පැට්‍රිස් ලුමුම්බා මරා දමා වසර 60 කට පසු බෙල්ජියම සමාව ඉල්ලයි

SHARE

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin

“ඔබ විසින් නිදහස ලබා ගන්නා අද මෙම ඓතිහාසික දිනය කොංගෝලයේ සියළු පුරවැසියෙකුට අමතක නොවන දිනයක් වනු ඇත. ඔබ මෙම නිදහස ලබාගනුයේ දශක කාලයක සිට ඔබගේ රුධිරය, දුක් සෝ සුසුම්, කඳුළු මැද, සියළු ජාතිවාදී ප්‍රහාර, කුරිරු වදවේදනා වලට මුහුණ දෙමින් ගෙනගිය අසීරු අරගලයක ප්‍රථිපලයක් ලෙසයි. යටත්විජිතවාදීන් අපට ඇනුම්පද කිව්වා, අපහාස කළා, උදේ හවස පහරදුන්නා, ඒ අපි “කල්ලෝ” නිසා. මෙම අරගලය පිළිබඳව අපහට ආඩම්බරයක් ඇත. එය උදාර හා නිවැරදි අරගලයකි. අප වෙත බලයෙන් පැටවූ අශිලාචාර වහල්භාවය අවසාන කරලීමට මෙම අරගලය අත්‍යවශ්‍ය වුවා යන්න ඔබ අමතක නොකළ යුතුයි” ඒකීය අප්‍රිකාව දිගුකල් දිනේවා! කොංගෝ සමුහාණ්ඩුව දිගුකල් දිනේවා!

මෙම කථාව සිදු කරනු ලැබුවේ 1960 ජුනි 30 වනදා නිදහස් කොංගෝවේ පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා චන්දයෙන් පත්වූ අග්‍රාමාත්‍ය පැට්‍රිස් ලුමුම්බා විසිනි. මෙම ඓතිහාසික කථාවත් සමග එයට සහභාගී වූ බෙල්ජියම් රජු Baudouin කලබල වී තිබිණි. ඔහු 1960 ඔක්තෝම්බර් මස ලුමුම්බාගේ රජයේ සිටි තවත් පාර්ශවයක් වූ කොංගෝව දෙකඩකර වෙනම රාජ්‍යක් ඉල්ලා සිටින “කතන්ගා” ප්‍රදේශයේහි ෆෙඩරල් නායක Moïse Tshombeට ලිපියක් ලියමින් “බෙල්ජියම හා කොංගෝව අතර වසර 80ක සහෝදර සම්බන්ධතාවය එක මිනිසෙකු නිසා නැතිවී යන බව” පවසා තිබිණි. එයට පිළිතුරු වශයෙන් Moïse Tshombe පවසා සිටියේ “තමන් ලුමුම්බා ඉවත්කරන බවත් අවශ්‍ය නම් ඔහු මරා දැමීමටත් පසුබට නොවන” බවත්ය.

ඒ අතර සිටි තවත් අයෙක් වුයේ එරට ඇමරිකන් තානාපතිවරයායි. ඔහු එදිනම මෙම රැඩිකල් අග්‍රාමාත්‍යවරයා පිළිබඳව කේබල් පණිවිඩයක් එවකට ඇමරිකාව පාලනය කල Dwight Eisenhower වෙත යවන ලද්දේ අප්‍රිකාවටත් කැස්ත්‍රෝ කෙනෙකු පත්වී ඇතිබවට අනතුරු හඟවමිනි. කියුබාව හා සෝවියට් නායක නිකිතා කුෂෙව් සමග ගැටුමක සිටි Eisenhower තම ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී « We have to get rid of that man » පැවසූ බව එම රැස්වීමට සහභාගිවූ රජයේ නිලධාරියෙකු 1975 දී ඇමරිකන් සෙනට් සභාව ඉදිරියේදී හෙළිකර සිටියේය. එම ප්‍රකාශයත් සමගම එයට සහභාගිවූවන් පුදුම වූ බවද හෙළිවිණි.

ඒ අනුව පැට්‍රිස් ලුමුම්බාගේ පාලනය අවසාන කිරීමට ඇමරිකන් රහස් ඔත්තු සේවය, බෙල්ජියම, නේටෝව හා බ්‍රිතාන්‍ය M-16 රහස් ඔත්තු සේවයද එක් පෙරමුණකට පැමිණ තිබුණ බව පසුව හෙළිවිණි. එහි ප්‍රථිම පියවර ලෙස කොංගෝ හි බෙදුම්වාදී කතාංගා ප්‍රදේශයට බෙල්ජියම් සෙබළුන් විශාල ප්‍රමානයක් ස්ථාන ගත කරන ලදි.

කොංගෝහි කතන්ගා ප්‍රදේශය යනු අප්‍රිකා මහද්වීපයේ ඇති ප්‍රදේශ අතරින් කොබෝල්ට්, තඹ, රේඩියම්, යුරේනියම් හා දියමන්ති වලින් ගහන 497000km ² විශාල දිස්ත්‍රික්කයකි. ලුම්ම්බා කීකරු කරගැනීමට ඇති එකම උපක්‍රමය වුයේ කතන්ගා හි බෙදුම්වාදය අවුස්සා එහි වෙනම රජ්‍යයක් බිහි කිරීම බව බෙල්ජියම් පාලනයට තේරුම් ගොස් තිබිණි. එහිදී ඇමරිකන් CIA ව්‍යාපාරය ඉලක්ක කර තිබුණේ ලුමුම්බාගේ ආරක්ෂක ඇමති ජෝසප් මොබුටුට මුදල් ලබා දී අවනත කරගත හැකි බවයි.

