යුග පෙරළි කළ අරගල මඟ

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ඉතිහාසයේ යුගයන් වෙනස් කළ අරගලයන් පිළිබදව පසුගිය කලාප කිහිපයකින් අප සාකච්ඡා කළෙමු. ඒ අනුව ඉතිහාසය යනු නිදහසේ ඉලක්කකර ගත් දිසාවකට ගමන් කරන්නක් නොවන බව අපට පෙනී යයි. මෙම ලිපි පෙළ ආරම්භ කරනු ලැබුවේද ඉතිහාසයේ සිදුවූ තීරණාත්මක අරගලයන් පිළිබඳව හා ඒවා ඇති වීමට බලපෑ සමාජ ආර්ථික කොන්දේසි මෙන්ම එම අරගලයන්ට ජනතාවගේ මැදිහත් වීම් පිළිබඳව අවධානය යොමු කිරීමටයි.

ඉතිහාසයේ පැවති ප්‍රාථමික සාමූහික සමාජය, වහල් හිමි හා වැඩවසම් සමාජ හා වර්තමානයේ පවතින ධනේශ්වර සමාජය ක්‍රමය එසේ හදුන්වනු ලැබුවේ ඒ ඒ සමාජයන් හි නිෂ්පාදන ක්‍රියාවලිය පදනම් කරගනිමිනි. ඒ අනුව වහල් හිමි සමාජයේදී ඇතිවූ වහල් කැරලිද, වැඩවසම් යුගයේ එයට එරෙහිව පැන නැගි අරගලයන්ද (ප්‍රංශ හා ඇමරිකන් විප්ලව) වැඩවසම් ක්‍රමයට එරෙහිව රුසියාව තුළ සිදුවූ ජනතා අරගලයන්ද අපි සාකච්ඡාවට බඳුන් කෙරුවෙමු. ඒ අනුව මුළු මහත් ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ, ඒ ඒ සමාජ අවධිවලදී පීඩනයට ලක්වන කිසියම් ස්ථරයක් විසින් තමන් පීඩාවට පත් කරන ස්ථරයට එරෙහිව අරගල කිරීම බව දැක්විය හැක.

“මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය පංති අරගලවල ඉතිහාසය වේ. නිදහස් මිනිසා සහ වහලාද, රෝම කුලීනයා සහ රෝම පොදු ජනයාද, රදළයා සහ ප්‍රවේණි දාසයාද, ශ්‍රේණි හිමියා සහ ජේ්‍යෂ්ඨ ආධුනිකයාද – වචනයකින් පැහැදිලි කළහොත්, පීඩකයා සහ පීඩිතයා එකිනෙකට විරුද්ධව නියත ලෙස නැගී සිට වරෙක සඟවුණා වූද, වරෙක විවෘත වූද සටනක්, එක්කෝ මුළුමහත් සමාජයම විප්ලවවාදී ලෙස ප්‍රතිනිර්මාණය කිරීමෙන් අවසන්වූ. නැතිනම් සටන් කරන පංතීන්ගේ පොදු විනාශයෙන් අවසන් වූ සටනක් නොකඩවාම කරගෙන ගියහ.”

මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය, පිට – 33

මෙය ග්‍රන්ථය රචනා කරන අවධිය වන විට පංති සමාජවලට පෙර පැවති සාමාජීය සංවිධාන පිළිබඳව සොයාගෙන නොතිබුණි.

වුවමනාව කාගේද?

