අනිවාර්යය හා අහම්බය

SHARE

දැනුම පිළිබඳ ප්‍රශ්නයේදී, අප අවට ලෝකය හා එහි සිදුවන සිදුවීම් නිවැරදිව වටහා ගෙන ඊට නිවැරදි ප්‍රතිචාර දැක්වීමේදී, අප දෛනිකව මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා ඒවා තේරුම් ගැනීමේදී “අනිවාර්යය හා අහම්බය” නම් ප්‍රකෘතිය තේරුම් ගැනීමේ ආකාරයද වටහා ගත යුතුය. ලෝකයේ සිදුවන සියලුම දේවල් සිදුවන්නේ එක්කෝ අනිවාර්යයන් ලෙසය. නැතිනම් අහම්බයන් ලෙසය. අනිවාර්යයන් ලෙස සිදුවන දේ පිළිබඳව අපට කළ හැකි දෙයක් නැත. මන්ද ඒවා අනිවාර්යයන් වන බැවිනි. ඒවා ප්‍රමාද කිරීම හෝ කඩිනම් කිරීම සඳහා පමණක් මිනිසාට මැදිහත් විය හැකි අතර අනිවාර්යයන් නතර කිරීමට නොහැක. උපදින සෑම කෙනෙක්ම මිය යාම අනිවාර්යයකි. එය නතර කිරීමට කිසිවෙකුට නොහැක. එහෙත් අනිවාර්යය වන මරණය ප්‍රමාද කර ගැනීමට හෝ ඉක්මන් කර ගැනීම සඳහා අපට යමක් කළ හැකිය. මෙය එලෙස තේරුම් ගත හැක.

අනිවාර්යට බලපාන හේතු

අනිවාර්යය හා අහම්බය යනු කුමක්ද? මෙය එකම ක්‍රියාවලියක අන්තර් සම්බන්ධිත පැති දෙකකි. අනිවාර්යය යනු යම් වස්තුවක ප්‍රපංචයක, ක්‍රියාවක ප්‍රධාන සාධක විසින් ප්‍රධාන ප්‍රතිවිරෝධය විසින් ඇති කරවන තත්වයකි. එහෙත් අහම්බය යනු එසේ නොවේ. එය අදාල වස්තුවේ හෝ ක්‍රියාදාමයේ ප්‍රධාන සාධක හෝ ප්‍රධාන ක්‍රියාමාර්ග විසින් නොව බාහිර හෝ ප්‍රධාන නොවන සාධක විසින් ඇති කරන්නකි. ඒ නිසා ඒවා අනිවාර්යය නොවේ. මෙය මෙලෙස වටහා ගත හැකිය. සෑම අනිවාර්යයක්ම අහම්බයක් නොවේ. එය අනිවාර්යයකි. එහෙත් හැම අහම්බයක්ම එය සිදුවන මොහොතට අනුව අනිවාර්යයකි. ඉන් කියවෙන්නේ අහම්බ අනිවාර්යයන් කියා නොවේ. කිසියම් දෙයක ප්‍රධාන සාධකවලට අනුව සිදු නොවිය යුතු දෙයක් වෙනත් හේතුවක් මත සිදුවීම අහම්බය වේ. සමහර විට අහම්බයේ හේතුව අපට සොයාගත නොහැකි වීමට ඉඩ තිබේ. එතෙක් අහම්බය සිදුවන අවස්ථාවේ සිදුවන හා පෙළගැසෙන ක්‍රියාවන්ට සාපේක්ෂව එය අනිවාර්යයක් වේ.

