1917 විප්ලවය ඇරඹෙයි

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1905 ජනතා නැගිටීම් හමුවේ අඩියක් පිටුපසට ගත් සාර් යම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ජනතාවට ලබාදෙන බවට පොරොන්දු විය. ඩූමාවට (පාර්ලිමේන්තුවට) මහජන නියෝජිතයින් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් පවත්වන බවට පොරොන්දු වීම ඉන් ප්‍රධාන එකක් විය. කෙසේ වුවද ජනතා පරාජය හමුවේ එම පොරොන්දු ඉටු කිරීමට සාර්ට සැබෑ වුවමනාවක් නොවීය. 1906 දී ඩූමාව රැස්වුණු අතර එයද සාර් පාලනයට රිසි නොවූ හෙයින් අවලංගු කෙරුණු අතර මේ ආකාරයට කිහිප වරක්ම ඩූමාව අවලංගු කරන ලදී.
1905 දී පැන නැගුණු ජනතා අරගලයන්ගේ මූලික අභිප්‍රාය වූයේ ඒකාධිපති සාර්වාදය පලවා හැරීමය. එම පොදු අරමුණ තුළ කම්කරුවන්ට සුවිශේෂ වූ පැය 18ක පමණ සේවා කාලය, එයට සරිලන වැටුපක් නොමැති කම. දිළිදු ගොවි ජනයාට විශේෂ වූ වගා කටයුතු සඳහා ඉඩම් නොමැතිකම ආදී දුක්ගැනවිලි ගැබ්ව තිබිණි. එසේම රාජාණ්ඩුවට එරෙහිව දේශපාලන ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු වූ විප්ලවකාරීන්ගේ වුවමනාවන්ද ඒ අතර විය.
1905 පරාජයත් සමග මේ කිසිදු ඉල්ලීමකට විසඳුම් අරගල කළවුන්ට නොලැබුණු අතර ඔවුන් මත එල්ල වන මර්දනය වඩාත් තීව්‍ර වන්නට විය. පරාජයෙන් පසු ආසන්න කාලයේ නව අදහස්වලට ඉඩ ඇවිරිණි. විප්ලවකාරී සංවිධාන බොහොමයක් විනාශ කර දැමීමට සාර් පාලනයට හැකි විය. ලෙනින් ඇතුළු දේශපාලන ක්‍රියාධරයෝ විදේශයන්හි සිට තම දේශපාලන කටයුතු නොකඩවා කරගෙන ගියහ. එහෙත් මෙකල රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුළ මෙන්ෂවික් ප්‍රවණතා වර්ධනය වන්නටද විය. ජපානයට පරාජය වීමෙන් පසු ලෝකය පුරා තිබූ රුසියානු අභිමානය බිද වැටුණි. එනිසාම රුසියානු අභිමානය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීමේ වුවමනාවක් යුද්ධයෙන් හෙම්බත් වූ සෙබළුන් තුළ මෙන්ම සාමාන්‍ය ජනයා තුළද නොවීය. නොවිසඳුණු ගැටලු හමුවේ කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ දිළිදු ජනයාගේ ජීවන මට්ටම් ඉතා පහළ මට්ටමකට ඇද වැටුණි. එනිසාම ඔවුන් තුළ සාර් විරෝධය පිමි ගණනින් වර්ධනය වන්නට විය.

