ම්ලේච්ඡත්වය ඉදිරියෙන්

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

“ම්ලේච්ඡත්වය මිනිස් වර්ගයාගේ බිළිඳු අවධියය. මිනිසා තම ජන්ම භූමිය වන නිවර්තන හෝ අර්ධ  නිවර්තන හෝ කැලෑවල වාසය කළේය. අඩ වශයෙන් රුක්මත වාසය කළේය. මිනී කන විශාල වන සතුන්ගෙන් ගැළවී ජීවත්වීමට ඔහු සමත් වූයේ මේ හේතුව නිසාය…ඓතිහාසික යුගයේ දී ප්‍රසිද්ධියට පැමිණි එකද ජන කොටසක් වත් මෙම ආදි කල්පික තත්වයේ තවදුරටත් නොසිටියේය.”

        ඉහත උපුටා දැක්වීම එංගල්ස්ගේ ‘පවුල පෞද්ගලික දේපළ හා රජය ඇතිවූ හැටි’ නම් කෘතියෙන්ය. ආදිතම මිනිසා මුලින්ම පසු කළ අවධිය එය ලෙස සැලකෙයි. එහෙත් අද අප ජීවත් වන්නේ මිලේච්ඡ අවධියේ නොවේ. එම කෘතියේ විග්‍රහයට අනුවම මිනිස් වර්ගයා මේ වන විට ම්ලේච්ඡත්වය පසුකර සභ්‍යත්වය නම් අවධියේද බොහෝ දුර ගෙවා ඇත. සමාජ සංවර්ධනයේ ගමන් මග අනුව අප ජීවත්වන්නේ, අවසන් පංති සමාජය වන ධනේශ්වර සමාජ ක්‍රමයේය.

        එහෙත් ලෝකය මිනිසාට හිතකර වනවාට වඩා තව තවත් අහිතකර වෙමින් පවතියි. පවතින සමාජ ක්‍රමය විසින් ජනිත අපරාධ ජන ජීවිතය බිය හා මරණය දක්වා ලඝු කොට ඇත. මිනිස් ජීවිතවල ගෞරවනීයත්වය අහිමි කර ඇත. සමාජය පුරා පවතින්නේ විකුණන සහ විකිණෙන දේවල් පමණි. ශ්‍රී ලංකාවේ තත්වය වඩාත් බරපතළය. මව තම දොළොස් වියති දරුවා දැනුවත්ව ගණිකා වෘත්තියෙහි යොදවයි. පියෙක් තම දරුවන් ගඟට දමා තමන්ද සියදිවි නසා ගනියි. යළි මවක් තම අනියම් සැමියාට තම දියණිය දූෂණය කිරීමට සහයවෙයි. විදුහල්පතිවරයා පාසැල් දියණියක දූෂණය කරයි. පාසැල් ගොස් පැමිණ උදරාබාධයක් ඇතැයි කී දියණියක් රෝහල් ගත කළ පසු දරුවකු බිහිකරයි. ඇය වසරක් පමණ පවුල තුළම දූෂණයට ලක්ව ඇත. මගුල් ගෙදරදී විනෝදයෙන් නටන විට කකුල පෑගීම පිහි ඇනුමකින් කෙළවර වේ. මැදපෙරදිග ගිය බිරිඳ ආපසු ඒම ප්‍රතික්ෂේප කළ නිසා පුද්ගලයෙක් තම දරු දෙදෙනා මරා දමයි. රටම දූෂණ හා ඝාතන සංස්කෘතියක් බවට පත්ව ඇත. අවවාදයකට මුහුණදීමේ සිට සමාජ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම දක්වා සිල්ලටම පිළිතුර සියදිවි නසා ගැනීම බවට පත්ව ඇත. මෙවන් තත්වයක් දැක කම්පනයට පත්විම සංවේදී මිනිස් ස්වභාවයයි.  නමුත් එය ප්‍රමාණවත් නැත. මෙවන් සමාජ පරිහානියක්  පිටු දකින්නේ කෙසේදැයි සොයා බැලීම හා ඒ වෙනුවෙන් ක්‍රියා කිරීම අතිශය වැදගත්ය. මෙම ලිපියෙහි අරමුණ වන්නේ සමාජය මෙවන් අගාධයකට ඇද වැටුණේ කෙසේදැයි න්‍යායිකව විග්‍රහ කරගැනීමයි. මෙවන් සමාජ තත්වයකට අදාල මූලයන් සෙවීමට මග පෙන්විය හැක්කේ මානුෂිකත්වය පදනම් කොට ගත් මාක්ස්වාදයටම පමණි.

