වමේ ව්‍යාපාරය සහ න්‍යායික පීලි පැනීම්

“ලංකාවේ ජාතික ගැටළුව”, මුල-මැද-අග
November 21, 2020
The General Theory of Law and Marxism
November 24, 2020
Show all

වමේ ව්‍යාපාරය සහ න්‍යායික පීලි පැනීම්

හැඳින්වීම

අවස්ථාවාදය යනු කුමක් ද?

නිර්ධන පංති ව්‍යාපාරය තුළ සිය වර්ධනයේ ඕනෑම අවස්ථාවක ඕනෑම රටක විප්ලවයකට පොරාතුව මෙන්ම රාජ්‍ය බලය හිමි කර ගත් පසුව වුව ද පැන නැඟිය හැකි උපනතියකි, “අවස්ථාවාදය”.
විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ එය පංති මතවාදයට සතුරු ප්‍රවණතාවක් ලෙස එකවරම හඳුනා ගැනීමට ඇති දුෂ්කරතාවයි. එබැවින්, නිර්ධන පංති ව්‍යාපාරය තුළ ඕනෑම මොහොතක පැන නැගිය හැකි වෙස්වලා ගත් ධනේශ්වර මතවාදය අවස්ථාවාදය හැටියට හඳුනා ගැනේ.

පංති ව්‍යාපාරය සිය ඉදිරි අරමුණු ජයග්‍රහණය කිරීමෙහි ලා උපාය උපක්‍රම කරා එළඹෙන විට දී වැරදි න්‍යායන් හා වැරදි උපක්‍රම වෙතට නැඹුරු විට හැකි අතර, එකී භාවිතාව විසින් පංති ව්‍යාපාරය තුළ පංති අරමුණුවලට එරෙහි අවස්ථාවාදය මතුවිය හැකිය. ලංකාවේ වමේ ව්‍යාපාරය සිය ආරම්භයේ සිට ම පැවති සිය ජාති ලක්ෂණ විසින්ම අවස්ථාවාදී උපනතියක් ලෙසින් වැඩුණු අතර, සිය දීර්ඝ කාලීන භාවිතාව තුළ හෝ එකී නිර්මාක්ස්වාදී ප්‍රවණතා පරාජය කිරීමට අසමත් විය. ඒ සඳහා දෘඪතර අරගලයක යෙදීමට එම වාමාංශික පක්ෂවලට නොහැකි විය. අවස්ථාවාදී උපනතිය, පංති ව්‍යාපාරය මුහුණ දෙන ඉතා සංකීර්ණ තත්වයක් මෙන්ම අවස්ථාවාදය පැන නැගීමට විෂයමූල වටපිටාවක් ද පවතී. පසුගාමී ධනේෂ්වර සංවර්ධනයත්, ඉන් පැන නගින සුළු ධනේෂ්වර ක්‍රියාකාරීත්වයත් මේ සඳහා ද්‍රව්‍යමය වැඩ කොටස ඉටු කරනු ලබයි. ඒ පිළිබඳ ලෙනින්ගේ අදහස් මෙසේ ය.

අවස්ථාවාදය යනු හදිස්සියේ ඇති වූ දෙයක්වත්, වැරදීමකින් ඇති වූ දෙයක්වත් නැතහොත්, පුද්ගලයන්ගේ ද්‍රෝහිකමක්වත් නොවේ. එය සමස්ත ඓතිහාසික වකවානුවක සමාජ නිපයුමකි.”

ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය පුරාම විවිධ ස්වරූපයෙන් පැන නැගි අවස්ථාවාදී උපනතීන් හඳුනා ගැනීමට පුළුවන. එනම් බකුනින්වාදය, පෘදොන්වාදය, ලසාල්වාදය, බ්ලැන්කිවාදය, කෞට්ස්කිවාදය, ස්ටාලින්වාදය, ට්‍රොස්කිවාදය මාවෝවාදය හා පසුකාලීනව යුරෝ කොමියුනිස්ට්වාදය හා පශ්චාත් මාක්ස්වාදය වැනි ප්‍රවණතා ය.

