ලංකාවේ සමාජවාදයට මග

නියමුවා – 2019 දෙසැම්බර්
December 12, 2019
තාක්ෂණය හා සංස්කෘතිය
December 20, 2019
Show all

ලංකාවේ සමාජවාදයට මග

හැඳින්වීම

    පවතින ධනේශ්වර නිෂ්පාදන රටාව පලවා හැරිය හැකිවන්නේ සමාජවාදී සමාජ විප්ලවය මඟින් පමණකි. ඒ සඳහා වන දිගු ක්‍රියාදාමයෙහි ආරම්භය වන්නේ සංවිධානය වූ නිර්ධන පංතිය විසින් රාජ්‍ය බලය ලබා ගැනීමයි. ලංකාවේ සමාජවාදයට මග යනුවෙන් සාකච්ඡා කෙරෙනුයේ එකී භාවිතයට අපි උරදිය යුතු වන්නේ කවර ආකාරයටද යන්න විමසා බැලීමයි.

    ධනේශ්වර ක්‍රමයේ අර්බුදය ස්වභාවය පිළිබඳවත්, එහි ප්‍රතිඵල ලෙස අද දවසේ මානව සමාජය මුහුණ දෙමින් සිටින සමාජ, ආර්ථික ගැටලු පිළිබඳවත් මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයන් මත පදනම්ව අපි විවිධ ලිපි හරහා සාකච්ඡා කර ඇත්තෙමු. ඒ සියල්ල අවසානයේ අනිවාර්ය ලෙස එළඹෙන නිගමනය වූයේ, පවතින සමාජ ආර්ථික සැකැස්ම වෙනුවට නව සමාජවාදී ආර්ථික රටාවක් බිහි කළ යුතු බවකි. එනම් පෞද්ගලික දේපල ක්‍රමය වෙනුවට පොදු දේපල ක්‍රමයක් ක්‍රියාත්මක වන සමාජ ආර්ථික රටාවක් ගොඩ නැගීමය.

    පවතින ධනේශ්වර නිෂ්පාදන රටාව වෙනුවට මෙකී අර්බුදයන්ට ස්ථිරසාර විසදුම් අත්පත් කර ගත හැකි සමාජවාදී සංක්‍රමණීය අවධියක් හරහා කොමියුනිස්ට්වාදී සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම සරල, පහසු කටයුත්තක් නොවේ. මුළු මහත් සමාජය තුළ සෑම සියළු දහරාවකම ආධිපත්‍ය දරන ධනපති පංතිය එහි ආධිපත්‍ය වෙනුවෙන් රාජ්‍ය බලය හොබවන පංතියද වන්නේය. තවද රාජ්‍ය බලය හොබවමින් නිර්ධන පංතිය හා සෙසු පංතික කොටස් සූරාකෑමට ලක් කරමින් සිය පංති වුවමනාවන් සපුරා ගන්නා ධනපති පංතිය එතෙක් ලැබූ වරප්‍රසාද අත්හැර දැමීමට සූදානම් වන්නේද නැත. ඒ අනුව නිර්ධන පංතිය විසින් සිය වුවමනාවන් වෙනුවෙන් පවතින සමාජ ආර්ථික රටාව වෙනස් කිරීම ඉතා බරපතල වූත්, සංකීර්ණ වූත් දේශපාලනික ක්‍රියා මාර්ගයක් වේ.

    ධනේශ්වර පංතිය විසින් සූරාකෑම මත පදනම්ව පෞද්ගලික දේපල ක්‍රමය පවත්වා ගෙනයාම සඳහා රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින අතර, එය ධනේෂ්වර ව්‍යවස්ථාව, නීතිය, පරිපාලනය, නිලධාරි පැලැන්තිය, සන්නද්ධ සේවා, හිරගෙවල් හා පොලීසිය, පාර්ලිමේන්තුව වැනි ආයතන ඔස්සේ තහවුරු කරනු ලැබ ඇත. නිර්ධන පංතියට සිය විමුක්තිය දිනා ගැනීම සඳහා වූ අරගලයේදී සෑම සියළු ආකාරයකම ධනේශ්වර ආයතන පරාජය කිරීමට සිදුවනු ඇත. එසේ නොමැතිව ධනපති පංතිය අත පවත්වාගෙන යනු ලබන නිෂ්පාදන මාධ්‍යයන් අත්පත් කරගත නොහැක. නිෂ්පාදන මාධ්‍යයන් සමාජ සන්තක කිරීම සමාජවාදී සමාජ විප්ලවය මගින් සිදු කෙරෙන අතර, එකී කටයුත්තේදී නිර්ධන පංතිය විසින් සිදු කළ යුතු පළමු ප්‍රධාන කටයුත්ත වනුයේ රාජ්‍ය බලය ලබා ගැනීම වේ.

    මෙහිදී විමසා බලනුයේ මෙකී දේශපාලන ක්‍රියාවලියේදී මෙරට නිර්ධන පංතිය රාජ්‍ය බලය අත්පත් කරගැනීම උදෙසා කෙබඳු මාවතක් ගත යුතුද? යන ගැටළුවයි. එනම් මෙරට නිර්ධන පංතිය සිය අරමුණු ජයග්‍රහණය කිරීම උදෙසා කවර ආකාරයේ වූ මාවතක ගමන් ගත යුතුද යන්න මෙම සාකච්ඡාව ඔස්සේ විමසා බැලේ.

පංති සහයෝගීතාවය ධනපති පංතියට සේවය කරන අතර පංති සටන නිර්ධන පංතියට සේවය කරයි.

>පංති සහයෝගීතාවය ද? පංති සටන ද?

    සමාජවාදී සමාජ විප්ලවය ජයග්‍රහණය කරා මෙහෙයවන ආකාරය පිළිබඳ ගැටළුවේදී විවිධ වකවානු තුළ එක් එක් ස්වරූපයන්ගෙන් ඉදිරිපත් කෙරුණු අදහස් ගණනාවක් දැකිය හැක. එහි එක් ආකාරයක් වනුයේ පංති සහයෝගිතාවයයි. මින් ප්‍රකාශ කරනුයේ ධනපති පංතිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් නිර්ධන පංතියට සමාජවාදී ජයග්‍රණයන් අත්පත් කරගත හැකි බවයි.
ධනපති ක්‍රමය පවතිනුයේ ධනපති පංතිය විසින් නිර්ධන පංතිය නිර්දය ලෙස සූරාකෑම මතය. පංති සටන යනු සතුරු පංතින්ට බෙදීගිය සමාජයක ප්‍රතිවිරුද්ධ පංතීන් අතර පවතින අනවරත ගැටුමයි. පංති සහයෝගීතා දේශපාලනය පංති සටන අතහැර කටයුතු කරනු ලබයි.  නමුත් පංති සහයෝගීතාවය නැමති අවස්ථාවාදී දේශපාලන ප්‍රවනතාවයට එරෙහිව සමාජවාදය දෙසට වූ සැබෑ අරගල මාවත වැටී ඇත්තේ පංති සටන ඔස්සේය. සමාජවාදී කඳවුර බිඳවැටී ඇති තත්වය යටතේ මෙම අවස්ථාවාදී දේශපාලන මතවාදයට නව අර්ථකථන දීමට අවස්ථාවාදීන් වෙර දරති. . ඒ අනුව ධනපති පංතියට හා නිර්ධන පංතියට ඇත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ පංති අවශ්‍යතාවයන්ය. මේ නිසා පංති සහයෝගීතාවය තුළින් මෙම ප්‍රතිවිරුද්ධ වූ අවශ්‍යතාවයන් සපුරා ගත නොහැකි දේපල හිමි පංතීන් අත රාජ්‍ය බලය තිබෙනතාක් ඔවුන් පීඩිත පංතිය සමග සම්බන්ධ වනුයේ එම දේපල සම්බන්ධතාවයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. එයට ප්‍රතිවිරුද්ධව, සමාජවාදි සමාජ විප්ලවයේදී නිර්ධන පංතියේ අරමුණ වන්නේ එම පෞද්ගලික දේපල සබඳතාවයන් අහෝසි කිරීමය.

   ලෙනින් විසින් පරදවනු ලැබූ පංති සහයෝගීතාවාදය ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ නැවත මතු වූයේ ලෙනින්ගේ අභාවයත් සමගය. ස්ටාලින්ගේ මග පෙන්වීම යටතේ සෝවියට් දේශය සමාජවාදී විප්ලවය පිළිබඳ නිර්මාක්ස්වාදී මත කිහිපයක් ලෝක සමාජවාදී ව්‍යාපාරය මත පටවන ලදී. ඉන් එකක් වූයේ තනි රටක සමාජවාදය පිළිබඳ මතයයි. එය 1928දී 3වන ජාත්‍යන්තරයට ඉදිරිපත් විය. මීට අමතරව ඉදිරිපත්වූ වඩා බරපතල වෙනසක් වූයේ සමාජවාදී විප්ලවය අවධිවලට බෙදමින් අවධි තුළින් සමාජවාදයට යාම සඳහා ඉදිරිපත් කළ මතය වේ. ඒ අනුව ධනේශ්වර සංවර්ධනය සම්පූර්ණ නොවූ රටවල් අර්ධ වැඩවසම් – අර්ධ ධනේශ්වර ලෙස නම් කරන ලදී. එවැනි රටවල සමාජවාදී විප්ලවයට ප්‍රථම ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජය ගත යුතු බවත් ඒ සඳහා නිර්ධන පංතිය දේශීය ධනපති පංතිය සමග එකතු විය යුතු බවත් එවැනි රටවල දේශීය ධනපති පංතිය ප්‍රගතිශීලී වන බවත් පැවසිණි. මෙමගින් පංති සහයෝගීතාවාදයට මග පෑදුණි. පසු කලෙක පංති හතරක ආඥාදායකත්වය ලෙසින් මාඕවාදය හරහාද මෙය ප්‍රකාශ විය. තුන්වන ජාත්‍යන්තරයට ඉදිරිපත් වූ මහජන පෙරමුණු න්‍යායද අවසානයේ සේවය කළේ මෙම තත්වය සඳහාය.

   රුසියන් විප්ලවයෙන් පසු ලෙනින්ගේ නායකත්වයෙන් 1919 ගොඩනැගුණු 3 වන ජාත්‍යන්තරය විසින් ලෝක සමාජවාදය සඳහා වූ විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලදී. නමුත් ලෙනින්ගේ මරණයෙන් පසු 3වන ජාත්‍යන්තරය තුළ අවස්ථාවාදී පීලිපැනීම් ගණනාවක් සිදුවිය. අවස්ථාවාදයට යටවූ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ බලපෑමට හසුව තිබූ 3 වන ජාත්‍යන්තරයේ 1935 දී පවත්වන ලද එහි 7 වන සමුළුවට ස්ටාලින් ගේ මග පෙන්වීම යටතේ බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂ නායක ජෝර්ජ් දිමිත්‍රොව් විසින් යෝජනා කරන්නට යෙදුණු පැසිස්ට් විරෝධී මහජන පෙරමුණු න්‍යාය පංති සහයෝගීතාවාදී දේශපාලනයට බොහෝ  කොමියුනිස්ට් පක්ෂ ඇද දැමීමට හේතු විය. සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ආභාෂයෙන් ඉදිරියට ගිය මෙකී බොහෝ ව්‍යාපාරයන් පංති සහයෝගීතාවයට ඇදවැටීමට මෙම ක්‍රියාමාර්ගය වඩාත් ඉවහල් විය. ස්පාඤ්ඤය, චිලිය, ඉන්දුනීසියාව හා දෙවැනි ලෝක යුද්ධය ආශ්‍රිත යුරෝපීය අත්දැකීම් විසින්ද මේ බව හොඳින් සනාථ කෙරෙනු ඇත.

පංති සහයෝගීතාවය ලෝක වමේ ව්‍යාපාරයට ජයග්‍රහණ ලබාදුන්නාද?

>ස්පාඤ්ඤ අත්දැකීම්

    1931 අප්‍රේල්වලදී ස්පාඤ්ඤයේ රාජාණ්ඩුව බිඳ දමා ධනපති සමූහාණ්ඩුවක් පිහිටුවන ලදී. ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය හා ධනපති සමූහාණ්ඩුවාදී පක්ෂයත් එක්ව 1936 මුලදී ජනතා (ජනප්‍රිය) පෙරමුණක් ගොඩනගා ගන්නා ලදී. මෙකී පෙරමුණ 1936 පෙබරවාරි 16දා පැවැත්වූ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ අතර ජනතා ආණ්ඩුවක් පිහිටුවන ලදී. මෙම ආණ්ඩුවට විරුද්ධව ජෙනරාල් ෆැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ නායකත්වයෙන් සංවිධානය වූ ප්‍රතිවිප්ලවීය කැරැල්ලක් දියත් විය. වෙනම ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කළ මොවුන්ගේ කැරැල්ල වසර තුනක් පමණ ඇදී ගිය අතර එහිදී වාමාංශික ආණ්ඩුවට එක්වී සිටි ධනපති දේශපාලන පක්ෂ ඉන් ඉවත් වෙමින් වාමාංශිකයන් මර්දනයටද හමුල් විය. 1936 වන විට කොමියුනිස්ට් පක්ෂය තහනම් කළ අතර සෙසු වාමාංශිකයන්ද දස දහස් ගණනින් බිහිසුනු මර්දනයකට ලක් කළේය. ෆ්‍රැන්කෝගේ නායකත්වයෙන් ප්‍රතිගාමී හමුදා ආණ්ඩුවක් බලයට පත්විය. කොමියුනිස්ට් පක්ෂය පරාජයට පත්විය.

>ඉන්දුනීසියානු අත්දැකීම්

    1920 දී ඉන්දුනීසියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංගමය ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය බවට පත් කරන ලදී. යටත් විජිත පාලකයන් වූ ඕලන්ද ජාතීන් විසින් 1928 දී කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනු ලැබීය. 1927 දී ඔවුහු සුකර්නෝගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ දේශීය ධනපති ජනතා පක්ෂයට සහයෝගය ලබා දුන්හ. ඒ අතර කොමියුනිස්ට් පක්ෂය රහසිගතව ගොඩනැගුණි.

    දෙවන ලෝක යුද්ධයේදී ඉන්දුනීසියාව, පළමුව ජපනුන්ගේ යටත් විජිතයක් බවට පත්විය. අනතුරුව ජපනුන් පරාජයට පත්වීමත් සමග සුකර්නෝ විසින් 1945 අගෝ. 17 ස්වාධිපත්‍ය ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහෙත් ඕලන්දය සුකර්නෝගේ රජය නොපිළිගත් අතර ඔවුහු ජපනුන් පරාජය කරන මූවාවෙන් බි්‍රතාන්‍ය ආධාර ඇතිව ඉන්දුනීසියාවට ගොඩබටහ. එහිදී සුකර්නෝ හා ඕලන්ද හමුදා අතර යුද්ධයක් ඇති විය. නැවත 1947 මාර්තුවලදී දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ යටතේ ඕලන්දය, ඕලන්දයට හිමිව පැවති ඉන්දුනීසියානු ප්‍රදේශ ඔවුන්ටම පවරා දෙන ලදී. නමුත් මේ ගිවිසුම මගින් ඉන්දුනීසියාව නව යටත් විජිතවාදයට ගොදුරු විය. ඒ අනුව ඕලන්දය විසින් ඉන්දුනීසියාව වෙත දිගින් දිගටම බලපෑම් ඇතිකර ඔවුන්ට වාසිදායක යම් යම් ප්‍රතිපත්තීන් ඇති කර ගනු ලැබීය. අනතුරුව 1948 දී අත්සන් කෙරුන තවත් ගිවිසුමකින් ඕලන්දයට රටෙන් කොටසක් දීමට සිදු විය. එහෙත් දෙකඩ වූ කොමි. පක්ෂය නැවත මුසෝ ගේ නායකත්වයෙන් රටේ වැඩ කිරීමට පටන් ගත් නමුත් 1948 සැප්තැම්බරයේ ඇති වූ කුමන්ත්‍රණයකින් කොමියුනිස්ට් පක්ෂය මර්දනය කර විශාල ඝාතනයන්ද සිදුකෙරුනි. සුකර්නෝද අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් නැවත වාරයක් 1949 දී ඉන්දුනීසියාව නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕලන්දයට සිදුවිය. ඒ වන විට වාමාංශික පක්ෂ තහනම් කොට තිබුණි.

    1956 දී තවත් ජනතා (ජනප්‍රිය) පෙරමුණක් ගොඩනගන ලදී. මීට ජනතා පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය අයත් විය. 1961 මැතිවරණයෙන් මොවුහු බලයට පත් වූහ. මෙම කාලය තුළ කොමියුනි්ට් පක්ෂය ඉතා වේගයෙන් ඉන්දුනීසියාව තුළ වර්ධනය විය. පක්ෂ සාමාජිකත්වය ලක්ෂ ගණනින් ඉහළ යන ලදී.

    රජයේ හමුදා අතර සිටි ප්‍රතිගාමී කොටස් 1965 දී සුකර්නෝගේ නායකත්වයෙන් ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් රහසිගතව සංවිධානය කරනු ලැබීය. එය කොමියුනිස්ට් පක්ෂයට එරෙහි සාපරාධී කැරැල්ලක් ලෙස මතු වූ අතර එමගින් මුළු මහත් කොමියුනිස්ට් පක්ෂයම පාහේ සමූළ ඝාතනයට ලක් වුනි. අයිදිත්, ලුක්මන් වැනි කොමියුනිස්ට් පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක්වූ මෙම සිදුවීමත් සමග ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය බරපතල විනාශයකට ලක්විය. අවසානයේ සුකර්නෝගේ ආණ්ඩුව පෙරලා දැමූ සුහර්තෝ හමුදා සහයෙන් බලය අල්ලා ගනු ලැබීය.

>දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව යුරෝපීය අත්දැකීම්

    දෙවන ලෝක යුද්ධය ආසන්න වටපිටාව වන විට යුරෝපය තුළ දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුද ගණනාවක් මතුව තිබුණි. දෙවන ලෝක යුද්ධයට බලපෑ හේතුන් ඇත්තේද මෙහිය. මේ නිසා බොහෝ යුරෝපීය රටවල් තුළ නිර්ධන පංති ව්‍යාපාරයන්ද ඉතා ශක්තිමත් තැනෙක පැවතුනි. දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව බරපතළ ලෙස බිඳවැටී තිබූ ප්‍රංශය තුළ ක්‍රියාත්මකව තිබූ කොමියුනිස්ට් පක්ෂය රුසියානු ආභාසය හා මග පෙන්වීම තුළ පංති සහයෝගීතා ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා මතුකරගත හැකිව තිබූ සමාජවාදී ජයග්‍රහණයන් මග හැරුණි. ඉතාලියේද මෙවැනිම තත්වයක් නිර්මාණය විය. මෙය බොහෝ යුරෝපීය රටවල්වල මතු කරගත හැකිව තිබූ සමාජවාදී ජයග්‍රහණයන් පරාජය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් විය.

>චීනයේ අත්දැකීම්

    චීනය තුළ 1949 දී සමාජවාදී සමාජ විප්ලවය ජයග්‍රහණය කළද අවස්ථා දෙකකදී චීන කොමියුනිස්ට් පක්ෂය පංති සහයෝගීතා අත්දැකීම යටතේ දැවැන්ත විනාශයකට ලක් විය. ඒ 1924 – 1927 වකවානුවේදී ධනපති කුඕමිංතාන් ව්‍යාපාරය සමග ගොඩනැගූ එක්සත් පෙරමුණු යටතේය.

සමාජ ප්‍රතිසංස්කරණ හා සමාජ විප්ලවය

>

සමාජවාදය ගොඩනැගිය හැක්කේ සමාජ ප්‍රතිසංස්කරණ හරහාද? සමාජ විප්ලවය හරහාද?

    සමාජවාදී සමාජ විප්ලවය අරබයා ඇතමුන් දක්වන තවත් අදහසක් වනුයේ දේපල සබඳතාවයන්ගේ මූලික වෙනසක් ඇති නොකර සමාජ ආර්ථික දේශපාලන දේහයේ යම් යම් අංගයන්හි වෙනස්කම් සිදු කරමින් එනම්, ප්‍රතිසංස්කරණ මගින් සමාජවාදය උදා කරගත හැකි බවය. ප්‍රතිසංස්කරණවාදය බොහෝ විට පංති සහයෝගීතාවය සමග එක්ව ගමන් ගනී.

    ප්‍රතිසංස්කරණවාදීන් අතරින් ඇතැම්හු අද සමාජවාදයත්. ධනවාදයත් නොවන අතරමැදි තුන්වන මාවතක් ගැන නැවතත් මත පළ කිරීම අරඹා ඇත. ඇතමුන් ධනපති ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය තුළ නිම නොවූ කර්තව්‍යයන් විසඳීමට ධනපති රජයන්ට බල කරන අතර එකී ක්‍රියාමාර්ග වෙනුවෙන්ද පෙනී සිටී. ධනපති ක්‍රමයේ උත්පාත අවධියේ ලැබූ ජයග්‍රහණයන් අවපාත අවධියේදී අත්කර දිය හැකි නොවේ.  දී ලංකාවේ ජාතික ගැටළුවට විසඳුම් මෙරට ධනපති පංතිය වෙතින් බලාපොරොත් වීමද එවැන්නකි. ඒ සියල්ලම පවරා ගැනීමට සිදුව ඇත්තේ සමාජවාදී සමාජ විප්ලවයටය.

    ජනතාවගේ අරමුණු දිනා ගැන්ම වෙනුවෙන් යම් යම් ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස ධනපති රජයන්ට කරන බල කිරීම විප්ලවවාදී ව්‍යාපාරය අත්හල යුතු නොවේ. ජාතික ගැටළුව විසඳන ලෙස පවතින ධනපති ආණ්ඩුවට බල කිරීමද එවැන්නකි. එහෙත් ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාමාර්ග සමාජවාදය උදා කර ගැනීමේ ඒකායන මාර්ගය ලෙස සැලකීම නැතහොත් අරගලයේ ප්‍රධාන විධිය ප්‍රතිසංස්කරණ කරගැනීම සහ අරගලය, ප්‍රතිසංස්කරණය සඳහා පමණක් සීමා කිරීම බරපතල වරදකි. මේ පිළිබඳව ලෙනින් පවසා ඇත්තේ, “අපි ප්‍රතිසංස්කරණ සඳහා අරගලයට විරුද්ධ නොවෙමු. එහෙත් සමාජ විප්ලවය සඳහා වන අරගලය ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලයට යට කිරීමට හා ප්‍රතිසංස්කරණ සඳහා වන අරගලය වෙනුවෙන්සමාජ විප්ලවය සඳහා වන අරගලය අතහැර දැමීමට විරුද්ධ වෙමු.” යනුවෙනි.

>ප්‍රතිසංස්කරණවාදය පිළිබඳ ඉන්දියාව තුළ අත්දැකීම්

    අසල්වැසි ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය පළමු වරට 1957 දී ප්‍රාන්ත මැතිවරණයෙන් කේරල ප්‍රාන්තය තුළ බලයට පත්විය. ඉන්පසු ප්‍රාන්ත තුළ සමාජවාදී ප්‍රතිසංස්කරණයන් ලෙස ඉඩම් හා පාසල් ජනසතුව ආරම්භ කරන ලදී. මෙහිදී ක්‍රියාත්මක වූ මධ්‍යම රජය 1959 දී ප්‍රාන්ත ආණ්ඩුව විසුරුවා හැර කොමියුනිස්ට් පක්ෂය මර්දනය කරනු ලැබීය. නැවත 1967 ප්‍රාන්ත මැතිවරණයේදී ජෝතිබාසු ගේ නායකත්වයෙන් යුත් මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය බටහිර බෙංගාලයේ බලයට පත්විය. ඔවුන්ද ඉහත සඳහන් අත්දැකීමට සමාන ඉරණමකට මුහුණ දුන්හ.

>චිලියේ අත්දැකීම්

    1938 දී චිලී කොමියුනිස්ට් පක්ෂයත්, සමාජවාදී පක්ෂයත්, රැඩිකල් ධනේශ්වර පක්ෂයත්, ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් එක්වී ගොඩනැගූ ජනතා (ජනප්‍රිය) පෙරමුණ 1938 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබීය. අගියුරේ සෙර්දා ජනාධිපති විය. ඉන්පසුව 1942 පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අන්තෝනියෝ රියෝස් බලයට පත්විය. මෙය 1946 පමණ වන තෙක් පැවතුනි. 1946 ජනාධිපතිවරණය සඳහා කොමියුනිස්ට් පක්ෂයත්, රැඩිකල් ධනේශ්වර පක්ෂයත් එක්ව හවුලව ඉදිරිපත් කළ රැඩිකල් ධනේශ්වර පක්ෂයේ ගොන්සාලේස් පිදෙලා ජනාධිපති ලෙස පත්වේ. එහෙත් මොහු විසින් පවත්වා ගෙන ගිය ඇමරිකන් සම්බන්ධතා හේතුවෙන් කොමියුනිස්ට් පාක්ෂිකයන් වෙත මර්දනය කැඳවුණු අතර ඒ සමඟ කෙරුණු කුමන්ත්‍රණකාරී බොරු චෝදනා පදනම් කර ගනිමින් කොමියුනිස්ට් පක්ෂය 1947 අප්‍රේල් වලදී පෙරමුණෙන් නෙරපා දැමීය. හදිසි තත්වයක් රට පුරා ප්‍රකාශයට පත් කළහ. ඔක්තෝබර් වන විට කොමියුනිස්ට් නායකයින් සියළු දෙනාම අත්අඩංගුවට ගනු ලැබුවේය. අනතුරුව සෝවියට් සංගමයත් සමඟ තිබූ තානාපති සබඳකම් චිලී ආණ්ඩුව විසින් අහෝසි කරනු ලැබීය. “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ නියෝග” සම්මත කර ගනිමින් 1948දී දහස් ගණන් ගොවීන් හා කම්කරුවන් සිරගෙට යවනු ලැබීය. චිලියේ හමුදාව ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනයට යටත් කිරීමේ ගිවිසුමක් පිදෙලා විසින් අත්සන් කරනු ලැබීය. මෙයින් පසු 1952, 58 සහ 64 ජනාධිපතිවරණ සඳහා වමේ සහාය සහිතව සමාජවාදී පක්ෂයේ නායක අයන්ඬේ තරඟ වැදුනද පරාජයට පත්විය. 1969 දී කොමියුනිස්ට් පක්ෂය හා වමේ පක්ෂ එකතුව නැවත ජනතා (ජනප්‍රිය) පෙරමුණ ගොඩනගා අයන්ඬේ 1970 ජනාධිපතිවරණයට ඉදිරිපත් කොට ඉන් ජයගනු ලැබීය.

    සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ බරපතලම පාඩම චිලිය තුළින් අප දකින්නේ මෙහිදීය. ධනපති රාජ්‍ය යන්ත්‍රයේ කිසිදු වෙනසක් නොකොට ආණ්ඩු බලය පමණක් ලබාගෙන සමාජය තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට අයන්ඬේගේ රජය උත්සාහ කළ අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහයෝගය ඇතිව ප්‍රතිවිප්ලවවාදීන් ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විය. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා මගින් ආණ්ඩු පාලනය හා ජන මනස අවුල් කරන ලදී. අවසානයේ 1973දී හමුදාව තුළින් කුමන්ත්‍රණයක් දියත් වූ අතර ආණ්ඩුව බිඳ දමා හමුදාවේ සිටි ජෙනරාල් පිනෝචේ බලය අල්ලා ගනු ලැබීය. මෙහිදී අයන්ඬේ ඇතුළු බොහෝ පිරිසක් මිය ගිය අතර බරපතලම විනාශය සිදු වූයේ කොමියුනිස්ට් පක්ෂයටය.

සමාජවාදී විප්ලවයේ ස්වභාවය?

>සමාජවාදී විප්ලවය පිළිබඳ මාක්ස්වාදී ස්ථාවරය

    සමාජවාදී සමාජ විප්ලවයේ අරමුණ වන්නේ, එකිනෙකාට සතුරු පංතීන් ලෙස බෙදී ඇති ධනපති සමාජය තුළ පවතින පෞද්ගලික දේපළ සබඳතාවය පළවා හැර පොදු දේපළ සබඳතාවය පළවා හැර පොදු දේපළ සබඳතාවයක් ගොඩනැගීමයි. මෙය සිදුකරනු ලබන්නේ සංවිධානය වූ නිර්ධන පංතියේ නායකත්වයෙනි. නමුත් මෙකී පෞද්ගලික දේපළ හිමිකරගෙන  සිටින කවර හෝ ධනපති කොටසක් එකී පෞද්ගලික දේපළ සිය කැමැත්තෙන්ම නිර්ධන පංතිය වෙත පවරා නොදෙනු ඇත. ඔවුහු ඒ වෙනුවට කරනුයේ තව තවත් සූරාකෑම උග්‍රකරමින් සිය ලාභය හෝ ප්‍රාග්ධනය වැඩි කරගැනීමට කටයුතු කිරීම පමණකි. ඒ අනුව පැහැදිලි වනුයේ පෞද්ගලික දේපළ අහෝසි කිරීම යන්න ධනපති පංතියේ කැමැත්තෙන් සිදුවන කටයුත්තක් නොවන බවය. පෞද්ගලික දේපළ ක්‍රමය සාමකාමීව අහෝසි කළ හැකිනම් එවැනි තත්වයකට විරුද්ධ වන අවසාන පුද්ගලයන් කොමියුනිස්ට්වාදින් වනු හිතුවක්කාරී හෝ පුද්ගල අභිප්‍රායක් අනුව සිදු කළ හැක්කක් නොවේ. එය සමාජ ඓතිහාසික අවශ්‍යතාවයක ප්‍රතිඵලයකි. කිසිම ධනේෂ්වර පංතියක් අරගලයකින් තොරව සිය වරප්‍රසාද අත් නොහරින බව ලෙනින් පැහැදිල කර ඇත්තේ මෙසේය. “විවිධ රටවලදී එය (විප්ලවය) විවිධාකාරයෙන් වර්ධනයවේ. එය නිතරම දිගු කාලයක් තිස්සේ දුෂ්කරතාවයන්ගෙන් යුතුව ගමන් කරයි. ධනපතීන් තන්ගේ අයිතීන් එක්වරම අත්හරිතියි සිතන සමාජවාදිය නරකය. නැත: ලෝකය විසින් තවමත් එවැනි කරුණාබරිත ධනපතීන් බිහි කර නැත. සමාජවාදය වර්ධනය විය හැක්කේ ධනවාදය හා සමඟ කරන අරගලයෙන් පමණි. සටනින් තොර යටත් වූ පාලක පංතියක් ලොව මෙතෙක් කවරදාකවත් පැවැතී නොමැත.” මේ අනුව සමාජවාදී විප්ලවය කුමන ආකාරයක් ගන්නේද යන්න තීරණය කරනුයේ නිර්ධන පංතිය විසින් නොව ධනපති පංතිය විසින් බව පැහැදිලිය.

 

 

>හංගේරියාවේ අත්දැකීම්

    1919 දී ඔස්ට්‍රෝ හංගේරියාවේ සෝවියට් සභාවක් පිහිටුවමින් බලයට පත් බෙලාකුන් විසින් නායකත්වදුන් හංගේරියානු කොමියුනිස්ට් පක්ෂය එරටේ සමාජවාදී ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කටයුතු කිරීමත් සමග ප්‍රතිවිප්ලවීය ප්‍රචණ්ඩ ක්‍රියා මගින් සහ ධනපති රුමේනියාව විසින් ආක්‍රමණය කර නැවත බලයෙන් පහ කරන ලදී. එහිදී දස දහස් ගණන් කම්කරුවන් ඇතුලු කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් ඝාතනය කරනු ලැබීය.

>ගෝතමාලාවේ අත්දැකීම්

    1951 දී ගෝතමාලාවේ කොමියුනිස්ට් පක්ෂය මහ මැතිවරණයෙන් ආණ්ඩු බලයට පත් වු අවස්ථාවේදීත්, දකුණු අප්‍රිකාවේ කුඩා රාජ්‍යයක් වන ලෙසතෝවෙහි 1970 දී බලයට පත් කොමියුනිස්ට් පක්ෂය එම මොහොතේදීත් මුහුණ දෙනු ලැබුයේ එබඳුම තත්වයකටය. මින් පැහැදිලි කරනුයේ අන් කවරක් හෝ නොව සාමකාමී ලෙස බලය අත්හැරීමට ධනපති පංතිය විසින් සූදානම් නැති බවය. ග්‍රෙනඩා දූපතේ අත්දැකීමද මීට වෙනස් නොවේ. ජනතාව විශාල බලවේගයක් ලෙස සංවිධානය කිරීමෙන් සහ නිර්ධන පංති ව්‍යාපාරය ආණ්ඩු බලය සමගම රාජ්‍ය බලයද ලබා ගැනීමෙන් එවැනි මෘග ක්‍රියාමාර්ග දක්වා ධනපති පංතියට තල්ලු වීමට තිබෙන ඉඩකඩ සියල්ල අවුරා දැමිය හැකිය.

පාර්ලිමේන්තුව පිළිබඳ මාක්ස්වාදී ස්ථාවරය

>පාර්ලිමේන්තුව වමේ ව්‍යාපාරයට අකැපද?

    ධනේෂ්වර ක්‍රමය තුළ එහි උත්තර් නිර්මිතිය නියෝජනය කරන ආයතනයක් වශයෙන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වේ. එනිසාම ධනපති පාර්ලිමේන්තුව කරයුතු කරනුයේ ධනපති ක්‍රමයට එරෙහිව යාමට නොව එහි පැවැත්ම වෙනුවෙනි. ධනපති පංතිය පාර්ලිමේන්තුව අරබයා නිරන්තරයෙන් කරන ප්‍රකාශනයන් කෙරෙන් මේ බව ගම්‍යවේ. ඔවුහු ස්වකීය පාලනයේ “ප්‍රජාතන්ත්‍රීය බව” “සර්ව සාධාරණ බව” පෙන්වීමට පාර්ලිමේන්තුව යොදා ගනිති. එසේ වුවද නිර්ධන පංතියට පාර්ලිමේන්තුව තුළ අරගලය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක්ද නැත. එනම් ධනපති පංතියේ අරමුණුවලට වෙනස් වු නිර්ධන පංතික වුවමනාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ අරගල කළ යුතුය. තවද සමාජවාදී විප්ලවයේ අරමුණ ධනපති යන්ත්‍රයට අයත් සෑම සියලු ආයතනයක් වෙතම පතුරුවා හැරිය යුතුය. එකී අරමුණින් හා ජනතාව ආමන්ත්‍රණය කිරීමේ වේදිකාවක් ලෙස පාර්ලිමේන්තුව තුළ අරගලය මාක්ස්වාදීන් පිළිගනී. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති උපරිම ඉඩකඩ තුළ සිය අරගලය සඳහා කටයුතු කිරීම පිළිගනී.