පැට්‍රිස් ලුමුම්බා උපත ලබන්නේ 1925 ජුනි දෙවනදා කොංගෝ හි Onalua ප්‍රදේශයේ දීය. ඔහු 1960 දී කොංගෝ ජාතික ව්‍යාපාරය MNC බිහි කරනු ලබන්නේ එවකට කොංගෝව යටත් කරගෙන සිටි බෙල්ජියමෙන් නිදහස ලබා ගැනීම අරමුණු කරගනිමිනි. ඔහු ඒ සඳහා නිදහස් කොංගෝවේ ජනාධිපති බවට පත්වූ Joseph Kasa-Vubuත්, එකම හමුදා නායකයා වූ Mobutu Sese Sokoත්, කතන්ගා හි ධනවතෙකු හා බෙදුම්වාදී නායකයා වූ Moïse Tshombe සමග නිදහස් කොංගෝවේ ප්‍රථම හවුල් රජය පිහිටුවේය. මෙම බෙදුම්වාදී නායකයා සමග නිතර ගැටුණු ලුමුම්බා ඔහුව හඳුන්වා තිබුනේ බටහිර ඒජන්තයෙකු ලෙසිනි.

බෙල්ජියම හා ඇමරිකාව විසින් දියත් කල ලුමුම්බා මරා දැමීමේ කුමන්ත්‍රණය සාර්ථක විණි. කසන්ගාව ලුමුම්බා රජයට එරෙහිව යුධ ප්‍රකාශ කරමින් වෙනම රජ්‍යයක් ඉල්ලා සිටියේය. යුද්ධය ඇවිලිණි. ලුමුම්බා සෝවියට් යුධ ආධාර ලබා ගැනීමට රජයට යෝජනා කළේය. ඇමරිකන් රහස් ඔත්තු සේවයෙන් විශාල මුදල් කන්දරාවක් ලැබුණු මොබුටු 1960 සැප්තැම්බර් 14 වැනිදා හමුදා කුමන්ත්‍රණයකින් ලුමුම්බා රජය පෙරලා දමා අගමැතිවරයා අත්අඩංගුවට ගත්තේය. 1961 ජනවාරි 17 වැනිදා කටන්ගා හි දී ඔහුට දස වදදී මරා දමන ලදී. ලුමුම්බාගේ දේහය පුළුස්සා ඔහුගේ එක දතක් සිහිවටනයක් ලෙස එක් සුදු හමුදානිලධාරියෙකු බෙල්ජියමට රැගෙන ගොස් තිබුනු අතර බෙල්ජියම් පොලිසිය 2020 දී මෙහයුමකින් එය රජයේ භාරයට පත්කර තිබේ.

ලුමුම්බා ගේ ඝාතනය නිසා ලොවම කම්පා විනි. සෝවියට් දේශය ඔහුට ගෞරව පිණිස විශ්ව විද්‍යාලයක් නම් කළේය. චේ මොබුටු පාලනයට එරෙහිව සටන්වැදීම සඳහා කොංගෝවට ගියේය. මොබුටු පාලනය 1997දී පෙරලා දැමිණි. ඔහු පසුව පිළිකාවකින් මියගියේය. මිය යන විට කොංගෝ ජනතාවගෙන් සොරා ගත් ඩොලර් බිලියන 7ක් ඔහු සතුව තිබිණි.

2001 දී බෙල්ජියම් පාර්ලිමේන්තුව ලුමුම්බා ඝාතනය පිළිබඳව කොමිසමක් පත් කරන ලදී. 2012 දී එරට අභියාචනාධිකරණය එය තම රජයෙන් සිදුවූ යුධ අපරාධයක් ලෙස පිළිගත් අතර එහිදී බෙල්ජියම් රජය කොංගෝ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. ලුමුම්බාගේ දරුවන් තම පියාගේ ඉතුරු වී ඇති ඔහුගේ දන්තය තමන්ට ආපසු ලබාදෙන ලෙස බෙල්ජියම් රජයෙන් මෙම වසරේදී ඉල්ලා සිටි. ඒ අනුව මෙම වසරේ එම දන්තය ඔවුනට ලබාදෙන අතර කොංගෝ රජය විසින් 61වන නිදහස හා ලුමුම්බාගේ මරා දමා වසර 60ක් පිරෙන මෙම වසරේ එය ඉතා ඉහලින් 2021 ජුනි 30 වැනිදා කොංගෝ(වර්තමාන සහීර් රාජ්‍යය) හි අගනුවරදී ඉතා ඉහලින් සැමරීමට කටයුතු යොදා ඇත.

පැට්‍රිස් ලුමුම්බා මරා දමා වසර 60 කට පසු බෙල්ජියම සමාව ඉල්ලයි