5 වසර ශිෂ්‍යත්වය හරහා දරුවන්ගේ හිස මතට ඇද වැටෙන ධනවාදයේ අර්බුදය

සෝවියට් දේශයේ බිඳ වැටීම ගැන දේශපාලනික කියවීමක්
November 21, 2018
විමර්ශණ – 1996 ජනවාරි
November 22, 2018
Show all

5 වසර ශිෂ්‍යත්වය හරහා දරුවන්ගේ හිස මතට ඇද වැටෙන ධනවාදයේ අර්බුදය

ආසන්න වශයෙන් ලක්‍ෂ 3 ත් 4 ත් අතර සිසු සිසුවියන් පිරිසක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා වාර්ෂිකව මුහුණ දේ. බොහෝ විට සෑම වසරකම අගෝස්තු මාසයේ පැවැත්වෙන මෙම විභාගයේ ප‍්‍රතිපල ඔක්තෝබර් මාසය වන විට නිකුත් වේ. විශේෂයෙන්ම විභාගය පැවැත්වෙන කාලයේත්, ප‍්‍රතිපල නිකුත් වෙන කාලයේත් විශේෂ කතාබහකට, සංවාදයකට ලක්වෙන මෙම විභාගය අනෙක් කාලවලදී සංවාදයෙන් බැහැර වේ.

ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණු වශයෙන් මූලික කාරණා දෙකක් කියැවේ. එකක් නම් ඈත දුෂ්කර ප‍්‍රදේශවල වසන දක්‍ෂ සිසුන්ට නගරයේ හෝ වඩා පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දීමයි. එහි අනෙක් අරමුණ නම් දුෂ්කර ආර්ථික තත්ත්වයක් සහිත සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ආර්ථික ආධාරයක් ලබා දීමයි.

එහෙත් දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මෙම අරමුණු ඉටු වේද නැද්ද යන්නයි. සැබෑම තත්ත්වය නම් අද වන විට ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු සහමුලින්ම බිඳ වැටී ඇති බවයි.

සත්තකින්ම පවසන්නේ නම් 5 වසර ශිෂ්‍යත්ව විභාගය යනු අද වන විට ලාංකීය සමාජ අර්බුදය අවුරුදු 8 – 10 වයසේ දරුවන් වෙත ගලා යන මාධ්‍යයක් වී ඇති බවයි.

ලංකාවේ පාසැල්වල අධ්‍යාපන පහසුකම් අතින්ද, සමාජ පිළිගැනීම අතින්ද වශයෙන් දෙයාකාරයක විෂමතාවයක් පවතී. බොහෝ දෙමව්පියෝ ඉහළ සමාජ පිළිගැනීමක් ඇති, අධ්‍යාපන පහසුකම් වැඩි පාසලකට තම දරුවන් ඇතුළු කර ගැනීමට රුචිකමක් දක්වති. මෙම හේතුවෙන් ළමයෙකු පළමු වසර පාසැලකට ඇතුළත් කර ගැනීම මහා යුද්ධයක් බවට පත් වී ඇති බව අපි දනිමු. පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම ලක්‍ෂ ගණනින් මුදල්, දේශපාලන බලය, හිතවත්කම්, තැරැව් කරුවන්, ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන්නන් මැදිහත්වන ව්‍යාපෘතියක් බව අපි දනිමු. එතැනින් ජයගන්නට අසමත්වන දෙමව්පියන්ගේ මීළඟ අවස්ථාව වන්නේ 5 වසර ශිෂ්‍යත්වයයි. පළමු වසරට දරුවා ඇතුළත් කරගැනීමේ කාර්යය බොහෝ සෙයින් දෙමව්පියන්ගේ කටයුත්තක් වුවත්, 05 වසර ශිෂ්‍යත්වය සමත් විම දෙමව්පියන්ගේ අවශ්‍යතාවය සඳහා දරුවන් තරඟ වදින්නකි. එය ඔට්ටුකරුවන්ගේ උවමනාව වෙනුවෙන් දුවන අශ්වයින්ගේ තරඟයකි. තමන්ගේ පා බිදෙන මාරාන්තිකව එකිනෙකා හා තරඟ වදින අවශ්‍යතාවයක් කිසිදු අසෙකුට නොමැත.

