සහිත මෙම සමාජ ක්‍රමය සියල්ල විකුණන සහ විකිණෙන සමාජ ක්‍රමයකි.  සාමූහිකත්වයෙන් තොර සමාජයක ආත්මාර්ථය ප්‍රමුඛ වේ. එනිසා තමන් වටා භ්‍රමණය වන නිමක් නැති වෙළඳ භාණ්ඩ තමා සඳහා ම යොදවා ගැනීමට තැත් කරයි. තමා වටා වන වෙළඳ භාණ්ඩ සමඟ පුද්ගලයාට හුවමාරු කළ හැකි  ඕනෑම දෙයක් හුවමාරු භාණ්ඩ බවට පත් කර ගනියි. සියල්ල මා වෙනුවෙනි යන සිතුවිල්ලට ඉඩ ලැබෙන්නේ එහි දී ය.  තමා වටා වන අනෙකුත් පුද්ගලයින් ද පැවතිය යුත්තේ තමන් වෙනුවෙන් ය, තමන් කැමති ලෙසට ය යනුවෙන් සිතන්නට පෙලඹේ. එසේ නොවන්නන් සියල්ල තම සතුරන් ය. තමන් කැමති වන ආකාරයට පවතින්නන් තමාගේ මිතුරන් ය.  එසේම තමන් සතුරන් සේ දකින සැවොම කෙසේ හෝ පරාජය කිරිම ඒකායන අරමුණයි. පරාජය කළ නොහැකි විට ඝාතනය කරයි.  ඒ සඳහා  ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කිරීමට ඔවුන් පැකිළෙන්නේ නැත. එය ධනපති සදාචාරයයි.

ධනපති පංතිය තමන්ට ආධිපත්‍යය ලැබුණු හැම තැනක දීම රදලවාදීවූ ද, පීතෘ මූලික වූ ද, සරල ගැමි ජීවිතය අරබයා වූ ද සියලු සමාජ සබඳතාවයන් අහෝසි කර දැම්මේ ය . මිනිසා තම ”ස්වාභාවික අධිපතීන්ට” බැඳ දමා තිබුණු විවිධ රදල බන්ධනයන් තූ තූ කොට ඉරා දැමූ එය මිනිසෙකු හා මිනිසෙකු අතර නග්න ආත්මාර්ථකාමිත්වය ද, නිර්දය ‘මුදල් ගෙවීම ද’ හැර අන් කිසිදු සබඳතාවයක් ඉතිරි නොකළේය. ”

…..එය පෞද්ගලික වැදගත්කම හුවමාරු වටිනාකම බවට පෙරළා ඇත.  එමෙන්ම වරලත් දිනා ගත් නිදහසවල් අසංඛෙයක් වෙනුවට, හෘදය සාක්ෂියට කොහෙත්ම එකඟ නොවන එකම නිදහස වන ස්වාධීන වෙළඳාම පිහිටුවාලීය. එක වචනයකින් කියතොත්, ආගමික හා දේශපාලන මායාවන්ගෙන් වසා තිබුණු සූරාකෑම වෙනුවට, එය නග්න, අලජ්ජි, සෘජු හා ම්ලේච්ඡ සූරාකෑමක් ආදේශ කළේ ය.”

කොමියුනිස්ට් ප්‍රකාශනය

බලය පවත්වන්නන්ට සහ ධනපතීන්ට මරා ගෙන මැරෙන්නන් අවශ්‍ය ය.  මෙහි මූල ධර්මය අවි ගත්තෝ අවියෙන් රැකෙති යන්න යි. අපරාධ පිටුපස ධනපතියාගේ අසීමිතව ධනය රැස් කිරීමේ උමතුව ද පවතී. එමෙන්ම එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස දරිද්‍රතාවය පවතී. පංති සමාජය තුල සූරාකෑම අනිවාර්යයකි. එයින් උපදින විෂමතාවය තුළ දුප්පතුන් බිහි වේ. සියලු නිෂ්පාදන බලවේගවල කිසිදු හිමිකමක් නොමැති නිසාම තමන් සතු ශ්‍රමය ද විකුණා ගත නොහැකිව හෝ එයට නියමිත වටිනාකමක් නො ලැබෙන විට දරිද්‍රතාවේ පතුළට වැටුණ  මිනිසුන්ට යන රැල්ලේ යනවා හැර අන් යමක් නො දැනේ.