ශ්‍රමයේ විශිෂ්ටත්වය

         මෙහිදී ම්ලේච්ඡත්වයට එරෙහිව මානුෂිකත්වය යන්න වටහා ගැනීම මූලික වැදගත් කාරණයකි. මානුෂිකත්වය යනු මිනිස් වර්ගයාගේ ප්‍රගමනය උදෙසා ක්‍රියා කිරීමේ වුවමනාව සහිතව කටයුතු කිරීම ලෙස සරලව හැඳින්විය හැකිය. මිනිසා සත්වයා ගෙන් වෙනස් වෙන්නේ මෙතනදීය. අනෙක් සතුන්ට තම ආවේණික පුරුද්ද හා ඉව විසින් තම රංචුවේ පැවැත්ම වෙනුවෙන් මැදිහත් වීමට වන පෙළඹවීම ජීව විද්‍යාත්මක කාරණයකි.  සමාජ විද්‍යාත්මක අර්ථයෙන් මානුෂිකවීම යනු මිනිසා අනෙකුත් සතුන්ගෙන් වෙන්ව පරිණාමයේ මහා ඉදිරි පිම්මක් පැන මිනිසා බවට පත්වීමය. එතැන් සිට ඔහුගේ කාර්යය මිනිසාගේ පැවැත්ම තහවුරු කිරීම හා වඩා යහපත් කිරීමය. මිනිසා මිනිසෙකු වීමේදී ශ්‍රමය විසින් ඉටු කළ කාර්යභාරය අතිමහත් ය . ඒ අනුව මිනිසා මානුෂික වන්නේ ශ්‍රමය පදනම්වය. මිනිසාගේ ශ්‍රමය නොවන්නට ඔහු හුදු සත්වයෙක්ම පමණි. ඔහු සමාජ සත්වයකු වන්නේ ද ශ්‍රමය  පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ය. ශ්‍රමය නොවන්නට ඔහුගේ චින්තනය කිසිදා බිහිවන්නේ නැත. ශ්‍රමයේ කාර්යය නොවන්නට මෙතරම් සූක්ෂම මෙතරම් විශ්මිත හස්තයක් ඔහු සතු වන්නේ නැත. මිනිසාගේ චින්තන හැකියාව සහිත මස්තිෂ්කය, ප්‍රබල ශ්‍රම උපකරණයක් වන අතර ඔහු ලබාගත්තේ දෙවියන්ගෙන් හෝ තම පරම්පරාවෙන් නොවේ; ශ්‍රමය හා පරිසරය අතර වන දයලෙක්තික සබඳතාවයෙනි.

පළමුවැනිව, ශ්‍රමය යනු මිනිසා සහ ස්වභාවධර්මය සහභාගි වන ක්‍රියාවලියකි. එහිදී මිනිසා සිය කැමැත්තෙන්ම තමා සහ ස්වභාවධර්මය අතර ද්‍රව්‍යජ ප්‍රතික්‍රියා අරඹයි; නියාමනය කරයි; පාලනය කරයි. බලවේගයක් ලෙස ස්වභාව ධර්මයට විරුද්ධව පෙළ ගැසෙන ඔහු තම වුවමනාවන්ට අනුවර්තිත ස්වරූපයකින් ස්වභාව ධර්මයෙහි නිෂ්පාදිත අත්පත් කරගැනීම සඳහා අත් පා, හිස සහ සිය දේහයෙහි ස්වභාවික බල චලිතයෙහි යොදවයි, මෙනයින්, බාහිර ලෝකය මත ක්‍රියා කිරීමෙන් සහ එය වෙනස් කිරීමෙන් ඒ සමඟම ඔහු තමන්ගේම ස්වභාවය වෙනස් කරයි, තම නිදිබර බල සංවර්ධනය කරගන්නා ඔහු තම අභිමතයට කීකරුව ක්‍රියා කිරිමට ඒවාට බල කරයි.”

මාක්ස් ‘ප්‍රාග්ධනය’ 01 වෙළුම 07 පරිච්ඡේදය  (සිංහල පරිවර්තනය ජයතිලක ද සිල්වා) 

 “මානව පැවැත්මේ ප්‍රථම ප්‍රධාන පදනම ශ්‍රමයයි. එය කෙතරම් දුරට බලපාන්නේද යත්, ශ්‍රමය විසින් මිනිසා බිහි කරන ලදැයි අප විසින් කිව යුතුය.”