අප ඉහතින් කියූ පරිදි 5 වසර ශිෂ්‍යත්වය මූලිකවම දෙමව්පියන්ගේ තරඟයකි. දෙවැනුව එය දරුවන්ගේ තරඟයකි. එමෙන්ම එය වැඩිම ප‍්‍රතිපල ගැනිම සඳහා වන පාසැල් අතර තරඟයකි, එමෙන්ම ශිෂ්‍යත්වයේ ඉහළම ප‍්‍රතිපල ලබාගත් සිසුන්ගේ ගුරුවරයා හෝ ගුරුවරිය වීම සඳහා ගුරුවරුන් ගුරුවරියන් අතර තරඟයකි. එය තමාගේ තත්ත්වය සඳහා මෙන්ම පාසැලෙන් පිටතදී ටියුෂන් වෙළඳපළ තුළ ඉහළ ඉල්ලූමක් ඇති කර ගැනීම සඳහා සුදුසුකමක්ද වේ. තවදුරටත් එය ටියුෂන් පන්ති අතරද තරඟයකි. ශිෂ්‍යත්වය සඳහා විවිධ අධ්‍යාපන ප‍්‍රකාශන අලෙවි කරන්නන් මෙන්ම, ශිෂ්‍යත්වය සඳහා බෝධිපූජා, සෙත්කවි, බාරාහාර, ගුරුකම් කරන්නන්, යන්ත‍්‍ර-සූත‍්‍ර ජීවම් කරන්නන් ආදී සියලූ දෙනාමද තම වෙළඳපල පංගුව සඳහා තරඟ කරන තැනක් බවට ශිෂ්‍යත්වය පත්ව ඇත.

5 වසර ශිෂ්‍යත්වය ආරම්භයේදී යම් යහපත්  අරමුණක් වී නම් දැන් එය සහමුලින්ම වියැකී ගොස් වෙනස්ම අරමුණු ඉටුකරන්නක් බවට පත්ව ඇත.

මෙසේ වීමේ සමාජ ප‍්‍රතිවිපාක මොනවාද? කවුරුන් හෝ ඒ පිළිබඳ අවධානය යොමු කොට තිබේද? 5 ශිෂ්‍යත්ව විභාගය දරුවාට ඇතිකරන බලපෑම කුමක් ද? විශේෂයෙන්ම අපි සොයා බැලිය යුතු කාරණය වන්නේ එයයි.

තරඟයේ තියුණුකම නිසා ශිෂ්‍යත්වයට දරුවන් සූදානම් කිරීම අරඹන්නේ තුන්වැනි පන්තියේ පමණ සිටය. අවුරුදු 07 ක 08 ක දරුවෙකුට දැරිය නොහැකි වැඩගොන්නක් එම වයසේදීම ඔවුන් මතට පැටවේ. පාන්දර නැගිට අධ්‍යාපන කටයුතුවල නිරත කරවීම, පාසැල තුළ අධ්‍යාපන කටයුතු, සවස පංති, ගෙදර වැඩ විසින් ළමයාගේ ජීවිතය වැසී යන අතර ඔහුගේ ළමා දිවිය ඔවුන්ගෙන් උදුරා ගැනේ.

ධනවාදයේ ආරම්භක යුගයේ කුඩා ළමුන් ෆැක්ටරි සේවයට යොදාගනු ලැබිණි. අවුරුදු 06-07 වයසේ ළමුන් නිදි පැදුරෙන් අවධි කරවා කෙළින්ම ෆැක්ටරි තුළට ගෙන ගිය අතර ඔවුන්ට දිනකට පැය 10 හෝ 15 ක් වැඩ කිරීමට සිදු විය. මාක්ස් තම ප‍්‍රාග්ධනය කාතියේ එවැනි ළමුන් ගැන මෙවැනි සටහනක් තබයි.