ධනපති පංතිය,එනම් ප්‍රාග්ධනය සංවර්ධනය වන ප්‍රමාණයට සමානුපාතික ප්‍රමාණයකින් නිර්ධන පංතිය, නූතන කම්කරු පංතිය තමන්ට වැඩ ලැබෙන තුරු පමණක් ජීවත් වන, ප්‍රාග්ධනය ස්වකීය ශ්‍රමය මගින් දියුණු කරන තුරු පමණක් වැඩ ලබන්නා වූ ශ්‍රමිකයින්ගේ පංතිය වර්ධනය වේ. තුමූ එක එකා වශයෙන් වෙන, වෙන් ව විකුණා ගත යුතු මේ කම්කරුවෝ, වෙළඳාම සඳහා වූ අන් හැම භාණ්ඩයක් මෙන් ම වෙළඳ භාණ්ඩ වෙති. එම හේතුව නිසා ඔවුහු තරඟයේ වාසි අවාසිවලට  සහ වෙළඳපළේ උච්චාවචනයන්ට භාජනය වෙති”

කොමියුනිස්ට් ප්‍රකාශනය

එම අගාධය තුළට පිරිහුණු මිනිසා බඩගින්න නිසා සොරකම් කරයි. මේ සොරකම යන වචනය ද ධනපති අර්ථ දැක්වීමකි. එයින් ධනපතියාගේ සොරකම වසන් කරයි. විශාල ම සොරකම වන ශ්‍රමය සොරා ගන්නේ ධනපතින් ය. ධනපති පාලකයින් සොරකම් කරන්නේ බඩගින්න නිසා නොවේ. අසීමිතව ධනය රැස් කිරීමේ ආශාව නිසා ය. මාක්ස්ට අනුව ”ධනපති ක්‍රමය තුළ සියලූම දේපළ හොර බඩු ය.”  පවතින ක්‍රමය තුළ පීඩිතයාට අහිමි කරන ජීවිත අයිතිය ගැනීමට සිදුවේ. ඒ හැර ඔහුට අන් මගක් නැත. මෙයට ධනපතියා සොරකම යැයි තමන්ගේ කැමැත්ත වන නීතිය ලියූ නීති පොත්වල ලියා ඇත. ධනපති ක්‍රමයේ රිද්මය වන්නේ තරගකාරිත්වයයි. අප ජීවත් වීම සඳහා තරඟ වැදිය යුතු ය.  නින්ද වැනි ශාරීරික අවශ්‍යතා පවා පසෙක දමා එකිනෙකා පරයා ඉදිරියට යාම නැමති අර්බුදයට ගොදුරු විය යුතු ය.  පීඩනයට හේතුව පවතින ක්‍රමය බව නොදත් ඔවුහු තම අවිඥාණික බවේ තරමට එහි හේතු විකෘති කොට හඳුනා ගනිති.  නො පෙනෙන අද්භූත බලවේග, ග‍්‍රහ තාරකා බලපෑම් ආදී විඥානවාදී මතයන්ගේ සිට නිතර දකින අසල්වැසියා දක්වා සියල්ල සතුරන් ලෙස දකියි. ඔවුන් පංති සතුරා දැකීමට තරම් සවිඥාණික නැත. එනිසා ම ඔවුහු තම අසලින් ම එක පෙළට සිටින්නා තම අනෙකා ලෙස සලකති. ඒ අනෙකා වෙන කිසිවකු නොව තමන් මෙන් ම ධනපති පීඩනයට හසු වුන ධනපති තරඟය තුළ තෙරපෙන තම පංති සගයාමය. බසයට නැගීමේ හා බැසීමේ තරඟයේ දී අනෙක් මඟින් සියල්ලන් ම තම තරගකරුවන් ය. රැකියා පෝලිමේ දී, රැකියාව කිරිමේ දී දරුවන් පාසලට ඇතුලත් කිරිමේ දී, පොදු තත්වය මෙය යි.  ඉදින් තරඟය මිස මිනිස් ජීවිත සැලකෙන්නේ නැත. මේ සියල්ල නිසාවෙන් ඝාතන සංස්කෘතිය පෝෂණය වේ. දරිද්‍රතාවේ පීඩනයෙන් පෙළෙන්නා නොතේරුම්කම හමුවේ සමාජයට වෛර කරන්නන් බවට පත් වේ. එනිසා නිරන්තරයෙන් ඇත්ත නොවන විරුද්ධවාදියකු නිර්මාණය කොට ගනියි.  ඒ තුළ එම අනෙකා ඝාතනය, අනෙකාට වින කැටීම සාධාරණය යන සංස්කෘතිය බිහි වේ.