(“වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්තනයවීමේදි ශ්‍රමය ඉටු කළ කාර්ය කොටස” යන එංගල්ස්ගේ ලිපියෙන්)

         මානුෂිකබවේ පදනම වන ශ්‍රමය මූලික ගුණාංග කීපයකින් සමන්විතය. එම තේරුම් ගැනීම ශ්‍රමයේ විශිෂ්ටත්වය වටහා ගැනීම සඳහා  වැදගත් වේ. පළමුව ශ්‍රමය හුදු පුද්ගලිකත්වය හා නිර්මාණය වූවක් නොව සමාජීය නිර්මාණයකි. සැබවින්ම ශ්‍රමය වර්ධනය වූයේ හා ඒ තුළ එය දරන මිනිසා වර්ධනය වූයේ සමාජමය ලෙසින් ය. තවද පුද්ගලයා හා සමාජය අතර ඇත්තේ දයලෙක්තික සබඳතාවයකි. සමාජමය ශ්‍රමය සමග පුද්ගල ශ්‍රමය අන්තර් රඳා පැවැත්මක හෙවත් එකක් මත එකක් යැපෙමින් පවතී. එමෙන්ම එකක් අනෙක මත ක්‍රියාකාරීව බලපෑම් කරයි. සමාජ නිෂ්පාදනයෙහි තනි පුද්ගල ශ්‍රමයට කාර්යභාරයක් ඇතුවාක් මෙන්ම එය යළි පෝෂණය වන්නේ සමාජ ශ්‍රමයෙනි. ‘රෝදය’ යන්න මේ දක්වා වර්ධනය වීමේදී තනි තනි මිනිසා කළ කාර්යයක්ද ඇති අතර එම කාර්යයන්ගේ අත්දැකීම් කැටිකොට ගත් සමාජය යළි ඒ මත කරන ලද බලපෑමක්ද ඇත. රෝදය යන අති විශිෂ්ට නිපයුම වර්ධනය වෙත්ම මිනිස් ශ්‍රමය ද යළි වර්ධනය විය. ඒ අනුව මිනිසා ද වර්ධනය විය. මිනිස් ශ්‍රමයේ මෙම සමාජීය ස්වරූපය නිසාම එය විසින් බිහිකළ මානුෂික බව ද සමාජීය වේ.

       දෙවනුව ශ්‍රමය චින්තනය හා සම්බන්ධිතය. ශ්‍රමය විසින් මිනිසා අත්දැකීම්වලින් පරිපූර්ණ කරනු ලබයි. එම අත්දැකීම් විසින් ඔහු පෙරළා ශ්‍රමය කාර්යක්ෂම හා වඩා ඵලදායි කොටගනියි. ශ්‍රමය විසින් චින්තනයද යළි චින්තනය විසින් ශ්‍රමයද පෝෂණය කරයි.  මිනිස් චින්තනය බිහිවී වර්ධනය වන්නේ එලෙසින්ය. අත්දැකීම් රැස්කිරීමට හා හුවමාරුවට නව සංඥා පද්ධතියක අවශ්‍යතාව ඇති කරන ලදී. ඒ දෙවන සංඥා පද්ධතිය වූයේ භාෂාවයි. භාෂාව යළි මිනිස් චින්තනයේ වර්ධනයට වේගවත් ගාමක බලයක් සැපයුවේය.

        තෙවනුව ශ්‍රමය සංවර්ධනය වන්නකි. ශ්‍රමයටද පරිණාමීය ක්‍රියාවලියක් ඇත. ශ්‍රමය පරිණාමය වීම යනු මානුෂිකබවේ වර්ධනයයි. ශ්‍රමයේ වර්ධනය සමග මිනිසාගේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම ඵලදායීතාව වැඩි පහසු එකක් බවට පත් කරයි. මේ සියල්ලම හරහා මිනිසා වඩ වඩාත් මිනිස්කමට ළඟාවී ඇත; ශ්‍රේෂ්ඨත්වයට පත්වී ඇත.  මාක්ස්වාදය, මිනිසා අවමානයට සහ හෙළාදැකීමට

       එරෙහිව ඔහු සියලු දෙවියන්ගෙන්ද, බ්‍රහ්මයන්ගෙන්ද, වෙනත් උත්තරීතර යැයි සැලකෙන සියලු බලවේගයන්ගෙන් ඉහළට ඔසවා තබයි. මෙය මානුෂිකවාදී බවේ ඉහළම විග්‍රහයකි. අන් සියලු දර්ශනයන් හා ඇදහිලි විසින් මිනිසා තවත් බලයකට පහළින් තබයි. මනුෂ්‍යත්වය පහත දමයි.

       මාක්ස්වාදය මිනිසා, පරිසරය හා තමා අතර වන නිරන්තර අරගලයෙහි ඵලයක්ය යන්න තේරුම් ගනියි. මිනිසා සොබාදහමට අයත්ය. එහෙත් එය හුදු යාන්ත්‍රික ලෙස නොවේ. මිනිසා සොබාදහම සමග පවත්නේ දයලෙක්තික සබඳතාවයකි. සොබාදහම මිනිසාට මිනිසකු වීමට පාදක වන අමුද්‍රව්‍යයන් සපයයි. මිනිසා පෙරළා සොබාදහම මත බලපාමින් තමන්ගේ අවශ්‍යතාවය අනුව සොබාදහම වෙනස් කරයි. එම ක්‍රියාවලිය තුළ තමන්ද වෙනස් කොට ගනු ලබයි. එබැවින් මිනිසා තම පරිසරය සමග අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණය වෙමින් පවතී. එමෙන්ම මිනිසා පරිසරය හා අන්තර් ක්‍රියාකාරිත්වයක පවති. මිනිසා යනු කවරෙක්දැයි හඳුනා ගැනීමේදී මෙය වැදගත් කාරණයකි.