Karl Marx“උදේ දෙකට තුනට හෝ හතරට හෝ අවුරුදු නවයේ හෝ දහයේ ළමයින් ඔවුන්ගේ කිළිටි ඇඳන්වලින් බලයෙන් නැගිට්ටවා සොච්චම් යැපීම් දීමනාවක් සඳහා රෑ දහය,  එකොළහ හෝ දොළහ දක්වා වැඩකිරීමට ඔවුන්ට බල කෙරෙයි. ඔවුන්ගේ අවයව ගෙවෙයි. සිරුර හැකිලෙයි.  මුහුණු සුදුමැලි වෙයි.  ඔවුනගේ මානුෂිකත්වය ගලකට සමානව පණනැති තත්ත්වයකට ඇද වැටෙයි.  ඒ ගැන සිතීම පවා අතිශය බිය ජනකය”

 

ශිෂ්‍යත්ව තරඟය සඳහා දිවීමට තල්ලූකරන අපගේ ළමුන් විස්තර කිරීමට ඉහත ඡේදයේම වචන කිහිපයක් වෙනස් කිරීමෙන් හැකි බව අපගේ අදහසයි.

පළමුව දරුවා මිතුරු සමූහයක සාමාජිකයෙකු වීම වෙනුවට එකිනෙකා පරයා ඉදිරියට යාමට වලිකන තරඟකරුවන් සාමූහයක සාමාජිකයෙකි. එම මනෝභාවය සමග වැඩෙන දරුවා කෙබඳු අයෙක් බවට පත්වනු ඇත් ද?

එසේ වැඩුණු මිනිසුන්ගෙන් සමන්විත සමාජයක් කෙබඳු එකක් වනු ඇත් ද? සමාජ විද්‍යාඥයින් ඊට පිළිතුරු දිය යුතුය. කෙසේ වෙතත් එය යහපත් විය නොහැකි බවනම් නිසැකය.

අද වනවිට ලංකාවේ ජනපි‍්‍රයතම පාසැල්වලට ඇතුල්වීමේ ලකුණු සීමාව ඉතා ඉහළ එකකි. කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලූවීම සඳහා ලකුණු 184 ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 181 ක්, කොළඹ ආනන්දයට ලකුණු 180 ක්, කුරුණෑගල මලියදේවයට ලකුණු 180 ක්, අවශ්‍ය වේ. ඒ බාලක පාසැල්ය. බාලිකා පාසැල් ගතහොත් කොළඹ විශාඛා විද්‍යාලයට ලකුණු 184 ක්ද, මහනුවර මහමායාවට ලකුණු 181 ක්ද, කුරුණෑගල මලියදේව බාලිකාව සඳහා ලකුණු 179 ක්ද, අවශ්‍ය වේ. රට පුරා ඇති මධ්‍ය මහා විද්‍යාල රාශියකම මෙම ලකුණු මට්ටම 150 ඉක්මවයි.

මෙවැනි ඉහළ ලකුණු ප‍්‍රමාණයක් හඹා යාම සඳහා දරුවා තුළ ඇති කරන පීඩනය හේතුවෙන් ඔවුන් තුළ ඇතිවන මානසික ආතතිය ඉහළ එකකි.

දරුවෙකු දිගුකලක් මානසික ආතතියට පත්වීමේ ප‍්‍රතිපල මොනවාද? එය මානසිකව මෙන්ම ශාරීරිකවද අයහපත් බලපෑමක් අැති කරයි. වැඩිහිටියෙකුට මානසිකව ඇතිවන ආතතික තත්තවයක් දරාගැනීමට සහ කලමණාකරණය කරගැනිමට හැකි වූවත්, දරුවන් සහමුළින්ම ඒ තුළ ගිලීයයි. රෝග පාලනය හා නිවාරණය පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය (CDC) මඟින් කරන ලද අධ්‍යයනයකට අනුව දිගු කලක් මානසික පීඩනයක ලක්වන දරුවන්ගේ මානසික සැකසුම් විවර්තනය වන අතර ශරීරාවයවයන්ගේද දුර්වලතා ඇති වේ. එම නිසා ඔවුන් තුල ජීවිත කාලය තුළම පවතින සෞඛ්‍යයමය ගැටළු ඉතිරි වේ. ශාරීරිකව ඇතිවිය හැකි සෞඛ්‍යයමය ප‍්‍රශ්න වශයෙන් සැලකෙන්නේ අධික තරබාරුව, හෘදරෝග, දියවැඩියාව, පිළිකා සහ අධික සියදිවි නසාගැනීමේ පෙළඹීමයි.