අවස්ථාවාදය අපේ ප්‍රධාන සතුරා වෙයි. කම්කරු පංති ව්‍යාපාරයේ ඉහල ශ්‍රේණීන් තුළ තිබෙන අවස්ථාවාදය යනු නිර්ධන පංති සමාජවාදය නොව ධනේශ්වර සමාජවාදය වෙයි. අවස්ථාවාදී උපනතියට ඇලී ගැලී සිටින කම්කරු පංති ව්‍යාපාරයේ ක්‍රියාශීලී අය ධනපතියන්ට වඩා හොඳින් ධනපතියන් ආරක්ෂා කරන බව භාවිතාව විසින් පෙන්වා දී ඇත. කම්කරුවන්ට සපයන ඔවුන්ගේ නායකත්වය නොමැතිව ධනපතීන්ට බලයේ රැඳී සිටීමට නොහැකි වනු ඇත. මෙය සනාථ කොට ඇත්තේ රුසියාවේ කෙරෙන්ස්කි පාලනයේ ඉතිහාසය විසින් පමණක් නොවේ. ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව යටතේ පවතින එහි ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව විසින් ද එය සනාථ කොට තිබේ. අපේ ප්‍රධාන සතුරා සිටින්නේ මෙතැන ය. අප මේ සතුරා පරාජය කළ යුතුය. අප මේ සම්මේලනයෙන් පිට විය යුත්තේ, සියළුම පක්ෂවල අවසාන කෙළවර දක්වා මෙම අරගලය කර  ගෙන යාම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි. මෙය අපේ ප්‍රධාන කර්තව්‍යය වෙයි”

(ලෙනින් – කොමියුනිස්ට් ජාත්‍යන්තරය දෙවෙනි සම්මේලනය – වෙලුම 03 , 462 පිටුව)

අවස්ථාවාදය හෙවත් මෙන්ෂෙවික්වාදයේ නාමික උපත

“මෙන්ෂෙවික්” යන්න ලෝක වමේ ව්‍යාපාරයට එක් වනුයේ රුසියානු සමාජ  ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය තුළ මතු වූ අවස්ථාවාදී උපනතියක් සමගිනි. 1903 ජූලි 30 – අගෝස්තු 23 අතර කාලය තුළ බ්‍රසල්ස් හා ලන්ඩන් නගරයන්හි රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවෙනි සමළුව පැවැත්විනි. එහි දී ප්‍රධාන කණ්ඩායම් දෙකක් එකිනෙකාට එරෙහිව ගැටුණි.  ආරම්භයේ දී මෙය පක්ෂ සංවිධාන ප්‍රතිපත්තීන් පිළිබඳ ගැටුමක් ලෙස පෙනී ගිය ද මෙම බෙදී යාම පසුපස පැවතියේ වඩාත් ගැඹුරු දේශපාලන කරුණු බව පසුව පැහැදිලි විය. සමුළුව අවසානයේ දී ලෙනින් ඇතුළු පිරිස් බහුතරය හෙවත් “බොල්ෂෙවික්” විය. (රුසියානු භාෂාවෙන් බහුතරය යන්නට යෙදෙන ‘බොල්ෂෙවිත්වෝ’ යන්නෙන් බිඳී ආවකි.) ඊට එරෙහි මතය දැරූ පිරිස සුළුතරය හෙවත් ‘මෙන්ෂෙවික්’ විය. කෙටියෙන් කිවහොත් සුළුතරයේ කණ්ඩායම රුසියානු ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තුළ අවස්ථාවාදී උපනතිය විය. රුසියානු භාෂාවේ සුළුතරය හැඳින්වීම සඳහා යෙදෙන “මෙන්ෂෙවිත්වෝ” යන වචනයෙන් බිඳී ආ “මෙන්ෂේවික්වාදය” යන්න එම සුළුතර කණ්ඩායමේ අවස්ථාවාදය හැඳින්වීම සඳහා එවක් පටන් භාවිතා වූ අතර පසුව සෙසු විප්ලවවාදී ව්‍යාපාරයන් තුළ ද පොදුවේ අවස්ථාවාදී ප්‍රවණතාවන් හැඳින්වීම සඳහා “ මෙන්ෂෙවික්” යන වචනය යොදා ගැනිනි.

රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ දෙවෙනි සමුළුවේ සිදු වූ සුළුතරය හා බහුතරය වශයෙන් වූ බෙදීමට පාදක වූ ප්‍රධාන කරුණ වූයේ වැඩ පිළිවෙල හෝ උපක්‍රම පිළිබඳ ප්‍රශ්නයකට වඩා පක්ෂය ගොඩ නැංවීම පිළිබඳ සංවිධාන ප්‍රශ්නයකි.

ශක්තිමත් ලෙස එවකට බැඳුණු පක්ෂ සංවිධානයක් වෙනුවට ඔවුන් ලිහිල් සංවිධානයක් ඉදිරිපත් කිරීම; පක්ෂ සමුළුවේ සිට එය විසින් පත් කරන සංවිධාන අනුව ඉහල සිට පහළට පක්ෂය ගොඩ නැගීමේ මතයට ඔවුන් විරුද්ධ වීම; සෑම මහාචාර්යවරයෙකුමත්, සෑම උසස් විද්‍යාල ශිෂ්‍යයෙකුමත්, සෑම වැඩ වර්ජකයෙකුමත්, පක්ෂයේ සාමාජිකයෙකු හැටියට ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඉඩ දෙන පහළ සිට ඉහලට පක්ෂය සංවිධානය කිරීමේ ප්‍රවණතාවයට ඔවුන් පක්ෂවීම; පක්ෂය විසින් පිළිගන්නා ලද එක් සංවිධානයකට පක්ෂ සාමාජිකයෙකු අයත් විය යුතු යැයි අපේක්ෂා කරන “විධිමාත්‍රවාදයට” ඔවුන් සතුරුවීම;  සංවිධානාත්මකව සම්බන්ධකම් හැඟීමෙන් තොරව පමණක් පිළිගැනීමට සූදානම්, ධනපති බුද්ධිමතුන්ගේ මානසිකත්වයට ඔවුන් නැඹුරුවීම, ඔවුන් ලොකුකම් පාන අවස්ථාවාදයට සහ අරාජිකවාදී වාග් පාඨවලට අභිරුචියක් දැක්වීම; මධ්‍යස්ථානගතවාදය වෙනුවට ඔවුන් ස්වතන්ත්‍රවාදයට නැඹූරුවීම”(ලෙනින් තෝරා ගත් කෘති වෙළුම 02 පිටුව 8-9)

මෙන්ෂෙවික්වාදය බිහිවීම සඳහා වන ද්‍රව්‍යමය කොන්දේසි

මෙන්ෂෙවික්වාදය පැන නැගීම සඳහා වන කොන්දේසි ධනපති ක්‍රමය තුළම පවත්නා බැවින්, එවැනි භාවිතයන් ධනවාදයේ සිට කොමියුනිස්ට් ක්‍රමය දක්වාම විවිධ ස්වරූපයෙන් මෙන්ම විවිධ අවස්ථාවල දී හඳුනා ගැනීමට හැකි වනු ඇත. අවස්ථාවාදී වමේ ක්‍රියාකාරීත්වයන් දේශපාලනික ලෙස පහසුවෙන් හඳුනා ගත හැකි අතර, වමේ විප්ලවීය දේශපාලන ක්‍රියාකාරීත්වයක ඇති සංවිධානයන් කෙරෙන් ද කිසියම් මොහොතක මෙකී උපනතීන් පැන නැගීමේ හැකියාව පවත්නේය. එමෙන්ම ශක්තිමත් සංවිධානයන් නොමැති තත්වයන් තුළ වඩාත් උනන්දු සහගත ලෙස ක්‍රියාකාරීවීමට මෙන්ෂෙවික් ප්‍රවණතාවට හැකියාව පවතී.