   එමෙන්ම පාර්ලිමේන්තුව ඇතුළත පක්ෂවල අරගලය හා ඒ සමග බැඳෙන මැතිවරණවලට මුහුණදීම ඔස්සේත් බහුජනතාව වෙත අධ්‍යාපනය ලබාදීමේ වේදිකාවක් නිර්මාණය කර ගැනීමට නිර්ධන පංති විප්ලවවාදී ව්‍යාපාරයන් කටයුතු කළ යුතුය. නමුත් පංති සටන පාර්ලිමේන්තු අරගලයට සීමා කිරීම හෝ පාර්ලිමේන්තු අරගලය පංති අරගලයේ උසස්ම ක්‍රමය ලෙස සැලකීම සහ එයට අනෙකුත් සෑම අරගල විධියක්ම යටපත් කිරීම බරපතල වරදක් වනු ඇත. මේ නිසා ඉහත කී අරමුණු තුළ පාර්ලිමේන්තුව තුළ අරගලය හා ඒ සමග බැඳෙන අනෙකුත් මැතිවරණ ක්‍රියාදාමයන්ට සම්බන්ධ වන නිර්ධන පංති විප්ලවවාදී ව්‍යාපාරය, පාර්ලිමේන්තු අරගලය, සිය එකම හා ප්‍රධානතම අරගල මාදිලිය කරගන්නේ නැත. එනම් පාර්ලිමේන්තුවාදයට යටවන්නේ නැත.

 

සමාජවාදී විප්ලවයන්ගේ අත්දැකීම්

>පැරිස් කොමියුනය

    1789 දී ප්‍රංශයේ ධනේශ්වර විප්ලවය සිදු විය. 19 වන ශත වර්ෂය මැදභාගය වන විට ප්‍රංශයේ විශේෂයෙන්ම පැරීසියේ වේගවත් කාර්මික වර්ධනයක් සිදු විය. මීට සමාන්තරව පුළුල් වූ කම්කරු පංතියක වැඩීමද දක්නට ලැබුණි. පුළුල් වන කම්කරු පංතිය මත වූ පීඩනයට එරෙහි අවිගත් නැගිටීම් ගණනාවක්ම කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් 19වන සියවසේ ආරම්භයේ පටන් සිදුව තිබුණි. ප්‍රංශ අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින් කටයුතු කළ තුන්වන නැපෝලියන් 1870 දී ජර්මනිය ආක්‍රමණය කිරීම නිසා මතුවු ආර්ථික හා දේශපාලන අර්බුදය 1871 පැරිස් කොමියුනයට අදාළ වන සමාජ ආර්ථික පසුබිම සැකසීය. කොමියුනිස්ට් සංගමයේ හා කොමියුනිස්ට් ප්‍රකාශනයේ බලපෑමද පැරිස් කම්කරුවන් වෙත මේ වන විට දැඩිව බලපා තිබුණි.)නැපෝලියන් ජර්මනියට යටත් වීමෙන් පසු ඊට එරෙහිව එනම් ජර්මනියේ බිස්මාක්ට ප්‍රංශය යටත් වීමට එරෙහිව ප්‍රංශය තුළ මතු වු අරගල බිස්මාක්ගේ උපදෙස් පිට එවකට ප්‍රංශයේ අගමැති ‘තියර්’ විසින් මර්දනය කිරීමට කටයුතු කරන ලදී. මේ වන විටද ජර්මනියට එරෙහිව කළ යුධ සූදානම තුළ පැරිස් කම්කරුවෝ සන්නද්ධ වී සිටියහ. ප්‍රශ්නය උග්‍ර අතට පත්වුයේ තියර් මෙම කම්කරුවන් නිරායුධ කිරීමට උත්සාහ කිරීමත් සමගය. එකී ක්‍රියාමාර්ගයට එරෙහිව සටන් වැදුනු කම්කරුවෝ තියර්ගේ හමුදා පළවා හැර 1871 මාර්තු 18 පැරිස් නගරයේ බලය තමන් අතට ගත්හ. මෙය පැරිස් කොමියුනය ලෙස හැඳින්වේ.

කොමියුනයේ කටයුතුImage result for paris commune 1792

  • පල්ලිය රජයෙන් ස්වාධීන කර එයට රජයෙන් කළ සියළු දීමනා අහෝසි කිරීම.
  • පරිපාලන නිලධාරීන් කොමියුනය වර්ජනය කළ විට ජාතික මුර භටයන්ගේ මධ්‍යම කාරක සභාව, එකී කටයුතු ඔවුන් වෙත පවරා ගන්නා ලදී. අනතුරුව නිලධාරින් ඡන්දයෙන් තෝරා පත් කර ගන්නාලදී.
  • නිලධාරින්ගේ හා කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ නව නීතිරීති හඳුන්වා දීම.
  • නිලධාරීන් ඕනෑම අවස්ථාවක නෙරපීමේ බලය ජනතාවට ලබා දීම.
  • දේශපාන සිරකරුවන් නිදහස් කර මරණීය දණ්ඩනය අහෝසි කිරීම.
  • ධනපතියන් හැරදා ගිය කර්මාන්තශාලා කම්කරු පරිපාලනයක් යටතට භාරදීම සහ ප්‍රධාන කම්හල් කීපයක් කොමියුනයේ පාලනය යටතට ගැනීම.

    මේ අතර කොමියුනය විනාශ කර පැරිසිය යළි යටත් කර ගැනීමට වර්සේල්ස් හි සිට තියර් ක්‍රියා කරන ලදී. මේ සඳහා 1871 මැයි 10වන දින කොමියුනය ආක්‍රමණය කිරීමට බිස්මාක් හා තියර් ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ අනුව බිස්මාක්ගේද සහාය ඇතිව පැරිසිය ආක්‍රමණය කොට 20,000ක් පමණ මරා දමා 45,000ක් පමණ අත්අඩංගුවට ගෙන කොමියුනය විනාශ කර දැමුණි. ඒ අනුව 1871 මැයි28දා ලොව පළමු නිර්ධන පංති රාජ්‍යය වූ කොමියුනය දින 72කට පසු මුළුමනින්ම පරාජයට පත් කරන ලදී.

කොමියුනය බිඳවැටීමට බලපෑ හේතු

  • නිර්ධන පංතිය දියුණු පංති විඥාණයකින් සන්නද්ධව නොසිටීම.
  • ඌන සංවිධාන ශක්තිය.
  • ධනපති පංතිය පරාජයට පත්කිරීමට ශක්තිමත් ක්‍රියාමාර්ග නොගැනීම.
  • ගොවි ජනතාව සංවිධානය කර නොතිබීම.
  • පැරිස් කොමියුනය ප්‍රංශ විප්ලවය දක්වා ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙලක් නොතිබීම.
  • බැලැංකිවාදී, ප්රුදොන්වාදී බලපෑම නිසා මාක්ස්වාදය නිවැරදිව භාවිතා නොවීම.

කොමියුනයේ අත්දැකීම්

  • කොමියුන සාමාජිකයන්ගේ විප්ලවීය ක්‍රියාකාරිත්වය.
  • කම්කරුවන් අතරට සන්නද්ධව පැමිණි කාන්තාවන්ද කොමියුනයේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදීම.
  • ධනපති පංතියේ වුවමනාවන් වෙනුවෙන් සාදා නිම කළ රාජ්‍ය යන්ත්‍රණයක් ඒ ආකාරයෙන්ම නිර්ධන පංතියේ පංති වුවමනාවන් වෙනුවෙන් යොදාගත නොහැකි බව.
  • දියුණු කොමියුනිස්ට් පක්ෂයක අවශ්‍යතාවය.

>රුසියන් විප්ලවය

    සාර් පෙළපත විසින් අවට රටවල් යටත් කර ගොඩනගන ලද අධිරාජ්‍යය රුසියාව ලෙස හැඳින්වුනි. 19 වන සියවස මැද භාගය වන විට යුරෝපයට සාපේක්ෂව රුසියාවේ ධනේශ්වර සංවර්ධනය පැවතියේ ඉතා පහළ මට්ටමකය. 20 වන ශත වර්ෂය ආරම්භය වන විටත් ජනගහනයෙන් අති බහුතරයමහා ඉඩම් හිමියන්ගේ පීඩාවට පත්ව සිටි ගොවීන් විය. ප්‍රංශය, බි්‍රතාන්‍ය, ජර්මනිය, වැනි ධනපති රටවල ප්‍රාග්ධන ආයෝජනයෙන් නාගරික ප්‍රදේශවල ධනවාදය ඉදිරියට යමින් පැවතුනි. කෙසේ වෙතත් 20 වන ශත වර්ෂයේ ආරම්භයේදී රුසියාව තුළ බොහෝ සෙයින් වැඩවසම් ලක්ෂණ මෙන්ම ධනේශ්වර ලක්ෂණත්, ඒ තුළ වන අධිරාජ්‍යවාදයේ යම් ප්‍රවනතාවයනුත් දක්නට ලැබුණි.

Image result for රුසියන් විප්ලවය

    19 වන ශත වර්ෂයේ අවසාන කාර්තුව වනවිට යුරෝපයේ ප්‍රචලිතව තිබූ මාක්ස්වාදයේ බලපෑම රුසියාවටද දැනෙන්නට විය. ගොවි ව්‍යාපාරය හරහා ක්‍රියාකාරිත්වයට පිවිස සිටි “නරෝද්නික්” ව්‍යාපාරයන්හි පුරෝගාමී වු පසුව ඉන් ඉවත්ව “ශ්‍රම විමුක්ති කණ්ඩායම” බිහිකල ප්ලෙහනොව් වැන්නන් විසින් පසුව රුසියාවට මාක්ස්වාදය හඳුන්වා දෙන ලදී. මාක්ස්වාදී අධ්‍යයන කව හරහා ලෙනින් මාක්ස්වාදය හැදෑරීමට , භාවිතයට යොමු වූ අතර 1903 දී රු:ස:ප්‍ර:ක: පක්ෂයේ දෙවන සමුළුවේදී බොල්ෂෙවික් හා මෙන්ෂෙවික් ප්‍රවනතාවයන් නිර්මාණය විය.

    සාර් විසින් අවට රටවල් යටපත් කර ගැනීම හා රුසියානු අධිරාජ්‍ය පුළුල් කිරීමට ගන්නා උත්සාහය මුල්කොට ගත් යුදමය වටපිටාව මුල්කරගෙන 1905 වන විට රට තුළ දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක් මුතුව තිබුණු අතර ප්‍රමාණාත්මකව වර්ධනය වෙමින් පැවැති රුසියානු කම්කරු පංතියේ දැඩි සටන්කාමී අරගලයන්ගේ වටපිටාව තුළ 1905 – 1907 විප්ලව සමය ගෙවී ගියේය. රුසියාවේ සිදුවීමට නියමිත ධනේශ්වර විප්ලවය නිර්ධන පංතියේ වැඩපිළිවෙලක් තුළ නිමකිරීමට ලෙනින් වැඩපිළිවලක් ද සකසනු ලැබීය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක් ලෙස එය හැඳින්විණි. මෙයට බොල්ෂෙවික් පක්ෂය තීරණාත්මකව මැදිහත් විය. විප්ලවය පරාජය විය. ලෙනින්ට විදේශ ගතවීමට සිදුවිය.

    පසුව දියත් කෙරුන දැඩි මර්දනකාරී වටපිටාව හමුවේ දැවැන්ත අත්දැකීම් සම්භාරයක් උකහා ගත් බොල්ෂෙවික් පක්ෂය, නීති විරෝධී හා නිත්‍යානුකූල තත්වයන් ඒකාබද්ධ කරගනිමින් ක්‍රියාත්මක විය. 1905 පසු සාර් විසින් කැඳවු දූමා සභාව ආරම්භයේදී වර්ජනය කළ බොල්ෂෙවික්වරු පසුව ඒවාට සිය නියෝජිතයන් පත් කර යැවුහ. 1912දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයෙන් මෙන්ෂෙවික්වරු නෙරපා දැමු බොල්ෂෙවික්වරු පක්ෂය තුළ සිය බලය තහවුරු කර ගනු ලැබූහ. මෙය අවස්ථාවාදයට එරෙහි සටනේ වැදගත් පියවරක් විය. සාර් රජය 1914දී පළමු ලෝක යුද්ධයට සම්බන්ධ වීමත් සමග රට තුළ ගොඩනැගුණු ගැඹුරු ආර්ථික හා දේශපාලන බිඳ වැටීම ඔස්සේ කම්කරු පංතිය ප්‍රමුඛ අනෙකුත් ගොවි, සෙබළ පීඩිත කොටස් සංවිධානය කොට ඒ වන විටත් රට තුළ මතුව තිබූ කම්කරු පංති අරගලයට නායකත්වය සැපයීය. අනතුරුව 1917 පෙබරවාරි ධනේශ්වර විප්ලවය සිදුවිය. තාවකාලික ආණ්ඩුවක් බිහිවුණි. මෙහිදී 1905 වැඩපිළිවෙල වෙනස් කළ ලෙනින් බොල්ෂෙවික්වරුවන්ට නායකත්වය සපයමින් තාවකාලික ආණ්ඩුව රකිනු වෙනුවට සමාජවාදී විප්ලවය සඳහා ජනතාව මෙහෙයවූ බොල්ෂෙවික්වරු 1917 ඔක්තෝබර්වල රුසියාවේ සමාජවාදී විප්ලවය ජයගනු ලැබූහ.

    මෙහි විශේෂය වූයේ කම්කරුවන් ගොවීන් හා සෙබළුන් සෝවියට් සභා නම් ව්‍යුහයක් තුළ සංවිධානය වී සිටීමයි. 1917 වන විට සෝවියට් සභා වැඩෙමින් තිබූ අතර අවසානයේ සෝවියට් සභා වෙත බලය පවරා ගන්නා ලදී. රුසියන් විප්ලවය පළමුව නගරබද සිදු වූ අතර ගම්බදට ව්‍යාප්ත වූයේ පසුවය.

රුසියන් විප්ලවයේ අත්දැකීම්

  • විප්ලවීය පක්ෂයක අවශ්‍යතාවය.
  • අවස්ථාවාදයට විරුද්ධව කළ කොන්දේසි විරහිත අරගලය.
  • ඓතිහාසික තත්වයන් මත විප්ලවීය මාදිලිය තෝරා ගැනීම.
  • ධනපති පංතියේ ප්‍රතිගාමිත්වය.
  • සුදුසු විප්ලවවාදී උපාය උපක්‍රම භාවිතයට නැගීම.

>චීන විප්ලවය

    චීනය තුළ වැඩවසම් ලක්ෂණ බොහොමයක් මෙන්ම ආසියාතික නිෂ්පාදන රටාවට අයත් ලක්ෂණද පැවති අතර අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීමෙන් අනතුරුව ධනපති ලක්ෂණද බිහිවිය. ප්‍රාදේශීය යුද්ධාධිපතියන්ද, විශාල ඉඩම් හිමියන්ද, ජීවත් විය. ඉඩම්වල අස්වැන්නෙන් 40% පමණ ඉඩම් හිමියන් හා පාලකයන් අත්කර ගන්නා ලදී. 19 වන  සියවස ආරම්භයේදී චීනය “චිං” රජ පෙළපතට අයත් විය.

    19 වන සියවසේ මැදභාගයේ පටන් යුරෝපා ජාතීහු චීනයට කඩා වැදුනහ. බි්‍රතාන්‍ය, ජපන්, රුසියන්, ප්‍රංශ, ජර්මන්, අධිරාජ්‍යවාදීහු චීනය තුළ ස්වකීය ආධිපත්‍යය සඳහා කටයුතු කළහ. 1840 – 1850 පමණ වන විට ඉඩම් හිමියන් හා අධිරාජ්‍යවාදීන්ට එරෙහි ගොවි කැරැලි මතු විය. 1840 – 1842 අවධියේදී ඉදිරියට ගිය අබිං යුද්ධයද, 1851 සිට 1864 දක්වා පැවති තායිපින් දිව්‍ය රාජ යුද්ධයද එබඳු කැරැලිවලට අයත්ය. මෙම කැරැලි මර්දනයට බි්‍රතාන්‍ය, ජර්මනිය හා ප්‍රංශ හමුදා මැදිහත් විය.Image result for chinese revolution

    1900 වන විට විශාල ප්‍රතිසංස්කරණවාදී උද්ඝෝෂණ රැල්ලක් මතු විය. මෙම ප්‍රතිසංස්කරණ තුළින් චීන ධනපති ‘කුඕමිංතාන්’ පක්ෂය බිහිවිය. මෙහි ආරම්භක නායකයා වූයේ ‘සුංයත්සෙන්’ය . 1900දී දියත් කළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් චීනය තුළ ධනපති පංතියද සංවිධානය වීමට පටන් ගත් අතර 1911 දී සිදු කෙරුණු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය තුළින් ‘නැංකින්’ වල සුංයත්සෙන් ගේ නායකත්වයෙන් ධනේශ්වර ආණ්ඩුවක් පිහිටුවා ගැනුණි.  මෙය චීනයේ ධනේශ්වර විප්ලවය ලෙස සැලකේ.