උදාහරණ මගින් තේරුම් ගැනීම

සරල උදාහරණ කිපයකින්ම මෙය තේරුම් ගැනීමට අපට පුළුවන. ගුවන්යානාවක ගමනකින් මෙය තේරුම් ගනිමු. ගුවන් යානා නිෂ්පාදනය කර තිබෙන්නේ විද්‍යාත්මක නියම අනුව ගුවන් ගතවී ගුවනේ පියාසර කොට නියමිත ස්ථානයට ගොඩ බැස්වීමට හැකිවන ලෙසය. ඒ අනුව ගුවන්යානා නිෂ්පාදනයේදී යොදාගන්නා විද්‍යාත්මක සාධකවලට අනුවත් එහි තාක්ෂණික උපකරණ හා ක්‍රියාකාරිත්වයට අනුවත් ගුවන් ගමනක අනිවාර්ය වන්නේ එය අදාල ස්ථානය කරා නිරුපද්‍රිතව පියාසර කිරීමය. එහෙත් සමහර විට ගුවන්යානා මඟදී කඩා වැටේ; ගිනිගැනීමට ලක්වේ. එය අනිවාර්යක් නොව සමස්ත ක්‍රියාවලියට අනුව අහම්බයකි. මන්ද ගුවන්ගත වන හැම ගුවන්යානාවක්ම මඟදී කඩා නොවැටෙන බැවිනි. ඒ අනුව ගුවන්යානයක් මඟදී කඩා වැටීම සමස්ත ක්‍රියාවලියට අනුව අහම්බයක් වුවද එය ඒ නියමිත මොහොතේ සිදුවූ අනපේක්ෂිත සිදුවීමට සාපේක්ෂව කඩාවැටීම අනිවාර්යයකි. එය තේරුම් ගත යුත්තේ එසේය. මිනිසෙකුගේ ජීවිතය දෙසද මේ ආකාරයෙන්ම අපට බැලිය හැක. මහමඟ වාහන අනතුරට ලක්වීම, ගස් නගින කෙනෙක් ගහෙන් ඇද වැටීම, පිහිනුම් ශූරයෙක් දියේ ගිලී මිය යාම වැනි සමාජීය සිදුවීම් මේ කරුණට අනුව තේරුම් ගත් විට අප වෙනත් වැරදි නිගමනවලට යන්නේ නැත. පිහිනුම් ශූරයෙක් දියේ ගිලීම අනිවාර්යයක් නොව අහම්බයකි. එහෙත් ඒ මොහොතේ බලපෑ අමතර සාධකවලට අනුව අනිවාර්යයකි. මෙය සමාජ ක්‍රමවලටද අදාලය. වහල් ක්‍රමය වෙනස්වී වැඩවසම් ක්‍රමය ඒම අනිවාර්යය වූවා මෙන්ම ධනවාදය වෙනස්වී නව සමාජයක උපත සිදුවීමද අනිවාර්යයකි. ඒවා ප්‍රමාද වීම අහම්බයන්ය.

අසුබවාදයට නොවැටීමට

අනිවාර්යයක් හා අහම්බයක් තේරුම් ගැනීමට නොහැකි වීමෙන් සමාජයේ වැරදි ප්‍රවණතා දෙකක් මතුවේ. එකක් අසුබවාදය වන අතර අනෙක විඥානවාදයයි.
අසුබවාදය යනු අහම්බයක් අනිවාර්යයක් ලෙස සලකා නිතර ඊට බියෙන් සිටීමය. එවැනි අය ගුවන්යානාවල යාමට බියවෙති. ඒ, ගුවන්යානා අනිවාර්යෙන්ම කඩා වැටේ යන සිතුවිල්ල නිසාය. සමහරු උසකට නැගීමට බියවෙති. ඒ අනිවාර්යෙන් ඇද වැටේ යයි සිතාය. ඇතැමෙක් සමාජ ක්‍රම වෙනස් නොවේ යැයි සිතති. ඒ, පවතින දේ පැවතීම අනිවාර්යක් ලෙස සලකාය. සමහරු බරපතළ ශල්‍යකර්මවලට බයවෙති. ඒ, ඒවා අසාර්ථක වීම අනිවාර්යය සේ සලකාය. මන්ද අහම්බ ලෙස සමහර ශල්‍යකර්ම අසාර්ථකවී රෝගීන් මිය යන අවස්ථා තිබෙන නිසාය. මෙය බරපතළ වූ විට මානසික රෝගයක් බවටද පත්වේ. මෙහි අනෙක් අන්තයද ඇත. ඒ අහම්බ ගැන නොසලකා සිටීමය. එය සර්ව අසුබවාදය වේ. එවිට සිදුවන්නේ අහම්බ ලෙස සිදුවන අහිතකර දෙයක් වළක්වා ගැනීමට නොහැකි වීමය. ලොව බොහෝ නිෂ්පාදනවලදී අනිවාර්ය ගැන සේම අහම්බය ගැනද සිතා තිබේ. ගුවන්යානයම යළි උදාහරණයට ගත්විට එය අහම්බෙන් කඩා වැටිය හැකි නිසා සමහර සමාගම් ගුවන්යානාවලට එංජින් දෙකක් සවිකර තිබේ. ඒ, එකක් අහම්බෙන් අක්‍රීය වුවහොත් අනෙක පණ ගන්වා ගැනීම සඳහාය. එසේම ගුවන්යානාවල පැරචුට්, ජීවිතාරක්ෂක කබා ආදිය මඟීන් සඳහා සකස්කර ඇත්තේද මෙම අහම්බවලට මුහුණදීම සඳහාය. මොටර් රථවල අමතර රෝදයක් ගෙන යන්නේද අහම්බෙන් එක රෝදයක් අක්‍රිය වුවහොත් ඒ වෙනුවට යොදාගෙන ගමන යාම සඳහාය. මේ නිසා අහම්බ අනිවාර්ය ලෙස සලකා බියෙන් කටයුතු කිරීම මෙන්ම අහම්බ නොසලකා කටයුතු කිරීමද වැරදිය.