ඉතිහාසයේ සිදුවූ යුග පෙරළි සහ ඒවා සිදු වීමට බලපෑ තීරණාත්මක අරගල කිසියම් පුද්ගලයෙකුගේ හෝ නැතහොත් කණ්ඩායමක තනි කැමැත්ත මතම සිදුවුවායැයි පැවසුවහොත් එය තාර්කික නොවේ. ඉතිහාසයේ කියවෙන දැවැන්තම වහල් කැරැල්ල ස්පාර්ටකස්ගේ පුද්ගල කැමැත්ත හෝ ඇමරිකානු විප්ලවය ජෝර්ජ් වොෂිංටන්ගේ, තොමර්ස් ජෙෆර්සන්ගේ හෝ ප්‍රංශ විප්ලවය දාර්ශනිකයකු වූ ජින් ජැක් වින් රූසෝගේ පෞද්ගලික කැමැත්ත පමණක් නොවීය. එසේම රුසියන් විප්ලවයද ලෙනින්ගේ තනි ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැක. එසේනම් මේ අරගලයන්ට පුද්ගල සාධකයන් අදාළ නොවේයැයි නිගමනය කළ හැකිද? එසේද නැත. මෙහිදී පුද්ගල සුවිශේෂතා බැහැර කළ නොහැක. නමුත් ඒ මොහොතේ පැවති සමාජ වුවමනාව නියෝජනය වූයේ සුවිශේෂී පුද්ගල චරිත හරහාය. මෙය පටලවා ගත යුතු නැත.

“මිනිස්සු ස්වකීය ඉතිහාසය නිර්මාණය කරති. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඔවුනට රිසි පරිදි නොවේ. ඔවුන් විසින් තෝරාගත් තත්වයන් යටතේ ඔවුහු එය නිර්මාණය නොකරති. ඔවුන් ඉදිරියේ පවතින, ඔවුනට ලැබී ඇති සහ අතීතයෙන් සංක්‍රමණය වූ තත්වයන් යටතේය. ඔවුන් නිර්මාණය කරන්නේ”

මාක්ස්-එංගල්ස් තෝරාගත් කෘති, 1 වැනි වෙළුම, 128 පිටුව

‘හීලෑ කළ සතුන්ගේ කැරැල්ල’

ප්‍රාථමික සාමුහික සමාජය බිඳ වැටීමෙන් අනතුරුව බිහිවූ වහල් හිමි සමාජ ක්‍රමයේ මූලික පංති බෙදීම වූයේ වහලා සහ වහල් හිමියා අතරය. වහලා පාලනය කරනු ලැබුවේ කසයේ බලයෙනි. මූලික බෙදීම වහලා සහ වහල් හිමියා අතර වුවත් වෙනත් පීඩක මෙන්ම පීඩිත ස්ථරයන්ද මේ සමාජයන්හි වූහ. උපකරණයන්ගේ වර්ධනයේ ස්වභාවය නිසාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අතිමහත් මිනිස් ශ්‍රමයක් එකල අවශ්‍ය විය. එම අවශ්‍යතාව තෘප්ත කරනු ලැබුවේ මූලික වශයෙන් යටත් කරනු ලැබූ ගෝත්‍රවල වහලුන් මගිනි. එම ක්‍රියාවලියට සාපේක්ෂව වහලුන් යනු හීලෑ කළ සතුන් නැතහොත් කථා කරන උපකරණයන් වශයෙන් සමාජ මතයක්ද එකල නිර්මාණය වී තිබුණි.
වහලුන් මත එල්ලවූ අධික පීඩනය හේතුවෙන් වහල් හිමියන්ට එරෙහිව කැරැලි ගැසීම් ඇතිවූ අතර යූනුස්, සැලිවියස් සහ ස්පාර්ටකස් යන වහලුන් විසින් නායකත්වය දුන් වහල් කැරලි මූලික වශයෙන් ඉතිහාසයේ සඳහන් වේ. මෙම කැරැලි හුදෙක් ඔවුන්ගේ පෞද්ගලික තීරණ නොව වහල් හිමියන්ගේ පීඩනයට එරෙහිව වහලුන්ගේ ප්‍රතිචාරය විය. එක පසෙකින් වහල් කැරැලිත් අනෙක් පසෙන්, නිෂ්පාදන උපකරණයන්ගේ සිදුවූ ක්‍රමික වර්ධනයත් හේතුවෙන් වහලා සූරාකෑමේ මාධ්‍ය වශයෙන් පවත්වා ගැනීමේ සමාජ වුවමනාවද අහෝසි විය. මේ නිසාම නිෂ්පාදන බලවේග විසින් නව නිෂ්පාදන සබඳතාවයක් ඉල්ලා සිටි අතර එහි අවසන් ප්‍රතිඵලය ලෙස වහලා වෙනුවට ඉඩම සූරාකෑමේ මාධ්‍යය බවට පත්ව ඉතිහාසයේ නව යුගයක් ඇති විය.