    පළමු වන ලෝක යුද්ධයෙන් පසු 1919 දී අධිරාජ්‍යවාදීහු ලෝකය බෙදා ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළහ. මෙයට චීනය බෙදීමද අයත් විය. චීනය බෙදීමට විරුද්ධව 1919 මැයි 4 වන දින සරසවි සිසුන්ගේ හා බුද්ධිමතුන්ගේ විරෝධතාවයක් පැන නැගුණි. මෙකී වටපිටාව තුළ මාක්ස්වාදය අරබයා වූ උනන්දුවක් චීන සමාජය කෙරෙන් මතුව පැවතුණි. පසුව බිහිවූ කොමියුනිස්ට් පක්ෂයට එක්වූ ‘මාඕ සේතුං’ ‘චෞඑන්ලායි’ ආදීන් ද චීනය බෙදීමේ අධිරාජ්‍යවාදී ප්‍රයන්තයට එරෙහිවූවන් වූහ. වෙන්තු ෂියු, ලිලීසාන්, ආදීන්ගේ නායකත්වයෙන් 1921 දී චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවිය.

    1922 දී පැවැත්වූ පක්ෂයේ 2වන සම්මේලනයේදී 3 වන ජාත්‍යන්තරයට බැඳීමටත්, 1923 පැවැත්වූ සිය 3 වන සම්මේලනයෙන් අනතුරුව කුඕමිංතාන් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමටත් කොමියුනිස්ට් පක්ෂය තීරණය කරනු ලැබිණි. ඒ අනුව  කොමියුනිස්ට් පක්ෂ සමාජිකයින් සුංයත්සෙන්ගේ පක්ෂයේ සමාජිකත්වයද ලබා ගන්නා ලදී. මෙයට සෝවියට් සංගමයේද (ස්ටාලින්ගේ) සහාය ලැබුණි. අනතුරුව මොවුහු කුඕමිංතාන් පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කළහ. කුඕමිංතාන් පක්ෂයද 1924දී පක්ෂ සම්මේලනයක් පැවැත්වීය. එහිදී පහත සඳහන් දේ තීරණ හැටියට ප්‍රකාශයට පත්විය.

  • රුසියාව සමග මිත්‍ර සන්ධානයක් ගොඩනැගීම.
  • කොමියුනිස්ට් පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
  • ගොවීන්ගේ හා කම්කරුවන්ගේ උවමනාවන් ආරක්ෂා කිරීම.

    ඒ අනුව 1924 දී එක්සත් පෙරමුණක් පිහිටුවන ලදී. එයටද සෝවියට් සංගමයේ උදව් උපකාර ලැබුණි. 1925දි සුංයත්සෙන්ගේ මිය යාමෙන් පසු කුඕමිංතානයේ නායකත්වයට ‘චියැන් කායිෂෙක්’ පත්විය. මොහු 1926දී උතුරු දිග යුද ගමන සංවිධානය කළේය. මෙයින් යුද්ධාධිපතියන්ගෙන්, අධිරාජ්‍යවාදීන්ගෙන් හා ඉඩම් හිමියන්ගෙන් රට මුදා ගැනීමට බලාපොරොත්තු විය. මෙම අවධියේදී කොමියුනිස්ට් පක්ෂයද විශාල ලෙස වර්ධනය විය. මේ තත්වය යටතේ කලබලයට පත් කුඕමිංතාන් පක්ෂය කොමියුනිස්ට් පක්ෂයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස කොමියුනිස්ට් පක්ෂය එතෙක් ගණුදෙනු කළ ධනපති දේශපාලන ව්‍යාපාරයේ මර්දනයට ගොදුරු විය.

    මේ අතර ‘ෂැංහයි’ හා ‘කැන්ටන්’ යන නගර තුළ සෝවියට් මාදිලියට අනුව ගොඩනැගීමට ගිය සෝවියට් සභාවට එරෙහිව මර්දනය දියත් විය. චියං කායිෂෙක් එකී සෝවියට් සභාද විනාශ කරනු ලැබීය. අනතුරුව හුනාන් ප්‍රදේශයේ ගොවි අරගලයන්ගේ සාර්ථකත්වය උඩ 1928 දී ‘චිංකාන්’ වල මූල කඳවුරක් පිහිටුවා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයට හැකි විය. 1934 තෙක් හතර වතාවක් චියැංකායිෂෙක් ඊට පහර එල්ල කරන ලදී. එහෙත් පස් වන වතාවටත් එල්ල කළ ප්‍රහාරයේදී ඔරොත්තු දිය නොහැකිව සැතපුම් 6000ක සුප්‍රසිද්ධ පා ගමනක් ඔස්සේ පසුබැසීමට කොමියුනිස්ට්වරුනට සිදු විය. මෙම පාගමනට ලක්ෂ 3ක පමණ මිනිසුන් සහභාගි විය. මොවුන් ‘යෙනෑන්’ දක්වා ගොස් නතර වී නැවත කඳවුරු පිහිටුවා ගන්නා අවස්ථාව වන විට ඉතිරි වූයේ 30,000ක් පමණි. ‘යෙනෑන් කඳවුරු රුසියාව මායිමේ පිහිටා තිබිණි. පා ගමන අතරතුරේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා මාඕසේතුං පක්ෂයේ නායකයා ලෙස පත් කරලීය. මේ වන විට නැවත පක්ෂයේ අභ්‍යන්තර මතභේද ඇති විය. ලිලීසාන්ගේ නායකත්වයෙන් එක් කණ්ඩායමක් සිටි අතර, ඔවුන්ගේ මතය වූයේ මූල කඳවුරු අරගලය වෙනුවට සෑම තැනම සන්නද්ධ අරගල ක්‍රියාත්මක කළ යුතු බවයි.

    1931 සිට නැවත වරක් චීනයට ජපන් ආක්‍රමණ එල්ල විය. මේ හමුවේ ආක්‍රමණයට විරුද්ධව සමගි විය යැතු යැයි යන අදහස මතු විය. 1936 අගෝස්තුවල කොමියුනිස්ට් පක්ෂය කුඕමිංතාන් පක්ෂයට පෙරමුණක් හැදීමට යෝජනා කළේය. එය ප්‍රතික්ෂේප විය. පසුව කොන්දේසි ලිහිල් කර නැවත යෝජනාව ඉදිරිපත් කළේය. අවසානයේදී එකඟ වූ කොන්දේසි අතර,

    යෙනෑන් මූල කඳවුරු ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් පිහිටුවා ඇති පාලන ප්‍රදේශ චීන සමූහාණ්ඩුවේ විශේෂ ප්‍රදේශයේ ආණ්ඩුව ලෙස නැවත නම් කරනු ලබල අතර, රතු හමුදාව ජාතික විප්ලවකාරී හමුදාව ලෙස නැවත නම් කරනු ලබයි. මෙම ආණ්ඩුව නැංකින් (කුවෝමිංතාන්) ආණ්ඩුවේ පාලනයට යටත් කරනු ලැබේ.

  • විශේෂ ප්‍රදේශයේ ආණ්ඩුව යටතේ පවත්නා ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී වූ පාලන ක්‍රමයක් තරයේ ක්‍රියාත්මක කරනු ලැබේ.
  • ආයුධ බලයෙන් කුඕමිංතානය පෙරලා දැමීමේ ප්‍රතිපත්තිය අත්හැර දමනු ඇත.
  • ඉඩම් හිමියන්ගේ ඉඩම් අත්පත්කර ගැනීම අත් හරිනු ඇත.

යන කරුණු ප්‍රධාන විය.

    මෙම එක්සත් පෙරමුණු ගොඩනගන විට කුඕමිංතානය ජපානය සමග වෙනත් ගිවිසුමක්ද අත්සන් කර තිබුණි. මෙය හෙළිදරව් වන්නේ ජපන් විදේශ ඇමති හිරෝතා එහි පාර්ලිමේන්තුවේදී කළ කතාවකිනි.

මෙම ගිවිසුමේ කොන්දේසි

  • කුවෝමින්තාන් ආණ්ඩුව විසින් සියළු ජපන් විරොධී ව්‍යාපාර මැඩලීම.
  • දෙරට අතර ආර්ථික ව්‍යාපාර ගොඩ නැගීම.
  • කොමියුනිස්ට් ව්‍යාපාරවලට විරුද්ධව චීනය හාජපානය ඒකාබද්ධව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

     1935 දී මෙය අත්සන් කර ඇත. 1937 සිට 1945 දක්වා ජපන් විරෝධී අරගල ව්‍යාපාර එක්සත් පෙරමුණ මගින් දියත් කරන ලදී.

   1945 දී ජපනුන් දෙවන ලෝක යුද්ධයෙන් පරාජය විය. 1945 කොමියුනිස්ට් පක්ෂය සමුළුවක් කැඳවා පසුව පෙරමුණු ආණ්ඩුවක් ගොඩනැගීමට තීරණය කරනු ලබයි. චීනය විශාල පළාත් 12 කට බෙදා 8 ක් ධනපති පක්ෂයට ද 4ක් කොමියුනිස්ට් පක්ෂයට පාලනය කිරීමට ඔවුන් යෝජනා කරයි.

    ධනපති පක්ෂය ඊට පිළිතුරු නොදී 1945 ජුනි වල සාකච්ඡාවක් කැඳවීය. 1947 ජූලිවල කොමියුනිස්ට් පක්ෂයට ප්‍රහාරයක් එල්ල කළේය. කොමියුනිස්ට් පක්ෂයට ප්‍රතිප්‍රහාර දෙනු හැර කළ හැකි කිසිවක් නොවීය. එතැන් සිට 1949 දක්වා රට තුළ සිවිල් යුද්ධයක් ඇති විය. 1949 ඔක්. 1දා කොමියුනිස්ට් පක්ෂය ධනපති පක්ෂය පරදවා රජයක් පිහිටුවයි. යුද්ධ කාලය තුළ යෙනෑන් යුද කඳවුරට රුසියන් ආධාර ලැබුණි.

චීන විප්ලවයේ අත්දැකීම්

  • ජාතික විමුක්ති අරගලය සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණයෙන් කෙළවර කිරීම.
  • කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේ අවස්ථාවාදී මතවාදයන් විසින් චීන විප්ලවයට එල්ල කල ප්‍රබල බාධකය, (ධනපති පංතිය සමග එක්සත් පෙරමුණු නිර්ධන පංති ව්‍යාපාරයට විනාශයක් අත්කර දෙන බව)
  • යටත් විජිත ධනපති පංතියේ ස්වභාවය පිළිබඳව මෙයින් පැහැදිලි වේ.
  • විප්ලවවාදී පක්ෂයක නායකත්වයේ වැදගත්කම.
  • අවුරුදු ගණනාවක් තිස්සේ ගෙන ගිය යුද්ධයේදී චීන ජනතාව දැක්වු විප්ලවීය ජීව ගුණය හා පරිත්‍යාගය. (දීර්ඝ පා ගමන)
  • එක් රටක විප්ලවයේ මාදිලිය තවත් රටක ඒ අයුරින්ම ජයග්‍රහණය කළ නොහැකි බව. (සෝවියට් මාදිලිය ඔස්සේ කැන්ටන් ප්‍රදේශයේ සෝවියට් සභා ගොඩනැගීමට ගත් උත්සාහය පරාජය වීම)

>කියුබන් විප්ලවය

    1842 දී ස්පාඤ්ඤයේ යටත් විජිතයක් බවට පත් වු කියුබාව ස්පාඤ්ඤ, ප්‍රංශ හා ඇමරිකන් බලපෑම් යටතේ සිදුවූ ධනේශ්වර සංවර්ධනය සහිත පසුගාමී රටක් විය. උක් වගාව මුල් කරගත් සීනි කර්මාන්තය, දුම්කොළ, කෝපි සහ කොකෝවා එහි ප්‍රධාන නිෂ්පාදනය විය. සියළු වතු වගාවන් විදේශිකයන් සතු විය. ඇමරිකානු නිදහස් සටන, ප්‍රංශ විප්ලවය සහ ප්‍රංශ යටත් විජිතවල කෙරුණු සටන් කියුබාවට බලපෑ අතර ස්පාඤ්ඤ ආධිපත්‍යයට එරෙහිව කියුබානු ජනතාවද අරගල කළහ.Related image

    1860 – 1878 දක්වා කාලය තුළ ‘කාලෝස් මැනුවෙල්’ගේ නායකත්වයෙන් සන්නද්ධ අරගලයක් දියත් විය. එහිදී බහුජාතික මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමට යටත්විජිතවාදීහු ක්‍රියා කළද පසුව එය ක්‍රියාත්මක නොවීය. සන්නද්ධ නැගිටීම මර්දනය කෙරුණි. 1895 දී නැවතත් ජොසේමාටිගේ නායකත්වයෙන් ස්පාඤ්ඤ විරොධී අරගලයන් පැන නැගුණු අතර එය සාර්ථකව ඉදිරියට ගෙන යන ලදී. මෙම සටනට අන්තෝනියෝ මෂියෝ, මැක්සිමෝ ගෝමස්ද නායකත්වය දෙන ලදී. ජොසේමාටි සටන් බිමේදී මිය ගියද 1895 සැප්: 12 රටින් කොටසක් නිදහස් කරගෙන ව්‍යවස්ථානුකූල ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවිය.

   කියුබාව අවට මුහුදේ නාවුක බලය පැතිරීම මත ඇති බල අගලයේදී ස්පාඤ්ඤයටද කියුබාව අතහැර යාමට සිදුවිය. ඒ අනුව කියුබාව කෙරෙහි ඇමරිකන් බලපෑම උත්සන්න විය. 1901දී ඇමරිකන් ගැති පාලනයක් බිහි විය.

    1925දී කියුබානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලදී. කියුබාවේ සමාජවාදය වෙනුවෙන් එය ඉදිරියට ගියද 3 වන ජාත්‍යන්තරයේ බලපෑම මත පිරිහීමට පත් විය. 1925දී ‘ගෙරාර්ඩෝ මවාරු’ ගේ නායකත්වයෙන් ඇමෙරිකන් ගැති පාලනයක් නැවත පිහිටුවීය. මේ යටතේ ජනතාවට එරෙහි මර්දනය දියත් විය.

    1940 ජනාධිපතිවරණයෙන් හමුදා නිලධාරියෙක්ව සිටි බැටිස්ටා ජයග්‍රහණය කරයි. එහෙත් 1944 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් විය. 1948දී ‘කාලෝස් ප්‍රියෝ’ බලයට පත් විය. 1952 මාතර්තු 12 මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබියදී බැටිස්ටා විසින් දියත් කෙරුණු හමුදා කුමන්ත්‍රණයකින් මැතිවරණය අවලංගු කර බලය අල්ලා ගනු ලැබිණි. මේ තත්වය හමුවේ බැටිස්ටාගේ රජය නීති විරෝධී යැයිද ඔහුට වසර 108ක සිර දඬුවමක් දිය යුතු යැයිද පවසමින් ‘ෆිදෙල් කස්තෝ’ නඩුවක් පැවරීය. නඩුව ප්‍රතික්ෂේප විය. ඒ වන විට කියුබාව බරපතළ සමාජ ආර්ථික අර්බුදයන්ට මුහුණ දී තිබුණි.

      රැකියා වියුක්තිය33%, අර්ධ රැකියා වියුක්තිය 27%, ගොවිජනතාවගෙන් ලක්ෂයක් පමණ අඳ ගොවීන් වූහ.

   රටේ ආර්ථිකයෙන් 90%කට වඩා වැඩි පුමාණයක් එක්සත් ජනපදය සතු විය. 25%ක් අකුරු ලිවීමට හා කියවීමට නොදත්හ. ඉතිරි ජනගහණයෙන් 50%ක් ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූවන්ය. 60%ක් මන්දපෝෂණයෙන් පෙළුණි.

    ෆිදෙල් විසින් අධිකරණයේ පැවැරූ නඩුව ප්‍රතික්ෂේප වීමෙන්  අනතුරුව ෆිදෙල්ගේ නායකත්වයෙන් සන්නද්ධ කැරැල්ලක් සංවිධානය කළේය. මුළු කැරැල්ලටම සහභාගි වූයේ 125කි. ඉන් 95ක් කස්ත්‍රෝගේ නායකත්වයෙන් ‘මොන්කාඩා’ හමුදා බැරැක්කයට පහරදීමට යයි. 9 දෙනෙක් රාවුල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් අධිකරණ මාලකයට පහර දීමට යයි. 21 දෙනෙක් අබෙල් ශාන්ත මරියාගේ නායකත්වයෙන් හමුදා රෝහලට පහරදී අල්ලා ගැනීමට යයි.

    මෙය සිදු වූයේ 1953 ජූලි 26දාය. අධිකරණ මාලකය හා හමුදා රෝහල අල්ලා ගන්නා ලදී.මොන්කාඩා බැරැක්කයට පහර දීමට ගිය අයට එය අල්ලා ගැනීමට නොහැකි විය. විශාල පිරිසක් මිය ගියහ. කැලෑ පෙදෙසකට ෆිදෙල් ඇතුළු පිරිසක් පලා ගියේය. පසුව ඔවුන් අල්ලා ගෙනවුත් කිසිම නීතිමය අයිතිවාසිකමක් නොදී නඩු දමන ලදී. පැමිණිල්ල, ක්‍රස්ත්‍රෝට 25 වසරක සිර දඬුවමක් ඉල්ලා සිටියහ. මේ අවස්ථාවේ ෆිදෙල් තම යුක්ති සහගතබව ප්‍රකාශ කළේය. එය ‘හවනා ප්‍රකාශනය’ ලෙස හඳුන්වයි. ෆිදෙල් ඇතුළු පිරිසක් සිරගත කළේය.

