චේ මරාදැමු කුලී ඝාතකයා මිය යයි !

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

1967 ඔක්තෝම්බර් 10 වැනිදා ලෝකය අවදිවනුයේ කියුබානු විප්ලවයේ නියමුවෙකු ලෙස සැලකුන ආර්ජන්ටින් ජාතිකයෙකු වූ අර්නස්ටෝ චේගුවේරා බොලිවියානු හමුදාව විසින් ඝාතණය කරන ලද බවට පලවූ පුවතක් සමගිනි. ඉන්පසුව ලොව පුරා සමාජ අරගල තුළ සංකේතයක් බවට පත් වූ චේ හා ඔහු මරා දැමු හමුදා නිලධාරියා සම්බන්ධයෙන් විවිධ ප්‍රබන්ධ පැතිර යන්නට විය. මේ දක්වා අප්‍රසිද්ධ ජිවිතයක් ගතකළ චේ ගේ ඝාතකයා වන MARIO Teran salazar ඊයේ 10 වැනිදා මිය ගොස් ඇතිබව බොලිවියානු හමුදාව ප්‍රකාශයට පත් කර ඇත. මියයන විට 80වැනි වයසේ පසුවූ TERAN දීර්ඝ කාලයක් කායිකව හා මානසිකව අසනීපව සිටි බව වාර්තා වේ. කෙසේවෙතත් ඔහුගේ මිය යාමට හේතුව මාධ්‍ය වෙත පැවසීම බොලිවියානු හමුදාව ප්‍රතික්‍ෂේප කර තිබිණි.

අර්නෙස්ටෝ චේගුවේරා ඝාතණය පිලිබඳ ඍජුවම චෝදනා එල්ල වුයේ ඇමරිකානු CIA ව්‍යාපාරයට හා එවකට බොලිවියාව පාලනය කල Rene barienthos (1964-1969)ගේ හමුදා පාලනයටය. කියුබානු විප්ලවයෙන් පසුව කොංගෝවේ විමුක්ති අරගලයට සම්බන්ධ වූ චේ පසුව බොලිවියාව වෙත ගොස් තිබුනේ බොලිවියාවේ සිදුවන විප්ලවීය ජයග්‍රහණය චිලිය, ආර්ජන්ටිනාව, පැරගුව හා බ්‍රසීලය දක්වා ගෙනයාමට සැලසුම් කරමිණි. නමුත් ඒ වනවිට විෂය මුලික තත්වයන් ඉතා හොඳින් වර්ධනය වූ තත්වයක් බොලිවියාව තුළ ප්‍රදර්ශණය වුවත් විප්ලවයක් සඳහා අවශ්‍ය ජනතා සහයක් ලබා ගැනීම අවශ්‍ය මනෝ මුලික තත්වයන් එහි වර්ධනය වී නොතිබිණි. ඒ අනුව චේ ඇතුළු පිරිසට ජනතා සහය ලැබී තිබුනේ අවම වශයෙනි.

චේ විසින් ස්ථාපිත කරන ලද ELN විමුක්ති ව්‍යාපාරයට එරෙහිව රජයේ ප්‍රචාරක ජාලය මගින් කොමියුනිස්ට් විරෝධී අසත්‍ය ව්‍යාපාර ඔස්සේ බොලිවියානු සමාජය ඔද්දල් කරනු ලැබූ අතර අවසානයේ ජනතාව බොලිවියානු හමුදා රජයේ ඔත්තුකරුවන් බවට පත්වනුයේ චේ ඇතුළු පිරිසට එරෙහිව ප්‍රති විප්ලවීය ක්‍රියා මාර්ග වලට අවතීර්ණ වෙමිනි. ආයුධ හා පිරිස් හිඟකම, කුසගින්න, ලෙඩ රෝග මෙන්ම දිනෙන් දින එල්ලවන රජයේ හමුදා ප්‍රහාරවලට ලක්වන චේ ඇතුළු පිරිස බොලිවියාවේ la Higuera ග්‍රාමය අවට කඳු ප්‍රදේශ තුළදී බොලිවියානු හමුදාවට කොටු විය. පසුව ඔවුන් හමුදාව විසින් la Higuera ග්‍රාමයේ පාසැලක රඳවන ලදී.

දිවි ගලවා ගැනීමට සමත් වූ කියුබානු හමුදා නායකයින් වූ ජෙනරල් Harry Villegas Tamayo හා David Adriazola ඇතුළු සයදෙනෙකු කිලෝමීටර් 4000ක් දුර පයින්ම ගමන් කර චිලී රාජ්‍යයට ඇතුළු වීමට සමත් වී තිබිණි. එහෙත් චේ මරා දැමුණු මොහාතේ තමන් ඒ අවට සිටි බවත් ප්‍රහාරයක් එල්ල කර ඔහුව බේරා ගැනීමට උත්සහ කළත් පසුව එම අදහස අත්හැර දැමූ බවත් ඔවුන් පසුව හෙළිකර තිබිණි.