 “ස්වභාවදහම, ඉන්ද්‍රිය ගෝචරවූ ද්‍රව්‍යමය ලෝකය නොමැතිව ශ්‍රමයට කළ හැකි දෙයක් නැත.”

(මාක්ස් – ආර්ථික හා දාර්ශනික අත් පිටපත් 1844)

        මේ අනුව මිනිසාගේ මානුෂික බව පරිසරයෙන් වෙන්ව ගත නොහැකිය. තනි තනි මිනිසාට හුදකලාව මානුෂික විය නොහැකිය. සමාජයක් ලෙසින් මානුෂික විය යුතුය. සමාජ මානුෂික බව හා පරිසරය අතර ඇත්තේද දයලෙක්තික සම්බන්ධතාවයකි. තම පරිසරය මානුෂික වන තරමට මිනිසාද මානුෂික වේ. එනම් පරිසරයට මිනිසා සතුරු වන ප්‍රමාණයට මිනිසාටද පරිසරය සතුරු වේ. මිනිසුන් යටකර මරා දමන තාප්ප වැනි ඉදිකිරීම්වලින්, මිනිසාගේ ක්‍රියාකාරකම් විසින් ජනිත ස්වාභාවික විපත් තුළින් කියවෙන්නේ මානුෂික නොවන සමාජයක පවතින දේවල් ද මානුෂික නොවන බවයි. මානුෂික නොවන පරිසරයක මානුෂිකත්වය රැගත් සමාජයක් බලාපොරොත්තු විය නොහැකිය. මිනිසාගේ උපතම පරිසරය සමග වන දයලෙක්තික සම්බන්ධයක ප්‍රතිඵලයක් නම් පරිසරය හා මිනිසා එකිනෙකාට සතුරු වන්නේ ඇයි? එම සතුරු නොවන ප්‍රතිවිරෝධය බිඳුණේ කොතැනකින්ද? පංති සමාජයේ ආරම්භය එහි තීරණාත්මක මොහොතයි. පංති සමාජය බිහිවෙමින් සූරාකෑම ඇරඹෙත්ම ඇතිවූ මේ සතුරු බව නග්න සූරාකෑම සහිත ධනවාදයේදී අති තීව්‍ර වී ඇත. ම්ලේච්ඡත්වයට යළි පෙරළා යන මෙම සමාජයේ ඒ සඳහා වන මූලයන් ඇත්තේ කොහිද යන්න විමසා බැලීම ප්‍රධාන කාරණයයි. (සැබවින්ම සමාජ විද්‍යාත්මක අර්ථයෙන් සලකා බලන කළ ම්ලේච්ඡත්වයේ අවධිය මෙතරම් කූරිරු නැත. අමානුෂික නැත. සමාජ පරිණාමයේ මට්ටමට සාපේක්ෂව ම්ලේච්ඡත්ව අවධිය ඉතා ප්‍රගතිශීලී කාර්යභාරයන් ඉටුකර ඇත. සැබවින්ම දැන් මෙහිදී අපි ම්ලේච්ඡත්වය යනුවෙන් හඳුන්වන්නේ සමාජයේ කඩාවැටීම හෙවත් මනුෂ්‍ය ස්වභාවයේ බිඳවැටීමයි.)

මිනිසාට මිනිසා අහිමිවීම

ධනවාදය මිනිසා

        තමන්ගෙන් මුළුමනින්ම පිටස්තර බවට පත්කොට ඇත. ඒ වෙනුවට මිනිසාට වෙනත් තමන්ගේ නොවන ජීවිතයක් ආදේශකොට ඇත. මිනිසාට තමන් අහිමිවීම යනු මනුෂ්‍යත්වය අහිමිවීමය. මිනිසාගේ මානුෂිකත්වය අහිමිවීම සලකා බලන විට යළි මිනිසා අයත් සමාජයද එය අයත් පරිසරයද මානුෂිකත්වයෙන් බැහැර වෙයි. සියල්ලෙහි අවසාන ඵලය වන්නේ, මිනිසා මිනිස් තත්වයෙන් ඉවත්ව සාමාන්‍ය සත්වයකු බවට පත්වීමය. එහෙත් ඔහු හුදු තවත් එක් සත්වයෙක් පමණක් නොව මානුෂිකත්වයට පත්ව එය අහිමිකරන ලද සත්වයෙකි. එපමණක් නොව ඔහු තවමත් මුළුමනින් සිතුවිලිවලින්

