වෙනිසියුලානු මැතිවරණ ජයෙන් තහවුරු වූ එක්සත් ජනපද පරාජය

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

ලතින් ඇමරිකානු කලාපය තුළ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීම්වලට තවත් පරාජයක් ගෙන දෙමින් දෙසැම්බර් 06වැනිදා පැවති වෙනිසියුලානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් නිකොලාස් මදුරෝගේ  එක්සත් සමාජවාදී පක්ෂයට (PSUV)  විශාල ජයග්‍රහණයක්  අත්විය. මෙම ප්‍රතිඵලය වෙනිසියුලාව තුළ පවතින අධිරාජ්‍ය විරෝධී පාලනය පෙරළා දැමීම සඳහා උත්සාහ කරමින් සිටින දේශපාලඥයන්, දේශපාලන  පක්ෂ,  මාධ්‍ය  සමාගම් හා අධිරාජ්‍යවාදී රටවල දැවැන්ත පරාජයක් ලෙස විචාරකයෝ විග්‍රහ කරති.

වෙනිසියුලානු පාර්ලිමේන්තුව වන ව්‍යවස්ථාදායක සභාවේ ආසන  277ක් සඳහා  නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ සටනට දේශපාලන පක්ෂ  107කින් අපේක්ෂකයෝ 14,400 පමණ  ඉදිරිපත් වී සිටියහ.  මෙම දේශපාලන පක්ෂ අතරින් 97ක්  විපක්ෂයට අයත් දේශපාලන පක්ෂ විය. එහෙත් 2015 මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ව්‍යවස්ථාදායක සභාව තුළ බලය හිමිව සිටි අධිරාජ්‍ය ගැති දක්ෂිණාංශික ජෙරාදෝ ගුඓදෝගේ පක්ෂය මෙම මැතිවරණයට ඉදිරිපත් නොවීය. ජෙරාදෝ ගුවයිදෝගේ  පක්ෂය විසින් මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියද ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් හතරෙන් තුනක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම විශේෂ ලක්ෂණයකි.

මැතිවරණයේදී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණයෙන් 69.3%ක් ලබා ගනිමින් නිකොලාස් මදුරෝගේ  එක්සත් සමාජවාදී පක්ෂය ආසන 253ක් දිනාගත් අතර දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 18ක් පමණකි. ඔවුන් ලද ඡන්ද ප්‍රතිශතය 17.7%ක් විය. මධුරෝගේ පක්ෂය සමග මෙතෙක් සන්ධානගතව කටයුතු කළ වෙනිසියුලානු කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ මහජන විප්ලවකාරී විකල්පය නමැති සන්ධානය මෙවර මැතිවරණයේදී වෙනම තරග වැදුණු අතර ඔවුන් ලද ඡන්ද ප්‍රමාණය 2.7%කි.  හිමිවූයේ එක් මන්ත්‍රී ධූරයක් පමණි. මදුරෝගේ සන්ධානයේ  තවත් පක්ෂයක් වූ ‘මව්බිම සියල්ලන් සඳහා’ නමැති පක්ෂය 1.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. අනිකුත් සියලු පක්ෂ 0.5%  සිට 4.6% ක්  දක්වා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් නමුත් ඔවුන් දේශපාලනිකව බලපෑම්සහගත පක්ෂ නොවේ.

මෙම මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් ජනපද  ගැති සංවිධානයක් වන ඇමරිකානු රාජ්‍යයන්ගේ සංවිධානය (OAS)  මෙම මැතිවරණය වංචා සහගත බවත් ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කර තිබුණි.  ඔවුන්ට අනුව මෙම මැතිවරණයෙන් තේරී පත්වූ මධුරෝ  පාලනය නීත්‍යානුකූල නොවේ.

කෙසේ වෙතත් මෙම මැතිවරණයේ දී පාවිච්චි කර තිබුණේ සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 31%ක්  පමණි.  අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රචාරණයත්,  පවත්නා කොවිඩ් වසංගත තත්වයත්,  ගමනාගමන අපහසුව සහ රටේ පවතින ආර්ථිකමය දුෂ්කරතාව හේතුවෙන් ජනගහනයේ සැලකිය යුතු පිරිසක් එනම් මිලියන 4-5ක්  රටින් පිටතට සංක්‍රමණය වී සිටීමත් හේතුවී ඇතැයි සැලකේ.  කෙසේ වෙතත් මැතිවරණ නිරීක්ෂකයන්ට අනුව මෙම මැතිවරණය සාමකාමී හා සාධාරණ එකකි.

2015 වසරේදී පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික විපක්ෂය ජය ගත් අතර මේ දක්වා ව්‍යවස්ථාදායක සභාවේ බලය හිමි වී තිබුණේ ඔවුන්ටය. 2015ට සාපේක්ෂව දක්ෂිණාංශික විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය 77% කින්ද මදුරෝගේ එක්සත් සමාජවාදී පක්ෂයේ ඡන්ද ප්‍රමාණය 20%කින්ද අඩු වී තිබේ.

1998 වසරේ ජනාධිපති හියුගෝ චාවේස්ගේ පාලන සමයේ සිට දශක ගණනාවක් පුරා එක්සත් ජනපදය වෙනිසියුලාවේ අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවට එරෙහිව දියත් කර ඇත්තේ භෞතික ප්‍රහාරයන් පමණක් නොවේ.  ව්‍යාජ තොරතුරු යුද්ධයක්, රාජතාන්ත්‍රික යුද්ධයක් හා මූල්‍ය යුද්ධයක් ඒ රටට එරෙහිව සිදු කෙරෙමින් පවතී.  මේ සියලූ බලපෑම් හමුවේ රටේ ආර්ථික තත්වය ඉතාම අයහපත්ව පවතිද්දීත් මධුරෝ පාලනය මේ ආකාරයෙන් මැතිවරණ ජයග්‍රහණයක් ලැබීම කලාපය තුළ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වල බරපතළ පරාජයක් සනිටුහන් කර තිබේ.

එක්සත් ජනපදය පසුගිය කාලය පුරා ලතින් ඇමරිකානු කලාපය තුළ බිහිවූ අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලී පාලනයන්ට එරෙහිව කුමන්ත්‍රණය කරමින් ඒවා බිඳ වට්ටමින් සිටියද මෑතකාලීනව මෙක්සිකෝවේ, බොලීවියාවේ හා වෙනිසියුලාවේ සිදුවීම් විසින් එය පරාජය වීමේ ලකුණු පෙන්වන්නට පටන් ගෙන තිබේ.  එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් බොලීවියාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉවෝ මොරාලෙස් කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් පහ කළද ඉන් අවුරුද්දකට පසු පැවති මැතිවරණයෙන් ඉවෝ මොරාලෙස්ගේ පක්ෂය යළිත් වරක් බොලීවියාවේ පාලන බලය තහවුරු කර ගැනීමට සමත් වීමද විශේෂත්වයකි.

නියමුවා – ජනවාරි

වෙනිසියුලානු මැතිවරණ ජයෙන් තහවුරු වූ එක්සත් ජනපද පරාජය