ඉතිහාසය ඉගෙන ගැනීමේ වැදගත්කම සහ එය හැදෑරිය යුත්තේ කෙසේද යන්න පිළිබදව පසුගිය කලාපයේ අප සාකච්ඡා කළෙමු. මානව සමාජයේ යුග වෙනස් කළ අරගලයන්ගෙන් කිහිපයක් පිළිබදව පමණක් අවධානය යොමු කිරීමට අප මෙහිදි අදහස්කර සිටිමු. එනම් වහල් හිමි සමාජයේ ඇතිවූ ස්පාටකස් නායකත්වය දුන් වහල් අරගලයත්, වැඩවසම් ක්‍රමය පෙරළා ධනේශ්වර ක්‍රමයට අවතීර්ණ වීමේ අවධියේදී සිදුවූ ප්‍රංශ සහ ඇමරිකානු විප්ලවත් ධනේශ්වර ක්‍රමයට එරෙහි වූ රුසියානු, චීන සහ කියුබන් විප්ලවත් ඒ අතරින් කිහිපයක් වේ.
ආදි කල්පිත මිනිසාගේ ආහාර සොයා ගැනීමේ ක්‍රියාවලිය ඉතාම ප්‍රාථමික මට්ටමක පැවති බව ඉතිහාසය අධ්‍යනයේදි අපට පෙනී යයි. එනිසාම තම යැපුම් මාර්ග සවිකරගැනීම වෙනුවෙන් සත්ව විද්‍යාත්මක ස්වරූපයන් පසෙකලා සාමාජීය අරමුණක් වෙනුවෙන් එක්සත් වීමට ආදිතම මානවයාට බල කෙරුණි. සාමුහික බවෙන් තොරව ඔවුනට ජීවිතයක් නොවීය.
මෙම සමාජයෙහි නිෂ්පාදනය පදනම් කර ගනිමින් මිනිසා සංවිධානය වූ ඓතිහාසික ආකාරය ගණය ලෙස හැදින්වන අතර නිෂ්පාදන උපකරණයන්හි සිදුවූ වර්ධනයන් හේතුවෙන් මානව ප්‍රජාව සංවිධානය වී තිබූ ආරම්භක ආකාරය කිසියම් වෙනසකට භාජනය විය. ගණ කිහිපයක් එකතු වීමෙන් “සහෝදර සංගම්” නිර්මාණය වූ අතර සහෝදර සංගම් කිහිපයක් එකතු වීමෙන් ගෝත්‍ර බිහි වන ලදී. ගණ කිහිපයක් එක් වීමෙන් සෑදුණු ගෝත්‍ර තුළ මිනිසුන් සිය ගණන් හෝ ඇතැම් විට දහස් ගණනින් වුවද සිටින්නට ඇත.
පංති සමාජය ඇරඹේ
ක්‍රමයෙන් සිදුවූ නිෂ්පාදන උපකරණයන්හි වර්ධනයත් සමග නිෂ්පාදනයේ අතිරික්තයක් බිහි වූ අතර එය බිහි වීමත් සමග මෙතෙක් සාමුහිකව තිබූ මිනිස් සමාජය තුළ අසමානතාව හිස එස වීය. එම අසමානතාව වර්ධනය වීමේ ප්‍රතිඵළයත් ලෙස නිෂ්පාදනයේ වැඩි කොටසක් සුළු පිරිසකට හිමි වූ අතර සාතිශ්‍ය බහුතරයකට එම සුළු පිරිසකගේ අණසකට යටත් වී සිටීමට සිදුවිය. වහල් යුගයේ ආරම්භය ලෙස හඳුන්වනු ලබන්නේද මෙම සාමූහික බව බිඳ වැටීමෙන් ඇති වූ නව තත්වයයි. වහල් ක්‍රමය ලොව ප්‍රථම සූරාකෑමේ ක්‍රමය වූ අතර එම සමාජය ලොව ප්‍රථම පංති සමාජය විය.