     ඉන් පසුව ‘ජූලි 26 ව්‍යාපාරය’ නමින් රට පුරා ව්‍යාප්ත වූයේ මෙයයි. ෆිදෙල් නිදහස් කරන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ පැනනැගුණි. මේ තත්වය යටතේ 1955 ජුනි වල ෆිදෙල් ඇතුළු පිරිස නිදහස් කර රටින් පිටුවහල් කරන ලදී. ඔහු ඇමරිකාවට ගොස් එහිදී නැවත සංවිධානයවීම ඇරඹීය. 1955 දී ඔහුට මෙක්සිකෝවේදී ‘අර්නස්ටෝ චේගවේරා’ මුණගැසුණි. ඔහු ආජන්ටිනා ජාතික වෛද්‍යවරයෙකි. මෙක්සිකෝවේදී ෆිදෙල්, චේ ගවේරා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වේ. මෙක්සිකෝවේ ද මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව උද්ඝෝෂණ ඇතිවූ හෙයින් ඔවුන් නිදහස් කරන ලදී. ඉන් පසු ඔවුන් ‘ග්‍රැන්මා’ නැමති 8 දෙනෙකුට යෑමට සෑදු ධීවර බෝට්ටුවේ 82ක් පටවා 1956 නොවැම්බර් 25 වැනි දින කියුබාවට යෑමට පිටත් විය. ඔවුන් 30 වැනි දා ගොඩබැසීමට තීරණය කර තිබුණි. මේ කාලය තුළදී රට තුළ සිටි පිරිස් වැඩ වර්ජන හා උද්ඝෝෂණ ඇති කරන ලදී. ‘ෆ්‍රෑන්ක් ෆයර්ස්’ නැමැති පුද්ගලයා ඒ සඳහා මැදිහත් වේ.

    බෝට්ටුව මුහුදේදී කුණාටුවකට හසුවී, නියමිත දිනට යෑමට නොහැකි විය. ඒ වන විට වැඩ වර්ජන මර්දනය කර ඔවුන්ගේ සැලැස්ම හෙළිදරව් කර ගෙන තිබුණි. ඔවුන් බහින අවස්ථාව වන විට බැටිස්ටා ආරක්ෂක හමුදා තරකර තිබුණි. දෙසැම්බර් 4 වන දා උක් වගා බිමක් තුළ සැඟවී සිට 5 වන දා බැටිස්ටාගේ හමුදාවත් සමග සටන් කිරීමට සිදුවිය. අවසානයේදී 17 දෙනෙකු පමණක් ඉතිරි විය.

    1957 ජනවාරි 17වන දින ඔවුන් බැටිස්ටාගේ හමුදා මුරපොළකට පහර දී අවි ආයුධ කීපයක් ලබා ගත්තේය. ඉන් පසුව ඔවුන් ‘සියරා මයෙස්ත්‍රා’ කඳුවැටියට පසු බසින ලදී. ජනවාරි 20 වෙනිදා බැටිස්ටාගේ මුරපොළකට පහර දුන් අතර පසුබැස සියෙරා මයෙස්ත්‍රාව මූලස්ථානය කොට ගත්හ. බැටිස්ටාගේ හමුදාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ලදී. ඒ අතර ජූලි 26 ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත කළේය.

    1957 ජූලිවලදී බැටිස්ටා විරෝධී ධනපති දේශපාලන පක්ෂ දෙකක් සමග එකඟතාවට පැමිණි ෆිදෙල් ඇතුළු පිරිස ඔවුන් හරහා ප්‍රචාරක කටයුතු පුළුල් කෙරිණි. 1957 ඔක්තෝබරයේ, මෙකී දේශපාලන පක්ෂ තාවකාලික හවුල් ආණ්ඩුවකට ෆිදෙල් ඇතුළු පිරිසට ආරාධනා කලද ඔවුහු එය ප්‍රතික්ෂේප කලහ. 1957 ජූලි, බැටිස්ටාගේ හමුදාව විසින් ප්‍රෑන්ක් ෆය(ර්)ස් ඝාතනය කළ අතර ඔහුගේ අවමගුලට 60,000ක පිරිසක් සම්බන්ධ විය. 1958 මාර්තු 30 බැටිස්ටාගේ රජයට බදු නොගෙවන ලෙස නිවේදනයක් නිකුත් කෙරිණි. 1958 අගෝස්තුවේදී බැටිස්ටාගේ රජයට විරුද්ධව අරගල කළ ජනතා සමාජවාදී පක්ෂයද ෆිදෙල්ලාට එක්විය.

   1958 අගෝස්තු 30, සියෙරා මයෙස්ත්‍රාවෙන් බැහැර වී බැටිස්ටාගේ හකමුදාවට පහර දීමට ෆිදෙල් ඇතුළු පිරිස තීරණය කරන ලදී. ඒ අනුව චේගේ නායකත්වයෙන් ‘ලාස් විලාස්’ ප්‍රාන්තය අල්ලා ගැනීමටත් කණ්ඩායම් දෙකක් යවන ලදී. ඒ අතර බහුජන පෙරමුණ නගරයේ උද්ඝෝෂණයන්ට නායකත්වය දෙන ලදී. (ජූලි 26 ව්‍යාපාරය මෙහිදී පෙරමුණ ගන්නා ලදී) ක්‍රම ක්‍රමයෙන් බැටිස්ටා විරෝධී ප්‍රහාර හා උද්ඝෝෂණ උග්‍රවීමත් සමග 1959 ජනවාරි 01 දා හමුදා ජුන්ටාවකට බලය පවරා බැටිස්ටා කියුබාවෙන් පලා යන ලදී. මෙහිදී වහාම හවානා නගරය අත්පත් කර ගන්නා ලෙස ෆිදෙල්ගෙන් ලද අණ අනුව චේගේ නායකත්වයෙන් යුත් හමුදා කණ්ඩායම 1959 ජනවාරි 02 හවානා නගරයට ඇතුළුවන ලදී.

කියුබන් විප්ලවයේ අත්දැකීම්

  • කොමියුනිස්ට් පක්ෂයක මග පෙන්වීමකින් තොරව විප්ලවය ජයග්‍රහණය කිරීම. මෙය අළුත් අත්දැකීමක් වූයේ කියුබාව තුළ පැවති සුවිශේෂ තත්වයක් මතය. එමෙන්ම පෙරමුණු ගණනාවකින් දියත් කෙරුණු අරගලය මීට පිටුවහළක් විය. ජූලි 26 ව්‍යාපාරය කම්කරු – ශිෂ්‍ය වර්ජනය, උද්ඝෝෂණය හා වෙනත් දේශපාලන පක්ෂවල සහායද බහු ජනතාව අරගලයට දායක කර ගැනීමද ඉවහල් විය.
  • උචිත විප්ලවීය ක්‍රියාමාර්ගයන් තෝරා ගැනීමේ වැදගත්කම.
  • කියුබානු ජනතාවගේ විප්ලවීය ක්‍රියාකාරිත්වය හා ජීවගුණය.

    බැටිස්ටාගේ මර්දනය ඉදිරියේ කියුබානු ජනතාව දැක්වූ පරිත්‍යාගශීලිත්වයත්, විප්ලවීය ජීවගුණයත් නොවන්නට කියුබාවේ විප්ලවීය ජයග්‍රහණයක් දැක ගත නොහැකි වනු ඇත.

>වියට්නාම් විප්ලවය

       සමහර ලක්ෂණවලින් වියට්නාමයද ආසියාතික නිෂ්පාදන රටාවකට හිමිකම් කීය. 1862 දී ප්‍රංශය වියට්නාමය සමග වෙළඳ සබඳතා ඇති කර ගන්නා ලදී. ඒ වන විට වියට්නාමය පාලනය කළ රජ පෙළපත මේ සඳහා ඉඩකඩ විවර කර දුනි. අනතුරුව ගොඩබට ප්‍රංශ හමුදා 1883 පමණ වන විට සම්පූර්ණයෙන්ම වියට්නාමය තම යටත්විජිතයක් බවට පත් කර ගන්නා ලදී. 1890 වන විට මුලු ඉන්දු චීනයම යටත් කර ගත් ප්‍රංශ අධිරාජ්‍යවාදීහු ඒ සඳහා එහි යටත්විජිත පාලකයකු යටතට පත් කෙරිණ.

 Image result for vietnam revolution

   වියට්නාමය තුළ ධනපති ක්‍රමය ගොඩ නැගෙනුයේ ඉන් අනතුරුවයි. වෙළඳාම, කර්මාන්ත, ගල් අඟුරු, තේ වගාව, සහ සිමෙන්ති නිෂ්පාදනය ආදී ධනපති නිෂ්පාදන වියට්නාමය තුළ ව්‍යාප්ත විය. 20 වන සියවස ආරම්භයත් සමග ප්‍රංශ අධිරාජ්‍යවාදයට විරුද්ධව දේශප්‍රේමී බුද්ධිමතුන්ගේ නායකත්වයෙන් විරෝධතා ව්‍යාපාර ඇති විය. 1911 දී නැවත පිඟන් සෝදන්නෙකු ලෙස ‘හෝචිමිං’ ප්‍රංශයට යන ලදී. එහිදී ඉගෙන ගැනීමට කාලය වැයකරන අතරතුර එරට දේශප්‍රේමී සංවිධාන සමග ගනුදෙනු කෙරුණි.

     1920 දී පිහිටවනු ලැබූ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ හෝචිමිං ඒ ඔස්සේ කොමියුනිස්ට් ව්‍යාපාරයට සම්බන්ධ විය. ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය 3 වන ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස ක්‍රියාත්මක විය. හෝචිමිං ගොවි ජනතාවගේ ජාත්‍යන්තර සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්ද විය. පසුව චීනයට ගිය හෝචිමිං එහිදී වියට්නාම් විප්ලවවාදී තරුණ සංවිධානයක් ගොඩනගා රුසියානු ආධාර යටතේ ඉදි වූ යුද අභ්‍යාස මධ්‍යස්ථානයෙන් ඔවුන්ට පුහුණුව ලබා දුන්නේය. මේ සංගමය මගින් ‘තරුණයා’ නමින් සඟරාවක්ද නිකුත් කෙරුණි. ‘විප්ලවවාදී මාවත’ යැයි පොතක් හෝචිමිං ප්‍රකාශයට පත් කෙරීය. ඔහු චීනයේ සිටි කාලයේදී ගොඩ නංවන ලද තවත් සංවිධානයක් වූයේ ‘ආසියානු පීඩිතයින්ගේ සංවිධානයයි’. 1927 දී චීනයේ තිබූ එක්සත් පෙරමුණ බිඳ වැටේ. ඉන්පසු හෝචිමිං යුරෝපයට ගියේය. ස්විට්සර්ලන්තය, ඉතාලිය යන රටවල ඔහු ගත කරන අතරම පොත්පත් සඟරා, යුරෝපයේ මුද්‍රණය කර වියට්නාමයට යවනු ලබයි. මේ කාලයේ වියට්නාම් විප්ලවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරිත්වයක් ලෙස 1928 දී කොමියුනිස්ට් පක්ෂ 3ක් බිහිවේ. එනම්,

  • ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය.
  • ඉන්දු චීන කොමියුනිස්ට් සංගමය.
  • ඇන්නාම් (ඇනෑම්) කොමියුනිස්ට් පක්ෂය.

   1933 දී හෝචිමිංගේ නායකත්වයෙන් මෙම පක්ෂ 3ම වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ලෙස ඒකාබද්ද කර නැවත ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය ලෙස වෙනස් කළේය. ඉන්පසු සම්මේලනයේදී ඉදිරි වැඩපිළිවෙළක්  සකස් කරයි.

එය මෙසේය.

  • ප්‍රංශ අධිරාජ්‍යවාදය සහ ඉඩම් හිමියන් පෙරළා දැමීම.
  • වියට්නාමයට පූර්ණ ස්වාධීනත්වය දිනා ගැනීම.
  • ගොවීන්ට ඉඩම් ලබාදීම.
  • ගොවි කම්කරු රාජ්‍යයක් ගොඩනැගීම.
  • ගොවි කම්කරු හමුදාවක් ගොඩනැගීම.
  • වෘත්තීය සමිති, තරුණ සංගම් වැනි බහුජන සංගම් ගොඩනැගීම.

    මේ කාලයේදී 3 වන ජාත්‍යන්තරය හරහා ආ එක්සත් පෙරමුණු මතවාදය තුළින් අධිරාජ්‍ය විරෝධී එක්සත් පෙරමුණක් ගොඩනගයි.

   පසුව මෙම පෙරමුණ ඉන්දු චීන අධිරාජ්‍ය විරෝධී ජාතික පෙරමුණක් දක්වා පුළුල් කරනු ලැබේ. ධනපතියන් පවා මේ පෙරමුණ තුළ සිටී. නමුත් ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය තම පක්ෂයේ කටයුතු මෙම පෙරමුණු වැඩවලට ද්විතීයික කළේ නැත. ගරිල්ලා සේනාංක පුහුණු කිරීම, තමන්ට වෙනම ආරක්ෂිත ප්‍රදේශ ගොඩනැගීම ආදිය කරයි. 1941 වන විට ශක්තිමත් ගරිල්ලා ව්‍යාපාරයක් ගොඩනගා තිබුණි. මේකාලයේ වියට්නාමය ජපනුන් අතට පත් විය. දැන් ජපන් විරෝධී අරගලය කොමියුනිස්ට් පක්ෂය අතින් සිදු වේ. මේ කාලයේ ගරිල්ලා සේනාංකවලට අමතරව නිත්‍ය හා ප්‍රාදේශීය හමුදා ගොඩනගයි. මේ වන විට අවස්ථාවාදයට යටවී තිබූ 3 වන ජාත්‍යන්තරය ප්‍රංශයට සහයෝගය දෙන්නැයි කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලයි. ඔවුන් මෙය ප්‍රතික්ෂේප කරයි. ඔවුන් ප්‍රංශයට හා ජපනුන්ට විරුද්ධව අරගල කරයි.

   1945 දී ජපන් විරෝධී මහ සන්නද්ධ ප්‍රහාර කොමියුනිස්ට් පක්ෂය මෙහෙයවීම යටතේ සිදු වේ. ජපනුන් පරදවා සැප්. 2 ‘බාඩින්’ චතුරශ්‍රයේදී වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ ජනරජයට දෙපැත්තකින් ප්‍රහාර එල්ල වන්නට විය. උතුරෙන් චියැං කායිෂෙක්ගේ ප්‍රහාරයද, දකුණින් ජපනුන් නිරායුධ කරන්නැයි කියා බි්‍රතාන්‍ය හමුදාවක් සමග ප්‍රංශ හමුදාවක්ද පැමිණෙයි. මේ තත්වය හමුවේ 1946 ජනවාරි මැතිවරණයක් පවත්වා හෝචිමිං එහි ජනාධිපතිධුරයට පත් විය. ඔහු අධිරාජ්‍ය විරෝධී එක්සත් පෙරමුණ ශක්තිමත් කළේය.

   1946 දෙසැ. සිට ප්‍රංශ විරෝධී අරගලය ඇරඹුණි. මේ වන විට ප්‍රංශයට ඇමරිකාවෙන් විශාල ආධාර තොගයක් ලැබී තිබුණි. 1931 ජනවාරියේ හමුදාවක් කැඳවනු ලබයි. මතුවී ඇති නව තත්වය යටතේදී උතුරු වියට්නාමයේ සමාජවාදය ගොඩනැගීමටත් දකුණු වියට්නාමයේ ආක්‍රමණවලට විරුද්ධව සටන් කිරීමටත් තීරණය කළේය. කොමියුනිස්ට් පක්ෂය ‘වියට්නාම කම්කරු පක්ෂය’ ලෙස නම වෙනස් කළේය. මොවුන්ගේ පහරදීමේ උපක්‍රමය වූයේ කාලයක් ආරක්ෂාවීම සහ ඉන්පසු පහරදීමයි. වියට්නාමය තුළ තිබූ විශාලම ප්‍රංශ බලකොටුව ‘ඩියන්බියන්පු’ ය. මෙය පිහිටුවා තිබුණේ ඈත දුෂ්කර කඳුකර ප්‍රදේශයක තුන් පැත්තකින් වටවූ ප්‍රදේශයකය.

   වියට්නාම් ගරිල්ල (වියට්මිං) සේනාංකවලට නායකත්වය දුන් ‘නූයෙන් ගියාෆ්’ සෙනෙවියාගේ නායකත්වයෙන් 1954දී වියට්නාම් ගරිල්ලන් එම බලකොටුවට පහර දී අල්ලා ගන්නා ලදී. විශාල ප්‍රංශ හමුදාවක් ආසියාවේදී පැරදුණු ප්‍රථම අවස්ථාව මෙයයි. ගියාෆ් යුද සෙනවියා යටතේ කොමියුනිස්ට්වාදීහු මෙහි ජයග්‍රහණය අත්කර ගන්නා ලදී.