       ආවේගයන්ගෙන් වියුක්ත නැත. දැන් ඔහුගේ සිතුවිලි මානුෂිකත්වයෙන් තොරය. ආවේගයන් තිරිසන් ස්වභාවයක් ගනියි. ඒ තුළ සමස්ත ධනපති ක්‍රමයම ආත්මාර්ථයකි; අමානුෂිකත්වයකි; කෲරත්වයකි. සැබවින්ම මිනිස් සමාජය යන්නක් මේ තුළ නැත. මේ පවතින්නේ බිඳවැටුණු සමාජයකි. මාක්ස් විසින් මිනිසාට වෙනත් ආරෝපණයක් ඇතිවීම හෙවත් තමන්ට තමන් අහිමිවීම පරාරෝපණය යනුවෙන් හඳුන්වයි. එය යම් පමණකින් අවබෝධකර ගැනීම තුළ මිනිසාද, මිනිස් සමාජයද බිඳවැටීම  පිළිබඳව තේරුම් ගත හැකිවනු ඇත.

       මාක්ස්වාදයට අනුව පරාරෝපණය ප්‍රධාන කරනු කිහිපයක් යටතේ විග්‍රහ කරනු ලබයි.

  1. මිනිසාට තම ශ්‍රමය අහිමි කිරීම

     මිනිස් සමාජය බිහිවන්නේ සාමූහික නිෂ්පාදනය පදනම්වය. මිනිසාගේ මානුෂික බවේ පදනම ශ්‍රමයය යන්න අප දැනටමත් කතාකොට ඇත්තෙමු. ශ්‍රමයෙන් ඔහු පිටමං වේ නම් ඔහු අන් සතුන්ගෙන් වෙන්ව ලබාගත් මානුෂික බවෙන්ද වෙන්ව යයි. ධනපති ක්‍රමය තුළ නිෂ්පාදන උපකරණ ඇතුළු නිෂ්පාදනය සඳහා අවැසි මාධ්‍ය නිර්ධනයාට අහිමි කොට ඇත. එනිසා ඔහුට ඔහුගේ ශ්‍රම ශක්තිය හෙවත් ශ්‍රම හැකියාවෙන් ඵලක් නැත. ධනපති ප්‍රාග්ධනය විසින් සියලු නිෂ්පාදන මාධ්‍යයන් හිමි කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමිකයාට තම ශ්‍රම හැකියාව ධනපතියාට විකිණීමට සිදුවේ. ඉන්පසු ධනපතියා වැටුප් ශ්‍රමිකයාගේ ශ්‍රමය පරිහරණය හෙවත් පරිභෝජනය කරයි. ඉන් අතිරික්තය උපදවයි. මෙයින් සිදුවන්නේ තම ශ්‍රමය තමන්ට අහිමිවීම හෙවත් තමන් ශ්‍රමයෙන් පිටමංවීමයි. එවිට තම ශ්‍රමය සමාජ මානුෂීය කාරණා වෙනුවෙන් යෙදෙනවා වෙනුවට ධනපති අරමුණු වෙනුවෙන් යෙදෙයි. ඒ වහාම මිනිසා තම බිහිවීමේ පදනම වන ශ්‍රමයෙන් වියුක්ත වෙයි. තවදුරටත් පැහැදිලි කරගන්නේ නම් මිනිසා තම හරයෙන් ඉවත්වෙයි. එතන මිනිසකු නැත. ඒ වෙනුවට පවතින්නේ පහත වැටුණු චින්තනයක් සහිත මිනිස් සිරුරක් පමණි. එවන් මිනිස් රූපයක් පුරුද්දට අනුව සුභ උදෑසනක්, දෙවියන් වහන්සේගේ පිහිටයි, තෙරුවන් සරණයි පැවැසුවද ඒවා අවිඥානිකය. පුරුද්ද විසින් හසුරුවන ලද්දක් පමණයි. එය පුරුද්දට නතු කළ එහෙත් අත්හළ ජීවිතයයි. ඔහු යහපත් බව පෙන්වන්නට කරනු ලබන කටයුතුද අවිඥානකය. පුරුද්ද හෝ ආරෝපණයක් පමණි. සැබවින්ම ඔහුගේ ජීවිතය යනු සත්ව ලෝකයේ වන හුදු ආත්මාර්ථය පමණි.