ඉන්පසුව චේ ඇතුළු පිරිස CIA ඔත්තුකරුවෙකු වන කියුබානු ජාතික Félix Rodriguez ඇතුළු පිරිසකගේ දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක් වේ. බොලිවියානු හා ඇමරිකානු රජයන් ඒකමතිකව තීරණය කරනුයේ චේ මරා දැමීමටයි. ඒ සඳහා හමුදා නිලධාරීන් කීපදෙනෙකු ස්වචේචාවෙන්ම ඉදිරිපත් වන අතර ඒ අතරින් ඉදිරිපත් වූ MARIO Teran salazar විශේෂ වනුයේ එම දිනය ඔහුගේ උපන්දිනය වීම ලෙස ඔහුගේ හමුදා සගයින් පසුව හෙළි කර තිබිණි. තමන්ගේ ආයුධය ඇල්ලීමට පවා නොහැකි වන ලෙස බීමත් සිටි ඔහු චේ ඇතුළු පිරිස රඳවා තිබූ පාසලේ පංති කාමරය වෙත ඇතුළු වනුයේ චේ මරා දැමීමට වුවත් ඔහුට ඉලක්කය ගැනීම අසීරු වී තිබිණි. චේ මරා දැමීමේ කාර්යය සිදුකල නොහැකිව කීප වතාවක් ඔහු හැරී පැමිණ ඇති අතර ඔහුව දිරිමත් කරමින් නැවතත් මත්පැන් පොවා ආපසු යැවීමට හමුදා නිලධාරීන් සමත් වී ඇත.

“මට ඒ අවස්ථාව මගේ ජිවිතයේ අමතක කළ නොහැකි නරකම අවස්ථාවක් වුනා. මම චේව දැක්කේ විශාලව, ඉතාමත් විශාලව මට ඔහුව පෙනුනා. ඔහුගේ දෙඇස් ගින්දර දහස් ගණනක් ලෙස මා වෙත එල්ල වුයේ මාව පුළුස්සා දමමින්” MARIO Teran salazar පසුව මාධ්‍ය වෙත පවසා තිබුණි.

“මාගේ වෙනස හඳුනා ගත් චේ මට තුවක්කුවේ කොකා ගස්සන්න අවශ්‍ය ධෛර්යය ගන්න උදව් වුනා. ඔහු මට පැවසුවා “සන්සුන් වෙයන්! උඹ සොල්දාදුවෙක්! හරියට ඉලක්කය ගනින්! උඹ මරා දමන්නේ මිනිසෙක්” ඔහු මට පැවසුවා. ඉන්පසුව මම පංති කාමරයේ දොරටුව වෙත අඩියක් පිටුපසට ගොස් ඇස් දෙක පියාගෙන තුවක්කුවේ ට්‍රිගරය ඇද්දා” ඔහු තවදුරටත් පවසා තිබිණි.

පසුව චේ මරා දැමු බවට සාක්ෂි ලෙස ඔහුගේ අත්දෙක කපාගෙන තිබුනු අතර පසුව එම සිරුරු කොටස් කියුබානු රජය වෙත 1997 දී ලබාදෙන ලදී. වසර 30ක් බොලිවියානු හමුදා සේවයේ නියතු වූ MARIO Teran salazar චේ ඝාතණය මත ලොව පුරා ජනතාවගෙන් එල්ලවූ චෝදනා හේතුවෙන් දැඩි මානසික පීඩාවකින් යුතුව ජිවත් වූ බවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී බොලිවියාවේ අප්‍රසිද්ධව වාසය කළ බවත් පැවසේ. පසුකාලයකදී එනම් 2006 දී දකුණු ඇමරිකාවේ දියත් කර තිබෙන ALBA කියුබානු වෛද්‍යය සායනයකට සහබාගි වී ඇස් සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බවට කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ granma පුවත්පත TERANගේ දරුවෙකු විසින් තමන්ගේ පියාව අන්ධ භාවයෙන් මුදවාගැනීම පිළිබඳව ස්තුතිය දක්වමින් එවන ලද ලිපියක් උපුටා දක්වමින් හෙළිකර තිබිණි.

පසු කාලයකදී චේ මරාදැමුවේ තමන් නොවන බවත් තමන්ගේ නම ඇති වෙනත් හමුදා නිලධාරියෙක් බවත් පවසා තිබිණි. බොලිවියාවේ Rio grande දිස්ත්‍රික්කයේ la Higuera පාසැලක පසුව ජනතා ප්‍රදර්ශණයට තබා තිබු චේ ගේ සිරුර දුටු බොහෝ පිරිස් එය ජේසුස් වහන්සේගේ අවසාන අවස්ථාව නැවත පිළිපිඹු වූ අවස්ථාවක් ලෙස විග්‍රහ කර තිබීමත් එම ජයාරූප ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීම මත ඒවායින් සිදු වූ බලපෑම මත මෙවැනි තත්වයන් නිර්මාණය වීම වැළැක්විය නොහැකිවේ. චේ මරා දැමුනුයේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව වීම මත එවැනි යුධ අපරාධයකින් ගැලවීමට කිසිදු අපරාධ කාරයෙකුට මානව සමාජය තුළ නොහැකි බවත් මෙයින් තවදුරටත් තහවුරු වේ.

උපුටා ගැනීම – ලංකා ටෘත්

චේ මරාදැමු කුලී ඝාතකයා මිය යයි !