   ඉන්පසු ප්‍රංශය, වියට්නාමය සමග සාම සාකච්ඡා කිරීමට එකඟ වෙයි. ජිනීවා සාම සාකච්ඡාවලදී වියට්නාම්, කාම්බෝජ හා ලාඕසය ස්වාධීනත්වයත්, ඒකාබද්ධතාවයත් පිළිගනී. උතුර හා දකුණ පාලන දෙකක් ලෙස පිළිගනී. නිදහස් මැතිවරණයකින් මෙම දෙක එකතු කිරීමටද එකඟ වේ. මේ වන විට දකුණු වියට්නාමයේ පාලකයා වූයේ ‘බාඕදායි’ ය. ඔහු ප්‍රංශය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමෙන් වැලකී සිටී. මෙය ඇමරිකන් කුමන්ත්‍රණයකි. ගිවිසුම් අස්සේම කුමන්ත්‍රණයක් පිට ‘ඩින්ඩියම්’ දකුණු වියට්නාමයේ බලය අල්ලයි. දැන් දකුණට ලැබුණු ආධාර වඩාත් වැඩිවූ නිසා දකුණ සමග යුද්ධ කිරීම ඉතාම දුෂ්කර විය. මේ තත්වය යටතේ හෝචිමිං ඇතුළු පිරිස දකුණේ වියට්කොං ගරිල්ලා හමුදා පිහිටුවීමට තීරණය කරයි. මෙහි මූලික මෙහෙයවීම කළේ කම්කරු පක්ෂයයි.

    1960 සිට දකුණේ අරගල උත්සන්න වේ. ඩින්ඩියම් දකුණේ ගෙන යන මර්දනය මුළු ලෝකයේම පිළිකුලට භාජනයවේ. මෙයට විසඳුමක් ලෙස ඇමරිකාව ඩින්ඩියම්ව කුමන්ත්‍රණයකින් (1963) මරා දමයි. වසර 3ක් තුළ පාලකයින් 14 දෙනෙක් පත්වේ. අවසානයේදී ‘වෑන්තියු’ 1965දී බලයට පත් වේ. අවසානයේදී වියට්මිං හා වියට්කොං ප්‍රහාර වඩා දරුණු වන විට දකුණු වියට්නාමයේ නවතා තිබූ නැවකට පහර දුන්නා යයි (යු. එස්. එස්. ජනජෝයි නෞකාව) චෝදනා කර ඇමරිකාව විසින් උතුරු වියට්නාමයට බෝම්බ හෙළීය. 1968 වනතුරුම ඉතා දරුණු යුද්ධයක් පැවතුණු අතර මෙහිදී රුසියාවෙන් හා චීනයෙන් වියට්නාමයට ආධාර ලැබුණි.

    යුද්ධයේ බිහිසුණු බව හා විනාශකාරීබව ගැන ලෝක ප්‍රජාවගෙන් එල්ල වූ බලපෑම නිසා ‘පැරිස් සාම ගිවිසුම’ අත්සන් කරන ලදී. එය ඇමරිකාව හා උතුරු වියට්නාමය අතර අත්සන් කෙරුණකි. ඒ යටතේ,

  • උතුරට එල්ල වන ෂෙල් ප්‍රහාර නැවැත්වීම.
  • දකුණේ ස්වාධීනත්වය සඳහා ක්‍රියා කිරීමට අයිතිය දීම.
  • යුද්ධය දෙපාර්ශවයම විසින් නැවැත්වීම.
  • දකුණින් ඇමරිකන් හමුදා ඉවත් කර ගැනීමට යෝජනා වීමට එකඟ විය.

මේ 4 වන කොන්දේසිය ක්‍රියාත්මක නොවීම නිසා ගිවිසුම බිඳ වැටේ.

    දකුණේ අධිරාජ්‍ය විරෝධී පෙරමුණ පුළුල් කර එයට ආගමික, ධනපති සංවිධාන ඒකාබද්ද කරන ලදී. ඉන්පසු 1969 ජූලි වල තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් දකුණේ ප්‍රකාශයට පත් කරයි. ගම්බද ප්‍රදේශවල පාලනය මොවුන්ට අයත් වේ. දකුණු වියට්නාමයේ අගනුවර වූ ‘සයිගොන්’වල පාලනය ඇමෙරිකාව සතුව පැවතුණි. හැම තැනකම ගරිල්ලාවරු සිටීම නිසා ආමෙරිකානුවන් ආරක්ෂක ගම්මාන පිහිටුවීය. නමුත් ඒ හැම ගමකම වියට්කොං ගරිල්ලාවරුද සිටියහ. දකුණු වියට්නාමයේ අවු. 14ට වැඩි සෑම අයෙක්ම බලෙන් ඇමරිකන් හමුදාවට බඳවා ගැනීමට එරෙහිව දෙමාපියෝ, කුඩා කාලයේම ළමයි ගරිල්ලන්ට භාර දුන්හ.

    මේ කාලයේ ඇමරිකාවේ අනිවාර්ය යුද සේවය ප්‍රකාශයට පත් කළේය. 1972 දක්වා ඉතා බිහිසුණු යුද කාලයක් වියට්නාමය තුළ පැවතුණි. මෙම යුද්ධය නිසා දෙපිරිසම හෙම්බත් විය. 1959 දී ඇමරිකානුවන් ‘ටිලාගී’ ගම්මානය සම්පූණයෙන්ම විනාශයට පත් කළේය. වනාන්තරවලට විෂ වායු දැමීය. ගංගාවලට වස දැමීය. නවීන යුද උපක්‍රම අත්හදා බැලීය. බී 52 බෝම්බ හෙලන ගුවන් යානාද ගෙන්වන ලදී. නමුත් ගියාෆ් සෙනෙවියාගේ නායකත්වය යටතේ මේවාට සාර්ථකව මුහුණ දෙන ලදී.

    නැවත 1972 දී ‘පැරිස් සාම ගිවිසුම’ අත්සන් කරන ලදී. සටන් නවත්වන ලදී. 1972 – 1974 කාලයේදී වියට්නාම්වරු ඇමෙරිකාවට පහර දීමට හොඳින් සැලසුම් කළෝය. 1975 අප්‍රේල් 30 වනදා වියට්නාමය නිදහස් කර ගත්තේය.

    1976 මැතිවරණයක් පවත්වා උතුරු හා දකුණු වියට්නාම් දෙක ඒකාබද්ධ කරන ලදී. පසුව එය වියට්නාම් සමාජවාදී ජනරජය බවට පත් විය.

වියට්නාම් විප්ලවයේ අත්දැකීම්

  • වියට්නාම් කම්කරු පක්ෂයේ තිබූ උපක්‍රමිත වැඩපිළිවෙල, එක්සත් කළ හැකි පන්ති බලවේග, අධිරාජ්‍ය විරෝධී අරගලයේදී ප්‍රයෝජනයට ගැනීම.
  • දියුණු ශිල්පීය ක්‍රම භාවිතා කිරීම.
  • රටේ ජනතාවගේ විප්ලවීය ජීව ගුණය, දශක 4කට අධික කාලයක් වියට්නාම් ජනතාව ආක්‍රමණයකට විරුද්ධව යුද්ධ කළහ. රටේ ජනතාව යුද්ධය සඳහා සෑම තත්පරයක්ම වැය කළේය. දිවි පුදන හමුදා සේනාංක සාදා තිබුණි.
  • ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට ලැබුණු සහයෝගය, කාම්බෝජ ගරිල්ලාවරු, මලයානු හා තායිලන්ත ගරිල්ලා සේනාංක වියට්නාමයට සහයෝගය දැක්වීය. ඕස්ටේ්‍රලියාවේ වරායේ කම්කරුවන් ඇමෙරිකානු නැව්වලට සේවා සැපයීම වර්ජනය කළේය. කැනඩාවේ ගුවන් ප්‍රහාර විරෝධී ව්‍යාපාර ඇරඹීය. (භාර්යා ව්‍යාපාර, තරුණ ව්‍යාපාර, දෙමාපිය ව්‍යාපාර, කළු ජාතික ව්‍යාපාර)
  • සෝවියට් දේශයෙන් ලැබුණු යුද ආධාර, ලොව පුරාම අමෙරිකානු විරෝධී ව්‍යාපාර.
  • ස්ටාලින්වාදය ඉදිරිපත් කල අවස්ථාවාදී න්‍යායන් ප්‍රතික්ෂේප කිරීම.
  • අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලය විවිධ බලවේගයන් එක් කල දේශප්‍රේමී පෙරමුණක් ඔස්සේ මෙහෙයවීම හා එයට පීඩිත පංතියේ හා කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය ලබාදීම.

>නිකරගුවානු විප්ලවය

    16 වන සියවසේ මුල් භාගයේ සිට නිකරගුවාව පැවතියේ ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙසය. 1850 පමණ සිට අමෙරිකා එක්සත් ජනපදයේ බලපෑමටටද නිකරගුවාව ලක්විය. 1921දී නිකරගුවාව ස්පාඤ්ඤයෙන් නිදහස ලැබීය. එහෙත් එක්සත් ජනපද බලපෑම දිගටම තිබුණි. නිදහසින් පසු කාලය තුළ දිගටම ලිබරල් හා කොන්සවේට්ව් ලෙස කණ්ඩායම් දෙකක් පැවැති අතර සන්නද්ධ ගැටුම්ද පැවතුණි. කොන්සවෙටිව් කණ්ඩායම වඩා එක්සත් ජනපද හිතවාදී විය. Image result for nicaraguan revolution

    1926දී ඔගස්ටෝ තීසර් සැන්ඩිනෝ දේශපාලනයට පැමිණේ. ඔහු නිකරගුවානු ස්වාධීනත්වය රැකීමේ හමුදාව ගොඩ නගා එක්සත් ජනපදය විසින් නිකරගුවාවේ ස්ථාපිත කළ හමුදාවට පහර දී දේශප්‍රේමීයෙක් ලෙස රට තුළ තහවුරු වේ. 1932 මැතිවරණයෙන් ලිබරල්වාදීන් නියෝජනය කළ        “සකාසා” බලයට පත්වේ. ඔහුගේ හමුදා නායකයා වූයේ ‘සෝමෝසා ගාසියා’ ය. 1932 පෙබරවාරි 21 දින ජනාධිපති සකාසා සමග සාකච්ඡාවකින් අනතුරුව පිටත්ව යමින් සිටි ‘සැන්ඩිනෝ’ ඇතුළු පිරිසක් සෝමෝසා ගාසිය නිකරගුවාවේ බලයට පත් වේ.

    1956 පමණ වන විට සෝමෝසාගේ පාලනයට එරෙහිව ‘රීයෝ බර්ටෝ’ ‘ලොකිප්ස් පෙරෙස්’ ගේ නායකත්වයයෙන් සන්නද්ධ නැගිටීමක් සිදුවිය. මෙහිදී සෝමෝසා ඝාතනයට ලක්වන අතර ඔහුගේ වැඩිමහල් පුත් ‘ලුවිස් සෝමෝසා’ බලයට පත්වේ. 1967දී මොහු ඉල්ලා අස්වීමත් සමග ඔහුගේ සොයුරු ‘සෝමෝසා ඩිබෙල්’ බලයට පත් වේ. ඒ අතර ඝාතනය කළ සැන්ඩිනෝගේ නමින් 1961 ජූලිවලදී ‘සැන්ඩිනිස්ටා’ ජාතික විමුක්ති පෙරමුණ’ බිහිවිය. මෙම අරගලයේ නායකත්වය ‘කාලෝස් ෆොන්සේකා’ විසින් දැරෘ අතර මොවුන් විසින් 1974දී රජයේ ඇමතිවරයෙක් ඇතුළු කීපදෙනෙකු පැහැර ගැනීමෙන් තම ඉල්ලීම් ගණනාවක් දිනාගනු ලැබීය. අනතුරුව සිදු වූ සටන්වලදී කාලෝස් ඇතුළු නායකයින් ගණනාවක් නිකරගුවානු ප්‍රතිගාමිත්වය විසින් මරා දමනු ලැබීය. මේ අතර ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගුණු ඒකාධිපති ආණ්ඩු විරෝධී පෙරමුණ ‘දේශප්‍රේමී පෙරමුණක්’ වශයෙන් ජනතාව තුළ තහවුරු විය. 1977 පටන් සැන්ඩිනිස්ටාවරුන්ගේ අරගලය ප්‍රතිප්‍රහාර ඔස්සේ ඉදිරයට ගිය අතර 1978 අගෝස්තු 22දා ජාතික මාලිගය අත්පත් කර ගන්නා ලදී. 1979 මැයි මාසයේදී සිදු වූ ‘මැනගුවා’ අගනුවර සටන්වලින් අනතුරුව ජයග්‍රහණ ලැබූ විමුක්ති පෙරමුණ ජූලි 19 වෙනිදා විප්ලවීය රජයක් පිහිටවනු ලැබීය.

නිකරගුවානු විප්ලවයේ අත්දැකීම්

  • නායකත්වය විනාශ කිරීමෙන් අනතුරුවත් එය නොතකා ජයග්‍රහණය කරා ඉදිරියට ඒම.
  • පංති අරගලයේදී නව උපක්‍රම භාවිත කිරීම.
  • අධිරාජ්‍යවාදයට එරෙහිව දේශප්‍රේමී පෙරමුණක් ඔස්සේ විප්ලවීය ජයග්‍රහණ අත්කර ගැනීම, සෝමෝසාගේ ඒකාධිපති පාලනයටත්, අධිරාජ්‍යවාදී සූරාකෑමටත් එරෙහිව ගොඩ නැගුණු දේශප්‍රේමී පෙරමුණ මෙහිදී වඩාත් වැදගත් අරගල භාවිතයක් විය. ධනපති, සුළු ධනපතීන්, වාමාංශික, පල්ලිය ආදී විවිධ කොටස් දේශප්‍රේමී පෙරමුණ තුළ නිර්ධන පංතියෙ නායකත්වයෙන් පෙළ ගැස්වීමට සැන්ඩිනිස්ටාවරුන් සමත් වූහ. බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව රජයේ සියළු ප්‍රධාන වගකීම් හිමි කරගත්තේද සැන්ඩිනිස්ටාවරුය. නොඑසේව පංති සහයෝගීතාවාදී එක්සත් පෙරමුණු න්‍යාය තුළ ඔවුන් සිටියේ නම් නිකරගුවානු විප්ලවීය ධනපති පංතියේ ජයග්‍රහණයක් වීමට ඉඩකඩ තිබුණි.
  • විප්ලවීය ජීවගුණය.
  • සමාජවාදී අවධියේදී නිර්ධන පංති ආඥාදායකත්වය දුබල නොකළ යුතු බව. සමාජවාදී කඳවුර ඇද වැටීමේ තත්වයක් හමුවේ එකී රටවලින් ලැබුණු ආධාර උපකාර නොලැබී යාමත්, ආණ්ඩුවෙන් වෙන්ව ප්‍රතිගාමිත්වය හා එක්ව සටන් වැදුන ‘කොන්ට්‍රා’ ප්‍රතිවිප්ලවවාදීන්ගේ ප්‍රහාරයන් හමුවේත්, අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේත් 1992 වසරේදී ‘නිදහස් ජනාධිපතිවරණයකට’ ගිය ඩැනියල් ඔර්ටෙගා’ ඇතුළු සැන්ඩිනිස්ටා පෙරමුණ පරාජයට පත් වීමත් සමග සිදුවූයේ විප්ලවීය අරගලයක් ඔස්සේ අත්පත් කරගත් ජයග්‍රහණයන්, පෙරලා ධනපති පංතියට භාර දීමය. ඇමෙරිකන් නියෝජිතවරියක් වූ ‘වයලේටා චමරෝ’ එරට ජනාධිපති පදවියට පත්වූ අතර සැන්ඩිනිස්ටා රජයබිඳ වැටුණි. මින් හැඟීයන්නේ සමාජවාදී රාජ්‍යයක් තුළ නිර්ධන පංති ආඥාදායකත්වයේ ඇති සුවිශේෂ වැදගත් කමයි.

>ඇෆ්ගනිස්ථාන් විප්ලවය

ආර්ථිකමය හා සමාජමය වශයෙන් ඉතා නොදියුණු තත්වයක එනම් වැඩවසම් නිෂ්පාදන රටාවක් තුළ පැවති ඇෆ්ගනිස්ථානය ඉන් මුදවනු ලැබුවේ සමාජවාදී ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉස්ලාම් ආගමේ දැඩි බලපෑමට ලක්ව සිටි ඇෆ්ගන් ජනතාවගෙන් අති බහුතරයක් දෙනා ජීවත් වූයේ ඉඩම් හිමියන්ගේ ඉඩම් යායවල් වගා කරමින් හා සතුන් ඇති කරමිනි. රටේ එක් සැතපුමකවත් දුම්රිය මගක් නොවීය. කෝටි 2ක පමණ ජනගහණයෙන් ලක්ෂ කීපයක් පමණ වූ නාගරික කම්කරු පංතිය ඉතා සුළුතරයක් විය. ජනගහණයෙන් 95%ක්ම අකුරු නොදත් අය වූහ. විශාලතම ජාතිකත්වය වූ ‘පුෂ්කුන්’ ජන කොටස තුළ ගෝත්‍රික තත්වයන් පවා තව දුරටත් පැවතුණි. Related image

මෙසේ අන්ත පසුගාමීත්වයක පැවති ඇෆ්ගනිස්ථානයේ 1973 වන තෙක් පැවතියේ ‘ෂා’ පෙළපතට අයත් රාජාණ්ඩු පාලනයකි. 1973දී හමුදා කුමන්ත්‍රණයක් මගින් ‘මොහොමඞ් ඩාවුඞ්’ අගමැති විය. මොහු ‘සමූහාණ්ඩුවක්’ ගොඩනගන ලදී. එහෙත් ඔහු යටතේද සිදුකෙරුන ප්‍රතිසංස්කරණයන් සුළුය. 1970 ගණන්වල සිට ක්‍රියාත්මක වූ ‘පාර්චම්’ (කොඩිය) ‘කාල්ක්’ (ජනතා) යනුවෙන් හැඳින්වූ විප්ලවාදී කණ්ඩායම් දෙක එක්වී 1977 ‘ඇෆ්ගන් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ ගොඩනැගීය. එම පක්ෂයේ නායකයන් වූයේ ‘බබ්රාක් කර්මාල්’, ‘නූර් මොහොමඞ් තරාකී’, ‘හාෆිසුල්ලා අමීන්’ වැන්නන්ය. පසුව 1978 අප්‍රේල් 27 ‘මොහොමඞ් තරාකී’ හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබා ගන්නා ලද අතර අනතුරුව යළිත් මතභේද උත්සන්න විය.