  1. මිනිසා තම නිෂ්පාදිතයෙන් ඉවත් කිරීම

        ශ්‍රමය තමන්ට අහිමිවීමත් සමගම තම ශ්‍රමයෙන් බිහිකරනු ලබන නිෂ්පාදිතයේ හිමිකමද ඔහුට අහිමිවේ. ශ්‍රමය අන්සතු වේ. අප පරිහරණය කරන ද්‍රව්‍යමය දේවල් හුදු භෞතික දේවල් පමණක්ම නොවේ. ඒවාට සමාජ චරිතයක් ඇත. සමාජය හා බැඳුණු ක්‍රියාකාරිත්වයක් ඇත. තමා සමාජයට නිෂ්පාදනය කරනු ලබන දේවල් හරහා ශ්‍රමිකයා සමාජ සම්බන්ධතාවක් ගොඩනගා ගනියි. ඔහුගේ නිපුණතා හා නිර්මාණශීලීත්වය සමාජයට දායාද කරයි. ඔහු ඉන් ලබන තෘප්තිය නිෂ්පාදනය හරහා සමාජගත කරයි. එය පරිභෝජනය කරන්නා නිෂ්පාදකයාගේ හැකියාවන්ගේ ඵලය භුක්ති විඳියි; ගුණදොස් දකියි. එය පෙරළා එම භාණ්ඩයේ නිෂ්පාදකයාට තම නිර්මාණාත්මක කුසලතා දියුණුවට හේතුවෙයි. එය සමාජ පරිහරණයට එක්වීම විසින් යළි එවන් නිෂ්පාදනයකට නිෂ්පාදකයා පොළඹවාලයි. ශ්‍රමිකයා නිෂ්පාදනයෙන් පිටමංවූ වහාම මෙම අන්‍යෝන්‍ය බැඳීම බිඳවැටේ. නිෂ්පාදනයකට කෙනෙකු පෙළඹෙන්නේ මුදල් උදෙසා පමණක් බවට පත්වේ. නැතිනම් වෙළඳ භාණ්ඩයක් බවට පත් කළ ශ්‍රමය විකුණමින්  ප්‍රාග්ධනය ඉල්ලා සිටින යාන්ත්‍රික ආකාරයට නිෂ්පාදනයේ යෙදෙයි. අවසානයේ හැකියාව, නිර්මාණශීලීත්වය ආදිය මුදල් සමග හැසිරවේ. ප්‍රාග්ධනයේ මෙහෙයුමට යටත්ව හැසිරේ. ඔහුගේ චින්තනය වෙළඳ භාණ්ඩ ලෝකය විසින් හසුරුවන චින්තනයක් බවට පත්වේ. එතැන් සිට එම පුද්ගලයාට තමන් ඇසුරු කරන සියල්ල වෙළඳ භාණ්ඩ පමණි. ඉන්පසු ඔහු නිපදවන්නේද වෙළඳ භාණ්ඩ පමණි. දරුවා ගණිකා වෘත්තියේ යෙදීමට අදාල සදාචාරය ඇතිවන්නේ එතනින්ය. ඒ දරුවා සහ දරුකම ඔහුට වෙළඳ භාණ්ඩයක් පමණි. තමන්ට හානිකර හා බාධාකාරි භාණ්ඩ විනාශ කරන්නාසේ මිනිසුන් මරන්නේ එහෙයිනි.

  1. මිනිසා තමාගෙන් ඉවත් කිරිම

        මිනිසා තම ශ්‍රමයෙන් ඉවත්වීම යනු ඔහුගේ පැවැත්මෙන් ඉවත්වීමයි. ඔහුගේ සමාජ කාර්යයෙන් ඉවත්වීමය. එනම් තම ස්වභාවය වන සමාජීය බවින් ඉවත්වීමය. මේ තුළ මිනිසා තම ජාති ලක්ෂණයෙන් ඉවත්වේ. මිනිසා මිනිසකු ලෙස හඳුනා ගැනීමට ඇති ගුණයෙන් ඉවත්වේ. දැන් ඔහු මිනිසකු නොවේ. ඉන්පසු ඔහු වගකියන්නේ මනුෂ්‍යත්වයට නොවේ.

  1. මිනිසා සමාජයෙන් ඉවත්කිරීම

         ඉහත සියලු කරුණුවල තර්කානුකූල ඵලය වන්නේ, සමාජයීය මිනිසකු වෙනුවට හුදකලා ආත්මාර්ථය මුල්වූ මිනිස් සත්වයකු බිහිවීමයි. ඔහු සමාජයෙන් හුදකලාය. එනිසාම පැවැත්ම අවිනිශ්චිතය; ස්ථාවර සුරක්ෂිත සමාජ පදනමක්ද නැත; තම ජීවිතය අරාජිකය; කිසියම් හෝ පාලනයකින් තොරය; රකින්නට මිනිස් සදාචාරයන් නැත. ඒ, ඔහු වෙනුවෙන් රැකෙන්නට දෙයක්ද නැති බැවින්ය.