“වහල්ලු වගේ අපිව තලල පෙළල වැඩ ගන්නවා” , “වහලෙක් වගේ මුළු දවසම වැඩ කළා ” කැමැත්තකින් තොරව කිසියම් බලපෑමකට යටත්ව වෙහෙස වී වැඩ කරන පිරිසකගේ හෝ පුද්ගලයෙකුගේ මුවින් ඉහත දැක්වූ ආකාරයේ වදන් පිටවීම සාමාන්‍ය තත්වයකි. මෙවන් වදන් පිටුපස වහලා යනු කරන කාර්යය පිළිබද කිසිදු කැමැත්තකින් තොරව ඉතාම වෙහෙසවී වැඩ කරන්නෙකු යන අරුත ගැබ් වී ඇති බව පෙනේ. එහෙත් අප ජීවත් වන වටපිටාව තුළ වහලා පිළිබඳ සංකල්පයක් ඇති වන්නේ විශේෂයෙන් බි්‍රතාන්‍ය යටත්විජිත අවධියේ මෙරටට අප්‍රිකාව ආදි රටවලින් ගෙන ආ වහල් ජනයා පිළිබදව මුඛ පරම්පරාවෙන් පැවතෙන කතාබහ අනුව විය හැක. අප කුඩා අවධියේදී අපේ වැඩිහිටියන් විසින් කටට ඉබ්බා දමා අත්වලට සහ කකුල් වලට මාංචු දමා ගෙනා කළු ජාතික මිනිසුන් පිළිබද කථා තවමත් අප මතකයේ රැදී ඇත. එනිසා වහලා කිවූ විගස මනසේ ඇදී යන්නේ කළු, හැඩි දැඩි, අතේ දම්වැල් කෑලි සහිත රෞද පෙනුමක් ඇති මිනිසෙකි.
එහෙත් අප මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කරනු ලබන්නේ, ඉහත සඳහන් ආකාරයේ වහල් පුද්ගලයින් ගැන නොව ක්‍රි.පූ.වලටත් පෙර අවධියේ බිහිවූ වහල් සමාජ ක්‍රමයක වහලුන් පිළිබදවය.
පුරාණ ග්‍රීක හා රෝම රාජ්‍යයන් පිළිබදව අවධානය යොමුකළ විට වහල් යුග පිළිබදව යම් අදහසක් අපට ගත හැක. අද අපට එක මොහොතකින් ලෝකයේ ඕනෑම ඉසව්වක සිටින පුද්ගලයෙකු සන්නිවේදන ක්‍රම හරහා සම්බන්ධ කර ගත හැක. එහෙත් එදා එවන් දෙයක් පිළිබදව සිතා ගැනීමටවත් නොහැකි වන්නට ඇත. බලශක්තිය කියා සංකල්පයක්වත් නොතිබුණු යුගයක බාහු බලය මත සියලු උපකරණ කරණ ක්‍රියාත්මක කරන වට පිටාවක වහලාගේ භූමිකාව කෙසේ වන්න ඇද්ද?
ක්‍රි.පූ. 4000දී පමණ ඈතදී මිනිසුන් විසින් තඹ සොයාගත් බව පත පොතෙහි සඳහන් වේ. නමුත් ඒවා ලබා ගැනීම සඳහා පොළොවේ අඩි සිය ගණනක් කැණිම් කළ යුතු වේ. එහෙත් එදා මෙම තඹ ආකරවල කැණිම් සඳහා අද මෙන් දියුණු උපකරණ නොවූ වට පිටාවක් තුළ ඒ සියල්ල සිදු කරනු ලැබුවේ වහල්ලුන් විසිනි. දහස් ගණනක් වහල්ලු ඒ සඳහා යොදාගත් අතර විවේකය, අසනීපයක් වූ විට බෙහෙත්, බීමට අවශ්‍ය තරම් ජලය යන කාරණා අදාල නොවීය. අදාල වූයේ වහලා කෙතරම් ප්‍රමාණයක් වැඩ කරන්නේද යන්න පමණකි. මරණය තෙක් වැඩ කිරීම ඔවුන්ගේ එකම කාර්යය විය.
ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේ (ක්‍රි.පූ. 3100- ) ලොව මවිතයට පත් කළ පීරමීඩ නිර්මාණය වූ බව ලෝක ඉතිහාසය අපට කියා පායි. එහෙත් ඒ දැවැන්ත නිර්මාණ පිටුපස ශ්‍රමය වැගුරුවන් පිළිබද ඉතිහාසය සඳහනක් නොකරන මුත් සැබැවින් එය වහලුන් දහස් ගණනකගේ ශ්‍රමයේ ප්‍රතිඵලයක් බව ඉතා පැහැදිලිය. අද මෙන් කැටපිලර්, බුල්ඩෝසර් මහා ගල් කණු එසවීමට විද්‍යුත් දොඹකර වැනි දියුණු මට්ටමේ නිෂ්පාදන උපකරණ නොතිබූ යුගයක දැවැන්ත පිරමීඩ ඉදිකරනු ලැබුවේ දහස් ගණන් වහලුන් හැර වෙන කිසිවෙක්ද? රජ වරුන්ගේ, රැජිනියන්ගේ මළ සිරුරු හෙවත් මමී පිරමීඩයන්හි තැන්පත් කිරීමට පෙර එය ගොඩනැගීමට දායක වූ වහලුන්ගේ දස දහස් ගණනක් මළ සිරුරු එම භූමියේ මිහිදන් නොවුණේයැයි කිව හැක්කේ කාටද?.
කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, හස්ත කර්මාන්ත ආදිය මෙන්ම නෞකා ගමනාගමනය වැනි ක්ෂේත්‍රයන්හි අත්පත් කර ගන්නා වර්ධනයත් සමග වහලුන්ගේ ශ්‍රම දායකත්වය වැඩි වැඩියෙන් අවශ්‍ය විය.
“ඇතැන්ස් රජයේ සමෘද්ධිමත් කාලයේ උච්චස්ථානයේදී, එහි වාසය කළ නිදහස් පුරවැසියන්ගේ සංඛ්‍යාව – ස්ත්‍රීන් හා ළමයින්ද ඇතුළුව – 90,000කි. ස්ත්‍රී පුරුෂ වහලුන්ගේ සංඛාව 365,000කි. ආගමනිකයින්ගේ සහ නිදහස ලැබූ වහලුන්ගේ සංඛ්‍යාව 45,000කි. එනයින් සෑම නිදහස් පුරුෂ පුරවැසියෙකුටම වහලුන් 18 දෙනෙකු සහ නඩත්තු වන්නන් දෙදෙනෙකුට වැඩි සංඛාවක් බැගින් විය.”
-්මාක්ස් එංගල්ස් – තෝරාගත් කෘති වෙළුම 3, පිට 26
කථා කරන සත්වයා
වහල් හිමි සමාජය තුළ ප්‍රධාන පංති දෙකක් විය. ඒ වහල් හිමියන් හා වහලුන්ය. වහල් ශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවූ නිෂ්පාදන අතිරික්තය හේතුවෙන් එම සමාජයේ යම් ස්ථරයකට කිසිදු වෘත්තියක නොයෙදී ජීවිකාව පවත්වාගෙන යෑමේ ඉඩකඩක් විවර විය. එබැවින් මේ අවධියේදී නොයෙක් විෂයන් සම්බන්ධයෙන් දාර්ශනිකයන් මෙන්ම දාර්ශනික ගුරු කුලද බිහිවිය. තාරක විද්‍යව, තර්ක ශාස්ත්‍රය, ගණිතය, ජ්‍යාමිතිය හා වෛද්‍ය විද්‍යාව යානදී විෂයන් මේ අවධියේදී යම් වර්ධනයක් අත්පත් කරගන්නා ලදී. සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ සිසෙරෝ ආදී ඉතිහාසගත පුද්ගලයින්ද අපට හමුවන්නේ මෙම වහල් යුගයේදීය.
