සේවකයින්ගේ සමාජ ආරක්ෂණ අරමුදල්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

” රැකියාව ස්ථිර ද, තාවකාලික ද, ආධුනික ද, සේවා මුර ක‍්‍රමයට ද (shift) කෑලී පදනමට ද, කොන්ත‍්‍රාත් පදනමට ද ආදී කිසිවක් නොසලකා අරමුදලට දායක විය යුතුය. අනෙක් අතට ව්‍යාපාරයේ ස්වාභාවය ද අදාල නොවන අතර (නීතිවිරෝධි ව්‍යාපාර හැර* එක් සේවකයෙක් ඇති ආයතනයක් වුවද අරමුදලට දායක විය යුතුය. සේවකයින් ගණන 10 ට වඩා අඩු පුන්‍යායතන සහ සමාජ සේවා ආයතනත්, පවුලේ සාමාජිකයින් පමණක් එකතු වී කරනු ලබන ව්‍යාපාරත්, අරමුදලේ දායකත්වයෙන් නිදහස් විය හැක. අරමුදලට දායක වන මුදල් නිසි පරිදි නොගෙවන්නේ නම් හෝ සේවකයින් ලියාපදිංචි නොකරන්නේ නම් එම සේවකයින්ට ඒ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කිරිමේ හැකියාව තිබේ. ”

තම ජීවිත කාලය තුළ ශ‍්‍රමය කැප කරන වැටුප් ශ‍්‍රමිකයින්ට තම ජීවිතයේ අවසාන කාලයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු ජීවත්වීමට කිසියම් ආර්ථික ශක්තියක් තිබිය යුතුය. ලංකාවේදී එම කාර්ය ඉටූ කරනු ලබන්නේ ආණ්ඩුවේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයත්, සේවක අර්ථසාධක අරමුදල සහ සේවානියුක්ත භාර අරමුදල මගිනිි. ඒ අනුව සමාජ ආරක්ෂණයක් නොමැති ධනේශ්වරයක් ඇති ලංකාව වැනි රටකට මෙම විශ‍්‍රාම දිවිය ගත කිරීමට ඇති මාර්ග ඉතා වැදගත් වේ. ඒ අනුව 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත(Employees provident fund) ස්ථාපිත කරන ලදි. මෙවැනි පනතක් 1952 දී ඉන්දියාවේ ස්ථාපිත කරනු ලැබූ අතර එහි බලපෑම ලංකාවට ද ලද බවට ද සඳහන්වේ. අප රටෙහි මෙය 1958 ජුනි 01 වෙනිදා සිට ක‍්‍රියාත්මක වූ අතර 1975, 1981, 1985, 1988, 1992 සහ 2012 වර්ෂවල එයට සංශෝධනයන් කරන ලදී. කම්කරු දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව මෙම අරමුදල පවත්වාගෙන යනු ලබයි. ඒ අනුව අරමුදලේ පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මගිනුත් අරමුදලේ මුල්‍ය කළමණාකරණ කටයුතු මහ බැංකුව මගිනුත් සිදු කරනු ලබයි. කම්කරු දෙපාර්තමේන්තුව සේවා නියුක්තිකයින් හා සේවායෝජකයින් ලියාපදිංචි කිරීම, නිවාස ණය ලබා දීම වැනි කටයුතු වලට සම්බන්ධවන අතර මහ බැංකුව විසින් මාසික වාරික එකතු කිරීම, අරමුදලේ මුදල් ආයෝජනය කිරීම, සේවකයින්ගේ ගිණුම් පවත්වාගෙන යාම සහ සේවකයින්ට ගෙවීම් කිරීම කරනු ලබති.

ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ ක‍්‍රමය ලෙස පවතින මෙම සේවක අර්ථසාධක අරමුදලේ මේ වන විට ඇති වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 1300 ක් පමන වේ. 2014 වසර අවසාන වන විට අරමුදල සතුව පැවති ගිණුම් සංඛ්‍යාව මිලියන 15.4 පමණ වන අතර එයින් මිලියන 13 ක් පමන (84% ගිණුම් පවතින්නේ අක‍්‍රිය තත්වයෙන් ය. ඒ අනුව ක‍්‍රියාත්මක වන ගිණුම් සංඛ්‍යාව මිලියන 2.4 වන අතර මෙපමණ ගිණුම් සංඛ්‍යාවක් පවතින්නේ එක් පුද්ගලයෙකු තම රැකියා කරන කාලය තුල ආයතන කිහිපයක සේවය කිරිමත්, එසේ සේවය කරනු ලබන සෑම ආයතනයකදීම ගිණුමක් විවෘත කිරිමත් නිසාය. තාක්ෂණය කොපමණ දියුණුවී තිබුණ ද ආයතන කිහිපයක ගිණුම් ඇති විට ඒවා එක ගිණුමකට එකතු කිරිමේ පහසුකම තිබුණ ද එය තවමත් සිදු වන්නේ ඉතා සුළු වශයෙනිිි. අනෙක් අතට ආයතන 223,187 ක් ලියාපදිංචිවී ඇති අතර එයින් දැනට ක‍්‍රියාත්මක වන ආයතනය සංඛ්‍යාව 71,000 ක් පමණ වේ. ඒ අනුව ලියාපදිංචි ආයතන සංඛ්‍යාවෙන් ක‍්‍රියාත්මක වන්නේ 32% ක පමණ ආයතන සංඛ්‍යාවකි. මෙමගින් අනාවරණය වන දේශපාලන කාරණය වන්නේ ආර්ථිකය තුළ වැසී යන ව්‍යාපාර ආයතන සංඛ්‍යාව කොපමණද යන්නයිි.

අරමුදලට දායකවීම සේවකයා 8% ක් තම දළ වැටුපෙන් ද සේවායෝජකයා 12% ක් ලෙසින් ද වේ. මෙසේ ආයතනයක් විසින් එක් මසකට අදාළ මුදල ඊළග මාසයේ අවසාන දිනට පෙර ශ‍්‍රී ලංකා මහ බැකුවට යොමුකළ යුතුය. සේවකයා සේවයට බැදී දින 14 ක් ඇතුලත අරමුදලේ ලියාපදිංචි විය යුතු අතර ගෙවිය යුතු දිනට පසුව ගෙවන හැම ගෙවීමකටම ප‍්‍රමාදය අනුව 5% සිට 50% දක්වා අධිභාරයක් ආයතනය විසින් ගෙවිය යුතුය. රැකියාවේ ස්වාභාවය ගැන නොසලකා ආයතනයේ සෑම සේවකයෙක්ම අරමුදලේ ලියාපදිංචි විය යුතු අතර එම ලියාපදිංචි කිරීමේ වගකිම සේවා යෝජකයාගේ (ආයතනය) සතු වේ. රැුකියාව ස්ථිර ද, තාවකාලික ද, ආධුනික ද, සේවා මුර ක‍්‍රමයට ද(shift) කෑලී පදනමට ද, කොන්ත‍්‍රාත් පදනමට ද ආදී කිසිවක් නොසලකා අරමුදලට දායක විය යුතුය. අනෙක් අතට ව්‍යාපාරයේ ස්වාභාවය ද අදාල නොවන අතර (නීතිවිරෝධි ව්‍යාපාර හැර) එක් සේවකයෙක් ඇති ආයතනයක් වුවද අරමුදලට දායක විය යුතුය. සේවකයින් ගණන 10 ට වඩා අඩු පුන්‍යායතන සහ සමාජ සේවා ආයතනත්, පවුලේ සාමාජිකයින් පමණක් එකතු වී කරනු ලබන ව්‍යාපාරත්, අරමුදලේ දායකත්වයෙන් නිදහස් විය හැක. අරමුදලට දායක වන මුදල් නිසි පරිදි නොගෙවන්නේ නම් හෝ සේවකයින් ලියාපදිංචි නොකරන්නේ නම් එම සේවකයින්ට ඒ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කිරිමේ හැකියාව තිබේ.

අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම්කර, රුපියල් සුරැකුම්පත්, සමාගම් කොටස් සහ ණයකර වල ආයෝජනය කිරීමේ හැකියාව තිබේ. අරමුදලේ ආයෝජනය 2014-12-31 දිනට රුපියල් බිලියන 1437 ක් වු අතර එයින් 1140 ක් (91.2%) ක් ආයෝජනය කර ඇත්තේ භාණ්ඩාගාර බැදුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වලය. කොටස් වෙළදපොළෙහි කරන ලද ආයෝජනය 2012 වසරේ බිලියන 59.2 ක් වු අතර එය 2013 වසරේ බිලියන 72.8 ක් දක්වා ඉහළ දැමීමෙන් අරමුදලේ ආයෝජනයේ අවදානම් සහගත තත්වය ඉහළ ගොස් ඇත. පුරුෂයෙකු වයස අවුරුදු 55 සම්පුර්ණ වීමෙනුත් කාන්තාවන් වයස අවුරුදු 50 සම්පුර්ණ වීමෙනුත් පසුව සේවයෙන් විශ‍්‍රාම ගන්නේ නම් අරමුදල ලබා ගත හැකි අතර, කාන්තාවක් විවාහය නිසා සේවයෙන් ඉවත්ව යාමත්, ශාරීරික දුර්වලතාවයක් නිසා සේවයෙන් ඉවත්ව යාමත් , ස්ථිර පදිංචියට පිටරට යාම හෝ රජයේ සේවයට අනුයුක්ත වු විටත් අරමුදලේ තැන්පතු මුදල් නැවත ලබාගත හැක.

මෙම සේවක අර්ථසාධක අරමුදලට සමගාමීව ක‍්‍රියාත්මක වන අනෙක් අරමුදල වන සේවා නියුක්ති භාර අරමුදල (Employees Trust Fund) 1981 මාර්තු 01 වන දින 1980 අංක 46 දරණ පනත මගින් ස්ථපිත කරන ලදී. සේවක අර්ථසාධක අරමුදල් මණ්ඩලය මගින් මෙම අරමුදල ක‍්‍රියාත්මක කරනු ලබන අතර දැනට ප‍්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික සම්බන්ධතා අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වේ. අරමුදලට දායකවීම මාසික ඉපැයුමෙන් 3% ක් වේ. අරමුදලේ ආයෝජන ප‍්‍රමාණය 2015 වන විට රපියල් බිලියන 202 ක් පමණ වන අතර එයින් 94.8% ක් ම ආයෝජනය කර ඇත්තේ රජයේ අයෝජනයනවලය. කොටස් වෙළදපොලෙහි සහ අනෙකුත් ආයෝජනයන් 5.2% ක් පමණ වේ. ඒ අනුව අරමුදල ඕනෑම මොහොතක ගෙවියුුතු වගකීමට සමාන ප‍්‍රමාණයක් රජයේ ආයෝජන ලෙස පවත්වාගෙ නයාම නිසා අවදානම අවම කර ගෙන ඇත. මෙහි 2014 දී අයෝජන ආදායම බිලියන 18.5 ක් වු අතර ශූද්ධ ලාභය බිලියන 17.13 ක් වී තිබේ. ස්වචේඡුා සේවා නියුක්තිකයින්ටද, විදේශයන්හි සේවා නියුක්තිකයන්ට ද මෙම අරමුදලේ දායක විය හැකිවීම මෙහි ඇති විශේෂත්වයක් වන අතර වසර 05 ට වරක් අරමුදලේ තැන්පතු මුදල සේවානියුක්තිකයින්ට ලබා ගත හැක. ලංකාවේ සමාජ ආරක්‍ෂණය සම්බන්ධයෙන් පවතින ප‍්‍රධානම ආයතන දෙක මෙය නිසා එය රැක ගැනීම අප කාගේත් වගකීමකි

සේවකයින්ගේ සමාජ ආරක්ෂණ අරමුදල්