ලේනා ආකරයේ පිම්ම

1905 පරාජයෙන් පසු වසරවල් ප්‍රතිවිප්ලවීය කාලයක්ම විය. සාර් පාලනය ජනතා නැගිටීම් පාලනය කර ගෙන සිටියේ මතු පිටට ඒමට නොදී රබර් බෝලයක් ජලයේ ගිල්වා සිටින සේය. එක් නිමේෂයක බෝලය ජලය මතු පිටට පැමිණියේය. ඒ, ලේනා රන් ආකරයේ වැඩ වර්ජනයයි. 1912දී නැගෙනහිර සයිබීරියාවේ පිහිටි ලේනා ආකරවල කම්කරුවන් විසින් අරඹන ලද වැඩවර්ජනය සාර් පාලනය විසින් ක්‍රෑර ලෙස මර්දනය කරන ලදී. වර්ජිත කම්කරුවන්ගේ නිරායුද පෙළපාලියට වෙඩිතබා කම්කරුවන් රැසක් ඝාතනයට ලක්කිරීමේ සිදුවීම සාර්ට එරෙහි ජනතා විරෝධය වැඩි දියුණු කරන්නට විය.

“ලේනා වැඩවර්ජනය හා ඉනික්බිති සිදුවීම් මගින් රුසියානු විප්ලවවාදී ව්‍යාපාර ඉතිහාසයේ නව පිටුවක් ආරම්භවූ බව සනිටුවන් කෙරුණි. මෙකී ප්‍රතික්‍රියාව ජුනි 03දා සටහන් විය. විප්ලවාදීන් දිගින් දිගටම එල්ලා මරණු ලැබීම හා වෙඩි තබා ඝාතනය කරනු ලැබීම හේතු කොට ගෙන විප්ලවවාදී ව්‍යාපාරය තාවකාලිකව රහසිගත තත්ත්වයට පත් කරන ලද නමුත් ලේනා සිදුවීම්වලින් අනතුරුව ඉතා හොදින් පැහැදිලි වූයේ, ආර්ථිකය පුළුල් වීමේ පදනම යටතේ කම්කරු පංතිය තම ශක්තිය ප්‍රාණවත් කර ගනිමින් නැවත අරගලයට පිවිසෙමින් සිටින බවය.”

බොල්ෂවික් පක්ෂයේ ඉතිහාසය, 237 පිටුව – (පරිවර්තනය- මනෝ ප්‍රනාන්දු)

මේ සිදුවීම සාර්ට එරෙහිව වැඩකරන ජනතාව අරගල කිරීමට සූදානම් බවට දුන් සංඥාවක් ලෙසද හැදින්විය හැක. තවද මේ සිදුවීම පදනම් කරගනිමින් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය යළි ගොඩනැගීම ආරම්භ කළ අතර එම වසරේදීම එනම් 1912දී ප්‍රාග් නුවර පැවැත්වූ පක්ෂ සම්මේලනයේදී මෙන්ෂවික්වරුන්ගෙන් මුළුමනින්ම වෙන්වී පක්ෂය තුළ බොල්ෂවික් බලය තහවුරු කර ගැනීමට හැකිවිය.
කම්කරුවන්ගේ වැඩ වර්ජන රැල්ලත් විප්ලවවාදී පක්ෂයේ නව වැඩපිළිවෙළත් හේතුවෙන් සාර්ට එරෙහි පුළුල් බලවේගයක් රුසියාව තුළ නිර්මාණය වෙමින් තිබුණි. 1914 පමණ වන විට මේ තත්වය වඩාත් හොදින් මුහුකුරා ගියේය. ලෝක තත්වයන් වෙනස් වෙමින් තිබුණි. නව වෙළඳ භූමි සොයා ගැනීම සඳහා අධිරාජ්‍යවාදී රටවල් අතර තරඟයක් හට ගැනුණි. පළමුවන ලෝක යුද්ධය ලෙස කරළිගත වෙන්නේ, මෙම රටවල් අතර තරඟයයි. කෙසේ නමුත් රුසියාවටද මෙය මඟ හැර යා නොහැකි තත්වයක් විය. සාර්ගේ අභිප්‍රාය වූයේද නව යටත්විජිත අත්පත් කර ගැනීමය. එහෙත් පළමුවන ලෝක යුද්ධයට සම්බන්ධ වීමෙන් තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත්පත් කර ගැනීමට සාර් පාලනයට නොහැකි විය. ඔවුනට උරුම වූයේ පරාජයයි.