ධනේශ්වර ම්ලේච්ඡත්වයට ගොදුරුවිම

         මෙසේ පරාරෝපණය හෙවත්  මිනිසා වෙනුවට වෙනත් ජීවිතයක් ආරෝපණය කොට ඇති තත්වය තුළ තමන්ට තමන් අහිමි වූ මිනිසා ම්ලේච්ඡත්වය වෙතට විතැන්වේ.  ඔහු තම සමාජ භූමිකාව අත්හරින මගකට තල්ලු කොට දමා ඇත. දැන් ඔහුගේ වටිනාකමේ එකම මිම්ම වෙළඳ වටිනාකමයි. සමාජ සම්බන්ධතා වෙනුවට වෙළඳ සම්බන්ධතා ගොඩ නැගෙයි. විකිණීම එකම සදාචාරය බවට පත්වෙයි. එකම ඇදහිල්ල හා වන්දනාව වෙළඳ භාණ්ඩ වන්දනාව බවට පත්වෙයි. ධනපති ක්‍රමය තුළ මිනිසා අනෙකා තුළ අවශ්‍යතාවයන් බිහිකරයි. එම අවශ්‍යතාවය ඉටුකරගැනීම සඳහා ඔහු කැපකිරීමක් වෙත පොළඹවාලයි. (මේ තුළ වන බලහත්කාරයක් ඇත.) මේ ඇති කරනු ලබන නව අවශ්‍යතාවය ඉටුකර ගැනීම මගින් මිනිසා නව තෘප්තිමත්භාවයකට පත්වන්නට සිතයි. මේ පිළිබඳව නිදර්ශනයක් විමසා බලමු. හිසට සෙවණක් යන්න කවුරුන් තුළත් වන අවශ්‍යතාවයකි. විෂමතාවය පවතින සමාජ ක්‍රමයක් වන ධනපති ක්‍රමය තුළ‘ හිසට සෙවණ’ යන්න අතමිට ඇති ප්‍රමාණය අනුව තීරණය වන්නක්ව ඇත. එනිසා ධනපති මන්දිර අල්පයක් අතර පැල්පත් බහුතරයක් ගොඩනැගෙයි. මේ විෂමතාවය මගින් ධනපති වෙළඳ ලෝකය මිනිසා තුළ නව අවශ්‍යතාවයක් බලහත්කාරීව ඇති කරනු ලබයි. අප වැනි පසුගාමී රටවල විශේෂයෙන් කාන්තාවන් ඉලක්ක කළ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් තුළ හා විශේෂාංග පිටු මගින් ධනපති පුවත්පත් තුළද ‘ හිසට සෙවණක් ’ සිහිනය නිමවයි. ධනපති ව්‍යාපාරික සැලැස්ම මත එම සිහිනයේ හැඩතල ගොඩනගයි. සැබවින්ම ඒවා අති දැවැන්ත සිහින මන්දිරය. දැන් මෙම නව නිවාස අවශ්‍යතාවය විසින් පුද්ගලයා කැප කිරීමකට පොළඹවාලනු ලබයි. මේ සිහිනය පැළ කරන ලද බැංකු හෝ මුල්‍ය සමාගම් ඔහුට හෝ ඇයට ණය පහසුකම් (ණයවීමේ පහසුකම්) සපයයි. ඉන් පසු නිවාස සිහිනයේ හිමිකරු තිබෙන එකම ඉඩම උකස් කොට හෝ වෙනත් ක්‍රමවලින් ණයවී තම සිහිනය වෙනුවෙන්ම කැපවෙයි. දැන් මෙම ගැහැණිය හෝ  පිරිමියා ණය උගුලේ හසුවී අවසන්ය. දැන්  ජීවිතයේ හිමිකම මූල්‍ය සමාගම්වලට අයත්ය. ජීවිත කාලයම ණය පොලී ගෙවමින් දිවිගෙවා මිය යන්නේද ණයකරුවෙකු ලෙසින්ය. ධනපති වෙළඳ දැන්වීම් පෙන්වන තරම් මේ සෙල්ලම පහසු නැත. දැන් ඔහු නොදැනීම වංචනිකයෙකුද වී ඇත. මේ මගින් සමාජයේ ගොඩ නැගෙන්නේ මුදල් සබඳතාවයන් පමණි. මෙම තත්වය කිසිදා අවසන් නොවන  විකුණන සහ විකිණෙන සම්බන්ධතාවයක් බවට පත් වේ. මෙතැන ඉතිරි වන මිනිස් සම්බන්ධතාවයක් නැත. ප්‍රධාන වන්නේ හුදු ආත්මාර්ථය පමණකි. අපට අත්‍යාවශ්‍ය නොවන එහෙත් අප තුළ පැළ කරනු ලබන කොකා කෝලා, ජින්ජර් බියර් වෙළඳ දැන්වීම් මගින් කරනු ලබන බලපෑම් තුළින් ද අවසානයේ ධනපති වෙළඳපොළට අවශ්‍ය මිනිසකු නිර්මාණය කරනවා පමණි. ධනපති වෙළඳ භාණ්ඩ සියල්ල හඳුන්වා දෙනු ලබන්නේ මෙලෙසින් ය.