ඉඩමෙන් ඉවත් වීම

වහල් හිමි සමාජ අවධියෙන් පසු බිහි වූ වැඩවසම් සමාජ ක්‍රමය තුළ මූලික පංති බෙදීම සිදුවුයේ ඉඩම් හිමියන් සහ ප්‍රවේණි දාසයන් අතරය. ඉඩම සූරාකෑමේ මාධ්‍යය විය.වහලාට සාපේක්ෂව ප්‍රවේණි දාසයාට තම ශ්‍රමයේ කිසියම්ම ප්‍රතිලාභයක් ලැබුණද එක අතකින් මොහු ඉඩමට බැඳි ‘වහලෙක්ම’ විය. ඉඩම් හිමි රදල පංතිය විසින් දාසයන් මත එල්ල කළ පීඩනයද සුළුපටු නොවීය. ක්‍රමයෙන් සිදුවූ නිෂ්පාදන උපකරණයන්ගේ වර්ධනයට වැඩවසම් නිෂ්පාදන සම්බන්ධතා බාධා කරනන්ට විය. එහි තාර්කික ප්‍රතිඵලය වූයේ නව නිෂ්පාදන සම්බන්ධතාවක් බිහි වී සමාජය ඉදිරියට යෑමයි.
යුග පෙරළිවල මෙම මූලධාර්මික පදනම ප්‍රායෝගිත තලයේ සිදුවූ ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපි ප්‍රංශ විප්ලවය සාකච්ඡා කළෙමු. ලුවී රජ පරම්පරාව, පූජකයන්, ඉඩම් හිමි රදලයන් මේ සමාජයේ අධිපති පංතිය නියෝජනය කළ අතර ප්‍රවේණි දාසයන්, ගොවින්, සාමාන්‍ය ජනතාව සහ නැගී එන ධනපති පංතිය නිරන්තරයෙන් මොවුන්ගෙන් පීඩාවට පත් වූ බවත් සැබැවින්ම බිහිවෙමින් තිබු කාර්මික නිෂ්පාදනයන්ගේ හිමිකාරීත්වය ධනපති කොටස් සතුව වෙමින් පැවති අතර වැඩවසම් රාජාණ්ඩුව එයට බාධාවක් වූ බවත් හඳුනාගැනීමට හැකි විය.
වැඩවසම් රාජාණ්ඩුවේ ආකාර්යක්ෂම පාලනයත්, විදෙස් රටවල් සමග යුධ ගැටුම් ආදියට මැදිහත් වීම නිසා වූ අධික ණය බර ජනතාව මත පැටවීමත්, ගොවි ජනයාගේ සුවිශේෂ ගැටලුත් ආදිය නිසා ඔවුනුත් සම්බන්ධ කර ගනිමින් රාජාණ්ඩුව පෙරළා දැමීමට නැගී එන ධනපති පංතිය සමත් විය. 1789 ජූලි 14 බැස්ටීලයට පහර දීම වැඩවසම් පාලනය අවසන් කිරීම වශයෙන් හැඳින්වුවද ඉන්පසු වසර ගණනාවක් ගොවි ජනතාව, පීඩිත ජන කොටස් හා ධනපති පංතිය ගෙන ගිය අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් ලෙස වැඩවසම් ක්‍රමය බිඳවැටී ප්‍රංශයේ ධනේශ්වර ක්‍රමය ස්ථාපිත විය.
ඇමරිකානු විප්ලවය දෙසට අවධානය යොමු කළ විට එයද පදනමින් වැඩවසම් ක්‍රමයට එරෙහි අරගලයක් බව පෙනීගියද මෙහි ප්‍රවේණි දාසයන් හෝ ඉඩම් හිමි රදලයන් අපට මුණ ගැසෙන්නේ නැත. බි්‍රතාන්‍ය රාජාණ්ඩුවට එරෙහිව මෙහිදි අරගල කරනු ලබන්නේ ඇමරිකානු ජනපදවාසීන් සහ නැගී එන වෙළද ප්‍රජාවයි. ඇමරිකාවේ ආර්ථිකය තමන්ට එරෙහි නොවන ආකාරයට පවත්වා ගැනීම බි්‍රතාන්‍යයේ වුවමනාව වූ නිසාවෙන් විවිධ බදු වර්ග මෙන්ම නව භාණ්ඩ නිපදවීම තහනම් කිරීම, ඇමරිකාව තුළ කර්මාන්ත ශාලා ඇති කිරීමට ඉඩ නොදීම ආදී කාරණා නැගී එන වෙළද ප්‍රජාවට මෙන්ම ජනපදවාසීන්ටද ඉමහත් පීඩාකාරී කාරණා විය.
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ, මේ පීඩනයන්ට එරෙහිව සංවිධානය වූ ජනතාව සන්නද්ධ වී සිවිල් යුද්ධයකින් බි්‍රතාන්‍ය රාජාණ්ඩුවේ යටත්විජිත පාලනය අවසන් කර දැමීමයි. එනිසා ඉහත සඳහන් ප්‍රංශ සහ ඇමරිකන් විප්ලවයන් හුදෙක්ම එම අරගලයන්ට සම්බන්ධ වූ ජනතාවගේම වුවමනාව නොව ඒ මොහොතේ පැවති සමාජ වුවමනාව ලෙස හැඳින්විය හැක.