සාමාජීය වශයෙන් ගත් විට

සිතීමේ, නිර්මාණශීලී බවේ සහ අධ්‍යයනය කිරීමේ දුර්වලතා ඇතිවීම, ප‍්‍රචණ්ඩ හැසිරීම හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ගොදුරු බවට පත්වීම, අනතුරුදායක කි‍්‍රඩා සහ කි‍්‍රයාකාරකම් වලට පෙළඹීම, දුම්පානයට සහ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීමට වැඩි පෙළඹීමක් ඇතිවීම, ජීවිතයේ සෑම ක්‍ෂේත‍්‍රයකම පැතිරුණු අපිළිවෙළ ආදී තත්ත්වයන් ළමා වියේ දිගු කාලීන අතතියට ලක්වන පුද්ගලයෙකු තුල ඇතිවිය හැකි ලක්‍ෂණයි.

වසරකට ලක්‍ෂ 03 බැගින් අඩු වැඩි වශයෙන් ශාරීරික, මානසික රෝගීන් බවට පත් කළ පුරවැසියන් පිරිසක් ලාංකීය සමාජයට එකතු කරන ශිෂ්‍යත්ව විභාගයත් ලාංකීය අධ්‍යාපන ක‍්‍රමය ගැනත් ඉක්මන් අවධානයක් යොමු විය යුතුය.

නිර්මාණශීලී, සවිඥානික කි‍්‍රයාකාරිත්වය යනු මිනිසාගේ සුවිශේෂි ලක්‍ෂණයකි. ඒ සුවිශේෂීත්වයට ඉඩ නොලැබීම තුල මිනිසා මානසික රෝගියෙකු බවට පත්විය හැක. මාක්ස් පරාරෝපිත බව ලෙස හඳුන්වන්නේ මෙයයි. ධනේෂ්වර නිෂ්පාදන කි‍්‍රයාවලිය තුල කම්කරුවන්ට නිර්මාණශීලී, සවිඥානික කි‍්‍රයාකාරිත්වයකට ඉඩ ලැබෙන්නේ නැත. ඔවුන් බල කරන ලද තත්ත්වයක් යටතේ වැඩ කරයි. එනිසාම ඔවන් පරාරෝපිතයින් බවට පත් වේ.

අපගේ ප‍්‍රශ්නය මෙයයි. දරුවන්ගේ සවිඥානික නිර්මාණශීලී කි‍්‍රයාකාරිත්වයට ඉඩ නොදී මෙවැනි බල කරන ලද තත්ත්වයක් තුළ කටයුතු කරන්නට සැලසීම තුළ ඔවුන් පරාරෝපිතයින් බවට පත් නොවන්නේ ද?

නිදහසේ දුව පැන ඇවිදීමට, තම මිතුරු මිතුරියන් සමඟ කි‍්‍රඩා කිරීමට, කුතුහලයෙන් යුතුව මල්, සමනලයින්, කුරුමිණියන්, කුරුල්ලන්ගෙන් පිරුණු ලෝකය නිරීක්‍ෂණය කිරීමට නොතිත් ආශාවෙන් පිරුණු, මහා විශ්වය ඉක්මවා යාමේ විභවයන් සහිත මනස් වලින් යුත් අපගේ දරු පරපුර ශිෂ්‍යත්වය නම් සිරගෙය තුලට දමා අපි විනාශ කරමින් නොසිටිමුද?

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන්නේ එම විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ඉතා සුළු පිරිසකි. එහෙත් ඒ සියලූ දෙනා එක හා සමාන පීඩනයකට , ආතතියකට ගොදුරු වේ. සමත් වෙන සිසුන් ටික දෙනාට හා ඔවුන්ගේ දෙමව්පියන්ට සතුටු විය හැකි නමුත් අසමත් වන සිසුන් රාශියක්ම අත් විඳින්නේ ඉතා කටුක අත්දැකීමකි.

චන්ද්‍රික අධිකාරි