ලංකාවේ පංති සංයුතිය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

සමාජයේ ජීවත්වන මිනිසුන් පංතිවලට බෙදීම ආරම්භ වූයේ මානව සමාජය දේපළ මත පංතීන්ට බෙදුණු සමාජයක් බවට පත්වීමත් සමගය. සෑම පංතිමය ආර්ථික ක්‍රමයක් (නිෂ්පාදන මාදිලියක්) තුළම ඒ ඒ නිෂ්පාදන මාදිලියට අනුරූපී ප්‍රධාන පංතීන් ද, අතරු පංතීන්ද, සමාජ ස්ථරයන් ද, සමාජ පැලැන්ති ද පැවතිණි. වහල් හිමි සමාජ ක්‍රමයේ ප්‍රධාන පංති දෙක වූයේ වහලා හා වහල් හිමියාය. වැඩවසම් සමාජයේදී ඉඩම් හිමියා හා ප්‍රවේණිදාසයා ප්‍රධාන පංති නියෝජනය කළ අතර ඊට අමතරව හස්ත කර්මාන්තකරුවන්, ශිල්පීන් වැනි අතුරු පංතීන්ද පූජක, නිලධාරි පැලැන්තිද විවිධ සමාජ ස්ථර ද (තරුණයන්, කලාකරුවන්) පැවතිණි.

ඕනෑම සමාජ ක්‍රමයක් තුළදී මාක්ස්වාදයට අනුව පංතීන් වෙන්කර හඳුන්වන්නේ එකී සමාජ ක්‍රමය තුළ එක් එක් ජන කණ්ඩායම් ලෙස ඔවුන් දරන ස්ථානයත්, සමාජ නිෂ්පාදනයට ඔවුන් දායක වන ආකාරයත්, සමාජ නිෂ්පාදනයේ ඵල අයත් කර ගන්නා ආකාරය හා ප්‍රමාණයත් වැනි කරුණු මතය. මෙම සමාජමය පංතීන් ඉරිගසා වෙන් කළ නොහැකි අතර, ඒවා එකක් සමඟ අනෙක සම්බන්ධ වෙමින් පවතී. පංතීන් හඳුනා ගැනීමේදී ඔවුන්ගේ විඥානය, වෘත්තිය, ඇඳුම, වයස වැනි බාහිර කරුණු නොව නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගේ ඇති සම්බන්ධය පමණක් සලකනු ලැබේ.

උදාහරණයක් ලෙස ධනවාදී සමාජය ගත් විට එහි ප්‍රධාන පංති දෙක වන ධනපති පංතිය හා නිර්ධන පංතිය ඉහත ආකාරයට හඳුනාගත හැක. ධනපති පංතිය සමාජයේ අධිපතිත්වය දරන අතර, නිර්ධන පංතිය පීඩිත කණ්ඩායම වේ. ධනපතින් නිෂ්පාදනයට සම්බන්ධ වනුයේ ප්‍රාග්ධන හිමියන් ලෙසය. නිර්ධනයින් ඊට සම්බන්ධ වනුයේ වැටුප් ශ්‍රමිකයන් ලෙසය. නිෂ්පාදනයේ ඵල අයත්කර ගැනීමේදී ධනපතීන් ලාභ ලෙස විශාල ප්‍රමාණයක් අත්පත්කර ගනිද්දී, නිර්දනයින් වැටුප් ලෙස සුළු ප්‍රමාණයක් අත්පත්කර ගනී. ඒ අනුව  පංති බෙදීමේ විද්‍යාත්මක ක්‍රමය පැහැදිලි වේ.

ඊට අමතරව පැලැන්ති හා ස්ථර සමාජයේ පවතී. ඒවා විවිධ පංතීන්ට අයත් වීමට පුළුවන. පැලැන්ති යනු සමාජය තුළ සමාන කාර්යයකට සහභාගී වන හා සාමාන්‍ය ජනයාට වඩා වරප්‍රසාද ලාභී පිරිසක් වේ. පූජක පැලැන්තිය හා නිලධාරි පැලැන්තිය ඊට නිදසුන් වේ. ස්ථර යනු සමාන කාර්යයක යෙදී සිටින පිරිස් වේ. ශිෂ්‍යයා, ගොවියා, කලාකරුවා වැනි පිරිස් ඊට නිදසුන් වේ.

පසුගාමී ධනේශ්වර සංවර්ධනයක් සහිත රටක් වන ලංකාව ගත් විට එහි පංති ව්‍යුහය සලකා බැලීමේදී කරුණු කීපයක් සැලකිල්ලට ගත යුතුව තිබේ. ලංකාව ධනවාදයේ සංවර්ධනයේ පසුගාමී රටක් බවත් එහි පැරණි ආසියාතික ලක්ෂණ බොහෝ කාලයක් ඉතිරිව පැවැතීමත් ඉන් ප්‍රධාන වේ. මේ නිසාම ලංකාවේ විශාල ප්‍රාග්ධනයකට උරුමකම් කියන ශන්තිමත් ධනපති පංතියක් මෙන්ම විශාල කම්කරු පංතියක් ද (කාර්මික සංවර්ධනයේ පසුගාමී බව නිසා) නැත. නිර්ධනයා යන්නෙහි අර්ථය තම ශ්‍රමය හැර ජීවත්වීමට වෙනත් කිසිවක් නැති අයය. යන අර්ථයෙන් ගත් විට ලංකාවේ නිර්ධන පංතිය ද යුරෝපයේ කාර්මීකරණය තුළ පැක්ටරි කම්කරුවන් හරහා බිහිවූ නිර්ධන පංතියට වඩා වෙනස්වේ. ලංකාව තුළ තවමත් නිෂ්පාදනයේ විශාලතම කොටස වනුයේ ගොවි ජනයාය. ඊට අමරතව රැකියා නැති තරුණ පිරිස, අර්ධ කාලීන රැකියා සේ ස්වයං රැකියාවලින් යැපෙන පිරිස ද විශාල ප්‍රමාණයක් ජීවත්වේ. මේ නිසාම ලංකාවේ පංති බෙදීම කළ යුත්තේ පංති යථාර්ථයද සැලකිල්ලට ගනිමිනි.