         සියලු මිනිසුන් හා මිනිස් ශ්‍රමයේ නිෂ්පාදිත වෙළඳ භාණ්ඩ පමණක් වන විට, මිනිසුන් හා මිනිසුන් අතර වන එකම සබඳතාවය වෙළඳාම වන විට මිනිසුන්ගේ එකම විශ්වාසය ධනේශ්වර මුදල වන විට මිනිසුන් අතර ඇත්තේ භෞතික සබඳතාවයක් මිස මානුෂිකත්වයක් නොවේ. මිනිසුන් අතර ඇත්තේ ජීව විද්‍යාත්මක සබඳතාවයක් මිස මිනිස් සබඳතාවයක් නොවේ. මිනිසුන් අතර ඇත්තේ පුරුද්ද විසින් පවත්වාගෙන යනු ලබන සබඳතාවයන් මිස සවිඥානක සබඳතාවයන් නොවේ. ඒ නිසා ආහාර, ලිංගික වුවමනාව හා ආරක්ෂාව පමණක් තම ජීවිත වුවමනාවන් ලෙස සලකා කටයුතු කරන පුද්ගලයකු බිහිවේ. පෙනුමින් සත්ව ස්වභාවයට වෙනස් නමුත් සත්ව අරමුණු සහිතව ජීවත් වන මිනිසකු බිහි වේ. මිනිස් ප්‍රකාශ කිරීම් හා මිනිස් භාවිතය අතර බරපතළ ප්‍රතිවිරෝධයක් මතුවන්නේ මෙහිදී ය. ඉහත කී සත්ව අරමුණු ඔස්සේ රංචු ගැහෙන මිනිසාට මිනිස් සදාචාරයන් බිඳීම වරදක් සේ නොපෙනේ. සැබැවින්ම මේ බිඳවැටුණු සමාජයේ ඇත්ත සදාචාරය වන්නේ මිනිස් සදාචාරය බිඳීමය.  ඕනෑම මිලේච්ඡ යැයි පිළිගන්නා ක්‍රියාවන් සාමාන්‍යයක් වන්නේ එනිසාය.

       මේ තත්වය විසින් මිනිසා දැන් පැමිණ ඇත්තේ තීරණාත්මක දෙමංසලකටය. පළමුව මේ සමාජය කඩාවැටෙන වේගයෙන් කඩා වැටෙන්නට ඉඩහැර නුදුරේදීම මනුෂ්‍යත්වයෙන් පහළ වැටුණු සමාජ තත්වයකට යෑමය; මිලේච්ඡ අන්තයට යාමය. එනම් මිනිස් වර්ගයාගේ ආරම්භක ස්ථානයට එදාටත් වඩා පහත් තත්වයකට පත්ව ඇදවැටීමයි. නැතිනම් දෙවන මාවත මනුෂ්‍යත්වය සුරැකෙන, ශ්‍රමය අගයන, ශ්‍රමය ශ්‍රමිකයාට හිමිවන, සමාජ සාමූහිකත්වය රැකෙන ධනවාදයෙන් එහා වන කොමියුනිස්ට් සමාජ ක්‍රමය (එහි පළමු අවධිය හෙවත් සංක්‍රමණීය අවධිය සමාජවාදයයි.) වෙත යෑමයි. ම්ලේච්ඡත්වය කරා කඩාවැටීමට වෙනත් ආයාසයක් අවශ්‍ය නොවේ. ඒ වෙත ඇදගන්නා ධනපති ප්‍රාග්ධනය නැමැති ගුරුත්වාකර්ෂණ බලය තිබේ. එහෙත් කොමියුනිස්ට් සමාජ ක්‍රමය  වෙත පරිවර්තනය වීමට සමාජ විප්ලවයක් අවශ්‍යය. වත්මන් ධනපති සමාජ අර්බුදය විසින් ඉල්ලා සිටින්නේ එවන් සමාජ පරිවර්තනයක අවශ්‍යතාවයයි.

“සමාජවාදය මිනිසාගේ පරාරෝපණය අහෝසි කරයි. නැවත මිනිසා බවට පත් කරයි. ‘එය මිනිසා සහ ස්වභාවය අතර සහ මිනිසා, මිනිසා අතර ප්‍රතිඝතිතතාවය විසඳාලයි…. ”

Erich Seligmann Fromm (1900-1980)ගේ Marx’s Concept Of Socialism

යන ලිපියෙන්

( ඔහු ජර්මන් සමාජ මනෝවිද්‍යාඥයෙකි, මානුෂිකවාදය පිළිබඳ දාර්ශනිකයෙක්  සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකි.)

Left – 2014 June

ම්ලේච්ඡත්වය ඉදිරියෙන්