“යුදයේ දී රුසියානු හමුදාව අන්ත පරාජිත අවස්ථාවන්ට මුහුණ දුණි. සාමාන්‍යයෙන් යුද පිටියට බැසගත් විශාලතම හමුදාව එය විය. එහෙත් රුසියානු යුද නායකයෝ පවා එතරම් බුද්ධිමත් නො වූහ. – ඔවුහු ඉතාමත් අදක්ෂ උදාසීන කොටසක් වූහ. රුසියානු භටයෝ නවීන යුද්ධෝපකරණ ආදියෙන් සජ්ජිත නො වූහ. ඔවුනට කිසිම උදව් උපකාරයක් හෝ අනුබලයක් අනුග්‍රහයක් නො වීය. සතුරන් අභිමුඛයේ අනාථයන් බවට පත් ඔවුන්ගෙන් සිය දහස් ගණන් ජනයා මරුමුවට පත් වූහ.”

ශ්‍රී ජවහර් ලාල් නේරුගේ ලෝක ඉතිහාස සිහිවටන, පිටුව – 701

රුසියාවේ පරාජය හමුවේ දහස් ගණන් සොල්දාදුවෝ යුධ පෙරමුණ හැරදා පලාගියහ. ආහාර නිෂ්පාදනය බිඳවැටුණෙන් පීඩිත ජනයා කුසට අහරක් ඉල්ලා මඟට බටහ. ඉඩම් අහිමි ගොවීහු ඉඩම් ඉල්ලා අරගල කළහ. රුසියන් විප්ලවය වෙනුවෙන් ලෙනින් සාමය, පාන් සහ ඉඩම් යන සටන් පාඨය නිර්මාණය කරන්නේ මෙවැනි වටපිටාවකය. පළමුවන ලෝක යුද්ධය ඇති වන විට ධනවාදය අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වී තිබුණි. ලෙනින්ගේ අදහස වූයේ සමාජවාදී සමාජ විප්ලවය දියුණු ධනපති රටවලින් පමණක් නොව රුසියාව වැනි අධිරාජ්‍යවාදී දම්වැලේ දුබල පුරුක් තුළින්ද සිදු විය හැකි බවය. මේ මතය පක්ෂයට කා වැද්දීමට ලෙනින් සහෝදරයාට ඉමහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය.

සාර්ගේ පලායෑම

ජනතා අරගල කෙමෙන් උත්සන්න වෙද්දී එම අරගල මර්දනය කිරීම සඳහා සාර් විසින් එවූ යුද සෙබළු කැරලි ගසන ජනයා හා එක් වූහ. තත්වය තවත් වර්ධනය වෙද්දී සාර්ට එරෙහි ඔහුගේම හමුදා සේනාංක පිටින් අරගලකරුවන් හා එක් විය. පෙට්‍රොග්‍රෑඩයේ බලය කැරලිකරුවන්ට බලය ලබා ගත හැකි විය. එයට මුල් වූ එක් කාරණයක් වූයේ එහි කම්කරු ගහනය වැඩිවීමයි. ඒ වන විටත් රුසියාව තුළ පිහිටි කර්මාන්තශාලා වැඩිම ප්‍රමාණයක් පිහිට තිබුණේ මේ නගරයේය. පෙට්‍රොග්‍රෑඩයේ ලබා ගත් ජයග්‍රහණය මොස්කව් නගරයටත් පැතිරුණු අතර පසුව එම ජයග්‍රහණයන් රුසියාව පුරා ව්‍යාප්ත විය. සැබවින්ම මෙහි බලය අත්පත් කර ගත්තේ හුදකලා කම්කරුවන් නොව ගොවීන්, කම්කරුවන් සහ සෙබළුන්ගෙන් සමන්විත රුසියන් විප්ලවයේ නියෝජන ආකෘතියක් වූ ‘සෝවියට් සභා’ විසිනි.