දළ වශයෙන් ගත්විට ලංකාවේ ප්‍රධාන පංති දෙක වනුයේ නිර්ධන පංතිය හා ධනපති පංතියයි. ඊට අමරතව සුළු ධනපති පංතියක්ද ලංකාවේ සිටී. ඔවුන් විශාල ප්‍රාග්ධන හිමි  ධනපති පංතියත්, නිර්ධන පංතියත් අතර දෝලනය වෙමින් පවතින පංතිය වන අතර ලංකාවේදී ඔවුන් ප්‍රමාණයෙන් විශාල එකක් වේ. ධනපති, සුළු ධනපති හා නිර්ධන නැමැති ප්‍රධාන පංති තුන නිෂ්පාදනය තුළ ඔවුන්ගේ සම්බන්ධතාවයට අනුව යළි උප කොටස්වලට බෙදිය හැක. ඒ අනුව නිර්ධන පංතිය නිර්ධන හා අර්ධ නිර්ධන යනුවෙන් දෙකට බෙදේ. නිර්ධන යනු තම ශ්‍රමය විකිණීමෙන් පමණක් ජීවත්වන වෙනත් කිසිදු දේපළක් නැති පිරිස වන අතර, අර්ධ නිර්ධනයින් යනු තමන් සතු සුළු දේපළ ප්‍රමාණයක් පවතින එහෙත් ජීවත්වීම සඳහා අනිවාර්යයෙන්ම ශ්‍රමය විකිණීමට සිදුවී ඇති පිරිසය. ලංකාවේ ගොවි ජනයා අතර මේ පිරිස හඳුනාගත හැකිය. ඊට අමතරව රැකියාවක් කරන අතර, අමතර ආදායමක් සඳහා තවත් කුඩා ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් කරන පිරිස මේ ගණයට අයත් වේ.

සුළු ධනේශ්වර පංතිය ඉහළ – මැද හා පහළ ලෙස සැලකිය හැකිවේ. සුළු ධනපති ඉහළ තට්ටුව යනු ධනේශ්වර පංතිය සමග සමීපව සිටින හා එයට ළංවෙන හෝ ඉන් වැටෙන පිරිස්වලින් සමන්විත වන අතර, මධ්‍යම ප්‍රමාණයේ ප්‍රාග්ධනයන්ට හිමිකම් කියන හා ශ්‍රමය සූරාකන පිරිස් වේ. සුළු ධනපති මැද තට්ටුවද කුඩා ප්‍රාග්ධනයක් මත පදනම් වූ සුළු පරිමාණ ව්‍යාපාරයේ කර්මාන්ත පවත්වාගෙන යන අයගෙන් හා ඉඩම් හිමි මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගෙන් හෝ හවුල්කරුවන්ගෙන් සමන්විත වේ. සුළු ධනපති පහළ ස්ථරය, ඍජු ලෙස අන් අය සූරාකෑම නොකරන ඍජු ලෙස තමන් සූරා කෑමට ලක් නොවන ඉතා කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන හෝ සුළු පරිමාණ ඉඩම්හිමි ගොවීන්ගෙන් සමන්විත වේ. අතීතයේ ගොවි ස්ථරය තුළ මෙය වැඩිපුර දැකිය හැකි වුවද විවෘත ආර්ථිකය තුළ ස්වයං රැකියා (පවුලේ අයගේ මදිහත්වීමෙන්  කරන ඉතා කුඩා ව්‍යපාර) කරන අය මෙම කොටස තුළ වැඩෙමින් පැවතුණි.

මෙම පංති නිතර ඉහළ – පහළ දෝලනය වෙමින් පවතී. එහිදී පහළින් ඉහළට නගින ප්‍රමාණයට වඩා විශාල ගුණයකින් ඉහළින් පහළට කඩා වැටීම නිසා නිර්ධන පංතිය හා අර්ධ නිර්ධන පංතිය පුළුල් වෙමින් පවතී. මේ වන විට ලංකාවේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය පෞද්ගලිීකරණය කරමින් ඉඩම් හා ජලය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරන අතර, එහි ප්‍රතිඵලය වනුයේද ගොවි ස්ථර තුළ සිටි අර්ධ නිර්ධන හා සුළු ධනපති පහළ තට්ටුවේ පිරිස කෘෂිකාර්මික ශ්‍රමිකයන් වී නිර්ධන පංතියට ඇද වැටීමයි.

මේ නිසා ලාංකීය සමාජ පරිවර්තනයේ දී නිර්ධන හා අර්ධ නිර්ධන පංතික කොටස් එහි බලවේගය බවට පත්වන අතර සුළු ධනපති පහළ තට්ටුව එහි මිතුරා බවට පත්වේ. සුළු ධනපති මැද ස්ථරය විප්ලවයේ බලවේගයක් නොවුවද ඔවුන් ධනපතින්ට උදව්කරන ප්‍රතිවිප්ලවීය බලවේගයක් බවට පත්කර නොගැනීමට නිර්ධන පංති ව්‍යාපාරය කටයුතු කළ යුතුවේ.

විමර්ශන

ලංකාවේ පංති සංයුතිය