වැඩවසම් රුසියාව සමාජවාදයට

1917 ඔක්තොම්බර් රුසියාවේ සිදුවූ සමාජවාදී සමාජ විප්ලවයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරන ලද්දේ ලෙනින් ප්‍රමුඛ නිර්ධන පංතියේ දේශපාලන පක්ෂ විසින් බව විවාදයකින් තොරව පිළිගත හැක. එහෙත් එම බල පෙරළිය ඓතිහාසික තත්වයන්, පුද්ගල සුවිශේෂීතා මත සිදුවූ ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් බව අප අමතක කළ යුතු නැත.
ඒකාධිපති සාර් පාලනයෙන් හා වැඩවසම්වාදයෙන් බැටකෑ ගොවීන්, කම්කරුවන්, ශිෂ්‍යයින්, සාමාන්‍ය ජනතාව මෙන්ම සාර්ගේ යුද පරාජයෙන් හෙම්බත් වූ හමුදා කොටස්ද ගොනු කරගනිමින් සංවිධානාත්මක සන්නද්ධ අරගලයක් මගින් සාර් පාලනය පෙරළා දැමීමට ලෙනින් නායකත්වය දුන් බෝල්ෂෙවික් පක්ෂයට හැකි විය. මෙය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වූයේ වැඩවසම්වාදී රුසියාව ඔක්තෝබර් විප්ලවය සමග සමාජවාදී මඟට පිවිසීමයි.
මේ ආකාරයට ඉතිහාසය වෙනස් කළ අරගලයන් පිළිබද අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ පීඩාවට පත් වූවන් විසින් තමන් පීඩාවට ලක් කරන්නට එරෙහිව සිදුකරන ලද අරගල ඔවුන්ගේ පෞද්ගලික කැමැත්තම මතම සිදුවුවක් නොව ඒ මොහොතේ පැවති සමාජමය වුවමනාව තෘප්ත කළ බවයි. මේ සමාලෝචනයත් සමඟ ‘ඉතිහාසය වෙනස් කළ අරගල’ ලිපි පෙළ සමාප්ත වේ.

යුග පෙරළි කළ අරගල මඟ