‘සෝවියට් සභා‘ විසින් සාර් පලවා හැර බලය ලබා ගත්තද ගොඩනැගුණු තාවකාලික ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ, ධනපති පංතිය නියෝජනය කළ නායකයෙකු වූ ‘කෙරෙන්ස්කි’ය. සැබැවින්ම 1917 පෙබරවාරි සිදුවූ බල හුවමාරුවෙන් ගම්‍ය වූයේ රුසියාවේ ධනේශ්වර විප්ලවයයි. සෝවියට් සභා නියෝජනය කළ මෙන්ෂවිකයින් කොන්දේසි විිරහිතව තාවකාලික ආණ්ඩුවට සහය දුන් අතර මෙන්ෂවික් නායකයෙකු වූ ට්සෙරතේලි විසින් එම ආණ්ඩුවේ ඇමති ධූරයක්ද බාර ගන්නා ලදී. එසේම එම සභාවල සිටි ඇතැම් බොල්ෂවික් නියෝජිතයින්ද 1905 නැගිටීමේදී සිදු කළා මෙන් තාවකාලික ආණ්ඩුවට සහය දිය යුතු බවට ලෙනින්ටද යෝජනා කරන්නට වූහ. එහෙත් එම යෝජනා ප්‍රතික්ෂේප කළ ලෙනින් සාර් ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවද ජනතා පීඩක ආණ්ඩුවක් හෙයින් එයද පලවා හැරිය යුතු බව ප්‍රකාශ කර සිටියේය.

“සෑම විප්ලවයකදීම ඉතාමත් ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රාජ්‍ය බලය පිළිබද ප්‍රශ්නයයි. සියල්ලම තීරණය වන්නේ, බලය තිබෙන්නේ කුමන පංතිය අතේද යන්න අනුවය”