වෙලාවද? වාසනාවද?

ජීවිතයේ සිදුවන අහම්බ තේරුම් නොගැනීම නිසා මිනිස්සු විඥානවාදයට වැටෙති. වෙලාව, වාසනාව, අවාසනාව ආදි ලෙස පවතින අදහස්වල පදනමේ ඇත්තේ මෙම අහම්බයන්ය. අප හදිසි අනතුරකට, ආපදාවකට, රෝගී තත්වයකට අහම්බයක් ලෙස මුහුණ දුන්විට එය ‘නරක වෙලාව’ ලෙසද අවාසනාව ලෙසද සලකා හිත හදාගැනීමට මිනිස්සු පුරුදුව සිටිති. එසේම අහම්බෙන් යම් අනතුරකින් කරදරයකින් බේරුන විට එය ‘හොඳ වෙලාව’, ‘වාසනාව’ ලෙස විශ්වාස කරති. මේ නිසා බිහිවූ මිත්‍යා ඇදහිලි තිබේ. උදාහරණ ලෙස ගත හැක්කේ බල්ලන් කන්පට ගැසීම, හූනන් ඇඬීම අසුබ ලෙස සැලකීමය. සමහර විට ගමනක් යනවිට හූනෙක් ඇඬීමත් අහම්බෙන් එම ගමනේදීම කෙනෙකුට කරදරයක් වීමක් යන එකිනෙකට අසම්බන්ධිත සිදුවීම් දෙක එකට එක්කර ඉන් පොදු මිත්‍යා සංකල්පයන් ගොඩනගා ගැනීමට මිනිස්සු පෙළඹී සිටිති. හූනෙක් ඇඩීම හෝ බල්ලෙකු කන් සෙලවීම සමග අපට සිදුවන අහම්බීය කරදරවලට කිසිම සම්බන්ධයක් නැත. ඒවා අහම්බ වේ. එහෙත් ඒ අහම්බ අනිවාර්ය ලෙස සැලකීම නිසා මිනිස්සු මිත්‍යාවට ගොදුරු වෙති. ලෙඩට වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර ආගමික හෝ යන්ත්‍ර මන්ත්‍රවලින් වතාවත් කිරීමද එසේය. රෝගියා සුවවූ විට එය සිදුවූයේ යන්ත්‍ර, මන්ත්‍ර හෝ ආගමික වතාවත් නිසා යයි සිතති. රෝගියාගේ සුවවීම සමග ඉහත කටයුතුවල කිසිදු සම්බන්ධයක් නැත. මේ පිළිබඳ ප්‍රසිද්ධ ඉතාලි කියමනක් තිබේ. ඒ “රෝගියා මියගියේ නම් වෛද්‍යවරු ඔහු මරා දැමුවෝය, රෝගියා සුවපත් වූයේ නම් සුර දූතයෝ ඔහු බේරා ගත්තෝය” ලෙසය.

මේ සියලු කරුණුවලින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? ලෝකය හා එහි ක්‍රියාකාරකම් තේරුම් ගැනීමේදී නිවැරදි විද්‍යාත්මක දැනුම් ක්‍රමයක් යොදා නොගතහොත් මිනිසුන් මුලාවට හා දුෂ්කරතාවයට පත්වන බවය. අප අවට සිදුවන දේ පිළිබඳ නිරවුල් වැටහීමක් අපට තිබිය යුත්තේ ඒ නිසාය. අප අවට සිදුවන දේවල් සිදුවන්නේ අනිවාර්යයන් ලෙසත් අහම්බයන් ලෙසත්ය යන්නත් අහම්බ යනු අනිවාර්යයක් නොව විශේෂ හේතු නිසා නිර්මාණය වන දෙයක්ය යන්නත් වටහා ගත යුතුය. එහෙත් ඕනෑම ක්‍රියාවකදී ඕනෑම මොහොතක අහම්බ ඇතිවිය හැකි බවත් අප අනිවාර්යයන්ට මෙන්ම අහම්බයන්ටද මුහුණ දීමට සූදානම් නම් අපේ කටයුතු නොවරදින බවත් තේරුම් ගැනීම අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ හොඳ මෙන්ම නරකද අහම්බයන් මත සිදුවී තිබේ. ඒ නිසා අනිවාර්යය මෙන්ම අහම්බයද වටහා ගැනීම අත්‍යාවශ්‍යය.

මෙලෙසම ප්‍රකෘතිය හඳුනා ගැනීම සඳහා තවත් එක් ආකාරයක් ගැන කථාකිරීමට මීළඟට අපි හමුවෙමු.

අනිවාර්යය හා අහම්බය