සමාජවාදී පාලනය අරමුණු කර ගනිමින්, පන්ති බලවේග සංවිධානය කරනු ලබන මාක්ස්-ලෙනින්වාදී පක්‍ෂයක් වන අප පක්‍ෂය ද මේ මොහොත වන විට බහුවිධ දේශපාලන ක්‍රියාමාර්ගවල යෙදෙමින් කටයුතු කරනු ලබයි. පක්‍ෂ ඉතිහාසය තුළ දී විවිධ අවස්ථාවල දී මෙන් මේ මොහොතේ ද ගොඩනැඟී ඇති විශේෂ දේශපාලන අර්බුදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම මෙන් ම විවිධ සමාජ ස්ථරයන් මුහුණ දෙන ප්‍රශ්න මූලික කර ගනිමින්, තනිව මෙන් ම ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන අවස්ථා සාපේක්‍ෂව වැඩි වී තිබේ. අනෙක් පසින් ඉදිරි මහ මැතිවරණය වැනි තීරණාත්මක අවස්ථාවලට මුහුණ දීම සඳහා ජ.වි.පෙ. මූලික කර ගත් පුළුල් ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැඟීම සඳහා ද සූදානම් වෙමින් තිබේ. මෙවන් සක්‍රිය දේශපාලන කාලපරිච්ඡේදයක් තුළ අප ගනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග න්‍යායිකව තේරුම් ගැනීම සඳහා මෙන් ම ඒ තුළ පැනනැඟිය හැකි නිර්මාක්ස්වාදී ප්‍රවණතා වළක්වා ගැනීම සඳහාත් එක්සත් ක්‍රියාමාර්ග හා එක්සත් පෙරමුණු පිළිබඳ න්‍යායික විමසා බැලීමක් වඩාත් කාලෝචිත වෙයි.
එක්සත් පෙරමුණු දේශපාලනය යනු කුමක් ද?
විවිධ පන්තීන්ට අයත් පක්‍ෂ සමඟ නිර්ධන පන්ති පක්‍ෂය සමාජවාදය අරමුණු කර ගනිමින්, උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙස ස්ථාවර සංවිධාන ගොඩනැඟීම එක්සත් පෙරමුණු දේශපාලනයේ මූලික ම ක්‍රියාමාර්ගයයි. මෙහි ඇති න්‍යායික වැරැද්ද
වනුයේ, එකිනෙකට ප්‍රතිවිරුද්ධ පන්ති වුවමනාවන් සහිත සංවිධාන (පක්‍ෂ) නිර්ධන පන්තියේ වුවමනාවන් සඳහා යොදා ගැනීමට නොහැකි වීමයි.
එක්සත් පෙරමුණු න්‍යායක් ලෙස බිහි වීම
1935දී තුන්වැනි ජාත්‍යන්තරයේ 07 වැනි සමුළුවට බල්ගේරියානු කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්වරයා වූ ජෝර්ජි දිමිත්‍රොව් විසින් “නැඟී එන ෆැසිස්ට්වාදය පරාජය කිරීම සඳහා සෑම රටක් ම ෆැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණක් ගොඩනැඟිය යුතු” බවට ගෙන ආ මෙම යෝජනාව (ස්ටාලින්ගේ දේශපාලන වුවමනාවන් මත) සමුළුවේ දී සම්මත විය. මේ සමඟ ලෝකයේ බොහෝ කොමියුනිස්ට් පක්‍ෂ සිය රටවල ධනපති පන්ති සමඟ ෆැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණක් සඳහා පොළඹවන ලදී.
මෙම ෆැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණු න්‍යාය පසු කලෙක ස්ටැලින්වාදය තුළ ‘අවධි තුළින් සමාජවාදය’ පිළිබඳ න්‍යායික සංකල්පයට පදනම සපයනු ලැබී ය. ඒ තුළ පරිධියේ පසුගාමී ධනේශ්වර රටවල් අර්ධ වැඩවසම්, අර්ධ ධනේශ්වර ලෙස විග්‍රහ කොට විප්ලවය අවධි දෙකකට බෙදනු ලැබී ය. සමාජ පරිවර්තනයක් සඳහා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ වී තිබීම අත්‍යවශ්‍ය වේ යැයි නිගමනය කර ධනපති පන්තිය ද දෙකට බෙදා ඉන් එක් කොටසක් අධිරාජ්‍ය ගැති සාම්ප්‍රදායික ධනපති පන්තිය ලෙසටත්. තවත් කොටසක් ප්‍රගතිශීලී ධනපති පන්තිය ලෙසටත් විග්‍රහ කරන ලදී. (ධනවාදයේ අවපාත අවධියේ දී ධනපති පන්තිය ප්‍රගතිශීලී යැයි පිළිගැනීම
බලවත් න්‍යායික වරදකි.) නිර්ධන පන්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ධනපති පන්තිය සමඟ එක්ව ඔවුන්ගේ නායකත්වයෙන් එක්සත් පෙරමුණක් ගොඩනඟා පළමුවෙන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ කළ යුතු බවත්, දෙවනුව සමාජවාදී සමාජ විප්ලවය කළ යුතු බවත් මෙම න්‍යායෙන් පෙන්වා දෙනු ලැබී ය. මෙය ‘එක්සත් පෙරමුණු හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ ලෙස හඳුන්වනු ලැබී ය.