ලෙනින් – තොරාගත් කෘති, 05 වෙළුම, 271 පිටුව

ද්විත්ව බලය

සාර් පෙරළා දැමීමේ ජනතා අභිලාෂයන් නව ආණ්ඩුව තුළින්ද ඉටු නොවන තත්වයක් තුළ සාර්ට එරෙහිවූ ජනතාවම තාවකාලික ආණ්ඩුවට එරෙහිවද කටයුතු කරන්නට විය. එසේම ‘සෝවිට් සභා’ තුළ බොල්ෂවික් බලය තහවුරු කර ගත් ලෙනින් ප්‍රමුඛ පිරිස එම සභාද තාවකාලික ආණ්ඩුවට එරෙහිව මෙහෙය වන්නට වූහ.
අනෙක් පැත්තෙන් තාවකාලික ආණ්ඩුවද ස්ථාවර ධනපති ආණ්ඩුවක් බවට පත් වීම ඉලක්ක කර ගනිමින් ධනපති කොටස්වල මෙන්ම ඉඩම් හිමියන්ගේ සහයෝගයෙන් සෝවිට් සභා විනාශ කිරීමට අර අදිමින් සිටියේය. ඒ අනුව ආයුධ සන්නද්ධ කම්කරුවන් සහ සෙබළුන් නිරායුධ කිරීමට ආණ්ඩුව කටයුතු කරත්ම දෙපාර්ශවයේ ගැටුම තීව්‍ර විය. මේ අනුව රුසියාව තුළ ද්විත්ව බලයක් ගොඩ නැගුණි. ඒ, තාවකාලික ආණ්ඩුවද අනෙක් පැත්තෙන් ආයුධ සන්නද්ධ සෙබළුන්ගෙන් හා කම්කරුන්ගෙන් සමන්විත ‘සෝවිට් සභා’ වශයෙනි.
මේ අතර 1917 ජුනි 03 සහ 04 දිනයන්හි නැවත වතාවක් කම්කරුවන්ගේ නැගිටීමක් සිදුවිය. මේ තත්වය පදනම් කර ගනිමින් තාවකාලික ආණ්ඩුවට එරෙහිව කැරලි ගසා එය පලවා හැරිය යුතු බවට පක්ෂය තුළින් පැමිණි යෝජනා ලෙනින් ඉවත දැමුවේ ඒ සඳහා තත්වයන් මෝරා නැති බව පවසමිනි.
විප්ලවය තවත් ආසන්න කරවූයේ කර්නිලොව්ගේ කැරැල්ලයි. සාර් හමුදාවේ හිටපු ප්‍රධානියකු වූ කර්නිලෝව් 1917 අගෝස්තුවේදී ඉඩම් හිමියන්ගේ සහ ධනපතින්ගේ වුවමනා නියෝජනය කරමින් ප්‍රතිවිප්ලවීය කැරැල්ලක් දියත් කරන ලදී. ඔවුන්ගේ අරමුණ වූයේ, පෙට්‍රොගෑඩයේ බලය ලබා ගෙන බොල්ෂවිකයන් විනාශ කොට සෝවිට් සභාද විසුරුවා දමා රට යුද ආඥාදායක්වයකට යටත් කර ගැනීමය. එම කැරැල්ලට මුහුණ දීම සඳහා කම්කරුවන් වඩා හොදින් සංවිධානය කරමින්ද රතු හමුදා සේනාංක ගොඩනගමින්ද බොල්ෂවිකයන් ගෙන ගිය ක්‍රියාවලිය හේතුවෙන් තාවකාලික ආණ්ඩුවට කැරැල්ල මැඩ පැවැත් වීමට සිදුවූ විය. කැරැල්ලට මුහුණ දීම සඳහා ගෙන ගිය අරගලය අවසානයේ මනාව සංවිධානය වූ ආයුධ බලයෙන් සන්නද්ධ වූ කම්කරුවන්ගෙන් සහ සෙබළුන්ගෙන් සමන්විත සංවිධාන ගොඩ නගා ගැනීමට බොල්ෂවික්වරුන්ට හැකි විය.

සමාජවාදයේ උදාව

කර්නිලෝව් කැරැල්ලේ පරාජය හමුවේ ඇති වූ නව පිබිදීමත් සමග තාවකාලික ආණ්ඩුවට අභියෝග කිරීමට සමත් කම්කරු බලයක් ගොඩනැගුණු අතර සෝවියට් සභාවල බහුතර බලයද බොල්ෂවිකයන්ට ලබා ගත හැකි විය. ඇති වූ නව තත්වය හමුවේ ප්‍රමාද නොවී වහ වහා කැරලි ගසා නැගී සිට තාවකාලික ආණ්ඩුව පෙරළා දමා බලය අල්ලා ගත යුතු බවට ලෙනින් තීරණය කළේය.

“විප්ලවවාදීන්ට අද ජයග්‍රහණය කරගත හැකියාව තිබියදී (අද ඒකාන්තයෙන්ම ඔවුන් දිනනු ඇත) හෙට බොහෝ දේ නැතිවී යාමේ අවදානම තිබියදී, ඇත්ත වශයෙන්, සියල්ලම නැතිවී යාමේ අවදානම තිබියදී ප්‍රමාදවීම ගැන ඉතිහාසය ඔවුනට සමාව නොදෙනු ඇත.”

ලෙනින් – තොරාගත් කෘති, 06 වෙළුම, 245 පිටුව

ලෙනින්ගේ ප්‍රධානත්වයෙන් රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ මඟ පෙන්වීම යටතේ 1917 ඔක්තෝම්බර් 24 (නව දිනදර්ශනයට අනුව නොවැම්බර් 09) වැනිදා නිර්ධන පාංතික රාජ්‍යයක් බිහි කිරීමට රුසියානු ගොවි, කම්කරු ජනයාට හැකි විය.

1917 විප්ලවය ඇරඹෙයි