මෙම බල අරගලය ඉදිරියට යෑමත් සමග පාර්චම් හා කාල්ක් කණ්ඩායම් අතර තව දුරටත් ගැටුම් ඇතිවන්නට විය. ඇතමෙකු සෝවියට් සංගමයේ රැකවරණය පැතීය. තරාකී බලයෙන් පහ කළ අමීන් ඇෆ්ගනිස්ථානයේ බලයට පත්විය. කර්මාල් සෝවියට් දේශයට පලා යන ලදී.

මේ අතර දක්ෂිණාංශික ඇෆ්ගන් කැරලිකරුවන්ගේ ප්‍රතිවිප්ලවයද මතු විය. ඉස්ලාම්වාදී හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් එවකට අගමැතිව සිටි (1979දී) අමීන්ගේ රජයට එරෙහිව කටයුතු කරන්නට විය. ගරිල්ලා ප්‍රහාර මැඩපැවැත්වීමට අමීන්ගේ රජයට නොහැකිවිය. මේ අතර සෝවියට් සංගමයට පලා ගොස් සිටි කර්මාල් එහි සිට බ්‍රෙෂ්නෙව්ගේ රජය සමග බලය ලබා ගැනීමට කටයුතු කළහ. 1979 දෙසැම්බරයේදී අමීන්ගේ ඉල්ලීම මත සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයට ලඟා විය. ප්‍රතිවිප්ලවීය කැරැලිකරුවන් මර්දනය කරන අතරවාරයේදී සෝවියට් හමුදා විසින් අමීන් බලයෙන් පන්නා දමා ඔවුන්ට හිතවත් කර්මාල්ට පාලනය භාරදීම සිදුවිය. අමීන් ඇතුළු කීපදෙනෙකු ඝාතනය කරනු ලැබීය.

පසුව කර්මාල් යටතේ ඇෆ්ගන් ප්‍රගතිශීලී ව්‍යාපාර සමගි කිරීමටත්, සමාජවාදී ප්‍රතිසංස්කරණයන් ඇරඹීමටත් පියවර ගැනුණි. ඒ අනුව අකුරු ඉගැන්වීමේ ව්‍යාපාරයක් සහ ඉඩම් ප්‍රතිසංස්කරණයක් ආරම්බ කෙරිණි.

එහෙත් ඇෆ්ගන් විප්ලවයේ බරපතල අඩුපාඩු විශාල ප්‍රමාණයක් දක්නට විය. දියුණු කොමියුනිස්ට් පක්ෂයක් නොමැති වීම එක් කාරණයක් වූ අතරම සමාජවාදී ප්‍රතිසංස්කරණ ප්‍රවේශමෙන් කළ යුතු විය. ජනතාව සංවිධානය කරමින් ඔවුන් මතවාදීව සූදානම් කරමින් ජනතා  ජනතා සහාය සහිතව රට තුළ ප්‍රතිසංස්කරණ කරනවා වෙනුවට සෝවියට් හමුදා හා ආධාර මත ඍජු ලෙස යැපීමට සිදුවීම ප්‍රතිගාමිත්වයට වාසිගෙන දෙන්නක් විය. ඔවුන් සිය විප්ලවය නම් කොට තිබුණේද සමාජවාදී විප්ලවය ලෙස නොව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙසය.

මොවුන් බලයට පැමිණීමට පෙරද මෙම මතවාදයට අනුව කටයුතු කළහ. ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්චම් කණ්ඩායම ඩාවුඞ් රජයට සහයෝගය දුන්හ. 1978 බලය දිනා ගැනීමෙන් පසුවද මොවුහූ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කළහ. කෙසේ වෙතත් පසුගාමී ඇෆ්ගන් සමාජය ඉන් මුදවා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් විශාල මෙහෙයක් ඉටුකරන ලදී. ඉඩම් අහිමි ගොවි පවුල් 2,48,000කට අක්කර 1,400,000ක් බෙදා දෙමින් ආරම්භ කළ දැවැන්ත ඉඩම් ප්‍රතිසංස්කරණය ඉන් එකකි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉදිරියට ගියද ප්‍රතිගාමී කුමන්ත්‍රණයන්ගෙන් අඩුවක් නොවීය. ඇමරිකානු උපකාර ඇතිව නිර්මාණය කළ ‘මුජහිදීන්’ අන්තවාදී ගරිල්ලා ව්‍යාපාරය පෙරමුණු ගණනාවකින් සෝවියට් හමුදාවලටත් කර්මාල්ගේ ආණ්ඩුවටත් එරෙහිව සටන් වැදුනි. සමාජවාදී රජයේ ප්‍රතිසංස්කරණයන් ජනතාවට භුක්ති විඳිනවා වෙනුවට යුද්ධයකට මැදිව ජීවත් වීමට සිදුවුනි. ආර්ථිකය පැවැතියේද සෝවියට් ආධාර මතය. ඇමරිකන් මතයට අනුව ‘ආක්‍රමණීය සෝවියට් හමුදා’ වලට එරෙහිව ජාත්‍යන්තර මතයක්ද සැකසුනි. ඒ අතර 1985 සෝවියට් දේශයේ බලයට පත් ගොර්බචොෆ්ගේ ප්‍රතිසංස්කරණ යටතේ ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටි හමුදා ආපසු කැඳවීමට තීරණය විය. ප්‍රතිඵලය වූයේ කෙමෙන් සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමයි. එහෙත් ඊට සාපේක්ෂව ජනතාව අතර තහවුරු වෙමින් ස්ථාවර ආණ්ඩුවක් බවට පාලක සමාජවාදී රජය පත්වූයේ නැත. සිදුවුයේ ප්‍රතිගාමිත්වය ශක්තිමත් වීමයි. මේ අනුව අවසානයේදී සමාජවාදී ආණ්ඩුව බිඳ වැටුණි. අවසාන කාලයේ අගමැතිව සිටි නජිබුල්ලා බලයෙන් පහකෙරුණු අතර පසුව මරා දමනු ලැබීය.

ඇෆ්ගන් විප්ලවයේ අත්දැකීම්

  • දියුණු කොමියුනිස්ට් පක්ෂයක අවශ්‍යතාවය. ලොව සෑම තැනකම විප්ලවීය අරගලයන් විසින් තහවුරු කරන ලද දියුණු කොමියුනිස්ට් පක්ෂයක මග පෙන්වීමේ අවශ්‍යතාවය ඇෆ්ගන් විප්ලවය තුළින්ද මතු කෙරේ. බොල්ෂෙවික් පක්ෂයක් තුළ පැවතිය යුතු ලක්ෂණයන්ට පටහැනිව කණ්ඩායම්වාදයත්, කණ්ඩායම් ලෙස එක්ව පක්ෂය ගොඩනැගීමත් හේතුවෙන් පංතිය සමගි කිරීමේත් නායකත්වය දීමේත් පෙරමුණු බල ඇණිය සතු වැඩ කොටස ඇෆ්ගන් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් සිදුනොවීය.
  • සමාජවාදී ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයෑම සඳහා වූ පුළුල් බහුජන පදනමක අවශ්‍යතාවය.
  • පූර්ව ධනවාදී සමාජයක් සමාජවාදී විප්ලවය දක්වා ඉදිරියට ගෙනයෑකෙම් හැකියාව.
  • ජනතා සහභාගීත්වයෙන් කෙරෙන විප්ලවයක් වෙනුවට ජනතාවට හොරෙන් කෙරෙන හමුදා කුමන්ත්‍රණ පන්නයේ බලය ලබාගැනීම් වල අසාර්ථකභාවය.
  • පූර්ව ධනපති ලක්ෂණ ඇතුළු නොවිසඳුනු ධනපති ප්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් සමාජවාදී ප්‍රතිසංස්කරණ තුළම කරනවා වෙනුවට එම සංවර්ධනය අවධිවලට බෙදීමේ වරද.

එක් රටක සාර්ථක වූ විප්ලවයක මාදිලියක් තවත් රටක විප්ලවයේ අරගල මාදිලිය ලෙස ගලපාලිය නොහැක.

    ලොව පුරා සිදුවූ ජයග්‍රාහී විප්ලවයන්ගේ අත්දැකීම් සැලකිල්ලට ගැනීමේදී පැහැදිලිව දැකගත හැකි දෙය නම් ඒ ඒ විප්ලවවාදී ව්‍යාපාර එක් එක් මාවත් ඔස්සේ ගමන් කරන ලද්දේ කල්තියා සකස් කරන ලද නිශ්චිත මාදිලියකට අනුව නොවන බවයි. විප්ලවවාදී ව්‍යාපාරයක් ඒ ඒ අවස්ථාවන් යටතේ මුහුණ පෑ ඓතිහාසික තත්වයන් තුළ උචිත උපාය උපක්‍රම යොදාගැනීමෙන් එහි ජයග්‍රහණ අත්පත් කරගන්නා ලදී. එනම් පවතින හා අලුතෙන් පැනනගින තත්වයන් මාක්ස් ලෙනින්වාදීන් ලෙස විමසා බලා පංති සටනේ ජයග්‍රහණ උදෙසා එකී රටවල් මඟ පාදා ගත් බවයි. ජයග්‍රාහී විප්ලවයන්, විප්ලවයේ ගමන් මග නිශ්චිත වන අන්දම පිළිබඳ අපට ලබා දෙන අත්දැකීම් එසේයි. එසේ වුව ජයග්‍රාහී රටවල අත්දැකීම් හා වෙනත් බොහෝ රටවල අරගල අත්දැකීම් තවත් රටක විප්ලවීය මාදිලිය ලෙස සූත්‍රගත කිරීමට ගොස් අසාර්ථක වූ අන්දමද ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඉතිහාසය අපට උගන්වයි.

   කම්කරු පංතියට වෘත්තීය සමිති හෝ එවැනි වෙනත් මගක් නොතිබුණු රුසියාවේ, එම යුගයේ පැවති තත්වයන් යටතේ සටන්කාමී කම්කරුවන් විසින් තම ශක්තිය එක්රැස් කරන මධ්‍යස්ථානය වශයෙනි සෝවියට් සභා ගොඩ නගන ලදී. එරට බොල්ෂෙවික්වාදීන් සිදුකරන ලද්දේ රුසියන් විප්ලවයේ ජයග්‍රහණ වෙනුවෙන් මෙකී තත්වය උපයෝගී කොට ගැනීමයි. එදා රුසියාවේ පැවති තත්වය විසින් කම්කරු පංතියට සෝවියට් සභා ගොඩනැගීමට බල කෙරුණු අතර සෝවියට් සභාවල බලය දිනා ගැනීම මගින් රුසියාවේ සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරා මෙහෙයවීමට හැකිවිය. එහෙත් රුසියාවේ කම්කරු පංතියත්, විප්ලවාදී ව්‍යාපාරයත් අනුගමනය කළ ක්‍රියාමාර්ගය අන්ධානුකරණයෙන් භාවිතයට නැගීම අරගලයේ ඓතිහාසික තත්වයන් මගහැර යෑමක් වන්නේය.

    1919දී ජර්මනියේ ‘මියුනිච්’ නගරයේ කම්කරුවන් තම රටේ පවතින සුවිශේෂ තත්වයන් නොසලකා සෝවියට් සභා ගොඩනැගීමට යාමෙන් පරාජය වූහ.

    පසුව ජයග්‍රහණය කරා ගමන් ගත් චීන විප්ලවීය අරගලය තුළද මෙකී අත්දැකීම හඳුනා ගත හැක. 1927දී චීනයේ ‘කැන්ටන්’ හා ‘ෂැංහයි’ නගරවල කම්කරුවන් සෝවියට් සභා ගොඩනැගීමට ගත් උත්සාහය කෙළවර වූයේද මර්දනයට ගොදුරු වීමෙනි.

    සෝවියට් මාදිලිය අත්හල චීන කොමියුනිස්ට් පක්ෂය තම රටේ සුවිශේෂ තත්වයන් සැලකිල්ලට ගනිමින් මූල කඳවුරු පිහිටුවීම වෙතට පිවිසියද එයද ජයග්‍රහණය කරනු ලැබුවේ එකවර නොවේ. සෝවියට්දේශ සීමා ආසන්නයේ පිහිට වූ ‘යෙනෑන්’ කඳවුර එහි ජයග්‍රාහී පියවර විය. එනම් අරගලයේ විවිධ වකවානු තුළ ඊට ගැලපෙන මාදිලීන්ද පැන නගින බවයි.

    අනතුරුව චීන අරගල අත්දැකීම් ඒ ආකාරයෙන් ගලපන්නට ගත් උත්සාහයන් ව්‍යාර්ථ වූ අන්දමද ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය අපට උගන්වයි.

    මූල කඳවුරු න්‍යාය ඒ ආකාරයෙන්ම ගලපන්නට ගත් උත්සාහය පරාජය වීමේ අත්දැකීම් එක් කරනුයේ ඉන්දියානු කොමියුනිස්ට් ව්‍යාපාරයයි. බටහිර බෙංගාල ප්‍රාන්තයෙහි, ප්‍රාන්ත රාජ්‍ය බලය ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය වෙත තිබියදී, තවත් කණ්ඩායමක් විසින් ‘නක්සල් බාර්’ ප්‍රදේශය ගම් 80ක ප්‍රාදේශීය මූල කඳවුරක් බවට පත් කරන ලදී. ‘චාරු මසුම්දාර්’ ගේ නායකත්වයෙන් ගොඩනගන ලද මෙම මූල කඳවුර ඉන්දීය හමුදා මැදිහත් වී විනාශ කරන ලදී. එමෙන්ම ‘බිහාර්’ හා ‘තෙලඟානා’ ප්‍රදේශවල තවත් මූල කඳවුරු ගොඩනගන ලද අතර ඒවාද පෙර පරිදිම විනාශ කරන ලදී.

    මාදිලියක් කොපි කිරීමට ගොස් බරපතල අසාර්ථකත්වයක් අත්පත් කරගැනීමට ලතින් ඇමරිකානු රටවල විප්ලවීය ව්‍යාපාරයන්ටද සිදුවිය. ඒ කියුබානු විප්ලවයේ මාදිලිය ඒ ආකාරයෙන්ම වැළඳ ගැනීමට යාමෙන්ය. 1967දී චේගවේරාගේ නායකත්වයෙන් වු බොලිවියානු ගරිල්ලා ව්‍යාපාරය ජනතාව සමග ක්‍රියාකාරිත්වයට ඒමට පෙර සතුරා විසින් විනාශ කරනු ලැබීය.

    එහෙත් නිකරගුවානු අත්දැකීම ඊට වඩා වෙනස් විය. සෝමෝසාගේ මර්දනය තුළ සියළු කොටස්වල ධනපති, සුළු ධනපති, කතෝලික පල්ලිය, ශිෂ්‍යයන්, බුද්ධිමතුන්ගෙන් සමන්විත පෙරමුණක් බිහිවිය. එහිවිශේෂය වූයේ අරගලය තුළත් විශේෂයෙන් අරගලයේ ජයග්‍රහණයන් සමග සැන්ඩිනිස්ටාවරු බලය තහවුරු කර ගැනීමය.

    මේ අයුරින් ලොව පුරා කොමියුනිස්ට් ව්‍යාපාර ඓතිහාසික තත්වයන් මග හරිමින් එක් රටක විප්ලවීය මාදිලියන් ඒ අයුරින් අත්හදා බැලීමට යාමෙන් විනාශය අත්කරගත් අන්දම අපට පෙන්වා දෙයි.

>විප්ලවයේ මාදිලිය අරබයා ලෙනින්වාදී අගය කිරීම

මෙය පිළිබඳ ලෙනින්ගේ අදහස් ඉතා පැහැදිලි ලෙස මෙසේ ඉදිරිපත් කර ඇත.