ශ්‍රී ලාංකේය පසුගාමී ධනේශ්වර සමාජයේ මිනිස් ජීවිත ඇගයෙන්නේ නැත. මිනිසා මිනිසකු වන්නේ ශ්‍රමය නිසා ය. මිනිසා සාමූහික සත්වයෙකු වන්නේ ද ශ්‍රමය පදනම් වූ නිෂ්පාදනය හේතුවෙනි. මිනිසාගේ ශ්‍රමයේ ඵලය හෙවත් නිෂ්පාදිතයේ හිමිකම ඔහුට නොලැබෙනේ නම් ඔහු මිනිස්කමෙන් දුරස් වේ. මිනිසුන් යන්ත්‍ර බවට පත් වනු ඇත. යාන්ත්‍රික මිනිසෙකු බිහි වනු ඇත. මිනිස් වටිනාකම් ඇගයීමක් නොමැති සමාජයක එකිනෙකාට ගෞරවය කරන්නේ  නැත. මිනිස් ජීවිත මායිමි නො කරයි. පාරේ වැටි පණ අදින මිනිසකු උඩින් පැන එදෙස නො බලා දිව යන්නට තරම් කාර්ය බහුල, සංවේදී නොවන සමාජයක මෙය වෙනත් ලෙසකින් සිදු විය නො හැක. බස් රථයට ගැබිණි මවක් නැගි පසු බසය තුළ සිට ගෙන සිටින පිරිස ඇයට අසුනක් දෙන ලෙස මොර දුන්න ද එම අය ම වාඩි වී සිටින විට කවුළුවෙන් ඉවත බලා නො ඇසුණා සේ සිටින්නේ ධනපති ක්‍රමය උපතේ සිටම ඔහුට පුරුදු පුහුණු කළ සදාචාරය අනුව. මිනිසුන්  මිනිසුන්ට ගෞරව නො කරන සමාජයක මිනිස් ජීවිත තවත් ‘දේවල්’ පමණක් ම මිස වටිනාකම් නොවේ. අපරාධ සඳහා ඉත්තන් කර ගන්නේ සමාජයෙන් පිටමන් කළ සමාජයට වෛර කරන එවන් මිනිසුන්මය. සමාජයේ පාදඩකරණයට ලක්වූවන් ය. තවද නිහතමානී සාමකාමී මිනිසාට

පිළිගැනීමක් නැත. පැවැත්මක් නැත. ඇසට ඇස දතට දත නීතිය අනුව කටයුතු කරන්නා පමණක් පවතී. මින් පසු මිනිසුන් උදෙසා නොව මිනිසුන් මැරීම සඳහා අවි දරන්නන් බිහි වේ. දැළි පිහියේ සිට නවීන ස්වයංක්‍රිය අවි දක්වා අත දරන්නන් බිහි වන්නේ මෙසේ ය. බලය ඇත්තන් ඔවුන් මිල දී ගෙන තම අතකොළු බවට පත් කර ගනියි. ඔවුන්ට සමාජයට ඉහළින් වන බලයක් දෙයි. අවි සහ අවශ්‍ය රැකවරණය දෙයි. පාතාලය බිහි කරයි. දේශපාලකයෝ සමාජය පාදඩකරණයට ලක් කළේ එසේ ය. අතීතයේ දේශපාලකයා චණ්ඩීන්ගේ උදව් ලබාගන්නා ලදි. වර්තමානයේ පාදඩයාම දේශපාලකයා වෙයි. පාතාලය විසින් දේශපාලකයා ද දේශපාලකයා විසින් පාතාලය ද රැකෙයි. පාතාලයා ම දේශපාලකයා වන විට අපි වෙනුවෙන් අපි, මම වෙනුවෙන් මම න්‍යාය භාවිත වේ. තමන්ගේ අවි විසින් ම තමන් රැකෙයි.

පාතාලය හා දේශපාලකයන් සමඟ එකට බැදුණු අනෙක් කාරණය අන්තරායකාරී මත් ද්‍රව්‍යය. හෙරොයින්, කොකේන්, මෝෆීන් ආදී මත් ද්‍රව්‍ය නීති විරෝධි ලෙස රටට ගෙන්වීමත් බෙදාහැරීමත් සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකිය. ඒ සඳහා ධනය බලය එක ලෙස තිබිය යුතු ය. ඒ දෙකම ඇත්තේ දේශපාලකයන්ට ය. පාතාලය මෙහෙය වන්නෝ මුදල් යොදවමින් දේශපාලනයට රිංගන්නේ මේ දෙකම ළඟ තබා ගන්නට ය. රජයේ නිල හමුදා සහ පාතාලයේ නිල නොවන හමුදා සහිත ව මොවුන් තම අසීමිත බලය උපයෝගී කොට ගෙන සාමාන්‍ය ව්‍යවහාරය අනුව කියනවා නම් කුඩු විකුණති. ඔවුන්ගේ සෙවණැල්ලේ සිටිමින් අනෙකුත් පාතාලයන්ද තම පැවැත්ම සහ කටයුතු පවත්වා ගනී. සැබෑ ප්‍රශ්නවලින් තරුණ තරුණියන් මත් ලොවකට ගෙනියන මෙම මත් කුඩු ජාවාරම් කරුවෝ අනියම් ලෙස පවතින ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් සේවය කරති. ආණ්ඩුව තමන්ට එරෙහි පාතාලයන් පමණක් මර්දනය කරමින් තමන්ට හිතවත් පාතාලයන් පෝෂණය කරන එක් හේතුවක් වන්නේ එයයි. ඡන්දවල දී විරුද්ධ පක්ෂ මර්දනයට මැරකම්වලින් ද ප්‍රචාරක වැඩ කටයුතුවලට මුදල් ද ලබා දෙන පාතාලය