කෙතරම් දාර්ශනිකයන් බිහි වුවද වහලුන් යනු මිනිසුන්ය යන අදහසක් ඔවුන් තුළ පවා නොවීය. ඇරිස්ටෝටල්ට අනුව එදා ග්‍රීක සමාජයේ වහලුන් ඔහු විසින් හඳුන්වනු ලැබුවේ තම ගෙවල්වල ඇති කරන හීලෑ කරන ලද සතුන් ලෙසටය. වහලෙක් සහ ද්‍රව්‍යයක් අතර ඇති එකම වෙනස හැටියට ඔහු දුටුවේ වහලාට ප්‍රාණේන්ද්‍රියක් තිබීමත් ද්‍රව්‍යයට එබන්දක් නොතිබීමත් පමණි. කථා කරන උපකරණයක් ලෙසද ඒ සමාජයන්හි වහලා හැඳින් වූ බවද පොත පතෙහි සඳහන්වේ.
මෙවන් චින්තනයක් සහිත සමාජයක වහලාගේ තත්වය ඉතාම දුක්ඛදායක වූ බවට කිසිදු සැකයක් නැත. ඇතැම් විට ඔවුන් වහල් හිමියන්ගේ කෙළි බඩුය. වහලා ජීවතුන් අතර සිටීද නොසිටීද යන්න තීරණය වූයේ වහල් හිමියා මතය. අපට දෂ්ට කිරීමට පැමිණි මදුරුවෙකු මරා දැමීම සඳහා අප නොපැකිළ වන්නාසේ වහල් හිමියාට වහලෙක් මරා දැමීම ඔහුගේ උපකරණයක් කඩා බිඳ දැමීමක් තරම්ම සුළු කරුණක් විය. මේ අනුව වහල් ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ පවුල් ජීවිතයක් පිළිබදව කථා කිරීම විහිළුවකි. සැබැවින්ම ඔවුනට එවැනි ජීවිතයක් නොවීය.
මේ තත්වය තුළ අතීතයේ සිටි දාර්ශනිකයන් මෙන්ම එම යුගවල සිටි මිනිසුන් ඉතාම අමානුෂික තැනැත්තන්යයි නිගමනය කළහොත් අප නිවැරදි නොවේ. නිෂ්පාදන උපකරණයන්හි නොදියුණු බව හේතුවෙන්, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ඒ සමාජයේ මිනිසුන්ට එසේ වීමට බල කර තිබුණි. ඒ අනුව ඒ යුගයේදී නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වහලුන් තබා ගැනීමත් ඔවුන්ගේ ශ්‍රමය ලබාගැනීමත් අනිවාර්යය විය. ඒ අනුව වහල් සමාජයේ පංති සටනේ ප්‍රධාන පාර්ශව දෙක වූයේ වහලා හා වහල් හිමියාය. වහල් හිමියන්ගේ විසින් වහලුන් මත බලහත්කාරය යොදා වැඩ ගන්නා ලදී. වහලුන් පාලනය කරනු ලැබුවේ කසයේ බලයෙනි.
කෙසේ වුවද වහලා විසින් තමන් වෙත අධික ලෙස එල්ලවන මෙම පීඩනය සියවස් ගණනක් දිගටම දරා සිටියේද? නැත. එක්තරා අවදියකදී වහල්ලු සිය වහල්භාවයට එරෙහිව විරෝධය දැක්වීම ඇරඹූහ. එහි ප්‍රතිඵලයක් ලෙස වහල් සටන් පැන නැගුණි. මෙලෙස ආරම්භවූ වහලුන්ගේ පළමු සටනින්ම වහලුන් ජයගෙන වහල් ක්‍රමය අහෝසි වූයේ නැත. එහෙත් වහල් ක්‍රමය අවසන් කිරීමේ ආරම්භය සනිටුහන් වූයේ මෙම සටන්වලිනි. අනෙක් අතට වහල් ක්‍රමය වර්ධනය වෙද්දී නිෂ්පාදන උපකරණ ක්‍රමිකව දියුණු වෙද්දී සූරාකෑමේ මාධ්‍ය ලෙස වහලුන් තබා ගැනීමේ වුවමනාව අඩු වන්නට විය. සමාජය තුළ ඇති වූ එම වෙනසත් වහලුන්ගේ නොනවතින අරගලයත් විසින් වහල් ක්‍රමය නිමා කරනු ලැබීය. මේ පිළිබඳව සාකච්ඡාවක් ඇති කර ගැනීම සඳහා ඊලඟ සටහනින් හමුවෙමු.