“අපි මුල පටන් අරඹමු. අරගලයේ විධිය පිළිබඳ ප්‍රශ්නය විභාග කරන සෑම මාක්ස්වාදියෙකුගේම මූලික ඉල්ලීම් මොනවාද? පළමුව කවර හෝ විශේෂිත අරගල විධියකට බැඳී නොසිටීම මගින් මාක්ස්වාදය සමාජවාදය පිළිබඳ සියළු ප්‍රාථමික විධීන්ගෙන් වෙනස් වේ. එය අරගලයේ ඉතාම විවිධ විධීන් පිළිගනී. ව්‍යාපාරය පිළිබඳ ගමනේදී නැගී සිටින විප්ලවාදී පංතීන්ගේ අරගල විධීන් කෙරෙහි එය සාමාන්‍යකරණයක් කරනවා මිස, සංවිධාන කරනවා මිස ඒවාට සවිඥාණක නිර්ණයක් කරනවා මිස ඒවා සකස් නොකරයි. සියළු වියුක්ත සූත්‍ර, විධීන්ට සහ සියළු වට්ටෝරුවලට මුළුමනින්ම විරුද්ධවෙමින් මාක්ස්වාදය, ව්‍යාපාරය වර්ධනය වන පරිද්දෙන් ජනතාවගේ පංති විඥාණය වර්ධනය වන පරිද්දෙන්, ආර්ථික හා දේශපාලන අර්බුද තියුණු වන පරිද්දෙන්, ආරක්ෂාව සහ ප්‍රහාරය පිළිබඳ නව සහ වඩාත් විවිධ ක්‍රම නිරන්තරයෙන් පැනනංවන, දියුණු වෙමින් පවත්නා ජනතා අරගලය වෙතට පරික්ෂාකාරී සංවිධානයක් ඉල්ලා සිටී. එහෙයින් මාක්ස්වාදය ඒකාන්ත වශයෙන් කවර හෝ අරගල විධියක් ප්‍රතික්ෂේප නොකරයි. නිශ්චිත සමාජ තත්වයේ වෙනස් වීම්වලට අමතරව අනිවාර්යයෙන්ම පැනනගින, නිශ්චිත කාල පරිච්ඡේදයේ ඒවාට සහභාගී වන්නන්ට අප්‍රකට එම නව අරගල විධීන් පිළිගනිමින් මාක්ස්වාදය නිශ්චිත යුගයකදී පමණක් සිදුවිය හැකි සහ පවත්නා අරගල විධීන් තුළ සීමා නොවේ. මේ අනුව මාක්ස්වාදය ජනතා භාවිතයෙන් උගනියි. එමෙන්ම ‘සකස් කරන්නන්’ විසින් තම අධ්‍යයනයේ හුදෙකලාභාවය තුළ ප්‍රබන්ධ කරන ලද අරගලයේ ජනතා විධීන්ට තමන් තමන් හෝ ඉගැන්විය යුතු යැයි ද පළ නොකරයි. අර්බුදය විසින්, කලින් දැක ගැනීමට නොහැකි නව අරගල විධීන් හඳුන්වා දෙන බව සමාජ විප්ලවයේ විධීන් අධ්‍යයනය කරද්දී ‘කෞට්ස්කි’ කී පරිදි අපි දනිමු. “දෙවනුව මාක්ස්වාදය අරගලයේ විධිය පිළිබඳ ප්‍රශ්නයේ සර්ව සම්පූර්ණ ඓතිහාසික පරීක්ෂණයක් ඉල්ලා සිටී. මෙම ප්‍රශ්නය සංයුක්ත ඓතිහාසික තත්වයන්ගෙන් වෙන් කොට සැලකීම, ඓතිහාසික භෞතිකවාදයේ මූලික කරුණු තේරුම් ගැනීමට ඇති අසමත්කම එළිදරව් කරයි. ආර්ථික පරිණාමයේ විවිධ අවධිවලදී වෙනස් දේශපාලනික, ජාතික, සංස්කෘතික, ජීවන හා වෙනස් තත්වයන් මත රඳා පවතිමින් අරගලයේ විවිධ විධීන් පැනනැග අරගලයේ ප්‍රධාන විධීන් බවට පත්වේ. මේ හා සම්බන්ධ ද්විතීක හා උපකාරක අරගල විධීන්ද වෙනස් වේ. කවර හෝ විශේෂිත අරගල විධියක් භාවිතා කළ යුතුද යන ප්‍රශ්නයට නිශ්චිත අවධියක නිශ්චිත ව්‍යාපාරයක සංවර්ධනයේ සංයුක්ත තත්වය පිළිබඳව සවිස්තර පරීක්ෂණයක් නොපවත්වා ‘ඔව්’ හෝ ‘නැත’ යන පිළිතුර ලබා ගැනීමට තැත් කිරීම මාක්ස්වාදී ස්ථාවරයෙන් සපුරා වෙන් වීමකි”

(ලෙනින් – එකතු කළ කෘති – වෙළුම – 213 – 214 පිටුව)

එක් එක් ඓතිහාසික තත්වයන් යටතේ විවිද අරගල විධීන් පැන නගී.

>අරගල විධිය තීරණය කල යුත්තේ කෙසේද?

    ධනපති පංතිය වෙතින් රාජ්‍ය බලය අත්කර ගැනීම යන්න, නිර්ධන පංතියට සිය අරමුණු දිනා ගැනීම සඳහා වූ අරගලයේදී ප්‍රධානම කටයුත්ත බව මනාව පැහැදිලි කරුණකි. ධනේශ්වර නිෂ්පාදන රටාව ලොව පුරා වැඩී යාමත් සමග ඊට එරෙහිව නිර්ධන පංතියේ විමුක්තිය උදෙසා සිදු කෙරුණු අරගල අත්දැකීම් ඒ බව මනාව පෙන්නුම් කරන අතරම ජයග්‍රාහීව අවසන් වූ සමාජවාදී සමාජ විප්ලවයන් වෙතින් එය තවදුරටත් සනාථ කරනු ලබයි.

    ඒ අතරම මෙකී සෑම ජයග්‍රාහී අරගලයක් තුළම දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් ද ඇත. 1917 ඔක්තෝබර් විප්ලවයේ පටන් ලොව පුරා ජයග්‍රාහී වූ සෑම සමාජවාදී සමාජ විප්ලවයක්ම එකිනෙකට වෙනස් මගක් ගනු ලැබිණි. එනම්, පවතින ඓතිහාසික විෂය මූල වටපිටාව යටතේ අරගලයේ ස්වභාවය වෙනස් මගක් ගන්නා බව මෙකී ජයග්‍රාහී සමාජවාදී සමාජ විප්ලවයන් විසින් පෙන්වා දී ඇත. මේ අනුව වැඩ කරන ජනතාව අතරට සිය අරමුණු දිනා ගැනීම සඳහා වු, අරගලය සඳහා එක් ආකාරයක් නැති නම් එක් මාදිලියක් තෝරා ගන්නවා වෙනුවට අදාල ඓතිහාසික දේශපාලන වටපිටාව තුළ අරගල මාදිලිය තෝරා ගැනීමට බල කොට ඇත.

    ඒ අනුව සමස්ත විප්ලවයේ ගමන් මග පිළිබඳව සාකච්ඡා කරන විට එය එක් එක් අවධීන් තුළ වෙනස් මගක්, වෙනත් මාදිලියක් ඔස්සේ සිදු කෙරෙන බව මාක්ස් – ලෙනින්වදී අගය කිරීම තුළ අපට පෙන්වා දෙනු ලැබ ඇත. පංති සටන තුළ ඉතිහාසයේ මතු වූ විවිධ අරගල ආකෘතීන් අපි දකිමු. එසේම අනාගතයේ නව අරගල ආකෘතීන් බිහිවීමේ හැකියාවද අප ප්‍රතික්ෂේප නොකරමු. කෙසේ වෙතත් මාක්ස්වාදීන් ඉතිහාසයේ තිබූ කිසිදු අරගල ආකෘතියක් යාන්ත්‍රිකව භාවිතා නොකල යුතුය. පවතින තත්වයන් තුළ නව අරගල ආකෘති බිහිවිය හැකි බවත්, ඕනෑම ආකෘතියක් තම අරමුණු වෙනුවෙන් යොදා ගැනීමත් පිළිබඳව අවදියෙන් හා අවබෝධයෙන් සිටීම ප්‍රමාණවත් වේ.

පැවති සමාජවාදී කඳවුර බිඳවැටීම විසින් පංති සටන හෝ විප්ලවය හෝ ප්‍රතික්ෂේප වී නොමැත. පැරණි මාදිලිය හෝ නව අරගල මාදිලින්ගේ පැන ලැගීම ප්‍රතික්ෂේප වී නොමැත.

>සමාජවාදී කඳවුරේ බිඳවැටීම විසින් පංති සටන හෝ විප්ලවය ප්‍රතික්ෂේප කෙරේද?

    සෝවියට් සංගමය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපීය සමාජවාදී රාජ්‍යයන්ගේ බිඳ වැටීම යතාර්ථයකි. එහෙත් එම බිඳ වැටීම ආශ්‍රිතව පැනනැගී ඇති විවිධ ධනේශ්වර දෘෂ්ටිවාදින්ගේ විවිධ මතවාදයන් හා විග්‍රහයන් නිවැරදි බවක් දක්නට නොමැත. මෙවැනි මතවාදයන් තුළ ධනපති නිෂ්පාදන රටාව තවදුරටත් පවත්වාගෙන යෑමේ අරමුණ සනිටුහන් වන ධනපති පංතියේ උවමනාවන් සැඟව තිබීම තේරුම් ගත යුතුය.

    සමාජවාදය යනු සංක්‍රමණීය අවධියකි. එය කොමියුනිස්ට් ක්‍රමය නොවේ. එනිසාම මෙම සංක්‍රමණික අවධිය තුළ නැවත ධනපති පංතිය ඉස්මතු වීමේ ඉඩ පවතී. එසේම ප්‍රතිවිප්ලවීය හැකියාව නිරන්තරයෙන්ම මේ තුළ පවතින බව තේරුම් ගත යුතුය. එනිසාම කම්කරු පංතිය ප්‍රමුඛ අනිකුත් පීඩිත බලවේගයන්ගේ සහය ලබා නිර්ධන පංති ආඥාදායකත්වය, රජ්‍ය බලය දුබල නොකොට ශක්තිමත්ව පවත්වා ගත යුතුය.

    සෝවියට් සංගමය ප්‍රමුඛ සමාජවාදී රටවල් බොහොමයක් බිඳ වැටෙන්නේ ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ පැන නැගුනු නිකායවාදී අරගලය ආශ්‍රිතව මතු වූ අවස්ථාවාදයත්, මතවාදී ව්‍යාකුලත්වයත්, අසමගියත් මේ හේතුන් නිසාම අධිරාජ්‍යවාදය ප්‍රමුඛ ධනවාදී උපාය මාර්ගයන් ජයග්‍රහණය කිරීමත් නිසාය.

    එනිසාම ධනපති දෘෂ්ටිවාදයන්ට අනුව පැවති සහ ආකාරයට පංති සටන හෝ විප්ලවය යල් පැන ගිය දේ නොවේ. පැවති සමාජවාදී කඳවුරු බිඳ වැටීම නිසා පංති සහයෝගීතාවය, පාර්ලිමේන්තුවාදය හෝ ප්‍රතිසංස්කරණවාදය පිළිබඳ මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයන්ගේ වෙනසක් සිදු විය යුතුව නැත. ඉහත බිඳ වැටීම නිසා එම විප්ලවය ජයග්‍රහණය කරා යොමු කළ අරගල මාදිලීන් ප්‍රතික්ෂේප වන්නේද නැත. එම අරගල මාදිලීන්ගේ පැන නැගීම වළකින්නේද නැත. වත්මන් ධනවාදය තුළ ප්‍රාග්ධනයේ චලනයේ ස්වභාවය විසින්ම පුළුල් පීඩිත ජන කොටස්වල සහභාගිත්වය සහිත අරගල ආකාරයන් ගණනාවක් වෙත මග සකස් කොට ඇත.

ලාංකේය සමාජවාදී විප්ලවයේ ගමන් මග පිළිබඳ දළ නිර්ණයක්

>ලංකාවේ සමාජවාදී විප්ලවයේ ගමන් මග කෙසේ විය හැකිද?

    ලංකාවේ සමාජවාදී සමාජ විප්ලවය සඳහා වු ගමන් මග නිර්ණය කළ හැක්කේද ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ මෙතෙක් ලබා ඇති අත්දැකීම් අනුව යමිනි. එසේ නොමැතිව සිය කැමැත්ත අනුව, පුද්ගල හිතුවක්කාරකමකින් එය නිර්ණය කළ නොහේ. මෙරට විප්ලවය ගත යුතු මග පිළිබඳව බොහෝ විට ට්‍රොට්ස්කිවාදී සංවිධානයන් ඉදිරිපත් කරනුයේ සෝවියට් සභා මාදිලියයි. මාඕවාදී සංවිධාන මූල කඳවුරු න්‍යාය ඉදිරිපත් කරයි.

    එහෙත් දීර්ඝ පැහැදිලි කිරීම් ඔස්සේ ලෙනින් විසින්ද, ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ කටුක අත්දැකීම් විසින් ද තහවුරු කරනුයේ, ඊට වෙනස් අවබෝධයක් බව ඉතා පැහැදිලිය. මාක්ස්වාදීන් ලෙස කවර ආකාරයක හෝ අරගල විධියක් ප්‍රතික්ෂේප නොකරන අතරම එකී නිශ්චිත අරගල ක්‍රමයකට බැඳී සිටීමද කරනු නොලැබේ. ඒ අනුව නිර්ධන පංතියට රාජ්‍ය බලය දිනා ගැනීම සඳහා ‘සකස් කරනු ලබන සූත්‍රයක්’ නොපවතින්නේය.

   මාක්ස්වාදය ‘අරගල විධිය’ සම්බන්ධයෙන් ඉතා නිරවුල්ව ඉල්ලා සිටින එක් කාරණයක් වන්නේ, සර්ව සම්පූර්ණ ඓතිහාසික පරීක්ෂණයකි. මෙරට සමාජවාදී ව්‍යාපාරය හමුවේත් පැහැදිලි ලෙසම එවැන්නක් අවධාරණය කෙරේ.

    එහිදී ජනතාවගේ පංති විඥාණයේ ස්වභාවය හා එහි වර්ධනයේ මට්ටමත්, ඊට අමතරව ජාතිකව හා ජාත්‍යන්තරව ධනේශ්වරයේ අර්බුදය හා අනෙකුත් ලෝක තත්වයනුත් සැලකිල්ලට ගත යුතුය.

    මෙරට වැඩ කරන ජනතාව සංවිධානය කිරීමේදී ඒ හා බැඳුනු දුෂ්කරතාවයන් ගණනාවක් වේ. පසුගාමී ධනේශ්වර සංවර්ධනයකට හිමිකම් කියනු ලබන මෙරට ආර්ථිකය තුළ ශක්තිමත් ධනේශ්වර සංවර්ධනයක් නොමැතිවාක් මෙන්ම දියුණු කම්කරු පංතියක්ද නොමැත. එමෙන්ම නාගරික කම්කරු පංතිය ඇතුළු සෙසු වැඩකරන ජනතා කොටස් මෙන්ෂෙවික් මඩගොහොරුව කරා ඇදගෙන යාමෙන් ඔවුන්ගේ පංති විඥාණය මොටකර දමා ඇත. ‘ලාංකීය විප්ලවයේ ගමන් මග’ නිර්ණයෙහිලා මෙකී සාධකයන්ද සැලකිල්ලට ලක් කළ යුතු වේ.

    එමෙන්ම පවතින සමාජ ආර්ථික රටාව තුළ පංති සතුරාගේ ක්‍රියාකාරිත්වයද මැනවින් හඳුනාගත යුතුය. අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ මෙරට ආර්ථිකයත් පංති ගැටුම් අතර ස්වභාවයත් නිසි පරිදි විභාග කළ යුතුය. ඒ තුළ බොහෝ ජන කොටස් අධිරාජ්‍යවාදී සූරාකෑමටත් පීඩනයටත් ලක්වීම නිසා ඊට එරෙහිව නිරන්තරයෙන් සටන් වැදීමට පටන් ගෙන ඇත. මෙය සියළු පසුගාමී රටවල්වල අනාගතය සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කළ යුතු විශේෂ සාධකයකි. මේ ආදී වශයෙන් නිරන්තරයෙන් පැන නගින තත්වයන් සැලකිල්ලට ගනිමින් ධනපති පංතිය පරාජය කිරීම සඳහා ධනේශ්වර පංතිය ආධිපත්‍ය දරා සිටින ආයතනයන් තුළද නිර්ධන පංතියේ පංති වුවමනාවන් ජයග්‍රහණය උදෙසා අරගලය ඉදිරියට ගෙනයාම සමාජවාදී පරිවර්තනයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත.

    එහිදී වීදි සටන් වේවා, පාර්ලිමේන්තුව වේවා, වැඩ වර්ජන වේවා, එසේත් නොමැති නම් ඓතිහාසිකව එක්වන නව අරගල විධීන් වේවා. කවර හෝ ආකාරයක අරගල විධීන් නිර්ධන පංතියේ පංති වුවමනාවන් ජයග්‍රහණය කරලීමට කොතරම් ඉවහල් වේදැයි යන්න නිරවුල් ලෙස අධ්‍යයනය කරමින් ඒ හා සමග පෙරට යෑමට බල කෙරී ඇත. විශේෂයෙන්ම පසුගිය වකවානුව තුළ ලංකාව තුළත් ලෝකයේත් සිදු වී ඇති සමාජ ආර්ථික වෙනස්කම් හා බලවේගයන්ගේ නව ස්වභාවයත් තේරුම්ගෙන ඊට ගැලපෙන ලෙස කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත. කෙසේවෙතත් වත්මන් “ගෝලීයකරණයේ” බලපෑමත්, ඒ තුළ ලංකාවේ ආර්ථික, සමාජීය හා දේශපාලනික නිදහස අහෝසිවෙමින් තිබීමත් හමුවේ ලංකාවේ අරගලය අධිරාජ්‍ය විරෝධී, ජාතික විමුක්තිය දිනාගැනීමේ නව පන්නයේ ජාතික විමුක්ති අරගලයක ආකාරයක් ගත හැකි බව සිතිය හැක.