රැකීම දේශපාලකයාගේ පැවැත්ම පැත්තෙන් සිතුව ද අත්‍යාවශ්‍ය දෙයකි. උණ්ඩවලින් ඝාතනය වන්නේ එකා දෙන්නා ය. කුඩුවලින් ක්ෂණිකව කිසිවකු ඝාතනය නොවේ. නමුත් මත් කුඩු විසින් සංස්කෘතියක් අගය නො කරන, සදාචාරයක් නො දන්නා අජීවී බවට පාත්‍ර වූ මිනිසුන් බිහි කරයි. ඒ පිරිහුණු පරම්පරාව සමාජ ප්‍රගමනයට බාධාවක් ම වේ.

රෝග නිධානය නග්න සූරාකෑම සහිත කුරිරු ධනපති ක්‍රමය ම බව වටහා නො ගෙන සමාජ අපරාධ පිළිබඳව විලාප නැගීමෙන් ඵලක් නැත. අපරාධ ද සහ අපරාධකරුවන් ද මෙම ලාභය මුල් වූ (දෙයක වටිනාකම නොදත් මිල පමණක් දන්නා* ධනපති ක්‍රමයේ නිෂ්පාදනයන් ය. අපරාධවල විභවය හඳුනා නො ගෙන වැරදි කොනෙන් අල්ලා ගැනීම හෝ අඳුරේ අත පත ගෑමෙන් අතට අසු වන්නේ ද වැරදි පිළිතුරු ය. අපරාධයක් දුටු සැණින් අනේ අපොයි! යනුවෙන් විලාප දී අවසන එය ඉරණම ලෙස භාර ගැනීම බිය ගුලූ සහ අලස පිළිතුරකි. පිළිතුරකට වඩා අපරාධ උපද්දන හේතුවට එරෙහි නොවී යටත් වීමකි. අපරාධවල හේතුන් පසෙක තබා ආලෝක වර්ෂ ගණන් දුර පිහිටි ග‍්‍රහ රාශි තුළ හේතු සොයන අවිද්‍යාව ද ඇත්ත හේතු පෙන්වනවා වෙනුවට මංමුළා වට පත් කරයි .  මෙලොව ජීවිතය අපරාධකාරී ලොවට ම පාවා දී යහපත් එලොවකට ඇස් දල්වා සිටින අතර කර්මයට සාප කරමින් කළ හැක්කේ ද ප්‍රශ්නයෙන් පල යාම පමණකි. සමාජ සාරධර්ම යැයි විශ්වාස කරන යමක් හැම දාම ඇහුම්කන් දෙන අයට ම ඉගැන්වීමෙන් අවියෙන්, බලයෙන් හිස උදුම්මා ගත් උන් අපරාධ නො කරන ශාන්තිවාදින් කළ නො හැක. උන් ඇහුම්කන් දෙන්නෝ නොව ජනතාවට වැදි බණ දෙසන්නෝ ය. මේ සියල්ලට ම එරෙහිව තනි තනිව අවි දරා සරදියල් හෝ රොබින්හුඩ් ආකාරයේ අරගලයන් ගෙන් ද සමාජ අපරාධ වළක්වා ලිය නො හැක. ප්‍රශ්නයේ නිර්මාපකයා වන ධනපති ක්‍රමය පරාජය කළ යුතු ය. පෞද්ගලික දේපළ ක්‍රමය විනිවිද ගොස් සාමූහික දේපළ සහිත සමාජ ක්‍රමය ගොඩ නැගිය යුතුයි. සාමූහික උත්සාහයෙන් සහ සාමූහික ජයග්‍රහණයන් ඇත්තේ එවන් සමාජයකයි.  එවන් සමාජයක් උදෙසා වන අරගලය ද අනිවාර්‍ය ලෙස සාමූහික එකකි. එමෙන්ම සවිඥාණික එකකි.

විමර්ශණ

අපරාධ යනු සමාජ නිෂ්පාදනයකි