මාවෝවාදය හා මහජන පෙරමුණු න්‍යාය
ඉහත න්‍යාය මාවෝවාදය තුළ ද සුළු වෙනස්කම් සහිතව ඉදිරිපත් කරනු ලැබී ය. මාවෝවාදය මඟින් චීනය විග්‍රහ කරනු ලැබුවේ, අර්ධ වැඩවසම්, අර්ධ යටත්විජිත රටක් ලෙසයි. ඒ අනුව චීනයේ ධනපති පන්තිය ද කොම්ප්‍රදෝරු ධනපති පන්තිය (ඉඩම් හිමි රදළයන්ගෙන් බිහි වූ) හා ප්‍රගතිශීලී ධනපති පන්තිය ලෙස බෙදා වෙන් කර මෙම විප්ලවය ‘මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය’ ලෙස නම් කරනු ලැබී ය. එක්සත් පෙරමුණු න්‍යායෙන් මෙය වෙනස් වන ප්‍රධාන ලක්‍ෂණය වන්නේ විප්ලවයේ නායකත්වය නිර්ධන පන්ති ව්‍යාපාරය ගත යුතු බව තීරණය කිරීමයි. ඊට අමතරව මෙම මහජන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය නිර්ධන පන්තිය, අර්ධ නිර්ධන පන්තිය, සුළු ධනේශ්වර පන්තිය, ප්‍රගතිශීලී ධනපති පන්තිය යනුවෙන් පන්ති හතරක ආඥාදායකත්වයක් ලෙස ද විග්‍රහ කරනු ලැබී ය.
1935දී තුන්වැනි ජාත්‍යන්තරයෙන් සම්මත වූ ෆැසිස්ට් විරෝධී එක්සත් පෙරමුණු න්‍යාය මේ ආකාරයට ස්ටැලින්වාදී හෝ මාවෝවාදී ආකාරයෙන් ලෝකයේ බොහෝ කොමියුනිස්ට් පක්‍ෂ පන්ති සහයෝගීතාවාදී හා ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළකට ඇද දැමීමට පාදක විය.
මෙම වැඩපිළිවෙළ ඉතාමත් පැහැදිලි ලෙස ම නිර්මාක්ස්වාදී ප්‍රවණතාවක් වශයෙන් හඳුනා ගත යුතු අතර, ඒවා තහවුරු කිරීමට යොදා ගත්තේ ලෙනින් විසින් 1905දී රුසියාවේ විප්ලවය ඉලක්ක කර ගනිමින්, ඉදිරිපත් කළ ‘සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක්’ නම් ලිපියයි. රුසියාවේ ධනේශ්වර විප්ලවය සිදු නොවූ තත්ත්වයක් තුළ ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළ 1917 පෙබරවාරි ධනේශ්වර විප්ලවය සිදු වීමත් සමඟ ‘අප්‍රේල් තිසීස’ මඟින් අතහැර දමන ලදී.
එක්සත් ක්‍රියාමාර්ග යනු මොනවා ද?
එක්සත් ක්‍රියාමාර්ග යනුවෙන් හඳුන්වනුයේ, එක්සත් පෙරමුණු මෙන් සමාජවාදය ඉලක්ක කර ගත් දිගුකාලීන උපායමාර්ගික වැඩපිළිවෙළක් නොවේ. විවිධ පක්‍ෂ හා කණ්ඩායම් තම තමන්ගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළවල් සහිත දේශපාලන න්‍යායික දැක්මක් මත වෙන්ව ගමන් කරන අතර, සියලු දෙනාට ම බාධා කරන තත්ත්වයන් පැරැදවීම සඳහා සියලු දෙනාට ම එකඟ විය හැකි සීමා තුළ අරගල කිරීමයි. මෙහි දී ප්‍රතිපත්තිමය එකඟතාවන් ඇති වීම හෝ සියලු දෙනා එකට ගමන් කරන එක ම සංවිධානයක් ගොඩනැඟිය නොහැක. (විවිධ පන්ති වුවමනාවන් සහිත සංවිධාන කිහිපයකට එක ම සංවිධානයක් බවට පත් වීමට නොහැක.) මේ ආකාරයේ එක්සත් ක්‍රියාමාර්ග නිර්ධන පන්ති ව්‍යාපාරය තුළ බොහෝ විට දැකිය හැකි අතර, ඒවා මාක්ස්-ලෙනින්වාදයට පටහැනි නොවේ.
නමුත්, විශේෂයෙන් රටක ධනපති ක්‍රමයේ වර්ධනය හා ස්වභාවය, පන්ති බලවේගවල වර්ධනයේ මට්ටම, විප්ලවවාදී ව්‍යාපාරයේ ශක්තිය, අධිරාජ්‍ය විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ ෆැසිස්ට් විරෝධී ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය අනුව මෙම එක්සත් ක්‍රියාමාර්ගවල ස්වභාවය හා සීමාව තීරණය කරනු ලැබේ.